කොළඹ විනිවිද දකින පෙට්ටි කඩ වෙළෙන්දෝ


 

කොළඹ නැතහොත් කොළොම්තොට යනු ලංකාවේ ජනාකීර්ණ සහ සංකීර්ණ ප්‍රදේශයකි. ගුවන සිප ගන්නා උස් ගොඩනැගිලි වල සිට අරුමෝසම්, පාට පාටින් හැඩ වුණු තරුණ තරුණියන් ද පුහු අටෝප වලින් දැවටුණු සිහින මාළිගා රැසක නිජ බිම වන්නේ ද කොළඹයි. ඉරටත් සඳවතියටත් මැදිව තනි නොතනිය මැද නිදි වර්ජිත කොළොම්තොට පුරාවම මගෝඩි ගොඩක් බව සැමට නොරහසකි. 


බෙහෝ අකටයුතුකම් ගැන විමසිල්ලෙන් පසුවන පිරිස වනුයේ තුන්වැනි පන්තියේ ජනතාවයි. කම්කරුවාගේ පටන් කොළඹ එහා මෙහා යන ස්වයං රැකියා මහත්වරු ඊට සාක්ෂි දරති. එවැනි පෙට්ටිකඩ වෙළෙඳ මහතුන් සමග සමාජ සමීක්ෂණයක් සිදු කරමින් අපි කොළඹ විනිවිද දැක්කෙමු. රස වගේම නීරස ජවනිකා අතර දෝලනය වන කොළොම්තොට සිරි අසිරිය ගැන දෙවරක් නොව සිය වරක් සිතන්නට කාලයයි මේ.


කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල පෙට්ටි කඩ වෙළෙඳුන් බොහෝ දෙනෙකු සිටින අතර අප ප්‍රථමයෙන් සංවාදයට යොමු වුයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ කොළඹ වෙළෙඳාම් කරන සිල්වා මහතා සමගය. 


සම්මත කොළඹ වහර අනුව මොවුන්ව හඳුන්වන්නේ “පෙට්ටිකඩ” වෙළෙන්දන් යන නමිනි. ඉතාමත් කුඩා ඉඩක බොහෝ දේවල් විකිණීමට තබා ගන්නා මොවුන් හා බෙහෙවින් රැඳෙන්නේ තරුණ පිරිමි උදවියයි. කෙටි ආහාර සේම පත්තර සහ තවත් කිව නොහැකි දේවල් පවා මොවුන්ගෙන් මිලට ගත හැක. වසර දහයකට ආසන්න කාලයක් මෙම ඉසව්වේ සිදුවන සහ සිදු වී ඇති බොහෝ දේ පිළිබඳ රසවත් මතක ගොන්නක් තිබෙන සිල්වා මහතා සමග අපි සංවාදයකට වැටුණෙමු. 


මහත්තයෝ මම මේ පැත්තේ ඉන්නේ ගොඩක් කල් ඉඳලා. ඉස්සර ඉඳන් ඉතින් බඩගෝස්තරේ රැක ගන්න මම පොඩියට සිල්ලර බඩු විකුණපු එක තමයි කළේ. මෙතැන ස්ථිර වශයෙන්ම මට ඉන්න පුළුවන් වෙලා දැන් ගොඩක් කල්. එදා මෙදා තුර පත්තර, බිස්කට් එදිනෙදා මේ ඉසව්වෙන් එහා මෙහා යන අයට අවශ්‍ය සිල්ලර බඩු විකුණන එක තමයි මම කළේ. පෙට්ටි කඬේ වැහෙන්නම තියෙන්නේ ඉතින් විකුණන දේවල් තමයි. 


ඔහුගේ කථාව වෙනතකට යොමු කළේ කොළොංතොට අප නොදකින ඔවුන් නිතරම දකින දේවල් දැන ගැනීමටයි. මන්ද? බස් රථ වල ගමන් කරන යාචකයින්, කුඩා ව්‍යාපාරිකයින් සේම පෙට්ටිකඩකාරයින් දකින දේවල් බොහෝය. එලෙසම ඔවුන් සඟවා ගෙන සිටින අමුතු ආරේ කථා ඇති බවද අපි දනිමු. එලෙසම ඇතැම් විට ඇතැම් පෙට්ටි කඩ හිමියන් සම්මත මාර්ගවලින් බැහැරව මුදල් සොයන අවස්ථාද එලෙස සොයන්නවුන්ට උදව් කරමින් ද සිටින බවත් අපට නොරහසකි. 


සිල්වා මහත්තයා අප සමග තවත් රසවත් සිද්ධීන් මෙලෙස බෙදා ගත්තේය. 


සමහරු හොඳට හැඳ පැලඳ යන නෝනලගේ පර්ස් හිස්.  අව් කණ්ණාඩි දාගෙන, තදවෙචව්ච ඩෙනිම් කොට ඇඳගෙන මෙතැනට ඇවිත් රු. පනහේ රී ලෝඞ් දාගන්නේ. පෙන්වන්නෙ නම් ලෝකෙට, උජාරුව වයසක අපිනෙ දන්නේ නෝනලාගේ පොකට්ටුව. 
දවසක් ලස්සන තරුණියන් දෙදෙනෙකු ආවා. එක් කෙනෙක් රු. සියයක ෆෝන් කාඞ් එකක් ගනිද්දි අනිත් කෙනා රු. 50 ක කාඞ් එකක් ගත්තා. මං දැක්කා ඒ ළමයාගේ අතේ රු. පනහක් ගුලි කරලා තියෙනවා. එයා ඒක හෙමිහිට හංගගෙන අර ළමයා දේවි කියලා හිතලා හිටියෙ. පර්ස් එක ආයෙත් අදින්න ඕන කියලා කියමින් බොරු කැටයම් දාන්න නම් මෙන්න කෙල්ලො මහත්තයෝ. තවත් දවසක් ගෑනු කෙනෙක් බස් එකෙන් බැස්සෙ කොන්දොස්තරගෙන් කුණු බැණුම් අහගෙන රු. 20 දුරට ඒ ගෑනු කෙනා රු. 400 ක විතර දුරක් හොරෙන් ගිහිල්ලා. 


මේ එහා පැත්තේ තියෙන්නේ විහාර මහා දේවි උද්‍යානය. ඉතින් එතුමියගේ නමටත් ලැජ්ජයි මහත්තයෝ. ඒකේ කපල් ඇවිත් කරන විකාර බැලුවම මං දැනුවත්වම දැකලා තියනවා සමහර කොල්ලො එක එක දවසට එක එක කෙල්ලෝ එක්ක එනවා. තවත් දවසක් නෝනා කෙනෙක් ඇවිත් මාවත් රවට්ටල මෙතන විකුණන්න දාපු පත්තර 2 ක් අරන් යන්න හැදුවනේ. 


සිල්වා මහතාගේ කතාව අතර අපට ඔහු කී පරිදි අශෝභන ප්‍රේමාලිංගන කිහිපයක්ම උද්‍යානය තුළ දක්නට ලැබුණි. උද්‍යානයේ බොහෝවිට දෙමාපියන් තම දරුවන් සමග කාලය ගතකිරීමට සෙල්ලම් කිරීමට මෙහි පැමිණෙන බැවින් මෙවැනි අශෝභන ක්‍රියා කොතරම් ඔවුන්ට අපහසුවක් දැයි අපට ද සිතාගත හැකිය. 


මෙම ප්‍රදේශ වල සිදුවන තවත් සෙල්ලමක් තිබේ. එනම් පාසල් ළමුන්ට සිගරට් අලෙවියයි. තවද මත් ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාරද ඉතාමත් රහසිගතව සිදුකරගෙන යන බවද අපට දැනගන්නට ලැබුණි. හවස් යාමයේ රැකියා ස්ථානවලින් එළියට බැස නිවෙස් කරා යන කාන්තාවන්ට බැල්ම හෙළා සංතෘප්තියක් ගන්නා කාමුක පිරිම සේම පොකට්කරුවන් ද මේ ගෙන්දගම් පොළවට අමුත්තක් නොවන බව අපට දැනගැනීමට ලැබුණි. එක දිනක් බසයේ ගමන් කරමින් සිටි කාන්තාවකට බසයේම ගමන් කළ මැදිවියේ පුද්ගලයකු ඉතාමත් පහත් ගණයේ ක්‍රියාවක් සිදුකිරීමට උත්සහ කළවිට සෙසු මගීහු ඔහු අල්ලා ගුටිබැට සංග්‍රහයක් දී ටවුන්හෝල් බස් නැවතුමේදී බසයෙන් එළියට තල්ලු කළ සිද්ධියක් පිළිබඳවද අපට තවත් අයගෙන් දැනගැනීමට ලැබුණි. 


අප සමග පිළිසඳරකට එකතු වු නිමල් මහතා යනු වසර කිහිපයක සිට පෙට්ටි කඩයක් කරන කෙනෙකි. බොහෝමයක් පිරිසට මිලදී ගැනීමට අත්‍යවශ්‍ය දෑ මොහු සතුවද තිබෙයි. අපගේ කතාව අතරතුර, ඔහු සෑණෙකින් පාරේ අනෙක් පස සිටින සුරූපි තරුණියක්ව පෙන්නුවේය. බැලු බැල්මට සරාගී පෙනුමකින් යුතු ඕ හැඳ සිටියේ තද වු ඩෙනිමකට අත් නැති ටී ෂර්ටයක් පමණි. කොණ්ඩය වර්ණ ගන්වා ගෙන සිටි ඇයගේ මුහුණේ අවු කණ්ණාඩි යුගළයක් තිබුණි. දුටුවන් නෙත් වසඟයට පත් කරන ආකාරයේ හැසිරීමක් තිබු නිසාවෙන් පාරේ ගමන් ගන්නා පුද්ගලයන් සේම යතුරුපැදිවල ගමන් ගන්නා කොල්ලන් ද ඇය දෙස නෙතු යොමන්නට පසුබට නොවු බවක් අපි දුටුවෙමු. 


අන්න අර කෙල්ල පේනවා නේද? මහත්තයලගේ හිතෙත් හරිම ලස්සන ඉටිරූපයේ වගේ කෙල්ලක් කියලා නේද? ඒත් මහත්තයෝ පුදුම වෙන්න ඒකි හෙරක්. මේකි ඉස්සර ඉඳන් නිතරම එක එක කොල්ලො එක්ක මේ උද්‍යානය පැත්තට ආවා ගියා. පස්සේ තමයි දැන ගත්තේ දවසක් මේකි එහෙම එන කොල්ලන්ගේ සාක්කු සුද්ද කරන විත්තිය. 


මේ අවට නිතරම ඉන්න මේ කෙල්ල හරි වෙලාව බලලා තනියම ඉන්න කොල්ලෙක්ව හරි මිනිහෙක්ව හරි යාළු කර ගන්නවනේ. කොහෙද ඉතින් මේකිගෙ ලස්සනට වහවැටිලා ඔය එක එකාගෙ පදේට නටනවනේ. මේකි බස්වල යද්දිත් මේ සෙල්ලම දාන කෙනෙක්. කෙසේ හෝ අපට මතුපිටින් පෙනෙන ශරීර කූඩු විනිවිද දකින්නට මේ පෙට්ටි කඬේ මහතුන් සමත්ව තිබනෙ බව අපට වැටහුණි. 


විහාර මහාදේවි උද්‍යානයට මඳක් දුරින් කොම්පඤ්ඤවීදිය පැත්තට වෙන්න සිටි පෙට්ටිකඩ මහතකු අපට වෙනස්ම ආකාරයේ තොරතුරු කිහිපයක් පවසන ලදී. ඔහු සාමන්‍යයෙන් රාත්‍රී 10 පසු වන තුරුම ඒ අවට රැඳී සිටින අතර ඒ අවට පිහිටි සුපිරි ව්‍යාපාරික ස්ථානවල සේවය කරන්නවුන්ට තම දුම් බීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඔහුගේ කඩය මිහිබට සුරලොවක් මෙන් විය. 


