ගිනිගත් අගනුවර ජනයාට ‘මිහිරිපැන්’ ගෙන එන මිනිස්සු


කොළොම්පුරේ ජීවිතේ

 

චිර ප්‍රසිද්ධ මරදාන ටෙක්නිකල් හන්දියේ සිට පිටකොටුව දෙසට මා ඇවිද යමින් සිටි ඒ හවස් ජාමයේ නුදුරින් දිස්වන අහස උසට නැගී සිටින විසල් කොන්ක්‍රීට් වනාන්තරය අස්සෙන් අවරගිරට බැසයන හිරු රැස් වැටී බහුතාක්ෂණික ආයතනයේ රතුපාට ගොඩනැගිල්ල පඬු පැහැයට හැරවීමට බලවත් උත්සාහයක් ගනිමින් සිටී. 

 
අනෙක් පස පෙර කල චාමස් ධාන්‍යාගාරය අද යුද හමුදා ආහාර ගබඩාව හා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එහි උඩුමහලත් නිරතුරුවම කහපැහැ මලින් සැරසී සිටින මාරගස් වැටියට එපිටින් දුම්රිය අංගණයේ විඩා හරින යකඩ යකුන් සටන් බිමට යාමට අණ ලබන තෙක් සිටින නොඉවසිල්ලෙන් පසුවන සේනාවක් මෙනි.   
යකඩ යකුන්ටත් මහපාරටත් මැදිව තිබෙන අපූරු බිම්කඩ හඳුන්වනු ලබන්නේ කැළෑපොළ නමිනි. කුමන නිශ්චිත හේතුවක් නිසා මෙම බිම්කඩට ඒ නම ලැබුණේ දැයි නොදන්නා නමුත් ඇඳිරි වැටීමත් සමග ආරම්භ වී එළිවෙන ජාමයේ අගනුවර ඇහැරෙන්නට පෙරාතුව පොළේ කටයුතු අවසන්වීමත් බිම්කඩ වසා අතුපතර විහිදාගෙන ආධිපත්‍යය පතුරුවාගෙන හිඳින විසල් නුග රුක් අඳුර නිසා මෙම නාමය දනන් අතර පැතිර ගියා වන්නට ඇත.   


කැළෑපොළ දහවල් දවසට බස්රථ ගාලකි. පෙරදිග සවස් කාලයේ සිට රටේ ඈත ඈත අහුමුලු නගරවලින් ගමන් ආරම්භ කර කොළඹ ඇහැරවාගෙන පැමිණ පුද්ගලික බස්රථ හා ඒවායේ සේවකයන්ගේ දහවල මෙතැනය. මේවා නිශාචර බස්රථය. එසේ කියන්නේ අඳුරේම පැමිණ අඳුරේම ආපසු යන නිසාය. මන්ද මේ දුරගමන් සේවා බස් රථ බොහෝවිට කොළඹින් පිටව යන්නේ රාත්‍රියේ අැරඹුමත් සමග වන හෙයිනි.   
කෙසේ වෙතත් පස්වරු 5/ 5.30 පමණ වන විට බස් රථ ඉවත්ව භූමියේ ඉඩ ලබාදෙන්නේ සුප්‍රසිද්ධ කැළෑපොළ ආරම්භ කිරීමටය. මෙහි ස්ථිර වෙ​ෙළඳසල් හෝ කඩ බක්කි නැත. අනාදිමත් කාලයක සිට මඩ ගොහොරුවක්ව පැවති ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේදී බිමට සිමෙන්ති දමා පිළිසකර කර දුන් බව සඳහන් කරන්නේ වෙළෙන්දන්මය.   
මෙහි තැන්තැන්වල වෙළෙඳ භාණ්ඩද බිමය. වෙළෙඳුන් හා වෙළෙන්ඳියෝද බිමය. ඔවුහු වැස්සට තෙමෙති. අව්වට වේළෙති. එහෙත් මේ අයට අව්වෙන් පීඩාවක් නොමැත්තේ පොළ අවදිව සිටින්නේ රාත්‍රිය පුරාවට බැවිනි. කැළෑපොළේ නැති දෙයක් නැත. රම්පා කොළයේ, කරපිංච මිටියේ පටන් එළවළු, පලතුරු, හාල් සිල්ලරද මෙහි අලෙවි කෙරේ. වෙළෙඳපොළේ තැඹිලි හා පොල් වෙළෙඳාමට හිමිව ඇත්තේ විශේෂ තැනකි.   


මෙහි මේවා අලෙවි කෙරෙන්නේ තොග වශයෙන් පමණය. පොල් සහ තැඹිලි වෙළෙන්දෝ කුඩා, මධ්‍ය ප්‍රමාණ හා ලොකු ලොරි සමග සවස 5, 6 වන විට මාර ගස් හෙවණට ගාල්වෙති. තැඹිලි වලු බිම තබාගෙන ගැනුම්කරුවන් පැමිණෙන තෙක් බුලත් විටක් සපති. නැතහොත් දිනපතාම හෝ දවස් දෙකකට වරක් හමුවෙන නන් දෙසින් පැමිණ සිටින මිතුරු තොග වෙළෙඳුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙති. හිරු ගාලුමුවදොරින් නික්ම ගිය වහාම හීන් අඳුර අස්සෙන් කැළෑපොළ ක්‍රියාත්මක වේ.   
උතුරෙන්, දකුණෙන්, කඳුකරයෙන්, මූදුකරයෙන් පැමිණෙන තැඹිලි තොග පිටින්ම මිලට ගෙන අතට මුදලක් තබාගෙන ඒ තොග නැවත අලෙවිකරන මුදලාලිලා පිරිසක්ද මෙහි වෙති. එහෙම අයෙකු සමග ගනුදෙනු කිරීම ලොරි හිමියන්ටද පහසුය. දහවල තිස්සේ ගෙන එන බරෙන් හෑල්ලු වී, මුදල් ලබාගෙන නොපමාව ආපසු පිටත්විය හැකිය.   
ඒවා මිලදීගන්නා නිදිවරමින් ගැනුම්කරුවන් සොයා වෙහෙස වී කෙසේ හෝ මුළු තැඹිලි තොගයම රැය එළිවෙන්නට ප්‍රථම විකුණගත යුතුය. මන්ද ඉතිරිවුවහොත් ගබඩා කරගැනීමට තැන් මේ අයට නැත. එසේම කල්ගතවන විට තැඹිලි ගෙඩියේ නැවුම් බව හා පැහැය වියැකී යයි. එවැනි ගෙඩි සිල්ලර ගැනුම්කරුවන්ට විකුණාගැනීමට අසීරු වේ.   
කලින් දවසෙ හවස ඉඳල ඊළඟ දවසෙ දහවල් 10 වෙනකොටත් විකුණගන්න බැරි දවස් තියෙනව. එතකොට නම් වෙළෙඳාම එපා වෙනව. නිදිමත ඇස් දෙකෙන් පෙරෙනව. එහෙම තමයි ජීවිතේ. අවුරුදු 30 ක් තිස්සේ කැළෑපොළේ තැඹිලි විකුණන මොහොමඩ් රිස්වි කතාබහට එක්වූයේ එලෙසිනි.   
අගනුවර ගෙන්දගම් පොළොවේ මාලිගාවත්තේ ඉපිද හැදී වැඩුණු මෙහොමඩ් තරුණ වියේදිම තැඹිලි වෙළෙඳාමට හුරුවූවෙකි. කැළෑපොළ ගුණසිංහපුර, කොටුව පිටකොටුව සාවියේ ඕනෑම බජාර් එකක් ඔහු හොඳින් දනී. විවාහයෙන් පසුව මාළිගාවත්තේ පදිංචිය අතහැර දැමූ මොහොමඩ් සිය ඇඹේණියගේ ගම්පියස වන පාදුක්කේ වෙසෙන්නට ගිය නමුත් රන්කිරි කට ගෑ සුපුරුදු කොළඹින් පිට ජීවිතයේ නුහුරු නුපුරුදු ගතියක් දැනිණි.   


