ගමක කාන්තාවන් නැටවූ භූතාවේශය


යාතිකාව බලන්න ඇවිත් සිටි කාන්තාවන් කට්ටඬියාගේ බෙර පදයට නටන්න පටන් ගත්තා

 

 

හම්බන්තොට ගමක සිදුවූ සත්‍ය සිදුවීමකි. 

 

ගොම්මන් අඳුර සමඟම යක්ෂණියෝ, යක්ෂයෝ, පෙරේතියෝ, භූතයෝ යක්ෂ පැටවුන්ද කැටුව කාන්තාවන් ගොදුරු කර ගන්නා වූ ආශාවෙන් ඒ නෝනලාගේ ගමට බැල්ම හෙළන්නට වූහ. නාන තොටුපොළ ළඟ, පාළු සොහොන් අසල, ගෙයි පිළිකන්නේද, වැසිකිළි අවටද, කඩමණ්ඩියේද, වෙල නියර පාර නාන ළිං අසළ ද, මහ වනයේ සිට සතර දිගින් හතර වටින් යක්ෂණියෝ, පෙරේතයෝ, භූතයෝ ඒ නෝනාවරුන් බිලි ගන්නට ළංවූහ. 

 

ඒ සමගම ගත වූයේ නිමේෂයකි. මර හූ කියමින් වංගෙඩි, මෝල්ගස් අරගෙන අහල පහළ ගමේ ගැහැනු නටන්නට වූහ. තවත් කාත්තාවෝ පිරිසක් දිව දික්කරගෙන, ඇස් කරකවමින් නොතේරෙන භාෂාවකින් කතාකරමින් ගම පුරා, පාර පුරා, වත්ත පුරා සොහොන් අසලට දුවමින් නටන්නට වූහ. සමහර කුළු ​ෙපට්ටි ගතින්, හිසින්, අතින්, පයින් අරගෙන, පිහි කැති අතින් ගෙන, කොසු ඉඳල් ද ගෙන නටන්නට වූහ. සමහරු මල් අතේ කනේ ගසාගෙන, හට්ටි මුට්ටි වළං පොඩිකරමින් නටන්නට වූහ. ගමේ නෝනලා ගමම දෙවනත් කරමින් නටන්නට වූහ. අවසානගේ ගමේ නෝනලා නිසා ගමම මහ අවුලක් බවට පත්විය. ගමට යක්ෂණියෝ වැහිලා යැයි ගමේ අය කියන්නට පටන්ගත්හ. මේ ගම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රසිද්ධ ගමකි. 


ඇතැම් පවුල් මිල මුදල්වලින් ඉහළ අතර, ධනවත් පවුල්ද කලාතුරකින් මෙහි විය. නමුත් දුෂ්කරතාව අතින් මේ ගම් ප්‍රදේශය අති ඉහළය. 


මෙම ගමෙහි එක්තරා නිවසකට නිතර නිතර කරදර එන්නට විය. ඒ නිසාම ඔවුහු ඊට විසඳුම් සොයන්නට වූහ. දේවාල ගානේ යාම, භාරහාර වීම, නොපෙනන බලවේග පිටුපස දිවීම මොවුන්ට අලුත් දෙයක් නොවීය. ඒ අතර, යම් අයකු මාර්ගයෙන් එක්තරා කට්ටඩියකු මොවුන්ට හඳුනා ගැනීමට හැකි විය. මොහුගෙන් හෝ යමක් කරගත හැකි යැයි සිතූ ඔවුහු එම කට්ටඩියා ගෙන්වා ශාන්ති කර්මයක් කිරීමට තීරණය කරගත්හ. ඉන්පසු ඔහු කැඳවා අවශ්‍ය බඩුබාහිරාදිය ලෑස්ති කරගෙන ශාන්තිකර්මය සූදානම් කෙරිණි. ශාන්තිකර්මයේ දිනය උදා විය. 


උදයේම පැමිණි මෙම කට්ටඩියා තම සහායකයින් ද සමග ශාන්තිකර්මය සඳහා අවශ්‍ය දෑ සූදානම් කළේය. අවශ්‍ය තටු, පන්දම් ආදිය සකස් කර රාත්‍රිය වනවිට යාගය ආරම්භ කෙරිණි. ඔහු මන්තර කියමින්, ජප කරමින්, නටමින් ශාන්තිකර්මය උණුසුම් කෙරිණි. බෙර ශබ්දයත් මන්තර ශබ්දයත් මුසුවී අමුතුම වටපිටාවක් ගමෙහි දිස්විය. මෙලෙස එළිවන තුරු ශාන්තිකර්මය කර නිවසේ උපද්‍රව දුරුවී ඇති බව පවසා ඇදුරා ඉවත්ව ගියේය. ඔහුගේ ක‍්‍රියාකාරකම් මහා බලසම්පන්න බව ගම පුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. දරිද්‍රතාවයෙන් පෙළෙන අනෙකුත් මිනිසුන්ටද මෙම කට්ටඩියාගේ සේවය අවශ්‍ය වන්නට විය. කට්ටඩියාට සරු කාලයකි. බොහෝ නිවෙස්වලට පැමිණ ශාන්තිකර්ම කරදෙන මෙන් බොහෝදෙනා මොහුගෙන් ඉල්ලූහ. 


එහිදී එක්තරා නිවසකට පැමිණ ශාන්ති කර්මයක් කිරීමට කට්ටඩියා භාරගත්තේය. ඔහු සහායකයින් ද සමග පැමිණ ශාන්තිකර්මය ආරම්භ කෙරිණි. නිවසේ දෝෂයක් වෙනුවෙන් සිදුකළ මෙම ශාන්තිකර්මය අතරතුරදී එක්තරා විශ්මයජනක දෙයක් සිදුවන්නට විය. නිවසේ සිටි දහනව හැවිරිදි සිතාරා එක්වරම ගැහෙන්නට පටන් ගත්තාය. එම ගැස්ම එන්න එන්නම වැඩි විය. බලා සිටි සියලු දෙනාගේම අවධානයද තොවිලයට වඩා යොමු වූයේ සිතාරා දෙසටය. 


සිතාරාගේ ගැස්ම සහ හිසේ පැද්දීම අඩු වන පාටක් නැත. ඒ අසලට පැමිණි කට්ටඩියා විසින් ඇයගේ හිසට අත තබා නැගිට තමා දෙසට පැමිණෙන දෙසට විධාන දුණි. ගැස්සෙන සිරුරින් යුතු සිතාරා ද බොහෝම අමාරුවෙන් නැගිට කට්ටඩියා දෙසට පැමිණියාය. 


‘‘උඹේ ඇඟට කව්ද වහලා ඉන්නෙ’’ 


කට්ටඩියා ඇසුවේය. 


නමුත් සිතාරාගෙන් පිළිතුරක් නොවීය. තවමත් සිතාරා ඒ මේ අත පැද්දෙමින් ගැහෙයි. 


‘උඹටත් පුළුවන් මාත් එක්ක නටන්න’’ කියමින් සිතාරා ද සමගින් කට්ටඩියා නටන්නට විය. මහා පුදුමයකි! මෙතෙක් කලක් කිසිඳු ගැටලූවකින් තොරව ජීවත් වූ සිතාරා ද කට්ටඩියා සමග නටන්නට වූවාය. 
ඒ වනවිට ගමේ මිනිසුන් බොහෝ දෙනෙක් ද ශාන්තිකර්මය බැලීමට එම ප්‍රදේශයට පැමිණ සිටියහ. ඒ අතරින් තවත් තරුණියක් ද ටිකෙන් ටික ගැහෙන්නට පටන් ගත්තාය. බලා සිටිනවුන්ට මෙය මහත් ප්‍රශ්නයක් විය. වේලාව රාත්‍රී දොළහට ආසන්නය. මෙම තරුණියගේ ද ගැස්ම නැතිවන පාටක් නම් නැත. ඒ අසලට පැමිණි කට්ටඩියා එම තරුණියගේ හිසට ද අත තබමින් රඟ මඩලට කැඳවා ඇයටද තමා සමග නටන ලෙස විධාන දුණි. එම තරුණිය ද බෙර ශබ්දය අනුව මිනිසුන් ඉදිරියේ නටන්නට වූවාය. 


මෙලෙස ගතවූයේ සුළු මොහොතකි. තවත් කාන්තාවන් කීපදෙනෙකුටම එම ගැස්ම ඇති විය. සමහරු භූතාවේෂයෙන් ඔළුව ඒ මේ අත කරකවති. තවත් කාන්තාවන් අත්දෙක ඔසවා තමාගේ ඉනෙන්ම වටයට කැරකේ. තවත් කාන්තාවක් සර්පයින් ගමන් කරන්නාක් මෙන් බිම දිගේ බඩගායි. ඒ අතර සිටි වෙනත් අයක් නොදන්නා භාෂාවක් කතා කරමින් විකාරයෙන් දඟලමින් කට්ටඩියා පසුපස ගමන් කරන්නට විය. 


මෙලෙස සංඛ්‍යාව කාන්තාවන් අටකට දහයකට ආසන්න විය. කට්ටඩියා විසින් මොවුන්ගේ හිසට අත තබමින් තමා සමග රඟ මඩලේ නැටීමට ආරාධනා කළ අතර බොහෝ කාන්තාවන් ඔහු සමග නටන්නට විය. බලා සිටිනවුන්ට සහ එම කාන්තාවන්ගේ පවුලේ උදවියට සිදුවුණ සිදුවීම් සිතාගන්නට පවා බැරිවිය. 


‘මොකක්ද මේ වෙන්නෙ. හොඳට ආපු ගෑනුන්ට මොන යකෙක්ද මේ වැහුණෙ?’’ 


 මිනිස්සු ඒ මේ අත කතා කරන්නට වූහ. ඇතැමුන් බයෙන් බිරාන්ත වී සිදුවුණ දේ ඇසිපිය නොහෙළා බලාසිටියෝය. පැයක් හමාරක් තිස්සේ ඔවුන් කට්ටඬියා විසින් තම තමන්ගේ ශරීරවලින් එම බලවේග ඉවත් වන ලෙස පවසා විධාන දුණි. එම විධානයත් සමග කාන්තාවන්ගේ නැටුම් ක‍්‍රමක‍්‍රමයෙන් අඩු විය. 


නමුත් කාන්තාවන් කීපදෙනෙකුගේ නැටුම තවමත් පැවතිණ. එම කාන්තාවන් වෙත පැමිණි කට්ටඬියා එම කාන්තාවන්ගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ‘දැන් තොපිට වැහුණ උන් පලයල්ලා’ කියමින් ඔවුන්ට පොල්මල් කිනිත්තකින් පහර දී ඇතැමුන්ට දැල්වූ පන්දමක් ළංකර ‘මේ ශරීර අතහැර පලයල්ලා. නැත්නම් මං පුච්චනවා’’ කියමින් ඔවුන්ට පන්දම ළං කළේය. ටිකෙන් ටික කාන්තාවන්ගේ භූතාවේෂයන් ඔවුන්ගේ ශරීර අතහැර දමා ඉවත්ව යන බවක් පෙනිණ. නමුත් ඇතැමුන්ට සිහිය පැමිණියද තවමත් නියම සිහිකල්පනාවක් නැති තරම්ය. නමුත් තත්ත්වය සුව අතට හැරෙන නිසා ඔවුන්ගේ භාරකරුවෝ ඔවුන් රැගෙන නිවෙස් බලා පිටත් වූහ. මෙලෙස ශාන්ති කර්මය අවසන් කර කට්ටඬියා හා සහායකයින් එම නිවසින් පිටත් වී ගියහ. 


පසුදා උදාවිය. පෙරදින රාත්‍රියේ භූතාවේෂයට පත් ඇතැම් කාන්තාවන්ට හෝන්දුමාන්දු ගතියක් ඇතිවිය. නිදිමතයි, ඇස් ඇරගෙන ඉන්න අමාරුයි, ඔවුහු පැවසූහ. මොන තරම් උත්සාහ කළත් නින්දම යයි. ඇතැමුන්ට ඇස් පියාගත් විට තමන් නොදැනුවත්වම ඔළුව කරකැවේ. එක් අයෙක් තවමත් භූතාවේෂය තිබෙන ලෙස විකාර කියමින් අහල පහළට බැනවදිමින් හැසිරෙනු පෙනේ. මෙම තත්ත්වය ඉවත් කරගැනීමට වහාම ඉහත කට්ටඬියාම රැගෙන එන්නට ගම්මුන් තීරණය කළෝය. මේ බැව් ගමේ අයෙකු ගොස් කට්ටඬියාට පැවසූ පසු ඔහුගේ අදහස වූයේ මේ ගමට බලපාන්නා වූ අදෘෂ්‍යමාන බලවේගයක් මේ ගමෙහි පවතින බවයි. 


‘මට මේක ඉවත් කරන්න පුළුවන්. ඔය වගේ වැඩද මම කරල තියෙන්නෙ’’ යනුවෙන් තමන්ගේ උජාරුව පැවසූ කට්ටඬියා සහායකයින් සමග නැවත එම ගමට පැමිණියේය. ඔහු සමීපයට ඉහත දිනයේ ශාන්තිකර්මය අතරතුර භූතයින් වැසුණු කාන්තාවන් සියලු දෙනාම රැගෙන එන ලදී. ඔහු විසින් නැවතත් එම කාන්තාවන් මහා දවාලේම නටවන්නට විය. මෙය ආරංචි වූ අසල ගම්වල උදවිය ද වැඩ රාජකාරි පසෙක දමමින් මෙම අරුම පුදුම සිද්ධිය දැකබලා ගැනීමට එම ප්‍රදේශය වෙත ඇදෙන්නට විය. එලෙස කාන්තාවන් සියලු දෙනාම නටවමින් ඔවුන්ගේ හිසට අත තබමින් ඔවුන්ගේ ශරීරවලින් භූත බලවේගය ඉවත් කරන්නට කට්ටඬියා වෙහෙසෙන්නට විය. නමුත් එතනදී ද සුව වූයේ කීපදෙනෙක්ට පමණි. අනෙක් කාන්තාවන්ගේ නැටීම් නතර නොවීය. මෙහිදී ද කට්ටඬියා ඔවුන්ට තාඩන පීඩන කරමින් ඔවුන්ගේ ශරීරයට පන්දම ළංකර පුච්චනවා ලෙස බිය කරමින් ඔවුන්ට පහර දෙමින් ඔවුන්ගේ ශරීරයේ සිටින අමනුස්සයින් ඉවත් කරන්නට වෙහෙසුණි. නමුත් ප්‍රතිඵලය එතරම් සාර්ථක නොවීය. 


කට්ටඩියාගේ මතය වූයේ එම සුව නොවූ කාන්තාවන්ගේ ශරීරවල සිටින භූතයින් දරුණු අමනුස්සයින් බවයි. ඔවුන් ඉවත් කරන්නට නම් මීට වඩා ලොකු ශාන්තිකර්මයක් කළ යුතු බවත් නැත්නම් මෙම කාන්තාවන්ට එය ඉදිරියට ප්‍රශ්නයක් වන බවත් ය. මෙලෙස සුළු සහනයක් ලබාදී ඔවුන්ට තීරණයක් ගන්නා ලෙස පවසා කට්ටඬියා නික්ම ගියේය. 


සැබෑ තොවිලය ගමේ ඇතිවුණේ මින් පසුවය. කට්ටඬියා ඉවත්ව ගියද කාන්තාවන්ගේ නැටීම වරින් වර ඇති විය. මෙලෙස ක‍්‍රමක‍්‍රමයෙන් ඇති වූ නැටිල්ල වැඩි වී කට්ටඬියා නැතිව ද හිස කරකවන්නට, විකාර කරමින් නටන්නට, විකාර කියවන්නට පටන් ගත්තෝය. කට්ටඬියා ද වරින් වර පැමිණ නොයෙක් දේ සිදුකළ ද නෝනලාගේ නැටීම අඩුවක් නැත. බැරිම තැන මෙම නෝනලා ටික ගමේ පන්සල වෙත කැඳවාගෙන යන්නට ගම්මුන් තීරණය කළෝය. එලෙස ගත් තීරණය අනුව ඔවුන් පන්සල කරා ගෙන ගියෝය. 


පන්සලේදී නැටීම නතර විය. තනිකර මුළු ගමම මේ වනවිට අමු සොහොනක් වී හමාරය. දරුවන්ට පාසල් යාමට විදියක් නැත. පිරිමින්ට වැඩට යාමට විදියක් නැත. ඇතැම්හු බයේ බිරාන්ත වී සිටිති. නොයෙක් දෙනා නොයෙක් මත පවසති. ගමම තනිකර අපායකි. කෙසේ හෝ පන්සලේදී හෝ මොවුන්ගේ නැටීම නතර වූ බව සිතා හාමුදුරුවන්ගේ ද කැමැත්ත අනුව මොවුන් නිවෙස් කරා පිටත් කර යැවිණ. 


මහා පුදුමයකි. පන්සලේදී ගේට්ටුවෙන් මොවුන් එළියට යනවාත් සමගම නැවත භූතාවේෂය පැමිනුණි. ඇතැම්හු නටති. ඇතැම්හු ඔළුව කරකවති. ඇතැම්හු විකාර කියවති. පෙර සිටි තත්ත්වයටම ඔවුහු වෙනස් වූහ. කළ හැකි දෙයක් නොමැති නිසා නැවත පන්සල වෙතම මොවුන් රැගෙන එනු ලැබිණ. පන්සලට ඇතුළු වනවාත් සමගම මොවුන්ගේ එම බලවේගය ඉවත්ව යන්නට විය. මෙලෙස කීපවරක් පන්සලෙන් එළියට යෑමට තැත් කළ බොහෝ අවස්ථාවලදී පන්සලේ ගේට්ටුවෙන් එළියට යනවාත් සමගම මොවුන්ගේ සිරුරට බලවේගය ඇතුළු විය. මෙය මිනිසුන්ට සිතා ගත නොහැකි තත්ත්වයක් විය. මේ අතර, මෙම තත්ත්වය ජනමාධ්‍ය ඔස්සේද රටපුරා පැතිර ගියේය. 

 

 

එම ගමේ සිටි බුද්ධිමත් ගුරුවරයකුගේ අදහස මීට වෙනස් විය. ‘මේකට ඔය විකාර කරල වැඩක් නැහැ. ඕකට වෛද්‍යවරයෙක්ගෙන් විසඳුම් ලබාගනිමු’ යයි ඔහුගේ මතය විය. ඒ අනුව මෙය විසඳීම සඳහා විදුල අධි මනෝවිද්‍යා පර්යේෂණ සංගමයේ වත්මන් සභාපති වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගෙන් මේ සඳහා සහනයක් ගැනීමට ඔවුහු තීරණය කළහ. 


ඔවුන්ගේ දැනුම්වත් වීම මත විදුල අධි මනෝවිද්‍යා පර්​ෙ‌ය්ෂණ සංගමයේ සාමාජිකයින් ද මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ද සමග විද්‍යාකුලපති එම ගැටලුව ඇති වූ ගමට ළඟා විය. 


ඒ වනවිට හැන්දෑවේ හයහමාර හත පමණ වී ඇත. මොවුන් මුලින්ම ගමන් කළේ පන්සල වෙතය. ඒ වනවිට පන්සලේ බොහෝ ජනකායක් වටවී ඇත. ගමේ මිනිසුන් ගොස් කට්ටඬියා ද පන්සල වෙත කැඳවා ගමේ මිනිසුන්ගේ ආවේගය මත කට්ටඬියාට ගුටි බැට දෙන්නට ද ගමේ මිනිස්සු පෙළඹුණහ. ගමේ ඇතැම් මිනිසුන්, පාතේගම ඤාණිස්සර හිමි සහ විද්‍යාකුලපති මහතාගේත් මැදිහත් වීමෙන් කට්ටඬියාට හිරිහැරයක් නොකර බේරා යවා සිදුවීම පිළිබඳව හොඳින් සියලු තතු විමසන්නට විය. විද්‍යාකුලපති මහතාත් පාතේගම ඤාණිස්සර හාමුදුරුවෝත් ගැටලුව නිරාකරණය කිරීම ආරම්භ කළහ. 


පළමුව භූතාවේෂයට ලක්ව සිටි කාන්තාවන් විද්‍යාකුලපති මහතා විසින් වෙන වෙනම ගෙන කරුණු අසා ඔවුන්ව මෝහන නිද්‍රාවට පැමිණියහ. වෛද්‍යවරයා විසින් ඔවුන්ගේ සිරුරට එම භූතාවේෂය පැමිණෙන ලෙස පැවසීමත් සමග පෙර පරිදිම ඔවුහු නටන්නට වූහ. ඇතැම්හු විකාරයෙන් කියවන්නට වූහ. ඇතැම්හු දඟලන්නට වූහ. 


‘ඔබට මෙම ඇති වූ තත්ත්වය සත්‍ය ලෙසම අත්භූත අයකු ඇතුළුවීම නිසා හටගත් තත්ත්වයක් නොවේ. මෙය ඔබේ යටි හිතේ තිබුණු විශ්වාස සහ කට්ටඬියාගේ විධාන මත ඔබගේ සිත් තුළ ඇති වූ තත්ත්වයක් පමණයි’’ යනුවෙන් විද්‍යාකුලපති මහතා පවසා එම මනෝ භාවය ඔබගේ සිත්වලින් මේ මොහොතේ සිටම ඉවත් වන බවත් යළිත් කිසිම දිනෙක එම තත්ත්වය ඇති නොවන බවත් පවසා මෝහන නිද්‍රාවෙන් අවදි කෙරුණි. 
 ඉන් පසුවද ටික දිනක් යනතෙක් මොවුන් සඳහා මානසික අභ්‍යාස ලබාදී ඔවුන්ගේ මනස සුවපත් කළේය. මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි විසින් මින්පසු බුදු දහම අනුව ජීවත් වන ලෙසටත් මිත්‍යා විශ්වාසවලින් ඉවත් වන ලෙසටත් අවවාද කෙරිණ. 


මෙයින් පසුව නෝනලාට වැසී තිබූ භූතාවේෂ නැවත හටගත්තේ නැත. මෙම සිදුවීම පිළිබඳව වෛද්‍ය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පහදා දුන්නේය. ඇත්තටම මෙම තත්ත්වය අත්භූත බලවේගයක් නොවේ. මෙය Dissociative Disorders ලෙස නැතහොත් හිස්ටීරියා’ ලෙස හඳුන්වන තත්ත්වයක්. එම තත්ත්වය ගම පුරා පැතිරීම Mass Hysteria ලෙස හඳුන්වන්න පුළුවන්. අවුරුදු දහසයක් වයසැති කිසිදු දැනුමක් නොමැති කට්ටඬියා විසින් කරපු කපටි ක්‍රියාවලින් එය වැඩිවුණා ඔබ කළ යුත්තේ මෙවැනි ක්‍රියාවලට හසු නොවී බුද්ධියෙන් වැඩ කිරීමයි. මෙවැනි දෙයක් දුටුවහොත් මනෝ වෛද්‍යවරයකු, මනෝ විද්‍යාඥයකු, මනෝ චිකිත්සකයකුගේ සහාය පැතීම අනිවාර්යය. 

 

 

 

 

 

 


සටහන: 
හබරාදුව නිමල් අල්ගෙවත්ත