කොරෝනා එන්න වසර 15කට කලින් ‘නගර වසා දමන වසංගතයක් ගැන’ ලියූ පොත


පොතේ නම ‘‘ලොක්ඩවුන්:

මනඃකල්පිත මිථ්‍යාවක් බව කියා ප්‍රකාශකයන් පොත මුද්‍රණය නොකර විසිකළා

 

ස්කොට්ලන්ත ජාතික පීටර් මේ, තිර රචකයෙකි. ජනප්‍රිය නවකතාකරුවෙකි. ත්‍රාසජනක නවකතා නිර්මාණකරුවකු ලෙස ජනප්‍රිය පීටර් මේ, ඇමෙරිකානු සහ ප්‍රංශ සාහිත්‍ය සම්මානවලින් ද පිදුම් ලැබූවෙකි. ‘බ්ලැක් හවුස්’, ‘ලුවිස් මෑන්’, ‘කොෆින් රෝඩ්’, ‘එන්ට්‍රි අයිලන්ඩ්’, ‘චෙස් මෙන්’, ‘මෑන් විත් නෝ නේම්’ යනු ඔහු විසින් ලියනු ලැබූ අතිශය ජනප්‍රිය නවකතා අතරින් කිහිපයකි.


පීටර් මේ, නවකතා රචනා කරන්නේ, 1980 දශකයේ සිට ය. 2005 දී පීටර්, ත්‍රාසය කුතුහලය පිරුණු නවකතාවක් රචනා කළේය. ඒ, එංගලන්තය පුරා පැතිරෙන වයිරස වසංගතයක් තේමා කර ගනිමිනි. නවකතාවේ පිටපත, එදා ඔහුගේ පොත් ප්‍රකාශන ආයතනයට යොමු කළේය. ඔහුගේ පොත් ප්‍රකාශකයා හෝ වෙනත් කිසිදු පොත් ප්‍රකාශකයකු හෝ එම පොත මුද්‍රණය කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත.
‘මේ මොකක්ද? මෙහෙම දේවල් ඇත්තට වෙන්නේ නැහැ. මේක යථාර්ථවාදී නවකතාවක් නොවෙයි. මේ වගේ කතා විකුණන්න බැහැ’ යනුවෙන් පීටර්ගේ පිටපත ප්‍රතික්ෂේප විය. පීටර්ගේ නව කතාවෙන් කියැවුණේ වයිරස වසංගතය හේතුවෙන් තම තමන්ගේ නිවෙස්වලට කොටුවුණු එංගලන්ත වැසියන් මුහුණ දෙන අත්දැකීම්ය. පීටර් සිය කතාව නම් කළේ ‘ලොක්ඩවුන්’ යනුවෙනි. ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් ‘ලොක්ඩවුන්’ වදන නිරන්තරයෙන් අද අපට අසන්න ලැබේ.


‘ලොක්ඩවුන්’ යනු වසංගත තත්ත්වයක් හේතුවෙන් කිසියම් නගරයක්, ගම්මානයක්, පළාතක්, ප්‍රදේශයක් හෝ රටක් අගුලු දැමීමය. එසේත් නැතිනම් වසා දැමීම ය. ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට පැනවූ ‘ලොක්ඩවුන්’ ක්‍රියාවලිය හේතුවෙන් ලොව පුරා මිලියනයකට වැඩි පිරිසක් නිවෙස්වලට කොටු වී සිටිති.
පීටර් ගෝලීය වසංගතයක් පාදක කර ගනිමින්, ‘ලොක්ඩවුන්’ නවකතාව රචනා කළේ මීට අවුරුදු 15 කට පෙරය. ‘කොවිඩ් 19’ වයිරසයත් සමඟ යථාර්ථවාදී නවකතාවක් නොවේ යැයි කී ඔහුගේ ‘ලොක්ඩවුන්’ නවකතාව අද යථාර්ථයක් වී තිබේ. එපමණක් නොවෙයි, වසර 15 කට පසු පීටර්ගේ ‘ලොක්ඩවුන්’ නවකතාව දැන් මුද්‍රණය කර අවසන්ය. මේ වනවිට එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති අතර, හොඳ අලෙවියක් ද වාර්තා කරන බව පැවැසෙයි.


‘ලොක්ඩවුන්’ නවකතාව වෙළෙඳපොළට නිකුත්වීමත් සමඟ ස්කොට්ලන්තයේ සිටින 68 හැවිරිදි පීටර් මේ, සම්මුඛ සාකච්ඡාවකට එක් කර ගැනීමට ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය සමත් විය. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේය.


පීටර්ගේ ‘ලොක්ඩවුන්’ නවකතාව ත්‍රාසය පිරි එකකි. ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ‘ලොක්ඩවුන්’ නවකතාවට අනුව, පීටර්ගේ ප්‍රබන්ධ වයිරස වසංගතය ඇරැඹෙන්නේ ලන්ඩන් නුවරනි. ‘ලොක්ඩවුන්’ නවකතාවට පාදක වන්නේ පීටර්ගේ සිතට නැගුණු සිතුවිල්ලකි. එය වෙනත් නකාවකතාවක හෝ චිත්‍රපටයක හෝ රූපවාහිනී කතා මාලාවක හෝ ‘කොපියක්’ නොවෙයි. කතාව යථාර්ථවාදී අයුරින් ඉදිරිපත් කිරීමට පීටර් හැකි සෑම උත්සාහයක්ම ගත්තේය. නවකතාව රචනා කරද්දී, තමන් 2002 වසරේ සිට බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකාවේත් වයිරස වසංගත සම්බන්ධයෙන් ලබා ගත් තොරතුරු සහ දත්ත පාදක කරගත් බව පීටර් මේ පැහැදිලි කර තිබේ.


‘මා මගේ නවකතාව ලියද්දී, විද්‍යාඥයන් නොයෙක් පර්​ෙ‌ය්ෂණ කරමින් සිටියා. ඒ, කුරුලු උණ වයිරසයක් ගෝලීය වසංගත තත්ත්වයක් වේවි යැයි අනාවැකි පළ කරමින්.’ යැයි පීටර් මේ, සී.එන්.එන්. පුවත් නාළිකාවට අදහස් දක්වමින් කියා සිටියේය. ‘ගෝලීය වයිරස වසංගතයක් කියන්නේ බිය ගෙන දෙන සිතුවිල්ලක්. එම සිතුවිල්ල පාඨකයාට දැනෙන්න සලස්වන්න ඕනෑ වුණා. වයිරස වසංගතයේ මූලාරම්භය ලන්ඩන් නුවරින් සිදුවුණොත් ? ලන්ඩන් වගේ මහා නගරයක් වසා දමන්න (ලොක්ඩවුන්) කරන්න සිදුවුණොත් ?’ යන සිතුවිල්ල අනුවයි මා පොත ලියුවේ’ යැයි පීටර් මේ සී.එන්.එන්. පුවත් නාළිකාවේ නිවේදිකාව සමඟ පැවැසුවේය.
කුරුලු උණ සහ කොරෝනා වයිරස යනු එකිනෙකට වෙනස් වයිරස වර්ග දෙකකි. කොරෝනා වයිරස සතුන්ගෙන් මිනිසුන්ට බෝ වී, පසුව මිනිසුන් අතරේ පැතිරේ. කොරෝනා වයිරස ක්ෂීරපායීන්ගෙන්, විශේෂයෙන් වවුලන්ගෙන් අතරමැදි සතකු හරහා මිනිසුන්ට බෝ වන බව පැවැසෙයි. අද අප කාටත් හිසරදයක් වුණු කොරෝනා වයිරසය වවුලන්ගෙන් මිනිසුන්ට බෝ වුණේ අතරමැදියකු හරහාය. මේ අතරමැදියා කබල්ලෑවා යැයි විශ්වාස කෙරේ. ‘ලොක්ඩවුන්’ පිටපත කියවා ප්‍රකාශන ආයතන එය ‘වැඩක් නැහැ’ යැයි කී පසු, පීටර් ඒ ගැන අමතක කර ඇත. ඔහු පිටපත ඉවත දැමුවේය. තමන් එවැනි නවකතා පිටපතක් ලියුවදැයි පවා පීටර් ට අමතක වී තිබුණි.


ලොක්ඩවුන්’ නවකතාවේ ලන්ඩන් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැතිර යන්නේ කුරුලු උණ වයිරසයකි. පීටර්ගේ මනඃකල්පිත වයිරසය ‘කොවිඩ් 19’ වයිරසයට සමාන නොවෙයි. කෙසේ නමුත්, රෝගී වන පුද්ගලයන් සහ රෝගී වුණැයි සැක කෙරන පුද්ගලයන් නිවෙස් තුළ නිරෝධායනයට යොමු කිරීම, ලන්ඩන් නුවර මුළුමනින්ම ලොක්ඩවුන් කිරීම ආදිය වර්තමානයේ ලන්ඩන් නුවර වැසියන්ට මුහුණ දීමට සිදුවී ඇති සියල්ලට සමානය. ඒ නිසා, වසර 15 කට පසු මුද්‍රණය වූ ‘ලොක්ඩවුන්’ නවකතාවට ඉහළ ඉල්ලුමක් ලැබී අවසන්ය.
‘කොවිඩ් 19’ වයිරසය චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරේවි යැයි අනතුරු ඇඟවුණේ ජනවාරියේ. ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ හමුවුණු පාඨකයකු එම අවස්ථාවේදී පීටර්ගෙන් ඉල්ලා සිටියේ, වයිරස වසංගතයක් ගැන හොඳ කතාවක් ලියන ලෙසටය. ‘මා මොහොතක් කල්පනා කළා. එතකොටයි මතක් වුණේ. මා එහෙම කතාවක් ලියුවා නේද? මා ඉක්මනින් මගේ වර්තමාන පොත් ප්‍රකාශකතුමාට අවුරුදු 15 කට කලින් ලියූ අත්පිටපත දුන්නා කියවන්න. ඔහු බොහොම උනන්දුවෙන්, එක රැයින් අත්පිටපත සම්පූර්ණයෙන් කියවා තිබුණා.


පසුදා උදේ ඔහු මට කතා කළා. පීටර්, මේක හරිම අපූරු කතාවක්. මා මේක දැන්ම මුද්‍රණය කරන්නවා ඔහු මට කීවා.’ ‘ලොක්ඩවුන්’ යන නමින් පීටර් මේගේ පොත මුද්‍රණය කෙරුණේ ඒ අනුවය. ඇමසන් යූකේ හරහාත් කින්ඩ්ල් හරහාත් පොත විකිණීම සිදුවිය. ලබන අප්‍රේල් 30 වැනිදා සිට ලොව පුරා ඕනෑම අයකුට පොත මිලදී ගැනීම කළ හැකිය. මේ වනවිටත්, පෙර ඇණවුම් රැසක් ලැබී ඇතැයි ද පීටර් කියයි.


‘මට දැන් අවුරුදු 68 යි. කොවිඩ් 19 කොරෝනා වයිරසයට අනුව, මා ඉන්නේ අවදානම් තත්ත්වයක. අවුරුදු 15 කට කලින් මා පොතක් ලියුවා. එදා කාටත් ඒක විහිළුවක්. ඒත් අද ඒ පොත මුද්‍රණය වෙලා. හොඳ ඉල්ලුමක් තියෙනවා. මුද්‍රණය වීමෙන් පසු මට ලැබුණු පිටපත මා ආපසු මුල ඉදලා ආපසු කියෙව්වා. මට මා ගැන පුදුමයි. මගේ සිතුවිලි හරියටම හරි. ලොක්ඩවුන් ක්‍රියාවලියකදී සිදුවන්නේ මොකක්ද? මිනිසුන්ගේ කායික මෙන්ම මානසික පීඩනය ආදිය මා අපූරුවට විග්‍රහ කර තිබෙනවා. මා ලියු දේවල් කොතරම් නිවැරදි ද කියනවා නම්, මගේ පොත මම කියවද්දී, මගේ ඇඟ කිලිපොළා ගියා.’ යැයි පීටර් පැවැසීය.

 

 

 

ලුසිත ජයමාන්න
සී.එන්.එන්. ඇසුරිනි