කුරුඳු වගාවට තණ්හාවෙන් පෘතුගීසි සහ ලන්දේසීන් ගහමරාගත් මීගමු බළකොටුව


සිහිවටනයක පසුබ්ම් කතාව   

 

 

බටහිරින් මහ මුහුද හා කළපුවද නැගෙනහිරින් දෝවා ඇළ හා දලුපත ඇළද උතුරින් මාඔයද දකුණින් දියහොඳ ඇල්ලද මායිම්ව ඇති මීගමුව ඈත අතීතයේදී නිගුභීල, නිර්කලම්බු, කාමච්චෝඩය, පරසොවිකා යන නම් වලින් ද හඳුන්වා තිබේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ රාවණා රජ දවස මීගමුව හඳුන්වා ඇත්තේ නිකුම්භීල නමිනි. එහි අදහස වන්නේ ශුද්ධවූ ජලාශය යන්නයි. ද්‍රවිඩ භාෂාවේ ඊට සමාන වචනය නිර්කලම්බුය. නිර්කලම්බු පසුව ඉංග්‍රීසියට හැරවී නිගම්බු යන වචනයට පෙරළුණ බව විශ්වාස කෙරේ.   


මීගමුව පිටිපන ප්‍රදේශයේ රාවණා නම් පරම්පරාවක් දැනටත් දක්නට ඇත. එමෙන්ම කාවන්තිස්ස රජ සමයේදී විහාරමහා දේවියට උපන් දොළදුකක් සංසිඳවීමට මීවදයක් සොයා පැමිණි වේළුසුමන යෝධයා මීගමුවේ ඔරුවක බැඳ තිබූ මීවදයක් ගෙනගිය බව මහාවංශය, ථූපවංශය ආදී වංශ කතාවල සඳහන්ය. වේළුසුමන යෝධයාගේ උපන් ගම මීගමුව බවද ජනප්‍රවාදයේ එයි.   


කෝට්ටේ රාජධානිය පැවැති කාලවකවානුවේදී දිවයිනේ ප්‍රධානතම මුහුදු කොටස වූයේ මීගමුව කළපුවයි. ලන්දේසි පාලන සමයේදී මීගමුව බළකොටුවක් වශයෙන් පැවැති අතර ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයද විය. මීගමුව නගරය ගොඩනැගී ඇත්තේ බළකොටුව හා ඒවටා තිබූ පාරවල්වල රටාව අනුවය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී පැරණි බළකොටුව කඩාදමා බන්ධනාගාරය සකස් කරනු ලැබූ අතර බළකොටුවේ නටබුන් ලෙස ප්‍රධාන දොරටුව හා දෙපස කොටස පමණක් අද වන විට දක්නට ලැබේ.   


මුලින් තිබූ ලන්දේසි බළකොටුවේ සැලැස්ම තවමත් දක්නට ලැබේ. බළකොටුවක ලාංඡනය වන්නේ බැස්ටිනයක් හා ඉරටු දෙකකි. එසේම එහි නටබුන්වලින් කුරුඳු ගබඩා කිරීම සඳහා විශේෂ ගබඩා තිබූ බවද පැහැදිලිව දක්නට ලැබේ.   


වෙළෙඳාම ලන්දේසි සමයේ සුවිශේෂී කාර්යයක් විය. ඕලන්ද ඇළ සකස් කරනු ලැබුවේද ඒ සඳහාය. දැනටත් මීගමුව ධීවර කර්මාන්තයේ මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වේ. සාගරය, කළපුව හා කඩොලාන පදනම් කරගත් ධීවර කර්මාන්තය මුහුදු තීරයේ ප්‍රධාන ජීවනෝපාය වේ. පොල් වගාවද දක්නට ලැබෙන අතර උළු ගඩොල් කර්මාන්තයද දක්නට ලැබේ.   


