කොරෝනා රෝගයෙන් බලවත් රටවල් තවමත් හෙල්ලිලා


 

 

  • ලොව පුරා රෝගීන් ලක්ෂ පනහ පනියි   
  • බීසීජී එන්නත ලබා දෙන රටවල රෝගීන් හා මරණ අඩු බවට මතයක් 

 

 

 

ගෝලීය වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අසන්න ලැබෙන්නේත් ලිවීමට ඇත්තේත් සුබවාදී පුවත් නොවෙයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ඇති එකම සැනසිල්ල නම්, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කළ කැපවීමෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවීමය. එසේ වුවත්, ‘කොවිඩ් 19’ අදිසි මාරයාගෙන් එල්ල වෙන තර්ජනය තවමත් අවසන් නැත. අප ඒ ගැන කල්පනාකාරී විය යුතුය. නිවසින් බැහැරව යද්දී මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය එසේත් නැතිනම් ශාරීරික දුරස්ථභාවයට සහ පිරිසුදුකම වයිරසයෙන් අප මුදවා ගනු ඇත. 


‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගැන මුලින්ම අසන්නට ලැබෙන්නේ චීනයෙනි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. චීනය තුළ වයිරසය ව්‍යාප්තවීම පාලනය කර ගැනීමට එරට රජයේ දළදඬු නීතිරීති උපකාරී විය. එසේ වුවත් තවමත් චීනයේ තැනින් තැනින් ආසාදිතයන් මතුවෙයි. එසේ ආසාදිතයන් හමුවීමත් සමඟ ලක්ෂ 7 කට වැඩි ජනගහනයක් වෙසෙන ෂුලාන් නමැති නගරය ලොක්ඩවුන් කිරීමට බලධාරීහු පසුගිය දා පියවර ගත්හ. චීනයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82,965 කි. එයින් 78,244 ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මරණ වාර්තා වන්නේ 4,634 ක් ලෙසය. 


මේ වනවිට ලොව පුරා ‘කොවිඩ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 5,000,000 පසු කර ඇති අතර මරණ වාර්තා වන්නේ 3,24,000 ක් ලෙසය. චීනයෙන් ඇරැඹුණු වයිරසයෙන් මේ වනවිට වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ඇමෙරිකාවටය. ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් දෝෂාරෝපණයට ලක් වන්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. වයිරසයට එන්නතක් තිබුණත් නැතත් කඩිනමින් ලොක්ඩවුන් කළ රට විවෘත කරන බව ජනපති ට්‍රම්ප් පවසා ඇත. ඒ, සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස්වලට විරුද්ධ වෙමිනි. ඇමෙරිකාවේ ජනපද අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ නිව්යෝක් නුවර අයත් නිව්යෝක් ජනපදයෙනි. යුරෝපා රටවල් වන ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ මරණ සහ ආසාදිතයන් මේ වනවිට අඩු වී ඇත. දෙවැනිට ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වන්නේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 2,99,941 කි. රුසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 28,558 කි. 


ඇමෙරිකාවේ ආසාදිතයන් පහළොස් ලක්ෂය ද ඉක්ම වීය. මරණ ගණන අනූ දහස ඉක්මවූයේ ඉකුත් බදාදාය. 
තෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි. ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලය ඉතාලිය සහ ස්පාඤ්ඤය අභිබවා ගොස් අවසන්ය. ‘කොවිඩ් 19’ වයිරසය බ්‍රසීලයට දරුණු ලෙස බලපෑම් එල්ල කළේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අඩිපාරේ යන්නකු යැයි ප්‍රසිද්ධ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, වයිරසය අවතක්සේරු කළ බැවින් යැයි විපක්ෂය චෝදනා කරයි. ජනපතිවරයා සමඟ පැවැති මත ගැටුම් හේතුවෙන් බ්‍රසීල සෞඛ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් ධුරයෙන් ඉල්ලා අස් වූහ. තවමත් බ්‍රසීල සෞඛ්‍ය ඇමැති ධුරය හිස් ය. විපක්ෂය බලපෑම් එල්ල කරන්නේ රට ලොක්ඩවුන් කර වයිරස ව්‍යාප්තිය පාලනය කරන ලෙසය. ජනපතිවරයා ඊට විරෝධය පළ කරයි. ‘රට ලොක් ඩවුන් කරන්න එපා’ යැයි කියමින් බ්‍රසීල රජයට පක්ෂව පැවැති රැලියකට ජනපති බොල්සරානෝ සහභාගී විය. ඒ මුහුණු ආවරණයක්ද පලඳින්නේ නැතිවය. එම අවස්ථාවේදී, බොල්සරානෝ ට කැස්සක් ද තිබුණි. ඒ අනුව ඔහුට කොරෝනාදැයි සැකයක් මතු විය. 


යුරෝපා රටවල් අතරින් වයිරසයේ වැඩිම බලපෑමට ලක්වී ඇත්තේ මහා බ්‍රිතාන්‍යයයි. මහා බ්‍රිතාන්‍යයේ ආසාදිතයන් සංඛ්‍යාව 2,50,138 කි. ආසාදිතයන් සංඛ්‍යාව අනුව සිවුවැනි ස්ථානයට පත් වී ඇත්තේ මහා බ්‍රිතාන්‍යයි. විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් ද එල්ල වන බලපෑම් සැලකිල්ලට ගනිමින්, ලොක්ඩවුන් කළ බ්‍රිතාන්‍යය යළි විවෘත කිරීමට අගමැති බොරිස් ජොන්සන් සැරැසෙයි. ‘අට අරින්නේ මෙහෙමයි’ යනුවෙන් අගමැති ජොන්සන් සිය සැලැස්ම ඉදිරිපත් කළේ සෞඛ්‍ය අංශ දුන් උපදෙස් අනුවය. ජාතිය අමතමින් අගමැතිවරයා එය පැහැදිලි කළත් ජනතාවට එය අපහැදිලි විය. ඒ අනුව, යළිත් ජාතිය අමතමින් එය පැහැදිලි කිරීමට අගමැති ජොන්සන්ට සිදුවිය. පාසල් ද යළි ආරම්භ කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වෙයි. ඒත් මාපියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී ඇත. ලොක්ඩවුන් තහංචි ලිහිල් කළ ප්‍රංශය පසුගිය දා අදියර කීපයක් යටතේ පාසල් විවෘත කළේය. ‘කොවිඩ් 19’ සමඟ බටහිර රටවල දරුවන් අතරේ ‘කවසාකි’ නමැති රෝගී තත්ත්වය පැතිරේ. යළි පාසල් විවෘත කිරීමෙන් පසු ප්‍රංශ පාසලකින් ‘කවසාකි’ රෝගය වැලඳුණු දරුවන් ගැන පුවත් වාර්තා විය. 

 

 

ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය වැනි ධනවත් බටහිර රටවලට මෙන් නොව දිළිඳු ආසියානු රටවලට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වන බලපෑම අඩුවීම සම්බන්ධයෙන් විද්‍යාඥයෝ සහ මහජන සෞඛ්‍ය බලධාරීහු මවිතය පළ කරති. ඇතැම් වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ. උපන්න හැටියේ, රෝහලෙන් පිටවීමට පෙර ලබා දෙන එන්නත වන්නේ බී.සී.ජී. එන්නතය. බී.සී.ජී එන්නත ලබා දෙන්නේ අලුත උපදින පොඩිත්තන් ක්ෂය රෝගයෙන් සහ ලාදුරු රෝගයෙන් ආරක්ෂා කිරීමටය. එසේත් නැතිනම් සිරුරේ ඒ වෙනුවෙන් ප්‍රතිශක්තියක් නිපදවීමටය. අප ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පමණක් නොව තවත් රටවල් බොහොමයක මෙම එන්නත අනිවාර්ය වෙයි. කෙසේ නමුත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන අන්දමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල බී.සී.ජී. එන්නත අනිවාර්ය නොවෙයි. උපන් හැටියේ පොඩිත්තන්ට එන්නත ලබා දීමක් සිදු නොවෙයි. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස විෂබීජ පෙණහලු ආසාදනය කරයි. ආසියානු රටවල බහුතරයකට බී.සී.ජී. එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය නිසා ‘කොවිඩ් 19’ වයිරසයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇතැයි අනුමානයක් පවතී. මෙය හුදෙක් අනුමානයක් පමණක් වෙන අතර වෛද්‍ය පර්‌යේෂකයන් මේ බව තහවුරු කර නැත. 
මේ වනවිට අප අසල්වැසි ඉන්දියාව ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතින් චීනය පසු කර ඇත. ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොසිනි. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත, ප්‍රාන්ත මට්ටමින් ‘කොවිඩ් 19’ පාලනය කර ගැනිමට සමත් වී ඇත. ඒ අතරින් කේරළය කැපී පෙනෙයි. ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවූයේ ද කේරළයෙනි. වයිරස ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ මුම්බායි, චෙන්නායි, දිල්ලි ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍රකොට ගනිමිනි. ‘කොවිඩ් 19’ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අත්හදා බලන්නැයි ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපදෙස් දී ඇත. වයිරස ව්‍යාප්තිය අඩුවී ඇති ප්‍රාන්තවල නිරෝධායන නීති සහ ලොක්ඩවුන් ක්‍රියාවලිය ලිහිල් කර ඇත. වයිරස ව්‍යාප්තිය වැඩි ප්‍රාන්ත සඳහා මෙම මැයි 31 වැනිදා තෙක් තහංචි ක්‍රියාත්මක වන බව පැවැසෙයි. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට නව නීති හඳුන්වා දෙමින්, කුවේට් සහ කටාර් රාජ්‍ය මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ. මුහුණු ආවරණ නොමැතිව නිවසින් පිටතට යන්නේ නම් එය සිරදඬුවම් ලැබිය හැකි වරදකි. මේ අතර, ආසියානු කලාපයට අයත් රටවල් වන නේපාලය, වියට්නාමය සහ තායිවානයෙන් ද ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඉතා අඩුවෙනි. ඊට හේතුව එම රටවල් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අනුගමනය කළ සාර්ථක වැඩපිළිවෙළ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව එන්නත් නිපදවීමට ලෝකයේ රටවල් රැසක් පෙරමුණ ගෙන කටයුතු කරන බව පැවැසෙයි. කෙසේ නමුත් එන්නතක් නිපදවීමට තව මාස කිහිපයක් ගත වනු ඇත. 


මේ අතර, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වන තර්ජන අවසන් වූ පසු වයිරසයේ ආරම්භය සහ එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවත්වන ඕනෑම ආකාරයේ විමර්ශනයක් සඳහා අවසර දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. ඊට හේතුව ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක් චීනයට චෝදනා එල්ල කිරීමය. මෙම චෝදනා සම්බන්ධයෙන් චීනය සහ ඇමෙරිකාව අතරේත්, චීනය සහ ඕස්ට්‍රේලියාව අතරේත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අර්බුද පවතී. ආසියාවේ විශාලතම වයිරස ගබඩාව යන නමින් ද හැඳින්වෙන චීන රජයට අයත් වයිරස රසායනාගාරය පිහිටා ඇත්තේ ද වූහාන් නගරයේය. වයිරසය මෙම රසායනාගාරය තුළ කෘත්‍රිමව නිපදවන්න ඇති බවත් එය හිතාමතා හෝ අත්වැරැදීමකින් හෝ සමාජයට මුදා හැරුණු බවත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක බුද්ධි අංශ චෝදනා කර තිබේ. ඇමෙරිකා සහ ඕස්ට්‍රේලියා බුද්ධි අංශ ඒ අතරින් කැපී පෙනෙයි. 

 

 

ලුසිත ජයමාන්න (ඒ.එෆ්.පී. ඇසුරිනි)