ගිනි පෑගීම විද්‍යාත්මක ඇසින්


 

 

කැලණිය, වරාගොඩ​ වෙසෙන වන සුමනසිරිටත් විමලාටත් සිටිනුයේ එක් පුතකු හා දියණියකි. පුතා කුමාර ය. වයස අවුරුදු විසි දෙකකි. කුමාර ඉගෙනීමට දක්ෂ අතර, මේ වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියි. කුමාර කඩවසම් තරුණයෙකි. නිහතමානී ගති පැවතුම් වලින් හෙබි ඔහු කොයිකාගේත් හිත දිනාගෙන කටයුතු කරයි. එහෙත් කුමාරට විශ්ව විද්‍යාලයේ සිටින මිතුරන් අල්පය. 


කුමාර ගැහැනු ළමයෙකු සමඟවත් කතා බහා නොකරන නිසා ඔහුට පෙම්වතියකවත් සිටියේ නැත. 


මොකද බං උඹ කෙල්ලෙක් දිහාවත් බලන්නෙ නැත්තේ. පොතේමනේ මචං ඉන්නේ. අනිත් එක බලහංකො උඹ කොච්චර හැන්සම්ද. කෙල්ලො මැරෙන්න හදනවා. ඒකට අපිට එකෙක්වත් නැහැ” කුමාරගේ ඇතැම් මිතුරෙක් ඔහුට පවසන්නේ පාසල් කාලයේ සිටම එකට ඉගෙන ගෙන සරසවි වරම් ලබා දෙදෙනාම එකම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන වරම් ලැබූ බැවින් කුමාර ගැන හොඳින්ම දන්නා නිසාය. එහෙත් ඔහු එවැන්නකට සිනාවක් පා එම කතා බහා එතැනින් අවසන් කරන්නේය. 


නිවාඩු දිනවලට කුමාර නිවසට පැමිණියත් නිවසින් පිටව නොයන්නේය. ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් පමණක් කුමාරගේ නිවසට පැමිණ ඔහු හා කතාබස් කොට පිටව යන්නේය. ’’ආ පුතා ගෙදර ආපු දවසේ ඉඳලම ගෙදරටම වෙලා ඉන්නෙ යන්නකො පොඞ්ඩක් නැන්දලාගෙ ගෙදරටවත් ගිහින් එන්නකෝ. යහළුවෙක්ගෙ ගෙදරටවත් මේ ළමයා යන්නෙ නැහැනෙ” කුමාරගේ අම්මා පවසන්නේ කුමාර කෙරෙහි ඉතා සෙනෙහසිනි. 


පාසල් යන කාලයේ පටන්ම කුමාරගේ හැසිරීම මෙබඳු වුවද කුමාරගේ මාපියන්ට එය එතරම් වගක් නොවූයේ කුමාර ඉගෙනීමේ වැඩකටයුතුවලට දක්ෂ වූ නිසාත් කීකරු දරුවෙකු වූ නිසාත්ය. ළමා කාලයේ කුමාර හැසිරුණු විලාසය නිසා ඕනෑම කෙනෙක් සිතුවේ කුමාර ගැහැනු ළමයෙකු පරිදි ඉතා සංවරව හැදී වැඩෙන දරුවෙකු ලෙසිනි. ‘‘දැන් ඉන්න ගැහැණු දරුවොත් හරිම දඟයි. ඒ අතින් ඔයාලගේ පුතා නම් ගොඩක් වටිනවා” හිතවතුන් හිතවතියන් කුමාරගේ අම්මාටත් තාත්තාටත් එලෙස පවසන්නේය. එහෙත් තරුණ වියේ පසුවන විටද කුමාරගේ ගතිගුණ එලෙස පැවතීම නිසා සමහර ඥාතීන් සිතුවේ කුමාර හොඳින් ඉගෙන ගන්නා නිසා ආඩම්බර බවයි. උත්සව අවස්ථාවකට හෝ පිරිසක් මුණගැසෙන අවස්ථාවකට හෝ කුමාර සහභාගි වූයේ නැත. හැමදේකින්ම ඔහු මගහැර සිටියේය. කිසිම අයෙකුගේ මුහුණ දිහා කෙළින් බලාගෙන ඔහු කතා කරන්නේ නැත. මේ නිසා විශ්ව විද්‍යාලයේ වුවද සමහරක් සිතුවේ ඔහු ආඩම්බරකාරයෙකු ලෙසය. 


ඥාතියෙකු හෝ අමුත්තකු නිවසට පැමිණි විටදී කුමාර කාමරයෙන් එළියට එන්නේ නැත. මාපියන්ගේ බලකිරීම මත කාමරයෙන් පිටතට පැමිණියත් ක්ෂණයකින් කාමරයට රිංගන්නේ ඉබ්බා කටුව තුළට රිංගනවා වාගේය. ‘‘කොල්ලා කාගෙවත් ඉස්සරහට එන්නෙවත් නෑ. මොකකට හරි බයවෙලාවත්ද දන්නෙ නෑ. ඔයාලට තේරෙන්නෙ නැද්ද පුතාගේ වෙනසක්. එයාට මොකක් හරි දෝෂයක් ඇති. මං නම් කියන්නේ ඔයගොල්ලො ඔහොම බලාගෙන නොඉඳ සාස්තරයක්වත් බැලුවොත් හොඳයි” කුමාරගේ නැන්දා කෙනෙකු කුමාරගේ අම්මාට එලෙස පැවසුවේ නිවසට පැමිණි අවස්ථාවකදීය. ‘‘හ්ම්, පොඩි කාලේ පුතා කළුවරටත් බයයි. එයාට අම්මයි තාත්තයි හැරෙන්න වෙන මොකවත් ඕනෙ නෑ. අපි හිතුවෙ ලොකු වෙනකොට හරි යයි කියලා. ඒත් තාමත් එහෙමමයි. අක්කා කියනවා වගේ මොකක් හරි දෝෂයක්වත්ද දන්නෙ නෑ කියලා දැන්නම් මටත් හිතෙනවා. අක්කා දන්න කව්රු හරි ඉන්නවද සාස්තරයක්වත් බලාගන්න” කුමාරගේ අම්මා ඇසුවාය. ‘‘ඉන්නවා, හරි බලගතු කෙනෙක්. හැබැයි රෑ එකට විතර තමයි යන්න වෙන්නේ. ඒ වෙලාවට තමයි සාස්තර කියන්නෙ” නැන්දා කීවාය. ‘‘කවදා වගේද ඉන්නේ ඒ කපු මහත්තයා” කුමාරගේ මව විමසුවාය. ‘‘සතියට දවස් තුනයි සාස්තර කියන්නේ. බදාදා සිකුරාදා, සෙනසුරාදා දවස් තුනේ විතරයි. මං හෙට රෑට අයියා එක්ක ගිහිං නොම්මරයක් අරගෙන එන්නම්” කුමාරගේ නැන්දා කීය. 


එදින සෙනසුරාදා දිනයක් විය. කුමාරගේ අම්මාත් තාත්තාත් නැගණියත් නැන්දාත් කුමාර කැටුව බලගතු කපු මහතා මුණගැසීමට පිටත් විය. රාත්‍රී දොළහමාරය. විශාල පිරිසක් කපු මහතා මුණගැසී තම තමන්ගේ ලෙඩ දුක් ගැන දැනගැනීමට හා පිළියම් ලබාගැනීමට පැමිණ සිටියෝය. මෙතරම් පිරිසක් කුමාරගේ මාපියන්ට පුදුම සිතුණි. 


ඒ මහා අන්ධකාර රාත්‍රියේ කපු මහතා ගිනි පෑගීමට සූදානම්ව සිටියේය. පේන බැලීමට පෙර ගිනි පෑගීම කපු මහතාගේ වික්‍රමය විය. සැවොම බලා සිටියදීම විශාල දේව ප්‍රතිමාව ඉදිරියේ පොළොව මත ඇති ගිනි අඟුරු ගොඩ මතින් කපු මහතා ඇවිද යන සැටි ගිනි පාගන සැටි දුටු පැමිණ සිටි විශාල පිරිසගේ දෙනෙත් විසල් විය. ‘‘අම්මෝ පුදුම බලයක් ඇති ඒකයි ඔහොම ගිනි පාගන්න පුළුවන් වෙන්නේ” කපු මහතාගේ දෙපා නොපිලිස්සීම පුදුමයකි. කිසිම ගානක් නැති විලසින් කපු මහතා ගිනි පාගා අවසන් කර දේව ප්‍රතිමාව ඉදිරියේ කන්නලව් කර දේවාලය තුළට පිවිසියේය. අඬ අඳුරු කුටිය තුළ දී සාස්තර කීමට පටන් ගත්තේය. එකින් එක නොම්මර පිළිවෙළට කතා කෙරුණි. කුමාරගේ වාරය එළඹිණි. ඔවුහු කුටිය තුළට පිවිසුනි. බුලත් පඬුරු ආසනය මත තැබුවේය. ‘‘හ්ම් හ්ම් කියමු බලන්න ආපු කාරණාව” කපු මහතා විමසීය. කුමාරගේ මව වැඳගෙන කුමාරගේ තත්ත්වය කපු මහතාට පැහැදිලි කළාය. ‘‘කපු මහතා ක්ෂණයකින් නොතේරෙන භාෂාවකින් යමක් කියාගෙන කියාගෙන ගියේය. වැඳගෙන අත් දෙක සොලවමින් හිස සොලවමින් කන්නලව් කරයි. ‘‘භූත දෝෂයක්... භූත දෝෂයක් හ්ම්.. හ්ම්.... ඒකයි ඒකයි හැංගෙන්න බලන්නෙ. හ්ම්.. ඔව්... දැන් නෙමේ හ්ම් පොඩි කාලෙ ඉඳලම වැහිච්ච භූත දෝෂයක්... හ්ම් බලගතු භූතයෙක්..... ඔව් ඔව් යවන්න ඕනැ” ආවේශයෙන් මෙන් කිවූ කපු මහතා ඉන්පසුව නොතේරෙන භාෂාවකින් මහා හඬින් යමක් මතුරමින් සාස්තරය අවසන් කළේය. ඉන්පසු තමා කීවේ කුමක්දැයි කුමාර ඇතුළු පිරිසගෙන් ඇසීය. කුමාරගේ පියා කපු මහතා ආරූඪයෙන් කිවූ දේ පැවසීය. ‘‘ඒක තමයි. බදාදා දවසක එන්න. ඕක අයින් කරලා දාන්න” කපු මහතා එසේ කියා භූත දෝෂය ඉවත් කිරීමට රුපියල් තිස්පන්දහසක මුදලක් ඉල්ලා සිටියේය. අවශ්‍ය අඩුමකුඩුම සියල්ල තමන් විසින් සකස් කරන බවද කීය. කුමාරගේ පියා එයට එකඟ විය. ඔවුන් නිවසට පැමිණෙන විට අලුයම තුනට පමණ විය. 


ඉන් සතියකින් පමණ බදාදා දිනයකදී කුමාරගේ භූත දෝෂය ඉවත් කිරීම සඳහා අම්මාත් තාත්තාත් කුමාර කැටුව කපු මහතා වෙතට ගියේ දියණියව නැන්දාගේ නිවසේ නවතාය. රාත්‍රී දොළහමාර වනවිට කපු මහතා තම වික්‍රමය සිදු කළේය. දේව ප්‍රතිමාව ඉදිරියේදී ගිනි පාගා අවසන් කර දේවාලය තුළට පිවිසි කපු මහතා සාස්තර අසන්නට පැමිණි සියලු දෙනාගේ වාරයන් අවසන් කොට කුමාරගේ භූත දෝෂය ඉවත් කිරීමේ කටයුත්තට සූදානම් විය. එවිට වේලාව රාත්‍රී දෙක පමණ විය. කපු මහතාගේ ගැතියන් සිව් දෙනෙකු බෙර වාදනය කරන අතරතුර කපු මහතා සියලු පුද පූජාවන් ද පවත්වා අවසානයේ කුමාරගේ හිසට අත තබා සොලවමින් නොතේරෙන භාෂාවකින් කතා කරමින් පැයක කාලයකින් අනතුරුව කුමාරගේ භූත දෝෂය ඉවත් කළේය. ‘‘දැන් ඉතිං ගැටලුවක් නැහැ. ටිකෙන් ටික දරුවගේ වෙනස තේරෙයි. බය නැතිව ඕනැ තැනකට යන්න. කිසිම බයක් ඇති කරගන්න ඕනැ නෑ. දැන් භූතයාව පන්නලා ඉවරයි මං” කපු මහතා උජාරුවෙන් තම වික්‍රමය කියා පෑහ. පොරොන්දු මුදල කපු මහතාට ලැබිණි. සියලු දෙනා නිවසට පැමිණෙන විට අලුයම හතරට ආසන්න වී තිබිණි. 


කුමාරගේ දෙමාපියන් උද්​ෙ‌යා්ගයෙන් යුතුව දවසට මුහුණ දුන්නේ කුමාරගේ ගැටලුව විසඳී අවසන් යැයි සිතමිනි. විශ්ව විද්‍යාලයට ගිය කුමාර නිවාඩු දිනවලදී නිවසට පැමිණි අතර පෙර පරිදි නිවසට කිසිවකු හෝ පැමිණුන විටදී කාමරයට රිංගා ගත්තේය. කපු මහතාගේ වික්‍රමයෙන් කුමාරට යහපතක් සිදුවී නොමැති බව කුමාරගේ මාපියන්ට වැටහුණි. 
මේ අතර කුමාර ගැන නිරීක්‍ෂණය කළ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු පන්ති වේලාවෙන් පසු තමන් මුණගැසෙන ලෙස කුමාරට පැවසීය. ආචාර්යවරයා කුමාර සමඟ කතා කළේය. කුමාරට ඔහුගේ තත්ත්වය ආචාර්යවරයා පැහැදිලි කරදුණි. ‘‘ඒ නිසා දරුවෝ ඔයා මනෝ චිකිත්සකවරයෙක් මුණගැහිලා ඔය තත්ත්වයට ප්‍රතිකාර ලබාගන්න. ඔයාගේ ඉදිරි ගමනට ඔය තත්ත්වය බාධාවක්. මං දන්න ඩොක්ට කෙනෙක් ඉන්නවා. ඔයා ඒ ඩොක්ටව ඉක්මනින්ම මුණගැහෙන්න” ආචාර්යවරයා කුමාරගේ පිටට තට්ටුවක් දමමින් වෛද්‍යවරයා මුණගැසීමට කුමාරට අවස්ථාවක් ලබාදීමට කටයුතු කළේය. 


ඒ අනූව කුමාර ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුණගැසුණි. කුමාර සමඟ වෛද්‍යවරයා බොහෝ වේලාවක් කතා කළේය. ඉන්පසු ප්‍රතිකාර කිරීමේ වගකීම භාරගත්තේය. කුමාරට එම මොහොතේ දැනුනේ තමන් නියම තැනට පැමිණියා වැනි හැඟීමකි. වෛද්‍යවරයා සමඟ කතා බහා කිරීමෙන් පසු කුමාරට විශාල ශක්තියක් සිතට දැනුණි. 


කුලපති මහතා කුමාරට මනෝ ප්‍රතිකාර ලබාදුන්නේය. මාස තුනක් යනවිට කුමාරගේ අසනීප තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවවිය. මෙහිදී වෛද්‍යවරයා කුමාරගේ තත්ත්වය පැහැදිලි කළේය. 


