කේන්ද්‍රයක් මගින් නිවාස දෝෂ හඳුනාගැනීම


නිවසක දෝෂ ප්‍රධාන වශයෙන් කොටස් 2 කි. ඉන් එකක් වන්නේ නිවසක් ඉදිකිරීමේදී සිදුවන දෝෂයන්ය. මෙම දෝෂ නිශ්චිතව හඳුනාගත හැකිය. ඒවා වාස්තු දෝෂ ලෙස හැඳින්වේ. අනෙක නොපෙනෙන බලවේග මගින් සිදුවන දෝෂයන්ය. නොපෙනෙන බලවේග මගින් සිදුවන දෝෂද කොටස් 2 ක් වශයෙන් පෙන්වා දිය හැකිය. එකක් නම් යක්ෂ, ප්‍රේත, බහිරව වැනි විශ්වයේ අදෘශ්‍යමාන ජීවී විශේෂයකින් වන අහිතකර බලපෑම් මත සිදුවන දෝෂයන්ය. මේවා භූත දෝෂ ලෙස නම් කෙරේ. දෙවැන්න අනවින හදිහූනියම් වැනි පුද්ගල ක්‍රියාකාරකම්වලින් සිදුකරනු ලබන දෝෂයන්ය. මේ සියල්ලකින්ම සිදුවන්නේ අදාළ නිවසේ පදිංචියට නුසුදුසු තත්ත්වයක් කියාපෑමකි.   


මෙම දෝෂවල බලපෑම අනුව නිවැසියන් නිරන්තර රෝගාබාධවලින් පෙළීම සතුරු කරදර හා නඩුහබවලට ලක්වීම, පවුලේ අසමගිය, බලාපොරොත්තු බිඳවැටීම, මානසික පීඩා ගෙනදීම, රූප ශෝභාවෙන් පිරිහීම, විකෘති දරු උපත් මෙන්ම අන්ත අසරණ භාවයට පත්ව මහමගට වැටීම වැනි තත්ත්වයන්ට පවා පත්විය හැකි බව තහවුරු වී තිබේ.   
ඉහතින් සඳහන් කරන ලද සියලුම දෝෂයන් යමෙකුගේ ජන්ම කේන්ද්‍රය තුළින් බොහෝදුරට හඳුනාගත හැකි වන අතර මෙම ලිපිය මගින් පෙන්වාදෙනු ලබන්නේ යක්ෂ, ප්‍රේත, බහිරව වැනි භූත දෝෂ පිළිබඳව කේන්ද්‍රයක සටහන් වන ආකාරය සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමකි.   


කේන්ද්‍රයක මුදුන් කොටුවේ සිට වම් අත දෙසට ගැනගෙන යාමේදී 4 වැන්න මගින් නිවාස දේපළ සම්බන්ධ තොරතුරු ප්‍රධාන වශයෙන් අනාවරණය වේ. 4 වැන්නේ සිටින ග්‍රහයාද එහි අධිපතිද එම අධිපති සිටින ස්ථානයද 4 වැන්නට අනෙකුත් ග්‍රහයින්ගෙන් වන බලපෑමද මේ සඳහා සැලකිල්ලට ගතයුතුය. මේ හැර 6, 8, 12 යන කොටුද සලකා බැලිය යුත්තේ අශුභ ග්‍රහයෙකු මේවායෙහි තැන්පත් වීමෙන්ද නිවාස දෝෂ හෙළිකරන බැවිනි.   


මීට අමතරව උපන් නැකතට හිමි අධිපති ග්‍රහයා නීච සතුරු තත්ත්වයෙන් සිටීමෙන් හෝ පාප ග්‍රහයින්ගේ දෘෂ්ටියට ලක්වීමෙන් හෝ අශුභ ස්ථානයක තැන්පත්ව සිටීමෙන් හෝ වෙනත් කුමන ආකාරයකින් හෝ දුර්වලව සිටීමද, රාහු කේතු සහ අනියම් වශයෙන් සෙනසුරුගේ බලපෑමද මෙම දෝෂ හඳුනාගැනීම සඳහා ඉවහල් වේ.   


එක් එක් ලග්නයට 4 වැන්න අධිපතියාත් තමා උපන් නැකතට අධිපති ග්‍රහයාත් කවුරුන්ද යන්න දැන සිටීම මෙහිදී වැදගත් වේ. ඒ අනුව එක් එක් ලග්නයට 4 වැන්න අධිපතියා මෙසේය.   


මේෂ - සඳු තුලා - ශනි   
වෘෂභ - රවි වෘශ්චික - ශනි   
මිථුන - බුධ ධනු - ගුරු   
කටක - සිකුරු මකර - කුජ   
සිංහ - කුජ - කුම්භ - සිකුරු   
කන්‍යා - ගුරු මීන - බුධ   
නැකතෙහි අධිපති ග්‍රහයා වන්නේ පහත පරිදිය.   
රවි - කැති, උත්‍රපල්, උත්‍රසල   
සඳු - රෙහෙණ, හත, සුවණ   
කුජ - මුවසිරස, සිත, දෙනට   
රාහු - අද, සා, සියාවස   
ගුරු - පුනාවස, විසා, පුවපුටුප   
ශනි - පුෂ, අනුර, උත්‍රපුටුප   
බුධ - දෙට, අස්ලිස, රේවතී   
කේතු - අස්විද, මා, මුල   
සිකුරු - බෙරණ, පුවපල්, පුවසල   


දුර්වල රාහු 4 වැන්නේ සිටීම ජන්මියා මානසික පීඩාවට ලක්කරවීමට හේතුවකි. එහි එක් ප්‍රතිඵලයක් වන්නේ පදිංචි නිවස වාසය කරන පරිසරය තම සිතට නුරුස්සන බවකි. එසේ සිදුවන්නේ භූත බලපෑමක් නිසා බව ජ්‍යෙෂ්ඨ පිළිගැනීමයි. විශේෂයෙන්ම මෙය බහිරව දෝෂ පවතින බවට සාධකයකි. බහිරව දෝෂ පවතින බවට රාහු කේතු දෙදෙනාගෙන්ම කරුණු හෙළිවේ.   


8 හා 12 යන ස්ථානවල රාහු කේතු සිටීමද නිවසේ විවිධ භූත දෝෂ පවත්නා බව කියාපෑමකි. රාහු සිටින ස්ථානයෙන් 7 වැන්නේ කේතු සිටීම ජ්‍යොතිෂ සිද්ධාන්තයකි. ඒ අනුව රාහු නීච හෝ සතුරු ස්ථානයක සිටින විට කේතු උච්ච හෝ මිත්‍ර රාශියක සිටීම නිරන්තරයෙන්ම සිදුවන්නකි. ඒ අනුව රාහුගේ දුබල බව භූත දෝෂවලට බලපාන්නා සේම කේතුගේ බලවත් බව භූත ආත්ම බලවත් බව කියාපෑමකි.   


අවපස සඳු සමග කේතු 1, 4, 6, 8, 12 යන ස්ථානයක සිටියහොත් එම ජන්ම පත්‍ර හිමියාට විශේෂයෙන් ස්ත්‍රීන්ට උපතින්ම භූත දෝෂ පවතින බව පෙන්වා දෙයි. 4 අධිපතියා 6, 8, 12 යන ස්ථානයක සිටීම දිළිඳු බවට මග සලසන ග්‍රහ පිහිටීමකි. මෙය බොහෝවිට භූත දෝෂවල බලපෑමක් විය හැකිය. බලවත් සේ පීඩිත වූ 8 අධිපති සේම එවැනිම පාපී ග්‍රහයෙකු 4 වැන්නට වීම මළගිය අයෙකුගේ බැල්ම අනුව සිදුවන දෝෂ කියාපෑමකි.   


අද සා සියාවස යන රාහුගේ නැකතකින් ඉපදී 4, 8, 12 යන ස්ථානයක රාහු නීචව හෝ සතුරුව හෝ වෙනත් ආකාරයකින් දුබලව පීඩිත වී සිටින්නේ නම් එම නිවසේ විසීම ඉතා දුෂ්කර වනු ඇත. ඇතැම් විට නිවසින් ඉවත්වීමටද සිදුවනු ඇත. එමෙන්ම අස්විද මා මුල යන කේතුගේ නැකතකින් ඉපදී එම කේතු දුබලව 4, 8, 12 යන තැනක සිටීම භූත බලපෑම් ශරීරයට ඇතුළු වී එම ජන්මියා අක්‍රීය කරවීමට තරම් ප්‍රබල හේතුවක් වේ.   


22 වන දෙර්කාණාධිපති 64 වන නවාංශකාධිපති බාධක ග්‍රහයා මාරක ග්‍රහයා යන අයගේ බලපෑම මත මෙම දෝෂ වඩාත් ඉස්මතු වන අතර ගජකේශරී ධර්මාධිපති මහා පරිවර්තන පංච මහා පුරුෂ වැනි බලවත් යෝගවල බලපෑම මත අශුභඵල යටපත් වීමටද ඉඩ තිබේ.   


මේ කුමන ​දෝෂයකට වුවද ආරක්ෂාකාරී පිළියම් ඇත. ආගමික කටයුතුවල නිරත වීම ඉන් පළමුවැන්න සේ සැලකිය හැකිය. දැහැමිව හැසිරීම ජීවිත ආරක්ෂාවට ප්‍රබලම හේතුවකි. බෝධිපූජා සිදුකිරීම, පිරිත් කීම, සෙත්කවි කීම වැනි ආගමික පිළිවෙත් මෙහිලා මූලික වේ. මේ හැර වෙනත් ගුප්ත විද්‍යාත්මක ක්‍රම රාශියක්ද එනම් බහිරව පූජා බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ආදිය ගැනද සඳහන් වේ. 

 
නිවසේ බුද්ධ වන්දනාව සිදුකරන අවස්ථාවේ ජය පිරිත, දසදිසා පිරිත, අන්තරාය නිවාරණ පිරිත, රතන සූත්‍රය වැනි සෙත් පිරිත්ද දිනපතා කියවීමට හුරුවීමෙන් නිවසේ සියලු දෝෂ භංග වී වාසනාව උදාවනු ඇත.   

 


පාරම්පරික ජ්‍යොතිර්වේදී   
එච්.එම්.ටී.බී. හේරත් (බී.ඒ.)   
109, පැරකුම් මාවත, උයන්දන, කුරුණෑගල