ග්‍රහ අපල ලෙඩ රෝග දුරු කරන මල්කෙළිය ශාන්තිය


 

සත්කෝරලයේ හා නුවර කලාවියේ මාස්කන්නයේ අස්වනු කපා ගෙට  ගැනීමත් සමග සිදුකරන මල්කෙළිය ශාන්තිය, සියලු දෝස නසා සෙත ළඟාකරදෙන යාග කර්මයක් බව ඇදුරන්ගේ මතයයි. මේ සඳහා ගම් වශයෙන් හා පළාත් වශයෙන් එක්වී අ​ෙන්‍යාන්‍ය සහයෝගය ඇතිව මෙම ශාන්තිකර්මය සිදුකරන බව අප වෙත ප්‍රකාශ කළේ කෝනාර මුදියන්සේලාගේ උඩහගෙදර විජේරත්න මහතාය. ඔහු මෙම ශාන්තිකර්මය පවත්වන හිරියාල ගුරු පරම්පරාවේ ප්‍රධාන අයෙකි.   


ගොකරැල්ලේ, කන්දෙගෙදර ගුරු පරම්පරාවේ ප්‍රධානියකු වන කේ.ඇම්. පුංචිරාල මහතා සිය පරම්පරාවෙන් හිමි වූ මල්කෙළිය ශාන්තිකර්මයේ ක්‍රියා භාර ගුරු තනතුර දරමින් තවත් ගෝල බාලයන් බොහෝ පිරිසක් හදාවඩා සකස් කළේ මෙම ජාතික උරුමය තව බොහෝකලක් සුරැකිව පවත්වාගෙන යාම සඳහාය.   


අපේ රටේ විවිධ ප්‍රදේශවලට වෙන්වූ විවිධ ශාන්තිකර්ම ක්‍රම ඇත. පාතරට තොවිල්, උඩරට බලියාග ලෙස සත්කෝරලයට හා නුවර කලාවියට මල්කෙළිය නම්වූ මෙම ශාන්ති කර්මය ආවේණික අංගයක් වූ බව තොරතුරු මූලාශ්‍රය අනුව හෙළිවෙයි.   


මල්කෙළිය ශාන්තිකර්මය අනෙක් ශාන්තිකර්ම මෙන් බෙරගසමින් මාලක්කම් හෝ අඩව් අල්ලමින් නැටුම් පවත්වන යාගයක් නොවේ. මෙය උඩැක්කිය නම්වූ වාදන භාණ්ඩය වයමින් කවි ගායනා පවත්වමින් ඉතාමත් මධ්‍ය ලයකින් නැටුම් නටමින් සිදුකරනු ලබන ශාන්තියකි. මෙයට සහභාගිවන කණ්ඩායම පස්දෙනෙක් හෝ හත්දෙනෙකුගෙන් යුක්තවන අතර ඒ හැමදෙනාම සුදු පිරුවට හැඳ හිසේ රතු සුම්බරයක් බැඳ රැඟුමට එක්වේ.   
නැටුමට එක්වන හැම අයෙකු අතම අර කී උඩැක්කිය නම් වාද්‍ය භාණ්ඩය තිබෙන අතර ඔවුන් එය වාදනය කරමින්ම කවි ගායනා පවත්වමින් නැටුම් නැටීම සිදුකරනු ලබයි. මේ නැටුම ඉතාමත් පහළ ලයකින් සිදුකෙරෙන්නක් වන අතර කවි ගායනයද ඊට අනුරූපව සිදුවෙයි.   


නැටුම් නටන විට එක වර උඩැක්කිය උඩවිසිකරමින් නැවත එය අල්ලා වාදනය පටන් ගනී. සියලු දෙනාම සාදා තිබෙන වීදිය ඉදිරිපස මුදුන්මල දෙස බලමින් එදෙසට උඩැක්කිය දිගු කරමින් වාදනය කරමින් කවි ගායනය සිදුකරයි. කටපාඩමින් කවි දහස් ගණනක් කීම සුළුපටු දෙයක් නොවේ. එය මෙම ශාන්තිකර්මය සිදුකරන ගුරු ඇදුරන්ගේ ඇති හැකියාවේ තරමයි. තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ මේ අයුරින් කවි ගායනා පැවැත්වීම විශේෂ දක්ෂතාවයි.   


මල්කෙළිය ශාන්ති කර්මය නාමල් කුමරු නැතහොත් මිනීමරු දේවතාවා මුල්කරගෙන සිදුකරන ශාන්තියකි. මීට මල්කෙළිය යන නම යෙදී ඇත්තේ පුවක්මල් සියගණනක් මීට යොදාගන්නා බැවින්ය. මේ සඳහා අලංකාර ලෙස සකසන වීදිය සරසන්නේ පුවක්මල් යොදාගනිමින්ය. විෂ්ණු, සමන්, කතරගම යන දෙවිවරු ප්‍රධාන කොට තවත් දෙවිවරු දහතුන්දෙනෙක් සඳහා මෙලෙස පුවක් මල බැගින් පුදා වෙන්කොට මායමින් හිසේ මල් ගසාගන්නා අවස්ථාවේදී ඒ සඳහා යොදාගනු ලබන්නේද පුවක් මල්ය.   


වීදියේ තනා ඇති දෙවි කුටිවලට පුවක් මල බැගින් තබන අතර කතරගම දෙවිඳුට විශාල පුවක්මලක් ගෙන එය එම දෙවිඳුට හිමි ස්ථානයේ තබා දුම් අල්ලා කන්නලව්කර ශාන්තිය ඉල්ලා සිටීම සිදුකරන්නේ ප්‍රධාන කපු මහතා විසින්ය. නැගෙනහිරට මුහුණලා සකසන මල්පැල් රඹ පතුරින් සරසා අලංකාර ලෙස තාවකාලික වීදිය සකසන අතර ඒ සඳහා තැන්පත් කිරීමට රැගෙන එනු ලබන දේව ආභරණ වියන යටින් වැඩමවා ගෙන ඒම සිදුකරනු ලබන්නේ ගෙදර ප්‍රධානීන් හා කපු මහත්වරුන් විසින්ය.   


එළිමහන් භූමියක පවත්වන මෙම ශාන්තිකර්මය සෑම සියලුදෙනාට වටේ සිට නැරඹිය හැකි පරිදි මෙම ශාන්තිකර්ම භූමිය තැනීම මල්කෙළිය ශාන්ති කර්මයේ පිළිවෙලයි. මිනිසාට ඇතිවන්නාවූ සියලු දෝෂ නැතිභංග කිරීම සඳහා කරනු ලබන මෙම යාගය දෙවිවරු බොහෝ ගණනකගේ ආශිර්වාදය ලබාගැනීම අරමුණු කොට පවත්වන්නකි.   


අප දැකගත් මෙම ශාන්තිකර්මය හිරිපිටිය ප්‍රදේශයේ පැවැත්වූ අතර ඒ සඳහා විශාල පිරිසකගේ සහයෝගය හා සම්බන්ධතාව ලැබුණ බව දැකගැනීමට හැකි විය. එහි සිදුකළ එම යාගයේදී මහත්මා දෙවිවරු පස්දෙනෙක්ද බණ්ඩාර දෙවිවරු පස්දෙනෙක්ද කුමාර දෙවිවරු පස්කට්ටුවක්ද, රජවරු පස්කට්ටුවක්ද, කොහොඹාදෙවි තුන්කට්ටුවක්ද රඟ මඩලට කැඳවන අතර ප්‍රධාන වශයෙන් රදාවල දේවතාවා, මිනීමරු දේවතාවා හා අවතාර දේවතාවා යන ප්‍රධාන යක්ෂයන් තුන්දෙනා හට තේවා පවත්වා ඔවුන් වෙතින් දොස් ඉවත්කර සෙත් ශාන්තිය ළඟාකර ගැනීම ප්‍රධාන අරමුණයි.   


ස්ත්‍රීන්ට අපල උපද්‍රව සිදුකරන ස්ත්‍රීන්ට බැල්ම හෙළන මනමාල යක්ෂයකු වූ කළුකුමාර දේවතාවාට වෙනම පාළියක් පවත්වා ඔහුගෙන් වන අපල උපද්‍රව දුරු කරගැනීමද මෙහිදී සිදුවන තවත් කටයුත්තකි. මල්කෙළිය ශාන්තිකර්මයේ ප්‍රධානම දේවතාවා වන මිනීමරු දේවතාවා හෙවත් නාමල් කුමාරයා පිළිබඳ උත්පත්ති කතාව රඟදැක්වීම සමග ඉදිරිපත් කිරීම එතැන් පටන් සිදුවේ.   


උපතේ පටන් සිදුවූ සියලු පුවත් කවියෙන් ඉදිරිපත් කරමින් රංගනයෙන් බලා සිටින පිරිස් සතුටු කිරීම ඇදුරු පිරිසේ අරමුණ වන අතර, කවියෙන් කියන කතාව එක් කපු මහතෙක් විසින් පැහැදිලිකරදීමද විශේෂ කටයුත්තකි. වටේ බලා සිටින බාල මහලු තරුණ කොයි කාටත් විනෝදය ගෙනදෙන මල්කෙළියේ උපත සිදුවන්නේ මේ අයුරින්ය.   


ගණපති දෙති නුවණ   
මිහිකත රකී මෙදෙරණ   
දෙන්නේ මට නුවණ   
අසන් දෙවියනි දේව සුබ ගණ   
අසන් දෙවියන් නේ   
පුවතයි අපි කියන් නේ   
වරද ඉවසන් නේ   
සියලු වරදට සමාවන් නේ   
බුද්ධං සරණ බල   
ධම්මං සරණ තෙද බල   
සංඝං සරණ බල   
මෙතුන් සරණ පිහිට තෙද බල   
බුද්ධං සරණ බෝ   
ධම්මං සරණ තෙද බෝ   
සංඝං සරණ බෝ   
වඳිම් සිරිලක එසිරිමා බෝ   


මෙසේ පටන්ගන්නා යාග කවි අවසන කතා පුවත පටන්ගනී. ඉන් කියැවෙන්නේ මිනීමරු දේවතාවා ඉන්දීය දේශයේ උපන් බවත් ඉතාමත් දරුණු මිනිසුන් මරා කන යක්ෂයකු වූ මොහු එරට ඇදුරන් විසින් අල්ලා හිරකර සෙම්බුවකට දමා වසා මුහුදට විසිකළ බවයි. පසුව එම සෙම්බුව මුහුදේ පාවෙමින් අවුත් මන්නාරම් ප්‍රදේශයේ මසුන් මරන්නන්ට හම්බ වී එය වෙළෙඳාමේ යන කරත්තකරුවන්ට දැකගන්නට ලැබී එය මිලටගෙන ඔවුන් රදාවලට ගෙනවිත් වෙළෙඳාමට තබා ඇත.   


මෙහිදී එම සෙම්බුව මුදලට ගෙන ඇත්තේ ගැහැනියක විසින්ය. ඇය එම සෙම්බුව ගෙදර ගෙනගොස් ගෙහිමියාට දී ඇත. එහිදී ගෙහිමියා අර කතට බැණවැදී, ඇයි මුදල් ගෙවා මේ පරණ සෙම්බුවක් පොළෙන් ගෙන ආවේ කියා බැණවැදී සෙම්බුව අල්ලා විසිකර ඇත. විසිවූ වේගයට බිම වැදී ගසා තිබූ ඇබය ගැලවී හිරකර සිටි යකා එළියට ආවේය. එසේ ආ යකා රදාවල ගමම බියගන්වමින් ගම දෙවනත් කරන්නට විය. ඒ මොහොතේ මිනිසුන් නවසිය හැටදෙනෙක් මරා ලේ බී ඇත. රීරි කළගෙඩි පහළවක් එකතුකර පැත්තකින් තැබුවේය. මිනිසුන් පසුපස එළවා යමින් මරන්නට පටන්ගත් අතර මේ පුවත කතරගම​ දෙවියන්ට වහා සැලවුණි.   


කතරගම දෙවියන් තම සහායකයන් යොදා කඹ දමා නාමල් කුමාර යක්ෂයා බැඳ දමන ලදී. රන් දම්වැලක් ගෙන එයින් ගැට ගසා ඇදගෙන ගොස් කතරගම කම්බකණුවේ ගැට ගසන ලදී.   


