ගෙම්බකු සුරතලේට ඇති කළ ගෙඹි මාටින් අයියා


අමුතු ගති ඇති මිනිස්සු

 

මනුෂ්‍යයන් සහ ඇතැම් සත්ව කොට්ඨාස අතර ඇති සම්බන්ධයට වසර දහස් ගණනක ඉතිහාසයක් තිබේ. ඒ අතරින් ද වඩාත් දිගුකාලීන ඉතිහාසයක් ඇත්තේ බලු මිනිස් මිත්‍රත්වයටය. ඇතැම් විට එසේ වන්නට ඇත්තේ බල්ලන් වෙතින් මිනිස් සංහතියට ලැබෙන සහයෝගය නිසා විය හැකිය.   
අලි, ඇතුන්, පූසන් සහ ඇතැම් පක්ෂි වර්ගයා සමග මිනිසුන් වඩාත් සමීපස්ථභාවයකට පත්වූයේ ඉන් අනතුරුවය. මේ අතර බල්ලන්, පූසන් වැනි සතුන් ක්‍රමයෙන් ගෘහවාසී තත්ත්වයට පත්විණ. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඇතැම් සංවේදී මනුෂ්‍යයන් බල්ලන් සහ පූසන් කෙරෙහි ළෙංගතුවීමයි.   


මුගටියන්, උගුඩුවන් සහ ලේනුන් වැනි සතුන් තම සුරතලුන් ලෙස සලකමින් ඔවුන්ට දැඩි ලෙස ආදරය කරන මිනිසුන් ගැන ද අදටත් ගම්බද පෙදෙස්වලින් නොයෙක්විට අසන්නට ලැබේ. එහෙත් පත ගෙම්බෙකු තම ළබැඳි සුරතලා ලෙස තෝරාගෙන සිටි මිනිසෙකු පිළිබඳව ඔබ නිකමටවත් අසා තිබේද? එවැන්නෙකු මීට කලකට ඉහත කොළඹට නුදුරු නගරයක පිහිටි එක්තරා තොග වෙළෙඳසලක ලොරි රියැදුරෙකු වශයෙන් සේවය කළේය.   
එම තොග වෙළෙඳසලට අයත් ලොරියක සේවය කළ මාටින් දුර ගමන්වල යෙදෙන අතරතුර තම සුරතල් ගෙම්බා වැඩි ආරක්ෂාවට නතර කරගෙන සිටියේ තමන් පදවන ලොරියේ රියැදුරු අසුන යටය.   


‘‘මාටින් අයියේ අද මොකෝ යාළුවා වැඩිය පේන්න නැත්තේ?’’ යි අසමින් ලොරියට ගොඩවදින රිය සහායකයා නොදැන සිටිය ද තවත් සුළු වේලාවක් ඇතුළත ගෙම්බා ඔහුගේ දෙපා අසලට පැමිණීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. එසේ වන්නේ මාටින් අයියාගේ සුරතලාට රිය සහායකයාගේ කටහඬ ද හොඳින් හුරු පුරුදු බැවිනි.   
මුලදී නම් එම ගෙම්බා රිය සහායකයාගේ දෙපාවල තැවරුණු විට ඔහු චිකේයි... මේ මොන ජරා සතෙක් ද? යි අසමින් තම දෙපා ඉහළට ඔසවා ගෙන කෑ ගැසුවේය. එවැනි අවස්ථාවල දී මාටින් අයියා කරන්නේ උඹට ඔතන ඉන්න බැරිනං ඔය අහිංසක සතාට හිරිහැර නොකර පස්සට ගිහින් නින්දක් ගහපං... යි කියමින් තම ගෝලයා ලොරියේ පසුපස කොටසට යැවීමය.   


එහෙත් කල් යාමේදී රිය සහායකයා ද මාටින් අයියාගේ එම ගෙඹි හුරතලයට හුරුවූයේ නිරායාසයෙනි.   
‘‘මොනවද මාටින් අයියේ මේකා කන්නේ?’’ යි අසමින් අතරමග දී තේ කඩයකට ගොඩවදින ගෝලයා ආපසු පැමිණෙන විට තමන් මොහොතකට පෙර කෑ රෝස් පාන් ගෙඩියේ පදාසයක්ම රැගෙන එන්නේ ලොරිය තුළ සිටින ගෙඹි මිත්‍රයාගේ පරිභෝජනයටය.   


