කොනෙනේ ගං දෑලේ කොණ්ඩා මෝස්තරකාරයෝ හිම්බා


 

නැම්බියාවේ බන්ටු ගෝත්‍රය අතිශය බලසම්පන්න ජාතියක් වූයේය. එක්තරා කලෙක ඔවුහු ඔවුන්ගේ අසල්වාසි ගෝත්‍රයක් වූ හිම්බාවරුන් යටත් කර ගත්හ. අනතුරුව ඔවුහු තම ගෝත්‍රයේ වහලුන් බවට පත්කරගෙන මරව මරවා වැඩ ගත්හ.


එහෙත් කාලාන්තරයකට පසුව හිම්බාවරු බන්ටු ග්‍රහණයෙන් මිදී නැම්බියාවේ පහළට පහළට සංක්‍රමණය වීම ඇරඹූහ.


එසේ ආ ගමන අතරමග නිමා කළ ඔවුන් තම නවාතැන් පොළ කරගත්තේ කොනෙනේ ගංගා මිටියාවතයි. කොනෙන් ගඟෙහි ඉවුරු දෙක අසලම තම ගම්මාන තනාගත් හිම්බාවරු ගොවිතැන් සේම දඩයම්ද කරගනිමින් ජීවත් වූහ.


කොනෙනේ ගඟ වූ කලී නැම්බියාවත් ඇංගෝලාවත් එකිනෙක වෙන් කරන මායිමකි. මේ හේතුව නිසා එකම ගෝත්‍රය දෙරටකට උරුමකම් කියයි. එහෙත් ඒ බවක් නම් මේ හිම්බාවරු දන්නේ නැත. ඔවුනට ගඟ දෙපසම ඇති වනාන්තරය එකම වනාන්තරයකි.
වත්මන මොවුන්ගේ ජීවිතය ගෙවීයන්නේ අතිශය දුෂ්කර මෙන්ම කාර්ය බහුල ලෙසය. ප්‍රධානතම කරුණ ප්‍රදේශයට හැමදාමත් උරුම වියළි කාලගුණයයි. මේ නිසා දිනපතාම තම තමන්ගේ නිවෙස්වලට වතුර සපයා ගැනීමට හිම්බාවරුන්ට සිදුවේ. එහෙත් මේ වතුර සැපයීමේ වගකීම පැවරී තිබෙන්නේ හිම්බා කාන්තාවන්ටය.


හිම්බා ගෝත්‍රිකයන් තම වාසභවනය බවට කොනෙනේ ගං තීරය තෝරාගන්නේද වතුර ප්‍රශ්නයට පිළියමක් සේය. එහෙත් අප්‍රිකාවේ බොහෝ රටවල්වලට වියළි කාලය යනු වතුරෙන් තොර කාල පරිච්ඡේදයකි. වැහි කාලයට දෙගොඩ තලා යන ගංගා පවා වියළි කාලයේදී ගල් ගොඩක් බවට පත්වීම සාමාන්‍ය දෙයකි. මේ බෝල ගල් අස්සේ වතුර රැඳෙන්නේ එහෙමත් තැනකය.


බොහෝවිට මේ ජල පොකුණු පිහිටන්නේ ගම්මානයෙන් බොහෝ දුර බැහැරය. ඒ නිසාම හිම්බා ගෝත්‍රික කාන්තාවෝ ජලමූලාශ්‍ර කරා ඇවිද ගොස් ජලය රැගෙන තමන්ගේ ගම්බිම්වලට පැමිණෙන්නට කිලෝමීටර් හත අටක් ඇවිදිති. එහෙත් එය හිම්බාවරුන්ගේ ජීවිතයේ මූලිකම අංගයක් බැවින් ඔවුනට එම ගමන අරුමයක් නොවේ. 


ඇත්ත වශයෙන්ම හිම්බා ගෝත්‍රික ජීවිතයේ වැඩිපුරම වෙහෙසෙන්නේ කාන්තාවන්ය. ඔවුන්ට පැවරී තිබෙන වැඩ කන්දරාව දෙස බැලූ විට ගෝත්‍රික පිරිමින්ට කරන්නට තිබෙන්නේ අඩු වැඩ කොටසකි. ඇත්ත වශයෙන්ම කිවහොත් ගැහැනු යනු කම්කරුවන් පිරිසක් බවට පත්ව තිබේ.


ඔවුන්ට පැවරී ඇති අනෙක් කටයුත්ත ගෙවල් දොරවල්, ගෙවල් දොරවල් මෙන් තබා ගැනීමයි. හිම්බා ගෝත්‍රික ගෙවල් තනා ඇත්තේ ලීයෙනි. එහෙත් මේ ලී බිත්තිය රතු පාට පස් සහ ගොමවලින් සාදාගත් මිශ්‍රණයකින් කපරාරු කෙරේ. එසේම ගෙබිමටද මේ මිශ්‍රණය ආලේප කරයි. මේ බාරදූර කටයුත්ත පැවරී ඇත්තේද කාන්තා පක්ෂයටය. ඉවුම් පිහුම් ආදිය සපයා දර සොයාගැනීමට ද මොවුන්ට පැවරී ඇති තවත් කටයුත්තකි. ඊළඟට ඉවුම් පිහුම් කටයුතුය. ඒ සඳහා මස් සපයාගැනීම, එළවළු ධාන්‍ය ආදිය සපයා ගැනීම මෙන්ම පිසීමද කාන්තාවන්ට පැවරී තිබේ. ඒ මදිවාට හරකුන්ගෙන් හා එළුවන්ගෙන් කිරි දොවා ගැනීම ද පැවරී ඇත්තේ කාන්තාවන්ටමය.
මේ හැමදේම කරද්දී ගෝත්‍රයේ දරුවන් බලා කියා ගැනීම ද කරන්නට කාන්තාවන්ට සිදුව තිබේ. බොහෝ විට ඒ තමන්ගේම දරුවා නොවේ. අනුන්ගේ දරුවන් වුවද බලාගන්නට සිදුවේ. ඒ තරමටම ගැහැනුන්ට වැඩ අධිකවීම ඊට හේතුවයි. ඇතැම් මවක වතුර ගෙනෙන්ට බැහැරක යනවිට ඇගේ දරුවාත් අල්ලපු ගෙදර කාන්තාවට බලා කියා ගන්නට දෙන්නට සිදුවන නිසාය.


හිම්බා කතුන් අත්වැඩටද අතිදක්ෂය. විසිතුරු පලඳනා, රෙදි, ගමන් මලු, සෙරෙප්පු ආදිය හිම්බා කතුන් නිතරම කරන අත්වැඩ ය.
එතකොට පිරිමි? ඔවුන්ට කරන්නට දෛනික වැඩ කටයුත්තක් නැද්ද යන ප්‍රශ්නය දැන් පැනනගී. ඔවුහු ද ගොවිතැන් කටයුතු, සත්ව පාලන කටයුතු, ගෙවල් සෑදීම මෙන්ම ගමේ ප්‍රධානියා සමඟ පැවැත්වෙන සාකච්ඡා ආදියට සහභාගී වෙති.


හිම්බා ගෝත්‍රිකයෝ ලස්සනට සිටීමට ද කැමැත්තක් දක්වති. ඒ කැමැත්ත ගැහැනු පිරිමි දෙපක්ෂයටම පොදු එකකි. මේ දෙපිරිසම ඇඳුම් අදින්නේ යටිකයට පමණකි. ඉස්සරනම් ඔවුන්ගේ යටිකය ඇඳුම් වූයේ සත්ත්ව හමකින් පිළියෙල කරගත් ඇඳුමකි. එහෙත් වර්තමානයේ නම් එය රෙදිකඩක් බවට පත්ව තිබේ. ශාක කොළ සහ ශාක පට්ටාවලින් රෙදි නිෂ්පාදනය කිරීමට අද හිම්බා කාන්තාවන් දක්ෂවීම ඊට හේතුවයි. එසේම මොවුහු සියල්ලන්ම පාහේ සෙරෙප්පුද පලඳිති. බොහෝ විට මේ සෙරෙප්පු හදන්නේ පරණ, ගෙවී ගිය ටයර්වලිනි.


හිම්බා කාන්තාවෝ තමන්ගේ කොණ්ඩවලටද එක එක විකාර කරති. දිගු කැරළි ගැසුණු කොණ්ඩය තීරු තීරු සිටින සේ ගොතා ගැනීම ඉතා අලංකාර කොණ්ඩා මෝස්තරයකැයි හිම්බා කෙල්ලෝ කල්පනා කරති.


එහෙත් ඔවුන් උඩුකයට කිසිම ඇඳුමක් අඳින්නේ නැත. ඔවුන්ගේ පීන පයෝධරවලට සුළං දූවිලි හෝ අව්ව ප්‍රශ්නකාරී වන්නේ නැත. ඒ නිසා ගෙලේ පලදින විවිධ අරුමෝසම් මෝස්තරවල මාල තුන හතරක් පියයුරු මතින් එල්ලා ගෙන සිටිති.


හැබැයි මේ මොන මාල දැම්මත් ඔවුන්ට මදුරුවන්ගෙන් නම් ගැලවීමට ඉඩක් නැත. ඔවුන්ගේ ලෝකය ඔවුන්ට වඩා අයිති මදුරුවන්ට යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මේ දහජරා මදුරු වසංගතයෙන් බේරී සිටීම සඳහා හිම්බාවරු කරන්නේ කැලේ වන සතුන් කරන අන්දමේ ප්‍රාථමික වැඩකි. එනම් මඩ සහ තවත් ශාක ඉස්ම කලවම් කර සාදාගත් ඖෂධයක් මුළු සිරුරෙහිම ආලේප කර ගැනීමය. මේ මඩ නිසා මදුරුවන්ගේ දෂ්ට කිරීම් අඩුවෙනවා සේම, උණුසුම් පරිසරයේ හිරු රැසින් ලැබෙන පීඩාවද අවම වන්නේය. කොටින්ම ඔවුන්ගේ සිරුරුවලින් සිදුවන ජලය අධිකව වාෂ්පවීම මඩවලින් නතර වෙයි.


හිම්බාවරුන්ගේ සංස්කෘතියද නොදියුණුය. ඒ නිසාදෝ හිම්බා පිරිමියෙකුට ගැහැනුන් දෙදෙනෙක් සරණ පාවා ගැනීමට සමාජයෙන් අවසර ලැබී තිබේ.


ඇත්තෙන්ම මොවුන්ගේ ගෝත්‍රයේද වැඩි සැලකිලි ලැබෙන්නේ පිරිමින්ටය. ගෑනු ළමයෙක් අවුරුදු 10ක් ඉක්මවූ පසුව ඇගේ තාත්තා කරන්නේ තමන්ගේ දියණිය සුදුසු ඉලන්දාරියකු සොයා ඔහුට සරණ පාවා දීමයි. මේ පිරිමි සතා මොකෙක්දැයි කියා සිතන්නට තරම් දැනුමක් හෝ අවබෝධයක් මේ පුංචි එකීට නැත. ඒ නිසා තාත්තා ගහන පදේකට නැටීමට හිම්බා කෙල්ලන්ට - සමාවෙන්න  දැරියන්ට - සිදුවෙයි.


විවාහ වූ දවසේ පටන් මේ පුංචි උන්ට සිදුවන්නේ ජීවිතයේ දුක් අනුභව කරන්නටය. සැමියාට සහ ඔහුගේ පවුලේ උන්ට කඹුරන්නටය. ළමයි බමයි හදාගෙන උන්ව රැක බලා ගන්නටය.


ඇත්ත වශයෙන්ම කිව්වොත් හිම්බාවරුන්ගේ ජීවිත බෙහෙවින්ම දුක්බරය. ඒ  දුක්බර ජීවිතය මදකට හෝ අමතක කරන්නේ රාත්‍රියේ පවතින සංගීත සාජ්ජයකින් පමණයි. එහෙත්, දුක තමයි හිම්බා! 

ශාන්ත කුමාර විතාන