ග්‍රාමීය ප්‍රදේශවල රැකියාවක් සොයාගැනීමද අසීරු කටයුත්තකි. ඔහු තැඹිලිත් සමග බද්ධ වී නැවතත් කොළඹට පැමිණියේ එහෙයිනි.   
දරුවො දෙන්නයි බිරිඳයි දකින්න සතියකට වතාවක් ගමට යනව. එහේ ඒ අයට කරදරයක් නැහැ ඔහු කියයි.   
සාමාන්‍යයෙන් රෑ 7 වෙනකොට ලොරි එනව දැන් එන්නෙ ගොඩක්ම පුංචි බට්ට ලොරි. ඒවයෙ තැඹිලි වලු 500 - 600 කට වඩා ගේන්න බැහැ. ඉඩ නෑ. ඔරොත්තු දෙන්නෙත් නැහැ. හැබැයි සමහර ලොරි හිමියො තණ්හාසෙට වලු 1000 ත් පටවනව. මේ තොග මිලට ගන්න තවත් කීපදෙනෙකුත් සිටිනවා. අපි කරන්නෙ සයිස් කරල බාන තොගයම සල්ලි දීල ගන්නවා. ලොරියෙ තියෙන තැඹිලි වලු සයිස් කරල බිමට බානවට ලොරියකින් රු 300/- ක් ගෙවනව. අපි ඒ වැඩෙත් කරනව.   
සයිස් කරන්න හැමෝටම බැහැ. ඒකටත් දැනුමක් අවශ්‍යයි. ගෙඩි ප්‍රමාණයෙන් කුඩා වෙනකොට මිල අඩුවෙනව. තැඹිලි ගෙඩිය හොඳ පොලිස් තැඹිලි පාට නම් ලස්සන නම් තැලුම් සීරුම් නැති නම් හොඳ මිලක් ගන්න පුළුවන්. මේ දවස්වල නම් හොඳ ලොකු ගෙඩියක තොග මිල රු 40/- යි. වැහි කාලෙ නිසා කොළඹට එන ප්‍රමාණය අඩුයි. සිල්ලරට විකිණෙන ප්‍රමාණයත් අඩුයි.   


කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කඩපිල් මත අත්කරත්ත තුළ හිනාවීගෙන බලා සිට ඇස්ස කැපී ඔබේ, අපේ දෝතට එන තැඹිලි බොහොමයක්ම ගමේ ගොඩේ සුහුඹුල් සුළඟට මුහුව ගස මුදුනේ අතු අස්සේ ඉපිද හැදීවැඩී ලොකු මහත් වී ලොරි තුළ එකට ගාල්වී හැපි හැපී කොළඹ පැමිණ කැළෑපොළේදී නන්දෙසට වෙන්ව යන ඒවාය.   
අපේ තැඹිලි මිහිරෙන් වැඩි යහගුණයෙන් සාරවත් වූ ඒවා බවට මෙරටත් විදේශ රටවලත් ප්‍රකටය. දිනපතාම හෝ අඩු තරමින් දින දෙකකට වරක් තැඹිලි ගෙඩියක් බොන අය අප අතරේ වෙති. එසේම දවසේ රාජකාරි ඇරඹීමට කළුකපා එළිය වැටෙන ගෙයින් පිටව බසයකට හෝ කෝච්චි පෙට්ටියක හිරවී, තෙරපී අගනුවරට එන බොහෝදෙනා හිස්බඩම තැඹිලි ගෙඩියක රස බලති. තැඹිලි අගනා ඖෂධයක් බවට තහවුරු වී තිබෙන පානයකි. මේ නිසාමදෝ අගනුවර පමණක් නොව රටේ ප්‍රධාන, උප ප්‍රධාන නගරවල තැඹිලි ගෙඩියට හොඳ ඉල්ලුමක් තිබේ.   


