ගාමිණි මාලනී නෑසූ කතා


 

ජීවරානී කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි විවාහ වීමෙන් පසුව සිනමා රඟපෑමට සමුදුන්හ. හැටේ දශකයේදී ඉමහත් ජනප්‍රියත්වයට ලක් වූ ජීවරානී හා සන්ධ්‍යාගේ අඩුව පුරවන්නට සෙමෙන් පිය මැන්නේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාය. 

 
හැටේ දශකයේ සිට සිනමාවේ ජනප්‍රියතම පෙම්වතා ලෙස ගාමිණී ෆොන්සේකා කිරුළු පළඳා සිටියේය. සන්ධ්‍යා ජීවාගෙන් පසුව ශ්‍රී ලාංකේය තිරයේ ජනප්‍රියම පෙම් යුවළ වූයේ ගාමිණී - මාලිනීය. ගාමිණී - ජීවා, ගාමිණී - සන්ධ්‍යා යනුවෙන් සිනමා පෝස්ටර්වල සඳහන් වූ කාලය හමාර කරමින් ඉන් පසුව සටහන් වූයේ ගාමිණී - මාලනී යන්නය.   


ගාමිණීගේ මාලිනීගේ චිත්‍රපට ආදායම් වාර්තා බිඳ හෙළන්නට සමත් විය.   


ගාමිණී වාණිජ සිනමාවේ මෙන්ම කලාත්මක යයි හැඳින්වෙන චිත්‍රපටවල ද විශිෂ්ට ලෙස චරිත නිරූපණය කළේය. මාලිනී ද එබඳුය. ඇයට ද මල්වතුවල ගයමින් රඟපෑමට අමතරව නිධානය, අහස් ගව්ව, බමරු ඇවිත්, සිරිපාල හා රන් මැණිකා, සොල්දුදා උන්නැහැ, එයා දැන් ලොකු ළමයෙන් වැනි චිත්‍රපට රැසක සම්මානනීය රඟපෑම් ඉදිරිපත් කරන්නට වරම් ලැබුණි.  


එකම සම්මාන උළෙලකදී ජනප්‍රියම නිළිය ලෙසත් හොඳම නිළිය ලෙසත් මාලිනි සම්මානයට පාත්‍ර වීම භාග්‍යයකි.   


ඒ හැරුණු විට කස්තුරි සුවඳ, ආවා සොයා ආදරේ, හොඳට හොඳයි, කවුද රජා ආදී චිත්‍රපට රැසක් ආදායම් වාර්තා බිඳ හෙළීය.   


මාලිනි සැබෑ ජීවිතයේදී ද නිරහංකාර සාමාන්‍ය ගැහැනියක වූවාය. රඟපෑම සඳහා දුර පළාතකට ගිය විට ප්‍රේක්ෂකයන් සමග ඇය බෙහෙවින් සමීප වූවාය. විවිධ පහසුකම් ඉල්ලා නිෂ්පාදකවරුන්ට කරදර නොකළාය.   
ඇය සිටින දර්ශන තලයකට ඇය බලන්නට පැමිණෙන වෙනමම පිරිසක් වූහ. තාරකාවක් ලෙස එය භාග්‍යයකි.  


‘වැල්ලෙ තැනූ මාලිගා’ චිත්‍රපටය කල්පිටියේ රූගත කරද්දී අප ට්‍රැක්ටර් ට්‍රේලරයක් ගමන් පහසුව ලෙස යොදාගත් බව කීපවරක්ම සඳහන් කර ඇත්තෙමි. මේ ජනප්‍රිය, සම්මානනීය නිළිය ද කැමරා කණ්ඩායම සමග ට්‍රේලරයේ ගමන් ගත්තේ රෙද්ද හැට්ටයෙන් සැරසීගෙනය. (එම චරිතය රෙද්ද හැට්ට අඳින ධීවර තරුණියකගේ චරිතයකි.)   


දවාලට සියල්ලන්ම ආහාර ගත්තේ මාළු වාඩියක එළන ලද පන් පැඳුරු මත වාඩිගෙනය. ඒවා ඒ ස්ථානයේදීම පිළියෙල කරගත් ආහාර විය.

   
එකල ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ බැබළුණ මාලිනි, විජය, කලං ඇතුළු පිරිසට බිම පන් පැඳුරු මත වාඩි වී බත් පිඟාන අල්ල මත තබාගෙන ආහාර ගැනීම ගැටලුවක් නොවීය. ඒ අතරතුර මාලිනි ඇතැම් විටෙක කැමරා කණ්ඩායමේ කිසිවකුට බත් හට්ටියෙන් බත් හැන්දක් ගෙන පිඟානට බෙදුවාය. රූපගත කිරීමකදී ලද මඳ විරාමයකදී කල්පිටියේ කන්දකුලිය වැල්ලේ බිමට ඇඳවැටුණු පොල් කඳන් මත වාඩි වී මාලිනි විජය ඇතුළු පිරිස අල්ලාප සල්ලාපයේ යෙදුනහ. අදද මෙවන් සටහනක් ලියැවෙන්නේ එවන් ජනප්‍රිය තාරකා දැක්වූ නිහතමානීත්වය හා කැපකිරීම් වෙනුවෙන් පිදෙන උපහාරයක් හැටියටය.   


වරක් 1977 දෙසැම්බර් අගදි මාලිනි මා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී දැක් වූ අදහස් මට තාමත් මතකය. ඇය ඒ කාලය වනවිට ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘සිරිපාල හා රන් මැණිකා’ ආදී චිත්‍රපට ගණනාවක විශිෂ්ට රංගනයක යෙදෙමින් එතෙර මෙතෙර ගෞරව සම්මාන රැසක් දිනාගෙන සිටි අවධියයි. පාරක තොටක යනවිට ප්‍රේක්ෂකයන් රොද බැඳ ගන්නා තරමේ ජනප්‍රියත්වයකින් ද ආකර්ෂණීය රූ සපුවකින් ද තිරය කලඑළි කළ සමයයි. මිල මුදල් යහමින් ගැවසුණු කාලයයි.   


එම පුවත්පත් විශේෂාංගය හැඳින්වූයේ ‘මට මතකයි’ යනුවෙනි.   


“බලාපොරොත්තු කලින් කලට වෙනස් වෙනවා. මුදල් හෝ රැකියාව සඳහා නිළියක වන්නට ​නොසිතූ දුප්පත් මම වෘත්තිමය නිළියක් ලෙස ගමන් කරමින් සිටිනවා. මගේ දුප්පත් ජීවන රටාව වෙනස් කරන්නට මගේ පැලට ජෝ අබේවික්‍රමත්, සුගතදාස මාරසිංහත් දවසක් ආ හැටි මතක් වෙනවා. අපේ ඉස්තෝප්පුවේ පරණ පුටු දෙකක වාඩි වූ ඔවුන් ‘අකල් වැස්ස’ නාට්‍යයේ මා දැක් වූ දස්කමක් ගැන විස්තර කරද්දි මට දැනුණේ සතුටක් වගේම ලැජ්ජාවක්. චිත්‍රපටයක රූපගත කිරීමක්වත් දැක නොතිබුණු මට ජෝ අබේවික්‍රම සමග රඟපාන්නට... ඒ සතුට අද විශාල මුදලකට චිත්‍රපට ගිවිසුමක් අත්සන් කරද්දි පවා මට නොලැබෙන්නේ ඇයි?   


ඔවුන් එදා මගෙන් සමුගෙන යන්නට සූදානම්ව රඟපෑම් ගාස්තුව ගැන ඇසූ විට මගේ කම්මුල් කන් රත් වී දැනුණ ලැජ්ජාව... රඟපෑම් මිසක මට මුදල් මොකටද?   


‘මම රඟපාන්නෙ ආසාවට. සල්ලිවලට නෙමෙයි.’ මා කියු හැටි...   


‘අපි ඔයාට එක්දහස් දෙසිය පනහක් දෙන්නම්.’ ඒ වචන මට සිහිනෙන් ඇහුණද? ඇත්තටම ඇහුණද?   
එක්දහස් ගණනක්... එක්දහස් ගණනක්. එදා එක රුපියල් විසිපහකින් ආධාර කරන්නට කිසිවෙක් නොසිටි මට එක්දහස් ගණනක් යන වචනයෙන් කිව නොහැකි තරම් විශාල මුදලක්. අපේ දුප්පත්කම හමාර යයි එදා මට හිතුණා.   


‘වෙන කවුරු හරි ආවොත් හෙම සල්ලි එපා කියන්න එපා. අම්මට කතා කරන්න කියන්න.’ ඔවුන් එදා අපේ ගෙදරින් යන විට කී හැටි. ඒත් ‘පුංචි බබා’ චිත්‍රපටයේ මුල්ම රාත්‍රී දර්ශනයේදී මගේ හිතේ තිබුණ ඒ සතුට නැති වී ගිය හැටි. එදා උදේ පටන්ගත් රූගත කිරීම මහ රෑ දෙගොඩ හරියක් පහුවෙන තුරුත් ඉවර වුණේ නෑ. මේ මොන වදයක්ද? ‘ඔහොම බෑ කෙල්ලෙ. දුක් විඳින්න පුරුදු වෙන්න ඕනෑ.’ ජෝ අයියා වරින් වර පැමිණ මට කිව්ව හැටි.”   


