කොස්ගොඩ සුජීගේ ප්‍රධාන ගෝලයා දැලේ


අවිගත් දඩබ්ම

කොස්ගොඩ සුජී මෙරට ප්‍රබල පාතාල චරිතයක් වී ඇත්තේ මිනීමැරුම්, මත්කුඩු, මත්ද්‍රව්‍ය ආදී විවිධ අපරාධ රැසක්ම සිය අපරාධ ගිණුමට බැර කරගෙන ඇති නිසාය. එන්න එන්නම දිනෙන් දිනම ඔහුගේ මේ අපරාධ ගිණුමේ ශේෂය වර්ධනය වනවා මිසක් හීනවීමක් දක්නට නොලැබෙන නිසාම බොහෝ අය ඔහුගේ නම කියූ සැනින්ද බිය වෙති.

   
 විදෙස් රටක සිට මෙරටේ අපරාධ රැල්ලේ කිරුළ හිමිකරගෙන සිටින එක් අයෙකු වන කොස්ගොඩ සුජීට සිය කාර්යයන් ඉටු කරගැනීමට මෙරටේ සුවච කීකරු ගෝලයෝ රොත්තක්ම සිටිති. මේ ගෝලයෝ හරියටම මහදැනමුත්තාගේ ගෝලයින් මෙන්ය. මහදැන මුත්තා පවරන ඕනෑම රාජකාරියක් ඒ ආකාරයටම ඉටුකරන ඉඳිකටු පැංචලා, පුවක්බඩිල්ලලා, පොල්බෑමූණලා, රබ්බොඩ අයියලා, කෝටුකිතයියලා වැනි ගෝලයින් මෙන් සුජී නම් වූ මේ මහදැනමුත්තා දෙන නියෝග ඒ පරිද්දෙන්ම ඔහුගේ ගෝලයෝ ඉටු කරනුයේ ඔහු ද සිය ගෝලයින්ගේ ඕනෑ එපාකම් ඉටුකරදෙන නිසාය. ඔවුන් ගැන නිතර සොයා බලන නිසාය. ඔවුන්ට කරදරයක් ව්‍යසනයක් වූ විට ඔවුන්ගේ පවුල්පිටින් බලා ගන්නා නිසාය.   


 සුජිගේ මේ ගෝලයින් අතරින් ඌරගස්මංහංදිය ෆ්‍රෙඩ්ට හිමිවනුයේ සුවිශේෂීවූ ස්ථානයකි. ඒ ඔහු සුජීගේ ප්‍රධාන ගෝලයාවීම නිසාය. සුජීගේ නම ඉදිරියේ ලියවෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ලම මෙහෙයවනුයේ ෆ්‍රෙඩ් ය. පොලිසියට මහත් හිසරදයක්ව සිටි සුජීගේ මේ ප්‍රධාන ගෝලයා ගිනි අවි, ගංජා සමග මාට්ටු වන්නේ කවුරුත් නොසිතූ නොපැතූ මොහොතකය. මේ අද දිග හැරෙන්නේ සුජීගේ ප්‍රධාන ගෝලයා පොලිසියට මාට්ටු වූ සැටිය.   
 ඇල්පිටිය පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සිය ධුරයේ වැඩ භාරගත් දා සිටම කොස්ගොඩ සුජී හා ඔහුගේ ගෝලයන් ඒ මහතාට මහත් හිසරදයක්වී තිබිණි. ඒ මොවුන් සිය පොලිස් බල ප්‍රදේශයේ සිදුකරනු ලබන විවිධ අපරාධයන් නිසාය. ඒ මහතාට කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගැනීමට මොනමවත් මෙහෙයුමක් දියත් කිරීමට හැකියාවක් නැත්තේ ඔහු පිට රටක සිටින නිසාය. එබැවින් තල්දුව මහතා සුජීගේ ගෝලයින් ගැන නිතරම ඇහැගහගෙන සිටියේය. මේ නිසාමදෝ ඔහු සුජීගේ ගෝලයින් ගැන සොයා බලා ඔවුන්ව නීතියේ රැහැනට කොටුකර ගැනීමට අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරිකයකු වූ එමෙන්ම ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාව සිටි හැලඹගේ ප්‍රේමසිරි මහතාගේ ඝාතකයින් ඇතුළුව අම්බලන්ගොඩ විවිධ අපරාධ සිදු කොට සැඟවී සිටි අපරාධකරුවන් රැසක්ම අත්අඩංගුවට ගත් කෘතහස්ත පොලිස් නිලධාරියෙකු වන අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඩී. බාලේන්ද්‍රසිහ මහතාට මෙම කාර්යය පැවරුවේය. ඒ අලුත් තානාන්තරයක්ද බාලේන්ද්‍රසිහ හට ලබාදෙමින්ය. ඒ බාලේන්ද්‍රසිහ ඇල්පිටිය කොට්ඨාස නීති සවිබල ගැන්වීමේ ස්ථානාධිපති ලෙස පත් කරමින්ය.   

 

මෙහෙයුමට සහභාගිවූ පොලිස් නිලධාරින්

හැලබගේ ඝාතනය පිලිබදව ලියවුනු පුවත්

 

 

 කොස්ගොඩ සුජීගේ ගෝලයින් පසු පස ඉව අල්ලමින් සිටි උපපොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිහට සුජීගේ තවත් ගෝලයකුගෙන් හොඳ තොරතුරක් ලැබෙන්නේ මේ අතරතුරේදීය. ඒ ඔහු දැනට පාතාලයේ සිටින තැනින් ඉහළට ඒමට ගත් පියවරක ප්‍රතිඵලයක් ලෙසය.   


 ලැබුණු තොරතුර අනුව බාලේන්ද්‍රසිහ තවත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් සමග අම්බලන්ගොඩ ගලගොඩ මංසන්ධියේ රැකවල්ලාගෙන සිටියේය. දුන් තොරතුරු අනුව රෝස පාට ත්‍රිරෝද රථයක් ඉදිරියට එමින් තිබුණේය. තමාට ලබාදුන් ත්‍රිරෝද රථයේ අංකය පරීක්ෂා කළ බාලේන්ද්‍ර එයත් හරියටම ගැලපුන බැවින් පාර මැදට පැන එයට යාමට නොහැකි අයුරින් පාර හරස් කොට එකී ත්‍රිරෝද රථයට අත දැම්මේය. ‘‘ගනදුර මැකී බුදු රැස් විහිදුනාවේ, වඳිමු සැමදා සමිඳු දළදා’’ යන පාඨ ගසා ගත් රෝස පාට ත්‍රිරෝද රථයේ තිරිංග බාලේන්ද්‍ර අසල තද කෙරුනේ එසේය අවුරුදු 28ක් 30ක් අතර වයසේ යයි කිවහැකි අයෙකු නතර කළ ත්‍රිරෝද රථයෙන් එළියට බැස්සේය.   


 ඇයි සර් මේ යයි ඒ පුද්ගලයා ඇසුවිට බාලේන්ද්‍ර ඔහුගෙන් ඇසුවේ වචන දෙකක ප්‍රශ්නයකි ඒ. උඹ ප්‍රෙඩ්ද, ඔහුත් දුන්නේ වචන දෙකක උත්තරයකි. ඒ මම පොඩි. ඒත් සමගම යක්ෂාවේස වූ බාලේන්ද්‍ර පොළොවේ අඩි හප්පා ඇත්ත කියපන් උඹ ප්‍රෙඩ් නේද ඇසීය. අනේ නැහැ සර් සර්ලාට වැරදිලා මම ප්‍රෙඩ් නෙමෙයි, පොඩියි, හා හා යමන් යමන් උඹ ප්‍රෙඩ් ද පොඩි ද කියලා බලාගන්න පුළුවන් පොලිසියට ගියාම බොරු කියන්න එපා අපි සේරම හොයාගෙනයි තියෙන්නේ. උඹ මේ ත්‍රීවිල් එකේ ගංජා තොගයක් ගෙනියනවා නේද යයි ඔහුගෙන් ඇසූවිට ඔහු නිරුත්තර වූවේ යකෝ මේක කොහොමද පොලිසිය දැන ගත්තේ යයි කියන්නාක් මෙන්ය.   


 උපපොලිස් පරීක්ෂක බාලෙන්ද්‍රසිහ එලෙස පොලිසියට ගෙන ආ ගනඳුර මැකී බුදු රැස් විහිදුණාවේ. වදිමු සැමදා සමිඳු දළදා යන පාඨ ලියා තිබු රෝස පාට ත්‍රිරෝද රථය පරික්ෂා කළ විට එහි තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් දෙකක පාර්සලයක් සොයා ගත්තේ ත්‍රිරෝද රථය පදවාගෙන ආ තැනැත්තාටද කීමට කිසිම දෙයක් නැතිවන ආකාරයටය. දැන් ඉතින් බොරු කියා පලක් නොවන බව දැනගත් මේ තැනැත්තා බාලේන්ද්‍රසිහ ඇසූ බොහෝ ප්‍රශ්නවලට බාලේන්ද්‍රසිහ බලාපොරොත්තුවෙන්ම සිටි උත්තර කිහිපයක්ම දුන්නේය.   


 ‘‘උඹ ප්‍රෙඩ් නේද?’’ 

‘‘ඔව් සර්.’’ 

‘‘කාගේද මේ බඩු?’’ 

‘‘කොස්ගොඩ සුජී අයියගේ සර්.’’ 

‘‘කොහාටද මේවා ගෙනියන්නේ?’’ 

‘‘ගලගොඩටයි, මීටියාගොඩටයි දාන්න සර්.’’ 

‘‘හා එහේමද? සුජීගේ ගංජා අදින එක විතරක් නෙමෙයිනේ උඹ කරන්නේ. උඹ කරපු අනෙත් වැඩ ටිකත් මේ එක්කම කියපන්.’’ 

‘‘අනේ සර් මම කරන්නේ සුජී අයියාගේ ගංජා අදින එක විතරයි. වෙන ඒවාට මම සම්බන්ධ නැහැ.’’ 

‘‘ඔය ඇත්තමද කියන්නේ.’’ 

‘‘අනේ සහතික ඇත්ත සර්.’’ 

මේ බබා පාට් අපිට එපා. උඹ ගැන සියලු තොරතුරු අපිට ලැබිලයි තියෙන්නේ.   


ඔහුගෙන් කොපමණ ප්‍රශ්න කළත් ඒ ගැන ඔහු වචනයක් බිම නොදැමුවද මොහු ළග කොස්ගොඩ සුජිගේ තවත් අපරාධ රැසකම තොරතුරු ඇතැයි අත්දැකීමෙන් දත් බාලේන්ද්‍රසිහ මොහු ගංජා ප්‍රවාහනයට සැකපිට අත්අඩංගුවට ගෙන බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ්.පී. එම්. ලියාකාත් මහතා වෙත ඉදිරිපත්​ කළේය. ප්‍රෙඩ් නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ යුද්‍ හමුදාවෙන් පලා ආ අයෙකු බවද හෙළිවිය. වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගෙන් ඔහු දින හතක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බාලෙන්ද්‍රසිහ අවසර ලබා ගත්හ.   


ඒ අනුව කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රෙඩ්ට තමන් කළ කියපු දෙවල් වමාරන්නට සිදුවූවේය. සර් මම තමයි 2014දි බෙන්තොට හෝටලයක සිටි සිකියුරිටි කෙනෙකුට වෙඩි තිබ්බේ මරන්න .ඒ වගේම මම තමයි 2016දි වැලිපැන්නෙදී අම්මටයි කුඩා දරුවෙකුටයි වෙඩි තිබ්බේ .ඒ වෙඩි පහරින් දරුවා මැරුණා .අම්මා තුවාල ලැබුවා. ඉඳුරුවේදී හෝටල් අයිතිකාරයෙකුයි සුද්දෙකුයි ආපු මෝටර් රථයටත් වෙඩි තිබ්බේ මමයි.   


 බාලේන්ද්‍රසිහ දැන සිටි ප්‍රෙඩ් කරපුවා සියල්ලම දැන් හරිය. දැන් ඔහුට ඊළගට අවශ්‍යව සිටියේ මේ අපරාධයන් සදහා යොදාගත් ටී පනස්හයේ ගිනි අවියය. මේ අපරාධයන් සඳහා භාවිත කළ යතුරු පැදියය. ඒ සඳහා භාවිත කල ජංගම දුරකතනයන්ය. මේවා මොහුගෙන් ලබාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව දැනගත් බාලේන්ද්‍රසිහ ඒ සඳහාද උපයශීලි වූවේය.   


 ඒ අනුව ප්‍රෙඩ් ලබාදුන් තොරතුරුවලට අනුව ගංජා ඇදීමට පමණක් භාවිතා කරන ත්‍රිරෝද රථයට අමතරව වෙඩි තැබීම්වලට ප්‍රයෝජනයට ගත් යතුරු පැදියද වෙඩි තැබීම සදහා භාවිත කළ ටී පනස්හයේ ගිනි අවිය ද ඊට දමන පතුරම් තිහක් ද බාලේන්ද්‍රසිහ ඇතුළු කණ්ඩායම සොයා ගත්තෝය.   


 මීට අමතරව ප්‍රෙඩ් වාසය කළ නිවස වටලා අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැලබගේ ප්‍රේමසිරි මහතාගේ ඝාතනය සමයේදී එවකට සිටි අම්බලන්ගොඩ පොලිස් ප්‍රධානියකු සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රධානියකු එක්ව එම ඝාතනයේ සැකකරුවකු ඝාතනය කිරීමට ගොස් සාකච්ඡාවක් ලියැවී පළවී තිබූ එක්තරා පුවත්පතක එම ලිපියෙහි පමණක් අඩංගු පිටු 178ක්ද අපරාධයන් සිදු කිරීමට පමණක්ම වෙන්වූ ජංගම දුරකථන හතරක්ද බාලේන්ද්‍රසිහ ඇතුළු කණ්ඩායම සොයා ගත්හ.   


 ප්‍රකට පාතාල නායක කොස්ගොඩ සුජිගේ මේ ප්‍රධාන ගෝලයා වන ප්‍රෙඩ් ළග තිබී ගංජා කිලෝග්‍රෑම් දෙකක් ටී පනස්හයේ ගිනිඅවිය ඊට දැමිය හැකි පතුරම් තිහ යතුරු පැදිය ඇතුළු බඩු භාණ්ඩ වැටලීමේ මෙහෙයුම ඇල්පිටිය පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය දිස්ත්‍රික් අංක එක භාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය නීති සවිබල ගැන්වීමේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. බාලෙන්ද්‍රසිහ, පොලිස් සැරයන් ජයතිලක (31918) පොලිස් කොස්තාපල්වරුන් වන කුමාර (44741) ධම්මික (59617 ), සොයිසා (5182)තරංග (72995) ජයමාන්න (39639 ) යන නිලධාරීන් විසින් මෙම වැටලීම කර සොයා ගැනිණි. 

 

 

 

 

 

 

 

 

 
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත