කේන්දරයක දරුපල තත්ත්වය විමසීම


වෛද්‍ය විද්‍යාවේ මෙන්ම දෙදෙනාගේ කේන්ද්‍ර දෙකෙහි ග්‍රහ පිහිටීම් සියුම්ව පරීක්ෂා කිරීමෙන් දරුඵල තත්ත්වය අවබෝධ කරගත හැකිය. කේන්ද්‍රයේ දරුවන් පිළිබඳ විස්තර කෙරෙන්නේ පස් වැනි රාශියෙනි. පස් වැන්නාධිපතියා පුත්‍ර කාරක ගුරු ග්‍රහයාගේ බලදුබලතාවන් හා පස් වැන්නට වැටෙන සුබ අසුබ දෘෂ්ටි ද පස් වැන්නේ පිහිටි ග්‍රහයා පිළිබඳව මෙන්ම චන්ද්‍ර කේන්දරයෙන් පස් වැන්න අධිපතියාගේ තත්ත්වය ද සියුම්ව පරීක්ෂා කළ හැක්කේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් තිබෙන කෙනෙකුට පමණකි. 
 
පස් වැන්න (වෘෂභ, කටක, වෘශ්චික, ධනු හා මීන රාශි ඵල සහිත රාශි වශයෙන් ද තුලා මකර හා කුම්භ රාශි මධ්‍යස්ථ පල රාශි වශයෙන්ද හැඳින්වේ. ඵල රහිත රාශි වශයෙන් සැලකෙන්නේ මේෂ, මිථුන, සිංහ හා කන්‍යා යන රාශි සතරය.  


පස් වැන්නාධිපතියාද, පුත්‍ර කාරක ගුරුද, ඵල සහිත රාශිවල සිටී නම් දරුපල ලැබෙන බව එක් ආචාර්ය මතයකි. දරුවන් සීමිත ගණනක් හෝ ලැබෙන්නේ පස් වැන්න මධ්‍යස්ථ රාශියක් වී පස් වැන්න අධිපති හා ගුරු ග්‍රහයා මධ්‍යස්ථ රාශියක පිහිටීමෙන් බව තවදුරටත් එම මතය යටතේ පැහැදිලි කෙරේ.  


ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්දරවල එම රාශි සුබ තත්ත්වයේ පවතී නම් දරුපල වඩාත් යහපත් වේ. 1-5-9 රාශි තුනේ ග්‍රහයන් යෝග වී ඉහත කී රාශි තුනෙන් එකක් පිහිටීම ද දරුපල ලැබෙන යෝගයකි.  


පස් වැන්නේ සහ හය වැන්නේ කුජ ශනි රාහු පාප ග්‍රහයන් දුර්වල තත්වයෙන් පිහිටා තිබේ නම් පිළිසිඳ ගැනීමේ දෝෂ හා ප්‍රසූත දෝෂ ඇති වේ. 22 වැනි දෙර්. පති කුජ ග්‍රහයා ස්ත්‍රී කේන්දරයක පස් වැන්නේ පිහිටීම නිසා උපත ලබන පළමු පිරිමි දරුවාට තදබල අපල ගෙනදීමට හේතු වේ.  


දරුපල වැඩිවීම:  


කේන්දරයේ ගුරු සිකුරු දෙදෙනා ලග්න භාවයේ හෝ නව වැන්නේ නම් දරුඵල වැඩිවේ.  


දරුපල සම්බන්ධයෙන් තවදුරටත් විස්තර දැනගැනීම:  


ස්ත්‍රී කේන්දරයක පස් වැන්න හා හය වැන්න ද පුරුෂ කේන්දරයක සත් වැන්න හා එකොළොස් වැන්න ද පරීක්ෂා කිරීමෙන් දරුඵල සම්බන්ධව තවදුරටත් විස්තර දැනගත හැකිය. (පස් වැන්නට හෝ එකොළොස් වැන්නට ලැබෙන ග්‍රහ දෘෂ්ටීන් හා එහි අධිපතීන් නියෝජනය කරන නැකත් හා පුත්‍රකාරක ගුරු ග්‍රහයාගේ තත්ත්වය සැලකිල්ලට ගත යුතුය.) දරුවන් ලැබීම නොලැබීම හෝ හීනවීම ස්ත්‍රී කේන්ද්‍රයක පස් වැන්න හා හය වැන්න අැසුරෙන් ද පුරුෂ කේන්ද්‍රයක සත් වැන්නෙන් ඔහුගේ ලිංගික ශක්තිය හෝ එහි බල දුබලතා ද තීරණය කරනු ලැබේ.  


නීච සඳු ග්‍රහයා පස් වැන්නේ හෝ හය වැන්නේ පිහිටීම කාන්තාවනට සෘතු දෝෂ හටගැනීමට හේතුවන අතර පස් වැන්නාධිපති ද දුර්වල වී කේන්ද්‍රයේ හය-  අට - දොළහ රාශියක වීම දරුපල හීනවීමට හෝ නොමැතිවීමට බලපාන ප්‍රධාන කරුණ වේ.  


වඳ යෝග පස් වැන්නාධිපතියා නාශාංශක වීම හෝ පස් වැන්නේ නාශාංශක ග්‍රහයකු පිහිටීම ද දරුඵල නොමැතිවීමට හේතු වේ. පස් වැන්නාධිපතියා පාප ග්‍රහයකු සමග සංයෝගවී කේන්ද්‍රයේ කුමන භාවයක සිටිය දී, පස් වැන්නේ පාප ග්‍රහයකු තැන්පත්වීම ද දරුඵල හීනවීමට හේතුවේ. පස් වැන්නාධිපති අට වැන්නේ පිහිටීම මෙන්ම අට වැන්නාධිපති ග්‍රහයාගෙන් පස් වැන්නට අසුබ දෘෂ්ටියක් ලැබීම දරුවන් නොලැබීමට හේතුවකි.  
ගුරු නීචවීම ද දරුවන්ට අපල ගෙනදීමට මෙන්ම දරුපල නොමැතිවීමට තවත් හේතුවකි.  


පස් වැන්න හා සත් වැන්න අධිපතීන් දුර්වල වී පස් වැන්නට සුබ දෘෂ්ටි නොමැතිව සතර හා සය වැන්න අධිපතීන් යෝග වී ඇති පුරුෂ කේන්ද්‍ර හිමියන්ට දාව දරුපල පිහිටන්නේ නැත. එහෙත් සහකාරියට වෙනත් ඇසුරකින් (වෙනත් පුරුෂයෙකු හෝ) දරුවන් ලැබිය හැකි බව පැවසේ. (සාරාවලිය ග්‍රන්ථයේ සුජාත උපත පරිච්චේදය කියැවීමෙන්) හා දරුවාගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් තුළින් මේ බව අවබෝධ කරගත හැකි වේ.  


අාබාධිත දරුවන් බිහිවීම:  


කුජ හෝ රාහු යන ග්‍රහයකුගෙන් පස් වැන්න පීඩාවීම හෝ පස් වැන්නාධිපති සමග කුජ හෝ රාහු සංයෝග වීම ආබාධිත ඉන්ද්‍රිය සහිත ළමුන් බිහිවීමේ ඉඟියකි. ආබාධිත ළමුන් ලැබීම දෙම්පියන් පෙර භවයේ කරන ලද පාපකර්මයක ප්‍රතිඵලයකි. ජන්ම කේන්දරයේ ග්‍රහ පිහිටීම් වලින් ඒ බව අවබෝධ කරගත හැකිය.  


විෂ කන්‍යා යෝගයෙන් උපත ලද ඇතැම් කාන්තාවන්ට දරුවන් ගබ්සා වීම්, මළ දරුවන් බිහිවීම හෝ දරුවා ඉපදී ටික දිනකින් මිය යාම ද සිදුවන බව සමාජ තොරතුරු වලින් පැහැදිලි වේ. (ජීවිතයයි දොස්තරයි 103 පිටුව)   
හය වැන්නාධිපති කේන්දරයේ පස් වැන්නේ පිහිටීම ද ආබාධිත විකෘති ඉන්ද්‍රියන් සහිත දරු උපත්වලට හේතු වේ. (පස් වැන්නාට සුබ ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටී තිබේ නම් ඉහත කී දෝෂය භංග වේ.)  


දරුපල නොලැබීම:  


පුත්‍රකාරක ගුරු ග්‍රහයා පාප ග්‍රහයන්ගෙන් පීඩාවීම, ගුරු සිටින රාශිය දෙපස පාපී ග්‍රහයන් පිහිටීම (පාප කර්තරී යෝගය) ගුරු නීචවීම හෝ 22 වැනි දෙර්කාණාධිපති හෝ පස් වැන්නාධිපති 22 වැනි දෙර්. පතිගේ නැකතක පිහිටීම, පස් වැන්නාධිපති දුෂ්ට රාශියක සිටිය දී පස් වැන්නට පාප දෘෂ්ටි වැටී තිබේ නම් දරුපල නැත.  


පවුලේ වැඩිමලා වී ඔහු දෙට නැකතේ උපත ලද්දේ නම් එයද වඳ දෝෂයකි. (දෙට නැකතේ උපන් අයගේ විවාහය පොසොන් මස සිදුකිරීම ද අයහපත් වන බව පාරම්පරික ජ්‍යොතීර්වේදීන්ගේ මතයකි) දරුඵල නොමැතිවීමට දෙමව්පිය දෙදෙනා විසින් පෙර භවයේ කරන ලද අකුසල කර්මයන් ද හේතු වන බව බෞද්ධ ජාතක කතා වලින් පැහැදිලි වේ.  


දරුඵල නොමැතිවීම ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේදී සඳහන් වන්නේ සර්ප ශාප යෝගය බලපෑම නිසා සිදුවන්නක් බවය.  


අලියා නාගයා ඉබ්බා කපුටා වැනි දීර්ඝායුෂ හිමි සතෙකු මරා දැමීමට හවුල්වීම මෙන්ම එවැනි පාපකර්ම දැක සතුටුවීමද ඉහත කී පාපකර්ම ලෙස සැලකේ. කැලෑ ගිනි තැබීමෙන් සත්ව ඝාතනයට සම්බන්ධ වීමද තවත් හේතුවකි.  


එ්ක පුත්‍ර යෝගය:  


ගුරු ග්‍රහයා පස් වැන්නාධිපතියා වී රවී ග්‍රහයා ද ප්‍රබල භාවස්ථානයක පිහිටීම හෝ පස් වැන්නාධිපති ත්‍රිකෝණ හෝ කේන්ද්‍රස්ථානයක පිහිටීම ද එක් දරුවෙකු පමණක් ලැබෙන යෝගයක් ලෙස ජ්‍යෝතිෂ පතපොතෙහි සඳහන් වේ.  


නිවුන් දරුවන් බිහිවීම:  


සඳු ගුරු සිකුරු යන ග්‍රහයන් මවගේ කේන්ද්‍රයේ මිථුන ධනු මීන හෝ කටක වෘශ්චික රාශියක පිහිටා තිබිය දී එයට මිථුන හෝ ධනු රාශියක සිටි ග්‍රහයන්ගෙන් දෘෂ්ටියක් ලැබෙන්නේ නම් නිවුන් දරුවන්ගේ උපත සිදුවිය හැකිය.  


දරුවන්ට හානි පමුණුවන ග්‍රහ යෝග:  


දරුපල හීනවීම මෙන්ම දරුවන්ට මාරක අපල ගෙන දෙන ග්‍රහ පිහිටීම් ද දෙමව්පියන්ගේ කේන්දර වලින් දැනගත හැකිය. 22 වැනි දෙර්. පති හෝ අට වැන්නාධිපති කුජ ග්‍රහයාගෙන් පුත්‍ර කාරක ගුරු ග්‍රහයාට අසුබ දෘෂ්ටියක් වැටී තිබීම ඉහත කී අසුබ ග්‍රහ පිහිටීම් අතර ප්‍රධාන ස්ථානයක් ගනියි.  


පස්වැන්න අයත් රාශිය නවාංශක කේන්දරයේ හය අට දොළහ දුෂ්ට ස්ථානයක් නියෝජනය කරමින් කුජ ශනි යෝගයක් දක්නට ලැබේ නම් දරුවන්ට මාරක අපල ගෙන දෙනු ඇත. (දරුවාගේ උපත සිදුවූ පසු එම ජන්ම පත පරීක්ෂා කිරීමෙන් බාලාරිෂ්ට යෝග සලකුණු දැකිය හැකිය.) එසේම නවාංශක සටහනේ පුත්‍රකාරක ගුරු ග්‍රහයා සටහන්ව ඇත්තේ රාශි කේන්දරයේ අටවැන්න අධිපති (කුජ) ගේ අංශකයක නම් ඉහත කී මාරක අපල තදින්ම ගෙන දෙනු ඇත. දරුවන්ගේ බල දුබලතාව දෙමව්පියන්ගේ කේන්දරය ඇසුරෙන් දැනගත හැකිය.  


පස් වැනි භාවය අැසුරෙන් පළමු වැනි දරුවා ද, සත් වැනි භාවයෙන් දෙවැනි දරුවා ද නව වැනි භාවයෙන් තුන් වැනි දරුවා ද එකොළොස්වැනි භාවයෙන් සිව්වැනි දරුවා ද පළමු භාවයෙන් පස්වැනි දරුවා ද තුන් වැනි භාවයෙන් හය වැනි දරුවා ද පිළිබඳව විස්තර දැනගත හැකිය.  


හය වැනි දරුවාගේ කේන්දරයේ තුන් වැනි භාවයෙන් සත් වැනි දරුවා හා සය වැනි දරුවාගේ කේන්දරයේ තුන් වැනි භාවයෙන් අට වැනි දරුවා ද ආදී වශයෙන් සෙසු දරුවන් පිළිබඳව ද විස්තර දැනගත හැකිය.  

 

 

 

 


ජ්‍යොතිර්වේදී මිල්ටන් හේවාපතිරණ,   
සුමග ජ්‍යොතිෂ කාර්යාලය,  
නව වෙළෙඳ සංකීර්ණය, 
බොරැල්ල බස්නැවතුම්පල අසල.