සංචාරක ව්‍යාපාරය පැතිර පවත්නා හෙයින් ඊට සමගාමීව ගොඩනැගුණු හෝටල් රාශියක්ද මීගමුවේ ක්‍රියාත්මකය. ඉංග්‍රීසි ඉංජිනේරුවන්ගේ ඉදිකිරීමක් වන මීගමුව කළපුව ආශ්‍රිතව ඕලන්ද ඇළ නිසාත් විශේෂයෙන්ම පාරවල් සකස් කිරීම නිසාත් ජල ව්‍යුහය වෙනස් විය. බැමි හා ගොඩකිරීම් නිසාත් ජාඇළ නම් වූ ඇළ මාර්ගය ඉදිකිරීම නිසාත් වූ හානිය වැළැක්වීමට ඉංග්‍රීසීන් විසින් හැමිල්ටන් ඇළ සකස් කළද ප්‍රදේශයේ අධික ලවනතාව එයින් වැඩිවූ බව පරිසර විශේෂඥයන්ගේ මතය වේ. 

 
පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන්ද මීගමුව සඳහා වැඩි අවධානයක් යොමුකළේ කුරුඳු වගාව ඉතා සාර්ථකව පැවතියේ එම ප්‍රදේශය තුළ වීම නිසාය. කොළඹ හා මීගමුව ප්‍රදේශවල පිහිටි පෘතුගීසි බළකොටු අල්ලා ගැනීමට සැලසුම් කළ ලන්දේසීහු ඒ සඳහා මුලින්ම කළේ ලංකාව පාලනය කළ රජු හරහා උපකාර ලබාගැනීමය.   


1636 සැප්තැම්බර් 09 දින රාජසිංහ රජු විසින් පුලිකට්හි ලන්දේසි ආණ්ඩුකාර කැරල් රිජ්නියර්ස් ට ලිපියක් යවමින් පෘතුගීසීන් මෙරටින් පන්නා දැමීමට උපකාර ඉල්ලා සිටියේය. බතාවියේ ලන්දේසි පාලකයෝ රාජසිංහ රජුගේ ඉල්ලීම ගැන දැනගැනීමටත් පෙර රජුට ආධාර කිරීමට තීරණය කර සිටියහ. මේ සියල්ල සිදුවූයේ කුරුඳු වගාවට ඇති දැඩි ගිජුකම නිසාය.   


පෘතුගීසි බළකොටු පිහිටි මඩකලපුව, ත්‍රිකුණාමලය, ගාල්ල වැනි ප්‍රදේශවලට වඩා ලන්දේසීහු අත්පත් කරගැනීමට සූදානම් වූයේ කොළඹ හා මීගමුව බළකොටු යුගලයයි. පෘතුගීසීන්ද තම උපරිම බලය යෙදවූයේ මෙම බළකොටු දෙක රැකගැනීමටය. කෙසේ වෙතත් පහරදීමට අපහසු මීගමුව හා කොළඹ බළකොටුවලට පෙර මඩකළපුව පෘතුගීසි බළකොටුවට පහරදීමට ලන්දේසි හමුදාව තීරණය කළේය.   


පෘතුගීසීන් විසින් ශ්වේත වර්ණ ධජය එසවීමෙන් යටහත් බව ප්‍රකාශ කළ නිසා එහි බලවත් සටනක් ඇති නොවිණි. පසුව ලන්දේසීහු පහර දුන්නේ ත්‍රිකුණාමලයේ පිහිටි පෘතුගීසි බළකොටුවටය. නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි බළකොටු දෙකම අත්පත් කරගත් ලන්දේසීහු ඊළඟට තම අවධානය යොමු කළේ මීගමුව බළකොටුව අල්ලා ගැනීමටය. එහෙත් මීගමුව ලෙහෙසියෙන් අතහැරීමට සූදානම් නොවූ පෘතුගීසීහු තම සේනාව බළකොටුව තුළ සීරුවෙන් තැබීය.   


ලන්දේසි ජනරාල් පිලිප්ස් ලූකස්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ලද ලන්දේසි සේනාව කොළඹ පිහිටි පෘතුගීසි බළකොටුවට පහරදීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේ එදින පැවැති අධික වර්ෂාවත් අධික සුළඟත් නිසාය. මේ අතරතුර ලූකස්ට ඇතැම් දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය. සති ගණනක සිටම බලවත් ලෙස රෝගාතුරව සිටි ඔහු තම සේනාධිපතිත්වය උපසේනාධිපති කොස්ටර්ට භාරදී බතාවියට යාමට දෙසැම්බර් මස අගහරියේදී තීරණය කළේය. එහෙත් මීගමුවට පහරදීම සඳහා ඔහු දිගටම මෙහි රැඳී සිටියේය.   


ලූකස් ප්‍රමුඛ කරගත් ලන්දේසි නැව් හමුදාවට බොන ජලය හිඟවූයේ 1640 ජනවාරි මස අගභාගයේදීය. මීගමුවට සැතපුම් කීපයක් උතුරින් පිහිටි කම්මල නම් ගමට ගොඩබැසීමට ඔහුට සිදුවිය. පෘතුගීසීහු මේ පුවත දැනගත්හ. පෘතුගීසි කපිතාන්වරයා තම හමුදාවන්ට නියෝග කළේ කම්මල තෙක් ගොස් හැකිනම් ලන්දේසීන් ඔවුන්ගේ ආරක්ෂක අගල්වලින් පලවා හරින ලෙසය. පෘතුගීසි හමුදාව ඒ වනවිට රඳවා සිටියේ ආරන්දර නම් ගමේය. ආරන්දර ප්‍රදේශයේ ස්ථානගත කර සිටි පෘතුගීසී හමුදාව සිදුකරමින් සිටියේ රජතුමාගේ හමුදාව ලූකස්ගේ හමුදාවට සහායදීම සඳහා පහත රටට ඒම වළක්වාලීමය. පෘතුගීසි සේනා ආරන්දර සිට කම්මල වෙත ගමන් ගනිද්දී රාජසිංහ රජුගේ හමුදාවද ඒ පසුපසින් ගමන් ගත්හ.   


පෘතුගීසීන් ආරන්දර සිට කොපමණ වේගයකින් ගමන් කළාද කිවහොත් තෙදිනක් තිස්සේ පැමිණි ගමනේදී කිසිම ස්ථානයක ආහාර පිසීම සඳහාවත් නතර නොවී වහ වහා පැමිණි බව කියැවේ.   


ඔවුහු අධික වෙහෙස ද නොතකා කම්මල නම් ස්ථානයේ දැඩි ආරක්ෂක ස්ථානයක් තිබූ ලන්දේසීන්ට දැඩි ලෙස පහර දුන්හ. ලන්දේසීන්ට මොහොතකට පසුබසින්නට සිදුවුවත්, සෙබළුන් සංඛ්‍යාව වඩා විශාල වීමත්, ආරක්ෂක අගල් ශක්තිමත් වීමත් සතුරා විඩාවට පත්ව සිටීමත් නිසා පෘතුගීසි හමුදාවට දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නට ලන්දේසීහු සමත් වූහ. ජනවාරි 29 දින රාජසිංහ රජුගේ සේනාවද ලූකස්ගේ සේනාවට එකතු විය.   
ඒකාබද්ධ වූ ලන්දේසි සිංහල සේනා පෙබරවාරි 06 දින මීගමුවට ළඟාවූහ. ඉන් තෙදිනකට පසුව බළකොටුවට ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කරන ලදුව වැඩි අලාභයක් සිදුවීමට නොදීම ලන්දේසිහු එය අල්ලා ගත්හ.   
පලායන පෘතුගීසීන් ලුහුබඳිමින් සිංහල සේනාව යද්දී ලන්දේසීහු මීගමුව බළකොටුව අල්ලාගෙන එහි විනාශවී ගිය ප්‍රාකාර අලුත්වැඩියා කරන්නට වූහ. රාජසිංහ රජු ඒ වනවිට සිටියේ තම හමුදාවත් සමග එම ස්ථානයේය.   
තමා මේ බළකොටුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන්නට අපේක්ෂා කරන හෙයින් ලන්දේසීන් විසින් සිදුකරන අලුත්වැඩියා කටයුතු වහා නතර කරන ලෙස රජතුමා ෆිලිප්ස් ලූකස්ට නියෝග කළේය. එහෙත් ලූකස් එයට එකඟ නොවීය. ඒ අවස්ථාවේ වර්ෂ 1638 ගිවිසුමේ 3 වන වගන්තිය මුල්කරගෙන ලූකස් රජතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව 3 වන වගන්තිය විමසීමට පෙළඹුණේය.   


1638 ගිවිසුමේ 3 වන වගන්තියේ සඳහන් වන්නේ පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බළකොටුවල ලන්දේසීන් විසින් ආරක්ෂක සේනා නතර කරනු ලබන්නේ එසේ කිරීම සුදුසු බව රජතුමා කල්පනා කළහොත් පමණය යනුවෙනි. එය ගිවිසුමේ මුල් පිටපතේ සඳහන්ය. ඒ අනුව අවසානයේ තහවුරු වූයේ ලූකස්ගේ තර්කය නොව රජතුමාගේ තර්කයයි.   


ගිවිසුම ප්‍රකාරව තමන්ට අවාසිදායක තත්ත්වය තේරුම්ගත් ලූකස් 1638 ගිවිසුම වෙනුවට අලුත් කෙටුම්පතක් රජතුමාට ඉදිරිපත් කළේය.   


ලන්දේසීන් තැත් කරන්නේ කුමක් කර ගැනීමටද යන්න තේරුම් ගියවිට රාජසිංහ රජු බලවත් කෝපයට පත්විය. ලූකස්ට තවදුරටත් කන්දීම ප්‍රතික්ෂේප කළ රජු ලන්දේසීන් සමග සියලු ගනුදෙනු අත්හළේය. ඊට පසු රජු තම හමුදාවත් සමග සැතපුම් කිහිපයක් රට අභ්‍යන්තරයට ගියේය. ලූකස් මීගමුව බළකොටුව රජතුමාට භාර නොකළේය.   


ලන්දේසීන් විසින් රාජසිංහ රජු රවටනු ලැබීම දෙපක්ෂයම තුළ තිබූ සබඳතා කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. ලන්දේසීන්ගේ ප්‍රකාශන හා ක්‍රියා කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව රජතුමා කල්පනා කළේය. එහෙත් ඔහු දිගටම ලන්දේසීන් සමග සහයෝගයෙන් ක්‍රියා කළේ පෘතුගීසීන් තරමටම දුෂ්කර නැති බව සිතාය. පෘතුගීසීන් මේ රටින් සදහටම පලවා හැරිය යුතු නිසා එය ඉටුකර ගැනීම සඳහා රජු ලන්දේසීන් සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කළේය.   


ලන්දේසි හමුදාව මෙහෙයවූ උපසේනාධිපතියාවූ කෝස්ටර් 1640 ජූලි 15 දින රජු බැහැදැකීම පිණිස මහනුවරට ගියේය. රජතුමාගේ සොහොයුරාවූ විජයපාල කුමාරයා සමග රහස් සාකච්ඡාවක් පවත්වා රජුට එරෙහිව කුමන්ත්‍රණය කිරීම රාජසභා ආචාරවිධි කඩකර රජතුමාට අපහාස කිරීම සහ රජතුමා ඊට කලින් කෝස්ටර් වෙත ලබාදුන් රන්මාලය ගලවා උඩරට රාජ්‍ය නිලධාරියෙකුගේ දෙපාමුලට විසිකිරීම වැනි කාර්යයන් මගින් රජුට අපහාසයක් සිදුකිරීමත් නිසා උරණ වූ උඩරට සිංහල වැසියෝ රජුගේ රාජ්‍යය තුළ පිහිටි නිල්ගල නම් ස්ථානයේදී කෝස්ටර්ව මරා දැමූහ.   


මේ මිනීමැරුම පිළිබඳව ඇසූ රජතුමා කළේ එය තමා නොදැනුවත්ව සිංහලයින් විසින් පුද්ගලික කාරණා මත කරන ලද්දක් බව කියමින් මඩකළපුව ලන්දේසි ප්‍රධානියාවූ ඡදන්නිසන් වෙත ලිපියක් යැවීමයි. මෙම මරණය සිදුකළේ පෘතුගීසීන්ට හිතවත් සිංහලයින් බව ලන්දේසීහු සිතූහ. ගාල්ල බළකොටුව මේ වනවිටත් පෘතුගීසීන්ගේ පාලනයෙන් මුදාගෙන ලන්දේසි පාලනයකට යටත්ව තිබූ අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ කපිතාන් වොල්රේවන්ද සෙන්ට් ආමන්ට්ය.   


1640 ඔක්තෝබර් 10 දින සෙන්ට් ආමන්ට් තවත් කිහිපදෙනෙකු සමග පෘතුගීසීන්ට එක්විය. සෙන්ට් ආමන්ට් ඉතා ටික කාලයකින්ම පෘතුගීසීන්ගේ ඉතාම විශ්වාසවන්තයකු බවට පත්ව සිටි අතර ඔහු සතුව තිබූ ලන්දේසීන් පිළිබඳ රහස් තොරතුරු පෘතුගීසීන්ට ලබාගත හැකිවූ නිසා අවස්ථාවක් ලත් වහාම ලන්දේසීන් සතුව තිබූ මීගමුව බළකොටුවට පහරදී යළි එහි බලය තහවුරු කරගන්නට පෘතුගීසි කපිතාන් ජනරාල් ඇන්ටෝනියෝ මැස්කරඤ්ඤා සැලසුම් කරමින් සිටියේය.   

 

 


මෙම සැලසුම සකස්වෙද්දී ඇන්ටෝනියෝගේ සොහොයුරාවූ දොන් ෆිලිපෝ මැස්කරඤ්ඤා සෙබළුන් 360 ක් සමගින් යුද්ධෝපකරණ රැගත් නැවකින් ගෝවේ සිට මෙහි ළඟාවිය. නව කපිතාන්වරයා ලෙස පත්ව ආ ෆිලිපෝ මීගමුව වැටලීමේ ගමන ආරම්භ කළේය. මෙවැනි වැටලීමක් සිදුවන බව ලන්දේසීහු දැන නොසිටියහ.   


උඩරට සේනාවේ මිනිසුන් 3000 ක් පමණ පිරිසකින් යුත් හමුදාවක් ලන්දේසීන්ගේ සහායට පැමිණෙන බව සිංහල පණිවිඩකරුවකු අත දන්වා එව්වද දින අටක් තිස්සේ මීගමුව බළකොටුව වටකර සිටි පෘතුගීසීන්ට යටත්වීමට ලන්දේසි සේනාධිපතියා තීරණය කළේය. ලන්දේසීන් යටත්වන අවස්ථාවේදී බළකොටුවෙන් ඉවත්වෙමින් සිටි සිංහල පණිවිඩකරු පෘතුගීසීන් විසින් අල්ලා ගන්නා ලදී.   


උඩරට සිට හමුදාවක් එන බව ඇසූ දොන් ෆිලිපෝ ඊට පහරදීම සඳහා පෘතුගීසි භට කණ්ඩායම් කීපයක්ද ලස්කිරිඤ්ඤා භටයින් දෙදහසක් (2000) ද යැව්වේය. මේ අතරතුර උඩරට සේනාධිපති දොන් බ්ලැස්නාර් මීගමුව බේරාගැනීම සඳහා වේගයෙන් ගමන් ගත්තේය. තමන්ගේ ධජය ඔසවන විට ඊට ආචාර දැක්වීමක් ලෙස පෘතුගීසීන් තබන ලද වෙඩිමුරය බළකොටුවට පහරදීමක් ලෙස වරදවා තේරුම්ගත් දොන් බ්ලැස්නාර් හමුදාවේ ගමන තවත් ඉක්මන් කළේය.   

ලන්දේසීන් විසින් රාජසිංහ රජු රවටනු ලැබීම දෙපක්ෂය තුළ තිබූ සබඳතා කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. ලන්දේසීන්ගේ ප්‍රකාශන හා ක්‍රියා කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව රජතුමා කල්පනා කළේය. එහෙත් ඔහු දිගටම ලන්දේසීන් සමග සහයෝගයෙන් ක්‍රියා කළේ පෘතුගීසීන් තරමටම දුෂ්කර නැති බව සිතාය. පෘතුගීසීන් මේ රටින් සදහටම පලවා හැරිය යුතු නිසා එය ඉටුකර ගැනීම සඳහා රජු ලන්දේසීන් සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කළේය. ලන්දේසි හමුදාව මෙහෙයවූ උපසේනාධිපතියාවූ කෝස්ටර් 1640 ජූලි 15 දින රජු බැහැදැකීම පිණිස මහනුවරට ගියේය. රජතුමාගේ සොහොයුරාවූ විජයපාල කුමාරයා සමග රහස් සාකච්ඡාවක් පවත්වා රජුට එරෙහිව කුමන්ත්‍රණය කිරීම රාජසභා ආචාර විධි කඩකර රජතුමාට අපහාස කිරීම සහ රජතුමා ඊට කලින් කෝස්ටර් වෙත ලබාදුන් රන්මාලය ගලවා උඩරට රාජ්‍ය නිලධාරියෙකුගේ දෙපාමුලට විසිකිරීම වැනි කාර්යයන් මගින් රජුට අපහාසයක් සිදුකිරීමත් නිසා උරණ වූ උඩරට සිංහල වැසියෝ රජුගේ රාජ්‍යය තුළ පිහිටි නිල්ගල නම් ස්ථානයේදී කෝස්ටර්ව මරා දැමූහ.


අපේක්ෂා නොකළ පරිදි උඩරට සේනාවේ සෙන්පතියාට හා ඔහු සමග පැමිණි තුන්දහසක් (3000) පමණ සිංහල සේනාවට පෘතුගීසී හමුදාව මුහුණට මුහුණලා හමුවූ අතර, උඩරට සේනාව පලවා හැරීමට පෘතුගීසීහු සමත් වූහ. එහිදී ඇතිවූ ගැටුම්වලින් බ්ලැස්නාර් හා ඔහුගේ ආරච්චිවරු හතරදෙනාද මියගියහ.   


එම සටන ජයගැනීම පිළිබඳව පෘතුගීසීහු සතුටුවූයේ මීගමුව අල්ලාගත්තාටත් වඩා උසස් ජයග්‍රහණයක් ලෙසය. මේ අනුව මීගමුව බළකොටුව අල්ලා ගැනීම සැලකෙන්නේ ආසියාවේ ලන්දේසීන් සතුව තිබී අල්ලා ගන්නා ලද ප්‍රථම බළකොටුව ලෙසය.   


1642 ජනවාරි මාසය පුරාත් පෙබරවාරි මාසයේත්, ලන්දේසි නැව් කණ්ඩායම් යළිත් කොළඹ හා මීගමුව ප්‍රදේශවල බටහිර මුහුදේ එහා මෙහා ගිය අතර නිසන් හා බොවන්ස් යන කපිතාන්වරු තීරණය කර තිබුණේ යළි මීගමුව වැටලීමටය. ඒ සඳහා නැව් කණ්ඩායම් මග එමින් තිබුණි.   


පෙබරවාරි 10 දින නැව් දොළහකින් පැමිණි සෙබළුන් 1100 ක් සමග යුධ උපකරණ රැසක් තිබිණි. නිසන් සමග පැමිණි නැව් කණ්ඩායම මීගමුව බළකොටුව අවට ගැවසෙන ලන්දේසි නැව් පෘතුගීසීන්ගේ නෙත ගැටිණි. මේ නිසා මීගමුවට පහරදීම තවත් ප්‍රමාද කිරීමට ලන්දේසීන්ට සිදුවිය.   


ලන්දේසීන්ට අවශ්‍යව තිබුණේ කොළඹ හා මීගමුව යළි අල්ලාගෙන ලංකාවේ කුරුඳු වගාව මුළුමනින්ම හෝ ඉන් වැඩි කොටසක් තමන් සතුකර ගැනීමයි. තම සැලසුම අකුරටම ක්‍රියාත්මක කළ ලන්දේසීහු බතාවියේ සිට මෙතෙක් ලංකාවට එවන ලද විශාලතම පිරිස වූ 1700 ක භට පිරිසක් හා නැව් 13 ක් මෙරටට එවීය. ඒ කපිතාන් ෆ්රැන්ක්වා කුරන් යටතේය.   


ලන්දේසීන් මීගමුවට පහරදීමට අදහස් කරගෙන සිටින බව පෘතුගීසීන්ට කල්තබා දැනගන්නට ලැබිණි. එබැවින් දොන් ෆිල්ප්, මීගමුව ආරක්ෂා කිරීම භාරව සිටි තම සොහොයුරු ඇන්ටෝනියෝ මැස්කරඤ්ඤා වෙත පෘතුගීසි සෙබළුන් 600 ක් හා ලැස්කිරිඤ්ඤා භටයින්ගෙන් යුත් සේනාවක් ලබාදුන්නේය. දොන් ඇන්ටෝනියෝගේ පමණ ඉක්මවා ගිය දැඩි විශ්වාසය නිසාම රාත්‍රී කාලයේදී මිනිසුන් 1500 ක් ගොඩ බැස්සවීමේ දුෂ්කර කාර්යය කිසිදු බාධාවකින් තොරව කිරීමට ලන්දේසීන්ට හැකිවිය.   


1644 ජනවාරි 09 දින පැය දෙකක් ඇතුළත දොන් ඇන්ටෝනියෝ ඇතුළුව 300 ක් මරුමුවට පත්කරමින් යළිත් මීගමුව බළකොටුව අල්ලා ගන්නට ලන්දේසීහු සමත් වූහ.   


මේ අන්දමට පෘතුගීසීන් හා ලන්දේසීන් අතර වරින්වර බලය හුවමාරු වූ මීගමුව බළකොටුවට දැඩි ලොල් බවක් දෙපාර්ශවයම දැක්වූයේ අධික ලාභ ලැබිය හැකි කුරුඳු වගාව නිසාය.   


ලන්දේසි බළකොටුව පසුව ඉංග්‍රීසීන් විසින් බන්ධනාගාරය ස්ථාපිත කරන ලදී. ඒ සඳහා අවශ්‍ය කොටස පමණක් ඉතිරි කර තවත් කොටසක් ඉංග්‍රීසීන් විසින් කඩාදමා තිබේ. අද වන විට මීගමුව බළකොටුවේ නටබුන් අතර පවතින්නේ ලන්දේසීන් විසින් ඉදිකරන ලද බවට සැලකෙන මේ කුලුන පමණි.   

 


දොම්පේ අජිත් මදුරප්පෙරුම