රාත්‍රී වනතුරු තම සේවය කරන පිරිසට අවශ්‍ය කුඩා ආහාර වර්ග පවා මොහුගෙන් ලබා ගත හැකිය. කළුවර අහස යට පවා නොනිද සිටින කොළොම්තොටේ රාත්‍රී ලෝකය යනු වෙනම අසම්මත ජීවන රටාවකි. ඒ බව මෙම පුද්ගලයා ද අපට තහවුරු කරන ලදී. 
මහත්තයෝ රෑ වෙනකොට සෙනග නම් පාරේ ගොඩක් නැහැ. ඒ හින්දම රෑට වුණත් පොඩි විවේකයක් ගන්න කෙල්ලෝ මෙතනට එනවා දුමක් දාන්න. ඒත් මහත්තයෝ විශ්වාස කරන්න පුළුවන්ද මේ ගැහැනු ළමයි පවා සිගරට් බොන්න මෙතනට එනවා කියලා. දවල්ට උපාසක අම්මලා වගේ එන ළමයි රෑට මෙතනට ඇවිත් යාළුවො එක්ක දුමක් බීලා යන්නේ. සමහර කෙල්ලො රෑ දොළහට විතර වැඩ ඉවරවෙලා කෙළින්ම යන්නේ ක්ලබ්වලට. එක කෙල්ලෙක් වටේ කොල්ලො තුනක් හතරක් කරක් ගහනවා. බොරු කියන්නේ මොකටද මේ පැත්තේ පොඩියට  මත් වෙන දේවල් වුණත් ගන්න පුළුවන්. 


පෙට්ටි කඩ වෙළෙන්දෝ හොඳ හැටි කොළොම්තොට තතු දන්නෝ වෙති. ප්‍රේම පලහිලව් අසම්මත ජවනිකා සේම යාචක ව්‍යාපාරය පිළිබඳ ඇත්ත නැත්ත මොවුහු හොඳට දනිති. කොටුව හා මරදාන දුම්රිය පොළවල් අවට සිටින යාචකයන් යනු සැබවින්ම සිඟාකන පිරිස නොවෙයි. ඔවුන් යාචකයන් ලෙස පෙනී සිටින ව්‍යාපාරිකයන් වැනිය. මන්ද? ඔවුන් විවිධ කූට ප්‍රයෝග භාවිත කරමින් ඇඟට පතට වෙහෙසක් නොමැතිව සිදු කළ හැකි මෙම රැකියාව සිදු කරන්නේ සැබෑ සිඟන්නුන් බව පවසමිනි. නමුත් අද වන විට ඔවුන් යම් මට්ටමක සාරවත් ජීවිත ගත කරන්නන් වේ. ඇතැම්විට ඔවුන්ට සිඟමන් දෙන පිරිසට වඩා දෛනික ආදායමක් උපයන යාචකයෝ බොහෝමයක් මේ ගෙන්දගම් පොළොවේ සිටිති. 


මේ පැත්තේ හිඟන මිනිසුස් නැහැ මහත්තයෝ. මේ හිඟාකන ඔක්කොම වගේ අතේ පයේ පණ තියෙන මිනිස්සු. සමහරු මම දවසට හම්බකරන ගාණ වගේ දෙගුණයක් හම්බ කරනවා. කිහිළිකරුවලින් විතරක් නොවෙයි සමහරු බිම බඩගාගෙන යන්නෙත් අතපය හොඳට තියෙන අය. දවසට හත්අට සැරයක් සිගරට් බොන සිඟන්නොන් ඉන්නවා මේ පැත්තේ. 


එලෙස අදහස් දැක් වු පෙට්ටිකඩ වෙළෙඳ මහතා මරදාන ආශ්‍රිතව තම ව්‍යාපාරය කරගෙන යන්නෙකි. ප්‍රධාන පාසල් කිහිපයක්ම ඇති මෙම ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන විවිධ ජාවාරම් කරගෙන යන බවද ඔහු අපට පැවසීය. විශේෂයෙන් සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ලිංගික ශ්‍රමය විකිණීමද එවන් එක් ජවාරමකි. කුඩා අහුමුලුවල පොලිසියේ ඇසට වැලි ගසා මෙම ජාවාරම කරගෙන යයි. 


අමතර පන්ති යන උසස් පෙළ සිසුන් පවා තම කුලුඳුල් අත්දැකීමට පවා මේ ස්ථාන වලට රිංගන බව අපට දැනගැනීමට ලැබුණි. කෙසේ හෝ අප යන්තමින් දන්නා දේවල් මහා පරිමාණයෙන් මේ ප්‍රදේශ වල සිදු කරන අතර සමස්තයක් ලෙස කොළඹ සංස්කෘතිය වළ පල්ලට යාමට සහ මිනිසුන්ගේ ජීවන රටාව තුළ මතු වන දෛනික මානසික ආතතීන්වලට නොයෙක් ආකාරයේ පිළියම් තිබෙන ස්ථානයක් බඳු විය. කොළොම්තොට සොරකමේ විවිධ මට්ටම්වලින් හැඩ ගැසුණු පළපුරුදුකාරයින් මේ හැමතැනකම සිටින බැවින් කොළොම්තොට යනෙන ඔබ නිරතුරුවම මෙම දේවල් ගැන විමසිල්ලෙන් සිටිය යුතුය. 


අවසාන වශයෙන් අපත් සමග කථාබහට සම්බන්ධ වුයේ කොල්ලුපිටිය ගාලු පාරේ වෙළඳාම් කරන පෙට්ටිකඩ මහතෙකි. ඔහු සිටින ප්‍රදේශය උසස් ව්‍යාපාරික ස්ථාන බොහෝමයක ප්‍රධාන මූලස්ථාන පිහිටි ප්‍රදේශයකි. එම නිසාම ඔහුගේ වෙළඳාමේ සරු බවක් විය. නමුත් ඔහුද ප්‍රධාන වෙළෙඳ භාණ්ඩය ලෙස තබා ගත්තේ සිගරට්ය. දහවල් 1 සිට සවස 5 වනතුරු බොහෝ පිරිසක් මෙතැනට පැමිණෙන අතර දිනකට සිගරට් සියයකට වඩා අලෙවි වන බව ඔහු අපට පැවසීය. 


පසෙකින් බටහිර මුහුද දැක ගත හැකිය. තවත් පසෙකින් අහස උසට නැග තිබෙන ගොඩනැගිලි විය. අරුමෝසම් වස්තරවලින් සැරසුණු කෙල්ලන් සේම පොෂ් බව පෙන්වමින් සැරිසරන කොල්ලන්ද මෙහි දැකීම සුලබ දසුනකි. 


එම මහතා කියු පරිදි මෙම ප්‍රදේශයේ තායිලන්ත හා චීන කාන්තාවන් බහුලව එහෙ මෙහෙ යාම සිදු කරයි. විශේෂයෙන් මුහුදු මාර්ගය ආශ්‍රිතව තිබෙන බෙහෝ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන මෙම විදේශීය කතුන් ලිංගික ශ්‍රමය අලෙවිකරන්නෝ වෙති. තවද සමාජ රෝග බෝවීමේ වැඩි ඉඩකඩක් ද මෙම ප්‍රදේශ වල පවතියි. මුහුදු මාර්ගයේ කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා පමණක් සම්බාහන ආයතන 20 කට අධික ප්‍රමාණයක් තිබේ. 


මේ සියල්ල මතුපිටින් ව්‍යාපාර ලෙස පෙනුණද සැබවින්ම සිදුවන්නේ ජාවාරමකි. සම්බාහන ලේබලයට මුවා වී ශරීරය විකිණීම සිදුකරන මෙම සමාජයට ඇබ්බැහි වී සිටින්නේ විවාහක හා වයසක උදවියයි. කෙසේ හෝ පෙට්ටිකඩ වෙළෙන්දන් තුළින් අපට අප දන්නා කොළඹට අපට නොපෙනෙන පැතිකඩ ගැන දැකගන්නට ලැබුණි. වංචාව හා කූට ප්‍රශ්න මැදින් දිව යන කොළඹ සෙල්ලක්කාර ජීවන රටාව නිසා ගිලිහී යන්නේ මිනිසත් බවයි. 


අප සමග තම අත්දැකීම් බෙදා ගත් පෙට්ටිකඩ මහතුන් මෙන්ම අප සමග කිසිවක් බෙදා නොගත් පිරිසක් ද වුහ. ඔවුන් එලෙස සිදු කළේ ඔවුන් පුංචි පුංචි ජාවාරම් සිදු කරන නිසාවෙනි. කෙසේ නමුත් එදිනෙදා රැකියාවට යනෙන ඔබ මෙවැනි සංසිද්ධි පිළිබඳ අවධානයෙන් සිටීම තම ආරක්ෂාව හා තත්ත්වය රැක ගැනීමට උදව් වනු නිසැකය.

සටහන 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු