කොටියා බියපත් කළ නිර්භීත ඉත්තෑවා


වන දිවිය

වනාන්තරය යනු සැබැවින්ම කියවා අවසන් කළ නොහැකි පොතක් හා සමානය. ඒ පොතේ පෙරළෙන පිටුවෙන් පිටුව නවමු වූ සිදුවීම් පෙළක් බවට පත් වෙමින් එය පරිශීලනය කරන්නන් වෙත නොමසුරුව සමීප කිරීමට වනපෙත වග බලා ගනී. 


ගහ කොළ සතා සීපාවාගෙන් ගැවැසුණු, තිරිසනුන් පිරුණු, ලෙඩ දුක් කම්කටොලුවලින් ගහණ වුණු වනය යනු, ජීවත් වීමට අහිතකර වූ සාධකවලින් සමන්විත වූ වටපිටාවක් සහිත බිමක් හැටියට බොහෝ අය අර්ථකථනය කරති. 

කැලයට නිර්වචනයන් සපයති. ඒ බැවින් දෝ සුඛෝපභෝගී රථ වාහනවල නැගී දුෂ්කර ප‍්‍රදේශවල දිනක්, දෙකක් හෝ උපරීම තුනක්, හතරක් වැනි වූ කාලපරිච්ෙඡ්දයක් තුළ සංචාරය කර තමන්ගේ ජීවන වපසරියට බොහෝ ඈත ඉමේ වෙසෙන වනාන්තර ආශ‍්‍රිත ගැමියන් සහ වනාන්තරවාසී වනජීවීන්ද බලමින් සතුටු වීමට සංචාරකයෝ ප‍්‍රියතාවක් දක්වති. වන වැසියන් පත්ව ඇති දුක්ඛිත තත්ත්වය දෙස බලමින් සතුටු වෙමින් කර්මයේ ඵල විපාක ගැන නිදර්ශක ලෙස මේ අරුම පුදුම සතුන් පෙන්වමින් තම ජීවන වපසරිය සමග සංසන්ධනය කරමින්, එනම් සැප සම්පතින් ආඪ්‍ය වුණු තමන්ට සාපේක්ෂව පෙර සදහන් කළ සත්වයෝ පහළම ස්ථරයේ පසු වීම පිළිබදව සතුටු වෙති. ඒ බැවින් ඔවුන් වෙත දයාභරිත වූ සිතැත්තවුන් හා සමැව යමක් විසි කිරීමට මෙවැනි අය උත්සාහ දරන්නේ මෝස්තරයටද? 


 එවැනි වූ පරිත්‍යාගයන් තමන්ගේ හැකියාවන්ට සාපේක්ෂව නොසැලකිය යුතු මට්ටමේ වුණත් එයින්ද මේ පුරාජේරුකාරයෝ බොහෝ සේ තුටු වෙති. මුදල් විසි කළ පමණින් තමන්ට හිතූ හිතූ දේ කළ හැකි යැයි සිතමින් වැජඹෙන පිරිසක් ද ඒ අතර සිටිති. මුදලේ බලයෙන් ස්වකීය බල පරාක්‍රමය පැතිර විය හැකියැයි නිතරම සිතයි. තම මතය සාක්ෂාත් කර ගනිමින් පීඩිතයින් මතම බර පටවමින් තමන් සහ තම පවුල සමාජයේ යෙහෙන් වැජඹීම ඔවුන්ගේ පැතුමයි. එය තම සමාජ ස්ථරයෙන් ඔබ්බට විනා ඉන් පහළට ගලා ගෙන යනවාට ඔවුන් කිසි විටෙකදී වත් කැමැති වෙන්නේ නැත. මිනිස් සමාජය එසේ වුවත් මේ වනවාසී සමාජය නම් ඊට ඉදුරාම වෙනස්ය. 


