ගිරිගෝරිස් ආරච්චිට පිස්සි අල්ලලා


ගමෙන් ඇසෙන කතා

හබරවාලුව වසමේ ගිරිගෝරිස් ආරච්චි තැන තම රාජකාරියේ ඌෂ්ණය ලොකුවට හිතට ගත් අයෙකි. ඔහු තම කෝට් බෑය, සුදු සරම, ​සෝලුදණ්ඩ නොමැතිව රාජකාරියක් සඳහා එළියට නොබසියි. හෙතෙම ගිරිගෝරිස් යන තම නාමය උජාරු කරන්නේ එය සුදු ආණ්ඩු කාලයේ ගවනර්කම් කළ ග්‍රෙගරි නම් සුදු නිලධාරියකුගේ නමට පරව ආ බව කියමිනි. ඒ හින්ද මගේ වැඩත් සුද්දගෙ වැඩ වගේම තමයි ඔහු කටවාදම් පෑවේය.   


ඔහු ඉඳහිට ජනතාවට විහිළු සපයන රාජකාරිය ද කරයි. එකල හිටි ගල්ගෙඩි නාම්බන්ද ඔහුට අංචියක් අදින්නට මාන බලමින් සිටියෝය. 

 
ඒ පොතුහැර ගම් සභාවේ විසිටිං රාජකාරියට ඩී.ආර්.ඕ. උන්නාන්සේ පැමිණෙන දිනකි. ගමන් ටැංකුවේ රියකරු ඔත්තුහාමි ද අසනීප වී හිටි බැවින් ගිරිගෝරිස් ආරච්චි පා ගමනින් ම රාජකාරි සැසියට සහභාගි විය.   
ග්‍රීෂ්ම දිනයක් වූ බැවින් සබරව වෑ කණ්ඩිය උඩට එනවිට ඔහු දෙකන්සෙන් දාඩිය පෙරමින් සිටියේය. වැව් දියේ හත් අට වතාවක් ගිලී දිය නා ගත් විට ගෙදර ගොස් හොඳ නිදි වඩියක් දමා ගැනීමේ ලෝභය මතුව ආයෙන් ගිරිගෝරිස් ආරච්චි කෝට් බෑයත් සුදු පාට සරොමත් උනා දමා මීගහ යට නමා තියා උපන් ඇඳුමෙන්ම දියට බැස්සේය. මේ බැව් දුටු මදාවීන් දෙතුන් දෙනෙක් කල් යල් බලා අර රාජකාරි කුරුත්තම් පොදිය උස්සා මෙලෝ යකෙකුට සොයාගන්නට බැරි තැනක සඟවා පලා ගියෝය.   


පැයක් හමාරක් දිය කෙළියේ යෙදුණු ආරච්චිල අහල පහල කවුරුත් නැති ඇසිල්ලේ ගොඩට පැන ගත්තේ ඇඳුම් ඇඟලා ගැනීමට ය. අහවල් ඇඳුම්! ආරච්චිට දෙලොව රත්විය. විලි වහ ගන්නට අමුඩයක්වත් නැති ඇසිල්ලේ දැන් දැන් ජල පහසුව පිණිස ගැහැනු, පිරිමි හා ළමුන් ද වැවට එක්රොක් වන වෙලාවයි. ආරච්චිට කරගත හැකිව තිබුණු එකම පහස නම් නැවත වැවට බැස ජල කඳ තුළ නිරුවත සඟවා ගැනීමයි.   


ආරච්චි පැන් සැනහෙන ඉසව්වට ළංවීමට කවුරුත් මැලි කරති. කොච්චර ගිනියම් දවසක් වුවත් ඕනෑවට වඩා දියේ ගිලී සිටින්නට යෙදුණොත් ජලසන්නිය හැදෙන්නටත් බැරි නැත. එහෙමයි කියා කළුකම්බිලි දිගම්බරයා මෙන් ගොඩට එන්නටත් බැරිය. ගිරිගෝරිස් මංචනායක අතරමං වූයේ වචනාර්ථයෙන් ම අකරතැබ්බයක ය.   
දැන් ඉතින් ඉතිරිව ඇති එකම විකල්පය වන්නේ බිං කළුවර වැටෙන තුරුම වැවේ බැසගෙන සිටීම පමණි. හීතල වැඩිකමට ඔහු වෙව්ලන්නටත් පටන්ගෙන තිබිණි. ගංගා වැව් කොටුවල තොටේ යකා නම් රීරි සමයම බලපවත්වන බවත් ආරච්චිගේ හිතේ පැත්තකින් මතු නොවුණා නොවේ. වෙනදා හනි හනික නා කියාගෙන ‘රාජකාරි වැඩ, බොලල්ලා, රාජකාරි’ කියමින් සෝලුදණ්ඩත් ඇන ඇන යන ගිරිගෝරිස් ඇත්තන්ගේ මෙදා තැග්ගැහිල්ල ගැමියන්ටත් අමුතු කුතුහලයක් විය. 

 
කෙසේ හෝ බිං කළුව විසින් වටපිටාව වසා ගනිද්දී, ගිරිගෝරිස් ආරච්චි ගෙවල් මණ්ඩි මග හැර හැර අකුල් බකුල්වලට මුවාවෙමින් වටෙන් ගොස් තම නිවසේ පෑල දොරෙහි බාග උඩ පළුවට තට්ටු කොට ‘‘පත්තඩුවෙ මැණිකේ, සද්ද බද්ද නොකර දොර අරින්ඩකො... මයෙ මැණිකෙයි’’ රහසින් තෙපළේය.   


කරුමෙක මහත! ආරච්චිගේ නරක වෙලාවට වෙලාවක්! කුස්සියේ සිට ඒ මොහොතට පැමිණ සිටියේ ඔහුගේ ඇඹෙණිය නොව නැන්දණියයි. විදුලිය නොතිබුණු එකල ඕ තොමෝ කුප්පි ලාම්පුව තම කන අසලට ඔසවා පෙරට හිස නමා ‘කවුද’ යි ඇසුවාය. ඇයට දැකගන්නට ලැබුණේ ජලසන්නියෙන් ගැහි ගැහී අමු නිදිවස්තරෙන් දඟලන ගිරිගෝරිස් බෑණන්ඩියයි.   


‘ආරච්චිට පිස්සි අල්ලලෝ! කවුරුත් වරෙල්ලෝ’ ඕ ළතෝනි දෙන්නට වූවාය. චර පුරුෂ මදාවියනුත් බල බලා සිටියේ මේ නාටකයේ ඊළඟ ජවනිකාව කුමක්දැයි දැකගන්නටය. උහු වහා හතර පැත්තෙන් දිව ඇවිත් ආරච්චි මෙල්ල කොට අත් පා බැඳ දැමුවෝය.   


‘ඔය බවලත් ඇත්තොයි ළමා ළපටිනුයි හෙම මේ අහලකට එනවා නෙමෙයි’ කියා තහංචි පැනවූ ඔවුහු දඩයම වටකර ගත්තෝය. හතර වටින් හුළු එළි සමග නොයෙක් ඔම්පකතා එළිදැක්වෙන්නට විය.   


‘අපිත් දුටුවා ආරච්චිල වරුවක් තිස්සෙ වැවේ එබෙනවා’   


‘ඔය දිය මංකඩවල්වල රැක ඉන්න තොටේ යකාටත් ගොදුරක් අහුවෙන්ඩ එපාය, ඕං අල්ලා ගත්තෙ නැද්ද ගමේ මහයාම’   


‘යකෝ මට ඇති පිස්සියක් නෑ. හිටපියව් මට වෙච්ච සංගෙදිය කියන්ඩ’ ආරච්චි ඒ අස්සේ කියා ගත්තේය.   
‘පිස්සෙක් කවද්ද ආරච්චි මට පිස්සියි කියල පිළිගත්තෙ?’   


‘තෙපානිස් කට්ටඩියවත් එක්ක වරෙල්ල ඇප නූලක් දාන්ඩ’   


තමාට කටත් හොල්ලන්නට ඉඩක් නොදෙන බව දත් ගිරිගෝරිස් ආරච්චි වෙන දෙයක් වෙච්චදෙන් කියා නිහඬ විය.   


හැඩිදැඩියෝ ආරච්චිගේම ගමන් කරත්තයේ ඔහු පටවාගෙන පොතුහැරට ගොස් එතැන් සිට ඩේවිට් අයියාගේ ඒ පෝටියේ ඔබාගෙන දුර බැහැර නීලම්මහර මානසික රෝග මධ්‍යස්ථානය වෙත ගෙනගියෝය. නීලම්මහර පළපුරුදු වෛද්‍යවරයා රෝගියා දුටු සැණින් වෙනස වටහා ගත්තේ ඔහු කාමරයකට ගත්තේය.   


‘හා දැන් සෙසු අය එළියට යනවා හොඳයි. මට ලෙඩා එක්ක කතා කර ගන්ඩ ඉඩදීලා....’   


‘මෙයා තමුන්නැහැටත් හිරිහැර කොරයි ආයිබෝං....’   


‘හා ඒවා මං බලා ගන්නම්. මං ඔහොම උන්නැහැලා නෙමේ මේච්චල් කරගෙන තියෙන්නෙ.’   
ගිරිගෝරිස් සහසුද්දෙන්ම පැහැදිලි කොට දුන් සිද්ධිය වෙද මහතා ඉතසිතින් පිළිගත්තේය. ඊළඟට වෙද මහතාගේ කාර්යය වූයේ ජල සන්නියට පිළියම් යෙදීමය. පසුවදා සවස් වනවිට ගිරිගෝරිස් යථා තත්ත්වයට පත්වූයෙන් පෙරළා ගෙදර පැමිණි පසු වාහන කුලිය වශයෙන්ද ආවතේවයට ගිය අයගේ කෑම බීම සඳහා ගිය වියහියදම් ද බැලූවිට ලොකු මුදලක් ගෙවා දමන්නට සිදුවිය.   


ඒක නම් මහ කජ්ජක්ද ඔහු සුමාන ගණනක් රාජකාරියකටවත් මිනිසුන්ට මූණ අල්ලන්ට එළියට නොබැස්ස කොට.

 

ගුණතිලක මැටියගනේ