මුස්ලිම් ජනතාව නෝම්බි අල්ලන කාලෙදි, පායන කාලෙදි තැඹිලි ඉල්ලුම වැඩියි. ගානත් වැඩියි. ඒත් තොග මිල ලොකුවට වෙනස් වෙන්නෙ නම් නැහැ. රු 40/- 45/- අතරෙ රැඳෙනව. මේ ගණන් වලට අපෙන් අරගෙන යන සිල්ලර වෙළෙන්ඳා ළඟ සමහරවිට ගෙඩිය රු 60/- 70/- 80/- ක් තරම් රු. 100/- ට අලෙවි කරන අයත් ඉන්නව. මොහොමඩ් කියයි.   
කඩපිලක අගුවේ හෝ මහමග පදික වේදිකාවේ අත්කරත්තකරුවාගෙන් රු 50/-ට 60/-ට කැපෙන තැඹිලි ගෙඩිය තරු පහේ හෝටලයකදී කිං කොකනට් වී හැඩරුවට ඇස්ස ගසා හිලෙන් උරන බටයකුත් දමා විදේශිකයෙකුට ලැබෙන විට හෝටල් බිලට රු 500/-ක් හෝ 600/-ක් එකතු වේ. ඒ සමාජ පරතරයයි.   
සයිස් කරල බිමට බෑවට පස්සෙ ගණුදෙනු බේරගෙන ලොරිකාරයො යන්න යනව. ඊළඟට අපි ඒ ඒ සයිස්වලට මිල ගණන් නියම කරල බලාගෙන ඉන්නව. උදේ 7 වෙනකොට වැඩේ ඉවර කරල මෙතන සුද්ද කරල පාක් එක කරන අයට බාරදෙන්න ඕන. ඒ නිසා කොහොම හරි එළිවෙනකොට වෙළඳාම අවසන් කරගන්නයි අපි බලන්නෙ.   
සමහර දවස්වලට බඩු ඉතිරි වෙනව. ලොරිකාරයගෙ ඉතිරි වුනොත් එයා ලොරියට පටවගන්නව අපිට එහෙම බෑ. ඉතුරුවුනොත් ගෙනියන්න තැනක් නැහැ. ඒ නිසා දවල් වෙනකම් හරි ඉඳල බඩු ටික ඉවරකරගන්නව. කොහොම වුනත් 10 වෙනකොට ගැනුම්කාරයො එන්නෙ නෑ.   
තැඹිලි අලෙවියේත් කලාවක් ලතාවක් තිබේ. මොහොමඩ් පවසන අන්දමට මුහුදුබඩ ප්‍රදේශවල හැදීවැඩෙන තැඹිලි පෙනුමෙන් ඉතා හොඳ තත්ත්වයක පවතී. රසයෙනුත් අගතැන්පත්ය.   


වාද්දුව, පානදුර, කළුතර පැත්තෙන් එන තැඹිලි හොඳට පොලිෂ්. දිලිසෙනව සීරුම්, පැල්ලම් නැහැ. වතුරත් රසයි. ඒවට හොඳ මිලක් තියෙනව. මුහුදුබඩ ලුණු මිශ්‍ර පස නිසයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ. තව හෝමාගම, හොරණ, මතුගම පැත්තෙ තැඹිලිවලත් වතුර වැඩියි. රසයි. හැබැයි මතුපිටින් පොලිෂ් ගතියක් නැහැ. හොඳට පෙනුමට තියෙනකොට හොඳ මිලකට විකුණගන්න පුළුවන්. බොන්න එන අයගෙ ඇහැ යන්නෙත් ඒ වගේ පිරුණු ගෙඩිවලටයි. ඒක තමයි තැඹිලි සාස්තරේ. රෑ තිස්සේ පාටි දමා නන්නත්තාර වී උදේ යැයි සිතා දහවලේ අවදිවන බොහෝදෙනා එසැණින් පාරට දිවවිත් තැඹිලි ගෙඩියකින් රෑ තිස්සෙ පිච්චි පිච්චි පදමට තැම්බි ඇති පපුව සිසිල් කරගනිති.   
ඇතැමෙක් ගතට වදදෙන අට අනූවක් ලෙඩ රෝග සුවකර ගැනීමට තැඹිලි ගෙඩියේ පිහිට පතති. ඇස්වහ, කටවහ දෝෂ දුරුකරගන්නේද තැඹිලිවල පිහිටෙනි. තැඹිලි පිරිත්කරගෙන දහමේ පිහිට ලබාගන්නෝද වෙති. ගැබිනි මව්වරු සිය දරු ප්‍රසූතිය පහසුකර ගැනීමට මහා සංඝරත්නය ලවා අංගුලිමාල සිරිත කියවාගෙන ඉන් පෝෂණය වූ තැඹිලි ගෙඩියක් පානය කරති. මෙසේ බලන කල තැඹිලි ගෙඩියේ බලය නිමක් නැත.   
තරුණියන්ට නිරෝගී දිගු වරලසක් ලබාදීමට තැඹිලි තෙල් මහෝපකාරී වේ. වර්තමානයේ තැඹිලි තෙල් සාරය මුසුවී යැයි මාධ්‍යයන් ඔස්සේ කෑමොර​ දෙන බහුජාතික සමාගම් අලෙවි කරන ෂැම්පු නොතිබූ අපේ ආත්තම්මලාගේ කාලයේදී හිස් සිසිල් කර සියලු ලෙඩ රෝග දුරුකර ගැනීමට ඔවුහු තැඹිලි තෙල් අනර්ඝ ඖෂධයක් ලෙසට සැලකූහ. තැඹිලි ගෙඩිය එ් තරමටම බලවත්ය.   


ඉස්සර ලොරි 10 ක් 15 ක් විතර එනව. එක ලොරියක තැඹිලි වලු 1500 ක් 2000 ක් ගේනව. ඒ කාලෙ හොඳට වෙළෙඳාම තිබුණ. කොච්චර ගෙනාවත් උදේ වෙනකොට බඩු ඉවරයි.   
තැඹිලි වෙළෙඳාම අතින් අත යන එකක්. පිපාසාව නිවාගන්න කෙනාගෙ අතට එනකොට දෙතුන් දෙනෙකුගෙන් මිල නියමවෙලා. සමහර වෙලාවට ගමේ ගෙදරක ගහෙන් බාන්නෙ ගෙඩියක් රු 10 ට 15 ට. ඒත් මෙහෙට ඇවිත් ගෙඩියක් කැපෙන කොට රු. 60 ක් 70 ක්. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. ඒත් ඒක අපිට විතරක් කරන්න බැහැ. බොහෝ විට උපරිම ලාබයක් ලබන්නෙ සිල්ලර වෙළෙන්ද. ඒ මොහොමඩ්ගේ අදහසයි.   
කැළෑපොළේ තැඹිලි වෙ​ෙළඳුන්ගේ ජීවිත තැඹිලි තරම් රසවත් නැත. දවසේ වියදම උපයා ගැනීමට ඔවුහු රැයක් තිස්සේ දුක් විඳිති. තොගයෙ මුදල් බේරුවට පස්සෙ ලොරි හිමියගෙ වෙ​ෙළඳාම ඉවරයි. මං කොපමණ දැනහැඳුනුම්කම් තිබුණත් ණයට වෙළෙඳාම කෙරෙන්නෙ නෑ. මොකද ඒ අය ඊළඟ දවසෙ තොග මිලදී ගන්නෙ එදිනෙදා අතට ගන්න මුදලින්.   
ඒ වගේමයි අපිත් හෙට බඩුගන්න වෙන්නෙ අද විකුණගත්තොත් තමයි. ඒ නිසා දවසෙ වෙළෙඳාම කරගන්න ඕන. බඩු ඉතිරි වෙනකොට ගත්තු මුදලටම දීල දාන දවස් තියෙනව. හොඳ වෙළෙඳාමක් තිබුණ දවසට රු. 3000 විතර හොයාගන්න පුළුවන්. හිස් අතින් ගෙදර යන දවස් ඕන තරම්. ඒත් දැන් මේ බිස්නස් එකට පුරුදුවෙලා වෙන එකක් කරන්නත් බැහැ.   


අගනුවරට හා අවට ප්‍රදේශවලට ඉඩෝර කාලයක් පැමිණිවිට තැඹිලි වෙ​ෙළඳාම නැගලා යයි. එවිට මොහොමඩ්ලාගේ කරල පැහේ. ඒ කාලෙදි ලොරි හිමියො වැඩිදෙනෙක් තමන්ගෙ තොග කම්පැණිවලට දෙනව රට පටවන්න ඉතුරුවුණොත් තමයි මෙතනට එන්නෙ. වර්තමානයේදි ශ්‍රී ලංකා තැඹිලි වෙනුවෙන් විදේශ රටවල හොඳ ඉල්ලුමක් තිබේ. මේ නිසා අදාළ සමාගම් වලින් හොඳ මිලක් ලැබේ.   
මෙය වාසියට ගන්නා ලොරි හිමියෝම තොග පිටින්ම සමාගමට ලබා​දේ. කාලය හොඳ වුවත් මොහොමඩ්ලාගේ අතමිට සරු නොවෙන්නේ ඒ නිසාය. අපේ කතාබහ සාරවන අතරතුරදී තැඹිලි පටවාගත් ලොරි එක දෙක කැළෑපොළේ තම ස්ථානවලට පැමිණෙමින් තිබුණි. අපි කථාව ඉවරකරමුද වැනි බැල්මක් මොහොමඩ්ගේ දෑසේ ලියැවී තිබුණු බව දුටු මා තැඹිලි ගෙඩිය අතහැර දැමූවෙමි.   


එතැන අත්කරත්තයක් තුළ වාඩිවී සිටින වියපත් මිනිසෙකි. දෙනෙත් ඈත ඈත කොහේදෝ ඉසව්වකට යොමුවී තිබූ ඔහු වෙතට කිට්ටු කළෙමි.   
මොකද කල්පනාව කතාවට ආරම්භයක් දී මගේ අවශ්‍යතාව හෙළිකළෙමි. ඔහු මා දෙස බැලීය. කැළෑපොළේ නාට්ටාමි එස්.ටී. සුබකි මහතා මුණගැසුණේ එසේය.   
මුස්ලිම් ජාතිකයෙකු වන සුබකි රජයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකි. 1980 පැවති වැඩ වර්ජනයට සුබකි ද එක්වූයේ සාමූහිකව එකතු වී රජයේ සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් දිනාගැනීමේ දැඩි බලාපොරොත්තුවෙන් නමුත් එකල ආණ්ඩු කළ අය එම දුක්ගැනවිලි තුට්ටුවකට හෝ නොසලකා මොවුන්ගේ රැකියා අහිමි කළහ.   
සුබුකි පාරට වැටුණේ ඔය ආකාරයටය. එතැන් පටන් අවුරුදු 39ක්ම ඔහු කැළෑපොළේය. 67 වන වියෙහි පසුවන මේ දිරිය මිනිසා සිය අතීතය ආවර්ජනය කරනවිට දෙනෙත් දීප්තියෙන් බබලනු මට පෙනුණි. මේ නිසාම ඔහුට කතා කිරීමට ඉඩ හළෙමි.   
මම ඉපදුණෙ හැදුණෙ වැඩුණෙ කොළඹ ග්‍රෑන්ඩ්පාස්. රස්සාව නැතිවීම ගැන නම් මට දුකක් නෑ. අපි එදා වර්ජන තීරණේ ගත්තෙ හොඳට හිතල මතලයි. ඒත් අපේම පන්තියේ අය සටන පාවාදුන්නා.   
මම හොඳ සමසමාජ කාරයෙක්. ඇන්.අැම්, කොල්වින් ඒ කාලෙ අපේ වීරයෝ. රස්සාව නැතිවුණාට පස්සෙ නාටාමි ජොබ් එකට වැටුණා. දැන් වගේ නෙමෙයි ඒ කාලෙ මම හොඳ නාම්බ. ස්ට්‍රයික් කරනකොටත් මම කසාද බැඳල හිටියෙ. එක පවුලෙ එක දරුවයි. ඉන් පස්සෙ අපි ජීවත්වුණේ මේ ජොබ් එකෙන් තමයි. දැන් නම් පුතා විවාහවෙලා, එයාටත් ළමයි තුන්දෙනෙක් ඉන්නවා.   


ඔහු අතීතයේ සිට හිටිහැටියේම වර්තමානයට ඇදවැටුණි. සුබුකිගේ රස්සාව කැළෑපොළේදී තොග වෙළෙඳුන්ගෙන් සිල්ලර වෙළෙඳුන් විසින් මිලට ගන්නා බඩු තොග ඔවුන්ගේ වෙළෙඳසල් වෙත හෝ වාහන නවතා ඇති තැනට රැගෙන ගොස් දීමය. ඒ සඳහා අත්කරත්තයක්ද ඔහු සතුව ඇත. කරත්තෙ මගේ නෙමෙයි. දවසට කුලිය රු 100 යි. මේ වගේ කරත්ත 50, 100 කුලියට දෙන අයිතිකාරයො කොළඹ ඉන්නව. ඒකත් හොඳ බිස්නස් එකක්.   
පිටකොටුව, කොටුවට නම් මගේ කුලිය රු. 100/- යි. පංචිකාවත්ත, මරදාන, මාලිගාවත්තට නම් රු. 150/- යි. හවස 3 ට විතර කරත්තෙත් අරගෙන මෙතැනට එනව. 6 විතර වෙනකොට බඩු එන්න පටන්ගන්නව. එළිවෙනකම් බිස්නස් කෙරෙනව.   
පොළ ඉවරවෙනකම් අපිත් ඉන්නව.   
අපි කිව්වෙ වටපිට බලමින් මම කතාවේ මැද්දට රිංගුවෙමි.   