අහස් වියන තරු රටාවන්ගෙන් පිරී ඉතිරී යන දවසක් වනු නොඅනුමානය. ඒ බවට වලාකුළු රහිත සැඳෑ පැහැබර අහස් වියන සාක්ෂි දරයි. සෞම්‍ය වූ සිහිල් බවක් පරිසරයට මුසු වී ඇත. වනපෙතේ එහා කොන සිට මෙහා කොන දක්වා හීන් සරින් හමා යන මද සුළග විඩා බර වූ ගතට දිව ඔසුවක් හා සමය. විවෘත බිමේ ගස් ගොම්මන සුව යහනකි. හිදැස් සහිතව සදිසාවටම පැතිර යමින් ඔබ - මොබ දිව ගිය අතු - ඉතිති අතරින් පෙනී යන දර්ශනය දිහාම බලා සිටිද්දී සිත ඒකාත්මික වුණත්, ජීවිතයේ යථාර්ථය පිළිබඳ යළි යළිත් සිතන්නැයි සිත බල කරන්නේ නිතැතින්. සැබැවින්ම සඳ තරු පිරිවරා ගත් අහස් වියනේ ඒ දසුන චමත්කාර ජනක වුණත්, හුදෙකලා වූ යම් අවිනිශ්චිතතාවයක් ඒ දර්ශනය තුළ ගැබ් වෙලා ඇතැයි මට හිතෙන වාර අපමණය. ඒ මා මේ මොහොතේ රැඳී සිටින ස්ථානය සහ නිදහස් සිතට ගලා ගෙන එන සිතුවිලි සමුදායත් නිසාද?. 


අවටින් රැහැයි නාදයට මුසු වූ රාත්‍රී නිශාචරයින්ගේ කෑ මොර ගෑම සවස් වනපෙතින් ඉස්මතු වෙමින් තීව‍්‍රත්වය කරා ළං වෙමින් ඇත. විටෙක ඈත වනගැබ මධ්‍යයෙන් වර නැගෙන්නේ තනි වූ ගෝනෙකුගේ ‘‘ටං” ගෑමක්. එයට පිළිවදන් දෙමින් ගෝන රංචුවක ගෝන දෙනුන්ද ”ටං” ගෑම අරඹා ඇත. ඒ අපි රැඳී සිටිනා වතුර වළ ආසන්නයේමය. හෝරාවන් දෙකක් - තුනක් පමණ වර නැගුණු මේ අඳෝනාවේ නොදුටු පාර්ශවයන් දෙක ඔවුනොවුන් සම්මුඛ වීමට ආසන්න බව හැඳී ගියේ හඬ නැගී ආ දිශාවන් දෙක ක‍්‍රමානුකූලව වතුර වළ සමීපයට සමීප වන බවක් වැටහුණු බැවිනි. එසේ නම් මේ ඇරැඹී ඇත්තේ ගෝන නාම්බන් රැළේ වැටෙන සමයක ඇරැඹුමද? නමුත් සිදු වූයේ අනපේක්ෂිත දෙයක්? එක් වරම මේ හඬ සංඥා මධ්‍යයෙන් නැගී ආවේ කොටි ගෙරවුමකි. රැළේ වැටී මත් වූ ගෝන නාම්බෙක් ගෝන නෑම්බියකට ආරාධනය කරමින් කෑගසත්ම, එයට පිළිතුරු වශයෙන් ද ගෝන නෑම්බියන් කිහිප දෙනෙකුගෙන්ම ආරාධනාවන් ලැබෙන්නට ඇත. ඉන් තෝරා ගත් ස්වකීය පෙම්වතියට රැළෙන් වෙන් වී තමන් වෙත එන්නට යැයි ගෝනා ආරාධනා කරයි. ඒ ආරාධනය පිළිගත් පෙම්වතිය පෙම්වතා සොයාගෙන පැමිණෙත්ම මුහුණදීමට සිදු වූයේ නොසිතූ අභාග්‍ය සම්පන්න වූ සිදු වීමකටද? මේ පෙම්වත් සන්නිවේදනයට ඇහුම්කන් දුන් ඒ වැයික්කියේ කොටි රාළ හාමීගේ කටට කෙල උනන්නට ඇත්තේ දවස් ගානකින් මෙපිට කුඩා - කුඩා දඩයම් විනා ලොකු දඩයමක රස නොබැලූ නිසා විය යුතුයි. සෑම දිනක්ම ගෙවී ගියේ අඩක් කුසගින්නෙනි. ඒ නිසා මේ ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. පෙම්වතුන් දෙන්නා සම්මුඛ වීමට ආරාධනා කරමින් පැමිණෙන මග රැක සිටි කොටි රාළහාමි, ඉනික්බිති ගෝන නෑම්බියව ගොදුරු කර ගන්නේ, මේරූ අං ඇති ගෝනාට වඩා ගෝන දෙන පහසු දඩයමක් බව දන්නා සහජ ඉව නිසාවෙනුයි. ඒ දඩයම කොටියාට දින ගණනාවක් සඳහා ප‍්‍රමාණවත්ය. යම් සතෙක් දඩයම් කර ගැනීමෙන් පසුව ඒ දඩයම රිසි සේ බුක්ති විඳීම සඳහා නිදහස් තැනකට රැගෙන ගොස් නිවාඩු පාඩුවේ රස බැලීමට කොටියා කැමතිය. රස බැලීමෙන් අනතුරුව ගොදුර උස් ගස් දෙබලක රඳවා තබා ගනිමින් බඩගිනි හැදෙන වාරයක් වාරයක් ගාණේ යළි යළිත් දඩයම් මසෙහි රස බැලීම බිළාල කුලයේ සතුන්ගේ පුරුද්දකි. 

