ගමක් බියපත් කළ කුරුමිණි පිල්ලිය


 

අතීතයේ සිටම නොයෙකුත් හාස්කම්, නොයෙකුත් අද්භූත බල, විවිධ හැකියාවන් තිබෙන බවට පුරාජේරු පවසන්නෝ බොහෝවෙති. එහෙත් ඔවුන්ගේ සත්‍යතාවන් සොයා බලන විට එවැනි බලයන් ඔවුනට තිබේය යන්න සනාථ කළ හැකි සාධක නොමැත. ඔවුන් පෙන්වන ඇතැම් අද්භූත හැකියාවන් ලෙස සලකන දේවල පවා විද්‍යාත්මකව බලන විට අද්භූත බවක් නොමැත. ඒවායේ තිබෙන්නේ ද විද්‍යාත්මක න්‍යායක් පමණි. 
  
අණවින, කොඩිවින, හදි හූනියම් ගැන අපි කවුරුත් අසා ඇත්තෙමු. අපේ අතීත කතා ඇහෙද්දී එදා යක්කු බැඳගෙන වැඩ ගත්ත, මළමිනීවලටත් පණදී, බිහිසුණු ක්‍රියාවල යෙදවූ මහා මන්තරකාරයන් කට්ටඩියන් ගැන අපට අසන්නට ලැබිණ. 


ඈත අතීතයේදී කළ හූනියම්, පිල්ලි, වැල් පැන්නුම්, ඉරි පැන්නුම් වැනි යන්ත්‍රමන්ත්‍ර වැඩ අදටත් කරගෙන යන පිරිස් ඕනෙ තරම් වෙති. එහෙත් අද වෙද්දී නැති ප්‍රශ්න මිනිස්සුන්ගේ හිසට දමා බිය ඇති කරලා. මුදල් ගරාගන්නා ගුරුකම්කරුවෝ සිටිති. එහෙත් මෙවැනි විනාශකාරී ගුප්ත ශාස්ත්‍ර ගැන විශ්වාස කරන පිරිස බෙහෙවින් අඩුය. එය ඇත්ත වශයෙන්ම තමන්ගේ මානසික සුවයට ඉතාම සුබවාදී දෙයක් බව කියන්නට හැකිය. 
හබරාදුව ප්‍රදේශයේ එක්තරා වසමක ඉතා රූමත් අනුත්තරා නම් තරුණියක් වාසය කළාය. ඇගේ රූමත් බව නිසාම ප්‍රදේශයේ තරුණයෝ ඇය පසුපස හඹා ආහ. විවාහ අපේක්ෂාවෙන් පැමිණි නාමල් නම් තරුණයා පිළිබඳව අනුත්තරාට සිතක් පහළ විය. ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා සිටි අනුත්තරා නාමල්ට කැමැත්ත දුන්නාය. එහෙත් නාමල් උගත් තරුණයෙකු වුවත් රැකියාවක් නොමැති වීම නිසා අනුත්තරාගේ දෙමව්පියන් මේ සම්බන්ධයට එතරම් කැමැත්තක් නොදැක්වූ අතර ඇය පසුපස ආදර යෝජනා ගෙනා අනෙක් තරුණයෝ අනුත්තරාගේත් නාමල්ගේත් සම්බන්ධය බිඳ දැමීමට නොයෙක් ලෙස වෑයම් කළෝය. 


අනුත්තරාගේ දෙමාපියන්ගේ කැමැත්ත තමන්ට නොලැබෙන්නේ තමන් ‘නිකමෙක්’ කියා ඔවුන් සිතන නිසා බව නාමල්ද වටහාගෙන සිටියේය. ආදායම් මාර්ගයක් සොයා ගැනීමට නාමල් ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තම ඥාතිවරයකුට අයත් ආයතනයක ඔහුට රැකියාවක් ලැබුණේය. උපරිම අයුරින් සේවයක් කිරීමට නාමල් ගත් උත්සාහය නිසාම ආයතනයේ බොහෝ කටයුතු ඔහුට භාර විණ. හොඳ රැකියාවක් ලැබීම නිසා අනුත්තරාගේ දෙමාපියන්ගේ කැමැත්ත ලබාගැනීමට හැකිවූ බැවින් ඔවුහු ඉක්මනින්ම විවාහ වී අනුත්තරාගේ නිවසේම පදිංචි වූහ. 


විවාහයෙන් වසර දෙකහමාරකට පසු අනුත්තරාට පිරිමි දරුවෙක් ලැබුණි. ඒනිසා දරුවාට නාමල් වගේම අනුත්තරාද ඔවුන්ගේ දෙමාපියෝද දැඩි සෙනෙහස පෑහ. එහෙත් ඔවුන්ගේ දිවියට කණකොකා හැඬුවේය. ටික කාලයකට නාමල්ගේ නිවසට යාමට සිදුවීමත් නාමල්ගේ අවිවාහක සහෝදරිය ද එම නිවසේ ජීවත් වීමත් නිසා එම නිවසේ සියලු වැඩ රාජකාරී මෙන්ම දරුවාගේ කටයුතු ද සියල්ලම අනුත්තරාටම භාරවූ නිසාය. මේ නිසා අනුත්තරා මානසිකව කඩා වැටුණාය. 


එහෙත් අනුත්තරා ගැටලුවක් ඇති නොවන අයුරින් නාමල්ට මේ බව පහදා දීමට සිතුවාය. ඇය කොපමණ ඉවසීමෙන් යුක්තව සියල්ල පැහැදිලි කර දුන්නද තම බිරිඳගේ ගතිගුණ ගැන දන්නා නාමල් ඇයට වූ කෙනෙහිලිකම් ගැන කිපුණේය. තම නිවසට පැමිණිද‌ා සිටම ඇය දාසියක් සේ කටයුතු කළ බවත් ඒ නමුත් ඇයට කිසිඳු සෙතක් සිදුවී නොමැති බවත් තම මවත් සහෝදරියත් ඇයට කෙනෙහිලිකම් කර ඇති බවත් දැනුණු නාමල් එවෙලේම තම මවගෙන් ඒ බැව් ඇසුවේය. කේලාම් කියා තම පුතු හා තමා අතර ආරවුල් ඇති කිරීමට අනුත්තරා කටයුතු කර ඇති බව සිතූ ඇය අනුත්තරාට නොසෑහෙන සේ බැණ වැදුණාය. 


එහෙත් මවත් සහෝදරියත් බොහෝ චෝදනා අනුත්තරා පිට පටවා කීම නිසා නාමල් ඒවා ද නොසලකා හැරියා නොව, යාන්තමින් අප්‍රසාදයක් අනුත්තරා කෙරෙහි ඇති කරගත්තේය. තම සිතෙහි ඇය කෙරෙහි පවතින අප්‍රසාදය කෙළින්ම පළ නොකළද අනුත්තරාට ඔහුගේ වෙනස පැහැදිලිවම සිතාගත හැකි විය. 


ඔහුගේ මවගේත් සහෝදරියගේත් කෙ​ෙනහිලිකම් තව තවත් වැඩිවීමෙන් ඇයට තම ජීවිතයද එපා විය. වරක් ඇය ජීවිතය නැති කරගන්නට සිතුවද තම සුරතල් දරුවා ගැන සිහිවීමෙන් එම සිතුවිල්ලෙන් මිදුණාය. 
නාමල් නිවසේ නොමැති වේලාවලට වරින් වර ඔහුගේ මවත් සහෝදරියත් අනුත්තරා සමඟ ගැටුම් ඇති කරගත්තෝය. කොපමණ ඉවසා දරා සිටියත් එක් දිනෙක ඇය තීරණයක් ගත්තාය. ඇති වූ ආරවුලක් නිසා තම කාමරයට ගොස් හංගා තිබූ වස කුප්පියක් ගෙන බීවාය. 


ඒ බව නොදත් නිවැසියෝ පැය භාගයක් යනතුරුත් ඇයගෙන් හාවක්හූවක් නොමැති නිසා ඇයගේ කාමරයට පැමිණ සුපුරුදු ලෙස ඇයට බැණ වැදුණත් නිසොල්මන්ව සිටි ඇය දැක භීතියට පත් වූහ. වහාම අනුත්තරා අසලට ගිය නාමල්ගේ නැගණිය ඇය වස පානය කර ඇති බව දැනගත්තාය. ඉක්මනින්ම ත්‍රිරෝද රථයක් ගෙන්වා ගෙන අනුත්තරා රෝහලට රැගෙන යන අතරතුරදී ඇය මෙලොවින් සමුගත්තාය. 


තම බිරිඳ මෙලොවින් සමුගත්තේ තම මව හා සහෝදරියගේ කෙණෙහිලිකම් හා අපවාද ඉවසා දරා සිටීමට නොහැකි තැන බව නොදත් නාමල් ඇයගේ වියෝවීම ගැන දුක්විය. නාමල්ට ඇයගේ වියෝවීම දරාගත නොහැකි විය. එසේම නාමල්ගේ මව සහ සහෝදරිය කෙලෙසකවත් අනුත්තරා මෙලෙස ජීවිතය නැති කරගනීවි යැයි නොසිතූහ. තමන්ගේ කෙ​නෙහිලිකම් නිසා ඇය ජීවිතය නැති කරගත්තා යන්න ඔවුන්ගේ සිත් තුළ වධ දෙන්නට විය. ඒ නිසාම ඔවුන් දෙදෙනාම ජීවත් වූයේ බියෙනි. ඔවුන්ට අනුත්තරාගේ මුහුණ මැවී පෙනෙන්නට විය. 


අනුත්තරාගේ දෙමාපියන් නාමල්ට චෝදනා කළද මාස කීපයක් ගතවද්දී සියල්ලන්ගේම සිත්වලින් එය පහවී ගියේය. දරුවාගේ සුරතල් බලමින් නාමල් ද දිවි ගෙවීය. 


මෙලෙස මාස කීපයක් ගතවද්දී නාමල්ගේ මව වරින් වර අසනීපවන්නට පටන් ගත්තාය. නිවසේ අමුතු ශබ්ද ඇසෙන්නට විය. උගුර පාදන හඬ, අමුතු විලාසයකින් යමෙක් කතා කරන හඬ, බඩු එහාමෙහා කරන ශබ්ද ඇසෙන්නට ගත්තේය. නාමල්ගේ සහෝදරියගේ කාමරයට රාත්‍රීයේ පැමිණෙන ගැහැනු අයෙක් ඇයගේ බෙල්ල මිරිකන්නට හදන බවත් ඇය අනුත්තරාගේ රූපයට සමාන බවත් නාමල්ගේ සහෝදරිය මවටත් සොහොයුරාටත් පැවසුවාය. 


තවත් දිනක් නාමල්ගේ සහෝදරියගේ කාමරයේ දොර විවෘත කර නිදා සිටි ඇඳ අසලටම පැමිණි දත් විලිස්සාගෙන ලේ පෙරාගත් යක්ෂණියක් ඇයගේ බෙල්ල මිරිකන්නට හැදුවාය. මහා හයියෙන් ඇය බෙරිහන් දෙන විට කාමරය වෙත නාමල් හා මව ආහ. බයෙන් බිරාන්තව වෙව්ලමින් සිටින ඇය අසලට පැමිණි ඔවුහු කුමක් සිදුවුණා දැයි ඇසුවෝය. 


අනුත්තරා යක්ෂණියක වී ඇතැයි ද ඇය තම බෙල්ල හපා ලේ උරා බිව් බව ද නාමල්ගේ සහෝදරිය පැවසුවාය. නමුත් නාමල්ට මේ වදන් ඉවසීමට බැරි විය. තම බිරිඳගේ ගතිගුණ හොඳින් දන්නා ඔහු සොයුරියට බැන වැදුණි. “කරන තරමක් අපියි ඒ ගෑනිට වැරදි කළේ. කවදාවත් අනුත්තරා යක්ෂණියක් නම් වෙන්නෙ නැහැ. එයා හොඳ කෙනෙක්” නාමල් තරහෙන් පැවසීය. 


නමුත් ඇයගේ බෙල්ලේ වූ නියපොතු පහරවල් දකිද්දී ඇයගේ මවට ද බියක් හට ගැනිණ. ද“මැරිලවත් සැනසිල්ලේ ඉන්න දෙන්නෙ නැහැනේ මේ ගෑනි” යනුවෙන් මියගිය අනුත්තරාට චෝදනා කළාය. 


රාත්‍රී දොළහ පසුවනවිටම යකින්න නාමල්ගේ සහෝදරිය සොයා ආවාය. මෙදිනද යකින්න සෙමින් සෙමින් ඇයගේ කාමරය වෙත පිවිසුණි. ඇඳ අසලට පැමිණ බෙල්ලේ ලේ උරා බීවාය. මහා හයියෙන් කෑ ගැසූ නාමල්ගේ සහෝදරියගේ කාමරය වෙත සියල්ලන් පැමිණියද එදිනද කිසිවකු දැකගැනීමට නොහැකි වුණි. නමුත් වෙනදා මෙන් අදද බෙල්ලේ නියපොතු පහරවල්ය. දිනෙන් දින තත්ත්වය මෙලෙස විය. මෙදින නාමල්ගේ මවගේ කාමරයට පිවිසි යකින්න ඇයගේ බෙල්ල මිරිකීය. නැවත බෙල්ල හපා ලේ උරා බොන්නට විය. මව මහා හයියෙන් බෙරිහන් දුන්නාය. රෑ නින්දක් නොමැතිව සියල්ලෝ අවදියෙන් සිටියහ. 

 

රාත්‍රී දොළහ පසුවනවිටම යකින්න නාමල්ගේ සහෝදරිය සොයා ආවාය. මෙදිනද යකින්න සෙමින් සෙමින් ඇයගේ කාමරය වෙත පිවිසුණි. ඇඳ අසලට පැමිණ බෙල්ලේ ලේ උරා බීවාය. මහා හයියෙන් කෑ ගැසූ නාමල්ගේ සහෝදරියගේ කාමරය වෙත සියල්ලන් පැමිණියද එදිනද කිසිවකු දැකගැනීමට නොහැකි වුණි. එහෙත් වෙනදා මෙන් අදද බෙල්ලේ නියපොතු පහරවල්ය. දිනෙන් දින තත්ත්වය මෙලෙස විය. මෙදින නාමල්ගේ මවගේ කාමරයට පිවිසි යකින්න ඇයගේ බෙල්ල මිරිකුවාය. නැවත බෙල්ල හපා ලේ උරා බොන්නට වූවාය. මව මහා හයියෙන් බෙරිහන් දුන්නාය. රෑ නින්දක් නොමැතිව සියල්ලෝ අවදියෙන් සිටියහ. 

 


පසුදා ඇයට උණ ගැනුණි. කපු මහතකු ගෙන්වා තෙල් මතුරා ඔවුන් දෙදෙනාටම නූලක් දැමීය. යකින්නගේ වැඩ හමාර වූයේ දින පහකි. නැවත නැවතත් යකින්න මොවුන් දෙදෙනා වෙත පැමිණ බෙල්ල හපමින් ලේ උරා බීවාය. 


මෙය නම් බලා සිටින්නට හොඳ දෙයක් නොවන බව සිහියට ගත් සියල්ලෝ ශාන්තිකර්මයක් මගින් යකින්න එළවා දැමීමට සිතූහ. සාස්තරයක් ඇසූ ඔවුන්ට කපුවා පැවසුවේ අනුත්තරා යකින්නක් වී ඇති බවත් මොවුන්ගෙන් පළිගැනීමට ඇය පැමිණ සිටින බවත් ශාන්තිකර්මයක් ඉක්මනින්ම සිදු කළ යුතු බවත්ය. ශාන්තිකර්ම, වින කැපීම්, තෙල් මැතිරිලි කොපමණ සිදු කළද යකින්න පලවා හැරීම සඳහා තොවිලයක්ද සිදු කෙරිණි. 
ලේ උරා බීම නිසා නාමල්ගේ සහෝදරිය එන්න එන්නම කෘෂ විය. ඇයගේ ශරීරය බලාසිටියදීම කෙට්ටු වන බව කාහටත් පෙනුණි. මවද හරිහැටි කෑමක් බීමක් නොගත්තාය. දෙදෙනාම සිටියේ බියෙනි. 
සාත්තරකරු හා යක්ඇදුරෝ ඒ රාත්‍රියේ නිවසට ආවෝය. නිවස අසල ඉඩම ඈත කොනක සොහොනකි. සොහොනේ මළ මිනිය සමඟ සැතපෙමින් පිල්ලි යවන මේ යක් ඇදුරෝ ගැන සත්තකින්ම අසනා දකිනා විටද අප සිතගත බියපත් කරයි. 


එක් ඇදුරෙක් මළ සොහොනේ පැදුරක් එළා තටු පේවත් කරමින් මන්ත්‍ර කියන්නට විය. නිවස පිහිටි වත්ත හා සොහොන් බිමද පන්දම්වලින් ආලෝකමත් කර තිබිණි. 


පිල්ලි යවන කුරුමිණි පිල්ලිය මේ කොඩිවින සහ හූනියම් කියන්නේ, මිනිසුන්ගෙන් පළිගැනීමට කරනු ලබන ගුප්ත ශාස්ත්‍ර අතරේ මහා බලගතු දෙයක්. තමුන්ලා මේක සෙල්ලමට හිනාවට හිතන්න එපා. කට පරිස්සම් කරගෙන කටයුතු කළොත් හොඳයි. නිවසේ සිටි පිරිසටද ගමේ තොයිල් ගෙදරට තොවිලය බලන්නට පැමිණි පිරිසටද යක් ඇදුරන් විසින් පෙර අවවාදයක් සිදුකර තිබිණි. 


කොඩිවිනයක් සහ හූනියමක් මගින්, මැරුණු මිනිස්සුන්ට පණ පොවලා මේ ආතුරයන්ගේ දොස් ඉවත් කරන්න හෝ පිල්ලිය ආතුරයාට බැන්ඳ වීමටද හැකියි. මේවා මහා හාස්කම් ඇති භයානක වැඩ කියමින් යක් ඇදුරා දෙවනුවද පන්දම් විලක්කු තටු පිදේනී සකස් කරමින් ඒවා පේවත් කරමින්ද මතුරන්නට විය. 


මේ පිල්ලි කොඩිවිනයෙන් කෙනෙක් මරණයට පත් කිරීමට හැකියාව තියනවා. හූනියමකින් කරන්නේ කෙනෙකුට ලෙඩ දුක්, කුෂ්ට දද, වස්තු හානි, පිස්සු වැට්ටීම් ආදිය ඇති කිරීම මගින් දුකට ලක් කිරීමයි. මේ සියල්ලම මේ පිල්ලිය ආවාම ඒ පිල්ලිය සමඟම සුන්නත් දූලි කරන්නටම යන්නම යන්නටම සිදුවෙනවා. හිතේ සැකයක් තියාගන්න එපා. මේ නිවසේ ආතුරයන්ගේ රෝග නිට්ටාවටම දුරුවෙනවා.... ඕං කපෝති තීන්දුයි.... කියමින් යක් ඇදුරෝ දුම්මල ගසමින් තටු පේවත් කරමින් මන්ත්‍ර කියන්නට වූහ. සියල්ලෝම බියපත්ව බලා සිටියෝය. එක් එක් තැනින් තැන යක් ඇදුරෝ කිහිප දෙනෙක් මන්ත්‍ර ජප කරන්නට වූහ. 


එම නිවසේ මියගිය කාන්තාවගේ කාමරයට ගිය යක් ඇදුරා මියගිය කාන්තාවගේ කෙස්, ඇඳුමක නූල් සහ පයට පෑගුණු වැලිවලට මතුරමින් මියගිය කාන්තාවගේ කාමරයේ බිම පෙරළෙන්නට විය. මල් යහනාවක සකසා ඇති තටුවක තවත් යක් ඇඳුරෙක් මැටි පිළිම වළලා කරනු ලබන හූනියම් සිදුකරන්නට මන්ත්‍ර කියනු දැකිය හැකිවිය. 


පිල්ලිය ගෙන්වීම පිල්ලිය යැවීම හා ඒ තුළින් ආරක්ෂාවන්නට යක් ඇදුරෝ පිරිස කහ දියර ගසා සකසන ලද මල් බුලත්වලින් යම් යම් සීමාවන් තුළ එම නිවසෙහි හා මිදුලෙහි තබා සීමාවන් පනවා ඇති ආකාරය දිස්විණ. 
ඒ තුළට කිසිවෙකුටත් එන්නට පා තබන්නට හෝ අවසර නැති බව කොට්ටෝරුවා නැතහොත් ආවතේව කරන්නා යකැදුරන් පේවත් කරද්දී යන්ත්‍රමන්ත්‍ර කියමින් මරණ පිල්ලි ගෙන එන්නට යදින ආකාරය පෙන්වමින් කොට්ටෝරුවා නම් වූ සහායක සුදුවතින් සැරසී නිරතුරුවම මරණ පිල්ලි එන යන කැන්දන ස්ථාන ආරක්ෂා කරන්නට වූයේ නිධානයක් ආරක්ෂා කරන බහිරවයකුගේ ආකාරයෙනි. 


යක් ඇදුරෝ මේ ආකාරයට තුන්තිස් පැයක් තොවිලය කළහ. සාස්තරයේදී අනුත්තරා වෛරයෙන් මියගොස් ඇති බවත් එම ශාපයෙන් යකින්නක වී ඇති බවත් මොවුන් දෙදෙනාගේ ජීවිත බිලිගැනීමට බලා සිටින බවත් සෑමදාම නාමල්ගේ සහෝදරියගේ ලේ උරා බීම නිසා ඇය කෘෂ භාවයට පත් වන බවත් යකින්නගෙන් ගැලවීමට නම් විශාල ශාන්තිකර්මයක් හා තොවිලයක් කිරීම තුළින් දුරුකළ හැකි බව යක් ඇදුරෝ සපථ කළහ. 
මැරි මැරී ජීවත් වනවාට වඩා කොපමණ වියදමක් ගියත් ශාන්තිකර්මය කර යකින්න එළවා දැමීමට තීරණය කළ නිසා මෙසේ තොවිලය දිගටම සිදු කෙරිණි. ශාන්තිකර්මය හා තොවිලය සිදුකර මළ පිල්ලි යකින්න පලවා හැරුණි. සිදු වූයේ කුමක් ද? මළ පිල්ලි යක්ෂණිය මේ නිවස හා ආතුරයන් හැර ගියේද? 


යක් ඇදුරන් සිදුකළ පිල්ලි පිළිබඳව කතා කිරීමේදී පිල්ලි යනු සතෙකුගේ හෝ මළ මිනිසකුගේ ආත්මයක් හරහා සතුරෙකුට විපත් පැමිණවීමයි. නැතිනම් සෙත ගෙන දීමයි. අතීතයේ යකැදුරන් විසින් කුලුඳුල් දරුවන්ගේ මළසිරුරු පිල්ලි බවට පත්කර සතුරන්ගෙන් පළිගැනීමට යැවූ හැටි ගැන ලොමු දැහැගන්වන සුලු තොරතුරු දැකගත හැකිය. සමහර අවස්ථාවලදී කුලුදුල් දරුවෙක්ගේ පිල්ලියක් නිර්මාණය කරන්නට දරුවාගේ මව ගැබ්බරවන්නට කලින් සිටම කට්ටඩියා විසින් සූක්ෂම උපායන් යොදන බව ගම්මු කියති. 


මෙසේ ලබාගන්නා මළසිරුර මමියක් සේ වියළාගෙන අමුසොහොනකට ගෙනගොස් මන්ත්‍ර ජප කරමින් ඊට යක්ෂයන් ආවේශ කර පණ දෙනු ලබති. මෙසේ පණ ලබන පිල්ලිය මගින් යකැඳුරාටද හානි පැමිණෙන්නට ඉඩ තිබෙන හෙයින් ඒ සඳහා කල් තියාම ආරක්ෂාව සපයා ගැනීමද පෙර සේම නූතනයේ ද සිදු කෙරේ. 


තමනට වින කළ පුද්ගලයාට හෝ අමනුෂ්‍ය බලවේග පලවා හැරීම හෝ පළිගැනීමට අවශ්‍ය තැනැත්තා වෙත පිල්ලුව යවනු ලබන්නේ ඔහුව මරා දැමීමට හෝ දුකට පත් කිරීමටයි. පිල්ලි අතුරින් භයානකම පිල්ලිය වන කුරුමිණි පිල්ලිය සිදුකරමින් ශාන්තිකර්මය හා තොවිලය අවසන් කෙරිණි. 


දින හතරක්වත් ගතවූයේ නැත. යකින්න රාත්‍රියේ සිහිනෙන් පැමිණ මොවුන් දෙදෙනා බිය ගැන්වූවාය. සිහිනෙන් ලේ උරා බොන සෙයක් දෙදෙනාටම දැනුණි. විශාල ශාන්තිකර්මයක් සිදුකර යකින්න පලවා හැරුණද සිහිනෙන් පැමිණ කරදර කිරීම ද ඉවසිය නොහැකි විය. මහා හයියෙන් බෙරිහන් දී නින්දෙන් නිසා දෙදෙනාම මානසිකව වැටීමට හේතුවක් විය. තමන් කරපු කෙනෙහිලිකම් නිසා තමන්ට ජීවත් වීමට ඉඩ නොදෙන බව සිතෙන්නට විය. 


තොවිලයකින්, කිසිදු ශාන්ති කර්මයකින්, පුද පූජාවකින් යකින්න පලවා හැරීමට නොහැකි බව සියල්ලෝම අවබෝධ කරගත්හ. මේ අතරතුර නාමල්ගේ සහෘදයකු විසින් පී.එන්. විද්‍යාකුලපති මහතා පිළිබඳව පවසන්නට විය. මොවුන් දෙදෙනා තමා වෙත කැඳවාගෙන යන මෙන් ඔහු නාමල්ට පැවසීය. 


ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත එලෙස නාමල්ගේ නැ​ගණිය හා මව යොමු කෙරුණි. 


මූලික කරුණු දැක්වීමෙන්ම සිදුවී ඇති දෙය වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට වැටහුණි. මුලින්ම නාමල්ගේ සහෝදරිය වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මෝහන නිද්‍රාවට පත් කෙරුණි. එහිදී ඇය පැවසූ දේ මෙසේය. 


“මම අනුත්තරා නංගිට ගොඩක් නපුරු විදියට සැලකුවා. මම ඒවා කළේ අම්මගේ කීමට. අම්මා කැමති වුණේ නැහැ මල්ලි අනුත්තරා නංගිට ආදරෙන් සලකනවට. අයියා ගෙදරින් ගියාම අම්මා මාවත් සම්බන්ධ කරගෙන අනුත්තරාට ගොඩක් වධ දුන්නා. වැඩ ගත්තා. බැන්නා. එක එක ඒවා කියලා චෝදනා කළා.” 


ඉන්පසු නාමල්ගේ මව මෝහන නිද්‍රාවට පත් කෙරුණි. ඇයද එවන්ම දේ පැවසූවාය. 


“මට පුතාගේ ආදරය අඩුවක් වෙයි කියලා අනුත්තරා ගැන ඊර්ෂ්‍යා හිතුණා. ඒකයි මම අනුත්තරාට බැන්නේ. වධ දුන්නේ. වැඩ ගත්තේ. පුතාට කේලම් කීවේ.” 


එසේම නාමල්ගේ මවගේත් සහෝදරියගේත් බෙල්ලේ ඇති නියපොතු පහරවල් ගැන වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ විස්තර කළේය. 


මෙම නියපොතු පහරවල් නින්දේදී මොවුන්ගේ නියපොතුවලින්ම සිදුවූ ඒවායි. මෙතැනදී අත්වල නියපොතුවල වේදනාව මොවුන්ට නොදැනුණේ බෙල්ලට සිදු වූ නියපොතු පහරවල් නිසා බෙල්ලේ ඇති වූ වේදනාව නිසායි. 
එසේම අනුත්තරා වස බී මියගියේ ඍජුවම තමන්ගෙන් සිදු වූ අකටයුතුකම් හා වෙනස්කම් නිසා බවත් කෙදිනක හෝ ඒවා තමන්ට විඳීමට සිදුවනු ඇති බවටත් සිතුවිලි මොවුන්ගේ සිත් තුළ ඇති වුණි. තමන් කළ දේවලට තමන්ගෙන් පළි ගනීවි යැයි යන හැඟීම මොවුන්ගේ සිත් තුළ තදින්ම තිබුණි. මෙලෙස ඇති වූ චිත්ත චෛතසිකය නිසාවෙන් අනුත්තරා යකින්නක් වී පැමිණ මොවුන්ගෙන් පළිගන්නා බවක් මොවුන්ගේ යටි සිතේ තැන්පත් වී තිබුණු බවත් එය සිහිනෙන් පෙනුණු බවත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා තවදුරටත් පහදා දුන්නේය. 


මෝහන නිද්‍රාවේදී මොවුන්ගේ යටි සිතේ තැන්පත් වී තිබුණු සිතුවිලි මෝහන නිද්‍රාව තුළදීම පහ කළේය. එසේම අනුත්තරාගේ මරණය පිළිබඳ එවන් සිතුවිල්ලක් යළිත් කිසිදු දිනෙක මොවුන්ගේ සිත් තුළ ජනිත නොවන බව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ප්‍රත්‍යක්‍ෂ කර දුන්නේය. 


වසර අටක් ගතවීද යළි කිසි දිනෙක ඔවුන්ගේ සිත් තුළ එවන් සිතුවිල්ලක් හට ගත්තේවත් එවන් සිහිනයක් දැක්කේවත් නැති බව අද ඔවුහු සාක්‍ෂි දරති. 

 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර වූ සත්‍ය සිදුවීමකි.) 

 

 

 


හබරාදුව - නිමල් අල්ගෙවත්ත