මාටින් සහ ගෝලයා දුර ගමනක් යනවිට ගෙම්බාත්, ගෝලයාත් ලොරියේ පසුපස කොටසේ බඩුත් සමග හිරවෙන්නේ අතරමගින් ගොඩකර ගන්නා විස්සේ හෝ විසිපහේ කෑලි දෙකක් වෙනුවෙනි. එලෙස ලැබෙන මුදල ඔවුන් දෙදෙනා අතර සමසේ බෙදී යන්නේ කල්තියා ඇතිකරගෙන තිබෙන ගිවිසුමකට අනුවය.   


මාටින් අයියා තම ප්‍රධාන සේවා ස්ථානයේ රාත්‍රිය ගත කරන දිනවල ඔහුගේ මිතුරු ගෙඹි තඩියාගේ වාසස්ථානය වන්නේ එහි මුල්ලක තබා ඇති ජලයෙන් පිරුණු බේසම් කබලකි. එවැනි දිනවල එම බේසම කබල තුළ සිටින ගෙම්බා තම සුපුරුදු බක බක ය පටන් ගත්ත ද   


‘‘පුතා හොඳ එකාවගේ මට නිදාගන්න දීපං... ’’ යි මාටින් කාරයා කරන එක තරවටුවෙන්ම නිහඬවීමට ගෙඹි තඩියා ද පුරුදු වී සිටින්නේ කාලයක සිටය.   
‘‘මේකා මුලින්ම මට හම්බවුණේ මීට අවුරුදු පහකට විතර කලින් අපේ ගමේ වෙලක් ළඟදී. මම නිකමට වගේ ඌව ගෙදර අරගෙන ගිහින් ජනෙල් පඩියක් උඩින් තිව්වා. මම හිතුවේ තව ඩිංගකින් ඌ අනිත් පැත්තට හැරිලා එළියට පනියි කියලා. ඒත් ඒකා ඊට පස්සෙන්දා වෙනකංම එතන හිටපු නිසා මං ඌව පොඩි පෙට්ටියක දමාගෙන මෙහේ ගෙනාවා. යි කියමින් තම ගෙඹි සුරතලා ද තමන්ට ලැබුණු අයුරු මිතුරන් සමග රහ කරමින් විස්තර කරන මාටින්කාරයා දැඩි ලෙසම විශ්වාස කරන්නේ ඌ තම පවුලේ මළගිය පරාණකාරයෙකු විය හැකි බවය.   


‘‘නැත්තං ඉතින් මේ කාමරෙන් ඌට අගේට පිටවෙලා යන්න තිබුණා. ඒත් ඌ මාව තනි කරලා ගියේ නැති නිසයි මට එහෙම හිතෙන්නේ.’’   
ඔහු එසේ කියන්නේ තම ගෙඹි සුරතලාගේ හිස සෙමින් පිරිමදිමිනි. එවැනි බොහෝ අවස්ථාවලදී තම ස්වාමියාගේ ඇඟට පනිමින් ඔහු සමග සුරතල්වීමට එම ගෙඹි තඩියා ද දැඩි කැමැත්තක් දක්වයි.   


‘‘මොකක්ද යෝධයෝ මේ කොහේද යන ගෙම්බෙක් අල්ලගෙන හුරතල් කරන්නේ උඹට පිස්සුද..’’ යි අසමින් වරක් තම පුත්‍රයාට බැණ වැදුණු මාටින්කාරයාගේ මහලු මව ගෙම්බා දමා සිටි වතුර බේසම වත්ත පහළින් ගලා ගිය ඇළට හැළුවාය.   


ඒත් පුදුමෙයි කියන්නේ මෙන්න ඊට පැයකට, දෙකකට විතර පස්සේ මගේ කාමරේ ජනෙල් පඩිය උඩට නැගලා ඌ මගේ දිහා බලාගෙන බක... බක... ගානවා. අපේ අම්මටත් පුදුමයි ඒක දැකලා.   


ඔහු සඳහන් කරන අන්දමට තමන්ට පිටපිටම සංවර්ධන ලොතරැයි දිනුම් කීපයක්ම ලැබී තිබුණේ ඊට ආසන්න කාලයකය. එපමණක්ද නොව මාටින් සේවය කළ තොග වෙළෙඳ ආයතනය මගින් ඔහුගේ මාසික වැටුප ද රුපියල් දෙසීයකින් ඉහළ දමා තිබුණේය.   
මගේ ගෙඹි පැටිය මං ළඟට ආවට පස්සෙ තමයි මට මේ හැම වාසියක්ම ලැබුණේ... යි සිතූ මාටින් ඉන්පසු දැඩි ලෙසම විශ්වාස කළේ තමන්ට වාසනාව ගෙන ආ ගෙඹි පැටියා මොනම හේතුවක් නිසාවත් අත්නොහැරිය යුතු බවය. වෙනකක් තබා තම මිතුරු ගෙඹි සුරතලාගේ වාසය සඳහා තම නිවසේ කුඩා ජල තටාකයක් ඉදිකළ ඔහු ගමේ ගිය බොහෝ අවස්ථාවල දී වැඩි කාලයක් වැය කරන ලද්දේ එම ගෙඹි පොකුණ හැඩ වැඩ කිරීම වෙනුවෙනි.   


ඉන්පසු ගෙඹි සුරතලාගේ ස්ථිර වාසස්ථානය වූයේ ද නිවසේ ඉදිකළ එම ජල තටාකයයි.   


විශේෂයෙන්ම ඊට හේතු වූයේ තම සේවා ස්ථානයේ සෙසු සේවකයන් ඔහුට ගෙඹි මාටින් යැයි නමක් පටබැඳ තිබීමය.   
‘‘උඹ මීට පස්සේ කොළඹ එන්න ඕන නැහැ පොඩි එකෝ. මෙන්න මේ පොකුණට වෙලා නිදහසේ හිටපං’’ යි කී මාටින්කාරයා මාසයකට දෙතුන්වරක්ම නිවසට පැමිණ තම ගෙඹි සුරතලාගේ දුකසැප විමසා බැලුවේය. විශේෂයෙන්ම ඔහු එසේ කළේ ගෙම්බා ගැන දැනගත් සේවා ස්ථානයේ සෙසු සේවකයන් තමන්ට ‘‘ගෙඹි මාටින්’’ යැයි කියමින් විහිළු කරනවාටත් වඩා ඔවුන්ගෙන් තම සුරතලා ආරක්ෂා කරගැනීමේ අදහසිනි.   


මේ කාලය වනවිට ඔහු තම සුරතල් ගෙම්බාට නමක්ද දමා තිබුණේය. ඒ නම වූ කලී ලකීය. මාටින් ගෙම්බාට ඒ නම දමන ලද්දේ ඌ තමාට වාසනාව උදාකළ බැවිනි.   
ඔහු ඒ ගැන උජාරුවෙන් පැවසූ අන්දමට ගතවූ වසර කීපය තුළ තමන්ට රුපියල් දස දහසේ ලොතරැයි දිනුම් දෙකක් සහ රුපියල් දහසේ දිනුම් තුන හතරක්ම ලැබී තිබුණේ ලකීගේ වාසනාවටය. ඒ වනවිට මාටින්ගේ මහලු මවට වසර දහයකටත් වැඩි කාලයක් තිස්සේ පැවැති කොන්දේ කැක්කුමකින් ද සුවය ලැබී තිබුණේය.   


මයෙ හිතේ මෙච්චර කාලයක් පරක්කුවුණු මගේ කසාදෙත් ළඟදීම හරියාවි... යි කියමින් දැඩි විශ්වාසයකින් යුතුව කල් ගෙවූ මාටින්ගේ එම බලාපොරොත්තුව ඉටු නොවූයේ ඊට පෙර ඔහුගේ ගෙඹි සුරතලා මහ දවල් ගෙවත්තට පැමිණි නාගයෙකු විසින් ගිල දමන ලද බැවිනි. ඒ බව දැනගත් ගෙඹි මාටින් සතියක් තිස්සේ රැකියාවට පවා නොගොස් ගෙතුළට වී කඳුළු සැලුවේය.   

 


නිහාල් ජගත්චන්ද්‍ර