කුෂ්ටරාජගල බෝධිසත්ව පිළිමයේ පරණවිතානයන්ටත් නොපෙනුණු විශේෂත්වය


 

ගැමි ජනවහරේ යෙදෙන වචන ගොන්න අතර බෝධිසත්ව යන වචනය යෙදෙන ආකාරය පිළිබඳව අවධානය යොමුකිරීමේදී පෙනීයන්නේ ඉතා යහපත්, ගුණගරුක හා අගය කළයුතු ගුණාංගවලින් පිරුණු පුද්ගලයෙකු හැඳින්වීමේදී “එයා නම් බෝධිසත්වයෙක්” ලෙස ව්‍යවහාරයේ යෙදෙන බවයි. බෝධිසත්ව යන වචනයේ ගැඹුරු වචනාර්ථය ගැමියන්ට නොවැටහුණද එය භාවිත කරන ආකාරය අනුව ගැමියන් බෝධිසත්ව යන්නෙන් ඉතා යහපත් වූ උත්තමයකු හඳුනාගන්නා බව පෙනේ. ඔවුන්ට බෝධිසත්ව යන උත්තම චරිතය තේරුම් ගැනීමේදී ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වය ලබාගැනීමට පෙර බෝධිසත්වයෙකු ලෙස පාරමී දම් පිරූ ආකාරය පිළිබඳ කතා පුවත් ඉවහල් වේ. 


මේ කියන්නට යන්නේද එවන් බෝධිසත්වයෙකු පිළිබඳවය. එනම් කුෂ්ටරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය පිළිබඳවය. ඉරිදා ලංකාදීප පුවත්පතෙන් අද එම පිළිමය පිළිබඳව සොයායන්නේ ලක්දිව මෙතෙක් වාර්තා වී ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවන්හි දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයක් මෙම පිළිමයේ දක්නට ලැබෙන බැවිනි. කුෂ්ටරාජගල ප්‍රතිමාවේ මෙම විශේෂත්වය තවත් තීව්‍ර වන්නේ ප්‍රතිමාවේ දක්නට ලැබෙන මෙම සුවිශේෂී ලක්ෂණය මෙරට බිහි වූ අග්‍රගණ්‍යම පුරාවිද්‍යාඥයා වන සෙනරත් පරණවිතානයන්ගේ සූක්ෂම දෑසට පවා හසු නොවී තිබීම තුළය. 


කොළඹ දෙසින් පැමිණෙන ඔබට ගාල්ල නගරය පසුවී කි.මී. 30ක් පමණ මාතර දෙසට ගමන් කරන විට හමුවන්නේ වැලිගම නගරයයි. වැලිගම නගරයට ආසන්න වනවිට ඇති තානායම හන්දියෙන් වම්පසට විහිදෙන මාර්ගයේ ගමන් කර දුම්රිය මාර්ගයද පසුකළ විට වම්පසින් වූ ශේෂ පර්වතයක සෑරූ කුහරයක නෙළා ඇති මෙම ප්‍රතිමාව දැකගත හැකිවේ. මෙම බෝධිසත්ව ප්‍රතිමාව අඩි 12ක පමණ උසකින් සමන්විත වන අතර සමභංග ඉරියව්වෙන් නිර්මිතය. දෙපා එකිනෙකට සමාන්තරව ක්‍රමවත් ලෙස දක්වා තිබේ. රාජකීය වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී සිටින බෝධිසත්වයන්ගේ යටිකය සරසා ඇත්තේ ධෝතියකිනි. පටි ත්‍රිත්වකින් සමන්විත අලංකෘත වළලු සහිත බඳ පටියකින් ධෝතිය හැඳ ඇත. 


උඩුකයට කිසිදු වස්ත්‍රයක් නොමැති වුවද නානාප්‍රකාර වූ ආභරණයන්ගෙන් (හාර, වෛකක්ෂක හා උදරබන්ධ) උඩුකය සමන්විතය. දෑතම වළලුවලින් සරසා ඇත. දකුණතින් විතර්ක මුද්‍රාවද වමතින් කටකහස්ත මුද්‍රාවද නිරූපිතය. අඩවන් නෙත් සගලකින් යුතු හා කරුණාබරිත බැල්මකින් හෙබි මෙම බෝධිසත්ව ප්‍රතිමාව අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් ලෙස හඳුනාගන්නේ මෙහි ශීර්ෂාභරණයෙහි සමාධි බුද්ධ රුවක් මූර්තිමත් කර තිබීම හේතුවෙනි. (මෛත්‍රිය බෝසත් පිළිමයන්ගේ ශීර්ෂාභරණයෙහි දක්නට ලැබෙන්නේ ස්තූප සලකුණකි) ප්‍රතිමාවේ දක්නට ලැබෙන මූර්ති ලක්ෂණ අනුව විද්වතුන් මෙය ක්‍රි.ව.7-8 සියවස්වලට පමණ අයත් නිර්මාණයක් ලෙස සලකයි. 


කුෂ්ටරාජගල ප්‍රතිමාව ලෙස ප්‍රචලිත මෙම බෝධිසත්ව පිළිමය පිළිබඳව ජනප්‍රවාදයේ පවතින්නේ එකිනෙකට වෙනස් කරුණු සමූහයකි. එක් මතයකට අනුව කුෂ්ට රෝගය වැළඳී සිටි කිසියම් රජ කෙනෙකු තම රෝගය සුවකිරීම වෙනුවෙන් වෛද්‍යවරයාගේ ප්‍රතිමාවක් මෙම ස්ථානයේ කරවා ඇත. තවත් මතයක සඳහන් වන්නේ ලක්දිව වෙදැදුරෙකු විසින් මෙරට පොල් කෑමට දීමෙන් රජ කෙනෙකුගේ කුෂ්ට රෝගයක් සුවකර ඇති අතර එම රජුගේ රුව මෙම ප්‍රතිමාවට පාදක වී ඇති බවය. 


ජනප්‍රවාදයේ එන මතයන් කෙසේ වුවද පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ මහායාන බුදුසමයට අනුව සියලු රෝග සුව කරන්නාවූ සිංහනාද ලෝකේශ්වර යනුවෙන් හඳුන්වනු ලබන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් මෙමගින් නිරූපණය වන බවය. මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයේ ලක්දිව මෙතෙක් හමුවී ඇති කිසිදු අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක දක්නට නොලැබෙන සුවිශේෂි ලක්ෂණයක් වේ. එනම් බෝධිසත්ව ප්‍රතිමාවේ ශීර්ෂයේ එක් සමාධි රුවක් වෙනුවට සමාධි රූ 4ක් මූර්තිමත් කර තිබීමයි. එම නිසා මෙම ප්‍රතිමාව මේ ආකාරයට සමාධි රූ 4ක් ඇති එකම අවලෝකිතේශ්වර ප්‍රතිමාව ලෙස කැපී පෙනේ. 


මෙම අපූර්වතම ලක්ෂණය මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යාඥයා ලෙස සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ දෑසට හසු නොවීම තවත් පුදුමයකි. ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය කෘතියේ (1964 මුද්‍රණය) 387 පිටුවේ එතුමා මේ පිළිබඳව සඳහන් කිරීමේදී දක්වා ඇත්තේ මෙම ප්‍රතිමාවේ ඔටුන්නේ එක් ධ්‍යානි රූපයක් පමණක් ඇති බවය. නමුත් සැබෑ ලෙසම මෙහි සමාධි රූ 4ක් වේ. 


මෙරට සතරකොනේ ඇවිද ගියද ඒ කොතැනකදීවත් දැකගත නොහැකි අපූර්වතම ලක්ෂණයකින් යුතු බෝධිසත්ව ප්‍රතිමාවකි කුෂ්ටරාජගල බෝධිසත්ව ප්‍රතිමාව. එසේ නම් තිස්සමහාරාම සෑ රදුන් නමදිමින් කඳ සුරිඳුන්ගේ පිහිට පැතීමට යන ඔබ වැලිගම නගරයේදී මඳක් නැවතී ලක්දිව කොතැනකදීවත් දැකගත නොහැකි මේ අපූර්වතම ප්‍රතිමාව දැකබලා ගැනීමට අමතක නොකරන්න. 

 


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 
රත්නපුර