ගාල්ලෙන් සේවකයන් මාරු කළ නෙදර්ලන්ත නැවේ කතාව


 

  • මුහුදු පත්ලේ විශාල බට එලන නැව් දෙකක් දකුණු මුහුදු තීරයේ වැඩ
  • නිවාඩු යන සේවකයන් මත්තල හරහා ගාල්ලට ගෙනාවා

 

 

මේ දිනවල බොහෝදෙනා තම තමන්ගේ රාජකාරී කරන්නේ නිවසේ සිටිමිනි. ඒ නිවසේ සිට වැඩ කරන අයට තම කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයන තවත් බොහෝ පිරිසක් සිටිති. ඔවුන්ට නිවසට වී සිටින්නට හැකියාවක් නැත. ඔවුන් සිටිය යුත්තේ වැඩ කරන ස්ථානයේය.


එවැනි අය මහ පො​ෙළාව මත තම සේවා ස්ථානයේ පමණක් නොව ගුවනේත්, පොළොව අභ්‍යන්තරයේත් මහ මුහුදේත් වැඩ කරති. ඔවුන් සිය කටයුතු නතර කළහොත් ලෝකයේ බොහෝ දේ නතර කර දැමීමට සිදුවෙයි. එවැනි පිරිසක් පසුගියදා දැඩි අසීරුතාවකට පත්ව සිටියහ.


ඒ මහ මුහුදේ ඉන්ධන ගෙන යන හා අන්තර්ජාල රැහැන් රැගෙන යන නළ මාර්ග සකසන නාවිකයෝය. ඔවුන් මාස ගණනකින් සිය නිවෙස්වලට නොගොස් එක දිගට සේවය කරමින් සිටියහ. ඔවුන් නිවාඩු ලබා නිවෙස්වලට යාමට නම් තවත් ආදේශක පිරිසක් ඔවුන් සේවය කරන ස්ථානයට පැමිණිය යුතුය. මෙය පහසු කටයුත්තක් නොවේ. ඔවුන් සේවය කරන්නේ අඩි දහස් ගණනක් ගැඹුරු අඩි සිය ගණනක් උසට රළ නැගෙන මහ සයුරේය. ඒ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති නෞකා ඔවුන්ගේ රැකියා ස්ථාන බවට පත්ව ඇත. මොවුන් නිවාඩු ලබා නිවෙස් වෙත යාමටත්, ආදේශක පිරිස් ඒ සඳහා යෙදවීමටත් ගොඩබිමකට පැමිණිය යුතුය.


එවැනි නෞකා දෙකක් මේ දිනවල ශ්‍රී ලංකාවට නුදුරින් මහ මුහුදේ මාස ගණනක් සේවයේ නිරතව සිටියි. සාගර පත්ලේ විශාල විෂ්කම්භයක් සහිත නළ මාර්ග එළිමේ කාර්යයේ නිරතවන නෞකා දෙකකි. ඒවා MV - Audacia සහ MV - Calamity jene නමින් හැඳින්වෙයි.


1985 වර්ෂයේ දී ස්විට්සර්ලන්තයේ ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ආරම්භ කරන ලද ඇල්සීස් නමැති සමාගමකට මේ නෞකා දෙකම අයත්වෙයි. ඒවා දැනට මෝල්ටා රාජ්‍යයේ ධජය යටතේ ඉන්දියන් සාගරයේ සේවයට යොදවා ඇත. ‍මුහුදු පත්ලේ විශාල නළ එළීමේ කාර්යයේ නිරතවන මෙම සමාගමේ ලෝකය පුරා විවිධ රටවල විවිධ ජාතීන්ට අයත් 4000කට වැඩි පිරිසක් සේවය කරන අතර ඔවුහු මේ කාර්යය සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත නිපුණයෝ වෙති. නමුත් මේ රාජකාරියනම් සුළු පටු දෙයක් නොවේ. අධික වෙහෙසර ක්‍රියාවකි.


මේ නෞකා දෙකෙන් MV - Audacia නිෂ්පාදනය කර ඇත්තේ 2005 වර්ෂයේ දීය. මුහුදු පත්ලේ නළ මාර්ග එළීම සඳහාම විශේෂයෙන් නිපදවා ඇත. 2007 වර්ෂයේ සිට සේවයේ යොදවා ඇති මෙම නෞකාව විශාල විෂ්කම්භයක් සහිත නළ මුහුදු පත්ලේ ස්ථානගත කිරීමේ හැකියාවෙන් ද යුතුය. මීටර 225ක් දිගැති මෙය ටොන් 56,172ක් බරැති නෞකාවකි.

 

 

එය බැලූ බැල්මට අමුතුම නෞකාවකි. නැවේ එක් කෙළවරක මුහුදට පහත් කළ හැකි දොඹකරයක් වැනි උපකරණයක් වෙයි. මුහුදු පත්ලේ නළ ස්ථානගත කරන්නේ මෙය භාවිත කරමිනි.


MV - Calamity jene නෞකාව යොදා ගන්නේ MV - Audacia නමැති නැවේ සහායක නෞකාව ලෙසිනි. නළ මාර්ග ස්ථාපනය කිරීමේදී පෙර හා පසු ඉදිකිරීම් සමීක්ෂණ කටයුතු මෙම නෞකාවෙන් සිදුකරන අතර වඩාත් ස්ථාවර සවිකිරීම සඳහා සහාය දක්වයි.


පසුගිය මාස කිහිපයක්ම මේ නෞකා දෙක ඉන්දියන් සාගර කලාපයේ මුහුදු පත්ලේ නළ එළීම් සහ අලු‍ත්වැඩියා කටයුතු වළ යොදවා තිබිණි. ඒ නිසාම එහි සිටි නාවිකයන් පිරිසකට නිවාඩු ලබා තම මව්රටවලට යාමට අවශ්‍යව තිබිණි. තවත් පිරිසක් නැවට කැඳවා ගැනීමට අවශ්‍ය විය.


නමුත් ඔවුන්ට තිබූ බරපතළම ගැටලු‍ව වූයේ කොරෝනා වසංගතය හේතුවෙන් බො‍හෝ රටවල සියලු‍ සැපයුම් සේවා අත්හිටුවා දමා තිබීමයි. මේ නිසා ගුවන් ගමන් හෝ ක්‍රියාත්මක වූයේ නැත. නාවිකයන් හුවමාරු කරගැනීමට පහසුකම් සලසා ගැනීම ද අසීරු කාර්යයකි.


නමුත් ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයේ පිහිටීම අනුව ලෝකයේ ඕනෑම රටකට වඩා නැවකට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට සුදුසුම රටක් වන්නේ ශ්‍රී ලංකාවයි. ඔවුන් ශ්‍රී ලංකාවෙන් මේ සඳහා ඉල්ලීම් කර තිබිණි. නැව් සඳහා සේවා සහ පහසුකම් සැපයීමට ඉතා දීර්ඝ කාලයක සිට කීර්තිමත් නාමයක් හිමි රටක් වූ ශ්‍රී ලංකාවේ රජය මේ සඳහා ඔවුන්ට පහසුකම් ලබාදීමට තීරණය කළේය. ඒ සඳහා මැදහත්කරු ලෙස විල්හේල්ම්සන් නමැති නෞකා සේවා සපයන ජාත්‍යන්තර නියෝජිත ආයතනය කටයුතු කළේය.
නමුත් මෙහි දී තවත් ප්‍රායෝගික ගැටලු‍ රැසක් තිබිණි. මේ නෞකා දෙකෙන් 50කට අධික නාවිකයන් පිරිසක් ගොඩබෑමටත්, යළි නෞකා දෙකට අලු‍තෙන් නාවිකයන් 200කට වැඩි පිරිසක් නැංවීමටත් නැව් සමාගමට අවශ්‍යව තිබීම ඒ ගැටලු‍ව විය. මේ සාමාන්‍යයෙන් දෛනිකව නැව් අතර හුවමාරු නොවන තරම් විශාල නාවිකයන් පිරිසකි.


කොරෝනා වසංගතය පැතිර යන අවස්ථාවක එතරම් විශාල පිරිසක් ආගන්තුක නැව් දෙකකින් මෙරට ගොාඩබිමට බැසීමට අවසර ලබාදීමත් වෙනත් රටවල පැමිණෙන නාවිකයන්ට පිරිසකට ගොඩබිමට පා තබා යළි නැව් නැගීමට අවස්ථාව ලබාදීමත් ගැටලු‍වකි. ඒ සඳහා රජය සෞඛ්‍ය අංශ ද ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) ලිමිටඞ් ආයතනය සමග ද සාකච්ඡා කර සැලසුමක් සකස් කරන ලදී.


මේ සැලසුම ක්‍රියාත්මක වූයේ මැයි මස 03 දා ය. එදින නැව් දෙක ගාල්ල වරායේ නැංගුරම් ලා තිබිණි. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපොළේ සිට බොයිං 767 - 300 ER වර්ගයේ යානාවක් නාවිකයන් 235 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 13ක් සමග ශ්‍රී ලංකාවේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීම ආරම්භ කර තිබිණි.


මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කළමනාකරු උපුල් කලංසූරිය මහතා පවසන්නේ මැයි මස 03 වැනි දා උදෑසන 8.27 ට මේ යානය මත්තල ගුවන් තොටුපොළට ළඟා වූ බවයි. එහි පැමිණි නාවිකයෝ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පිටතට ගත් අතර ගුවන් හමුදාවේ රසායනික න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර බළගනයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විෂබීජහරණ විශේෂ ක්‍රියාවලියකට ඔවුහු යොමු කළහ. අනතුරුව සුඛෝපභෝගී බස්රථ කිහිපයකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ඔවුන් ගාල්ල වරාය දක්වා පිටත්කර හැරීම සිදුවිය.
ගාල්ලට පැමිණි නැව්වල සිටි නාවිකයෝ ගාල්ල වරායට ගොඩබටහ. එතැන දී ගාල්ල වරායේ පිහිටුවා ඇති වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් ඔවුන් සියළු දෙනාගේ ශරීර උෂ්ණත්වය හා කොරෝනා රෝග ලක්ෂණ ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන් පිරිස ද ජීවානුහරණයට ලක්කෙරිණි.


යානයෙන් පැමිණ මත්තලින් බස්රථවලින් ගාල්ලට පැමිණි 233 දෙනෙක් නැව් දෙකට නැංවූහ. නැව්වලින් ගොඩබිමට පැමිණ සිටි 57 දෙනෙක් සියලු‍ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් භාවිත කරමින් යළි මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගෙන යන ගියහ. ගුවන් තොටුපොළ කළමනාකාරවරයා පවසන්නේ ඔවුන් රැගෙන එම ගුවන් යානය යළි පසු දා එනම් මැයි 04 වැනිදා අළුයම 3.50ට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීම ආරම්භ කළ බවයි.


මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙවැනි නාවික හුවමාරු වැඩසටහනක් සඳහා යොදාගත් පළමු අවස්ථාව වන්නේ ද මේ මෙහෙයුමයි. කොරෝනා වසංගතය ලෝකය වෙ‍ළා ගනිද්දී බොහෝ රටවල් මෙවැනි කාර්යයකට ඉඩ පහසුකම් ලබාදීමට කැමැත්තක් දක්වන්නේ නැත. නමුත් ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයේ තමන්ට ඇති කීර්ති නාමයත්, ආගන්තු සත්කාරයට කවදත් දක්වන සුවිශේෂීත්වයත් හේතුවෙන්ම මෙවැනි කාර්යයකට දායක විය. එමෙන් ම මේ අවස්ථාවේ දී පැමිණෙන නාවිකයන් හා පිටත්ව යන නාවිකයන් යන දෙපිරසම සෞඛ්‍යාරක්ෂිතව හුවමාරු කරන්නනටත් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව, නාවික හමුදාව, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) ලිමිටඩ් ආයතනය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වරාය අධිකාරිය හා මත්තල ගුන්තොටුපොළ කාර්ය මණ්ඩලය ඇතුළු විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ දැක්වූ දායකත්වය පැසසුම් කටයුතුය.
ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ නැව්වල සිටින නාවිකයන් හුවමාරු කාර්යයන් කොතෙකුත් සිදුකර තිබුණ ද මේ තරම් විශාල පිරිසක් එකම යානයකින් පැමිණ නාවික හුවමාරු කටයුත්තකට සහභාගී වූ අවස්ථාව මෙය බවට ඉතිහාස ගත වනු ඇත.


මෙම නැව්දෙක පිළිබඳ පරීක්ෂා කර බැලීමේ දී ‍ලිපිය ලියන බ්‍රහස්පතින්දා (07) වනවිට එම නැව් දෙක රතු මුහුද දක්වා ගමන් කර තිබෙන බව චන්ද්‍රිකා දත්ත ඔස්සේ දැනගැනීමට ලැබිණි.

 

සටහන - සජීව විජේවීර
ඡායාරූප - සූරියවැව නුවන් ජයසේකර