කොල්ලුපිටියේදී වෙඩි කා අපවත් වූ දඹරාවේ හාමුදුරුවෝ


සිහිවටනයක පසුබ්ම් කතාව

 

ගාලු පාරේ කොල්ලුපිටිය පසුකර ගෝල්ෆේස් දෙසට බස් රථයක් ගමන් කරන විට කොන්දොස්තර කොලුවා ලියාගත් පිටපතක් මෙන් මෙවැන්නක් කියනු ඔබ ද අසා ඇතුවාට සැක නැත.   


“ඔය හාමුදුරුවන්ගේ සොහොන් කොත, අරලියගහ මන්දිරය ගාව හෙම කවුරුත් බහින්න ඉන්න එපා. ගෝල්ෆේස් බහින අය එන්ඩ ඉස්සරහට....ට..ට.”   


ඇත්තටම ප්‍රශ්නයක් වන්නේ භෂ්මාවශේෂ තැන්පත් කොට තැනුණු සොහොන් කොතක් ගාලු පාරේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනය අසල ලොතරැයි මණ්ඩලයට යන පාර ආරම්භයේ තිබේද යන පැනයයි. එම ස්ථානයේ ඇත්තෙන්ම සිහිවටනයක් තනා ඇත්තේ පූජ්‍ය දඹරාවේ රතනසාර හිමියන් සිහිවනු පිණිසය. එම ස්මාරකයේ මෙසේ සඳහන්ය.   


‘රාජ්‍ය භාෂා පනත ක්‍රියාත්මක වීම අකර්මණ්‍ය වන පරිද්දෙන් වර්ෂ 1966ක් වූ ජනවාරි මස 08 වන දින ඉදිරිපත් කරන්නට යෙදුණු රෙගුලාසි මාලාවට විරෝධය පාමින් මහා සංඝරත්නය පෙරමුණ ගත් සාමකාමි පෙරහරට රජය විසින් එදින වෙඩි තැබීමට යෙදුන අවස්ථාවේදී මෙතැනදී අපවත් වුණු පූජ්‍ය දඹරාවේ රතනසාර ස්වාමීන් වහන්සේ සිහිකරනු වස් මහජනතාව හා රජය විසින් ඉදිකරන ලද මෙම ස්මාරකය ශ්‍රීමත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කොළඹ මහ නගර සභාව මගින් නවීකරණය කර 2011 දෙසැම්බර් 20 දින නිරාවරණය කරන ලදී.”   


දඹරාවේ හෙවත් දඹරාවේ රතනසාර හිමියන් යනු කවරෙක්දැයි අද දන්නේ කීයෙන් කී දෙනාද? උන්වහන්සේ මෙම ස්ථානයේදී ඝාතනයට ලක්වී දැනට වසර 52ක් ගතවී තිබේ. මෙම සිහිවටනය ගැනම මීට වසර 29කට පෙර 1989 දෙසැම්බර් 11 වැනිදා රිවිරැස පත්‍රයේ ‘දඹරාවේ හිමිගේ සිහිවටනයට ගිය කලක්’ මැයෙන් පුවත්පතේ පළකොට ඇත්තේ මෙම සිහිවටනය වටා ලී කොටන් ගොඩ ගැසූ පිංතූරයක් ද සමඟය. ඡායාරූප ශිල්පියා ඇල්ෆ්‍රඩ් සිල්වා ය.   


සිංහල භාෂා විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 1966 ජනවාරි 8 දා ඊට විරෝධය දක්වමින් භාෂා ප්‍රේමීන් ජාති හිතෛෂීන් දැක්වූ විරෝධතා පෙළපාළියට වෙඩි තැබීමේදී දඹරාවේ රතනසාර හිමියෝ අපවත් වූහ. ‘ජාතිය වෙනුවෙන් දිවි පිදූ’ රතනසාර හිමියන්ට ගෞරව දැක්වීමට එදා රැස්වීම් පින්කම් පැවැත්වූහ. ගුණසමරු පැවැත්වූහ. 1971 ජනවාරි 8 වෙනිදා දඹරාවේ හිමි සමරා මහා අනුස්මරණ උත්සවයක් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලැබීය.   


කොල්ලුපිටියේ ගාලු පාරේ සිහිවටන කුලුනක් ද ඉදිකරන ලදී. ඒත් දැන් දම්බරාවේ හිමියන් අමතකව ගියා සේය. පින්කම් සමරු උත්සව ද නැත. සිහිකර දානයක්වත් දෙන්නන් ඇද්දැයි අපි නොදනිමු. මේ දම්බරාවේ හිමි සිහිවටන කුලුනට ඇති සැලකිල්ලය. අවට ලී කොටන් දමා පුරවා ඇත. අලුත් පිට වහලෙත් ගොම ගානවා යැයි කියන කතාව නම් අපූරුවට කැපී පෙනේ. එදා මැතිවරණ රැස්වීම්වල දම්බරාවේ හිමි ගැන කියැවිණි. මැතිවරණ ප්‍රයෝජනයටවත් අද එ් නම කියැවෙනු අසන්නට නැත.   


මෙතැන කියවෙන දඹරාවේ රතනසාර හිමියන්ගේ ජීවන තොරතුරු සොයා ගිය අපට පෙනී ගියේ උන්වහන්සේ අපවත් වී ඇත්තේ වයස අවුරුදු 20 දී බවය. මහනුවර අන්තිම රාජධානිය ලෙස සැලකෙන්නේ උඩුදුම්බර දඹරාවයි. රතනසාර හිමියන්ගේ පියා දෙනියේගෙදර මුදියන්සේ වන අතර මව වූයේ කොටුවේගෙදර ඩිංගි මැණිකේ ය. උන්වහන්සේගේ ගිහි නම ලෙස සඳහන් වන්නේ ඩී.ජී. විජේනායක ය.   


රතනසාර හිමි උපන්නේ 1946 නොවැම්බර් 06 වැනි දින වන අතර උන්වහන්සේ වැඩසිටියා නම් අද වයස 72 කි. රතනසාර හිමියන් යන්තම් වයස 16 දී පැවිදි බිමට පිළිපන්නේ 1962 ජනවාරි 16 වැනිදාය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කුලපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාරභිධාන නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් දඹරාවේ රතනසාර නමින් පැවිදි බිමට පත්විය.   


‘හත් හවුල’ මෙරට දේශපාලන ඉතිහාසය තුළ තවමත් හොල්මන් කරන වචන දෙකකි. මේ හත් හවුල 1965 මාර්තු 23 වැනිදා ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර එහි නායකත්වය ඉසිලූ ඩඩ්ලි සේනානායක මහතාට අග්‍රාමාත්‍ය ධුරය හිමි විය. මෙම ‘හත් හවුලේ’ අනෙක් හවුල්කාර පක්ෂ හය වූයේ පොන්නම්බලම්ගේ නායකත්වය හිමි ලංකා දෙමළ සංගමය, චෙල්වනායගම්ගේ නායකත්වයෙන් යුත් පෙඩරල් පක්ෂය, පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ, රාජරත්නගේ ජාතික විමුක්ති පෙරමුණ, සී.පී. ද සිල්වාගේ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය යුතු පක්ෂ බලවේගයයි.   


හත් හවුල් ආණ්ඩුව නමෝවිත්තියෙන් සිදුකළ කාර්යය ලෙස ගැනෙන්නේ සතිඅන්ත නිවාඩු හතර ලෙස හතර පෝය යෙදී ඇති දිනවල් ප්‍රකාශයට පත් කිරීමයි. මෙම පෝය නිවාඩුව 1966 ජනවාරි 01 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ අතර ඊට දින 7කට පසු ජනවාරි 8 වැනි දින බණ්ඩාරනායක මහතාගේ ඡන්ම දිනයේදී දෙමළ ජනතාවට විශේෂයෙන් බලපාන පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.  


