කොළඹ පාතාලයේ ‘කංජිපානි’ කෝ?


පාතාල දඩබ්ම   

 

 

කොවිඩ් වසංගතය හේතුවෙන් ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලැබූ පාතාල මර්දන සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් මඳකට ඉබි ගමනින් යනු පෙනෙන්නට ඇත. මුළු ලොවක් ගිලගනිමින් යන මේ කොවිඩ් වසංගතයට නොදෙවෙනි පාතාල සහ මත්කුඩු වසංගතය පිළිබඳව මොහොතකට අවධානය අඩුකර ඇත්තේ කොවිඩ් වසංගතයෙන් අහිංසක ජනතාව බේරා ගැනීමේ ක්‍රියාන්විතයට ආරක්ෂක අංශ සාමාජිකයින් සියලු දෙනාම පාහේ සම්බන්ධ වී සිටීම හේතුවෙනි. එහෙත් ඒ විමර්ශන සිදුනොවනවා යැයි ද කිව නොහැකිය. මේ විමර්ශනයන් අතුරින් “මාලිගාවත්ත” ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරිකයින් ගැන ද විමර්ශන සිදුවෙමින් පවතියි. 

 
පාතාල ලෝකයත් මාලිගාවත්තත් අතර ඇත්තේ දීර්ඝ කාලීන මතක සටහන් ය. මාලිගාවත්ත දෙමළ පාතාලයේ නායකයා වූයේ “සුදාකරන්” ය. ඔහුට ගෝල බාලයෝ විශාල පිරිසක් සිටියහ. ඔවුන්ගෙන් ඇතැමෙක් පොලිසියටත් තවත් පිරිසක් මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේත් ගොදුරු බවට පත් වී තිබිණි.   
මේ දෙකෙන්ම දිවි ගලවා ගත් “තෙල්බාලා”, “කිඹුලා ඇලේ ගුණා” වැන්නවුන් ජීවිතය බේරා ගත්තේ ඉන්දියාවට පලා ගොසින්ය. ඒ 2017 වර්ෂයේ අගභාගයේ දීය. පසුව “මාලිගාවත්තේ සුපිරි දෙමළ පාතාලය” අතුගා දමමින් නැගී සිටියේ “මුස්ලිම් පාතාලයයි”. එහි කෙරුමන් වූයේ “ආනමාලු ඉමිටියාස්, නූර්, ෆාජි, මාමාස්මි, මංජල් අක්‍රම්, අයුබ්ඛාන්” වැන්නවුන්ය. 

 
“නූර්” ගේ ආදායම් මාර්ගය වූයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමය. බයියා, ෆාජි, මාමාස්මි, ටෝජ් අච්චා, නවුසර් ෆ්‍රවුම් නූර්ගේ කල්ලියේ සාමාජිකයන් වූ අතර මේ පිරිස කුලියට මිනීමැරුම්, කප්පම් ගැනීම් වැනි දේ සිදුකිරීමෙන් ආදායම් ලැබූහ. අයුබ්ඛාන්, දිගා ෆයිසර්, ආනමාලු ඉමිටියාස්, ලී මෝල වත්තේ රිස්වාන් වැන්නවුන් ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන තිබුණේ කප්පම් ගැනීමය. හෙරොයින් ආදායමේ යෙදුණු “නූර්” කප්පම් ගැනීම් පිළිබඳව සිටියේ දැඩි ස්ථාවරයකය.   


“උඹලා කප්පම් ගන්න එපා.” නූර්ගේ නියෝගයට අයුබ්ඛාන් තරයේ විරුද්ධ විය.   


“අයියට මොකද අපිත් ජීවත් වෙන්න එපැයි” මේ පාර්ශ්වය දෙකට කැඩුණේ මේ ආකාරයෙනි. එම ගැටුම දුරදිග ගොස් ආනමාලු ඉමිටියාස්ගේ ඥාති පවුල් හතක් මාලිගාවත්තෙන් එළවා දැමීමට “ෆාජි”ගේ කල්ලිය වූ අයුබ්ඛාන් ලා කටයුතු කළහ. මෙයින් උරණ වූ ආනමාලු ඉමිටියාස්, මාලිගාවත්ත අතැර දුම්මලසූරිය ප්‍රදේශයට ගොස් “ගාල්ලේ හාජි” නමින් අලුත් ජීවිතයක් ඇරඹුවේය.   


එම ප්‍රදේශවාසීන්ගේ ඉතා කුලුපග චරිතයක් වූ ගාල්ලේ හාජි, මාලිගාවත්තේ ෆාජි ඝාතනයට කුරුමානම් අල්ලමින් සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මාලිගාවත්තේ ජුම්මා පල්ලිය ඉදිරිපිට දී ආයුධ සන්නද්ධව සිටි ආනමාලු ඉමිටියාස් පල්ලිය අසල යුද පිටියක් නිර්මාණය කළේය. ෆාජි ඉන් බේරිණි. එහෙත් වැඩි කලක් යන්නට පෙර ආනමාලු ඉමිටියාස්ගේ සිරුර කොටහේන ප්‍රදේශයේ වැටී තිබිය දී පොලීසිය සොයාගෙන තිබිණි. ඉන් වඩාත්ම ප්‍රීතියට පත්වූයේ ෆාජි ය.   


එහෙත් ඔහුගේ සතුටට ද ආයුෂ තිබුණේ බොහෝම ටික කාලයකි. ඉකුත් 2009 වර්ෂයේ අගෝස්තු මාසයේ 29 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීමකින් ෆාජි සදහටම දෑස් පියා ගත්තේය.   
ෆාජිගේ අඩුව පිරවීමට පැමිණියේ ඔහුගේ සෙවණැල්ල වූ “මාමාස්මී” ය. දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ මොහොමඩ් කාදර් මොහොමඩ් අජ්මීර් නොහොත් “මාමාස්මී” ෆාජිගෙන් පසු මුළු මාලිගාවත්තම තම අණසකට නතු කර ගත්තේය. කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරුම්, කප්පම් ලබාගැනීම්, අවි ආයුධ ජාවාරම හා මත්කුඩු ජාවාරමේ “ලොකු අයියා” ලෙස ද සිටි මාමාස්මි මාලිගාවත්තෙන් එළියට බැස්සේ ද නැත. හදිසියේ ගමනක් යන්නේ ද මුස්ලිම් කාන්තාවක ලෙස බුරුකාවකින් සැරසීගෙන ය. එය ඔහුගේ ආරක්ෂිත වැඩපිළිවෙළයි. මාලිගාවත්තට පිට කෙනෙකුට ඇතුළු වීමට මාමාස්මි ඉඩ නොදුන්නේය. වයස අවුරුදු 36ක් පමණ වන විට මොහුට බිරින්දෑවරුන් තිදෙනකු සහ දරුවන් දොළොස් දෙනෙකි. “පාතාලයෝ කිසි දිනෙක සදාකාලික රජවරුන් නොවන්නේය” යන දහම සනාත කරමින් පොලිස් විශේෂ කාර්ය බළකාගේ වෙඩි පහරකින් මාමාස්මි මරු දකින්නේ ඉකුත් 2013 ජූලි මස 04 වැනිදාය.   


මාමාස්මිගේ සමීපතම ගෝලයන් අතුරින් ඊළඟට කරළියට එන්නේ ‘මංජල් අක්‍රම්’ ය. මාමාස්මිගේ තවත් ගෝලයකු ලෙස තවත් නමක් කියැවෙයි. ඔහු “රවුෆ්” ය. ඉකුත් ජුනි මාසයේ දිනෙක මාලිගාවත්ත ලක්සෙත මහල් නිවාස සංකීර්ණයේ දස වැනි මහලේ දී රවුෆ්ට කවුරුන් හෝ වෙඩි තබයි. මාස දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ මරුවා සමග සටන් කළ රවුෆ් අවසානයේ දී මරුවාට පරාද වන්නේය.   


දැන් කියන්නට යන්නේ මේ කතාවේ කතා නායකයා ගැන ය. ඔහු නමින් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් “කංජිපානි ඉම්රාන්” ය.   


මංජල් අක්‍රම්ගේ හොඳම ගෝලයා වූයේ “කංජිපානි ඉම්රාන්” ය.   


කංජිපානි දැඩි ලෙස දරිද්‍රතාවයෙන් ජීවිතය ගෙන යාමට වෙර දරමින් සිටියෙකි. විටෙක කැඳ විකුණමින් සහ නොයෙක් ව්‍යාපාර කරමින් සිටි ඔහු මාලිගාවත්ත හන්දියේ කුකුළුමස් කඩයක් පටන් ගත්තේ මුදල් යහමින් උපයා ගැනීමේ අරමුණෙනි. මංජල් අක්‍රම් සහ කංජි හොඳම යාළුවන් වූයේ මේ කුකුළුමස් කඩය නිසාය. කුකුළුමස්වලට වඩා ආදායම් ඉපැයිය හැකි හෙරොයින් ජාවාරම ගැන කංජිපානිට කියා දෙන්නේ මංජල් ය. ඒ මොහොමඩ් සිද්ධික් නම් හෙරොයින් ජාවාරම්කරු මුණගස්වා දීමෙනි. සිද්දික් නිසා බලා සිටිද්දී කංජිපානි පොහොසතෙකු වූයේය.   


එපමණක් ද? මාලිගාවත්තේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් රිස්කාන් ද තම මිත්‍ර කංජිට හඳුන්වා දීමට මංජල් දෙවරක් සිතුවේ නැත. (ඩ්‍රොප් මී නමැති කුලී රථ ආයතනයේ හිමිකරුවාව සිටි රිස්කාන් මීට වසරකට පමණ ඉහත දී කොටහේන ප්‍රදේශයේ දී ඝාතනය විය.)   


එවකට මාලිගාවත්තේ හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගිය මංජල් අක්‍රම්, “භානු” නමැත්තියට වශීකෘතව සිටියේය. ඒ වන විටත් මුස්ලිම් කාන්තාවන් සිව් දෙනකු සමග විවාහ වී සිටි මංජල් භානුට වහ වැටී සිටියත්, භානුගේ සහෝදරයා ඔහුට අභියෝගයක් වූයේ සිය හෙරොයින් ජාවාරම නිසාය. දෙවරක් නොසිතූ මංජල්, භානුගේ සහෝදරයාට වෙඩි තබා ඝාතනය කළේය. තම සහෝදරයාගේ මරණය භානුට දැඩි වෛරයක් ඇති කරන්නට වූයේ මංජල් කෙරෙහිය.   


“අයියේ ඔය ගෑනි ගැන මට සැකයි. අයියා ඔය ගෑනි එක්ක තියෙන සම්බන්දේ නවත්වන්න. ඕක විශ්වාස කරන්න පුළුවන් බඩුවක් නෙවෙයි.” ඒ කිව්වේ කංජිපානි ඉම්රාන් ය.   


“නෑ එහෙම නැහැ බං. ඒකී හොඳ එකී, ඒකිව මට විශ්වාසයි” ඒ මංජල් අක්‍රම් ය.   


මංජල් අක්‍රම්ගේ ඒ විශ්වාසය සී සී කඩ විසිරී යන්නේ එක්තරා දිනෙක ඔහු, බානු සමග නුවරඑළියේ හෝටලයක දී පෙම් සුව විඳිමින් සිටිය දී නාඳුනන කල්ලියක් විසින් එල්ල කළ ප්‍රහාරයකිනි. මංජල් අක්‍රම් නොඑන ගමන් ගොස් තිබිණි. තම ලොකු අයියාට මේ දේ කළේ බානු බවට සැකයක් කංජිපානි තුළ හට ගත්තේ ඉන්පසුවය.   


මංජල් අක්‍රම්ගේ තැනට දැන් එන්නේ කංජිපානි ඉම්රාන් ය. කිසිදු අඩුවකින් තොරව මංජල්ගේ අඩුව පුරවන කංජිපානි ඉම්රාන් දෙස බලා සිටි එක්තරා චරිතයකි. ඔහු රවුෆ් ය. ඒ වන විට කංජිපානිට වඩා උඩින් සිටියේ රවුෆ් ය.   


“උඹේ සෙල්ලම් මං දන්නවා. මම ඒවා එළියට නොදා ඉන්න නම් මොකද වෙන්න ඕන කියලා උඹ දන්නවා නේ. මට ඕන වැඩේ වුණාම ඉවරයි. උඹ දැන් ලොකු සල්ලි කාරයෙක් නේ. උඹ හම්බකරන සල්ලිවලින් කොටසක් අපිට ඕන. මොකද උඹ අද මෙතන ඉන්නේ මංජල් නිසා. අපේ මේ ටීම් එකම නිසා. ඒ හින්දා අපිට සල්ලි හදිසියක් වුණාම උඹ ඒ ගැන බලා ගන්න ඕන.”   


කංජිපානි ඉම්රාන්ට රවුෆ් ගෙන් ගැලවිල්ලක් නැති විය. කෙසේ වෙතත් ඒ වන විට රජ කරන්නට කංජිපානි අත්පොත් තබා අවසන්ය. 

 
ඉතා ඉක්මනින් ධනවතකු වූ කංජිපානි කඩවත ප්‍රදේශයෙන් නිවසක් මිලට ගෙන මොහොමඩ් ෆාතිමා රිනෝසා නමැත්තිය විවාහ කරගෙන එහි පදිංචියට ගියේය. මංජල් අක්‍රම් මිය යන්නේ මේ කාලයේ දීය. මංජල්ගේ අභාවයෙන් ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ වූ දුසාරා සමග කංජිපානි ඇසුරු කරන්නට පටන් ගත්තේ මංජල්ගේ සියල්ල තමාට උරුම වීම නිසා බවට කංජිපානි අදහමින් බවට මාලිගාවත්ත තතු දත් ජනතාව අදටත් කියති.   


තම සහෝදරයකු බඳු වූ මංජල් අක්‍රම් ඝාතනය කිරීමේ පළිය ගැනීමට කල් යල් බලමින් සිටි කංජි, ඉන් පළමු මරණ වරෙන්තුවක් ලබා දුන්නේ “බානු” නමැත්තියගේ බාල සහෝදරයා වන “නිප්පු” ටය. ඒ වන විට මාලිගාවත්ත ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ ඉහළින් කියැවෙන නම කංජිපානි වීම හේතුවෙන් “බඩු ටිකක්” ඉල්ලා ගැනීමට නිප්පු, කංජිට දුරකතනයෙන් කතා කළේය.   


“කංජි, මම කතා කරන්නේ නිප්පු. මට හොඳ බඩු ටිකක් ඕන.” 

 
“හරි උඹට ඉස්සෙල්ලා සාම්පල් ටිකක් දෙන්නම්. උඹ ඒක චෙක්කරලා බලපං. මස්සිනා උඹ මේන් ස්ට්‍රීට් එකේ මහා විද්‍යාල මාවතේ ඔරලෝසු කණුව ළඟට වරෙන්. හැබැයි එක දෙයක් මතක තියා ගනින් උඹ එන්න ඕන තනියම. එක එක එවුන් එවන්න එපා. වැඩේ නෝන්ඩි වෙයි. හරිද? තනියම වරෙන්.” නිප්පුට ලැබෙන විධානය එයයි.   


සාම්පල් වශයෙන් හෙරොයින් ග්‍රෑම් 10ක් සමග මීගමුවේ සිට කණ්ඩායමක් කොළඹට එන්නේ කංජිපානිගේ නියෝගයෙනි. තවත් කණ්ඩායමක් වෙනම යොදවා තිබුණේ නිප්පු පැමිණෙන්නේ කෙසේද යැයි විමසා බැලීමටය. එහෙත් එදා නිප්පු නොව ඔහුගේ ගෝලයින් දෙදෙනකු අදාළ ස්ථානයට ළඟා විය.   


“අඩෝ මස්සිනා. උඹට කිව්වා නේද වෙන කවුරුත් එවන්න එපා කියලා. උඹ වරෙන් පිට එවුන් එවන්න එපා. බඩු හොඳයි. ආයි දෙකක් නැහැ. වෙන එවුන් එව්වොත් නෝන්ඩි වෙන්න වෙයි” ඒ ඇමතුම නිප්පුට ලැබුණේ කංජිපානිගෙනි’.   


“හරි අයියා කියනවා නම් බඩු හොඳ ඇති. එහෙනම් මට කිලෝ එකක් දාන්න.” නිප්පු පිළිතුරු දෙයි.   
නිප්පු ත්‍රීරෝද රථයට ගොඩවන්නේ මාලිගාවත්තෙනි. කෝවිල අසලට යන නිප්පුට දුරකතන ඇමතුමක් එයි. “ඔතනින් බැහැලා ඉස්සරහට වරෙන්. දැන් ඔහොම්ම රූබි හෝල් එක ළඟට වරෙන්. එතැන බඩු තියෙනවා.” නිප්පු සොයා යන්නේ මාරයා බව ඔහු දන්නේ නැත. මෝටර් සයිකලයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු නිප්පු සදහටම අවසන් ගමන් යවන්නේ ඒ අයුරිනි. මංජල් අක්‍රම් මැරූ පළිය කංජිපානි වාඩුව ගන්නේ ඒ ආකාරයෙන් බව සඳහන් වෙයි.   


පාතාල ලෝකයේ ගෝඩ්ෆාදර් ලෙසින් හඳුන්වාගෙන සිටින ‘මාකඳුරේ මදූෂ්’ සමග කංජිපානි ඉම්රාන් ගේ මිතුදම ආරම්භ වන්නේ දෙදෙනාම මීගමුව බන්ධනාගාරයේ දී හමුවූ අවස්ථාවේ දීය. ලීසිං ආයතනයක කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මදූෂ් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි අතර කංජිපානි හෙරොයින් සිද්ධියක් හේතුවෙන් බන්ධනාගාරගතව සිටියේය. කොළඹ පාතාලයේ කෙරුමෙකු වූ කංජිව හඳුනාගැනීමට දකුණේ පාතාලයේ කෙරුමාට හැකි වූයේ මේ අයුරිනි.   


ඇප ලබා බන්ධනාගාරයෙන් මුලින්ම එළියට ගිය කංජි, මදූෂ් ඇප ලබා පැමිණෙන දින තෙක් සිටියේ අලුත් මිත්‍ර සමාගමේ සතුට සැමරීම සඳහාය. “උඹ ගමේ යන්න කලින් මාලිගාවත්තට වරෙන්. සෙට් වෙලා ටිකක් වැඩකට එන්ටර් වෙන්න ඕන” කංජිගේ ආරාධනයෙන් ඇප මත එළියට ආ මදූෂ් මාලිගාවත්තට පැමිණ සතියක පමණ කාලයක් එහි ගත කළේය. කංජිගේ හොඳම මිත්‍රයකු වූ මොහොමඩ් රිස්කාන්ව මදූෂ්ට හඳුන්වා දීමට කංජි තීරණය කළේ මේ කාලයේ දීය.   


කංජිපානි නිතර නිතර ඩුබායි රාජ්‍යයට යමින් එමින් හෙරොයින් ජාවාරම ඉහළින් ම කරගෙන ගියේය. ට්‍රැක්ටර් එන්ජිම් තුළ සඟවා මෙරටට හෙරොයින් ගෙන්වීමේ මහා ජාවාරමක් වැටලීමට ආරක්ෂක අංශ සමත් වන්නේ ඉකුත් 2009 වර්ෂයේ දීය. ඒ සඳහා කංජිපානි ඉම්රාන්ගේ නම ද ගෑවී තිබේ. මෙහි සැකකරුවන් ලෙස හඳුනාගන්නේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් සිද්දික් ය.   


මෙම වැටලීමෙන් පසු කංජිපානි ඉම්රාන් සිය අනියම් බිරිඳ වූ දූසාරා සහ ඇගේ දරුවන් දෙදෙනාත් සමග ඩුබායි රාජ්‍යයට පැන යති. පසුව කංජිපානි ඉම්රාන් ඔහුට දාව රිනෝසාට උපන් දරුවන් දෙදෙනා සහ ඔහුගේ මවත් ඩුබායිවලට ගෙන්වා ගත්තේ රිනෝසාව අත්හැර දමාය.   


“මචං මෙහේ ඉන්න බැහැ. මං යනවා. උඹට මොකක් හරි අවුලක් නම් වරෙන් මා ළඟට හරිද?” කංජි, මදූෂ්ට එසේ කියන්නේ ඔවුන්ගේ දැඩි මිත්‍රත්වය හේතුවෙනි. පසුව කංජිපානි සිය මිත්‍ර මදූෂ් ද ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගන්නේ එහි සිට ලංකාවේ හෙරොයින් ජාවාරම හොඳ හැටි සිදුකළ හැකි නිසාය.   


කංජිපානි ඉම්රාන් රටින් පැන යාමට පෙර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් පහක් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පවතින නඩුවකට ඇප තැන්පත් කරන්නේ කංජිපානිගේ නීත්‍යනුකූල බිරිඳ රිනෝසා සහ ඇගේ පියාය.   


“මට සල්ලි ඕන මේ නඩුවෙන් ගැලවෙන්න. තමුසේ මට සල්ලි එව්වේ නැත්නම් මම තමුසේ ගැන සී.සී.ඩී. එකට කියනවා.” රිනෝසා දුරකතනයෙන් අමතා කංජිපානිට කියන්නීය.   


“නංගි ඔයා කලබල වෙන්න එපා. මං කංජිට කියන්නම් සල්ලි එවන්න කියලා.” මදූෂ් ද පවුල් ප්‍රශ්නයට මැදිහත් වන්නේ මේ ආකාරයෙනි. එහෙත් තම සැමියා තමාව ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට රිනෝසා දැනගන්නීය. මේ බව රිනෝසා මදූෂ්ට කතා කොට කීවාය.   


“නෑ නංගි මම ඔයාව මරන්න දෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.” මදූෂ් කීවේය.   
එහෙත් මදූෂ්ගේ ආයුධවලින් කංජිපානිගේ සහචරයෝ මාලිගාවත්ත ලොන්ඩරිය අසල දී රිනෝසාට වෙඩි තබා ඝාතනය කළහ. (මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් විභාග වෙමින් පවතියි)   


මදූෂ්ගේත් කංජිගේත් කල්‍යාණ මිත්‍රයකු වූ රිස්කාන්, මාලිගාවත්ත ප්‍රදේශයේ කුලී මෝටර් රථ සේවයක් ආරම්භ කරමින් සිටියේ මදූෂ්ගේ මුදලිනි. කඩුවෙල පාතාලයේ රණාලේ සමයං ඝාතනය වන්නේ මේ කාලයේ දීය. ඩුබායි සිටි මදූෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ සුසංගයෝගයෙන් මේ ඝාතනය සිදුවෙයි. කළුතර එතනමඩල ප්‍රදේශයේ බන්ධනාගාර බස්රථයක් තුළ දී රණාලේ සමයං ඝාතනය කරන අංගොඩ ලොක්කා ලඩියා සමග ඉන්දියාවට පලා යයි.   


තම ලොකු අයියා මරා දැමීමේ කෝපයෙන් සිටි රණාලේ සමයං කල්ලියේ සාමාජිකයින් රිස්කාන්ට වෙඩි තබා ඝාතනය කරන්නේ කොටහේන ප්‍රදේශයේ දීය. රිස්කාන් මරා දැමීමෙන් කුපිත වූ මදූෂ් සහ කංජිපානි එම ඝාතනයට ගෑවුණු සියලු දෙනෙක්ම මරා දමන බවට දිවුරා ඇත. ඒ අනුව රිස්කාන් මරා දැමීමට යතුරුපැදිය ලබා දුන් “කොස්මල්ලි” පැහැරගෙන ගොස් අඟුණකොළපෑලැස්සේ දී ඔහු ඝාතනය කර ඔහුගේ හිස කොටස කොළඹට රැගෙන එන්නේ කංජිගේ ගෝලයෙකි. 

 
ත්‍රස්තවාදී ක්‍රියා සහ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් පිළිබඳ විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට තැත් කිරීම තර්ජනය කිරීම මෙන්ම කොළඹ සහ අවට සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නේ ඉකුත් 2019 වර්ෂයේ මාර්තු මස 28 වැනිදාය. ඒ, මාකඳුරේ මදුෂ් නමැත්තා සමග ඩුබායි රාජ්‍යයේ දී සාදයකට සහභාගි වෙමින් සිටිය දී එරට පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කිරීමෙන් පසුවය. මාකදුරේ මදූෂ් මෙම සාදය පවත්වා තිබුණේ ඉකුත් 2019 වර්ෂයේ මාර්තු මාසයේ 03 වැනිදාය. මේ වන විට මාකඳුරේ මදුෂ් ඇතුළු පාතාල ක්‍රියාකාරීන් පිරිසක් පොලිස් අත්අඩංගුවේ පසු වෙති.   


ඉකුත් 2017 වර්ෂයේ මැයි මස 09 වැනිදා පිළියන්දල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ඉකුත් 2018 මාර්තු මස 06 වැනිදා අගුණකොළපෑලැස්ස ප්‍රදේශයේ දී “කොස්මල්ලි” නමැත්තකු ඝාතනය කර ඔහුගේ හිස කෙසෙල්වත්ත ප්‍රදේශයට රැගෙනවිත් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම කොළඹ සහ අවට සිදුවූ ඝාතන රාශියක් පිළිබඳව ද කංජිපානි ඉම්රාන් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතුව අති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.   


මේ කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් “කංජිපානි ඉම්රාන්” නමැත්තා සම්බන්ධයෙන් මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු මෙසේය.   


2017 දෙසැම්බර් මස 9 වැනි දින කෙසෙල්වත්ත පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වූ නඩුව.   


2018 පෙබරවාරි මස 20 වැනි දින බොරැල්ල පොලිස් වසමේ කොටා පාරේ දී ගිනි අවියකින් වෙඩි තබා රණසිංහ ආරච්චිගේ ප්‍රසාද් කුමාර නමැත්තා ඝාතනය කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව. 

 
2018 වර්ෂයේ මාර්තු මස 19 වැනි දින කොටහේන පොලිස් වසමේ මැසෙන්ජර් වීදියේ දී විනාශ මුත්තු ඇන්තනී රාජ් යන අයට වෙඩි තබා ඝාතනය කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   


2018 වර්ෂයේ මාර්තු මස 27 වැනි දින මාලිගාවත්තේ දී සාවුල් හමීඩ් මොහොමඩ් නිප්රාස් නොහොත් නිප්පු නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   
2018 වර්ෂයේ ජුලි මස 08 වැනි දින වෙරළබඩ පොලිස් වසමේ ජම්පටා වීදියේ දී සෙල්ලයියා සෙල්වරාජ් සහ කඳනආරච්චිගේ ක්ලැරන්ස් පෙරේරා යන අයවලුන්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   


2018 වර්ෂයේ අගෝස්තු මස 3 වැනි දින මෝදර පොලිස් වසමේ තැපැල් කාර්යාලය අසල දී ගෝපාල් පිල්ලේ බාලචන්ද්‍රන් නමැත්තාට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව. 

 
2018 වර්ෂයේ අගොස්තු මස 26 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේ මාලිගාවත්ත පෙදෙසේ මොහොමඩ් ෆාතිමා රිනෝසා (බිරිඳ) ඝාතනය කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   


2018 වර්ෂයේ අගෝස්තු මස 30 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේ ජුම්මා මස්ජිඩ් පාරේ දී මොහොමඩ් රවුෆ් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   


2018 වර්ෂයේ මාලිගාවත්ත ලක්සෙත මහල් නිවාස සංකීර්ණය අසල දී මොහොමඩ් අජ්මි නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   


2018 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වැනි දින මාලිගාවත්තේ දී මොහොමඩ් අජ්මි නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   
2018 වර්ෂයේ නොවැම්බර් මස 7 වැනි දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පරාක්‍රම මාවතේ දී මොහොමඩ් නිප්රාස් යන අයට ගිනි අවියකින් මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   


2018 වර්ෂයේ දෙසැම්බර් මස 10 වැනි දින මෝදර පොලිස් වසමේ රාස්සමුල්ල කන්ද අසල දී ප්‍රසානි, චමින්ද, ප්‍රදීප්, නාලක, පුෂ්පරාජ්, කුංදන් අම්මාන් යන අය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   


2019 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින වෙරළබඩ පොලිස් වසමේ ජම්පටා වීදියේ දී මැල්කම් යන අයට වෙඩි තැබීමට තැත්කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   
2019 වර්ෂයේ ජනවාරි මස 20 වැනි දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටියේ ඇන්ටනී කෲස් යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   


2019 වර්ෂයේ පෙබරවාරි මස 14 කොටහේන පොලිස් වසමේ මෛත්‍රී බෝධිරාජ මාවතේ දී ආශා ෆාරික් යන කාන්තාවට වෙඩි තබා ඝාතනය කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව.   


මේ සිද්ධීන් කිහිපයකම විශේෂත්වය වන්නේ මේ වන විට කංජිපානි ඉම්රාන් විදේශගතව සිටීමය. කංජිපානි ඉම්රාන් මේ වන විට හෙරොයින් නඩුවකට සිරදඬුවම් විඳින අතර, ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා තබා සිටියි.   


පාතාලයෝ යහමින් මුදල් හම්බ කරති. ඒවා පාලනයටත් තම බල පරාක්‍රමය විහිදුවාලීමටත් ඔවුන් මහත් වෙහෙසක් දරමින් තැන රැක ගැනීමට දඟලති. කෙසේ වෙතත් “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යන දහම තවමත් මෙලොව තුළ සදාතනික දහමක්ව පවතී. මොවුන්ගේ ඉදිරි අනාගතය කෙසේ වී දැයි අපි විමසිලිමත්ව සිටිමු.   

 

නිරංගි අබේවික්‍රම