ගුරු ශනි යෝගයේ ඵළ විපාක


වෙන් වෙන් වශයෙන් ගත්කල ගුරු නොහොත් බ්‍රහස්පති ග්‍රහයා ජන්මියාට සෞභාග්‍යය ලබාදෙන සෞම්‍ය ගුණ ඇති යුක්තිය පසිඳන ශුභ ග්‍රහයෙකි. ශනි නොහොත් සෙනසුරු ග්‍රහයා ගැන බලනවිට හැම දෙයක්ම හකුළුවන, වේළවන දුකට අධිපති ග්‍රහයෙකි.  

ගුරුට ධනු හා මීන රාශි ද ශනිට මකර හා කුම්භ රාශි ද අයත්වෙයි. ඒ අනුව රාශි දොළහෙන් හතරක්ම එනම් කේන්දරයක තුනෙන් පංගුවක්ම මෙම ග්‍රහයන් දෙදෙනා නියෝජනය කරයි. එමෙන්ම ගුරු ධනු මීන රාශි දෙකේ ද ශනි මකර කුම්භ රාශි දෙකේ ද අයිතිය දැරීමෙන් ශනි ගුරුට මැදිවීමෙන් සුවිශේෂ පිහිටීමක් සිදුවී ඇති නිසා ගුරු හා ශනි යෝගවීමේ දී ද ශනිගේ අනිටු අශුභඵල මකා දමා හිතකර ශුභඵල ජන්මියාට ලබාදීමට හේතුවීමට ඉඩ තිබේ. ගුරුගේ යෝගවීම මෙන්ම ගුරුගේ දෘෂ්ටිය ද ශනිගේ අශුභඵල දුෂ්ටගති මගහැරවීමට හේතු විය හැකිය.  


ගුරු ශනිගේ මකර රාශියේ දී නීචවීමෙන් දුබල තත්ත්වයකට පත්වූවත් ගුරුගේ සෞම්‍ය ගතිවලට ඉන් හානියක් ඇති නොවේ. මෙහිදී අප මතක තබා ගතයුතු කරුණක් නම් මෙම යෝගවීම අංශක 25 කට දුරින් යෙදී ඇත්නම් යෝගයේ ඵල නියමාකාරයෙන් නොලැබිය හැකි බවය.  


පොදුවේ සැලකීමේ දී මෙම යෝගය ද්වී ග්‍රහයෝග අතරින් ඉතා වැදගත් බලවත් වාසනාවන්ත එකකි. මෙම යෝගයේ බලයෙන් පෙර පිනින් ලැබෙන වස්තුවට හිමිකම් ඇතිවිය හැකිය. සමහරවිට ලොතරැයි දිනුම් ලැබීම ගේදොර ඉඩකඩම් වතුපිටි හිමිවීමේ භාග්‍යය ඇතිවිය හැකිය.  


ගුරු-ශනි යෝගය පළමුවැන්න නොහොත් ලග්නයේ යෙදුනවිට ජන්මියා ක්‍රියාශීලීවේ. වීර්යය අධික වේ. ගුරු ශනි ලග්නයේ සිටිනවිට හත් වන දෘෂ්ටියෙන් විවාහක ස්ථානය දැකීමෙන් ජන්මියාගේ විවාහය ප්‍රමාද විය හැකි නමුත් යහපත් හොඳ විවාහයක් ලැබිය හැකිය.  


මෙම යෝගය දෙවැන්නේ යෙදුනවිට උපන් පළාතට වඩා පිට පළාතක ජීවත්වීමෙන් ධනය පහසුවෙන් උපයා සපයාගෙන ප්‍රසිද්ධියක් ඇති වෙයි. ගරු සැලකුම් ලබයි. බොහෝවිට හොඳ හික්මීමකින් යුක්ත වේ.  
ගුරු ශනි තුන්වැන්නේ යෙදුණවිට කැපී පෙනෙන ගතිය වැඩි වේ. අයුක්තිය අසාධාරණය පිටුදකින එඩිතර නිර්භීත ගති ඇති වෙයි.  


මෙම යෝගය සිව්වැන්නේ යෙදුනවිට ඥාතීන් අතර උසස් තැනක් හිමි වෙයි. දුකේ දී කාටත් පිහිටවෙයි. යාන වාහන ඉඩකඩම් හිමිකම් ලබයි.  


ගුරු-ශනි යෝගය පස්වැන්නේ යෙදීමෙන් සමහරවිට අධ්‍යාපන කටයුතුවලට බාධක යෙදෙන්නට ඉඩ තිබේ. අන්සතු ධනයෙන් ප්‍රයෝජන ලැබීමේ භාග්‍යය ඇති වේ. දූ දරුවන්ට යහමග පෙන්වන කෙනෙකි.  


ගුරු-ශනි යෝගය සයවැන්නේ යෙදුන විට සතුරු බලය මැඩපැවැත්වීමට සමත් වෙයි. අනුන්ට උදව් උපකාර කිරීමට කැමතිය. ගුප්ත කටයුතුවලට සමත් වෙයි.  


සත්වැන්නේ මෙම යෝගය යෙදුනවිට වෙළඳ ව්‍යාපාර කටයුතුවල යෙදීමෙන් දියුණුවක් ලබයි. ස්ත්‍රියක් නම් පුරුෂයාට ද පුරුෂයෙක් නම් ස්ත්‍රියට ද අවනතව හිතවත්වෙයි. විවාහයෙන් පසු දියුණුවට පත්වෙයි.  


ගුරු-ශනි යෝගය අටවැන්නේ යෙදුනවිට පොළොවෙන් ධනය ලැබීමට වාසනාව ඇති වේ. බොහෝවිට මැණික් කර්මාන්තයේ යෙදීමෙන් ශුභඵල ගෙනදෙයි. හදිසි ධනලාභ ලොතරැයි දිනුම් වැනි දේ ලැබීමට භාග්‍යය ඇති වේ.  


නවවැන්නේ මෙම යෝගය යෙදුනවිට පෙර කළ පිං ඇති කෙනෙකි. දැහැමි වේ. උගත් වේ. බොහෝ විට ලෝකෝත්තර පැත්තට සිත යන අතර සමහරවිට පැවිදි ජීවිතයක් ලැබීමට වාසනාවන්ත විය හැකිය.  
දසවැන්නේ ගුරු-ශනි යෝගය යෙදුන විට ධනවත් විය හැකිය. කලට වෙලාවට ක්‍රමානුකූලව කටයුතු කොට සැලසුමකට අනුව ජීවත්වීමට හැඩගැසෙයි. තරමක ලෝභකමක් ද බලපෑ හැකියි.  


ගුරු-ශනි යෝගය එකොළොස්වැන්නේ යෙදුන විට ව්‍යාපාරික කටයුතුවලින් දියුණුවක් ලබයි. සුළුවෙන් අරඹන ව්‍යාපාර කෙටි කලකින් දියුණු වී උසස් තත්ත්වයකට පත් වෙයි. පරිත්‍යාගශීලී වෙයි. ධනපති මෙන්ම දානපතියෙක් ද විය හැකිය.  


මෙම ගුරු-ශනි යෝගය දොළොස්වැන්නේ යෙදුණවිට නව සොයාගැනීම්වල උනන්දු වෙයි. විදේශ ගමන් බිමන් යෙදීමට ඉඩ තිබේ.  

 

 

 

 


ජ්‍යොතිෂ ශාස්ත්‍රශූරී 
ඩී.බී. වීරතුංග  
ශ්‍රී සම්පත් ජ්‍යොතිෂ කාර්යාලය,
304, දේවාල පාර, බටකැත්තර,
පිළියන්දල