ගෙන්දගම් පොළොවෙන් උපාධිය ලැබූ මිනිස්සු


කොළොම්පුරේ
ජීවිතේ

 

තොරතෝංචියක් නැතිව හඬ නඟන බස්රථවල ගොරහැඬි හඬය. පැය කීපයකට පෙර වට වැස්සෙන් පෙඟුණු තාර පාරේ කඩතොලු මැද හිර වූ කළු පාට කුණු වතුරය. දෙපස ඊට දෙවෙනි නොවූ කළු මඩ තට්ටුව යන එන දෙනෝදාහක් ජනයාගේ දෙපාවලට පෑගී හොඳින් පදම් වී තිබේ. 

 
 මේ කොළඹ පිටකොටුවේ ලංගම බස් ගාල ඔබ්බෙහි පිහිටි සුප්‍රසිද්ධ මහජන පොළ සාවියයි. බස්රථවල ගොර ගොරයට දෙවැනි නොවන පසෙක ඇති ඩී.වී.ඩී. වෙළෙඳසල් තුළින් නැගෙන නූතන තාරුණ්‍යයේ ගීතනම් වන අඳෝනා මැදින් මම ගමන් කරමින් සිටියෙමි. එක්තරා කාලයක ගායකයෝ විරහ ගී ගයනු අසා රසිකයෝ ඇඬූහ. වර්තමානයේ ගායකයෝ අඳෝනා කියමින් ගිරිය යටින් කෑ ගසා අඬති. රසිකයෝ ඒවාට සිනාසෙති. සමාජය වෙනස් වී ඇත්තේ හරි අතට නොව රූවිතෙට යැයි සිතේ.   
බැලු බැලූ අත ගොඩ ගසා ඇති පලතුරුය. තැනෙක අන්නාසිය. තවත් තැනෙක අඹ ගොඩවල්ය. මේවා කහ අත්තට ඉඳී ඇති බව බැලු බැල්මටම පෙනේ. දුටු විට ගන්න හිතෙනවාමය. ඊට මඳක් ඔබ්බේ ඉඳී දම් පාට බේරෙන මිදි ගොඩ ගැසූ අත් කරත්තයකි. කොළ රතු ඇපල් ගොඩ ආසන්නව තැඹිලි පැහැයෙන් දිදුලන රට දොඩම්ය. ඇට නැති නාරංය.   


ඊට ටිකක් එහාට වන්නට පලතුරු රැල්ලට හසු නොවී දේශීය පලතුරක් මෙන්ම ඖෂධයක් ද වන නෙල්ලි පිරවූ අත්කරත්තයක් අසල සිටගෙන ඉන්නා පැසුණු වයසේ මිනිසෙකි. රට පලතුරුවලට ජනතාව වහ වැටී සිටින වර්තමානයේ එළදෙනගෙන් ලැබෙන සුපිරිසිදු කිරි ටික විකුණා වස පිරුණු පිටිකිරි ගෙනැවිත් දරුවන්ට දෙන සමාජයක නෙල්ලිත් විකුණා ගත හැකිද? ප්‍රශ්නය මම මගෙන්ම විමසමින් වෙළෙන්දා අසලටම කිට්ටු කළෙමි. ගැනුම්කරුවෙකු ආ ලෙසට ඔහු මදෙස බැලීය. මම අවශ්‍යතාව පැහැදිලි කළෙමි. ඔහු මන්දස්මිතියක් පෑවේය. දෙවනුව මම මුව විවර කළෙමි. බිස්නස් හොඳයිද? මොන හොඳක්ද මහත්තයෝ එක්කෝ උදේට වහිනව නැත්නම් හවස හරියටම කන්තෝරු වහන වෙලාවට වහිනවා එහෙම වුණාම මිනිස්සු බලන්නෙ කොහොම හරි වැස්සෙන් බේරිලා බස් එකට කෝච්චියට ගොඩවෙන්න. මේව දිහා බලන්න ඒ අයට මතකයක් නෑ.   
අද කිලෝ 30 ක් ගත්ත තවමත් කිලෝ 10 ක් වත් විකුණාගන්න බැරි වුණා. දැන් වෙලාව 5 යි. ඉතින් අද දවසත් ඉවරයි. ඔහු හෙළුෑ සුසුම නුදුරෙහි වූ ගෑස්පහ හන්දියේ මළකඩ කෑ ඉපැරණි යකඩ කණුව දෙසට පාවී ගොස් දූවිලි කුණු ගඳ හා මුහුවන්නට ඇත.   


කීය ගානෙද කිලෝ එකක් ගන්නේ? මගේ දෙවන පැනයට පිළිතුරු ලැබුණේ අසලට ආ කාන්තාවකට නෙල්ලි කවරයක් අලෙවි කළ මුදල කමිස සාක්කුව පතුලේ තැන්පත් වූ පසුවය. අද මැනිං මාර්කට් එකේ රු. 300/- යි. මේ ගාන අඩු වැඩි වෙන දවස් තියෙනවා. මේව වැඩිහරියක්ම කොළඹ එන්නේ රජරට පැත්තෙන්. බලංගොඩ, හල්දුම්මුල්ල වගේ පැතිවලිනුත් අම්බලන්තොට පැත්තෙනුත් එනව මේ හැම පැත්තකම ඒවා එකම රස නෑ. බලංගොඩ බෙලිහුල්ඔය පැත්තේ නෙල්ලි පිරිසිදුයි. තද පාටයි. කුණුවෙන ප්‍රමාණය අඩුයි. අනුරාධපුර පැත්තෙන් එන එ්වා ගෙඩිය තදයි. ලේසියෙන් මස ගැලවෙන්නේ නැහැ. තිත්ත ගතියත් ටිකක් වැඩියි. පැහෙන කොට ළා රතු පාටක් එනවා. අපි එහෙම පැත්ත බලලා ගන්නේ නැහැ. නෙල්ලි පෙට්ටිය දිහා බලලා ඒවා කොහේද කියලා කියන්න පුළුවන්. ඔහුගේ කථාව මඳකට නැවතුණේ තවත් ගනුදෙනුකරුවෙකු පැමිණි හෙයිනි. එම ගැනුම්කරුවා නම් නෙල්ලි ග්‍රෑම් 500 ක්ම රැගෙන ගියේ බෙහෙතකට උවමනා බව පවසමිනි. බොහෝ වේලාවක් හෙට්ටු කිරීමෙන් පසුවය. මොනව කරන්නට ද මහත්තයෝ. මේ අය හිතන්නේ අපි මේව ගස් වලින් කඩාගෙන ඇවිත් මෙහෙම විකුණනවා කියලා. අඩු ගණන්වලට ඉල්ලන්නේ ඒකයි. මම මෙතන විකුණන්නේ කිලෝවට රු. 100ක් තියාගෙනයි.   
මම දවසෙ කන්න බොන්නෙ ගෙදර හාල් තුනපහ ටික අරගෙන යන්නේ ඒ ලාබයෙන්. විකිණෙන්නේ නැතිව ඉතුරුවෙලා කුණු වුණොත් ඖෂධ විකුණන මට වහ කන්න වෙනවා. මේවා වැඩිම වුණොත් තියාගන්න පුළුවන් සතියයි. හැබැයි මගේ බඩු නම් දවසෙන් දෙකෙන් විකුණා ගන්නවා.   
ඔහුගේ උප්පැන්නයේ සඳහන් නාමය කීර්තිරත්න වුවත් බජාර් එකේ කොයි කවුරුත් දන්නා හඳුනන නම ක්‍රිස්ටිය. ක්‍රිස්ටිගේ වයස මේ වන විට අවුරුදු 52 ක්. උපන් ගම කළුතරය. කොළඹ පේමන්ට් ජීවිතයට පය ගසා ඇත්තේ 1947 තරම් ඈත කාලයේදීය. මුලින්ම ඇවිත් අන්නාසි ගෙඩි අරගෙන කෑලි කපා බස් එකේ කෝච්චියෙ වික්කා. ඊට පස්සේ දව​සෙ වැටුපට කඩවල්වල වැඩ කළා. නාටාමිකම් කළා. කඩ කළා. අන්තිමේදී මේ රස්සාව කරන්න පටන් ගත්තා. කොල්ල කාලේ ඕන දේකට හිත එඩිතරයි. කාටවත් බරක් නැහැනේ. මේ පිටකොටුව බජාර් එකේ කරන්න දේවල් බොහොමයි. හරි වැරදි දෙකෙන්ම සල්ලි හම්බ කර ගන්නා ක්‍රම එමටයි. ඒ දෙවියන්ගේ පිහිටෙන්. මම වැරදි පාරෙ ගියේ නැහැ. එහෙම ගියා නම් අදටත් මේ විදියට මහපාරේ වේළෙන්නේ නැහැ. හැබැයි මේ රස්සාව කාටවත් යටත් නැහැ හිතුණොත් එනව නැතිනම් නිකම් ඉන්නවා.   
ක්‍රිස්ටි විවාහක දරු දෙදෙනෙකුගේ පියෙකි. දරුවන් ද දිගතල ගොස් පියාව නිදහස් කර ඇත. තරුණ කාලේදිම ගම සමග තිබූ සබඳතා අත හැර කොළඹ පැමිණ වැල්ලම්පිටියේ පදිංචියේ වූ නිසා දැන් ගමේ කිසිවෙකු ඔහුව හඳුනන්නේ ද නැත.   
වැඩිදුර අධ්‍යාපනයක් නැතත් වසර 50 ක් පිටකොටුවේ ගෙන්දගම් පොළොවේ ලද අත්දැකීම් සම්භාරය නම් උපාධියටත් වඩා ඔහුට වටී. මේක ලේසියෙන් බේරිලා ඉන්න බැහැ. වැරදි පාරට වැටුණොත් ආයෙත් ගොඩ ඒමකුත් නැහැ. මම කරන්නේ සාධාරණ වෙළෙඳාමක්. කොළඹට එන පලතුරුවලින් බෙහෙත් නොගහන එකම පලතුරු මේ නෙල්ලි විතරයි. කඩවල්වල වහලෙ එල්ලිලා එහෙමත් නැතිනම් බිම කූඩවල දිලිසි දිලිසි තියෙන පලතුරුවල වස විස පිරිලා. මම මිනිස්සුන්ට වස කවන්නේ නෑ කියලා සතුටු වෙන්න පුළුවන්. අපේ ජීවිතත් මේ නෙල්ලි ගෙඩිය වගේම තිත්තයි මහත්තයෝ. හැබැයි හෙමි හෙමින් හපන කොට අමුතු පැණි රසකුත් දැනෙනවා. කාල වතුර ටිකක් බීවම උගුරට දැනෙන කූල් රසය ගැන කියලා වැඩක් නැහැ. මේක අපේම පලතුරක්. පිටරට ඉඳලා මාස ගණන් නැව්වල එන ඒවා වගේ ​ෙනමෙයි. ඒත් අපේ මිනිස්සු හොඳ දේ තේරුම් ගන්නේ නැහැ. ලොකු ගණන් ගෙවලා වස ගෙඩි අරගෙන යනවා.   


ක්‍රිස්ටිගේ කතාවේ නොගත යුත්තක් නැත. එහෙත් අපි මහා අමුතුම ජාතියකි. ඔහුම පවසන ආකාරයට ජීවිතය ද නෙල්ලි සේම තිත්ත නමුත් ඒ තුළ ඇත්තේ කල් කදුරු තිත්ත නම් නොවේ. හැපෙන විට පැණි රස සේම කහට රස ඇඹුල් රස ඇතුළු රස සාගරය නෙල්ලි ගෙඩියට ඇතුළත්ය. පස්ගෝරස කියන්නේ ඒ නිසාය. ජීවිතය ද නෙල්ලි ගෙඩියට සමානකම් කියන නමුත් ක්‍රිස්ටිලාට උරුමව ඇත්තේ තිත්ත රසයම පමණි. කි​ලෝව රු. 400/- ක් වන ලෙසට අලෙවි කරන නමුත් කිසිවෙකු රු. 20/- ක් දිගු කර ඉල්ලුව හොත් නෙල්ලි අහුරක් කවරයට වැටේ. පොදු ජනතාවගේ වැඩි දෙනෙකු පිටරට වස විසට ඇලුම් කරන නමුත් බුද්ධිමතුන් ද කොළඹට එති යති. දින දෙක තුනකින් ක්‍රිස්ටි වැනි නෙල්ලි වෙළෙඳුන්ගේ නෙල්ලි ගොඩ විකුණා අවසන් වන්නේ එහෙයිනි. මේකම කියලා නෑ ඒ ඒ දවස්වලට ලාබ පලතුරු විකුණනවා. රඹුටන් මැංගුස් වාරෙදි ඒව. ඉන් පස්සේ එන දූරියන් වාරෙ. උදේ පාන්දරම මැනිං මාකට් එකට ඇවිත් බඩු අරගෙන කරත්තයක් කුලියට අරගෙන මෙතනට එනව. කරත්ත කුලිය දවසට රු. 100/- යි. රෑ 7, 8 විතර වෙනකම් ඉන්නවා. එදා වෙළෙඳාම කරගෙන කන බොන දේ අරගෙන ගෙදර යනවා හැබැයි රඹුටන් කෙසෙල් වගේ පලතුරු වැඩි දවසක් තියා ගන්න බැහැ. දවස හත වෙන කොට රඹුටන් නම් මළානික වෙනවා. කෙසෙල් ගෙඩිය කළු ගැහෙනවා. ඒ මේක තමයි ජීවිතේ සමුගැනීමට මත්තෙන් ක්‍රිස්ටි පැවසීය.   
එ් වන විට කොළඹ වීථි පහන් දැල්වී තිබිණ. අසල කණුවේ විදුලි බුබුළෙන් නික්මෙන එළියෙන් ක්‍රිස්ටිගේ නෙල්ලි කරත්තය ද කහ පැහැ වී ඇත. ඊළඟට මා යා යුතු ඉලක්කය වෙත යාමට ඉදිරියට ඇදුණෙමි. එතැනට යාමට විශේෂ අවසර තිබිය යුතුය. ඒ සඳහා මගේ හිතවත්ම මිතුරෙකුගෙන් උපකාර ලැබිණ. කලබලකාරී පිටකොටුවේ වීථිවලින් සමුගෙන බොරැල්ල බසයකට ගොඩ වුණෙමි. මා පැමිණෙන තුරු සගයා අඳුරු වැටුණු බොරැල්ල මරදාන ප්‍රධාන මාර්ගයේ මරදාන පොලිසිය ආසන්නයේ රැඳී සිටි අයුරු අඳුරේම වුවත් දුටුවෙමි. ඇයි ප්‍රමාද වුණේ මම මෙතනට ඇවිත් පැය භාගයක් විතර වෙනවා. අත වඩා එතී තිබූ නවීන ඩිජිටල් අත් ඔරලෝසුව දෙස බලා මිතුරා මා දෙසට හැරුණි. ළෙන්ගතු සිනාවකින් පිළිතුරු සැපයු මා ඔහු පසුපස වැටුණෙමි.   
තවත් වචනයකුදු කතා නොකළ හේ මඳ දුරක් ගොස් ප්‍රධාන පාරෙන් හැරී කොන්ක්‍රීට් බිත්තිවලින් වට වූ කුඩාම කුඩා පටු මාවතක් ඔස්සේ ගමන් කළේ වරින් වර පසු පස හැරෙමින් මා එනවා දැයි නිරීක්ෂණය කරමිනි. රාත්‍රිය වුවත් දෙපස විථි පහන් ඒ මාවතේ අඳුර පලවා හරිමින් තිබිණි. බිත්ති පසු වූ පසුව දෙපසින්ම දක්නට ලැබුණේ කුඩා කුඩා නිවෙස්ය. කුකුළු කුඩු සේ වුවත් මේවාට විදුලි බලය ලැබී තිබුණි. ඇතැම් ගෙයක දොර වසා තිබූ නමුත් ඇතැම් ඒවා තුළ රූපවාහිනී ක්‍රියාත්මක කර තිබුණි. තව සමහරක හෝම්තියටර් හඬ පතුරුවයි. මේ සියල්ල මැද නිවෙස් පේළිය අතර කුඩා ඉඩක කාන්තාවන් දෙතුන් දෙනෙකු රොයිටර් පුවත් සජීවී විකාශයක යෙදෙන සේය. මගේ මිතුරා හඳුනාගත් ඔවුන් හා මල්ලි යැයි පැවසුවේ ආගන්තුක මා දෙසට ද රබර් ඇහැ යොමු කරවමිනි.   


පටු මාවත ​කෙළවර පොදු වැසිකිළියකි. එතැන බොහෝ කලබලකාරී වී තිබිණි. වැසිකිළි අසලට වන්නට තුන් පැත්තකින් වට කර ඇති ස්ථානයේ වතුර මල අසල තඩි ගැහැනියක ඇඳ සිටි ඇඳුම් උනා දිය රෙද්දට මාරු වන්නේ වටපිටාව ගැන මඳකුදු සැලකිල්ලක් නොදක්වමිනි. මගේ දෑස් ද ක්ෂණයකින් එතැනට ගොස් ආපසු ආවේය. කුණු වතුර දෝරේ ගලමින් තිබු කාණුව අසල නතර වූ මගේ මිත්‍රයා මා දෙසට හැරුණේය. මචං මම කිව්ව මතකනේ මෙතැන කාටවත් දැනගන්න පුළුවන් විදියට ලියන්න තහනම්. එහෙම ලීක් වුණොත් අපි දෙන්නගෙම කඳ ඔළු ගෙඩි දෙතැනක තියේවි ඊළඟ දවසෙ.   
මම බොහොම අමාරුවෙන් තමයි බොස්ගෙන් අවසරය ගත්තේ. බොසාට මාව විශ්වාසයි. උඹ ඒ විශ්වාසය නැති කරන විදියට වැඩ සිද්ද කරන්න එපා. උඹ කතා කරන්න ඕන මම කියන අය එක්ක විතරයි. අනික් කාරණේ. මොනම හේතුවකටවත් තනියම කොහාටවත් යන්න බැහැ. උඹ කොතන ද එතන මමත් ඉන්නවා. හරිනේ. මෙච්චර දේවල් කිව්වෙ මම උඹ ගැන හොඳට දන්න නිසා. අනික උඹ පත්තරකාරයෙක් නිසා. සති අන්තෙදි අඹුදරුවො බලන්න ගෙදර යන්න ඕන නම් මේ කිව විදියටම වැඩ කරපන්. මම හිස වනා එකඟත්වය පළ කළෙමි. මගේ දකුණු උරහිසට තට්ටුවක් දැමූ මිතුරා ඉදිරියට ගමන් කළේය.   
හාස්කමකි. ඉන් ඔබ්බෙන් වූයේ එළිමහන් බිමකි. කලබලයක සේයාවකදු එතැන නැත. නේක වර්ණ විදුලි එළිවලින් නැහැවී ගොස් තිබූ ඒ බිමේ ඉහළ සිට පහළටම චීන ලයිට් වැල් වලින් සැරසී තිබෙන ධවල වර්ණ ගොඩනැගිල්ලක ඉදිරිපස වවා ඇති මල් ගොමුවලින් එන සුගන්ධය විනා අප පසු කරගෙන ආ කුණු කානු ගඳ මේ පළාතක නැත. අප පටුමඟ ඔස්සේ පැමිණ සිටියත් අනෙක් පසින් කාපට් කරන ලද මාවතක් ඒ බිමේ සිට ප්‍රධාන පාර දක්වා විහිදී තිබිණි. දැවැන්ත යකඩ ගේට්ටුව දෙපස ධවල වර්ණයෙන්ම සැරසී ගත් මුර දේවතාවෝය. ඔවුන් මගේ මිතුරාව හොඳින්ම දන්නා බව අඟවන නමුදු මා හට රබර් ඇස්ය. බොස් කිව්වේ මෙයා ගැන තමයි. අපට යන්න අවසර ද? මිතුරා ප්‍රධානියා වෙතට ප්‍රශ්නය යොමු කළේය. ඕ.කේ. යන්න ඊළඟ නිමේෂයේදී ඒ දැවැන්ත ද්වාරය විවෘතව සැනෙකින් නැවත වැසී ගියේය.   
බලන පෙනෙන හැම තැනම දෙව් ලොවක සිරි මතුවිය. රතු පළස් එළන ලද මාවතේ කෙළවර තවත් ද්වාරයකි. එතැන ද ආරක්ෂාව පෙර ලෙසමය. කිසිදු විමසීමකින් තොරව ඇතුළට යාමට අවසරය ලැබුණේ ප්‍රධාන දොරටුවෙන් අප පිළිබඳව දැනුම් දී තිබූ නිසා වන්නට ඇත. ඉන් ඔබ්බෙහි ද රතු පලස් ඇතිරූ මාවතකි. කිසිදු හැලහොල්මනක් නැත. නාසයට නුපුරුදු අමුතු සුවඳකින් වට පිටාව උතුරා ගොසිනි. මොකෝ මේ බය බිරාන්ත වෙලා වගේ. මිතුරා මගේ දකුණතින් අල්ලාගෙන ඔලොක්කුවට මෙන් ආසයි. තවත් මඳ දුරක් පැමිණි පසු වීදුරු ද්වාරයකි. අප ළඟා වන විටම එය ලතාවකට දෙපසට ඇඳී ගොස් නතර විය. එතැනට අරක්ගෙන සිටියේ කෙටි අැඳුම්වලින් සැරසුණු සුරූපිනියන් කීප දෙනෙකි. අනුරාගය උතුරන දෑස්වලින් අප දෙදෙනා සමීපයට පැමිණි ඔවුන් හායි කියමින් දෑස් දල්වා බලා සිටියහ. අද බැහැ මගේ මිතුරා මාවත් ඇදගෙන එහා දොරටුවෙන් ඇතුළු විය. මම පසු පස බැලුවෙමි මෙන්න මෙහෙ වරෙන් මිතුරාගේ හඬ විධානයක් බඳුය.   


එය නන් වර්ණයෙන් එළිය කරන ලද විශාල ශාලාවකි. සිය දහස් ගණන් ගැහැනු පිරිමි ඒ තුළ සිටියහ. පිරිසක් මේස වටා ඉඳගෙන කති. බොති. රිදී හැඳි ගෑරුප්පු ගැටෙන ශබ්දය ශාලාව හරහා ගලා යන බටහිර සංගීතයට බාධාවක් මෙනි. එක් පසෙක ඇති බීම කවුන්ටරය අසල ද රොද බැඳ ගත් පිරිසකි. අනෙක් කෙළවරේ සංගීත කණ්ඩායම වයන තාලයට ජෝඩු ජෝඩු ද තනිවම ද ඩාන්ස් කරන පිරිසයි. සංගීත නාදය හා සමග හරි හරියට රසමසවුළු සුවඳ දෙනාස් පුඩු පුරවයි. මධුවිත සුරතින් ගත් තරුණන් හුරු බුහුටි කෙල්ලන් තැන තැන පාව යන්නේ දෙව්ලොවින් බට දෙව්ලියන් මෙනි.   
ආහාර හා බීම වර්ග පුරවා ගත් තැටි අතින් ගත් තරුණ කෙල්ලන් ඒ අතරින් ඔබ මොබ යන්නේ වලාකුළු අතර පාවී යන්නාක් මෙනි. මේ සුරූපිනියන් සැරසී සිටින්නේ අමුතුම ආකාරයකිනි. කළු පැහැ උඩු ඇඳුම පිරුණු ලැමහස පමණක් යන්තමින් වසා සිටින නමුත් රණ තිසරුන් කිටි කිටියේ ඒ අතරම සිරව සිටින්නේ කොයි වෙලේ එළියට පනින්නේ දැයි මෙනි. යටිකය සැරසෙන්නේ දණහිසටත් වියත් දෙකක් පමණ දෙකකුල් නිරාවරණය කෙරෙන සාය කෙටියකිනි. එවා ඇඟටම ඇලුණු සේ ය. ගුවනේ පාවී යද්දි අසල සිටින තරුණයෙකු ඇයගේ බඳවටා අත යවමින් තැටියේ රැඳි මධුවිතක් සුරතට ගනී. ඇය සාර සුබාවම ඔහුගේ උණුසුමෙන් මිදී නැවත පාවී යයි. ඇත්තටම සුරපුරයකි. අඩුවකට තිබෙන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා එළියක පහළියක නැතිකම පමණි.   
සුරපුරය අතුරින් ඉදිරියටම ගිය අප තවත් දොරකින් තවත් ශාලාවකට ඇතුළු වීමු. එය පෙර සුරපුරයට වඩා මඳක් වෙනස්ය. විදුලි එළියෙන් ඒකාලෝක නොවූ අඳුරු අහුමුලු ද වේ. මේ අඳුර අස්සේ සෙලවෙන දඟලන අඳුරු කුට්ටි ද විය. එක් පසෙක විදුලියෙන් නැහැවුණු විශාල මේසයක් වටා හිටගෙන සිටින සෙනඟ කන්දරාවකි. සම්පූර්ණ යුරෝපීය ඇඳුම්වලින් සැරසී හිඳින මොවුන් වැඩි දෙනෙකු අත මධුවිත බඳුන්ය. ඔවුන් සිනා සිසී ඔට්ටුවට කැසිනෝ ක්‍රීඩාවේ නිරත වෙති. හිටිහැටියේ අප අතරට පනින කළු ඇඳුමෙන් සැරසුණු හැඩි දැඩියෙකි. ආ මේ සර්නේ. ඕ.කේ.ඕ.කේ. බාධක අහවරය. මෙතැන ද මධුවිත දෝරෙ ගලමින් තිබේ. ක්‍රීඩාවේ නිරතවූවන්ගේ සුරූපිනියන් එල්ලී සිටින්නේ කූඩැල්ලන් මෙනි. කැසිනෝ පමණක් නොව තවත් ක්‍රීඩා රැසක් ද එහි විය.   
එ් විශාල ශාලාවේ එක් කෙළවරක තිබූ මේසයක් වෙත මගේ මිතුරා ගියේ මගේ අත අත නොහැරමය. ඩී.ජේ. සංගීතය දෙකන් පසාරු කරද්දි වට පිට බැලූ මිත්‍රයා අසුරුසන් කළේය. ඇසිල්ලකින් සුරූපිනියක් අපේ මේසය ළඟට විත් මිතුරාට අඩවන් නෙත් බැල්මකින් සංග්‍රහ කර නිකමට මෙන් මා දෙස ද බැලුවේ මම මෙතැනට හිඟන්නෙකු බව ඉවෙන් දැනගත් නිසා වන්නට ඇත. මිතුරා අපට ඇවැසි දේ ඇනවුම් කළේය. මඳ වේලාවකින් සියලු අඩුවැඩිය මේසය මතය. මධුවිතක් පුරවා ගත් ඔහු මට ද ගන්නා ලෙසට අතින් සන් කළේය.   
ඔන්න මචං මම උඹට වුණු පොරොන්දුව ඉෂ්ඨ කළා. දැන් වගකීම උඹේ අතේ. හැබැයි මෙතන කිසිම නීති විරෝධී දෙයක් කෙරෙන්නේ නෑ. මේක රජයට බදු ගෙවන අවසර සහිත තැනක්. අයිතිකාරය මගේ හොඳ හිතවතා. එයා ඉන්නේ එංගලන්තෙ. මම ජෙම් බිස්නස් කරන කොට කැනඩාවට එංගලන්තයට යනව එනවනේ. බිස්නස් එකකදි තමයි මිනිහ මට සෙට් වුණේ. මේක පාලනය කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයකින්. ඒත් මෙතන කෙරෙන හැම දෙයක්ම සැටලයිට් ටෙක්නොලජි එකෙන් එයා මොනිටර් කරනවා. උඹව මෙතනට අරගෙන එන්නත් මම අවසර ගත්තේ මෑන්ගෙන් මෙහෙ ලොක්කන්ට එයා මාව රෙකමන්ඩ් කරලයි තියෙන්නේ.   
