ගමක් බියපත් කළ කුකුළු බිල්ලේ අවතාරය


 

රඹුක්කන සුන්දර ගම්මානයකි. සෑම නිවසක්ම ප​ාහේ පිහිට​ා තිබුණේ බොහෝ ඈතිනි. සෑම නිවැසියෙකුටම අක්කර ගණනක ඉඩමක් හිමිව තිබුණි. 


සිරිනිමලගේ නිවස පිහිටා තිබුණේ කුඩා කන්දක් මුදුනේය. එය ඉතා සුන්දර දසුනක් විය. සිරිනිමලත් බිරිඳ සුරංගනීත් දියණියන් දෙදෙනාත් මෙම පුංචි නිවසේ ජීවත් වූහ. මෙම පළාතේ පරිසරය අන්ධකාරයෙන් වැසී යන්නේ ඉතා ඉක්මනින්ය. සවස් වනවිට නිවසේ කුඩා චිමිනි ලාම්පු එළිය දල්වා නිවසට ආලෝකය ලබාදෙන්නේ සුරංගනීය. නිවස ඉදිරිපස ඇති බුදු කුටියේ සවස හය ​ෙවද්දී පහන දල්වා මල් පූජා කර බුදුන් වැඳීම සිරිනිමලගේ දෛනික සිරිතක් විය. 

 

බුදුන් වැඳ දෙවියන්ට පිං දෙන සිරිනිමල්ට අද ඈතින් උස්ව පෙනෙන කන්ද දෙස බැලූ විට කුඩා ආලෝකයන් තැනින් තැන විහිදෙනවා පෙනුණි. තම නිවස පිහිටි ස්ථානයේ සිට එම කන්ද පිහිටි දෙස ඉතා හොඳින් දර්ශනය වන නිසා සිරිනිමල තවත් හොඳින් එදෙස බලා සිටින්නට විය. සමහරක් ආලෝක දහරාවන් ඇති වී නැතිවී යයි. මෙතරම් සුන්දර වූ ආලෝක දහරාවන් විහිදෙන්නේ කෙසේද? ඉතා පාළු ස්ථානයක් වූ මෙහි කෙසේ නම් ආලෝක දහරාවන් විහිදෙන්නද? මෙය අදහාගත නොහැකි කරුණකි. සිරිනිමල විමතියෙන් යුතුව එදෙස බලාගෙන කල්පනා කරන්නට විය. කණාමැදිරි එළි මෙතරම් ඈතට දර්ශනය වන්නේ ද නැත. බොහෝ සිතුවිලි සිතට ගලා එයි. සිරිනිමල සුරංගනීට කතා කළේ දියණියන් දෙදෙනාද කැටුව මිදුලට එන ලෙසය. තමන්ට පෙනෙන දර්ශනය ඔවුන්ටද පෙන්වූ සිරිනිමල “මොකක්ද සුරංගි ඒ එළි. මටනම් හිතාගන්නවත් බැහැ” යනුවෙන් විමතිය පළකරන්නට විය. කිසිවකුටවත් එම ආලෝක දහරාවන් විහිදෙන්නේ කුමකින්ද යන්න සිතාගැනීමටවත් නොහැකි වුණි. 


සිරිනිමල මේ බව තම අසල්වැසියන් කිහිපදෙනෙකුටම පැවසීමට සිතා නිවසින් පිටත් විය. නිවසක් පිහිටියේ තවත් නිවසකට බොහෝ ඈතිනි. දුරින් දුරින් ඇති නිවාස කිහිපයකටම ගිය සිරිනිමල එම නිවාසවල ජීවත් වන තම අසල්වැසියන්ට සිද්ධිය පවසා සිටියේය. 


පසුදින අසල්වැසියන් කිහිප දෙනෙකුම සිරිනිමලගේ නිවස පිහිටි ස්ථානයේ රැඳී සිට සවස් වනවිට එම ආලෝක දහරාවන් ඇති වී නැති වී යන බව දුටුහ. තමන් පෙර දින දෙවියන්ට පිං දෙන ගාථා කියා අවසානයේ එම එළි දර්ශනය වූ බවත් අද දිනද මොවුන් සිටියදී ගාථා කියා අවසන් වූ පසු එම එළි දර්ශනය වන්නට වූ බවත් සිරිනිමල කීවේය. ඇති වී නැතිවී ගිය ආලෝක දහරාවන් නැවත දැකගැනීමට දෙවියන්ට පිං දෙන මෙන් යළිත් කිහිපදෙනෙකු පැවසූ බැවින් සිරිනිමල දෙවියන්ට පිං දෙන ගාථා කියා අවසන් වනවිටම යළිත් ඈතින් ආලෝක දහරාවන් විහිදෙන්නට විය. 


“මේ දේවතා එළි. මේවා හාස්කම්” එහි වූ අනිකෙක් පැවසීය. “නෑ ඔතන කවුරුහරි මනුස්සයෙක් ඉන්නවා ඇති” තව​ෙකකු කීය. නොයෙකුත් මතයන් ඉදිරිපත් විය. සියල්ලෝ එම දෙසට යාමට තීරණය කරගත්හ. 
පසුදින ගමේ තරුණයින් කිහිපදෙනෙකුද පෙරදින සිටි වැඩිහිටියන්ද ආලෝක දහරාවන් විහිදුන ප්‍රදේශය පුරා සොයා බැලුවද එහි කිසිවකු නොවීය. මෙහි මිනිසකු හෝ සතකු ජීවත් වන බවටවත් හෝඩුවාවක්වත් සොයාගැනීමට නැත. එසේ නම් ඒ කුමක්ද? 


“මේවා දේවතා එළි නැත්තම් අවතාර වෙන්නත් පුළුවන්. අපි කෝකටත් ටිකක් සෝදිසියෙන් ඉමු.” 


කෙසේ හෝ ගමේ තරුණයින් කිහිපදෙනෙක් මේ පිළිබඳව සොයා බලන්නට ඉදිරිපත් වූහ. සමහරෙක් එහි යාමට බිය වූහ. එක් තරුණයෙක් සිරිනිමලගේ මිදුලේ සිට මෙම ආලෝක දහරාවන් තම කැමරාවට හසුකර ගත්තේය. දිනපතාම මෙම ආලෝක දහරාවන් එම කන්ද දෙසින් දර්ශනය නොවූ බැවින් දින දෙක තුනක්ම ඔහුට මෙම කාර්ය කිරීම සඳහා වෙහෙසෙන්නට සිදුවිය. 


තම කැමරාවට හසුකරගත් ආලෝක දහරාවල ඡායාරූප ඔහු තම පරිගණකයට ඇතුල්කර ඒවා විශාල කර බලන විට පුදුමයකි! එම දර්ශණ විවිධ මුහුණුවලට සමාන විය. ඇතැම් ඒවා සම්පූර්ණ ශරීර වශයෙන්ද දර්ශනය විය. මේ බව සිරිනිමලට පැවසූ ඔහු ගමේ කිහිපදෙනෙකුටද පැවසීය. සියලුදෙනාම තරුණයාගේ නිවසට පැමිණ එම ඡායාරූප බලන විට සත්‍යයකි. එහි වූයේ නොයෙකුත් මිනිස් මුහුණු සහ සතුන්ගේ මුහුණුවලට සමාන ඡායාවන්ය. එසේ නම් මේවා දේවතා එළි නොවන බවත් අමනුෂ්‍යන් එනම් ප්‍රේතයන් හා අවතාර බවත් ඇතැම්හු විශ්වාසයෙන් යුතුවම පවසන්නට වූහ. 