මම විතරක් නෙමෙයි තවත් 5 ක් 6 ක් නාටාමිලා ඉන්නව. ඉස්සර නම් හොඳට වැඩ තිබුණ. ඒ කාලෙ මෙතන දහදොළොස් දෙනෙක් වැඩ කළා. ඔක්කොම මාතර පැත්තෙ අය. කාලය ගෙවිල යනකොට සමහරු මැරුණ. තවත් අය රස්සාව අතහැරල ගියා. ප්‍රධානම කාරණේ මෙතන වැඩ අඩුවුණා.   
කැළෑපොළ පණ ලබමින් තිබුණි. නන්දෙසින් පැමිණෙන වෙළෙඳුන් වෙළෙන්දියන් තැන තැන වාඩිලා ගන්නවා දක්නට ලැබිණ. එහෙත් තවමත් ගැනුම්කරුවන් වැඩිදෙනෙකු පැමිණ නැති සේය. කලබලය තවමත් ආරම්භ වී නොමැත.   
වැඩ ඕන තරම් තියෙන කාලෙදි රෑ එළිවෙන කොට රු. 2000 විතර හම්බකළා. ත්‍රීවීල් කළඑළි බැස්සට පස්සෙ අපිට වැඩ නැතිවුණා. ආටා (ත්‍රීවීල්) වල එන සිල්ලර වෙළෙන්දො එයාලම බඩු අරගෙන එයාලම පටවගෙන යන්න යනව. එතකොට නාටාමි කුලිය ඉතුරුයි නේ. දැන් අපිට වැඩක් දෙන්නෙ කාලයක් තිස්සෙ දන්න හඳුනන මුදලාලි කෙනෙක් හරි. දානයකට මඟුලකට. බඩු අරගෙන යන අය විතරයි.   


රෑ තිස්සෙ මිනිස්සු මෙතනට එන්න විශේෂ හේතුවක් තියෙනවද? මා විමසූ දේ නොවැටහුණාක් මෙන් විපිළිසර වූ සුබුකි මඳක් කාලයගෙන කටහඬ අවදි කළේය.   
මෙතනට පුරුදු කට්ටිය ඉන්නව. සිල්ලරටත් බඩු විකිණෙනව. අනිත් කාරණෙ කැළෑපොළට එන ගොඩක් එළවළු, පලතුරු ගමේ ගොඩේ හැදෙන දේවල්. ඒවයෙන වස විස රසායනික පොහොර නෑ කියල විශ්වාසයක් මිනිස්සුන්ට තියෙනව. මිල ගණන් නම් ලොකු වෙනසක් නැහැ.   
හැබැයි පිටකොටුවෙ මැනිං මාකට් එකේ වගේ කුණු බඩු, වංචාවල් මෙතන නෑ. කැළෑපොළෙන්ම විතරක් එළවළු පලතුරු ගන්න කොටසකුත් මේ කොළඹ ඉන්නවා.   
මෙතෙක් වේලාවක් අත්කරත්තය තුළ වාඩිගෙන සිටි සුබුකි ඇඟමැළි කඩා ගතේ හිරි ඇරගෙන වටපිට බලා දවසෙ මෙහෙයට සූදානම් බව හැඟවීය.   
ඒ වනවිට ඒ පුංචි බිම්කඩ වසාගෙන දෙනෝදාහක් ජනතාවකගේ දුක්ඛ දෝමනස්සයන් හඳුනාගෙන සිටින මහනුගයේ අතුපතර අස්සෙන් රිංගාගෙන පැමිණෙන හැන්දෑව අගනුවර නිසාචර ජීවිත එළියට ගනිමින් සිටී. එවිට මම කැළෑපොළෙන් නික්මුනණමි. එහෙත් ඔවුහු රැය පහන් වී තවත් හෝරා කීපයක් ගෙවීයනතුරු මහනුගයේ සෙවන ලබමින් එහිම හිඳිනු ඇත.   

 


සටහන හා ඡායාරූප   
තිලක් පුෂ්පකුමාර