මිතුරා පවසන ආකාරයට මෙම සමාජ ශාලාවට ඇතුළුවීමට අතමිට යහමින් මුදල් ගැවසිය යුතුය. අවම ලංසුව රු. ලක්ෂ 2 1/2 කි. ඇතුළුවීමේදී එම මුදල ආරක්ෂක අංශයට පෙන්විය යුතුය. ඉන්පසුව සුරූපිනියක් තෝරා ගත හැකිය. ඇතුලේදී කෑම, බීම මධුවිත මේ ආදි සෑම වියදමක්ම සුරූපිනියටත් සමගම වියදම් කළ යුතුය. බාරකාරයෙකු බව දැනුණු පසු සුරූපිනිය ඉල්ලන්නේ ඉස්තරම් වර්ගයේ මධුවිතය. දුම්වැටිය ගමේ නගරයේ වයින් හවුස්වල තිබෙන ගල් පොල් පරණ ඒවා මෙහි නැත. විස්කි වඩියක් මෙහි රු. 5000/- කි. නගරයේ ක්‍රීම් හවුසියේ රු. 50/- ට අලෙවි කෙරෙන ස්ප්‍රයිට් බෝතලය මෙහි රු. 1000/- කි. බෝතල් කරන ලද පානීය මිලි ලීටර් 500 කුඩා ජල බෝතලයක් රු. 500/- කි. මධුවිත සමග රූමතිය ද තුරුළු කරගෙන කැසිනෝ ක්‍රීඩා කළ හැක.   
මේ සුරූපිනියෝ ආයතනය මගින් ගනුදෙනුකරුවාට ලබාදෙන ඇමකි. මෙතැන ඇයගේ රැකියාව වනුයේ තාවකාලික පෙම්වතා ලවා වැඩි වැඩියෙන් වියදම් කරවීමයි. සුරාවෙන් මත් වී ළඳකගේ උණුසුමෙන් මන්මත් වන ධන කුවේරයෝ වයස් භේදයකින් තොරව අන්තිම සතය දක්වා මෙතනට පූජා කර සරාගිනියට ද අත පිරෙන්නට ටිප් එකක් ද දී අලුයම් හෝරාවේ තම තමන්ගේ රථවලට නැග ඉගිලයන්නේ නිකම්ම නිකං අපතයන් විලසිනි. මේ ලෙසට තරුණ පහේ අය පමණක් නොව නාකි පප්පන්ව ද සිය දැලේ අමුණා ගැනීමට මේ සුරූපිනියන්ට ඇත්තේ අපූරු දක්ෂතාවකි.   


සමාජ ශාලාව තුළදී මොන රාජකාරියක් කළත් ඒ කරන කියන දෑ ගානකට කර ගැනීමට තරම් මොවුන් සටකපටය. එසේම මේ රාජකාරි නිමවා මේ අය පාරට බසින්නේ සාමාන්‍ය ඇඳුම් පැළඳුම්වලට මාරුවීගෙනය. සේවය නිමා කළ පසු මේ සුරූපිනියන්ව නිවෙස්වලට හෝ බෝඩිං කාමර කරා යාමට ආයතනය මගින් ප්‍රවාහන පහසුකම් සපයා ඇත. මේ බොහෝ තරුණියන් කොළඹ ඊනියා සුරපුරයට පැමිණ වැඩ වරද්දාගත් අය ය. එක්කෝ ගමෙන් ඇඟළුම් කර්මාන්ත ශාලා හරහා කොළඹට පය ගසා සලෙලුන්ට පෙම් බැඳ අසරණ වී සම්බාහන ආයතනවලටත් එතැනින් දැන හඳුනා ගත් ධනවතුන් අතින් මෙතැනට පැමිණි තැනැත්තියන්ය. එසේ නොමැති නම් ඈත ඈත ගම්දනව්වල දුප්පත් අසරණ පවුල් සොයාගෙන ගොස් නිවෙස්වල සිටින රැකියා විරහිත හිරිමල් ගැටිස්සියන්ට මව්පියන් ඉදිරිපිට දීම මිහිබට සුරපුර කොළඹ බව පෙන්වා කතාවෙන් සිත් වශී කරවන තැරැව්කරුවන් විසින් ගෙනැවිත් භාර දී ගානක් කපා ගත් අය ය. නොඑසේ නම් රට රැකියා සිහිනය අතේ දුරින් සැබෑ කර ගත හැකි බවට හතර වරං කතා කියා කොළඹට රැගෙන විත් අතරමං කර දමන නව යෞවනියෝ මේ කොයි ආකාරයෙන් පැමිණයත් වළට වැටුණු එකා වල කටින්ම ගොඩ ආ යුතු නිසා මෙවැනි රැකියාවල නියුතුව හිඳින ගමට ගෙදරට නම් මොවුහු කොළඹ කන්තෝරුවල උසස් රැකියාවල නිරත වන්නෝය. ඕකුන් එක රෑකට රු. 50000/- හොයනවා. සල්ලිකාරයන්ගෙන් හම්බවෙන්නේ ලොකු ටිප් එකක්. උන් අරගෙන එන හැම සතයක්ම ක්ලබ් එකට දිය කරන්න උදව් කරන නිසා ආයතනයටත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතේ මුදල් අඩුපාඩු හිඟන්නෙක් බව දැනගත්ත ගමන් මුන් එතැනින් ලිස්සලා යනවා. ගල් ආඳෝ වගේ. ඒ අතින් මුන් අතිදක්ෂයි.   


