ගුවන් යානය පල්ලමට ලෙස්සලා


කැරකෙන ලෝකේ

 

 

ගුවන් අනතුරු පිළිබඳ පුවත් අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. බොහෝ අනතුරු ඛේදවාචකයකින් අවසන් වුවද එවැනි ඛේදවාචකවලින් අනූනවයෙන් ගැලවුණු අවස්ථාද දැකිය හැකිය. ගුවන් තොටුපළට ගොඩබෑමේදී ගුවන් පථයෙන් ලිස්සා ගොස් කළු මුහුදට කඩා වැටෙන්නට ගිය ගුවන් යානයක් අනූනවයෙන් බේරුණු පුවතක් පසුගිය සතියේ තුර්කියෙන් වාර්තා විය.

මෙම අනතුරට මුහුණ පෑ ගුවන් යානය පෙගසස් ගුවන් සමාගමට අයත් බෝයිං 737-800 වර්ගයට අයත් වූවකි. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ එය මගීන් 162 දෙනකු හා ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනකු සමඟ තුර්කියේ ඇන්කාරා නුවර සිට ඊසානදිග තුර්කියේ ට‍්‍රබ්සොන් ගුවන් තොටුපළ වෙත පියාසර කළේය. රාත්‍රී 11.25ට පමණ යානය අනතුරට මුහුණ පාන ලද්දේ ට‍්‍රබ්සොන් ගුවන් තොටුපළට ගොඩ බෑමට යෑමේදීය.


ට‍්‍රබ්සොන් ගුවන් තොටුපළේ ධාවන පථය ඉදිකර ඇත්තේ කළු මුහුදට සමාන්තරවය. එදින ධාවන පථය අයිස්වලින් වැසී යාම නිසා යානය ධාවන පථයෙන් ලිස්සා යෑමෙන් නියමුවන්ට පාලනය කර ගැනීමට නොහැකි වූ අතර එය මුහුදත් ධාවන පථයත් අතර පිහිටි ප‍්‍රපාතයට ඇද වැටී තිබේ. ප‍්‍රපාතය මඩින් පිරුණක් වූ අතර අධික සීතල නිසා එම මඩ මිදී තිබිණි. වාසනාවකට මෙන් ලිස්සා ගිය යානයේ රෝද මඩෙහි එරී යාම නිසා එය මුහුදට වැටීමෙන් වැළකී ගියේය.


‘‘මෙය ප‍්‍රාතිහාර්යකින් සිදුවූ ගැලවීමක්. ගිනි නිවන හමුදාව සහ සහන සේවකයන් යානයේ සිටි මගීන් සියලු දෙනා ගලවා ගත්තා.’’ යැයි ට‍්‍රබ්සොන්හි ආණ්ඩුකාර යුසෙල් යව්වුස් ප‍්‍රකාශ කර තිබේ. නියමු කුටියෙන් දුමක් නැඟුණු අතර ඉන්ධන ගඳක් වහනය වූ බවද, මගීන් මහත් කලබලයට පත් ව කෑ මොර දෙන්නට වූ බවද ගලවා ගන්නා ලද මගීන් ප‍්‍රකාශ කර තිබේ.


අනතුරින් මගීන් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිසිවකු හෝ දරුණු තුවාල ලබා නොමැති අතර සුළු තුවාල ලද පිරිසක් රෝහල් ගතකර තිබේ. පසුදින වනතෙක් ගුවන්තොටුපළ වසා දැමුණු අතර අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.