දම්වැල් නවයකින් ගැටගැසූ නාමල් කුමාරයා දම්වැල් අට පොටක් කඩා දැම්මේ තම තේජස්පාමින්ය. එහෙත් එක් දම්වැලක් බිඳදැමීමට ඔහුට නොහැකිවිය. පසුව මිනිසුන් නොමරන පොරොන්දු පිට කතරගම දෙවියන්ට පුද පඬුරු දෙන බවට සහතික විය. ඒ සහතිකය මල්කෙළිය ශාන්තිය මගින් ඉටුවන බව විශ්වාසයයි. මේ ශාන්තිකර්මය පැවැත්වීමෙන් පසු කතරගම දෙවියන්ගේ පිහිට නිරතුරුව ලැබෙන බවත් ඒ මගින් සෙත් ශාන්තිය උදාවන බවත් ජනතා විශ්වාසයයි.   


මෙහි සඳහන් අවතාර දේවතාවා හා රදාවල දේවතාවා යන දෙදෙනාම මිනීමරු දේවතාවාගේ ජීවමාන අවතාර ලෙසට විශ්වාස කරයි. මෙම යාගය කිරීමේදී කතරගම දෙවියන් වෙනුවෙන් තබන සංකේතය කුමක්දැයි විමසූ විට ඊට පුවක් මලක් තබා ගෞරව දක්වන ලෙසට කතරගම දෙවි නියෝග කර ඇත. අදත් ලොකු පුවක්මලක් මුදුන්මල ලෙස තබා ඊට ගෞරව දැක්වීම සිරිතයි.   


මේ කතා අතරට කතා රාශියක් ගෙතී එකතු වී ඇත. ඉන් කියැවෙන්නේ මිනීමරු දේවතාවා අනුරපුර යාමත් පසුව බළලුවැවට පැමිණීමත් එහිදී එක් යෝනක ස්ත්‍රියක් විවාකර ගැනීමත් යළි ලංකාව පුරා යමින් ජනයාට සෙත් ශාන්ති කිරීමත් මීට ඇතුළත්ය. මේ සියලු කතාංග තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ කුඩා හෝ විවේකයක් නොලබා ඇදුරු පිරිස් විසින් රංගනයෙන් හා ගායනයෙන් ඉදිරිපත් කරනු ලබයි.   


නාමල් කුමාර කතා ප්‍රවෘත්තිය ඉංග්‍රීසි ජාතික ලේඛක අාර්.එල්. බ්‍රෝහියර් මහතා සිය ලක්දිව පුරාතන වාරිමාර්ග කෘතියේද සඳහන් කොට දක්වා ඇත. මේ ශාන්තිකර්මය ආරම්භයේදී පැමිණ සිටින සියලු දෙනාට බතක් උයා එයින් සංග්‍රහ කිරීම සිරිතකි. මෙය ‘රජබත’ යන නමින් හැඳින්වේ. මේ බත සඳහා එළවලු පමණක් භාවිතයට ගනී. රජබත පැමිණ සිටින සියලු දෙනාටම සංග්‍රහ කිරීම සඳහා සකසන අතර අනුභවය සඳහා කෙසෙල් පත්‍ර භාවිත කෙරේ.   


රජබත සැකසීම සඳහා යොදාගන්නේ කැකුළු හාල් ය. ඊට වෑන්ජන ලෙසින් වට්ටක්කා හොද්ද, ගෝවා කොළ මැල්ලුම, අළු කෙසෙල් වෑන්ජනය හා නියඹලාවක් එක් කෙරේ. බත් ආහාරයට ගත් පසු ඉදුන කෙසෙල් හා කැවුම් ආදී දෙයින්ද සංග්‍රහ කෙරේ. මේ වියදම් සියල්ල දරනු ලබන්නේ ගම්වාසීන් විසින්ය. සියලු දෙනා රජබත ආහාරයට ගත් පසු ඇදුරන් විසින් මහා ශාන්තිය ආරම්භ කරනු ලබයි. ඒ සඳහා භූමිය කහදියර ඉස පිරිසිදුකොට සුවඳ දුම් අල්ලා දෙවියන්ට යාතිකා කරනු ලබයි. මෙහිදී උඩැක්කි වාදනය කරන පිරිස කොටස් දෙකකට බෙදී කවි ගායනා කරමින් උඩැක්කි වාදනයද පටන්ගනී. මේ අතර මායමින් හිසේ ගසාගැනීම සඳහා හොඳට වැඩුන පුවක්මල් කීපයක්ද සූදානම් කිරීම සිදුකෙරේ. එම පුවක්මල් දේවාභරණ තබා ඇති යහන මත තබා ඊටද සත්කාර කිරීම සිදුකෙ​ෙර්. මෙම ශාන්ති කර්මයේදී පුවක්මල් විස්සක් පමණ හිසේ ගසාගැනීම සිදුකරන අතර වෙදදුරන් එය සිදුකරන්නේ මෙම ශාන්තිකර්මයට අදාළ දෙවිවරුන්ට ගෞරව පිණිසය.  


ආරම්භය   


ප්‍රධාන ඇදුරා මෙසේ සිය තේවා ඇරඹුම පටන්ගනී. ‘එහෙනං අපි ඉතිං දෙයියං බුදුන් වැඳල හොඳ ඉතින් මේ නමෝ විත්තියෙන් ආරම්භ කරන්ට යන්නෙ අපේ පුරාණ ඇදුරුවරයන් කළා වගේ බොහොම හොඳ ශාන්ති කටයුත්තක්. මේ ගමට මේ ගමේ අයට රටට රටේ අයට හොඳ කල දවසක් උදාවන්ටත් භව භෝග සම්පත් වැඩි දියුණු වන්ටත් චිරාත් කාලයකට සැප බල ප්‍රඥා වඩන්ටත් රෝග දුරුවන්ව යහපත උදාවී හිතට සැහැල්ලුව දැනෙන්නටත් සියලු සැප වඩා වර්ධනය වන්නටත් එහෙම නේද? ගුරුන්නාන්සේ’ දෙවැනි ඇදුරු ‘ඔව් එහෙම තමයි. අපේ ගුරුතුමා කීවා වාගේ හොඳ හිතින් අපේ දෙවි හාමුදුරුගොල්ල සතුටු කරල එතුමන්ලට ආරාධනා කරල කාටත් සෙත ශාන්තිය උදාවන්ටයි කියල පටන්ගම්මු’   


උතුම් බුදු රුව නේ   
දෙවනුව දහම් සර ණේ   
සමග සඟ සරණේ   
නමෝ නමදිමු මෙතුන් සරණේ   
රට කල්ලු දේ සේ   
පුරාවට බැල්ම දහ සේ   
අඳුරට විදුලියක් සේ   
කියමු කුමරුගෙ උපත සිත් සේ   
උපන් නුවර සෝලිය පුර නුව රේ   
සපන් කමින් යකු අයගෙන මෙපු රේ   
උපන් දහස්වට පිරිවර මෙනුව රේ   
සපන් කමට ඇති නාමල් කුමරේ   
රැස්ව පිරිස යක්වෙසින් විමා නේ   
ලක්ෂ ගණන් වට කෙළිති සමා නේ   
දක්ෂ කුමරු කෙළි නාමල් උය නේ   
ලක්ෂ නාමල් කුමරුගෙ වරු ණේ   


මේ අයුරින් ඇදුරන් නාමල් අලංකාරයේ කවි ගායනා කරමින් සාමාන්‍ය ලයකින් නැටුමක් ඉදිරිපත් කිරීම සිදුකෙරේ. මෙසේ නාමල් අලංකාරය ගායනා කිරීමෙන් අනතුරුව දෙවියන් උදෙසා කෝල්මුර පැවැත්වීම සිදුකරනු ලබයි. එය ඉතාමත් අලංකාර අයුරින් සිදුකිරීම ඇදුරන්ගේ සිරිතයි. ඒ ඒ දෙවියන්ට හිමි විමානය. එම දෙවියාගේ බලපරාක්‍රමය ආදිය ගැනද මෙහිදී විස්තර කෙරේ. මෙම කවි ගායනා පවත්වන විට පද දෙක බැගින් එක් කණ්ඩායමක් ගායනා කරනු ලබයි.   


කිරුළු රුවන් දේවභරණ නීල සළුව ඇඳ   
සුරුලු එරන් දුනුදඬු ශ්‍රී හස්තෙට දෙන්න ද   
කිරුළු ඉන්දු මිණිජාලා මල්පටි සුරතෙ ද   
ගරුඩ අස්න නැගෙමින් වඩිනා රන් ර ද   


මෙහිදී පත්තිනි දෙවියන්ට කන්නලව් කිරීම හා පත්තිනි මාතාව නැමදීමද සිදුකරන ඇදුරන් පත්තිනි දේවිය පිළිබඳව විශේෂ කවි ගායනා පැවැත්වීමක්ද සිදු කරනු ලබයි. 

 
සාර මලෙනි ගජ දළෙනි උපන් නේ   
කැකුළු මලෙනි සළු පොටෙනි උපන් නේ   
ගිරිකුලයෙන් අඹ මලෙන් උපන් නේ   
පුවත කියමි සත් පත්තිනියන් නේ   
පතිනි දෙවියන්ගේ අණ මම කියන් නේ   
ඔබට කෝල්මුර දක්ක වන් නේ   
යහන පුරා ගෙන දළු මුර පුදන් නේ   
පතිනි දෙවියො හට දුම්මල වඩන් නේ 

 
මේ අයුරින් මෙහි මුලින් අප සඳහන් කළ සියලු දෙවින්ට කෝල්මුර ගායනා පවත්වා ශාන්තිය කරනු ලබයි. මෙහිදී ඇදුරුවරයන් කීපදෙනෙක් මායම් වී ශාස්ත්‍ර කීමද කරනු ලබයි. මෙම මායම්වීම මෙම ශාන්තිකර්මයේ එක් වැදගත් අංගයක් වන අතර බොහෝදෙනා මායම් වූ ඇදුරන්ගෙන් ශාස්ත්‍ර ඇසීමද කරනු ලබයි.   


මෙම යාගයේ තවත් එක් වැදගත් අංගයක් නම් දාන පිං දැක්කවීම යනුවෙන් හැඳින්වෙන පිංදීමේ ගායනා පටන් ගැනීමයි. සියලුදෙනාම මෙම කවි හඬනගා කීම මෙහි ඇති විශේෂයයි.  


ඈත පටන් බුදුවන්නට පතාන එන් නේ  
මෑත කපට මතුබුදුවී සත ගොඩලන් නේ  
නාථ දෙවියො හට පිං දක්කවන් නේ  
නාථ දෙවිට වැඳලා අවසර අරගන් නේ  


යක්ෂ දේව භාෂාවෙන් මුළු දෙවගෙන් කතාකර ති  
යන්ත්‍ර මන්ත්‍ර ගෙන ජීවන් හිරකටු බන්ධන පුපුර ති  
උඩ තිරිංචි හෙණ වලිප්පු මල්සැර අංගං නොවදි ති  
ඔහොම දෙයට අපි බය නැත කියා එ යොන් ලියෝ නට ති  


මෙසේ තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ සැමට සෙත් පතා සෙත්කවි ගායනා පවත්වමින් සිදුකරන්නාවූ මල්කෙළිය ශාන්තිය මගින් දුක්පැමිණි සියලු දෙනා හට ශාන්තිය උදාවන බවට පැහැදිලි විශ්වාසයක් ඇත. සත්කෝරලයේ හා නුවරකලාවියේ ජනයා අතර යහපත පිණිස පැවැත්වෙන ශාන්තිකර්ම අතර මෙය ප්‍රධාන තැනක ඇත. එහෙත් අද මෙම ඇදුරු පිරිස් ඉතාමත් ටික දෙනකු පමණක් ඉතිරිව සිටින අතර, මෙම පැරණි ශාන්තිකර්ම විනාශ වී යාමේ තර්ජනයකටද මුහුණ දී ඇත.  

 

 


ධර්මරත්න තෙන්නකෝන්  
පාදක තොරතුරු  
නාමල් කුමාර විත්තිය හෙවත් මල්කෙළිය ශාන්තිය  
ගොඩගේ ප්‍රකාශනය 2006 කොළඹ