ගුරු ග්‍රහයා ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද ?


ගුරු හෙවත් බ්‍රහස්පති කේන්ද්‍රයක ඉතා ශුභපල ලබාදෙන ප්‍රධානතම ග්‍රහයා වශයෙන් හැඳින්විය හැකිය. පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත් බොහෝ අංශ කෙරෙහි ගුරු ග්‍රහයාගේ බලපෑම ඇති කෙරේ. විශේෂයෙන්ම ගුරු ග්‍රහයාගෙන් නියෝජනය වන උසස් ඉගෙනීම, බුද්ධිය, යානවාහන, ගේදොර, ඉඩකඩම්, ගුණගරුක බව, දරුඵල, යහපත් විවාහය, ආගම ධර්මය කෙරෙහි ඇති නැඹුරුව, සැප සම්පත් විඳීම, ප්‍ර‌ීතිමත් ජීවිතයක් ගත කිරීම යන කරුණු සඳහන් කළ හැකිය. ගුරු ග්‍රහයා කේන්ද්‍රයක තැන්පත්ව ඇති ආකාරය අනුව ශුභපල හෝ අශූභපල ලබාදීම සිදුවිය හැකිය. ගුරු ග්‍රහයා කේන්ද්‍රයක එක් එක් ස්ථානවලදී ලබාදිය හැකි ශුභ හෝ අශුභපල පිළිබඳව විග්‍රහයක් පාඨකයන්ගේ දැනගැනීම පිණිස සඳහන් කිරීමට කැමැත්තෙමි.


ගුරු ග්‍රහයා කේන්ද්‍රයක ලග්නය හෙවත් පළවැන්නේ තැන්පත් වීම බලවත් පිහිටීමක් වශයෙන් හැඳින්විය හැකිය. ගුරු ග්‍රහයා ලග්නයට දිග්බල වන අතර ලග්නයේ තැන්පත් ගුරු ග්‍රහයාට පස්වැන්න, හත්වැන්න සහ නවවැන්න යන කේන්ද්‍රයක ඇති ඉතා බලවත්ම ස්ථාන දෘෂ්ටියට ලක්වන බැවින් කේන්ද්‍රයක ඇති බොහෝ දෝෂ භංග වන තත්ත්වයක් ඇතිවේ. ගුරු ලග්නයේ සිටීමෙන් කෝටියක් දෝෂ භංග වන බව ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේ එබැවිනි. විශේෂයෙන්ම ධනු ලග්නයට, කටක ලග්නයට සහ මීන ලග්නයට ගුරු ලග්නයේ තැන්පත් වීම ප්‍රබල පිහිටීමක් වශයෙන් හැඳින්විය හැකිය.


ගුරු ග්‍රහයා කේන්ද්‍රයක දෙවැන්නේ තැන්පත් වීමද ශුභ පිහිටීමක් වශයෙන් සඳහන් කළ හැකිය. ගුරු ග්‍රහයාට ධන කාරක අයිතියක්ද ඇති බැවින් දෙවැන්න ධනස්ථානය ද වන බැවින් ධනය ලැබීමට සහ දේපළ උරුමවීමට ගුරු දෙවැන්නේ තැන්පත් වීම ශුභ පිහිටීමක් වශයෙන් හැඳින්විය හැකිය. තවද දෙවැන්න කුටුම්භස්ථානය වන බැවින් ගුරු දෙවැන්නේ තැන්පත් වීම විවාහ ජීවිතයේ යහපත් පැවැත්ම, සතුට, සාමය, දියුණුව කෙරෙහි ශුභවාදී බලපෑම් ඇති කරන බවද සඳහන් කළ හැකිය.


තුන්වැන්නේ ගුරු ග්‍රහයා තැන්පත් වීම එතරම් ශුභ පිහිටීමක් වශයෙන් සඳහන් කළ නොහැකිය. තුන්වැන්නට ගුරු පල රහිත ග්‍රහයෙකු වශයෙන් හැඳින්විය හැකිය. එසේ වුවත් තුන්වැන්න ගුරුගේම රාශියක් වී හෝ ගුරු උච්චව තුන්වැන්නේ තැන්පත් වූ විට ශුභඵල ලබාදීමට දායක විය හැකිය. ගුරු තුන්වැන්නේ තැන්පත් වූ විට හත්වැන්න, නවවැන්න හා එකොළොස්වැන්න ගුරුගේ දෘෂ්ටියට ලක් වන බැවින් එම භාවයන් කෙරෙහි ශුභවාදී බලපෑම් ඇති කළ හැකිය.


හතරවැන්නේ ගරු ග්‍රහයා තැන්පත් වීම ඉතාම ශුභ පිහිටීමක් වශයෙන් සඳහන් කළ හැකිය. හතරවැන්​ෙනන් ගේදොර, යාන වාහන, ඉඩකඩම්, විවාහ ජීවිතයේ සතුට, ජීවිතයේ අවසාන කාලය නියෝජනය කරන බැවින් හතරවැන්නේ ගුරුගේ තැන්පත්වීම ජීවිතයට ඉතා ශුභවාදී බලපෑම් ඇති කරනු ඇත. ගුරු හතරවැන්නේ සිටින අයට තමන්ටම කියා නිවසක් හිමිවීම, නිශ්චල දේපළ හිමිවීම, ගුණගරුක සහකරුවකු හෝ සහකාරියක ලැබීම, යහපත් මානසික සුවයක් ලැබීම සහ විවාහ ජීවිතය සතුටින් ගතකිරීමට හැකියාව ලැබෙන පිහිටීමක් වශයෙන් සඳහන් කළ හැකිය.


පස්වැන්නේ ගුරු ශුභවාදී ආකාරයෙන් තැන්පත්වීම යහපත් දරුවන් ලැබීමේ භාග්‍ය උදාවේ. විශේෂයෙන්ම කේන්ද්‍රයක පස්වැන්න අධිපති සහ පුත්‍රකාරක ගුරු යහපත් ආකාරයෙන් තැන්පත්ව සිටීනම් වාසනාවන්ත දරු සම්පත් ලැබීමේ භාග්‍ය හිමි වේ. ස්ත්‍රී කේන්ද්‍රයක ගුරු යහපත් ආකාරයෙන් සිටීම දරුඵළ කෙරෙහි ශුභවාදීව බලපානු ඇත. තවද ගුරුගේ දෘෂ්ටිය පස්වැන්න වෙත යහපත් ආකාරයෙන් සම්බන්ධ ​ෙව් නම් දරුඵල කෙරෙහි යහපත් බලපෑම් ඇතිකරයි. එමෙන්ම ගුරු ලග්නයේ, පස්වැන්නේ, නවවැන්නේ සහ එකොළොස්වැන්නේ ගෝචරයෙන් ගමන් කරන කාලවලදී දරුඵල ලබාගැනීම සඳහා ඉතා සුදුසු කාලයක් වශයෙන් හැඳින්විය හැකිය.


පුත්‍රකාරක ගුරුත් පස්වැන්න අධිපතිත් පීඩාවීම දරුඵල හීණ වීමට හෝ දරුඵල නොමැතිවීමට වුවද හේතුවිය හැකිය. ගුරු කේන්ද්‍රයක නීච වීම, ගුරු සහ පස්වැන්න අධිපති 6,8, 12 භාවයන්හි තැන්පත්වීම දරුඵල කෙරෙහි අයහපත් ලෙස පලපෑහැකිය. පුත්‍රකාරක ගුරු පුත්‍රස්ථානය වන පස්වැන්නේම තැන්පත්වීම එම කාරක ගුණයට හානි කරවන තත්ත්වයද ඇතිවිය හැකිය. එසේ වුවත් එය සෑමවිටම ඒ ආකාරයෙන්ම නොවන අවස්ථා ප්‍රායෝගිකව දක්නට ලැබේ.


ගුරු ග්‍රහයා 6, 8, 12 හි තැන්පත් වීම එතරම් ශුභඵල ලබා නොදෙන පිහිටීමකි. හයවැන්නේ ගුරු තැන්පත් වූ විට නොයෙකුත් ලෙඩ රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. අටවැන්නේ ගුරු සිටීම ද ශුභපල ලබා නොදෙන පිහිටීමකි. දොළොස්වැන්නේ ගුරු සිටීමෙන් ගුරුගේ මහ දශා කාලයකදී හෝ අතුරු දශා කාලයකදී නොයෙකුත් ලෙඩදුක් කරදර ඇතිවීම කෙරෙහි බලපෑ හැකිය. එසේ වුවත් ගුරු 6, 8, 12 හේ බලවත්ව තැන්පත් නම් සහ ශුභ දෘෂ්ටි සහිතව සිටී නම් අශ්‍රභ පළ අවම වේ.


ගුරු ග්‍රහයා හත්වැන්නේ තැන්පත්වීම විවාහ ජීවිතය කෙරෙහි විශේෂිත බලපෑම් ඇති කළ හැකි පිහිටීමකි. ගුරු හත්වැන්නේ සිටින අයට යහපත් විවාහ සහකරුවකු හෝ සහකාරියක ලැබීමේ වාසනාව හිමි වේ. එසේ වුවත් විවාහය යනු සතුට විනෝදය ආශාවන් ආදී ලෞකික දේවල්වලින් පිරුණු දෙයකි. ගුරු ලෝකෝත්තර ස්වභාවයක් ගන්නා ග්‍රහයෙකි. එබැවින් ගුරු හත්වැන්න හා සම්බන්ධ වූ වීට විවාහ ජීවිතයේ ප්‍රීතිය හා සතුටට බාධා ඇති වේ.


ගුරු හත් වැන්නේ සිටින අය විවාහ වූ විට විවාහ ජීවිතයේ මුල් කාලයේදී සතුටින් ගත කළ ද කලක් ගතවන විට විවාහ ජීවිතය ගැන කලකිරීමක් ඇතිවිය හැකිය. එසේ වන්නේ ​ෙලෟකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තට බර වන ස්වභාවයක් ඇතිවන නිසාවෙනි. මේ නිසා අඹුසැමියන් අතර නොයෙකුත් මතභේද ඇතිවිය හැකිය. එබැවින් ගුරු හත්වැන්නේ සිටින අයට වඩා ගැළපෙන්නේ ගුරු හත්වැන්නේම සිටින කේන්ද්‍ර හිමි අය වේ.


නවවැන්නේ ගුරු තැන්පත්වීම ද ඉතා ශුභ පිහිටීමක් වශයෙන් සැළකිය හැකිය. විශ්ව කේන්ද්‍රයේ භාග්‍යස්ථානය හෙවත් නවවැන්න ගුරුට අයත් බැවින් නවවැන්නේ ගුරු තැන්පත්වීම හොඳ උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි පිහිටීමක්ය. තවද නවවැන්නේ ගුරු තැන්පත්වීම දරුපළ කෙරෙහි ද ශූභවාදී බලපෑම් ඇති කරයි. එසේ වන්නේ පුත්‍රස්ථානය වන පස්වැන්නෙන් පස්වැන්න නවවැන්න වීමයි. යහපත් ආකාරයෙන් ගුරු නවවැන්නේ තැන්පත් වීම ගුණගරුක, නීතිගරුක, අවංක, වාසනා ගුණයෙන් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකරයි. එබැවින් නවවැන්නේ ගුරු තැන්පත් වීම යහපත් පිහිටීමකි.


දසවැන්නේ ගුරු තැන්පත්වීමද ශුභ පිහිටීමක් වශයෙන් හැඳින්විය හැකිය. ගුරු දසවැන්නේ පිහිටි අයට උසස් රැකියාවක් හිමිවීමේ වාසනාව ලැබේ. රජයේ උසස් තනතුරු ඇති රැකියාවක නිරතවීමේ වාසනාව හිමිවේ. එසේම තමන් ලැබූ තනතුරේ දිනෙන් දින ඉහළට යාමට භාග්‍ය හිමිවේ. එමෙන්ම තමන් කරන රැකියාවෙන් උපයන මුදලින් තමන්ගේ දියුණුව සහ පවුලේ දියුණුව සලසා ගැනීමේ වාසනාව හිමි වේ.


එකොලොස්වැන්නේ ගුරු තැන්පත්වීමද යහපත් පිහිටීමක් වශයෙන් හැදින්විය හැකිය. එකොළොස්වැන්න අයස්ථානය වන බැවින් සහ ගුරුට ධන කාරක අයිතියක් ද ඇති බැවින් එකොළොස්වැන්නේ ගුරු තැන්පත්වීම ධනය ලැබීමේ වාසනාව ඇති පිහිටීමක් වශ​ෙයන් සඳහන් කළ හැකිය. එම ගුරු දෙවැන්න හා සම්බන්ධ වීම එහි ප්‍රතිඵල තවදුරටත් වර්ධනය වීමට දායක වේ.


ගුරු ග්‍රහයා එක් එක් රාශිවලදී උච්ච, ස්වක්ෂේත්‍ර, සම, මිත්‍ර ආදී තත්ත්වයන් ගන්නා රාශි මෙසේ සඳහන් කළ හැකිය. ගුරු ග්‍රහයා මේෂ රාශියේ දී මිත්‍ර වන අතර වෘෂභයට සතුරු වේ. මිථුන රාශියේ දී ගුරු සතුරු වේ. කටකයට ගුරු උච්ච වන අතර සිංහයට මිත්‍ර වේ. කන්‍යාවට සහ තුලාවට ගුරු සතුරු වේ. වෘශ්චිකයට මිත්‍ර වන අතර ධනුවට ස්වක්ෂේත්‍ර වේ. මකරයට ගුරු නීච වන අතර කුම්භයට සම වේ. මීනයේ දී ගුරු ස්වක්ෂේත්‍ර වේ.


විවාහය සිද්ධ වන කාලය තීරණය කිරීමේදී ගුරු ග්‍රහයා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ගුරු ගෝචරයෙන් හත්වැන්නේ ගමන් කරන කාලය, ගුරු හත්වැන්න අධිපති පිහිටි රාශියේ ගමන් කරන කාලය, හත්වැන්න අධිපති නවාංශකයේ පිහිටි රාශියේ එයින් පස්වැන්නේ සහ නවවැන්නේ ගමන් කරන කාලය ද විවාහයක් සිද්ධ කරගැනීමට ඉතා සුදුසු කාලය වශයෙන් දැක්විය හැකිය. ගුරු ලග්නයේ ගමන් කරන විට හත්වැන්න ගුරුගේ දෘෂ්ටියට ලක්වන බැවින් එම කාලය ද විවාහයට සුදුසුය. ගුරු තුන්වැන්නේ සහ එකොළොස්වැන්නේ ගමන් කරන විටද හත්වැන්න දෘෂ්ටියට ලක්වන බැවින් එම කාලය ද විවාහයට සුදුසුය.


ශුභ නැකැත් සෑදීමේ දී ගුරු ග්‍රහයා සුවිශේෂ දායකත්වයක් ලබාදේ. විවාහයක් සිදුකිරීමේදී ගුරු හෝරාව යොදාගැනීම ඉතා ශුභ දෙයක් වශයෙන් සැළකේ. විවාහ නැකැත් සෑදීමේදී තත්කාල කේන්ද්‍රයේ ගුරු ලග්නයේ තබා සාදන නැකතේ සියලු දෝෂ භංග වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. විවාහ මංගල නැකැත්වලදී ගුරු ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ පාප ග්‍රහයන්ගෙන් පීඩාවීම හෝ පාපකර්තරී නොවී සිටිය යුතුය.


ගුරු ග්‍රහයා ගැන සඳහන් කිරීමේදී ගුරුගෙන් යෙදෙන යෝග කිහිපයක් ගැන ද දැක්වීම සුදුසු යැයි සිතමි. ගුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්‍රවී කේන්ද්‍රයක 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානවලින් එකක තැන්පත් වීම පංච මහා පුරුෂ යෝගවලින් එකක් වන ගුරු හංස යෝගය උදා කෙරේ. මෙය බලවත් යෝගයක් වශයෙන් හැඳින්විය හැකිය. ගුරු හා සඳු එක්ව සිටීමෙන් හෝ එම දෙදෙනා සමසප්තමව හිඳීමෙන් ගජකේෂරී යෝගය උදා වේ. (ගජකේෂරී යෝගය සඳුගෙන් උදාවන යෝගයක් වුවත් ගුරු සම්බන්ධ වී ඇති බැවින් මෙහිදී එය දක්වා ඇත) ගුරු කුජ එකට සිටීමෙන් ගුරු මංගල යෝගය උදාවේ. යහපත් භාවයක බලවත්ව මෙම යෝගය යෙදුන විට ඉතා ශුභපල ලබා දේ. මෙවැනි බලවත් යෝග සමාජයේ ඉහළතලවලට ගිය වැදගත් පුද්ගලයන්ගේ කේන්ද්‍රවල දක්නට ඇත. ගුරු ග්‍රහයා ඉහත සඳහන් කරන ලද ග්‍රහයන් සමග යෝග වීමට අමතරව අනෙකුත් ග්‍රහයන් සමග සංයෝග වීමෙන් ද තවත් ග්‍රහ සංයෝග සෑදේ. එම සංයෝගවලදී ගුරු සහ අනෙකුත් ග්‍රහයන් පිහිටා ඇති බලවත්කම අනුව සහ තැන්පත්ව ඇති රාශිය අනුව ශුභ හෝ අශූභ පලවල ප්‍රබලතාව තීරණය වනු ඇත.


මේ අයුරින් බලන විට ගුරු ග්‍රහයා පුද්ගලයෙකුගේ ජීවිතයේ බොහෝ අංශ කෙරෙහි ප්‍රබල දායකත්වයක් ලබාදෙන ග්‍රහයෙකු වශයෙන් හැඳින්විය හැකිය. ගුරු ග්‍රහයා යහපත් ආකාරයෙන් කේන්ද්‍රයක තැන්පත්ව සිටීම නිසා එම පුද්ගලයා සමාජයට වැඩදායක ගෞරවාන්විත ජීවිතයක් ගතකරන තමන්ගේ පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන, අවංක, නීතිගරුක, බොහෝ අයට ගුරුහරුකම් ලබාදෙන තෘප්තිමත් ජීවිතයක් ගතකරන පුද්ගලයෙකු බිහිකිරීමට ප්‍රබල දායකත්වයක් ලබාදේ.

 

 


ජ්‍යොතිෂවේදී
ඉඳුනිල් හපුඅච්චිගේ
170/2 ශ්‍රී ආරියවංශ මාවත
මොල්ලිගොඩ
වාද්දුව.