 


වනාන්තරයක් මැද වතුර වළක් සමීපයේ අප ගත කරන මේ රාත්‍රියේ වන දිවියේ නවමු අත්දැකීම් සමුදායක් එක් කළ සුවිශේෂි වූ රාත‍්‍රියක් වශයෙන්ද හැඳින්විය හැකිය. රාත‍්‍රි සඳ මෝදු වූ යාමයේ වනය මධ්‍යයේ සිට, වනපෙතේ අතුරු අන්තරාවන්ට නිරාවරණය වූ පසු බිමක සිට ලබන ප‍්‍රායෝගික වූ අත්දැකීමම, වනපෙතක රාත‍්‍රී හැසිරීම කෙබඳුදැයි යන්න පිළිබඳව යළි යළිත් සිහිපත් කිරීමට අප සිත් නිරන්තරවම පොළඹවයි. මන්ද යත් අප සැවොම පසු වන්නේ ඊළඟ මොහොත තුළදී කුමක් සිදුවේදැයි අවිනිශ්චිත වූ වටපිටාවකයි. නමුත් සිතට නම් දිරිදෙන සිතුවිල්ලක් නිරන්තරවම මෝදු වේ. එය සිතට ශක්තියකි. මෙය වනසතුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් සිදු කරන අධ්‍යයනයකි. වනජීවීන්ගේ චර්යා රටා අධ්‍යනය කිරීම වනජීවී සංරක්ෂණ විෂයේ මූලිකම කාර්යයකි. 


අපගේ අරමුණ රාත‍්‍රී වනපෙතක හැසිරීම කෙබඳුදැයි යන්න අධ්‍යයනය කිරීමයි. ඒ සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අවසරය මත යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකාරතුමාගේ අධීක්ෂණය යටතේ මේ කාර්යය සිදු කිරීම සඳහා යාල - ගෝන ලැහැබ මැද පාරේ පළවෙනි වතුර වළ අපේ නැවතුම වුණා. මෙවැනි කාර්යයන් සඳහා සුදුසුම තැන් වනසතුන් වතුර බොන්න එන විවේකි ස්ථානයන්. විශේෂයෙන්ම ගොදුරු සතුන්, ගොදුරු කර ගැනීමට වනයට වැදීමට පෙර දිය බීමටත්, විවේක ගැනීමටත් ගොදුරු සතුන් අමතක කරන්නේ නෑ. එය ජන්ම පුරුද්දක්. 


ඒ ජන්ම පුරුද්දට පින්සිදු වෙන්න අපේ බලාපොරොත්තුව සඵල වී ඇත. පළමුව එක් අයෙකුත්, දෙවනුව තවත් අයෙකුත් වශයෙන් කොටි දෙදෙනෙක් අප සිටි සැඟවුම් ඉසව්ව පසු කර වතුර වළ දෙසට ඇදෙයි. ගත වූ මැසි මදුරු ප‍්‍රහාර හමුවේ කැසුම් කමින් රිදුම් දෙන අත් පා වේදනාව කොටින්ගේ දැකුමින් සමනය වූ හැඩයි. වතුර වළට පැමිණි විගස උගුර කට වේලුණු ආකාරයක් පෙන්නුම් කරමින් වතුර වළෙන් දිය බීගෙන බීගෙන ගිය කොටින්ගේ හැසිරීම් රටාව දකින්නෙකුගේ සිතෙහි ජනිත කරන්නේ අනුකම්පාවකි. උගුර කට වේලීමට තරමේ පිපාසයකින් මේ කොටි පසු වන්නට ඇත. 


 පිපාසය කෙතරම් දරුණු වුවත් එය සංසිඳවා ගැනීමටත් නිසි වේලාව පැමිණිය යුතුයි. කළ යුතුම දේ නිසි වේලාවට කිරීම වනවාසීන්ගේ ජීවත්වීමේ අයිතිය තීරණය වන එක සාධකයකි. අපි ඊළඟ නිමේෂය තුළදී කුමක් සිදු වෙත්දැයි නොදත්තවුන් හා සමැව රාත‍්‍රී විසින් පියවරෙන් පියවර ගිල ගන්න වන රඟ මඩලේ රඟ දැක්වෙන කොටි නාටකය දෙස නිසොල්මනේම බලා සිටියෙමු. 


මන්ද යත් මේ සිදු වන්නේ වනපෙතේ නිශාචර සත්ව ලෝකය පිළිබදව ගවේෂණයට පැමිණි අප කිසි ලෙසකිනුදු බලාපොරොත්තු නොවූ සිදු වීමකි. එක් වර කොටි දෙදෙනකුගේ දැකුමක් මන්ද යත් වන නාටකයේ දිග හැරුණු පියවරයන් අනුපිළිවෙළ, අපිළිවෙළ වීම අප සිත් තුළ ඇති කරන්නේ අනියත බියක්? ඊළඟ මොහොත කුමක් වේවිද? 


වතුර වළ ඉදිරිපස අප නතරව හිඳිනා ගුරු පාර ඉදිරියෙන් සුසුම් ලෑමක් ආරම්භ වී ඇත. නැත, මා වැරැදිය. ඒ හඬ උත්පාදනය වනුයේ ගුරු පාර දිගේ ඇදෙන යම් වස්තුවක් ඇද ගෙන යාම හේතුවෙනි. සිදුවීමට නියමිත ඉදිරි සිදුවීම් පෙළ මා මනසේ ඇදෙන්නට පටන් ගෙන ඇත. අත රැඳි දෙනෙතියෙන් මම වතුර වළෙන් දිය බොන කොටි දෙදෙනා දෙස බැලුවෙමි. පුදුමයකි. එතැන ඇත්තේ කොටි දෙදෙනකු නොව එක් කොටියෙකි. බිම වතුර වළ සමීපයේ ලොකු කොටියා රැඳී සිටියදී පොඩි කොටියා වතුර වළ ආසන්නයේ පලු ගස මුදුණට නැග ඇති හැඩයි. එනම් මේ කොටි මවක සහ ඇගේ පැටියා විය යුතුයි. පෙර මාර්ගයේ වතුර වළ දෙසට ඇදී එන හඬක් නැගෙන නමුදු නිශ්චිතව නොපෙණෙන හේතුකාරකයා ගේ පැමිණීමෙන් භය වූ කොටි පැටවා හනි හනික පලු ගස මුදුනතට නැග සැඟව ගෙන ඇත. ඒ වුණත් කොටි මව තවමත් හඬ නැගෙන අඳුර දෙසම බලා ගෙන නිසොල්මනේම වතුර වළ සමීපයේ රැඳී සිටින්නීය. 


සුසුම්ලමින් සහ තම කූරු මිටිය බිම දිගේ අතුල්ලමින් වතුර වළ සොයා පැමිණෙන්නේ විසල් ඉත්තෑවෙකි. හේ හනි හනික දිව එන්නේ වතුර පිපාසාවෙන් විය යුතුයි. නමුත් ඉදිරියෙන් ඇති අනතුර පිළිබඳව ඔහුට අවබෝධයක් නැති හැඩයි. ඉත්තෑවා ඇස ගැටෙත්ම යම් තීරණයකට එළැඹි කොටි මව හනික ලැග සිටි ඉරියව්ව වෙනස් කරමින් පොළොවට සමාන්තරව යමින් හීන් සීරුවේ ඉත්තෑවා සිටි දෙසට ළං වූවාය. ඒ හඬක් නොනැගෙන්නටය. කොටියාට සොබාදම විසින් පරිත්‍යාග කර ඇති ඒ පුළුන් කොට්ට පා යුගළය නිහඬ ගමනකට ඉවහල් වන බව මෙවැනි වූ ගමන් විලාසයන් අධ්‍යයනය කිරීමේදී හොඳින් අවබෝධ වේ. වතුර වළෙන් නික්මුණු කොටි මව ඒ ආසන්නයේ වූ පඳුරු ගොමුවක් සමීපයට වහන් විය. 


මේ කිසිත් හෝ නොදත් ”ඉත්තෑකූරු” වතුර වළ සමීපයේ පඳුරු ගොමුව ආසන්නයෙන් ළං වුණේ වතුර ටිකක් බොන අදහසිනුයි. වහා ක්‍රියාත්මක වූ කොටි මව එක පිම්මට ඉත්තෑවා දෙසට පිම්මක් පනිත්ම ඉත්තෑවාද තම ආරක්ෂිත අවිය වන කූරූ මිටිය පුප්පා ගෙන කොටියා දෙසට මෑනුවේය. කොටියාට සිදු වුණේ ඉත්තෑකූරු ඇනගෙන එහි ඇති අමිහිරි වේදනාව භුක්ති විඳීමටයි. කොටි මව ගොරවමින් ඉවතට පැන්නාය. වේදනාව පසෙකලා යළිත් ඉත්තෑවාගේ මුහුණට, කූරූ රහිත නග්න මුහුණට ප‍්‍රහාරයක් එල්ල කරනා අටියෙන් ක‍්‍රියාත්මක වුවාය. තමන්ගේ විසල් ඉදිරි බාහුවෙන් වැරෙන් පහරක් ඉත්තෑවාට එල්ල කළාය. ඒ හැම ප‍්‍රහාරයකම මුවහත සඳහා ඉත්තෑවා පෑයේ ස්වකීය ආරක්ෂිත කූරු මිටියයි. එවරත් කොටියා පරාජිතව ඉත්තෑකූරු ඇනීමේ අමිහිරි වේදනාව බුක්ති විඳිමින් පසෙකට වූවාය. ඇයගෙන් එනම් කොටි මවගෙන් හීන් කෙඳිරියක් පිට වුවත් ජයග‍්‍රාහී ඉත්තෑකූරුගෙන් පිටවූයේ එඩිතර සුසුම්ලෑමකි. 


අද දිනයේ පරාජිතයා මේ කොටි මව විය යුතුයි. ඒ බව අපට ඒත්තු යාමට මේ හටන අවසන් වන තුරු බලා සිටීමට අවශ්‍ය නැත. වතුර බිමට පැමිණි ඉත්තෑවා මේ සිදු වූ සිදුවීමෙන් වික්ෂිප්තව වතුර බීමද පසෙකලා යළිත් හැරී ගුරු පාර දිගේ මද දුරක් දිව ගොස් කැලයට රිංගුවාය. අද දින කොටියාගේ සහ ඉත්තෑවාගේ ලැබීම එබඳුයි. ඉත්තෑවාට වතුර නැත. කොටියාට කෑම නැත. කමක් නෑ. හෙට දින වතුර බීමට හැකියි. අද දින පණ රැක ගැනීමට හැකි වීම ගැන ඉත්තෑවා සතුටුවනවා ඇත. අද දිනය ගැන දුක් වන කොටි මවට සිදු වනුයේ තවත් වතුර උගුරු කිහිපයකින් බඩගින්න නිවා ගෙන යළිත් ගොදුරක් සොයා ගෙන යාමටයි. නැතිනම් බඩගින්න පහ වනතුරු ගසක් මුදුණතට වී පැටවා සමග නිදන්නටයි. තවත් ගොදුරක් සොයනු වස් වෙහෙසුණත් බලාපොරොත්තු රහිතව පසු වීමට වුවද සිදු වනු ඇති. මන්ද යත් අලුත් දිනයක් උදාවේ අරුණලු අහස් කුස පැතිර යන බැවින් වහ වහා අරුණාලෝකයෙන් සැඟව යා යුතුයි. මේ දෙපාර්ශවයේම ජීවන අරගලයේලා සොබාදම් තීරකයාගේ අද දින විනිශ්චය එබඳුයි. අද දිනයේ පරාජය භාර ගැනීමට සිදු වුවත් හෙට දිනයේ පැටවාටත්, තමන්ටත් කුස පිරෙන්නට ගොදුරක් සොයා ගැනීමට මේ රුදුරු කොටි මවට හැකි වනු ඇත. වනයේ හැටිය මේ. 


ඉත්තෑකූරූ මිටියකටත් පසු බසින්නට වනයේ භයංකාරත්වයේ ප්‍රතිමූර්තියට අද දිනයේ සිදු වුවත් හෙට දින ජයග‍්‍රහණය ඔහු සතු වනු නොඅනුමානයි. මේ දුර්ලභ වූ සිදුවීම් හා සමැව ඒ දුර්ලභ සිදුවීම්ද වනපෙතේ වහන්ව යාමට ඉඩ නොදී ඔබට සමීප කිරීමට අපට හැකි වනු ඇත. 

 

 

 

 

 

 

 


සටහන සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික 
සේයා රූ - වෛද්‍ය චම්මික දිසානායක (ඩී.එම්.ඕ. - මහනුවර)