මේ ඇගේම මුවින් 1977 දී මා සමග කී කතාවයි.  


මාලිනි තිරය මත සුරූපී පෙම්වතිය ලෙස කිරුළු පලඳිද්දී ඇය ඇතැම් විට ගත් තිරණ නිර්භීතය. බොහෝ නිළියන් තම රුව ගැත සිතද්දි ඇය චිත්‍රපටයේ චරිතය ගැන සිතුවාය. ‘අනුපමා’ චිත්‍රපටයේ විජය කුමාරතුංගගේ මව ලෙසත්, ‘සිරිපාල හා රන්මැණිකා හි රන් මැණිකා ලෙසත්, ‘සොල්දාදු උන්නැහැ’ චිත්‍රපටයෙ ප්‍රේමක්කා ලෙස රඟපාන්නටත් ඇය නිර්භීත වූවාය. ඉන් ඇයට ලැබුණු ගෞරව සම්මාන රැසකි. සිරිපාල හා රන් මැණිකා චිත්‍රපටයේ පුවත්පත් දර්ශනයක් පැවැත්වූයේ (මට මතක හැටියට) රජයේ චිත්‍රපට අංශයේ සිනමාහලේය. මාලිනි එම චිත්‍රපටයේ රන් මැණිකා ලෙස දැකගත හැකි වන්නේ මඳක් පමා වීය. රූපරාමු එකින් එක මැකී ගොස් මාලිනි සිටින රූප රාමුව තිරයේ පතිත විය. රන් මැණිකා එක්වරම තිරයේ සමීප රූපයකට පරිවර්තනය වූවාය.   


එවිට ප්‍රේ‍ක්ෂකාගාරයෙන් නැගුණු ‘ෂ්...’ ශබ්දය තාමත් මට හොඳින් මතකය. එය ඇදහිය නොහැක්කක් දැකීමේදී ඇතිවන විස්මය දැනවීමේ ප්‍රතිචාරයයි.

   
සුරූපී පෙම්වතියක ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වූ මාලනි කොණ්ඩය අවුල් වූ අසීමිත දුක් ගැහැටවලට ලක් වූ ගැහැනියක ලෙස වෙනස්ව සිටියාය. ප්‍රේක්ෂක විස්මයට ලක්වන තරමට ඇය දරිද්‍රතාවට පත්ව සිටියාය.   
මාලනි ජනප්‍රියත්වයෙන් මෙන්ම සම්මානනීය නිළියක ලෙස ගමන් කරද්දි මාලිනි-ගාමිණී සුසංයෝගයද ද වැඩි කලක් නොපැවතිනි. ඔවුන් යළි තිරයේ එකට රඟ නොපාන බවට කසුකුසු පැතිරෙන්නට විය.   


මේ සඳහා බොහෝ හේතු දැක්විණ, ගාමිණී-මාලිනි එකට රඟපෑම නොරිස්සූ අය විවිධ ප්‍රවාද මගින් ගාමිණීගේ සිත බිඳ වූ බව එක ඕපාදූපයකි. මාලිනි-ගාමිණී විවේචනය කරමින් කතා කළ බව තවත් ඕපාදූපයකි. මේ බව දැනගත් ගාමිණී මාලිනිට බැණ වැදුණ බවත් මාලිනි ගාමිණී සමග රඟ නොපාන බව එළිපිටම කී බවත් තවත් ප්‍රවාදයකි. කෙසේ හෝ බොහෝ දෙනා ගාමිණි-මාලිනි යළි තිරයට එක් කරන්නට උත්සාහ කළහ. ටෝනි රණසිංහ ද ඒ අතර සිටියේය.  


1979 දී ‘චංචල රේඛා’ සේන සමරසිංහයන්ගේ නිවස පිහිටි රඹුක්කන ප්‍රදේශයේ රූ ගත කරද්දි මහා රංගවේදී ගාමිණීගේ 43 වැනි උපන් දිනය ද ඒ කාලයේම යෙදී තිබිණි. ඒ 1979 මාර්තු 21 වැනිදාය. (ගාමිණී ‘වංචල රේඛා’ හි ප්‍රධාන චරිතය රඟපෑ බව ප්‍රකට කරුණකි.)  


උපන්දින රාත්‍රියේ, නිෂ්පාදක අධ්‍යක්ෂ සේන සමරසිංහයන්ගේ නිවසේ චාම් උපන්දින සාදයක් පැවැත්විණි.   
ඒ සඳහා ගාමිණිගේ බිරිඳ සුමිත්‍රාත් පුතු දමිත් ද කොළඹ සිට රඹුක්කනට පැමිණ සිටියහ.   


අල්ලාප සල්ලාප අතරේ ගාමිණිගේ කතාවක් අතරතුර මම, ‘ඇයි මාලිනි, ජෝ එක්ක රඟපාන්නේ නැත්තේ’යි ඇසුවෙමි.   


එකල ගාමිණි මාලිනි සමග පමණක් නොව ජෝ සමගද රඟ නොපාන බවටද කටකතා පැතිර ගොස් තිබිණ.   
ගාමිණී එම ප්‍රශ්නයෙන් හොඳටම කෝපයට පත් විය. ‘උඹ මොනවද දන්නේ සිනමාව ගැන’ ආදී වශයෙන් ඔහු මට හොඳ හැටි දෙහි කපන්නට විය. පිරිස තුෂ්නිම්භූතව බලා සිටින්නට වූහ.   


ගාමිණිගේ උපන් දිනයේදී ඔහු කෝපයට පත් කිරීම ගැන මම සැබෑවටම පසුතැවිල්ලට පත්වීමි.  
‘උඹ ගිහින් අහපන් ඒ දෙන්නගෙන්.’ ඔහු මට අවසානයේදී පැවසීය. 

 
මම එකල ‘වංචල රේඛා’ චිත්‍රපටයේ තුන්වැනි සහාය අධ්‍යක්ෂවරයා වීමි. එමෙන්ම එය මා චිත්‍රපට අත්දැකීමක් ලබාගන්නා මුල්ම චිත්‍රපටයයි. පසුදා උදේ රූපගත කිරීම්වලට මා සහභාගී විය යුතුය. එහිදී ගාමිණීගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? එහි රඟපෑ නදීකා ගුණසේකරත්, ඇයගේ මව තලතාත් මට පසුදා උදේ කෑම මේසයේදී ඔච්චම් කරන්නට වූහ.   


‘හොඳ වැඩේ. ඇද්ද ඕන්නැති ප්‍රශ්න අහන්න ගිහිල්ලා අහගත්ත. හොඳ වැඩේ.’  
පසුදා උදේ රෑ ගත කිරීම් යෙදී තිබුණේ නිෂ්පාදක - අධ්‍යක්ෂ සේන සමරසිංහයන්ගේ නිවස අසලම පිහිටි සුන්දර වෙල් යායකය. එයට ගාමිණී ද සහභාගි වෙයි.   


ගාමිණී බොහෝ විට උදෑසන කෑම මේසයට එක් නොවෙයි. ඔහු ආහාර ගන්නේ දර්ශන තලයේදීය. බොහෝ රෑ බෝ වනතුරු අල්ලාප සල්ලාපයේ පසුවන ගාමිණී ටිකක් දවල් වනතුරු නිදාගන්නට කැමැතිය.   
ඔහු දර්ශන තලයට එන්නේ චරිතයට නියමිත ඇඳුම වූ සරමකින් හා කමිසයකින් සැරසී උදේ 9.30 ට පමණය. ඒ සමගම ඔහුගේ උදේ ආහාරය ද එයි.  


රූගත කිරීමට පෙර එළිමහනේ කිසියම් තැනකට වී ඔහු ආහාර ගැනීමට කැමැතිය. ඔහු කැමැති ඉතා සරල ආහාරයකටය.   


බොහෝ විටෙක එය කිරිබත්, සීනි සම්බෝල, කිරිමාළු වැනි යමක් විය හැකිය. පසෙකට වී නිහඬව ආහාර ගෙන ඔහු ඉන් පසුව රූගත කිරීම්වලට සහභාගී වෙයි.  


මේ සිදුවීමට පසුදා ද ඔහු දර්ශන තලයට ආවේ ඒ වෙලාවටමය. මම ඔහුගේ මුහුණ දිහා බැලුවෙමි. සුපුරුදු පරිදි ‘ගුඩ් මෝර්නින්’ යැයි පැවසීමි. ඔහුද පෙරළා ‘ගුඩ් මෝර්නින්’ යැයි පැවසීය. පෙරදා රැයේ සිදුවීම ගැන ඔහුගේ හිතේ කහටක් නැත. කහටක් තබා මතකයක්වත් ඇති බවක් නොපෙනේ.   


සුපුරුදු ලෙසම ඔහු මගේ දෙබස් පිටපත සැකසීමේ කාර්යයට සහාය දුන්නේය. ඇතැම් විටෙක කට කොණකින් සිනා වී කිසියම් උපහාස වදනක් කීවේය. ඒ සිදුවීම එතැනින් නතර විය. ගාමිණි කෙතරම් අපූරු චරිතයක් ද? මාලිනි මේ සිදුවීම මේ වනතුරු දන්නවා දැයි නොදනිමි.   


කෙසේ හෝ 80 දශකයේ මුල් භාගයේ සරසවි සම්මාන උළෙලකදී ජනප්‍රිය නිළිය හා ජනප්‍රිය නළුවා ලෙස සම්මාන ලැබීමට නියමිතව තිබුණේ ගාමිණී - මාලිනී ය.   


බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එම සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවා ලෙස ගාමිණීගේ නමත් ජනප්‍රියම නිළිය ලෙස මාලිනීගේ නමත් නිවේදනය කෙරුණේ එකටමය. දෙදෙනාටම වේදිකාවට ගොඩවන්නට සිදුවන්නේ එකටමය.   


ගාමිණී​ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද?


 ගාමිණි විටෙක දඩබ්බරය. වරක් සම්මාන උළෙලකදී ඔහු ලද සම්මානය ප්‍රතික්ෂේප කෙරුණේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරිපිටදීය. ගාමිණීට සම්මානය ලැබිය යුතුව තිබුණේ ‘සරුංගලය’ චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ නඩරාජාගේ චරිතයටය. එහෙත් ඒ ගැන නොසලකා ඔහුට ‘සරුංගලය’ චිත්‍රපටයේ හොඳම කතා සංකල්පයට සම්මාන පිරිනැමිණ.   


ඔහු සම්මානය ගැනීම ප්‍රතික්ෂේප කර ආරාධිතයන් අතර සිටි ‘සරුංගලය’ තිර කතාව ලියූ ධර්මසිරි ගමගේට වේදිකාවට කතා කර ඔහුට සම්මානය පිරිනැමීය. ගාමිණීගේ හැටි දන්නා ප්‍රේක්ෂකයෝ කුමක් සිදුවේදැයි බලා සිටියහ.   


ගාමිණී මුලින්ම වේදිකාව දෙසට ඇවිද ගියේය. වේදිකාවට නගින පියගැටපෙළ අසල නැවතුණේය. මාලිනි එවිටත් පියගැටපෙළ අසලට පැමිණ තිබිණ.   


ගාමිණි මඳක් නැවතී යන්තමට සිනාවී මාලිනිට මුලින්ම අත දිගුකොට වේදිකාවට ගොඩවන ලෙස සංඥා කළේය. එය ඉතා ආකර්ෂණීයය. ගාමිණී මෙවන් ආකර්ෂණීය වැඩවලට ඉතා දක්ෂයෙකි. මාලිනි හිනා වී වේදිකාවට ගොඩ වූවාය. ප්‍රේක්ෂකාගාරයෙන් නැගුණේ අත්පොළසන් නාදයකි. දෙදෙනාම එකට සම්මාන ගත්හ. කෙසේ හෝ ඒ කාලවකවානුව තුළදී තිරයේ ගාමිණී - මාලිනි එකතුවක් දක්නට නොලැබිණි.  
1977 දී ඔවුන් එක්ව රඟපෑමෙන් පසුව යළිත් එක්වූයේ 1998 දී තිරගත වූ ‘අන්තිම රැය’ චිත්‍රපටයෙනි. ඒ අවුරුදු 21කට පසුවය. අවුරුදු 21ක් යනු සෑහෙන කාලයකි. ඒ ඔවුන්ට තිරයේ පෙම් යුවළ ලෙස අභිෂේක ලබන්නට කාලය නොවේ.   


‘අන්තිම රැය’ මාලිනි-ගාමිණී අවුරුදු 21කට පසු එකට රඟපෑ අන්තිම චිත්‍රපටය වීම දෛවෝපගතය. ඊටත් වඩා සුවිශේෂී වන්නේ සිනමා ලෝකයේ කිරුළු දරා සිටි මහා රංගවේදී ගාමිණී ෆොන්සේකා රඟපෑ අන්තිම චිත්‍රපටය ද ‘අන්තිම රැය’ වීමය. ඔහු අධ්‍යක්ෂණය කළ අන්තිම චිත්‍රපටයද විය.   

 

 

රොඩ්නි විද‌ානපතිරණ