මගේ මිතුරා මේ සුරූපිනියන්ගේ පැටිකිරිය සහසුද්දයෙන් දිග හරිමින් සිටි. මේ අයගෙන් සමහරු රෑට මෙතන ජොබ් එක කරලා දවල් දවසෙ ස්පාවල රස්සාවට යනවා. ඔය තුට්ටු දෙකේ සම්බාහන ආයතනවල නම් නොවෙයි තරු පන්තියේ හෝටල්වල. ඒකෙනුත් හොඳ ගාණක් හම්බ කරනවා. එහෙම ලැබෙන සල්ලි ඉතුරු කර ගන්නේ එහෙමත් නැතිනම් යහපත් දේකට යොදවන්නේ එහෙමත්ම කෙල්ලෙක් විතරයි. අනික් උන් අැඳුම් රූපලාවණ්‍ය වගේ සෝබන දේවල්වලට නාස්ති කරනවා. සාමාන්‍ය ජීවිතයේදී මුංගේ බෝයි ප්‍රෙන්ඩ්ලටත් වියදම් කරන්නේ මේ කෙල්ලොම තමයි. සමහර කුඩ්ඩොත් මුං එක්ක ලාවට සෙට් වෙනවා. උං කුඩු ගහන්නෙත් මේ කෙල්ලන්ගෙ සල්ලිවලින්. මෙතනට එන සල්ලිකාරයො තමයි මුන්ට සලකන්නේ. එන එකා අඩුම තරමෙන් එළි වෙනකොට ලක්ෂ 10 ක් 15 ක් ඉවර කරනවා. මගේ විමතිය මිතුරා මුහුණෙන්ම දැනෙන්න ඇත. ඔව් යකෝ මුන් එක රෑකට වියදම් කරන මුදල උඹෙ මාස ගානක පඩිය තමයි. ඒකයි ඇත්ත.   


මමත් අද මේ විදියට සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන ආවේ උඹ එහෙම එන නිසයි. නැත්නම් ෆුල් සූට් තමයි. අනිත් එක ටයි කෝට් ඇඳගෙන උඹ එනකම් මහපාරේ ළඟා ගහන්න බැහැනේ. මුඩුක්කු ෂෝට් කට් එකෙන් උඹව එක්කරගෙන ආවට මෙතනට එන්න ප්‍රධාන පාරක් තියෙනවා. මම උඹව එක්ක එන්න ගියේ මගේ කා එක මෙහේ පාක් කරලා.   
මිතුරා කළ විස්තරයෙනුත් දෑසින් දුටු දේ හා දෙකනට ඇසුණු දේ දහසක් දේ එකට එකතු කළ විට අගනුවර කොන්ක්‍රීට් තලාවෙන් වැසීගිය සාමාන්‍ය ජනතාවට නොපෙනෙන ඔවුන්ට නොපෙනෙන ඔවුන්ව අහලකටවත් වැද්ද නොගන්නා එක්තරා අපූරු ​ලෝකයක් දැක ගතිමි. එහි සැරිසැරුවෙමි. මිතුරාගේ පිහිටෙන් ලොව ඉස්තරම්ම මධුවිතෙන් සප්පායම් වී ඉස්තරම්ම ආහාර වේලකින් කුස පුරවා ගතිමි. එහෙත් අපටද හොරෙන් ඔරලෝසුවේ කටු ඉගිලී ගොස් රෑ මැදියම දක්වමින් සිටී. යළි කිසි දිනෙකවත් ඇතුළුවීමට තබා පස් පා ගන්නට හෝ මා හට වරම් නොලැබෙන මිහිබට පුරපුරෙන් එළියට පැමිණ මිතුරාගේ රථයට ගොඩවීමි.   

 


සටහන හා ඡායාරූප   
තිලක් පුෂ්පකුමාර