ගුරු මාරුව ඔ​ෙබි ලග්නයට බලපාන හැටි


සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා 2017 සැප්තැම්බර් මස 12 වන දින මෙතෙක් ගමන් කළ කන්‍යා රාශියෙන් සිකුරු හිමි තුලා රාශියට මාරුවීමට නියමිතය මෙම ග්‍රහයා එක් රාශියක වසරක පමණ කාලයක් ගමන් කරන අතර තුලා රාශියට ඇතුළු වන්නේ වසර දොළහකට පසුවය. සුරගුරු ග්‍රහයා 2017 සැප්තැම්බර් මස 12 වන දින සිට 2018 ඔක්තෝම්බර් 10 වන දින දක්වා මෙම රාශියේ සිය අනසක පතුරවමින් සිටී. 2018 මාර්තු මස 09 වන දින සිට 2018 ජූලි 10 දක්වා ගුරු ග්‍රහයා වක්‍රවේ.  

ප්‍රඥ‌ාවට, ආගමට දහමට, නීතියට අධිපති ගුරු ග්‍රහයා සුරගුරු, බ්‍රහස්පති, මන්ත්‍රී යන නම්වලින් හැඳින්වෙන අතර ධනු හා මීන ලග්නවලට අධිපති වේ. විසා. පුවපුටුප, පුනාවස නැකත් අයත් වේ. ගුරු දශාව වසර 16 කි. කටක රාශියේ ගුරු උච්ච වන අතර ධනු හා මීන රාශිවල ස්වකේෂත්‍ර වන අතර මකර රාශියේ නීච වෙයි. සිල්වත් උගත් ස්වාමින් වහන්සේලා, පූජ්‍ය පක්ෂය, බුද්ධිමතුන්, ගුරුවරු, විද්‍යාඥයන්, වෛද්‍යවරු, මහාචාර්යවරු, ශිෂ්‍යයන් ගුරුගෙන් නියෝජනය වෙයි. ඡන්ම පත්‍රයක ගුරු බලවත් වීමෙන් යහපත් ගුණධර්මවලින් යුක්ත වූ පුද්ගලයකු බිහිවේ. ප්‍රඥාවන්තයකු වීම හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුක්ත වීම, ප්‍රියමනාප පෙනුම, උසස් ඉගෙනීම ලබා දෙයි. ගුරු ග්‍රහයා අසුබව යම් ඡන්ම පත්‍රයක පිහිටි විට අහංකාර, කෙලෙහිගුණ නොදත්, ධනය විනාශ කරන, බුද්ධිය හීන හා ලේ විෂවීම්, අක්මා රෝග, සෙන්ගමාලය, දියවැඩියාව යන රෝගවලට හිමිකම් ඇතිවේ.

 
ගුරු අපලය ඇතිවත්තේ ගුරු නියෝජනය කරන අයට කරන අකටයුතුකම් හේතුවෙනි, ගුරු​ෙග් අපලය ඇති අය බුද්ධ පූජා බෝධි පූජා තබන විට බ්‍රහස්පතින්ද‌ා දිනය ගුරු හෝරාවෙන් කහ මල් කහ කොඩි පූජා කිරීමට සුදුසු වේ. අලුත් නුවර දෙවියන්ට බාරහාර වීම සුදුසු වේ. අටවිසි පිරිත, භාවිත කරන්න. නවගුණ අභිසම්භිදාන යන්ත්‍ර පැළඳවීමද සුදුසු වේ. බෝධි රෝපණය විශේෂ පිංකමකි. පැවිදි උතුමන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට ගෞරව කරන්න, තවද සීනි හකුරු ආදී සීනි කෑම හා තෙල් ආහාර අගුණ වේ.  


උද‌ාවන ග්‍රහ මාරුව පොදුවේ ලග්නවලට සුබාසුබ කෙසේද කියා බලමු.  


මේෂ - ගුරු හත්වැන්නට මාරු වීම සුබ ඵලදායකයි. පසුගිය වසරට වඩා සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. ගෘහ ජීවිතය තුළ සමගිය ඇතිවේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ආද‌ායම් සතුටුද‌ායක වේ. අසල්වාසීන් අතර සුහදතාව වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝග උද‌ා වේ.  


වෘෂභ - ගුරු හයවැන්නට මාරු වීම එතරම් සුබද‌ායක නොවේ. රැකියා ස්ථානයේ සේවක ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැක. ලැබෙන ලාබය වියදම් වීමට කරුණු යෙදේ. ගෘහ ජීවිතය ගැන සැලකිලිමත් වන්න. සතුරු කරදර ඇතිවේ. දරුවන් ගැන සැලකිළිමත් වන්න. කොලෙස්ටරෝල් හා දියවැඩියාව වැනි රෝග ඇති අය ප්‍රවේසම් වන්න. සෙනසුරු අපලයක් අැති බව අමතක නොකරන්න. අද‌ාළ ශාන්තිකර්ම කරගන්න.  


මිථුන - ගුරු පස් වැන්නට මාරු වීම සුබ ද‌ායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආයෝජන කටයුතුවලින් ලාභ ලැබේ. ලොතරැයි දිනුම් වැනි හදිසි ධන ලාභ ලැබේ. රැකීරක්ෂා හා වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ආගම දහමට නැඹුරු වන අතර වන්දනා ගමන් යෙදේ. අවිවාහක අයට මංගල යෝග උද‌ා වේ. දරුවන් අපේක්ෂිත අයට දරු ලාභ ලැබේ. සෞඛ්‍යය යහපත් වේ.   


කටක - ගුරු හතරවැන්නට මාරුවීම තරමක් සුබ ද‌ායක වේ. ගුරුට භාග්‍යස්ථානය හිමි වීම නිසා පෙරපින් මතු කරයි. කෘෂිකාර්මික කටයුතු සාර්ථක වේ. පදිංචිය පිළිබඳ ගැටලු ඇතිවිය හැකියි. අ‌ාද‌ායම් අඩුවන අතර ණය වීමට සිදු වේ. කොලෙස්ටරෝල් හා හෘදයබාධ ඇති අය ප්‍රවේශම් වන්න.  


සිංහ - ගුරු තුන්වැන්නට මාරු වීම එතරම් සුබ නොවේ. තනතුරුවල උසස් වීම්වලට බාධා ඇති වේ. අසල්වාසීන් සමඟ ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන්න. ලියකියවිලිවලට අත්සන් තැබීමේදී කල්පනාකාරී වන්න. අවිවාහක අයට මංගල යෝග උද‌ා වේ. පවුලේ දියුණුව ඇති වේ. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.  


කන්‍යා - ගුරු ධනස්ථානය වන දෙවැන්නාට මාරුවීම සුබ​ වේ. තැන්පත් ධනය වර්ධනය කරගැනීමට හැකිවේ. පසුගිය වසරේ කරන ලද තම​ාගේ රැකියා කටයුතුවලින් හා ව්‍යාපාර කටයුතුවලින් ප්‍රයෝජන ලැබේ. ගේ දොර ඉඩකඩම් හා වාහනවලින් සහ බිරිඳ හෝ සැමියාගෙන් ධනය ලැබෙන කාලයකි. කථාව නිසා අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී වාසිද‌ායක වේ. අවිවාහක අයට මංගල යෝග උද‌ාවේ. සෞඛ්‍යය තත්ත්වය යහපත් වේ.  


තුලා - මෙතෙක් තුලා ලග්නයේ දොළොස්වැන්නේ ගමන් කළ ගුරු ග්‍රහයා ලග්නයට පැමිණීම පසුගිය වසරට වඩා සුබ ඵල ලැබේ. දරුවන්ට සුබ ඵල ඇති වේ. පවුල් ජීවිතවල සමගිය ඇති වේ. ආගම දහමට නැඹුරු වන අතර වන්දනා ගමන් යෙදේ. සතුරු කරදරවලින් ප්‍රවේශම් වන්න. අවිවාහක අයට මංගල යෝග උද‌ා වේ. අසල්වාසීන් අතර සුහදතාවය ඇති වේ. සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න.  


වෘශ්චික - ගුරු ​දොළොස් වැන්නට මාරු වීම එතරම් සුබ නොවේ. දරුවන්ගේ කටයුතු නිසා පවුල් ජීවිතයේ කටයුතු සඳහා තැන්පත් ධනය වැය වේ. නිතර නිවසින් පිටතට යෑමට සිදුවන නිසා බිරිඳ හෝ සැමියාගෙන් වෙන්වී සිටීමට සිදුවේ. විදේශ ගමන් යෙදේ. සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න.   


ධනු - සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට ගුරු මාරුවීම සුබ වේ. නව රැකියා ලාභ හිමි වන අතර ආද‌ායම් තත්ත්වය යහපත් වේ. අලුත් මිතුරන් ඇති වේ. වැඩිමහල් සහෝදරයන්ට සුබද‌ායක වේ. ගේ දොර ඉඩකඩම් හා යාන වාහන හිමිවේ. අවිවාහක අයට මංගල යෝග උද‌ා වේ. අධ්‍යාපන කටයුතුවලට සුබ වේ. චිත්ත ධෛර්යය ඇති වේ. සෙනසුරු අපලයක් ඇති බව අමතක නොකරන්න. ආගමානුකුලව ජීවත් වන්න.  


මකර - ගුරු දහවැන්නේ ගමන් කිරීම තරමක් යහපත් වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබේ. ගෞරව ප්‍රශංසාව ලැබේ. ඉහළ තනතුරු ලැබේ. නිවාස ඉඩකඩම් දියුණුව ඇති වේ. සතුරු කරදර ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න.  


කුම්භ - ගුරු නම වැන්නේ ගමන් කිරීම සුබද‌ායක වේ. මෙතෙක් අටවැන්නේ ගමන් කළ ගුරු සෞඛ්‍ය ගැටලු හා චිත්ත පීඩා ඇති කළ අතර ඉදිරි වසර සුබ වේ. ආද‌ායම් තත්ත්වය යහපත් වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබවේ. දරු ලාභ ලැබේ. බුද්ධිමතුන්ගේ ඇසුර ලැබේ. ආගම දහමට සිත යොමුවේ. වන්දනා ගමන් යෙදේ. සෞඛ්‍යය යහපත් වේ.  


මීන - ගුරු අටවැන්නේ ගමන් කිරීම තරමක් අපලද‌ායක බව පෙනේ. රැකියාවේ ගැටලු ඇති වේ. තැන්පත් ධනය වියදම් වීමට කරුණු යෙදීමට පුළුවන. දෙමව්පියන් ගැන සැලකිලිමත් වන්න. තනි තීරණ ගැනීමෙන් වළකින්න. දරුවන්ට එතරම් සුබ නොවේ. නිවාස කටයුතුවලට බාධා පැමිණේ. ශරීර සෞඛ්‍යය ගැන ඉතාමත් සැලකිලිමත් වන්න. ඉවසීමෙන් ආගමානුකූලව ජීවත් වන්න.  

 

 


ජ්‍යොතිෂවේදිනී
අජන්තා ඒකනායක  
121, වෑතලාව පාර, මාංගොඩ, මැදමහනුවර