මනෝ විද්‍යාත්මකව මෙම තත්ත්වය හඳුන්වන්නේ සබකෝලය’ යනුවෙනුයි. කුමාරට තිබුණේ සබකෝලයයි. මෙහිදී පිරිසක් ඉදිරියට යාම, පිරිසක් ඉදිරියේ කතා කිරීම, ලිවීම වැනි දේට බියක් දක්වනවා. එබැවින් එම අවස්ථාවන් මඟහැර යනවා. මෙයට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ඇති බව බොහෝදෙනෙක් දන්නේ නැහැ. මෙම තරුණයාට මා විසින් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ලබාදුන් පසු ඔහු එම තත්ත්වයෙන් මිදුණා. 


එසේම මෙම සිද්ධියේ දී ඔවුන් පිහිට ලබාගිය කපු මහතා ගැන යමක් කිවයුතුයි. ගිනි පෑගීම හාස්කමක් නොවේ. ලොව පළමු වතාවට මෙය හාස්කමක් නොවන බවට ඔප්පු කර පෙන්වූයේ පසුගියදා අප අතරින් වියෝ වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි. මටත් ඔබටත් එය කිරීමට හැකියි පවසමින් වෛද්‍ය කුලපති මහතා ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර දුන්නේය. කිසිඳු පේ වීමකින් තොරව කුලපති මහතා ඇතුළු කීපදෙනෙක් විසින් ගිනි පෑගීම සිදුකර පෙන්වූයේ 2006 වසරේදී මාතර එක්තරා පන්සලකදීය. එහි විද්‍යාත්මක සත්‍යය කුලපති මහතා මෙසේ පැහැදිලි කළේය. 


 ‘‘යම් ද්‍රව්‍යයක් දහනය වීමට නම් සාධක තුනක් අවශ්‍ය වේ. එනම් දාහ්‍ය ද්‍රව්‍යක් දහනය විය හැකි ද්‍රව්‍යයක් අවශ්‍ය වේ. දෙවෙනි කරුණ නම් දහන පෝෂක වායුවක් උදා: ඔක්සිජන් මීතේන් වැනි වායුවක් තිබිය යුතුයි. තුන් වැනි කරුණ නම් ජ්වලන උෂ්ණත්වය :දහනය වීම සඳහා අවම උෂ්ණත්වය ඉහළ යා යුතුයි යන කරුණු තුනයි. නමුත් ගිනි පෑගීමේ දී කරුණු දෙකක් සම්පූර්ණ වන අතර, මා තුන්වන කරුණ ලෙස පැවසූ ජ්වලන උෂ්ණත්වය ඉහළ යාම සිදු නොවේ. මන්දල ගිනි පාගන පුද්ගලයා විසින් ගිනිගොඩ මත දුවන අතර, ගිනිගොඩ මත රැඳී සිටීමක් සිදු නොකරයි. එම නිසා, ජ්වලන උෂ්ණත්වය තෙක් උෂ්ණත්වය ඉහළ නොයයි. ඒ අනූව මෙහි කිසිඳු හාස්කමක් නැත. යමෙක් මෙය හාස්කමක් ලෙස පවසන්නේ හෝ පෙන්වන්නේ නම්, මා එම පුද්ගලයාට විනාඩි පහක කාලයක් දැවෙන අඟුරු මත දුවන්නේ නැතිව එකතැන ගිනිගොඩ මත රැඳී සිටින ලෙස පෙන්වන මෙන් ලොව ඕනෑම අයෙකුට අභියෝග කරමි. නමුත් පැහැදිලි වශයෙන්ම එම අභියෝගය භාරගත හැකි පුද්ගලයෙක් මෙලොව නැති බව මා වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරමි” යනුවෙන් පවසමින් විද්‍යාකුලපති මහතා එවැනි පුද්ගලයන්ට අභියෝගයක්ද සිදු කළේය. 

 


හබරාදුව නිමල් අල්ගෙවත්ත