ගාමිණීගේ කම්මුල් පහර


 

 

ගාමිණී ෆොන්සේකා නම් කීර්තිමත් රංගධරයා අප අතරින් වෙන්ව ගොස් 16 වසරක් පිරුණේ පසුගිය 30 වැනිද‌ාය.   


එහෙත් ඔහු ශ්‍රී ලංකා සිනමා තිරයේ මැවූ දැවැන්ත ප්‍රතිරූපය තවමත් විරාජමාන වෙයි. සද්දන්ත පුරුෂයකු ලෙස ඔබ තිරයෙන් දුටුව ද ඔහු එතරම් උස පුද්ගලයකු නොවේ. එහෙත් තිරයේ පමණක් නොව ඉන් පිටතදීත් ඔහු ගොඩනැගූ පෞරුෂය අද ද කිසිදු ශ්‍රී ලාංකික නළුවකුට අභිබවා යන්නට හැකියාවක් නැත. 


පෞරුෂයේ තරමටම ඔහු ආඩම්බරකාරයෙකි. ඉතාම සුළු කරුණකින් පවා සසලවන්නෙකි. ඔහු හිනා වුණෙත් කට කොනකිනි. ඒකත් ආඩම්බරකාර හිනාවකි. 
 සේන සමරසිංහයන් චිරාගත ජනප්‍රියත්ව සම්ප්‍රදායේ කිරුළ දරා ගනිමින් ‘චංචල රේඛා’ චිත්‍රපටය ආරම්භ කළේ හැත්තෑව දශකය අහවර වී අසූව දශකයට පා තබනවාත් සමගමය. 


ඔහු විසින් නිපදවන ලද අධ්‍යක්ෂණය කරන ලද සදහටම ඔබ මගේ, කස්තුරි සුවඳ, නිල්ල සොයා ආදී චිත්‍රපට ආද‌ායම් වාර්තා බිඳ හෙළද්දී ‘චංචල රේඛා’ තුළින් සේන අමුතුම ආකාරයේ හැඟීම්බර කතාවකට මුල පුරන්නට සූද‌ානම් විය. නැටුම් ආදී විනෝදාස්වාදය අංග එහි ඇතුළත් නොවිණ. ගාමිණී එහි රඟපෑවේ සිය මව හා පියා මිය යාමෙන් අසරණ වූ පසුකාලීනව අන්ධ භාවයට පත් වූ වැඩිමහල් සොහොයුරෙකුගේ චරිතයකි. අන්ධ සොහොයුරාගේ වගකීම වූයේ සිය රූමත් නැගණිය රැකබලා ගැනීමය. ‘චංචල රේඛා’ ගැන සේන සමරසිංහයන් එකල එතරම්ම බලාපොරොත්තු තබාගෙන නොසිටිය ද එය මහත් ජනප්‍රියත්වයක් ලැබුවේය. අද දක්වාම දංචූටිගේ කතාව නමින් හැඳින්වෙන්නේ ‘චංචල රේඛා’ ය. 
 මා මේ චිත්‍රපටයට තුන්වැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙස සහභාගි වුව ද බොහෝ වගකීම් පැවරී තිබුණේ එවකට ප්‍රකට සිනමා ලේඛකයකු වූ කුමාරද‌ාස වාගිස්ටටත් එච්.එම්.පී. ප්‍රනාන්දුටත්ය. 


 මට පැවරී තිබූ වගකීම වූයේ දර්ශන තලයේදී නළු නිළියන් කියන දෙබස් නැවත අසා සිට ලියා ‘ඩබින් ස්ක්‍රිප්ට්’ (දෙබස් පටිගත කිරීමේදී යොද‌ාගන්නා පිටපත) එකට සහාය වීමය.  
රූගත කිරීම් ඇරඹුණේ රඹුක්කන පිහිටි සේන සමරසිංහයන්ගේ සුවිසල් නිවහනේදීය. රූගත කිරීම් කණ්ඩායම පෙරදින රඹුක්කනට ගොස් සේනගේ සොහොයුරාට අයත්ව තිබූ පහළ නිවසේ නැවතුණු අතර ගාමිණී ආවේ එදිනම හැන්දෑවේ කේ.ඩී. සේනක පෙරේරා සමඟය. ඔහු නැවතුණේ සේනගේ නිවසේය. 
රෙක්ස් කොඩිප්පිලි, නදීකා ගුණසේකර, තලතා ගුණසේකර, කේ.ඩී සේනක පෙරේරා, ෆරීනා ලායි, බන්දු සමරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, විමල් කුමාර ද කොස්තා, රිචඩ් වීරක්කොඩි ආදී ජනප්‍රිය නළු නිළියෝ රැසක් සමග කැමරා අධ්‍යක්ෂක ඩැනී ඩබ්ලිව්. පතිරණ, අද ප්‍රකට කැමරා ශිල්පියකු වූ ජී. නන්දසේන ආදී විශාල පිරිසක් කණ්ඩායමට ඇතුළත් වුණා. ඒ අතරතුර තවත් අතිරේක නළු නිළි පිරිසක්ද වූහ. ඒ හැර තවත් විශාල සහායක පිරිසකි. 
 පසුද‌ා උදෑසන රූගත කිරීම් ඇරඹුණේ සේනගේ රඹුක්කන නිවස අසලම පිහිටි මනරම් වෙල් යායක් අසලය. කවුරුත් සිටියේ දැඩි ප්‍රබෝධයකිනි. එවෙලේ සේන ගාමිණීට යමක් විස්තර කරමින් සිටියේය. ඩැනී ඒ සියල්ල කැමරාවට හසුකර ගන්නට සූද‌ානමින් සිටී. 


ඒ කාලයේ මේ කීර්තිධර රංගවේදියා සමග මගේ කිසිදු ඇයි හොඳයියක් නොතිබිණ. ගාමිණී කීප වරක් දැක තිබුණ ද අප අතර කිසිදු සුහද කතා බහක් නොවීය. එකල ඔහු ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ බැබැළුණ අතර මම පත්තර කලාවට පැමිණ සිටි නවක වාර්තාකාරයකු වීමි. 
 ගාමිණී ගැන පැතිර තිබූ ආරංචි අනුව මා චංචල රේඛා චිත්‍රපටයට සහභාගි වූයේද තරමක විචිකිච්චාවකිනි. ගාමිණීට මගේ වැඩකටයුතු ඇල්ලුවේ නැත්නම් මට චිත්‍රපටයෙන් ඉවත්ව යන්නට සිදුවනු ඇත. ඒ නිසා මම මගේ රාජකාරිය හැකි තරම් උපරිමයෙන් කිරීමට වග බලාගෙන සිටියෙමි. 
කෙසේ වුව ද රූගත කිරීම් පැය කීපයක් තුළ කෙරීගෙන යද්දී එක්වරම ගාමිණී මට මගේ නම කියා කතා කෙළේය. මම විමතියට පත්වීමි. ඔහුට මගේ නම දැනගන්නට විධියක් නැත. මම ඔහු ළඟට ගියෙමි. ඔහුගේ මුහුණේ තිබුණේ ප්‍රසාදයක් නොවේ. ඔහු කතා කළේ ඉංග්‍රීසියෙනි. ගාමිණී කොහොමත් දර්ශන තලයේදී වැඩිපුර කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. 
ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණය මෙන්ම කතා ලතාව ද ආකර්ෂණීයය. එහෙත් මෙවර ඔහු මට කතා කළේ මදක් කෝප වූ ස්වරයෙනි. 


‘යූ ආර් දි ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්?’ 
‘මම තුන්දෙනාගෙන් එක්කෙනෙක් විතරයි.’ මම කීවෙමි. 
‘හූ ඊස් දැට්?’ 


අතක පච්චයක් කෙටූ තට්ටය ගෑ ස්කිනියකින් හා කොඩ්රෝයි කලිසමකින් සැරසුණු මැරවර පෙනුමැති මිනිසකු ඇස්වලින් පෙන්නමින් ගාමිණී මගෙන් ඇසුවේය. සමහර විට ඔහු රූගත කිරීම් නරඹන්නට ආ රසිකයකු වන්නට විය හැක. ඔහු අපේ රූගත කරන කණ්ඩායමේ සිටි බවට නම් මට මතක නැත. 
‘මම දන්නේ නෑ. සේන අයියගෙන් අහන්න ඕනෑ.’ 


‘එයාට වහාම සෙට් එකෙන් යන්න කියන්න.’ ඉංග්‍රීසියෙන් කීවද ගාමිණීගේ හඬ විධානයක් විය. 
‘මම කැමැති නෑ අයි.ආර්.සී. කාරයොත් එක්ක වැඩ කරන්න.’ 
 අසරණ වූ මම පොඩි එකෙකු මෙන් සේන සමරසිංහයන්ට මේ බව කීවෙමි. 
‘ගාමිණී කියනව නම් යන්න කියන්න.’ සේන කීවේය. 


මම මැරවරයා අසලට ගොස් කාරණය පැහැදිලි කෙරුවෙමි. ඔහු මහා මරුමුස්කාරයෙකි. ඔහු මගේ පැහැදිලි කිරීම තඹයකට මායිම් නොකළේය. 
‘හරි මං යන්නම්. මම උඹව මගදී අල්ල ගන්නම්. උඹ මෙතනම ඉන්නේ නෑනේ. දැන ගනින් මම මේක අත්අරින්නේ නෑ.’ යි ඔහු මට තර්ජනය කරමින් දර්ශන තලයෙන් පිටත්ව ගියේය. යන අතරවාරයේදීත් ඔහු මා දෙස බලා මට ඇඟිල්ල දිගුකොට තර්ජනය කෙළේය. 
මේ කඩාපාත් වූ හෙණ ගෙඩිය කුමක් ද? මේ මිනිහා මට අතරමගදී අනතුරක් කරයි ද? තවත් ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරුන් දෙදෙනකුම සිටියදී ගාමිණීට තිබුණේ මේ ගැන ඔවුන්ට කියන්නටය. 


 රූගත කිරීම් දිගටම කෙරීගෙන ගියේය. 
 රූගත කිරීම් වලින් පසුව සැන්දෑවරුව ගතවන්නේ කමින් බොමින් අල්ලාප සල්ලාපයෙනි. එය සේනගේ නිවසේ මිදුලේ තුරු සෙවණේ සිදුවෙයි. 
ස්නානය කර ඇඳුම් මාරුකර සාදයකට යන්නාක් මෙන් සියල්ලෝම සැන්ද‌ෑ හමුවට සහභාගි වෙති. එහි මුල් පුටුව හොබවන්නේ ගාමිණීය. 
පුදුමයක මහත, අප සේනගේ නිවසේ අල්ලාප සල්ලාප සඳහා සහභාගි වීමට යාමට සූද‌ානම් වෙද්දී අර මැරයා ද අපේ නවාතැනට පැමිණ සිටියේය. ඔහු මා දෙස බලාගෙන සිටියේ රෞද්‍ර දෑසිනි. උඹට වැඩක් දෙන්නම් වැනි සංඥාවක් මා දුටු විගස ඔහු පළ කෙළේය. 
‘කවුද ඒ?’ මම කුමාරද‌ාස වාගිස්ටගෙන් ඇසුවෙමි. 


‘උඹත් ගාමිණීගේ ලණු කනවනේ.’ 
‘මොකක්ද ලණුව?’ 
‘යකෝ ඒ ගාමිණීගේ හොඳම ගෝලයෙක්. සිසිර කුමාරතුංග.’  
අප යන විටද ගාමිණී හාන්සි පුටුවක වාඩි වී දෙපා පුටුව මතට ගෙන සිගරට්ටුවක් උරමින් සිටියේය. ඔහු කොහොමත් සරම අදින්නේ තරමක් කොටටය. එදින ඔහු ඇඳ සිටියේ බතික් සරමකි. බොත්තම් කීපයක් නොපියවූ අත්කොට කමිසයක් ඇඟට දමාගෙන උන්නේය. 
මම මද සිනාවකින් යුතුව ගාමිණී දෙස බැලුවෙමි. එවිටම මැරවරයා සිසිර කුමාරතුංග ද අප අසලට පැමිණියේය. ගාමිණී හයියෙන් සිනාසුණේය. 
‘අතට අත දීලා යාළුවෙයල්ලා’ 


‘ගිහිල්ල ලියපන් ඕක පත්තරේට’ කී ගාමිණී තවත් වරක් මහා හඬින් සිනාසුණේය. ගාමිණීගේ ආඩම්බරකාර සිනාව මහා සිනාවකට හැරෙන්නේ ඔහු ඉමහත් සතුටකින් සිටින විටය. එහෙත් ගාමිණීගේ ඒ ඉල්ලීම ඉටුවන්නේ වසර තිස් ගණනකට පසුවය. 
 සිසිර ගාමිණී සමග හරි හරියට සටන් කිරීමට දක්ෂයෙකි. ගාමිණී සටන්වලදී පහර එල්ල කරන්නේ සැබෑවටමය. ඒවායින් බෙරී ඔහු හා සටන් කිරීමේදී සටන් ජවනිකාව වඩාත් ස්වභාවික බවක් ගනී. 
 ගාමිණීගේ ඇතැම් ප්‍රහාරවලදී සිසිර කරණම් ගසා ඔහුට පහර දෙයි. ගාමිණී එයට කැමැතිය. ඒ කාලයේ ගාමිණීගේ පෞද්ගලික ජීවිතයේදීද ඉතාමත් සමීපව කටයුතු කළ සිසිර දැනුදු සිනමාවට සම්බන්ධව කටයුතු කරයි. කාලයත් සමග සිසිරගේ රුව තේජස මදක් අඩුව තිබුණ ද මගේ මුල්ම චිත්‍රපටයේදී ගාමිණීගේ කීමට මා බියට පත් කළ මැරයා දැනුදු හමු වූ විට ඒ සුන්දර අතීතය සිහිපත් කරයි. 


 එතැන් පටන් ගාමිණී මට බෙහෙවින් කුළුපග වූවේය. ඔහු මට විටෙක මිතුරකු විය. තවත් විටෙක නෑදෑයකු විය. 
‘උඹ වරෙන් මා එක්ක ෆිල්ම් එකක වැඩ කරන්න. මං ‘සංඛපාලී’ පටන් ගන්නවා ළඟදී.’ ගාමිණී වරෙක මට කීවේය. විශාල රිෆ්ලෙක්ටර් බෝඩ් ඔසවාගෙන කඳු තරණය කරන රූප ගතකිරීමේ කණ්ඩායමේ තරුණයන්ට ඔහුද පැත්තක් අල්ලා සහාය දුන් අවස්ථා ද විය. 
 ‘පේනව නේද මේ කොල්ලො විඳින දුක. චිත්‍රපටයක් හදන්න’ ඔහු වරෙක මදෙස බලා කීවේය.  
ගාමිණී සුප්‍රකට සටන් නළු විල්සන් කරූට ද බෙහෙවින් ප්‍රිය කළේය. ඒ ද ගාමිණීගේ ප්‍රහාරවලට මුහුණ දෙමින් සටන් ජවනිකාව වඩාත් සාර්ථක කර ගැනීමට කරූ සහාය දෙන බැවිණි.


‘‘ෆොන්සේකා මහත්තයගෙ ෂොට් කාල ඉන්න බෑ. ඇත්තටමයි ගහන්නෙ. එයාට ඕන ෆයිට් එක ඇත්තටම කරන්න. එක පාරක් මම කන්ටේනර් යාඩ් එකකදි පහළට වැටෙනව ගාමිණීගෙ ෂොට් එකකින්. දවස් ගාණක් පත්තු බඳින්‍න වුණා.’’ කරූ වරක් මා සමඟ පැවසීය. 
මෙවැනිම තවත් අපූරු ජවනිකාවක් ‘චංචල රේඛා’ චිත්‍රපටයේදීම සිදුවිය. 
දං චූටි බලන්නට මනමාලයෙකු එන්නේ සිය මවුපියන් ද සමගය. දංචූටි නදීකාය. මව නදීකාගේම මව වූ තලතා ගුණසේකරය. නෑදෑ පිිරිවර සමග කා බී මදක් ඈතට යත්ම දංචූටිගේ ආදරය අයදින විමල් කුමාර ද කොස්තාගේ සහචරයෝ පැමිණ මනමාලයාගේ මවුපියන්ට යමක් කියති. එයින් ඔවුන්ගේ සිත් බිඳෙයි. 
මංගල යෝජනාව ගෙනා කපුවා සිටින්නේ දැඩි සතුටින් වුව ද ගතු කීමෙන් පසුව ඔහුගේ සිතද වෙනස් වෙයි. 
 කපුවාට රඟපෑවේ කුමාරද‌ාස වාගිස්ටය. ඔහු සහාය අධ්‍යක්ෂණයෙන් මදකට මිදී කෝට් බෑයකින් හා සරමකින් සැරසී දර්ශනයට සූද‌ානම් විය. රූගත කිරීමට කලින් පෙරහුරුවක් විය. 


‘දැන් සේරම තීන්දුයි නේද?’ ගාමිණී වාකිගෙන් අසයි. 
‘නෑ. නෑ. පොඩ්ඩක්..’ කපුවා ගොත ගසයි. 
‘මොකද පොඩ්ඩක්? දැන් තමුසේ කිව්ව නේද සේරම හරි කියල.’ ගාමිණීගේ වාග් ප්‍රහාරය සැරය. 
පෙරහුරුව නිම විය. 


 දර්ශනය රූගත කිරීමට සේනගෙන් විධානය ලැබිණ. කැමරාව කිරි කිරි ශබ්දයක් නගමින් ක්‍රියාත්මක වෙයි. 


(ඩිජිටල් කැමරා නොතිබුණ ඒ කාලයේ කැමරාව තුළ දළ සේයාපට කරකැවීමේදී සිහින් ශබ්දයක් නැගෙයි.) 


දෙබස් පෙරහුරුවේ පරිදිම කියැවෙයි. දර්ශනය අවසාන වන්නට ළඟය. 


‘දැන් තමුසේ කලින් කිව්ව නේද සේරම හරි කියලා - ආ.’ 


කී ගාමිණී හෙණයක් ගහනවාක් මෙන් වාකිට කම්මුල් පහරක් ගැසුවේය. කම්මුල් පහරේ ශබ්දයෙන් එය කෙතරම් ප්‍රබල වීද යන්න සිතාගත හැකි විය. ප්‍රහාරය කොතරම් අනපේක්ෂිත වීද පමණක් නොව එය කෙතරම් ප්‍රබල වීද යත් වාකිට දෙබස් පවා අමතක වී ගාමිණී ගාමිණී කියමින් දර්ශන තලයෙන් පැන ගත්තේ කම්මුල අතගාමිනි. 
‘ගාමිණීත් හරි වැඩනෙ කරන්නේ.’ ඔහු ගාමිණී දෙස බලමින් කීවේය. ගාමිණීගේ හැටි එහෙමය. 

 

 

රොඩ්නි විද‌ානපතිරණ