කුඹුරේගම වලව්වේ ඇති ලංකාවේ ලොකුම වී අටුව?


 

කුඹුරේගම ඉහළ වලව්ව

පැරණි වී අටුවේ ඉදිරිපස

 

අප රටේ පුරාණ වලව් බොහොමයක් ම මේ වන විට අභාවයට ගොස් අවසන් අතර සමහර වලව් අභාවයට යමින් පවතී. එය රහසක් නොවේ. ඉන් කියවෙන්නේ රටක අතීතය, ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්ව ලක්ෂණ සහ එදා කලාකරුවන්ගේ දක්ෂතාවන් ද වියැකී යන බව නොවේද? 


වලව් නමින් හැඳින්වෙන ප්‍රභූ නිවාස තුළ පළමුව ජීවත් වූයේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ සහ ගොවි කුලයේ ඉහළම රදලවරු පමණකි. පසු කලෙක මේ ක්ෂත්‍රීය හා බ්‍රාහ්මණ කුලීනයන් ද ගොවි කුලයේ ඉහළ ම ශ්‍රේණියට ඇතුළත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ ප්‍රබල රදල පිරිසක් බිහි වී ඇති බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය කෘතියේ සඳහන් කර තිබේ. 


සෑම වලව්වකම පාහේ වී අටුවක් තිබෙන බව අප දනිමු. රවුම්, හතරැස් ආදී වශයෙන් විවිධ හැඩයන්ගෙන් ඒවා සමන්විත විය හැකියි. වී බුසල් සීයක්, දෙසීයක් නැතිනම් ඊට අඩු වැඩි වශයෙන් දැමිය හැකි ඒවාය. එම වී අටු සාදා ඇත්තේ වලව්ව තුළ හෝ පිටතිනි. වී බිස්ස ලෙසත් එම අටු ව්‍යවහාරයේ පවතී. එහෙත් වී බුසල් හත්, අටසීයක ප්‍රමාණයක් දැමිය හැකි දෙමහල් ගොඩනැගිල්ලක් තුළ ඇති අටුවක් තිබෙනවා යැයි කීවොත් සමහර විට ඔබ පුදුමයට පත්වෙනවා නිසැකය. 


සැබැවින් ම එහෙම අටු දෙමහල් ගොඩනැගිල්ලක් මහනුවර දිස්ත්‍රික්කයේ කුඹුරේගම උඩහ වලව්ව සතුය. මධ්‍යම පළාතේ වලව්වකින් හමුවන විශාලතම වී අටුවයි එය. මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2007 පෙබරවාරි මස 23 දිනැති අංක 1468 දරන ගැසට් පත්‍රය මඟින් පුරාවස්තු පනතේ 18 වන වගන්තිය යටතේ ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එහෙත් එය තවමත් සංරක්ෂණය කර නැත. 
කුඹුරේගම උඩහ වලව්වේ ඉතිහාසය සොයා ගිය අපට දැන ගන්නට ලැබුණේ එහි මුතුන් මිත්තන්ගේ අතීතය කොනප්පු බණ්ඩාර හෙවත් පළමුවන විමලධර්මසූරිය (ක්‍රි.ව. 1592 - 1604) රජතුමා දක්වා වූ ඈත අතීතයකට දිව යන බවයි. 


මේ සම්බන්ධයෙන් අප සමග විස්තර පැවසුවේ, කුඹුරේගම වලව්වේ හතර වෙනි පරම්පරාව නියෝජනය කරන සහෝදරයන් දෙදෙනෙකි. ඒ හේමන්ත කුමාර රත්නායක කුඹුරේගම (62) වැඩිමහල් සහෝදරයා සහ අජිත් සේනක රත්නායක කුඹුරේගම (60) බාල සහෝදරයා ය. ඔවුන්ට සහෝදරියන් හතර දෙනෙක් ද සිටිති. තම වලව්ව පිළිබඳ අජිත් මහතා පැවසුවේ මෙවන් අදහසකි. 


අපේ මුත්තා රත්නායක මුදියන්සේලාගේ පුංචිරාලයි. පළමුවන විමලධර්මසූරිය රජතුමාගේ ළඟම ඥාතියෙක්. මාතලේ මුල් පදිංචිකරුවෙක්. සහෝදර සහෝදරයින් හතර දෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා. ඔහු කුඹුරේගමට ඇවිත් තිබෙන්නේ සහෝදරයන් සමග කිසියම් අමනාපයක් සිදු වෙලා කියලයි තාත්තා කියා තිබෙන්නේ. 


පසුව මුත්තා කුඹුරේගම උඩහ වලව්ව සාදා පදිංචි වුණා. එදවස මේ ඉඩම් මුත්තාට ලබා දී තිබෙන්නේ, ගන්නෝරුව විහාරස්ථානයේ ස්වාමින්වහන්සේ නමක්. එයට හේතු වූයේ විමලධර්මසූරිය රජතුමාගේ පරම්පරාවේ උරුමකරුවන් බවට සනාථ වූ නිසා බවයි තාත්තා පැවසුවේ. ඒ අනුව කන්දේකුඹුර, අරඹේකඩේ, කුඹුරේගම, මැදවල, හෑදෙණිය සිට හාරිස්පත්තුව දක්වා ගොඩ ඉඩම් අක්කර සිය ගණනක් ද, මඩ ඉඩම් වශයෙන් හැටපස් අමුණක කුඹුරු ද තිබුණ බව සඳහන් වෙනවා. එය සනාථ වන්නේ ඉඩම් ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ලොකුම ඔප්පු මිටිය අප සතුව තිබුණ නිසයි. කොපමණ ඉඩම් තිබුණාද කියා අදටත් අපි දන්නේ නැහැ. 


පසුව මුත්තා ක්‍රි.ව. 1865 මාර්තු මස 31 දින සිට මධ්‍යම දිසාවේ, හාරිස්පත්තුව, මැදසිය පත්තුවේ (ඉංග්‍රීසින්ගේ කාලයේ දී) කෝරලේ හා පොලිස් මුලාදෑනී තනතුරු දැරුවා. 


මුත්තාට දරුවන් තිදෙනෙක් සිටියා. ඉන් එක්කෙනෙක් තමයි මගේ අත්තා. පුංචිබණ්ඩා රත්නායක කුඹුරේගම, ගම්මුලාදෑනි තනතුර දරා තිබෙනවා. අනෙක් සහෝදරයාගේ මිනිබිරියක් වන හිටපු මධ්‍යම පළාත් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලේකම්, පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඇතුළු මධ්‍යම පළාතේ උසස් තනතුරු කිහිපයක් දැරූ කුමුදු කරුණාරත්න මහත්මිය. ඔවුන් පදිංචිව සිටියේ පල්ලෙහා වලව්වේයි. ඉතිරි සහෝදරයා ගල්පොත්තාවලට ගොස් එහි වලව්වක් සාදගෙන පදිංචි වුණා. 


ඉන්පසුව මගේ අප්පච්චි නැතිනම් අත්තාගේ පුතා ලොකු බණ්ඩා රත්නායක කුඹුරේගම මහනුවර කච්චේරියේ රැකියවක් කළා. අප්පච්චිට එක සහෝදරියක් ඉන්නවා. මව උපමල්ලිකා විජේසුන්දර. ඇය පූජාපිටියේ පදිංචිකාරියක්. මට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියන් දෙදෙනක් සිටිනවා. මගේ වැඩිමහල් සහෝදරයා තමයි දැන් උඩහ වලව්වේ පදිංචිව සිටින්නේ. ඒ අසළ ඇති වී අටුව ලැබුණේ මටයි. දැන් මමයි එහි අයිතිකරු. පසු කාලයේ අපේ ඉඩම් අවට පන්සල්වලට පරිත්‍යාග කර තිබෙනවා. සමහර ඒවා විකුණලා. ඒ නිසා දැන් ඉතිරිව තිබෙන්නේ ගොඩ සහ මඩ ඉඩම් කිහිපයක් පමණයි. 


කුඹුරේගම යන නමින් ම, සඳහන් වන පරිදි එදා මෙහි ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි. මුත්තාට හිමි හැටපස් අමුණක වී දමන්න තමයි මේ තරම් ලොකු වී අටුවක් සාදා තිබෙන්නේ. මෙම ප්‍රදේශයේ ම අය ගොවිතැන් කළා. දෙවන ලෝක සංග්‍රාමය පැවති කාලයේ, මෙම වී ගබඩාව රජයට පවරාගෙන, ප්‍රදේශයේ ජනතාවට නොමිලේ වී බෙදා දී තිබෙනවා. පසුව යළිත් මුත්තාට ලබා දුන්නා. 
මෙය මහල් දෙකකින් යුක්තයි. වර්තමානයේ දිග අඩි 60 ක් සහ පළල අඩි විස්සකින් යුක්ත වුණත්, තව අඩි දහයක පමණ කොටසක් පිටුපසින් තිබුණා. වසර කිහිපයකට පෙර එය කඩාවැටුණා. සම්පූර්ණ උස අඩි 25 ක් පමණ ඇති. මෙය ධාන්‍යාගාරයක්. මහනුවර ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කර සාදා ඇති ගොඩනැගිල්ලක්. මහල් දෙකකින් යුක්තයි. පළමු වෙනි මහල සෑදීමට භාවිත කර ඇත්තේ දැවයි. දොර, ජනෙල්, ගරාදි, බාල්ක සඳහා මහනුවර යුගයේ දැවමය කැටයම් හරිම අලංකාරයි. 


ඉහළ මාලයේ සහ පහළ මාලයේ කාමර තුන බැගින් කාමර හයකින් යුක්තයි. බිත්තියක ඝනකම අඟල් 18 කටත් වැඩියි. ඉහළ මාලයේ ඇති කාමර තුනම යා වන අන්දමින් අටුව දැවයෙන් සාදා තිබෙන අතර, කොටස් තුනකට වෙන් කරනවා. එදා මෙම අටුවට වී ගෙනවිත් දමා ඇත්තේ ඇතින්නියක්. එම ඇතින්නිය භාවිත කළ හෙණ්ඩුව, මිණිගෙඩි තවමත් මෙහි තිබෙනවා. 


මිනිසුන් අටුවට වී දැමිීමට සහ නැවත ලබා ගැනීමට ගොඩ වී ඇත්තේ ඉනිමගක් ආධාරයෙන්. අටුවේ ඇති වී ලබා ගන්නේ එහි ම පහළින් සාදා ඇති කවුළුවකින්. එය ආවරණය කරන්නේ ලෑල්ලකින්. ලෑල්ල උස්සා වී ලබා ගැනීමෙන් පසු එය වැසෙනවා. 


පහළ මාලය භාවිත කර තියෙන්නේ කුඹුරු කෙටීම, වී පෑගීම සඳහා භාවිත කරන උදළු, නගුල්, පැදුරු ආදිය ගබඩා කිරීම සඳහායි. අපටත් මතකයි කුඩා කාලයේ ලොකු පැදුරු විශාල ප්‍රමාණයක් එල්ලා තිබුණා. මට මතකයි තාත්තා කියනවා, මේ අටුව සඳහා මුත්තාට වියදම් වෙලා තිබෙන්නේ රුපියල් හයසීයක (600) මුදලක් බව. කෙසේ වෙතත් මධ්‍යම පළාතේ වලව්වකින් හමුවන පැරණි විශාලතම වී අටුව මෙයයි. මට හිතෙන විදියට ලංකාවෙන්ම මෙවන් වී අටුවක් සොයා ගත නොහැකි බවයි. 
පදිංචිව සිටින වලව්ව සහ අටුව සඳහා මෝඩ ගඩොල් නැතිනම් තරමක් ලොකු ගඩොල් සහ හුණු මැටි භාවිත කර තිබෙනවා. වහලේ, අටුවේ දොර ජනෙල් සඳහා භාවිත කර තිබෙන්නේ වල් දෙල් සහ කොස් ගස්වලින් ඉරාගත් ලී. එදා ඒවා යත්තෙන් ගාලා රීප්ප, බාල්ක සාදා තිබෙන බව අත්තා පවසනවා. සිංහල උළු වහලවල් දෙකටම භාවිත කර තිබෙනවා. 


වලව්වට අයත් කාමර පහයි. මැද මිදුල් දෙකක්. එදා ගොම ගෑ බිමක් තිබුණේ. වර්තමානයේ ඉදිරියෙන් ඇති කොරිඩෝව වගේ ප්‍රදේශය බිත්ති බැඳ ජනෙල් දමා, තිබුණත්, එදා පැවතියේ ඕපන් වරැන්ඩාවක් ලෙසින්. එහි උත්සව, කංකාරි පැවැත්වූවා. වලව්වේ වැඩ කළ මිනිසුන්ට වාඩි වීම සඳහා ලබා දුන් දිග බංකු කිහිපයක් අදටත් මඩුවේ නැතිනම් අද භාවිත කරන මුළුතැන්ගෙයි දක්නට ලැබෙනවා. දොරවල් සියල්ල තනි ලෑල්ලෙන් සාදා තිබීමත් විශේෂත්වයක්. වලව්වේ ඉදිරියෙන් ඇති දොර ජනෙල් කිහිපයක් දිරා හානි වී තිබුණ බැවින් පසු කාලයේ ඒවා වෙනස් කළා. පොළොවට සිමෙන්ති දැම්මා. ඒ ආකාරයෙන් වලව්වේ ඇතුළත තරමක් වෙනස් කළත්, වලව්වේ හැඩයට හානියක් සිදු කළේ නැහැ. 
මුත්තලාගේ කාලයේ භාවිත කළ තඹ හැළි කිහිපයක් තිබෙනවා. ඉන් එකක වී බුසල් තුනක් තැම්බිය හැකියි. මුත්තා ගමන් කළේ අශ්ව කරත්තයකින්. රෝදවල කැටයම් කපා තිබුණා. මෑතක් වන තුරුම එය තිබුණා. ඒ සඳහා අශ්වයින් දෙදෙනක් ද සිටියා. 

 


ස්නානය සඳහා භාවිත කළ මැටිවලින් සාදා කැටයම් කරන ලද විශාල බේසමක් ද, අප සතුයි. එදා එය හඳුන්වා තිබෙන්නේ කොරහ ලෙසින්. සාමාන්‍ය කොරහකින් සිදු කරන්නේ හාල් ගැරීමයි. මෙම කෙරහා සාදා තිබෙන්නේ එදවස ආණ්ඩුකාර ප්‍රැන්සිස් බුලරි ටැම්ප්ලර් (1865) මෙම ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවල නෑම සඳහායි. එදවස ඔහු විවේක ගැනීම සඳහා මෙහි නැවතී දවස් කිහිපයක් ගත කර තිබෙනවා. 
මට මතකයි, මුත්තාගේ කාලයේ සිට වලව්වෙ සේවය කළ අයගෙන් පැවතගෙන එන අම්මා කෙනෙක් මෑතක් වන තුරු අප ළඟ සිටියා. ඇය ගමේ අනෙක් කාන්තාවන් සමග මැද මිදුලේ වී කොටන ආකාරය ගැන තාත්තා අපට කියා දෙනවා. 


මඩුගහවත්ත පන්සලේ බුදු පිළිමය ඇතුළු විහාරස්ථානය, දොඩම්ගස්තැන්න, ගිරිහාගම, නියංගොඩ, මැදවල යන විහාරස්ථාන ගොඩනැගීම සඳහා දායකත්වය දරලා තිබෙන්නේ අත්තා, මුත්තා ඇතුළු අපේ පරම්පරාවේ අයයි. අපේ වලව්වට පහළින් අත්තා අම්බලමක් පවා සාදා තිබෙනවා. 


වී අටුව සහිත ගොඩනැගිල්ලේ දැවමය කැටයම් සහ වහල දිරාපත්වෙමින් පවතිනවා. බිත්ති ගරාවැටෙනවා. එබැවින් ඉක්මනින් අලුත්වැඩියා කළ යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය සංරක්ෂණය කරන බවට වසර ගණනාවක සිට පැවසුවත්, තවමත් එය ආරම්භකරවත් නැහැ. අපට අලුත්වැඩියා කිරීමට අවසර ලබා දෙන්නෙත් නැහැ. තව ටික දවසක් යන කොට ඉතිරිව පවතින කොටසට තවදුරටත් හානි සිදු විය හැකි බව අජිත් මහතා පැවසුවේ කනගාටුවෙනි. 


මෙහි ඓතිහාසික වටිනාකමක් තිබෙන නිසා, එය ප්‍රයෝජනයට ගෙන ආදායමක් උපයා ගැනීමට හොඳ මාර්ගයක් සාදා ගත හැකියි. එබැවින් දේශීය සහ විදේශීය සංචාරකයන්ට නිවාඩු නිකේතනයක් වශයෙන් අලුත්වැඩියා කොට භාවිත කිරීමට සැලසුම් සකස් කරගෙන යනවා යැයි ද ඔහු අවසන් වශයෙන් පැවසුවේය.

 

 

සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර