ග්‍රෙගරි වැව ඉදිකර නුවරඑළියට මුලින්ම විදුලිය ගත්තේ මෙහෙමයි


 ග්‍රෙගරි වැව 

 

බලාගාරය තිබූ බව සැලකෙන බැම්ම

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස ඉතිහාසගතව ඇත්තේ බ්ලැක්ෆූල් ජල විදුලි බලාගාරයයි. මීදුමෙන් වැසුණු සුන්දර නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්‍රෙගරි වැවේ ජලය උපයෝගිකර ගනිමින් මෙම විදුලි බලාගාරය ක්‍රියාත්මක කොට තිබේ. 

 
සුන්දර නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්‍රෙගරි වැව වසර 1874 දී ඉංග්‍රීසි ජාතික ආණ්ඩුකාරවරයෙකුව සිටි ග්‍රෙගරි මහතා විසින් ඉදිකරන ලද්දකි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කඳුවැටියෙන් ගලා බසින තලගල ඔය හරස් කරමින් ග්‍රෙගරි වැව සකස් කොට ඇති අතර, මෙරට ප්‍රථම ජල විදුලි බලාගාරයට ජලය සපයා ගෙන ඇත්තේ ග්‍රෙගරි වැවෙනි. 


සර් හෙන්රි මැකලම් වසර 1907 සිට 1913 දක්වා වූ කාලයේ යටත් විජිත ආණ්ඩුවේ ආණ්ඩුකාරවරයා ලෙස ලංකාවේ සේවය කරන ලද ඉංග්‍රීසි ජාතිකයෙකි. නුවරඑළිය නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්ට දැඩිව ප්‍රිය කරන ලද අයෙකු ලෙස සර් හෙන්රි මැකලම් මහතා කා අතරත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. 


නුවරඑළිය ප්‍රදේශයේ පවතින අධික ශීතල දේශගුණික රටාව හමුවේ විදුලි බල අවශ්‍යතාවයේ අගය ඉහළින්ම මැකලම් මහතාට දැනිණි. දැඩි ශීතලට පිළිතුරක් ලෙස මෙසේ නුවරඑළියට හැකි ඉක්මනට විදුලි බලය ලබා ගැනීමට ඔහුට අවශ්‍යව තිබිණි. ඒ අනුව නුවරඑළියේ රජ ගෙදරට වහාම විදුලිය සපයාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එවකට රජයේ වැඩ අධ්‍යක්ෂකවරයාට සර් හෙන්රි මැකලම් මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී. 


රජයේ වැඩ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ විදුලි ඉංජිනේරු රයිලන්ඩ්ස් මහතා විසින් එතෙක් රජයේ කර්මාන්ත ශාලාවේ භාවිතා කරන ලද බොයිලේරු එන්ජිමක් හා ඩයිනමෝවක් උපයෝගි කරගනිමින් නුවරඑළිය රජ ගෙදරට විදුලිය සැපයීමට පියවර ගෙන තිබේ. 


සරල ධාරා ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් මඟින් කිලෝ වෝට්ස් දෙකක ධාරිතාවකින් සමන්විත විදුලි බලයක් මෙසේ රජ ගෙදර එළිය කිරීමට ලබාදීමට විදුලි ඉංජිනේරු රයිලන්ඩ්ස් මහතා 1909 වසරේදී සමත්කම් දැක්විය. මෙය වූ කලී නුවරඑළිය නගරයට ලැබූ ප්‍රථම විදුලි බල සැපයුම ලෙස ඉතිහාස ගතවිය. 


මෙසේ නුවරඑළිය රජ ගෙදරට තාවකාලිකව විදුලි බලය ලබාගැනීමෙන් අනතුරුව ජල විදුලි බලය උපයෝගිකොට ගෙන විදුලි බලය ලබාගැනීමට අවශ්‍ය පියවර සකසන ලෙස සර් හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා හරහා විදුලි ඉංජිනේරු රයිලන්ඩ්ස් මහතාට දන්වන ලදී. ඒ අනුව විදුලි ඉංජිනේරුවරයා විසින් මේ පිළිබඳව වාර්තාවක් සකස් කරන ලදී. 
විදුලි ඉංජිනේරු රයිලන්ඩ්ස් මහතා විසින් ලබා දුන් එම වාර්තාවේ සඳහන් කොට ඇත්තේ රජයේ සම්පූර්ණ විදුලි බල අවශ්‍යතාව සපුරාලීමට තරම් ජල විදුලි බල ශක්තියක් ලබාගැනීමට හැකියාව ඇති බවය. 1910 වසරේ සඳහන් කොට ඇති එම වාර්තාව මඟින් එසේ නිපදවන විදුලිය කොළඹ ප්‍රදේශයට වුව අවශ්‍ය නම් සම්ප්‍රේෂණය කළහැකි බවය. එහෙත් එම යෝජනාව සංඛ්‍යාත්මකව දත්ත පදනම් කොටගෙන විශ්ලේෂණාත්මකව සහ විද්‍යානුකූලව ඉදිරිපත් කිරීමට විදුලි ඉංජිනේරු රයිලන්ඩ්ස් මහතා අපොහොසත්වීම නිසා එකී යෝජනාව අනුමත කොට ක්‍රියාවට නැංවීමට නොහැකිවී ඇත. 


ඉන්පසු විදුලි ඉංජිනේරුවරයා එම යෝජනාව මතම සිට නුවරඑළියට ජල විදුලිය ලබා ගැනීමේ වෙනමම යෝජනා ක්‍රමයක් සැලසුම්කරන ලදී. මේ සඳහා එවකට උඩපුස්සැල්ලාව ප්‍රදේශය භාර ඉංජිනේරුවරයා ලෙස සේවය කරන ලද ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ සේවය ද ලබාගන්නා ලදී. ඒ වනවිටත් විමලසුරේන්ද්‍ර මහතා නුවරඑළිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කුඩා ජල විදුලි බල ව්‍යාපෘතියක් සම්බන්ධව හා ඒවායේ භු විෂමතා ලක්ෂණ සම්බන්ධව සිය අවධානය යොමු කොට පැවැතිණි. 


ඒ අනුව රයිලන්ඩ්ස් ඉංජිනේරුවරයාට, ඩී.ජේ. විමලසුරේන්ද්‍ර නමැති ශ්‍රී ලාංකික සිවිල් ඉංජිනේරුවරයා විසින් නුවරඑළියේ බ්ලැක්පුල් ප්‍රදේශයේ ප්‍රථම ජල විදුලි බල ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා විශාල සහායක් ලබාදෙන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස වසර 1874 දී පිදුරුතලාගල කඳුවැටියේ සිට ගලා බසිනා තලගල ඔය හරස්කොට ඉදිකොට තිබුණු ග්‍රෙගරි වැව උපයෝගිකොටගෙන මෙම ජල විදුලි බල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට තෝරා ගැනිණි. 


නුවරඑළිය නගරයට ජල විදුලි බලය ලබාගැනීමට මෙම ඉංජිනේරු දෙපළ සුදුසුම ස්ථානය ලෙස ග්‍රෙගරි වැවේ වාන පිහිටි ප්‍රදේශය තෝරා ගන්නා ලදී. ඉන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලිබල ව්‍යාපෘතිය නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන උපයෝගි කරගනිමින් ඉදිකෙරිණ. 


‍ග්‍රෙගරි වැවේ වාන අසල සිට නළ මඟින් බ්ලැක්පූල් දක්වා ජලය රැගෙන ගොස් බ්ලැක්පූල් ප්‍රදේශයේ ඉදිකරන ලද දෙමහල් විදුලි බලාගාරය තුළ විදුලිය උත්පාදනයට අවශ්‍ය සැලසුම් සකස් කරන ලදී. මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී සෘජු වගකීම විදුලි ඉංජිනේරු රයිලන්ඩ්ස් මහතාටම පැවැරුණු අතර, එහි විදුලි කටයුතුද ඔහු විසින්ම සිදුකරන ලදී. මෙම ප්‍රථම ජල විදුලි බලාගාරයේ සිවිල් කටයුතු ඉංජිනේරු ජී.ඒ.එම්. හයිඩ් මහතා විසින් සිදුකරන ලදී. 


බ්ලැක්පූල් විදුලිය බලාගාරයේ සිට අධිආතතික සම්ප්‍රේෂණ මාර්ග ඇඳීම, කණු සිටුවීම, නුවරඑළිය නගර සීමාවේ සැතපුම් හයක් පමණ දුරට විදුලි රැහැන් හා කණු සිටුවීම ආදී කටයුතු 1910 හා 1911 මුදල් වසරවලදී සිදු කොට තිබේ. විදුලි බලාගාරය තුළ අශ්ව බල 70 ක ටර්බයින් යන්ත්‍ර දෙකකට සෘජුව සම්බන්ධ කරන ලද කිලෝ වෝට්ස් 70 ක ධාරිතාවකින් යුත් ප්‍රත්‍යාවර්තක දෙකක් සහිත ඉහළ කාර්යක්ෂමතාවයකින් හෙබි යන්ත්‍ර සවි කරන ලදී. 


මෙරට ජල විදුලි වංශ කතාවට නව පිටුවක් පෙරළමින් සියලුම වැඩ අවසන්කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලි බලාගාරය වූ නුවරඑළිය, බ්ලැක්පූල් විදුලි බලාගාරය 1912 මාර්තු මස 15 දින සුබ මොහොතින් ඉංග්‍රීසී ජාතික ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම් මහතා විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථාව වූ කලී ශ්‍රී ලංකා විදුලි බල ඉතිහාසයේ නැවුම් සංන්ධිස්ථානයක් බවට පත්වූ සුවිශේෂම අවස්ථාවක් විය. 

 

ග්‍රෙගරි වැවේ පැරණි වැව් බැම්ම

 


මෙම පළමු ජල විදුලි බලාගාරයේ පළමු විදුලි පාරිභෝගිකයා බවට පත්වූයේ නුවරඑළිය රජ ගෙදර හා නුවරඑළිය නගරයේ හෝටල් කීපයකි. ඊට අමතරව නුවරඑළිය නගරයේ වීදි ලාම්පු 1607 ක් සවි කොට ඒ සඳහාද විදුලිය ලබා දී තිබේ. ඒ සඳහා වෝල්ට් 220 ක විදුලිය සැපයුමක් ලබාදුන් බව වාර්තාවල දැක්වේ. මෙසේ නුවරඑළිය නගරයේ සවිකරන ලද වීදි ලාම්පුවලින් මංමාවත් එළිය වී ඇති අතර, එකී සුන්දර දසුන නැරඹීම සඳහා නුවරඑළිය හා ඒ අවට ප්‍රදේශවල පදිංචි විශාල පිරිසක් දින ගණනාවක් එක දිගටම රාත්‍රි කාලයේ නුවරඑළිය නගරයට පැමිණ සිටි බවද පැවැසේ. මෙසේ නගරයේ මංමාවත්වල වීදි ලාම්පු දැල්වීම මඟින් නුවරඑළියට පැමිණි පිරිස් හා නුවරඑළිය වැසියන් මහත් ආශ්වාදක් ලැබූ බවත් බොහෝ පිරිස් වීදි ලාම්පු දෙස පැය ගණන් එකදිගටම බලා සිටි බවද පැවැසේ. 


විදුලි බලාගාරය තුළින් සම්ප්‍රේෂණ රැහැන් සඳහා වෝල්ට් 2200 ක අධිසැර විදුලියක් නිකුත් කරන ලද අතර, එය වෝල්ට් 110 දක්වා අඩු කොට පාරිභෝගිකයන්ට ලබාදී තිබේ. 
විදුලි පාරිභෝගික ඉල්ලුම දිනෙන් දින ඉහළ යෑමට පටන් ගත් බැවින් බ්ලැක්පූල් විදුලිය බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව එකී ඉල්ලුමට ප්‍රමාණවත් නොවිණි. එහි ප්‍රතිපලයක් ලෙස 1913 වසරේදී රෝධක අශ්වබල 120 ක් වූ ටර්බයින් යන්ත්‍රයක් ඇණවුම් කොට එය 1915 වසරේදී බලාගාරයේ පැවැති යන්ත්‍ර පද්ධතියට එක්කරන ලදී. ඉන් පසුවද වරින්වර අමතර යන්ත්‍ර සූත්‍ර එකතු කරමින් බලාගාරයේ විදුලිය නිෂ්පාදනය වැඩි කිරීමට එවක රජය විසින් පියවර ගනු ලැබීය. එමඟින් නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශවල පාරිභෝගික ජනතාවට සතුටුවිය හැකි විදුලි බලයක් ලබාදීමට රජය උත්සාහ ගෙන තිබිණි. 


වසර 1912 දී නුවරඑළිය නගරයට ස්ථීරවම විදුලිය පහසුකම් ලබාදීම ශ්‍රී ලංකා විදුලි ඉතිහාසයේ සුවිශේෂි කඩඉමක් බවට පත්විය. කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකොට විදුලි බලය නිෂ්පාදනයට රජය මැදිහත්වීමත් සමග රට තුළ විදුලි බලය කෙරෙහි මහත් වූ බලාපොරොත්තු රැසක් ගොඩනැගිණි. වාණිජ්‍ය මට්ටමින් ජල විදුලිය නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම පටන් ගැනුණේ නුවරඑළිය බ්ලැක්පූල් බලාගාරය ආරම්භ කොට එයින් විදුලිබලය නිෂ්පාදනය කිරීමත් සමගය. 


නුවරඑළිය, බ්ලැක්පූල්හි ආරම්භකරනු ලැබූ මෙරට පළමු ජල විදුලි බලාගාරය අද අපට ශේෂව ඇත්තේ නටබුන් කීපයක් පමණි. බ්ලැක්පූල්හි බලාගාරය ස්ථාපිත කොට තිබූ ගොඩනැගිල්ල අද ආහාර ගබඩාවක් ලෙස භාවිතා කරනු ලබයි. එහි වූ යන්ත්‍ර සූත්‍ර සියල්ලම විනාශවී ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා තිබේ. නුවරඑළියට යන එන දේශීය හෝ විදේශීය සංචාරකයන් පවා එබදු විදුලි බලාගාරයක් නුවරඑළියේ පැවැති වග නොදනිති. 

 


තලවකැලේ 
ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