එම පනතේ වූ කරුණු කීපයක් ගැන මෙරට විසූ ජනප්‍රියතම යතුරුලියන හා ලඝුලේඛක ගුරුවරයකු වූ ලොරන්ස් පෙරේරා නොහොත් ඇල්.ඇල්. පෙරේරා (ලඝුලේඛක පෙරේරා) තම ලිපියක සඳහන් කොට තිබුණේ මෙසේය.  
“රාජ්‍ය භාෂාවන් ලෙස සිංහල හා දෙමළ භාවිතයට ප්‍රධාන බාධකය වුණේ සිංහලයෙන් හා දෙමළෙන් සටහන් තැබීමට ටයිප්රයිටර් සහ ෂෝට්හෑන්ඩ් ක්‍රමයක් නොවීමය. පාර්ලිමේන්තුවේදී සිංහලයෙන් හා දෙමළෙන් කතා කිරීමේ වරප්‍රසාදය ලැබුණේ මේ බාධකය ඉවත් වූ පසුවය. පාර්ලිමේන්තුවට ගෙනා පනතින් උතුරු නැගෙනහිර රාජ්‍ය ආයතනවල කටයුතු සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකළ යුතු බවත් දෙමළ භාෂාවෙන් රාජ්‍ය ආයතනයකට ලැබුණ ලිපියකට දෙමළෙන් පිළිතුරු ලබා දිය යුතු බවත් උතුරු නැගෙනහිර පළාත්වල අධිකරණ කටයුතු දෙමළ භාෂාවෙන් ද සිදුකළ යුතුය යන කරුණු සහ උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාස ඇතිකිරීම නවතා දැමීම යුතු බව ආදී කරුණු අඩංගු විය. මේ කොන්දේසි අඩංගු පනත ‘රට සභා පනත’ නමින් හඳුන්වන ලදී.  

 

අගමැතිවරයා සහ පෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් මහතා අතර ඇතිවූ මේ එකඟතාව ගැන රටපුරා විරෝධයක් එල්ල වන්නට වී ඇත්තේ ළැව්ගින්නක් මෙනි.  


1966 ජනවාරි 08 වැනි දින රටපුරා රාජ්‍ය අංශයේ මහා වැඩවර්ජනයක් සංවිධානය කෙරෙන්නට කටයුතු සූදානම් විය. ‘හත් හවුල’ ආණ්ඩුව කළේ වහාම හදිසි නීතිය පනවා අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කිරීමය. වහාම රජයේ සේවක නිවාඩු අවලංගු කරන ලදී. සේවයට නොපැමිණෙන රජයේ සේවකයන් රාජ්‍ය සේවයෙන් නෙරපා හරින ලද අතර ප්‍රවෘත්ති පාලනයක් ද පනවන ලදී.  


වාමාංශික පුවත්පත් මෙන්ම ජාතික පුවත්පත් ද ‘හත් හවුල’ ආණ්ඩුවට බැට දෙන්නට විය. රජයේ ප්‍රවෘත්ති පාලනය ඊට මහත් බාධකයක් විය. මේ ගැන අසූව දශකයේදී මෙරට ප්‍රකට සන්නිවේදන විශාරදයකු හා දේශපාලනඥයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා ASIA WEEK සඟරාවට ප්‍රකාශකයක් දී තිබුණේ ලංකාවේ නැවතත් ප්‍රවෘත්ති පාලනයක් ඇරඹි අවස්ථාවකය. සාකච්ඡාව මෙහෙයවා තිබුණේ ගුණදාස ලියනගේ මහතාය.
“ප්‍රවෘත්ති පාලනයේදී මම අනුමත කළ වචන දෙකක් ගැන ඩඩ්ලි මගෙන් නිදහසට කරුණු විමසුවා. මං අනුමත කළේ ‘කාලකන්නි යූඇන්පීය’ කියන වචන දෙක. අනුමත කරන්න හේතුව කිව්වාම ඩඩ්ලිත් හිනාවෙලා නිකං හිටියා.”  


1966 ජනවාරි 08 වැනිදා විරෝධතාකරුවන් රැස්වී ඇත්තේ විහාරමහා දේවි උද්‍යානයටය. සිරිමාවෝ බණ්ඩාරනායක, ඇන්. ඇම්. පෙරේරා, ඩී. ඒ. රාජපක්ෂ, මෛත්‍රීපාල සේනානායක, ටී. බී. ඉලංගරත්න ආදීන් මෙම විරෝධතාවයට එක්වූ බව එකල පුවත්පත් වාර්තාකොට තිබුණි.  


එහෙත් ඊට වසර 47කට පසු ජාතික පුවත්පතකට ලිපියක් සම්පාදනය කළ සුනිල් කුලරත්න මහතා සඳහන් කොට ඇත්තේ එම උද්ඝෝෂණයට සහ රැලියට රෝහණ වි​ෙජ්වීර මහතා ද එක්වී සිටි බවය. රැස්වීමේ සිටි පිරිස දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත තුළින් රට දෙකඩ වන බැවින් ඩඩ්ලි - චෙල්වනායගම් ද්‍රෝහී පිළිවෙතට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින බවට ප්‍රතිඥා දුන් බවට එවකට පෞද්ගලික අංශයේ පුවත්පතක් වූ ‘දිනමිණ’ වාර්තා කොට ඇත.  


දෙමළ භාෂා පනත හකුළා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාට බලකරන අත්සන් ලක්ෂයක පෙත්සමක් මෙහිදී අත්සන් තැබුණු අතර එය අග්‍රාමාත්‍යවරයාට භාර දීමේ පෙළපාළිය ආරම්භ වී ඇත්තේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේය.  


මෙම පෙළපාළිය ගැන තොරතුරු දත් බොහෝ දෙනා කියා සිටියේ එය බෞද්ධ පෙරහරක සිරිගත් බවය.  


එහෙත් කොල්ලුපිටිය පසුකර අරලියගහ මැදුරට ළඟාවෙනවාත් සමඟම පාරේ මාර්ග බාධක දමා තිබුණේ ගිනිඅවි අතින් ගත් හමුදා පිරිස්ය. පෙරහරේ සංවිධායකයන්ට එය විසුරුවා හරින ලෙස මාර්ග බාධක ලූ හමුදා ප්‍රධානියා දැනුම් දුන් විට පෙරහරේ පැමිණ සිටි පිරිස් කළේ මහපාරේ වාඩි වී තම විරෝධතාවය දැක්වීමය.  


නමුත් හදිසියේ දැවැන්ත රියක් ගාලු පාරේ හිඳගෙන හුන් පිරිස මතින් ගමන් කළ නිසා රථයට යටවූ පිරිස් මරණාසන්න තුවාල ලැබූහ. නිරායුධ පිරිසට කඳුළුගෑස් ප්‍රහාර මෙන්ම වෙඩි තැබීම් ද සිදුවීම නිසා කොල්ලුපිටිය එකම යුද පිටියක සිරිගත් බව එදා පුවත්පත් වාර්තා කොට තිබුණි.  


මෙම සිදුවීම බොහෝ පුවත්පත් වාර්තා කොට තිබුණේ භික්ෂූන් වහන්සේට පොලිසිය ‘බැටන් චාර්ජ්’ කළ මුල්ම අවස්ථාව ලෙසය. බිම වැටුණ භික්ෂූන්ට පවා ‘බැටන් චාජ්’ වළඳවන්නට තරම් පොලිසිය මානුෂික වූ සේය.  


 පෙරහරේ ගමන්ගත් සාමකාමී ජනතාව මරළතෝනි දෙද්දී පොලිසිය පිරිස් ආදරණීය ලෙස ඔවුන් පලවා හැරීමට ජීවඋණ්ඩ භාවිතය ආරම්භ කරන ලදී. මුළු ප්‍රදේශයම වෙඩි හඬින් ගිගුම් දෙත්දී තව පිරිසක් බිම වැටී තුවාල වී මරළතෝනි දෙත්දී, එල්ල කරන ලද වෙඩි උණ්ඩයක කොටසක් වැදී දඹරාවේ රතනසාර හිමියන් අපවත් වූයේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයට තවත් ‘කළු තිතක්’ එක්කරමිනි.  


පෝය දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට සමස්ත බෞද්ධ ජනතාවගේම අනභිභවනීය ආදරයට පත් ඩඩ්ලිගේ ‘හත් හවුල’ ආණ්ඩුව දින 7ක් යන්නට මත්තෙන් බෞද්ධයන්ගේ කෝපයට මෙන්ම වෛරයට ලක්වුණේ 20 හැවිරිදි භික්ෂුවක් මහ මඟ අමු අමුවේ මරා දැමීම නිසායි.  


මේ ගැන එදා පුවත්පත් වාර්තා කොට තිබුණේ මෙසේය.  


“රටේ ‘මුර දේවතාවන් වූ’ ආරක්ෂක භටයින් මැස්සන්ට මදුරු තෙල් ගසන්නාක් මෙන් භාෂා ප්‍රේමීන්ට ද කඳුළු ගෑස් ඉසීය. ඉන් අනතුරුව කුලු පොලුවලින් ඇරඹූ මිනිස් සංහාරයට තුවක්කු බයිනෙත්තු ද එක් විය.  
‘අම්මෝ... අයියෝ... අප්පේ... මගේ ඇස්’ යනාදී වශයෙන් භාෂා ප්‍රේමීන් මොර දෙද්දී ‘පලයව්, දුවපියව්, පලයව්’ ආරක්ෂක භටයින්ගේ පිළිතුර විය. ඒ අස්සේම ගාලු මුවදොර මහ මුහුදේ ගල් පරවල හැපී රළ බිඳෙන ශබ්දය ද මැඩ පවත්වන අයුරින් කන් බිහිරි කරවමින් තුවක්කු බයිනෙත්තු, රයිපල්, පිස්තෝලවල ඩිං ඩෝං, චටස්, පටස් නාදයෙන් මුළු ප්‍රදේශයම ගිගුම් දුණි.  


‘ගත වූයේ මොහොතකි. කොළඹ කලබල, ගාලු පාරෙ වෙඩි තියල. බර ගණනක් මැරිල. හාමුදුරු නමකටත් ආණ්ඩුවෙන් වෙඩි තියල. සිය දහස් ගණනකට තුවාල වෙලා. හුඟ දෙනෙකුගේ අත් කකුල් නැහැ.’ මෙවැනි ආරංචි කොල්ලුපිටිය, ගාලු මුවදොර පමණක් නොව, කොළඹ නගරය පුරාමත් අවට ප්‍රදේශවලත් පැතිර ගියේය. මැති සබයේද මෙම ඛේදවාචකය රැව් පිළිරැව් දුණි.  


කොළඹ කැලඹුණි, ඇඳිරි නීතිය පැනවුණි. කොළඹ දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පනවා ඇත. මෙය විනාඩි පහෙන් පහට ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණි.  


පුවත්පත්වල වාර්තා අනුව පෙනී යන්නේ 1970 මැයි 27 වැනිදා ආණ්ඩුවක් පිහිටුවන්නට රතනසාර හිමියන්ගේ නාමය මහත් පිටුවහලක් වී ඇති බවය. රතනසාර හිමියන්ගේ පියා 1973.1.9 දින ‘දවස’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ‘‘තමන්ව දේශපාලන වේදිකාවල ප්‍රදර්ශන භාණ්ඩයක් කළ බවත් ආණ්ඩුව පිහිට වූ පසු ආණ්ඩුව තමන්ට කොකා පෙන්වූ බව’’ත්ය.  


මෙන්න රතනසාර හිමියන්ගේ පියාගේ ප්‍රකාශය ඒ අයුරින්ම!  


“ඒ ආපු හැම මහත්තයෙක්ම අපට කිව්වේ බලයට පත් වුණාම බොහොම උදව් කරනවා කියලයි. ඡන්දෙට ඉස්සරවෙලා මාස දෙක තුනේම හැමදාම වගේ කවුරු හරි මහත්තයෙක් අපේ ගෙදරට ඇවිත් මාව දේශපාලන රැස්වීමකට එක්කර ගෙන යනවා. ලොකු බලාපොරොත්තු ඇතිව මමත් මගේ පවුලේ අයත් ඒ මහත්තුරු කියන කියන විදියට අතේ තිබුණු මුදල් පවා වියදම් කරගෙන මේ ආණ්ඩුව බලයට පත් කරන්න පුළුවන් විදියෙන් කටයුතු කළා. මේ කුණ්ඩසාලේ ආසනයේ මම නොගිය ඡන්ද රැස්වීමක් නැහැ. නමුත් මොනවා කරන්නද, අපේ පවුලට උදව් කරන්න හිටි පොඩි හාමුදුරුවො වෙනුවෙන් අපි ඒ කටයුතු කළා”යි ඔහු ඉකිබිඳිමින් හැඬීය.  
රතනසාර හිමියන්​ෙග් පියා පවසා ඇත්තේ තමන් මෙම ස්මාරකය දැක නැති බවය. 1966 ජනවාරි 09 වැනි දින පාර්ලිමේන්තුවේ කතාකළ හබරාදූව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මහතා කතාකොට ඇත්තේ දඹරාවේ රතනසාර හිමියන්ගේ ලේ ගෑවුණු සිවුරත් අතැතිවය.  


 මේ සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ කතාකොට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා අද වයස අවුරුදු 100කට ආසන්නව එංගලන්ත​ෙය් වෙසෙන ප්‍රින්ස් ගුණසේකර මහතා ය.  


ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට ඇත්තේ තම රජය වෙඩි තබන්නට නියෝග කරන්නේ අත්‍යවශ්‍ය වුවහොත් පමණක් බවය. 1966 ජනවාරි 9 වැනි දින ‘ඩේලිනිව්ස්’ පුවත්පත වාර්තා කොට ඇත්තේ මෙතෝදිස්ත විද්‍යාලයීය භූමියේදී හිමිනමක් ඝාතනය නොවූ බවට ෆෙඩ් සිල්වා පියතුමා සඳහන් කළ බවය. උන්වහන්සේ එවකට මෙතෝදිස්ත විද්‍යාලයේ ප්‍රධානියා බව ද ප්‍රවෘත්තිය අනුව පෙනී යයි. තවත් ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කොට ඇත්තේ රතනසාර හිමියන් ඝාතනයට ලක්වුණේ Marshall Preparatory School භූමියේ බවය.  


 ඔබත් දැන් කොල්ලුපිටිය හන්දිය පසුකොට මේ දඹරාවේ රතනසාර හිමියන්ගේ ස්මාරකය පසුකර යනවිට මෙසේ සිතිය හැකිය.  


“මේ සුද්දන්ගේ කාලයෙන් පසු පොඩි හාමුදුරු නමක් ඉස්සෙල්ලම වෙඩි තියල මරපු තැන මෙන්න” යයි ඔබට ද භාෂා ප්‍රේමියකු සහ දේශප්‍රේමියකු ලෙස ස්මරණය කළ හැකි වනු නියතය.  

 

 

 

 


සටහන :
වජිර ලියනගේ  
ඡායාරූප :
ඇලෙක්සැන්ඩර් බාලසූරිය