බොලව්... යකෙක් ගමට ඇවිදිල්ලා. හොල්මන් ගමට ඇවිල්ලා අවතාර හොල්මනක් ගමට රෑට රෑට එනවාය කියලා ගම්මු කියන්නට වූහ. මොන කරුමයක් වෙලා ද මන්දා ගමට නරක කාලයක් ඇවිදිල්ලා... ගම්මු කතා කරන්නට වූහ. කෝකටත් කියලා පරිස්සම් වුණොත් හොඳයි. ළමා ළපටි තරුණ ගැටිස්සියෝ අවේලාවේ ගමන් බිමන් යවනවා නොවෙයි, සමහරු කීහ. ගොම්මන් ජාමය වෙද්දිම අඳුර ගලා එන විටම එම ගමේ නිවෙස්වල දොර ජනෙල් වසා ගන්නට ගම්මානයේ ගම්වැසියෝ පියවර ගත්ත. සෑම මිදුලක්ම ගිනි ගොඩක් ගසා තිබුණේ ආලෝකයට යක්ෂයෝ භූතයෝ බිය වෙතැයි ගම්මානයේ වැඩිහිටියන් ලබා දුන් උපදේශය මතයි. කෝකටත් ගෙදර ආරක්ෂාවට තෙල් ටිකක් මතුරලා අපේ ආරක්ෂාවට ඇදුරුකමක් කරගන්න එක නම් කාට කාටත් හොඳා......යැයි ගමේ වැඩිහිටියෝ කියන්නට වූහ. 

 

 

යක්කු ගමට ඇවිත් යන පුවත සමඟින් කිසිවකු කැලෑ කන්ද දිහා බලන්නටත් බියක් දැක්වීය. මේ අතර සිරිනිමලගේ වැඩිමල් දියණියට උණ ගැනුණි. බෙහෙත් බී යම් තරමින් සුවයක් ලැබුණද සවස් වනවිට උණ හොඳටම වැඩිවිය. බෙහෙත්වලින් සුව නොවුනේ ඇයිදැයි සිරිනිමලට මේ පිළිබඳව ප්‍රශ්නයක් විය. සවස උණ වැඩිවීම තවත් ප්‍රශ්නයකි. සවස උණ වැඩිවීමත් ඈතින් පෙනෙන ආලෝක දහරාවන් අතරත් සම්බන්ධයක් ඇති බවට ඔහුට සිතුණි. 


කුකුළු බිල්ලක් මගින් අනවිණ කොඩිවිණ පන්නා දමන මිනිසුනට සෙත ශාන්තිය ලබා දෙන්නා වූ ශාන්ති දේව මැණියෝ කැලෑ කන්ද පහළ ගල උඩ දේවාලයේ නිරතුරුවම වසර ගණනාවක් සිට කටයුතු කරන්නේ ගමේ ආරක්ෂක කටයුතුවලට පළමු තැන දෙමිනි. 


පණ ඇති විවිධ වර්ගයේ සතුන්ගේ ලේවලින් ගැවසීගත්තා වූ පිදේනි තටුවලින් සමන්විත දොළ පිදේනි ජප කරමින් දේව වරමින් මන්ත්‍ර කියමින් ඒ මෑණියෝ කරන්නාවූ යාග ශාන්තියෙන් අපමණ මිනිසුනට සුවයක් සහනයක් නොමදව ලැබෙන බව ගම්මු දැන සිටියෝය. 


මිනිසුන්ගේ පිළිගැනීමක් වන්නේ යක්ෂ, හොල්මන්, අවතාර බැල්මකින් යමකු ආතුර වුවහොත් එයට වගකිව යුතු යක්ෂ ආත්මය නිවැරැදිව හඳුනාගත යුතු බව ය. මේ සඳහා ඔවුන් එක්තරා යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයක් අනුගමනය කරයි. බිලි පූජා පැවැත්වීම තවමත් ලංකාවේ සිදුවේ. එකල යමකු යක්ෂ හොල්මන් අවතාර බැල්මකින් ආතුර වුවහොත් කුකුළකු කැප කරන්නට දේවාලයේ දේව මෑණියන්ගේ දේව ආඥාවයි. 

 

මිනිසුන්ගේ පිළිගැනීමක් වන්නේ යක්ෂ, හොල්මන්, අවතාර බැල්මකින් යමකු ආතුර වුවහොත් එයට වගකිව යුතු යක්ෂ ආත්මය නිවැරැදිව හඳුනාගත යුතු බව ය. මේ සඳහා ඔවුන් එක්තරා යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයක් අනුගමනය කරයි. බිලි පූජා පැවැත්වීම තවමත් ලංකාවේ සිදුවේ. එකල යමකු යක්ෂ හොල්මන් අවතාර බැල්මකින් ආතුර වුවහොත් කුකුළකු කැප කරන්නට දේවාලයේ දේව මෑණියන්ගේ දේව ආඥාවයි. 


කුකුළු බිල්ල සිය සුරතෙහි රඳවා ගන්නා යකැදුරු ආතුරයාගේ දුක් දුරු කර සෙත සලසා දෙන ලෙස යක්ෂයාගෙන් අයැද සිටී. අනතුරුව උදා වන්නේ බිලි පුද ඉෂ්ට කිරීමේ මොහොතයි. කුකුළාගේ ගෙල ඒ දේවොල තුළ කුකුළු බිල්ල කැප කොට ආතුරයන්ට සෙත සැලසනු ලබන කුකුළු බිල්ල මරා ආතුරයාට සෙත ගෙන දෙනු ලබයි. 

 

 


කුකුළු බිල්ල සිය සුරතෙහි රඳවා ගන්නා යකැදුරු ආතුරයාගේ දුක් දුරු කර සෙත සලසා දෙන ලෙස යක්ෂයාගෙන් අයැද සිටී. අනතුරුව උදා වන්නේ බිලි පුදා ඉෂ්ට කිරීමේ මොහොතයි. කුකුළාගේ ගෙල ඒ දේවොල තුළ කුකුළු බිල්ල කැප කොට ආතුරයන්ට සෙත සලසනු ලබන කුකුළු බිල්ල මරා ආතුරයාට සෙත ගෙන දෙනු ලබයි. 


යම් කිසි රෝගයකින් හෝ වෙනත් උපද්‍රවයකින් පීඩා විඳින මේ ගම මිනිස්සු නිසි විසඳුම සොයා ගත නොහැකිව මංමුළා වී අතේ තිබෙන තුට්ටු දෙක ද එවැනි යක් දෙස්සන්ට දේවාලයට පූජා කරති. එතෙකින් නොනැවතී රෝගය හෝ ගැටලුව ද තවත් වැඩි වර්ධනය කර ගන්නා අවස්ථා ද එමට ය. මෙහි දී ද සිදුවන්නේ මෙවැන්නකි. 


දැන් ගම්වැසියෝ ගෙදර දොරේ සිටියත්, පරිසරයේ ඇවිද්දත්, ගමන් බිමින් ගියත්, නියරෙන් ඇළෙන් දොළෙන් එතෙර වුවත් ජන ජීවිත හැසිරවෙන්නේ බිය හා සැකය හිසේ රුවාගෙන ය. ඔවුන් ජීවත් වන්නේ, වන තීරුවලින් යුත් පරිසරයකය. කැලෑ කන්ද ගමේ වන සතුන්ගෙන් ද, විෂඝෝර උරගයන්ගෙන් ද මැසි මදුරු ආදීන්ගෙන් ද ඔවුන්ට නිතර විපත් පැමිණෙයි. එහෙයින් පරිසරයට මහත් බියක් දැක්වූ ඒ ගම ජනතාව එකී විපත් දේව කෝප, යක්ෂ, භූත, ප්‍රේත, අනවිණ කටවහ හා ග්‍රහ අපල ආදියේ බලපෑමෙන් සිදුවේ යැයි විශ්වාස කළහ. ඒ නිසා දෙවියන්ගෙන්, යකුන්ගෙන් හා ග්‍රහයන්ගෙන් ආරක්ෂාව පතන ඇදහිලි සොයා ශාන්ති කර්ම දේවාලවල යෑම සිදු කෙරිණි. මේ අනුව, කැලෑ කන්ද අසල ගල උඩ දේවාලයේ දේව වරමින් සාස්තර කියන තොවිල් කරන ගමේ ශාන්ති මෑණියන් වෙත සිරිනිමල ද ගියේ ය. 


කැලෑ කන්ද අසල ගල උඩ දේවාලයේ දේව වරමින් සාස්තර කියන ගමේ ශාන්ති මෑණියෝ වෙත දියණිය කැටුව ගිය සිරිනිමල “මෑණියෝ මගේ දුවට හැමදාම හවස් වෙනකොට අසනීපෙ වැඩිවෙන්න ගන්නවා. මොකක්ද හේතුව කියලා බලාගන්නයි ආවේ” කීය. 


පේනය බැලූ ශාන්ති මෑණියෝ “මේ දරුවට ප්‍රේත බැල්මක් වැටිලා තියෙනවා. අර කැලෑ කන්ද මුදුනෙ ඉන්න අවතාර හා භූතයෝ හරි බලසම්පන්නයි. ලේසියෙන් භූතයෙක් ප්‍රේතයෙක් කාටවත් පේන්න එන්නේ නැහැ. ඔවුන්ගේ ශක්තිය වැඩියි. දරුවව පරිස්සම් කරගත්තොත් හොඳයි. අපි කෝකටත් ආරක්ෂාවක් දාමු” ශාන්ති මෑණියෝ සිරිනිමලගේ වැඩිමල් දියණියට දෙහි කපා ආරක්ෂක නූලක් ඇගේ බෙල්ලට දැම්මාය. 


නමුත් ගුණයක් ලැබුනේ නැත. හවස් වනවිට උණ වැඩිවන්නේය. ගමපුරා සීඝ්‍රයෙන් මෙම කතා පැතිරෙන්නට වූහ. සමහරෙක් තමන්ගේ දුරකථනයෙන් ඡායාරූපගත කරගත් අතර ඒවා විශාල කර බලන විට නොයෙකුත් අමනුෂ්‍ය රූප දර්ශනය විය. සමහරෙක් නිවසින් එළිපහළියට යාමටත් බියක් දැක්වීය. තවත් සමහරුන් තම දරුවන් තනියම දමා කොහේවත් ගියේ නැත. සවස හය ආසන්න වනවිට සියල්ලෝම තම තමන්ගේ නිවෙස් තුළට වී ජනෙල් දොරවල් වසා ගත්හ. 


ගමට බලපා ඇති අමනුෂ්‍ය බලවේගය තුරන් කර දෙන මෙන් ගමේ වැඩිහිටියෝ බොහෝ දෙනෙකුගෙන් ඉල්ලා සිටියෝය. 


මේ අතර ගමේ තරුණයෙකු විසින් තම කැමරාවේ වූ ඡායාරූප (කොළඹ) විශ්වවිද්‍යාලයේ මිතුරෙකුට පෙන්විය. එම තරුණයා පවසා සිටියේ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවන ලෙසත් ඒ මහතා මේ සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ සිදුකරන බවත්ය. තරුණයා සිරිනිමල හමුවී වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පිළිබඳ දැනුවත් කළේය. දියණියද රැගෙන සිරිනිමල වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවීමට ගමේ කිහිපදෙනෙකුද සමඟ පැමිණුනි. 


තරුණයා ඡායාරූප වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට පෙන්වීය. සිරිනිමලගේ දියණිය සුවපත් කිරීමට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා භාරගත්තේය. දියණියගේ සිතේ පැවති අනියත බිය තුරන් කළේය. මෙහි අමනුෂ්‍යයින් සිටිය නොහැකි බවත් ඇගේ සිත තුළ ඇත්තේ බොරු බියක් බවත් මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මනසට වටහා දුනි. සිරිනිමලගේ දියණිය සුවපත් විණි. ඉන්පසු ගමේ අයගේ ඉල්ලීම මත අවතාර පිළිබඳ පර්යේෂණ පැවැත්විණි. 


ඒ අනූව විදුල අධි මනෝවිද්‍යා පර්ෂයේෂණ කණ්ඩායම සමඟ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ගමට පැමිනුණි. පිරිස භූතයින් බැලීමට සිරිනිමලගේ නිවසට රැස්වූහ. එදින රාත්‍රී දෙක තුන පසුවන විට ඉතා තියුණු ලෙස ආලෝක දහරාවන් දර්ශනය වන්නට විය. සියල්ලන්ටම පුදුමයකි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඇතුළු පිරිස සියලු දර්ශන ඡායාරූපගත කොට ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කළහ. 


මෙය පෙනෙන්නේ බොහෝ විට හඳ තිබෙන දිනවලටයි. ඒ වගේම වැස්ස වැහැලා හොඳින් පෑයූ පසු වැඩියෙන් දර්ශනය වෙනවා. දැන් මේ වේලාව කියන්නේ පිනි වැටෙන වේලාව. මේ අනුව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා භූතයින් දර්ශනය වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. 


මේවා අමනුෂ්‍යයෙකුගේ එනම් ප්‍රේතයෙකුගේ, භූතයෙකුගේ හෝ දේවතාවෙකුගේ එළි නොවේ. මේවා සිදුවන්නේ මෙහෙමයි. හඳ එළිය ගස්වල කොළවලට වැදී පරාවර්තනය වෙනවා. විශාල කොළ ඇති ගස් මෙම ප්‍රදේශයේ තිබෙනවා. 


තවදුරටත් පැහැදිලි කිරීම පිණිස අඳුරේ ඡායාරූපගත කළ හැකි ඔවුන් සතු කැමරාවෙන් එම එළිවල ඡායාරූප ගන්නට විය. ඉන්පසු එම රූප පරීක්ෂා කර බලන විට සියල්ල මනාව පැහැදිලි විය. නමුත් ඇතැම් ගම්මුන් මෙසේ පවසන්නට වූහ. 


“ඒක නම් අපි පිළිගන්නෙ නැහැ මහත්තයෝ. මහත්තයාගේ කැමරාවට පෙනුණේ නැති වුණාට අපේ ගමේ සමහරක් අයගේ කැමරාවලට නොයෙකුත් අමනුෂ්‍ය මුහුණු හසුවෙලා තිබුණා” 


එලෙස මුහුණු පෙනෙන ආකාරය වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ පැහැදිලි කරදුන්නේය. පරාවර්තනය වූ කුඩා එළි විශාල කර බලන විට අපට නොයෙක් නොයෙක් ලෙසට මවා ගන්නට පුළුවන්. මේක දෘෂ්ටි මායාවක් ලෙසයි හඳුන්වන්නේ. මේ පෙනෙන්නේ අමනුෂ්‍යයින් නම් හැම ආලෝක ධාරාවකම ඒවා පෙනෙන්නට ඕනේ. නමුත් මුහුණු තියෙන ඒවා පෙනෙන්නේ කලාතුරකින් ඒවාවල පමණයි. 


මෙලෙස ගම්මුන්ගේ සිත් තුළ පැවති මිත්‍යා මතය දුරුකරන්නට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගේ පර්යේෂණ කණ්ඩායම සමත් වූහ. 

 

 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.) 

 

 


සටහන: හබරාදුව නිමල් අල්ගෙවත්ත