ගමක්ම බියපත් කළ වංගෙඩි මෝල්ගස් වහන්සේ


"මේක නිිකම්ම නිකං වංගෙඩියක් නොවෙයි. මේකට පුළුවන් මේ ගෙදර තිබෙන සියලුම අනුවින කොඩිවින හා සියලුම යක්ෂ භූත දෝෂ රෝග සුවපත් කරන්ට. අරුම පුදුම වංගෙඩිය, මෝල් ගස් වහන්ස, අඹරන්න, දැන් තමුන්ට මම කියන දේ ඇහෙනවා පේනවා ඉතිං මම කියන ආකාරයට මේ ගෙදර රෝග, මේ දේව දරුවාගේ සියලුම රෝග සුව වෙන්න කටයුතු කරන්න වෙනවා." යැයි කියමින් ස්වාමි මල් බුලත් සුවඳ සහිත පූජා භාණ්ඩ වංගෙඩි මෝල් ගස් වහන්සේට පුද කරන්නට විය.  
 
"මේ නිවසට හදි හූනියම් සිදුකළ නරයන් ඇඹරී පලයන්, කුඩු වී, ගෙටී සුන්නන් දූලි වී යවන්න කටයුතු කරන්න මගේ වංගෙඩි මෝල් ගස් වහන්ස" කියමින් ස්වාම් මහ හඬින් කියමින් දුම්මල ගසමින් පේවත් කරන්නට විය. පුදුමයක්. ඉන් පසුව සිදුවන්නේ කුමක්ද?   


ගමේ සියල්ලෝම විමතියෙන් තැතිගෙන බලා සිටියෝය.   


අම්මාවරුන්ගේ දානය යනු පත්තිනි මෑණියන් මුල්කරගෙන දෙනු ලබන දානයක් බව අපි කවුරුත් දනිමු. කිරි දෙන අම්මාවරුන් කිරි දුන් අම්මාවරුන් දරුවන් සිටින වයසක අම්මලා වෙනුවෙන් ද මේ දානය දෙනු ලබති.   
පතිව්‍රතතාවට බලවත් පත්තිනි දේවිය ඇදහීම සාම්ප්‍රදායික ජන ජීවිතයේ ඉතාමත් දේවත්වයෙන් මෙන්ම ඉතාමත් ගෞරවණීයත්වයකින් අද ද සිදු වන්නකි. බොහෝවිට යම් යම් ලෙඩ රෝග ව්‍යාධි ආදීන් දුරු කරගැනීම සඳහා දෙවියන්ට භාර වීමෙන් පසු එම පොරොන්දු ඉටු කිරීමත්, ගමේ සියලු දෙනාම එකතු වී ගමට සෙතක් ශාන්තියක් සලස්වා ගැනීමත්, ගමේ සාමය සහයෝගීතාව වර්ධනය කර ගැනීමත්, පත්තිනි දේව පූජාවලින් බලාපොරොත්තු වෙයි. විශේෂයෙන්ම වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම පත්තිනි දේවිය ඇදහීම වැඩි වශයෙන් සිදුවන අතර එහිදී වඩා වැදගත් වන කිරි අම්මාවරුන්ගේ දානය, අං කෙළිය හා පොල් කෙළිය සම්බන්ධයෙන් විමසීමක් කෙරේ.  


ඉතා පුරාණයේ සිටම ගම්වල පැවත එන චාරිත්‍රයකි කිරි අම්මාවරුන්ගේ දානය. බොහෝ විට කාන්තාවකට දරු උපතක් සිදුවීමට පෙරාතුව හෝ පැපොල සරම්ප වැනි බෝවන රෝගයක් වැලඳුණ විට හෝ කුඩා දරුවකුගේ කිසියම් අසනීප තත්ත්වයක් නිසා හෝ එබඳු වූ අවස්ථාවක ඉක්මනින් නිරෝගී සුවය පතා කිරි අම්මාවරුන් සඳහා බාරයක් ගැට ගැසීම සිරිතකි.  


බොහෝවිට බාරය සිදුවන්නේ බද‌ාද‌ා හෝ සෙනසුරාදා දිනකය. බාරය පිරිමහන්නේද එවැනිම වූ කෙම්මුර දිනකදීය. මෙම භාරය සඳහා කිරි අම්මාවරු හත්දෙනෙක් යොදා ගැනීම වඩා ප්‍රකටය. කිරි අම්මාවරුන්ගේ දානයට අනිවාර්යෙන්ම සහභාගි කර ගනු ලබන්නේ දරුවන් වැදූ මව්වරුන් පමණය.  


ආරාධනා ලැබූ කිරි අම්මාවරු උදෑසනම අදාළ නිවසට පැමිණේ. ඔවුන්ට වාඩි වීම සඳහා බිම පැදුරු එලා ඊට උඩින් සුදු රෙදි පිරුවට අතුරා තබා තිබේ. වාඩි වූ පිරිසට කැවුම් කිරිබත් කෙසෙල් ගෙඩි ආදිය එක් වර්ගයකින් තුනක් බැගින් ලැබෙන ලෙස තුන් වරක් බෙදයි. බොහෝවිට එය කරන්නේ අදාළ බාරයට හේතු වූ පුද්ගලයා විසිනි. එසේම කිරි පැණි භාජනය බැගින් ද ඒ කිරි අම්මාවරුන්ට පූජා කෙරේ.   


තවද බුලත් කොළයක් පුවක් ඉරුවක් කාසිවලින් පඬුරක් ද මෙසේ දෙනු ලැබේ. මේ කටයුතු සිදුකිරීමට පෙර හඳුන්කූරු දුම්මල වැනි සුවඳ වර්ග හා බුද්ධ පින්තූරයක් සමඟ පොල්තෙල් පහනක් ද දල්වා අම්මාවරුන් සමීපයේ තබනු ලබයි. මෙසේ මූලික කටයුතු අවසන් වීමෙන් වූ පසු කිරි අම්මලා ගෙදර අය  ද සමඟ පන්සිල් සමාදන්ව බුදුන් වැඳීමක් කරනු ලැබේ. එයින් පසු තෙරුවන් වැඳ පත්තිනි දේවිය සිහිපත් කරමින් යාතිකාවක් පළපුරුදු කිරි අම්මා කෙනෙකු විසින් සිදුකරනු ලැබේ.  


සෙත් පැතීම සඳහා යොදා ගන්නා කවියක්  


එර්දි වෙලා උඩු ගුවනෙ වඩින්නේ  
එර්දි සළුව ගෙන පවන් සලන්නේ  
සුද්ද ඇතිව දෙන දන් පිළිගන්නේ  
සිද්ධ පතිනි දෙවි මේ පින් ගන්නේ   


සුදෝ සුදු වතින් සැරසුණු පියකරු මව්වරුන්ගෙන් පිරුණු කැවිලි කිරිබතින් සුවඳවත් වූ මනරම් උදෑසනක මෙම දානමය පුණ්‍යකර්මය සිදුකරයි. මෙම දානමය පුණ්‍යකර්මය අප ලංකාවේ ඒ ඒ ප්‍රදේශවලදී සිදුකරනුයේ වෙනස් ආකාරවලටය. ඉතාමත් පිරිසිදුව පේ වී කරන මේ දානමය කටයුත්ත අම්මාවරුන් හතයි, කැවිලි හතයි, හාල් කිරි කෑලි හතයි හෝ දාහතරයි, විසිඑකයි වශයෙන් ද වෙනස් වේ.   


මෙම දානය පිළියෙල කරනු ලබන්නේ පිරිමි අය විසින් රෑ නිදි වර්ජිතවය. එසේ නොමැතිනම් ප්‍රදේශයේ කපු මහතකු හෝ පත්තිනි හාමි විසින් පත්තිනි සලඹ සලමින් සකස් කරනු ලබයි. මෙය ඉතාමත් සුන්දරය. හිමිදිරි උදෑසනම දනට වඩනා කිරිඅම්මාවරු කිරි දානය පිළිගෙන හිමිදිරි උදෑසනම පිටත් වී යන ආකාරයද ඉතා අපූරුය. මෙම කිරි දානයෙන් බොහෝ උදවිය පවසන ආකාරයට සිත් සුවපත් වීමක්, සිතට සහනයක් දැනීම ඇතිවේ. මේ දානය සිත් සුවපත් කරන දානයක් සේ ද සැලකිය හැකිය.   


මෙම කිරි දානය මගින් මානසික සුවයක් ලැබෙන බව අප සමාජයේ බොහෝ තැන්වල පිළිගෙන ඇති බැවින් ගැබිනි මව්වරු ද මෙම කිරිදානය සඳහා භාර වෙති. පැපොල, කම්මුල්ගාය වැනි රෝග දෙවියන්ගේ රෝග වශයෙන් අප සමාජයේ ඇතැම් තැන්වලදී පිළිගෙන ඇති අතර, එම රෝගවලදී ද කිරි දානයක් දීමට භාර වී එය ඔප්පු කිරීම සිරිතකි.   


මේ ද එවන් වූ අපූරු කතාවක් වුවද මෙය හුදෙක්ම මානසික සහනය පිණිස නොව කිරි දානය මුවාවෙන් මිනිසුන් සූරාගෙන කෑමක් යැයි කීම වරදක් නැත. 


හෝකන්දර ප්‍රදේශයේ එක්තරා ගම්මානයක විස්මිත හාස්කම් සිදුකරන එක්තරා කපු මහතකු සිටින බව ඉතා ප්‍රචලිතය. අංජනම් කීම, පේන කීම, හාස්කම් සිදුකිරීම, දෙවියන් උදෙසා යාතිකා කිරීම, කිරි දානවලදී පින්දීම, කිරි ගහට ඇන්නා වාගේ සාස්තර කීමට දස්කම් පෙන්වන මෙම කපු මහතා ඉතා ප්‍රසිද්ධය. සැවොම ඔහු හඳුන්වන්නේ “ස්වාමි” යන නමිනි. මේ ඒ ස්වාමිගේ කතාවයි.   


මේ ස්වාමි නම් කපු මහතා ග්‍රහදෝෂවලට සහනය ලබාදීම, කනප්පු වහන්සේ මගින් සොරුන් අල්ලා දීම, රෝගීන් සුවපත් කිරීම, නිවෙස්වල දෝෂ සමනය කිරීම, නොයෙක් නැකැත්වලට සුභ වේලාවන් දීම, ප්‍රේත දෝෂ, අමනුෂ්‍ය දෝෂ, නිවෙස්වලට කර ඇති හූනියම් ඉවත් කිරීම වැනි දේ සඳහා ප්‍රසිද්ධ නමක් දරයි. එසේම ගිනි පෑගීමටද විශේෂ දක්ෂතාවයක් ඇති ස්වාමි කපු මහතා රාත්‍රී කාලයේ තමන් ළඟට එන ගැත්තන්ට කඩවර පූජාවක් කිරීමද සිරිතක්ව පැවතියේය. දහවල් කාලයේදීත් සවස් කාලයේදීත් දෙවියන් උදෙසා පූජාවන් පැවැත්වීමද මොහුගේ සිරිතකි. එසේම කිරි අම්මාවරුන් වෙනුවෙන් දානයක් දීමට පොරොන්දු වීම ස්වාමි කපු මහතාගේ පුරුද්දකි.   


වයස අවුරුදු දාහතරක් වූ ඉෂානිට නින්දේදී සිහිනෙන් වරින් වර මූත්‍රා පිටවීමේ රෝගයක් හටගත්තේය. විවිධ දේ කළද මෙම රෝගය සුව නොවුණි. ස්වාමි කපු මහතා ළඟට ඇයගේ වැඩිහිටියෝ ගෙන ආවෝය. උදෑසනම ආහාරවත් නොගෙන ආ ඔවුහු බොහෝ වේලාවක් යන තුරු පෝලිමේ සිටියහ.   


මල් හා සුවඳ දුම්වලින් පරිසරයම සුවඳවත් විය. බෙර හඬ තළමින් සීනුව නාද කරමින් දේවාලය තුළ කපු මහතා පූජාවක් සිදුකරයි. ස්වාමි කපු මහතා දේව ආරාධනාව සිදුකරන්නේ මහා හයියෙන් ශබ්ද නඟාය. එය ඉතා බියකරුය. විටෙක කුතුහලය දනවන්නකි. විටෙක ත්‍රාසජනකය. එසේම දෙවියන් කියන දෑ පරිවර්තනය කිරීමට ද ස්වාමි කපු මහතා ළඟ කිහිපදෙනෙක් වෙති. ඔවුහු ද සුදුවතින් සැරසීගෙන සිටියවුන්ය. ස්වාමි පූජාව අතරතුරදී කියන භාෂාව කිසිවකුටවත් නොතේරෙන බැවින් එය පරිවර්තනය කරන්නේ මොවුන්ය. මෙතැනදී ඉෂානිගේ වාරය එළඹිණි. වැඩිහිටියෝ ඉෂානි කපු මහතාගේ දේව මන්දිරය තුළට රැගෙන ආහ. සලඹ හඬවමින් එහෙට මෙහෙට පැද්දෙමින් ස්වාමි කපු මහතා මෙසේ පවසයි.   


“මේ දැරිවිගේ ප්‍රේම සම්බන්ධයක් කඩන්න නේද ගෙන ආවේ” කුතුහලයට පත්වූ වැඩිහිටියෝ “නැහැ ස්වාමි නිදාගෙන සිටියදී සිහිනෙන් ඇති වන පුරුද්දක් හේතුවෙන් ඇති වෙන රෝගයක් ගැන දැනගන්නයි අපි ආවේ” ඉෂානිගේ මව පවසයි.   


“ඒක හොඳ කරලා දෙන්න පුළුවන්. මොනවද තියෙන රෝග ලක්‍ෂණ” ස්වාමි කපු මහතා විමසයි. “දුවට නින්දෙන් මූත්‍රා යනවා. ඒක හොඳ කරගන්නයි ඕනෙ” යළිත් මව පවසයි.  


 කපු මහතා නොතේරෙන භාෂාවකින් යමක් පැවසුවේය.   


එය භාෂා පරිවර්තකයෝ මෙසේ විස්තර කළහ. “දරුවට ගෙදරට තනිකම් දෝෂයක් බලපාලා තියෙනවා. දින තුනක් ඇතුළත කඩවර පූජාවක් තියලා දින පහකින් පේනයක් බැලුවොත් හොඳ කරගන්න පුළුවන් කියලා කියනවා”.  


ඉෂානිගේ දෙමව්පියෝ එයට කැමැති වූහ. ඉෂානිට රෑ නින්දෙන් මුත්‍රා පිටවීම ඇයටත් වැඩිහිටියන්ටත් මානසික පීඩාවක් ඇති කරන්නක් විය. උස් මහත් වූ ඉෂානිටද එය විශාල ලජ්ජාවකි. මේ නිසාම ඇය බෙහෙවින්ම මානසික පීඩාවකට පත්ව සිටියාය. තම නිවසටත් දරුවන්ටත් බලපා ඇති තනිකම් දෝෂය ඉවත් කිරීම සඳහා ස්වාමි කපු මහතා කිවූ කඩවර පූජාව හා පේනය බැලීමටත් ඉෂානිගේ දෙමාපියෝ ඒ සඳහා දිනයක් හා වේලාවක් ද වෙන්කර ගත්හ. විශාල බඩු ලැයිස්තුවක් ඉෂානිගේ පියාගේ අතට දුන් ස්වාමි කපු මහතා දේව පූජාව සිදුකිරීම සඳහා රුපියල් විසිදෙදහසක් ද දේව පූජා ගාස්තුව වශයෙන් රුපියල් අටදහසක් ද ලබාදිය යුතු බව සැලකළේය. එයට ද වැඩිහිටියෝ එකඟ වූහ.   


දේව පූජාව සඳහා බඩු ලැයිස්තුවේ ඇතුළත්ව තිබෙන සියලු බඩු ලැහැස්ති කෙරුණි. කපු මහතා නිවසට පැමිණියේ රාත්‍රී දහයට පමණ ඔහුගේ ගැතියන් සමඟිනි. රාත්‍රී එකත් දෙකත් අතර කාලය පූජාව සඳහා වෙන් විය. මහා ගිනි ජාලාවක් දල්වා එයට විටින් විට පනිමින් මහ හයියෙන් කෑ ගසමින් කපු මහතා අපූරු රංගනයක යෙදෙයි. එයට සහය දක්වන කපු මහතාගේ පරිවාර පිරිස බෙර හඬ තළති. හූ කියති. අලුයම තුන පමණ වනවිට පූජාව හමාර විය.   


“දැන් ඉතින් හොඳට නිදාගන්න පුළුවන්. ආයෙත් මුත්‍රා පිටවෙන්නෙ නෑ නින්දෙන්” කපු මහතා සියල්ල නිමකර අදාළ ගාස්තු ද රැගෙන තම සඟයන් සමඟ පිටත් විය. නමුත් පසුදාත් ඉෂානිට නින්දෙන් මුත්‍රා පිටවිණි. එසේ නම් ඇයගේ රෝගය සුව වී නොමැත.   


සොරුන් අල්ලා දීම, රෝග සුවපත් කිරීම, අණවින කොඩිවින කැපීම, ප්‍රේත දෝෂ ඉවත් කිරීම කපු මහතා අතින් සිදුවූවත් ඉෂානිගේ රෝගය සුව නොවූයේ මන්ද? ගැටලුවකි. පසුදාම ඉෂානිද කැටුව ඇයගේ දෙමාපියෝ කපු මහතා හමුවට ගියහ.   


“ස්වාමි අපේ දුවට ඊයේ රෑත් පුරුදු විදියටම මූත්‍රා ගියා නින්දෙන්. දුවට සුවයක් වෙලා නෑ” ඉෂානිගේ මව කනගාටුවෙන් පැවසුවාය.

   
“දැන් දුවට සනීපයි. ඒ වුනාට කිරි දානයක් දෙන බවට භාරයක් වුණා නේද ඒක ඔප්පු කරහම හොඳටම හොඳයි” කපු මහතා එවර පැවසීය.   


“අපි එහෙම දෙයක් භාරවුණේ නෑ ස්වාමි” ඉෂානිගේ පියා පැවසුවේය.   


“ඔය අය භාර නොවුණට මම භාර වුණා කිරි දානයක් දෙන බවට. එතකොට මේ දේව දියණියට යහපතක් සෙතක් සහනයක්ම උදාවෙනවා ඒකාන්තයි. ඒකට ලැහැස්ති වෙන්න” කපු මහතා අණ දුන්නේය. කිරි දානයට දිනය උදා විය. එය නම් හරිම අපූරු කිරි දානයක් විය. මුළු ගමම බලා සිටින්නට වූහ.   


......නිවසට ආ ස්වාමි ලී වංගෙඩිය ගෙන එන්නයැයි කීය... ඒ අනුව, ලී වංගෙඩිය සෝදා පිරිසිදුකර මෝල්ගහ ද ගෙන කහ දියර ඉස, සුදුම සුදු රෙද්දක් මත වංගෙඩි හා මෝල් ගහ තබා ඇසෙන නොඇසෙන හඬින් යුතුව මන්ත්‍ර කියන්නට විය. “අහස ගුගුරුවාගෙන පොළොව දෙබෑ... කරගෙන වර වර ඒස්වාඃ හක්.....” ආදිය කියමින් වංගෙඩි මෝල් ගස් වහන්සේට මතුරන ලදී.   


"මේක නිකම්ම නිකං වංගෙඩියක් නොවෙයි. මේකට පුළුවන් මේ ගෙදර තිබෙන සියලුම අණවින කොඩිවින හා සියලුම යක්ෂ භූත දෝෂ රෝග සුවපත් කරන්නට. අරුම පුදුම වංගෙඩිය මෝල් ගස් වහන්ස අඹරන්න, දැන් තමුන්ට මම කියන දේ ඇහෙනවා පේනවා. ඉතිං මම කියන ආකාරයට මේ ගෙදර රෝග මේ දේව දරුවාගේ සියලුම රෝග සුව වෙන්න කටයුතු කරන්න වෙනවා.” යැයි කියමින් මල් බුලත් සුවඳ සහිත පූජා භාණ්ඩ වංගෙඩි මෝල් ගස් වහන්සේට පුද කරන්නට විය.   


“මේ නිවසට හදි හූනියම් සිදුකළ නරයන් ඇඹරී පලයන්, කුඩු වී, ගෙයින් සුන්නන් දූලි වී යවන්න කටයුතු කරන්න මගේ වංගෙඩි මෝල් ගස් වහන්ස” කියමින් ස්වාමි මහ හඬින් කියමින් දුම්මල ගසමින් පේවත් කරන්නට විය. පුදුමයකි. ඉන් පසුව සිදුවන්නේ කුමක්ද? 


ගමේ සියල්ලෝම විමතියෙන් තැතිගෙන බලා සිටියෝය. 

 
හිමිදිරි පාන්දරම ඉෂානිගේ නිවසේ විසිත්ත කාමරය නැතහොත් ගෙදර සාලය මැද පොළොව මත පිරිසිදු සුදු රෙද්දක් දමා ඒ මත උඩුබැලි අතට දිගා විය. වංගෙඩියක් කපු මහතාගේ බඩ උඩින් තැබූ ස්වාමිගේ පරිවාර ගෝලයන් දෙදෙනා ඒ තුළට සහල් ටික ටික දමමින් ශ්ලෝක කියමින් හාල් කොටන්නට වූහ. සකස් කළ එම පිටිවලින් කිරි අම්මාවරුන් උදෙසා කිරි දානය සකස් කෙරුණි. මෙසේ කිරි දානයද දී අවසන් වුවත් ඉෂානිගේ නින්දෙන් මූත්‍රා පිටවීමේ රෝගය සුවපත් නොවුණි.  


විශාල මුදලක් වැය කර පූජාවන් සිදු කළද තම දියණියගේ රෝගය සුවපත් නොවීම නිසා ඉෂානිගේ දෙමාපියන් බෙහෙවින්ම මානසික පීඩාවට ලක් වී තිබුණි. මුදල් වියදම් වුවද දියණියට යහපතක් වූවා නම් හිතට සහනයකි. නමුදු රෝගය එලෙසම තිබියදී මුදල් පමණක් වියදම් වී ඇත. සිදුවූ යහපතක්ම නැත. තව තවත් මුදල් වැය කර මෙවැනි දේ කිරීමෙන් ඵලක් නොමැති බව වැටහුණි. නමුදු ස්වාමි කපු මහතා ගැන අසන්නට ලැබුණු දේවල්වලින් කිසිදු ඵලයක් තමනට සිදුනොවූ බව නම් පැහැදිලිය. දැන් කුමක් කරම්දැයි ඉෂානිගේ දෙමාපියෝ කල්පනා කරන්නට වූහ.   


මෙසේ කාලය මාස හතරක් පමණ ගෙවුණි. මේ කාලය දක්වාම ඉෂානිගේ නින්දෙන් මූත්‍රා පිටවීමේ නැවතීමක් සිදු නොවුණි. මෙය කෙසේ හෝ ඉෂානිගේ පියා ඔහුගේ මිතුරකු හට පැවසීය. මේ හේතුව නිසා තම දියණිය ඉතා මානසික පීඩාවකට පත්ව ඇති බවත් කරපු කිසිම දේකින් ඵලක් නොවුණු බවත් ඔහු තම මිතුරාට පැවසුවේ ඉතාම කනගාටුවෙනි. මේ නිසාම නිරන්තරයෙන්ම නිවාඩු ලබාගැනීමට සිදුවූ බවත් පැවසුවේය. තම කුලුපගම මිතුරා පත්වී ඇති මානසික ගැටලුවට එකම විසඳුම ඇත්තේ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ළඟ බව පැහැදිලි වූ ඔහු ඉෂානිගේ පියාට ඉෂානි ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කරන ලෙස පැවසුවේය.   


එලෙස ඉෂානි වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරුණි. ඉහත කී ආකාරයෙන් ඉෂානිගේ රෝගය සුව කිරීමට කටයුතු කළ බවත්, දේව ස්වාමි කපු මහතා කළ සියලු දේත් ඉෂානිගේ වැඩිහිටියෝ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට පැවසූහ. ඉෂානිගේ සියලු විස්තර විමසා බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා “Bet wetting නම් වූ තත්ත්වයක් තමයි දියණියට ඇති වී තිබෙන්නේ. මෙය සමහර දරුවන්ට ඇති වන තත්ත්වයක්. මෙය හොල්මන් හෝ තනිකම් දෝෂ නිසා ඇති වන්නක් නොවේ” යනුවෙන් පැහැදිලි කරදුන්නේය. දැඩි අසහනයට පත් වූ ඉෂානිට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගෙන් විසඳුම් ලැබුණි. ඉෂානිගේ රෝගය සුවපත් විය.   


මෙහිදී දේව ස්වාමි පිළිබඳව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ පැවසුවේය. “මොහු මායා රෝගියෙකි. මොහු කරන්නේ අසරණ වී දේව පිහිට සොයා එන මිනිසුන්ව රවටා තම ගතමනාව ලබාගැනීමකි. මොහුට ඇති දේව වරමක් හෝ බලයක් නැත. මොහු සොයා එන්නන් මිථ්‍යාව පසුපස යන්නන් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙසේ වන්නේ ඔවුන්ගේ නොදැනීම නිසායි. දේව ස්වාමි සිදුකරන අමුතු දේවල් විද්‍යාවෙන් කරන දේවල් හැටියට මිනිසුන් දැක්හ. ඔවුන් සිතුවේ ස්වාමිට පුදුම බලයක් ඇතියි කියායි. ඒ මුළාවූවන් නිසා හෙතෙම විශාල ලෙස මුදල් ගරාගත්තේය. එසේම තම පපුව මත තබා පිටි කෙටීම සිදුකිරීම විශ්මයජනක දෙයක් ලෙස බලා සිටින්නවුන්ට පෙන්වීමට නම් මොහු සමත් වී ඇත.   


නමුත් ලී වංගෙඩියක් පපුව මත තබාගෙන පිටි කෙටීම අසීරු කටයුත්තක් නොවේ. හේතුව වංගෙඩියේ පපුවට තබන ප්‍රදේශයේ වර්ගඵලය වැඩි නිසා බලය බෙදී යන්නේය. බඩ උඩින් වාහන ගෙනයාමද එසේ කරන සංසිද්ධියක් වන අතර, එහිදී ලෑල්ලක් බඩ මත තබාගෙන සිටින අතර, රෝද ගමන් කරන්නේ ලෑල්ල මතිනි. ඒ අනුව වාහනයේ බර ලෑල්ලේ වර්ගඵලයට සමව බෙදීයයි. මෙසේ බලද්දී දේව ස්වාමි කපු මහතාද කරන්නේ රැවටිලිය. ඒ නිසා රෝගයක් වැලඳුණ විට වෛද්‍යවරයෙක් වෙත යාම විනා මෙවැනි පුද්ගලයන් කරා ගොස් තව තවත් මානසික පීඩාවන්ට පත් වී විනාශ නොවන්න. එය සියල්ලන්ටම වැදගත් වූ තවත් කරුණකි.   
(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)  

 

 

 


සටහන : හබරාදුව නිමල් අල්ගෙවත්ත