කුල භේද හෙළි කළ යළි උපන් දරුවෝ


පෙර භවයේ ප‍්‍රබල සාක්කි   

 

 

හඳුනාගත් පන්සල

 

ජාතීන් අතර සහ විවිධ කුල අතර මිනිස් සමාජයේ ඇතැම් විට ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් පිළිබඳව නිතර අසන්නට ලැබේ. වැඩි වශයෙන්ම කුල ගැටුම් ඇතිවන රටක් ලෙස ඉන්දියාව ප‍්‍රමුඛ ස්ථානය ගනී. ප‍ුනර්භව පර්​ෙය්ෂණ අතරද කුල ප‍්‍රශ්න මතු කළ දරුවන් රැසක් උපත ලබා ඇත්තේ ඉන්දියාවේය. 

 

එක්දහස් නමසිය පනස් හයේ වසරේදී ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේදී උපත ලද දරුවෙක් අතිශය ප‍්‍රබල ලෙස පුදුම අයුරින් කුල භේදය මතු කළේය. ගෝපාල් යනුවෙන් හැඳින්වූ එම දරුවා පෙර භවය හෙළි කිරීම ආරම්භ වූයේ කුල ප‍්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි. ඒ වන විට තෙවන වියට පත්ව සිටි එම දරුවා වයසට වඩා පැසුණු බුද්ධියකින් ක‍්‍රියා කරන බැව් දෙමාපියන්ට දක්නට ලැබිණි. ඔහු හැම විටම පිරිසිදුව සිටීමට දැඩි වෙහෙසක් ගනු ලබන බැව් දක්නට ලැබිණ. 


ඒ මගින් නිරූපණය වූයේ ඔහු තරුණ වියේ සිටින අයුරුය. නිතර නිතර ඇඳුම් මාරු කිරීමට එම දරුවා මවට බලකර සිටියේය. කිරි බොන භාජන පවා ඔහු විසින්ම කීප විටක් සේදීමට ද උත්සාහ කළේය. නිවසින් පිට වෙනත් ස්ථානයකට ගියද ඔහුගේ එම හැසිරීම නොවෙනස් විය. 


දිනක් ඔහු නිවසේ සිටියදී අමුත්තෙක් නිවසට පැමිණියේය. දෙමාපියන් දන්නා අයෙකු වූ ඔහු දරුවාගේ මවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා සිටියේය. මව ජලය වීදුරුවක් ගෙනැවිත් දුන්නේය. ඒ වන විට තෙවන වියේ පසුවූ දරුවාද ඒ අසල සිටියේය. අමුත්තා ජලය පානය කර හිස් වීදුරුවත් ඒ අසල වූ මේසය මත තැබුවේය. 


වරක් අමුත්තා දෙසත් නැවත හිස් වීදුරුව දෙසත් කීප විටක් බැලූ දරුවා එම වීදුරුව වෙත ගොස් එය අතට ගත්තේය. තම දරුවා කරන්නේ කුමක්දැයි දෙමාපියෝ බලා සිටියහ. වහා මිදුලට බැස ගිය දරුවා එම වීදුරුව ඉවතට වීසි කළේය. 


පුත‍්‍රයාගේ ක‍්‍රියාව දුටු මව “ඇයි පුතේ වීදුරුව වීසි කළේ?” යයි දරුවාගෙන් විමසුවාය. ක්ෂණයෙන් පිළිතුරු දුන් දරුවා ඒ අය පහත් කුළේ. ඒ වීදුරුව ආපසු ගන්නට එපා යයි කීවේය. පුත‍්‍රයාගේ පිළිතුරෙන් මවිතයට පත් වූ මව දරුවා පවසන කුලය ගැන විමසුවාය. එයට පිළිතුරු දුන් දරුවා “මම ෂර්මා අපි බ‍්‍රාහ්මණ කුලේ” යැයි කීය. 


එතැන් සිට පෙර භව සිදුවීම් හෙළිකරමින් පෙර ජීවිත තොරතුරු රැසක් ඔහු අනාවරණය කළේය. පෙර භවයේදී ඉතා ධනවත් ව්‍යාපාරිකයකු සිටි බවත් සොහොයුරන් දෙදෙනෙකු සිටි පවුලේ වැඩිමහල් පුද්ගලයා ඔහු බවත් එම දරුවා පැවසීය. පවුලේ අය හඳුන්වනු ලැබුවේ ෂර්මා ලෙස බවද ඔහුට මතක තිබුණි. 


පියාට ඖෂධ නිෂ්පාදන සමාගමක් හිමිව සිටි අතර පියාගේ මරණින් පසු ඔහු එම සමාගමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ බැව්ද හෙළි කළේය. පදිංචිව සිටි ප‍්‍රදේශය හැඳින්වූයේ මතුර ලෙස බැව්ද පැවසීය. 
පාසල් අධ්‍යාපනය ලබන අවදියේ සිට මෝටර් රථ තිබූ බැව්ද හෙළිකළ ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පියාගේ ව්‍යාපාරවලට සම්බන්ධ වූ බවත් පැවසීය. දිනක් ඔහු සේවය කරමින් සිටියදී ඔහු සමග කෝපයට පත්වූ සොහොයුරකු විසින් වෙඩි තැබීමක් නිසා මරණය සිදුවූ බැව්ද එම දරුවා හෙළි කළේය. මෙම දරුවාගේ පුනර්භව සිදුවීම කුලභේද මතු කළ දරුවෙකුගේ පුනර්භව සාධකයක් ලෙස පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ඇතුළත් වී තිබේ. 


1965 වසරේදී සිදු කළ එම පර්​ෙ‌ය්ෂණය ප‍්‍රථමවරට ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ. (NORTHERN INDIA PATRIKA) පුවත්පත මගිනි. අනතුරුව මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පුනර්භව පර්​ෙ‌ය්ෂකයන් රැසක් ඒ පිළිබඳව පර්​ෙ‌ය්ෂණවල නිරත වූහ. 


ගෝපාල් හෙළි කළ තොරතුරු එම පර්​ෙ‌ය්ෂණවලදී ලිඛිතව සටහන් වී ඇත්තේ මෙසේය. 


ඔවුන්ගේ පවුල හැඳින්වූයේ ෂර්මා ලෙසය. 

ඖෂධ නිෂ්පාදන සමාගමක හිමිකරුවෙකි. 

ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අයෙකි. 

දුප්පත් අයට උදව් උපකාර කළ අයෙකි. 

සොහොයුරන් දෙදෙනෙක් සිටියහ. 

පදිංචිව සිටියේ මතුර ප‍්‍රදේශයේය. 

සේවකයන් කීප දෙනෙක් සිටියහ. 

මතුර ප‍්‍රදේශයේ පන්සල්වලට ආධාර කළේය. 

එක් පන්සලක් හැඳින්වූයේ DWARKADISH TEMPLE ලෙසය. 

සේවය කරමින් සිටියදී වෙඩි පහරකට ලක්විය. 


මෙම තොරතුරුවලට අමතරව පවුලේ සිටි සොයුරු සොයුරියන්ගේ නම් ප‍්‍රකාශ කිරීමටද එදා එම දරුවාට හැකියාව තිබිණි. මේ අතර එම දරුවා අන්දරුවන්ට වඩා නිතරම තම හැඩරුව පිළිබඳව උනන්දුවක් දක්වන බැව්ද දෙමාපියන්ට දක්නට ලැබිණි. නිතරම ඔහු පිරිසිදු ඇදුම් ඉල්ලා සිටියේය. වරක් ඇඳි ඇඳුමක් තවත් වරක් ඇඳීම ඔහු ප‍්‍රතික්ෂේප කළේය. 


නිවසේදී ඔහු කිසිදු වැඩක් කිරීමද ප‍්‍රතික්ෂේප කිරීම සිරිත විය. මව විසින් හෝ කිසියම් වැඩක් කී විට අපිට එහෙදී වැඩට අය සිටියා යයි පැවසීමද සිරිත විය. හැමවිටම තරමට වඩා පැසුනු පුද්ගලයකු ලෙස එම දරුවාගේ ක‍්‍රියා කිරීමද දෙමාපියන්ගේ අවධානයට යොමුවී තිබිණි. දුප්පත් අය දුටු විට ඔවුන්ට පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වීමේ ආශාවක්ද ඔහු තුළ විය. 


කුඩා ගෝපාල්ගේ මෙම හැසිරීම් රටාව පෙරභවය හා දැඩි සබඳතාවක් ඇති බැව් ඒ පිළිබඳ සිදු කළ විමර්ශනයේදී තහවුරු විය. පෙරභවයේදී ඔහුගේ නිවසේ සේවකයින් කීප දෙනෙක් සේවය කළහ. දුප්පත් ජනයා දුටු විගස ඔවුන්ට උපකාර කිරීමට ඔහු හැම විටම ඉදිරිපත් වූ පුද්ගලයෙකු විය. 


පවුලේ සොහොයුරන් සමග ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන ගියද කල්යාමේදී එක් සොහොයුරෙක් ඔහු සමග විරසක විය. ඊට හේතු වී තිබුණේ ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් පිළිබඳව මතුවූ ගැටලුවකි. ඔහුට වෙඩි පහර එල්ලවූ දිනයේදී සොහොයුරා සමග ඒ පිළිබඳව වාදයක් ඇතිවූ බැව්ද අනාවරණය වීය. වෙඩි පහර තම පවුවට එල්ල වූ බැව් දරුවා හෙළිකළ පරිදි පෙර භවයේ මරණය සිදුවීමට හේතුවී ඇත්තේ පපුවට එල්ල වී තිබූ වෙඩි පහර බැව් මරණ පරීක්ෂණයේදී තහවුරු වීය. 


පෙරභවයේදී අතිදක්ෂ ලෙස අධ්‍යාපනය ලැබූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසු සරසවි අධ්‍යාපනය ලැබූ අයෙකි. උර්දු සංස්කෘත සහ ඉංග‍්‍රීසි යන භාෂාවලින් ඔහු නිපුණත්වයක් ලබා තිබිණි. සංගීතයටද ඔහු මහත්සේ ඇලුම් කළ අයෙකු විය. ඉන්දියාවේ ශාස්ත‍්‍රපති උපාධිය හිමිකර ගෙන සිටි ඔහුගේ ඊළඟ ඉලක්කය වී තිබුණේ එංගලන්තයට ගොස් අධිනීතිඥවරයකු බවට පත්වීමටය. එහෙත් ඔහු විදේශගත වනවාට පියා එතරම් කැමැත්තක් නොදැක්වීය. නමුත් මියයන විට එංගලන්තයට යෑමට අවශ්‍ය සියලු ලිපිගොනු ඔහු විසින් සකසා ගෙන තිබිණි. එහෙත් ඔහුගේ ජීවිතය බිලිගැනීම නිසා එයට අවස්ථාව අහිමි විය. 


මෙම පුනර්භව සාධකයේ තවත් වැදගත් කරුණක් වූයේද එම දරුවා එංගලන්තයට යාමට මහත් ආශාවක් දැක්වීමය. ඔහු ලන්ඩනයේ වීදි කීපයක නම්ද හෙළිකළේ දෙමාපියන් පුදුම කරවමිනි. එම දැනුමද දරුවාට ලැබී ඇත්තේ ඔහු පෙර භවයේ එංගලන්තයට යාමට සූදානම් වීමේ මතක සටහන් නිසා විය හැකියයි පර්​ෙ‌ය්ෂකයෝ අනාවරණය කළහ. 


පෙර භවයේ මතකය ඇසුරෙන් හෙළි කළ මෙම තොරතුරු ද ප‍්‍රබල සාක්කි ලෙස පිළිගැනීමට සිදුවිය. ඔහු වෙඩි පහර ලැබ මියයන විට තරුණ වියේ පසුවූ අතර වෙඩි තැබීම සිදුවී ඇත්තේ සේවය කළ සමාගම තුළදීය. පපුවට එල්ලවූ වෙඩි පහර පිටපැත්තෙන් පසා වී තිබිණි. රෝහල්ගත කිරීමෙන් පසු මරණය සිදුවූ බැව් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. 


මහාචාර්ය ස්ටීවන්සන් විසින් මෙම දරුවා පිළිබඳ සිදු කළ පර්​ෙ‌ය්ෂණ ඇතුළත් වාර්තාව (CASTE DIFERENCES BETWEEN SUBJECT AND PREVIOUS PERSONALITY) යනුවෙන් හඳුන්වා දී තිබේ. 
මේ අයුරින්ම කුලය පිළිබඳව ප‍්‍රශ්න මතු කළ දරුවන් කීප දෙනෙක් ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයෙන්ම පර්​ෙ‌ය්ෂණවලට ඇතුළත් වී සිටිති. බීර් යනුවෙන් හැඳින්වූ එම දරුවා ද පහත් කුලයක උපත ලබා තිබිණි. 
වයස අවුරුදු හතරක් වූ එම දරුවාට කුලය පිළිබඳ මතකයට නැගීම සිදුවූයේ මවගේ රැකියාව හේතුවෙනි. ඔහුගේ මව කසළ ශෝධක වෘත්තියේ නියැළී සිටි අතර මවගේ එම රැකියාව ඔහුගේ අප‍්‍රසාදයට හේතු වී තිිබිණි. තමා පෙර භවයේදී උසස් කුලයකට අයත්ව සිටි බැව් එම දරුවා ප‍්‍රකාශ කළේය. 


කුලහීන අය සිදු කරන සේවාවන්හි නොයෙදෙන ලෙස එම දරුවා මවට කියා සිටින්නට විය. මේ අයුරින් කුලභේද මතුකළ පෙර භවය හෙළි කළ දරුවන් නිසා ඔවුන්ගේ දෙමාපියෝ බලවත් අසීරුතාවට පත්වූ අවස්ථා තිබේ. එවැනි දරුවන් පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණවලදී පෙර භවයේ තැනැත්තා පහත් කුලයට අයත්වීම (PREVIOUS PERSONALITY IN LOWER CASTE) යනුවෙන් හැඳින්වූ අතර පෙරභවයට වඩා අඩු කුලයක උපත ලැබීම(SUBJECT IN LOWER CASTE) ලෙස පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ. 

 

 

 

 


තිස්ස ජයවර්ධන