කුමන්ත්‍රණය හෙළිදරව් කළ වෛද්‍යවරයා කියන කතාව


එද‌ා රට හෙල්ලූ මැතිව් පීරිස් දේවගැතිවරයාගේ කතාව-2

 

පසුගිය ලිපියෙන් මැතිව් පීරිස් මහතාගේ ජීවිත කතාව ගෙනහැර දැක්වූවෙමු. ඔහුගේ හා ඉන්ග්‍රම් මහත්මියගේ අසම්මත ප්‍රේමය නිසා පවුල් දෙකක මරණ දෙකක් සිදුවූවේය. ඒවා සොබාවික මරණ ලෙස ඒත්තු ගැන්වීමට කටයුතු කළත් වෛද්‍යවරුන්ගේ ඇති තීක්ෂණ බුද්ධිය නිසා මිනීමැරුම් පිළිබඳ තොරතුරු අනාවරණය විය.   

 

මැතිව් පීරිස් මහතා විසින් සැලසුම් කළ මිනීමරු කුමන්ත්‍රණයේ ඉයුනිස් මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ සැක සංකා මතුවූයේ එවකට ජාතික රෝහලේ සේවය කළ වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතාටය.   


එම සැකය තවදුරටත් සනාථ වූවේ ඔහු එවකට ජාතික රෝහ​ෙල් සේවය කළ වෛද්‍ය මිතුරෙකු වූ මහාචාර්ය මොහාන් ද සිල්වා සමඟ කළ සාකච්ඡාවෙන් පසුය.   
 ඒ අනුව ඉයුනිස් මැතිනියගේ රෝගි තත්ත්වයන් පිළිබඳ සුපරික්ෂාකාරී වූ ඔවුහු අවසානයේ ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කළහ. ඇගේ මරණින් පසු වෛද්‍ය වාර්තා හා වෙනත් බාහිර සාධක ඔස්සේ මිනීමරුවන් අල්ලා ගැනීම සිදුවිය.   


එද‌ා රෝගාතුර වී රෝහල් ගත කළ ඉයුනිස් මහත්මිය සම්බන්ධයෙන් උසාවියට සාක්ෂි ඉදිරිපත් කළ වෛද්‍ය ටෙරන්ස් මහතාගේ ඒ සම්බන්ධ වූ අත්දැකීම් මෙසේය.   
”මම 1979 වසරේ කොළඹ ජාතික රෝහලේ සීමාවාසික පුහුණුවේ නිරත වෙලා හිටියේ. මමයි ඩොක්ට පින්ටුයි 49 සහ 47 වාට්ටු ​බැලුවා. 1979 ජනවාරි 31 දිනයේ මම 49 වාට්ටුවේ රෝගීන්ගේ ටිකට් කපමින් හිටියේ. 12.30 ට විතර අපේ වෛද්‍යවරු දිවා ආහාරයට යනවා. ඒ වෙලාවේ වෛද්‍ය පින්ටුත් දිවා ආහාරය සඳහා ගිහින් හිටියේ. මට 47 වාට්ටුවෙන් කෝල් එකක් ආවා වාට්ටුවට හදිසි ලෙඩෙක් ගෙනාවා කියලා.මම 47 ට ගියා. හරියටම වෙලාව දවල් 12.30 යි.   


කාන්තාවක් රෝහලට ඇතුළත් කර තිබුණේ. ඇය සිහිනැතිවයි සිටියේ. ඇයත් සමඟ මැතිව් පීරිස් සිටියා. තවත් ෆාදර් කෙනෙක් හිටියා. ඒ ෆාදර් අඬනවා. මම පස්සේ දැන ගත්තේ ඔහු රෝගියාගේ සොහොයුරෙක් බව. ඔහු අපිත් එක්ක කතා කළේ නෑ. මැතිව් පීරිස් කිව්වා මේ මගේ බිරිඳ කියලා.   


මම ඔහුගෙන් ඇහුවා කොච්චර වෙලා සිහිනැතිව හිටිය ද කියලා. ඒ අහපු ප්‍රශ්නෙට මැතිව් පීරිස් පිළිතුරු දුන්නේ මේ ආකාරයටයි.   


‘ඉස්සරින් දවසේ හවස 6 ට විතර එයාට ටිකක් ගොත ගැහෙන්න පටන්ගත්තා. ඊට පස්සේ ක්‍රමයෙන් සිහිමද වෙලා, සිහි නැතිවෙලා ගියා’   


 මම මැතිව් පීරිස්ගේ කතාව අහගෙන හිටියා. මේ රෝගියා වාට්ටුවට ඇතුළත් කරන කොට දවල් 12.30 යි. මම කල්පනා කළා රෝගියාට සිහි නැතිවෙලා පැය 18 ක් විතර වෙනවා නේද කියලා. ඒ වෙලාවේ මැතිව් පීරිස් ගෙනාපු වෛද්‍ය වාර්තා පෙන්නුවා. එයා කිව්වා එයාගේ බිරිඳට වරින්වර කෑම කාලා පැය 2 න් 3 න් වගේ සිහි නැතිව යනවා කියලා. ඒත් සමඟම කතාව ගොත වෙනවා කිව්වා.   


ඊට පස්සේ ක්‍රමයෙන් සිහි නැතිවෙනවා කිව්වා. එයා කතන්දරේ කියපු හැටියට එයාගේ බිරිඳ ආහාර ගත් පසු ඉන්සියුලින් නිපදවෙනවා.   


 ඒත් අපි දන්නවා සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයේ ඉන්සියුලින් නිපදවන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි. ඒ වැඩිවෙන සීනි ප්‍රමාණය වළක්වා ගැනීම සඳහා.   


ඒ වගේම අපි දන්නවා ඉන්සියුලින් පැන්ග්‍රටික් ටියුමා කියලා රෝග තත්ත්වයක් තියෙනවා කියලා. එහිදී සිදුවන්නේ පැන්ක්‍රේස් කියන ග්‍රන්ථියේ ගැටිත්තක් වගේ දෙයක් ආවොත් ආහාරයට පොඩ්ඩක් සීනි ගත්තත් පැය දෙකකින් තුනකින් ගොඩක් සීනි නිපදවෙලා ආපසු ශරීරයේ සීනි මට්ටම බැසීමයි. හැබැයි මේ රෝග තත්ත්වය පොදු තත්ත්වයක් නෙවෙයි.   
 මේ රෝගය පිළිබඳ දැනගෙන හිටියත් ඒ වනතුරු එහෙම රෝගියෙක් මට මුණගැහිලා තිබුණේ නෑ. මේක මට අලුත් අත්දැකීමක් වුණා.   


 මැතිව් පීරිස් නිතරම කියපු ‘කෑම කාලා ටික වෙලාවකින් කතාව ගොතවෙලා සිහිනැතිව යනවා.’ කියපු තත්ත්වය අස්වාභාවිකයි කියලා හිතුණා. හේතුව මෙය අපි දැකපු නැති දෙයක් නිසා.   


 ඊට පස්සේ මම ඉක්මනින් රෝගියාගේ ප්‍රෙෂර් එක බැලුවා. ප්‍රෙෂර් එකත් ගොඩක් බැහැලා තිබුණේ. තවද සිහිනැතිකමක් තිබුණා. එහෙම කීමට හේතුව සාමාන්‍යයෙන් රෝගියෙකුගේ පපුව තෙරපන කොට අතක් හරි හොලවනවා. එහෙම තත්ත්වයක්වත් ඇයට තිබුණේ නෑ.   


 මම කළේ ඇය පරික්ෂා කරලා ඉක්මනින්ම ඔක්සිජන් සැපයීම. ඒ වගේම ඇද ඉහළ කොටස උස්සලා ඉක්මනටම සේලයින් එකක් ස්ටාර්ට් කරන්න උපදෙස් දුන්නා. ග්ලුකෝස් පරික්ෂණය සිදුකිරීමට අවශ්‍ය බවත් පැවසුවා.   


 අද වගේ ඒ කාලයේ ක්ෂණිකව ග්ලූකෝස් පරික්ෂාව කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. 1979 වසරේ ඒ පරික්ෂණය කරලා පැය තුනකින් හතරකින් තමයි වෛද්‍ය වාර්තා ලබාගත හැකි වූයේ.   


ඒ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තමයි අපිට ප්‍රතිකාර කිරීමට සිදුවූයේ. රෝගියා සම්බන්ධ කතන්දරය තියෙන්නේ ග්ලූකෝස්වලට සම්බන්ධවනේ. සීනි නැතිකමක කතාවකුයි කියවෙන්නේ. ඒ පසුබිම මත මම ඇහුවා රෝගියා බෙහෙත් මොනවා හරි ගන්නව ද කියලා. ඒ වෙලාවේ මැතිව් පීරිස් කිව්වා මානසික අවපාතයට අද‌ාළ බෙහෙත් වගයක් ගන්නවා කියලා. ඒ එක්කම මම ඇහුවා දියවැඩියා පෙති අරගෙන තියෙනවද කියලා. ඔහු නෑ කිව්වා. ඇයට දියවැඩියාව නොතිබුණ බව පැවසුවා. ඒ වගේම ප්‍රෙෂර් තිබුණේ නෑ කිව්වා.   
මේ රෝගියාගේ රෝග තත්ත්වය පොඩ්ඩක් අමුතු බව තේරුණා. මෙය සාමාන්‍ය ලෙඩක් නොවන බව මට හැඟුණා. මම අනුමාන කළා මොකක් හෝ සීනි අඩුවන ක්‍රියාවලියක් සිදුවන බව.   


 ඒ අනුව මම ඉක්මනට ග්ලූකෝස් එන්නත් කළා. ඒ වගේම ඒ දවස්වල ප්‍රෙෂර් එක පාලනය කරන්න දෙන හයිඩ්‍රොකොටිසෝන් කියන බෙහෙතත් ලබාදුන්නා. ඒ වගේම ග්ලුකෝස් සේලයින් එකකුත් ආරම්භ කළා. 

 
 මැතිව් පීරිස් මේ දිහා බලාගෙන හිටියා. ඔහු මගෙන් ඇහුවා රෝගියාට ග්ලූකෝස් ද ලබා දෙන්නේ කියලා. මම ඔව් කිව්වා.   


 ‘ඔහු එ් වෙලාවේ ‘ඔයා දෙනවා නම් ග්ලුකෝස් දෙන්න. හැබැයි ලෙඩාට ග්ලුකෝස් හොඳ නෑ’ කියලා කිව්වා. ඒ වගේම ග්ලුකෝස් දුන්නම රෝගය තවත් වැඩිවෙනවා කිව්වා.   
මැතිව් පීරිස් මට කියන්නේ පැන්ග්‍රටික් ටියුමා එකට සමාන කතාවක්. මට ඒ කතාවත් සමග පොඩි බයක් ඇතිවුණා. එකක් මම සීමාවාසික පුහුණුව ලබන කෙනෙක්. අනිත් එක ග්ලුකෝස් දෙනකොට රෝගියාට අමාරු වෙනවා කිව්වා. ඒත් මම දෙන්නේ ග්ලුකෝස්.   


ඒ වෙලාවේ ඉන්සියුලින් පැන්ග්‍රටික් ටියුමා එකට ඉන්සියුලින් දෙන්නෙ නැද්ද දන්නේ නෑ කියලා මට ප්‍රශ්නයක් මතුවුණා. ඒ වගේම මට සැකයක් මතුවුණා ඇයි මේ රෝගියා පැය 18 ක් යනකන් ගෙන ආවේ නැත්තේ කියලා. ඊට පස්සේ මම මැතිව් පීරිස්ගෙන් ඇහුවා ‘ඇයි මෙච්චර වෙලා රෝගියා නිවසේ තියාගත්තේ’ කියලා. ඒ වෙලාවේ ඔහු කිව්වේ ඇම්බියුලන්ස් එකක් හෙව්වා, ඒත් හම්බවුණේ නෑ කියලා. ඔහුගේ ගෙදර තිබිලා තියෙන්නේ රෝහලට ළඟමයි. ලෙඩාව රෝහලට උස්සගෙන උනත් අරගෙන එන්න පුළුවන් ඔහුගේ නිවසේ ඉඳලා. එද‌ා මම ඒ පිළිබඳ දැනගෙන හිටියේ නෑ.   


රෝගියා පැය 18 ක් නිවසේ තබාගෙන තිබෙනවා. ග්ලුකෝස් ලබා දුන්නම රෝගය වැඩිවෙනවා කියනවා. සීනි අඩුවුණාම ග්ලුකෝස් දිය යුතු බවයි මම දන්නේ. ලෙඩාව පරික්ෂා කරලා මම ග්ලුකෝස් ලබාදුන්නා. මොළයට ස්ථීර ලෙසම හානි සිදුවුණාම ග්ලුකෝස් ක්‍රියාකරන්නේ නෑ කියලා මම දන්නවා. ඒත් මැතිව් පීරිස්ගේ කතාවත් සමඟ මම ගැටලුවකට මැදිවුණා.   


ලෙඩාට සිහිය එන්නේ නැත්තේ මැතිව් පීරිස් කියන විදියට ග්ලුකෝස් ලබා දුන්න නිසාද? නැත්නම් ලෙඩාගේ මොළයේ ස්නායුවලට තදබල ලෙස හානි වෙලාද කියන ප්‍රශ්න මතුවුණා.   


 ඒත් මම ආයෙත් ග්ලුකෝස් ලබාදීමට කටයුතු කළා. ඒත් මැතිව් පීරිස් එයට කැමැති වුණේ නෑ. ග්ලුකෝස් රෝගියාට නුසුදුසු බව යළිත් ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ මම ටිකක් බයවුණා.   


 ඊට පස්සේ මම එයාට කිව්වා කන්සල්ටන්ට කතා කරන්නම් කියලා. ඒ වෙලාවේ එයා ඇහුවා කන්සල්ටන් එන්නේ කීයට ද කියලා. ඒ වගේම හදිසියේ එයාට කතා කිරීමට අවශ්‍ය නැති බව පැවසුවා.   


මම එයාට කිව්වා එද්දී 2.30 විතර වෙනවා. ඒ නිසා වේලාසන කතාකරන්නම් කියලා. ඒත් එයා කිව්​ෙව් කන්සල්ටන් දෙක හමාරට බලපුවාම ඇති කියලා.   


 මට මේ සිදුවීමේ අමුත්තක් දැනුණා. ඒ නිසා මම කන්සල්ටන්ට කතා කරන්න තීරණය කළා. එද‌ා අපේ ටෙලිෆෝන් ලයින්වල ප්‍රශ්නයක් වී තිබුණා. එහෙම වුණාම අපි එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා කෝල් ගන්නේ. එතනත් කෝල් ගන්න පෝලිම. එක පහුවෙලා තිබුණේ. කොහොමත් ඩොක්ටර් වෝර්ඩ් එකට 2 ට එනවා. මම කෑමට ගිහිල්ලත් එන්න ඕනෑ. ඒ නිසා මම එතන හිටපු ඩොක්ටර්ස්ලගෙන් ඇහුවා පැන්ග්‍රටික් ටියුමා එකට ග්ලුකෝස් දීම නුසුදුසුද කියලා. එයාලා කිව්වා ග්ලුකෝස් දුන්නට කමක් නෑ කියලා. මම කිව්වා ග්ලුකෝස් දුන්නා සිහිය ආවේ නෑ කියලා. හේතුව ග්ලුකෝස් දීපුවාම විනාඩියක්වත් යන්නේ නෑ සිහිය එනවා.   


මේක ලොකු ප්‍රශ්නයක්. මම කල්පනා කර කරම ක්වාටස් එකට ගියා. දිවා ආහාරත් ඉවරවෙලා තිබුණේ. මම පොඩ්ඩක් වෙලා එතන නතර වුණා. එහිදී මට වෛද්‍ය මොහාන්ව මුණ ගැහුණා. (එයා දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති). එද‌ා එයා මගෙන් ඇහුවා ඇයි කන්න එන්න පරක්කු වුණේ කියලා. මම කිව්වා රෝහලේ ඇතිවෙච්ච ප්‍රශ්නය. මම රෝගියාගේ විස්තර සටහන් කරලා තිබුණේ. ඒ පිළිබඳව විස්තර ටිකක් ඩොක්ටර් මොහාන් එක්ක පැවසුවා.   


ඊට පස්​ෙස් ඩොක්ටර් මොහාන් මගෙන් සිද්ධිය මොකක්ද කියලා ඇහුවා. මම ඔහුට කිව්වා ලෙඩා කෑම කාලා පැය 2 ක් විතර සිහිනැතිව යනවා. මීට කලිනුත් සීනි අඩුවෙලා ඩර්ඩන්ස් රෝහලේ නතර කරලා තිබෙනවා. සීනි ලබා දීලා සනීපවෙලත් තිබෙනවා කියලා. ඒ වෙලාවේ එයා කිව්වා පැන්ග්‍රටික් ටියුමා එකටත් ග්ලුකෝස් තමයි දෙන්න තියෙන්නේ. වෙන බෙහෙතක් නෑ. ඔය වගේ ලෙඩෙක් අපේ වාට්ටුවෙත් හිටියා කියලා.   


එයා හිටපු කාලේ තමයි රසල් ඉන්ග්‍රම්ව වාට්ටුවට ඇතුළත් කරලා තිබුණේ. එයා කිව්වා ඒ රෝගියාටත් මේ රෝග ලක්ෂණමයි තිබුණේ එයා මැරුණා. අපි මරණ පරික්ෂණ කටයුතු සිදුකළා. එයාට නම් පැන්ග්‍රටික් ටියුමා එකක් තිබුණේ නෑ කියලා. හැබැයි පැන්ග්‍රටික් ටියුමා කියලා තමයි ඒ ගොල්ලෝ අනුමාන කළේ කියලා කිව්වා. ඒ වගේම ඩොක්ටර් මොහාන් කිව්වා හැබැයි එතන නම් ෂුවර් නෑ. පොඩි ආරවුලක් තිබුණා. ඒ පවුලේ. ඒ පුද්ගලයා ෆාදර් කෙනෙක්. ලෙඩාගේ වයිෆ් එක්ක ඔහුට සම්බන්ධයක් තිබුණ බව කියවුණා. අපිට ඒ නිසා පොඩි සැකයක් ඇතිවුණා කිව්වා.   


හැබැයි ඒ අය පොලිසියට කියලා තිබුණේ නෑ ඒ ගැන. ඒ වෙලාවේ මම ඇහුවා එයා මොන වගේ ෆාදර් කෙනෙක්ද? මොනවද විස්තර අපිට ලෙඩාව භාර දුන්නෙත් ෆාදර් කෙනෙක් කියලා. අපි දෙන්නා විස්තර කතා කළාම තේරුණා මේ එක්කෙනාමයි කියලා. 

 
ඒ වෙලාවේ මට ප්‍රශ්නයක් නැගුණා ඇයි මීට පෙර සිදුවූ මරණය පිළිබඳව කිව්වේ නැත්තේ කියලා. සාමාන්‍යයෙන් එකම විදියේ ලෙඩක් හැදුනාම ඒ පිළිබඳ අද‌ාළ පාර්ශ්ව දන්වනවා. දැන් මට සැක කරන්න කරුණු රාශියක් එකතු වුණා.   


පළවෙනි එක ලෙඩා රෝහල්ගත නොකර දිගු වෙලාවක් නිවසේ තබා ගැනීම. දෙක ග්ලුකෝස් දෙනවට අකමැති වීම. තුන මීට පෙර සිදුවූ මරණය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොකිරීම.   


 මේ අනුව අපි හිතුවා මේ පිළිබඳව පොලිසියට දැන්විය යුතුයි කියලා. ඒ වෙනකොට අප සතුව සාක්ෂි නොතිබුණ නිසා රෝගයට හේතුව හරියටම කියන්න බෑ. ඒ නිසා අපේ සීමාවේ සිට පොලිසියට දැන්වූවා.   


ඊට පස්සේ ලෙඩා 47 වාට්ටුවේ දින 47 ක් හිටියා. අපි වරින්වර සීනි බැලුවා. සැකය නිසා පිටින් ගේන කිසිම දෙයක් රෝගියාට ලබා දීමට ඉඩ දුන්නේ නෑ. සේලයින් දුන්නා. ග්ලුකෝස් දුන්නා. වාට්ටුවේ සිටි කාලය තුළ හුස්ම ගැනීමේ අපහසුකම් ඇතිවුණා. නිව්මෝනියා තත්ත්වයක් තිබුණා. ඒවාට අපි ප්‍රතිකාර කළා. ඊට පස්සේ කව‌ද‌ාවත් සීනි අඩු වුණේ නෑ. පළමු වාර්තාවේ විතරයි සීනි අඩුවෙලා තිබුණේ. එයා ඒ දවස් ටිකේම ඩීප් කෝමා තත්ත්වයෙන් හිටියේ. අවසානයේ එයා නැතිවුණා.   


එයා සිහිනැතිවම ගෙනාවා. සිහි නැතුවම මැරුණා. රෝගියා සම්බන්ධව අපිට කිවහැකි තොරතුරු පොලිසියට ලබා දුන්නා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් මගෙන් කටඋත්තරයක් ලබා ගත්තා. එයට ආවේ මරද‌ාන පොලිසියේ ඉන්ස්පෙක්ටර් කෘෘස්.   


 මැතිව් පීරිස්ගේ බිරිඳගේ තොරතුරු ලබා දුන්නාට පස්​ෙස් මම රසල් කියන පුද්ගලයාගේ මරණයත් මේ ආකාරයටම සිදුවී ඇති බව පැවසුවා. රෝගියා ඇතුළත් කළ වෙලාවේ ඔහු පිළිබඳව දැනුම් දුන්නේ නැති බවත් පැවසුවා” ඒ එද‌ා 47 වාට්ටුවේ සේවය කළ වෛද්‍ය ටෙරන්ස්ගේ අත්දැකීම්ය.   


ඔහුගේ අත්දැකීම් එසේ වෙද්දී රෝහලේ තවත් වෛද්‍යවරු පිරිසක් මේ කටයුත්තට මෙසේ ද‌ායක වූවෝය. එනම් 47 වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා වූයේ වෛද්‍ය වික්‍රමසිංහය. ඔහු ඉයුනීස් පීරිස් මහත්මියගේ සීනි මට්ටම 30 දක්වා අඩුවීමට හේතු මොනවාදැයි සොයා බලමින් සිටියේය. විශේෂයෙන්ම රෝගියාගේ සීනි මට්ටම අඩුවීමට ඉන්සියුලින් ඇඩිකෝම රෝගි තත්ත්වය හේතු වූවේද? දියවැඩියා රෝගයට ලබා දෙන පෙති හෝ එන්නත් ශරීර ගත වූවේද යන්න සොයා බලමින් සිටියේය. එවැනි වාතාවරණයකදී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා ලබා දුන් තොරතුරු රෝගය සැකයක් බවට පත් කළේය. ඒ නිසාම මේ පිළිබඳව පොලිසියට දැනුම් දිය යුතු බවට ටිකට්පතේ ලියා තැබීමට වෛද්‍ය වික්‍රමසිංහ අමතක නොකළේය.   


එවැනි පසුබිමක් රෝහලේ තිබියදී මීට පෙර අවස්ථාවක මානසික ආතතියට ප්‍රතිකර්ම කිරීම පිණිස මැතිව් පීරිස් සිය බිරිඳ පෙන්නූ වෛද්‍ය ලක්ෂ්මන් වීරරත්නයන් ද ඉයුනීස් බැලීමට පැමිණියේය. ඇයව සිහිමුර්ජා තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළ බව දැනගත් ඔහු විමතියට පත්වූවේය. මන්දයත් ඇයව රෝහල් ගතකිරීමට පැය කීපයකට පෙර වෛද්‍ය වීරසේකර ඇය දුටුවේය. 


එහිදී ද ඇය එතරම් බරපතළ රෝගාබාධයකින් පෙළෙන බව ඔහු නොදුටුවේය. එම නිසා ඉයුනිස් පීරිස්ගේ රෝගාබාධය ගැන ඔහුට ද සැක සංකා ඇතිවූවේය.   
මෙම තොරතුරුත් සමඟ පෙබරවාරි 08 වැනි දින කාන්ති පින්තු වෛද්‍යවරිය ඉයුනිස්ගේ ග්ලුකෝස් ටොලරන්ස් පරික්ෂණය කිරීමට නියම කළාය. එහි අවසාන ප්‍රතිඵලය නිරික්ෂණය කළ ව්‍යාධිවේද විශේෂඥවරයා ඉයුනිස්ට ග්ලුකෝස් උරා ගැනීමේ ශක්තිය සුළු ප්‍රමාණයක් පමණක් ඇති බවත් අග්න්‍යාසයේ ගෙඩියක් නොමැති බවත් තහවුරු කළේය.   


මේ අනුව ඇයට ප්‍රතිකාර කළ ද කිසි විටෙකත් යළි සිහිය නොලැබුණි. ඊට හේතු ලෙස පසුව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබුණේ සිහිමුර්ඡා වී පැය 16 ක් පමණ ගතවනතුරු තබා ගැනීම නිසා ඇයගේ මොළයේ සෛලවලට හානි සිදුවී ඇති බවයි. ඖෂධවලින් කිසිදු ප්‍රගතියක් නොලැබූ ඇයට නිව්මෝනියාව ද වැලඳුණේය. දවසින් දවස ශරීර සෞඛ්‍ය පිරිහුණු ඇය මාර්තු 19 වැනි දින සඳහටම දෙනෙත් පියා ගත්තාය.   


 ඉයුනිස්ගේ මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කිරීම වෛද්‍ය මතය විය. ඒ අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එන් සුබ්‍රමනියම් මරණ පරික්ෂණය සිදුකළේය. එහිදී ඇයගේ සිරුරේ ඇඳ තුවාල දක්නට ලැබුණු බවත් ඇයගේ මොළයේ නහරයක් පුපුරා යාමත් හෝ ලේ කැටියක් දක්නට නොලැබුණු බවත් වෙනත් කිසිදු රෝගයකින් පෙළීමක් දක්නට නොලැබුණු බවත් තහවුරු වූවේය.   


 මරණ පරික්ෂණයේ අවසන් නිගමනය වූයේ රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වී නැවත යථා තත්ත්වයට පත් නොකළ හැකි සේ මොළයේ ස්නායුවලට හානි සිදුවී ඇති බවය. එසේම අතුරු ආබාධයක් ලෙස නිව්මෝනියාව වැලඳී මරණයට පත්ව ඇති බව තහවුරු කළේය.   


 ඉයුනිස් පීරිස්ගේ මරණයේ සැක සහිත බව නිසාම පොලිස් පරික්ෂණ ආරම්භ කළේය. ඒ සඳහා වෛද්‍ය සාක්ෂි ලබාගත් අතර රසල්ගේ මරණයේ සැඟවුණු රහස් ද සොයා බැලීමට අවධාරණය කළේය.   


 ඒ අනුව පොලිසිය යටතේ ඇති අපරාධ විමර්ශන අංශයේ රහස් පොලිසිය, පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක මහතාට එහි වගකීම පැවරුවේය. ඔහුගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි හේමා වීරසිංහ, පොලිස් පරික්ෂක කෲස් ඇතුළු කණ්ඩායම තොරතුරු සෙවීමට සක්‍රිය වූවෝය.   


 මෙම පිරිස වෛද්‍ය සාක්ෂි සටහන් කරගත් අතර දේවගැතිවරයාගේ නිල නිවස පරික්ෂා කර ශරීරයේ සීනි ප්‍රමාණය අඩු කළ හැකි බෙහෙත් පෙතිද සොයා ගත්තෝය. එසේම රුධිරගත සීනි පාලනය සම්බන්ධ ලියැවුණු පොතක් ද සොයාගත් අතර රසල් සම්බන්ධ ඇති වූ සැකය නිසා මාර්තු 29 වැනි දින පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් ගොනු කරන ලදී. ඒ රසල්ගේ මෘත දේහය නැවතත් ගොඩගැනීම සඳහාය. එම ඉල්ලීම සඵල විය. රසල්​ෙග් මිනිය ගොඩගැනුණේය. පරික්ෂණ ඇරඹුණේය. එහෙත් දේවගැතිවරයා උපක්‍රමශීලි වී ඇත. රසල්ගේ මෘත දේහයේ අභ්‍යන්තර අවයව සියල්ල ඉවත්කර තිබුණේය. එය පරික්ෂණ කටයුතුවලට බාධාවක් විය.   


 ඉන්පසු අප්‍රේල් 04 වැනි දින විශේෂ උසාවි නියෝගයක් ගෙන පූජක නිල නිවස පරික්ෂා කළේය. එහිදී අවශ්‍ය සාක්ෂි ලබාගත් පොලිසිය ඩැල්රින් කෙරෙහිද අවධානය යොමු කළේය. ඇයගේ ගමන් බිමන් හා දේවගැතිවරයා හමුවීම් පිළිබඳ සොයා බැලුවේය. ඔවුන් පසුපස ලුහුබැඳ ගිය පොලිසියට ඔවුන්ගේ රහසිගත ජීවිතය අනාවරණය කරගත හැකි විය. ඒ අනුව පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක විසින් පිටු 1000 ක වාර්තාවක් සකසා එය පොලිස්පති ආනා සෙනවිරත්නට යොමු කළේය.   


 එසේම මේ පිළිබඳ අධික්ෂණය කළ පොලිස් කොමසාරිස් වාමදේවන් මෙතෙක් ලැබී ඇති තොරතුරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් බව දැනුම් දුන්නේය.   


ඒ අනුව මැතිව් පීරිස් දේවගැතිවරයා අත්අඩංගුවට ගත් අතර 1979 මැයි 28 වැනි දින ඩැල්රින් ඉන්ග්‍රම්වද ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන අංශයට රැගෙන ආවාය. අවසානයේ ඇයවද අත්අඩංගුවට ගත් අතර දණ්ඩ නීති සංග්‍රහයේ අංක 102 සහ 296 සඳහන් වැරදි සිදුකිරීමට අද‌‌ාළව නීතිපතිවරයා විසින් නඩුව ගොනුකරනු ලැබීය.   


 එහිදී මරණයක් සිදුකිරීමට සැලසුම් කිරීම, මරණය සිදුකිරීම හා ඊට අනුබලදීම යන චෝදනා යටතේ නඩුව පැවරිණ.   


අවසානයේ පොලිස් විමර්ශන අවසන් වූ අතර නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් ලෙස පැවැත්වූවේය. මෙම නඩු විභාගය විශේෂ අධිකරණයක් යටතේ සිදුවූ අතර, එය ත්‍රිපුද්ගල විනිශ්චය සභාවකින් යුක්ත විය. එහි සභාපති වූයේ කොළඹ මහ අධිකරණ විනිසුරු තිස්ස බණ්ඩාරනායක මහතාය. 1983 මාර්තු 14 වැනි දින නඩු විභාගය ආරම්භ වූ අතර 1983 දෙසැම්බර් 06 වැනි දින නඩු විභාගය අවසාන විය. මාස 9 ක් පුරා පැවතුණු නඩුවේදී අනාවරණය වූ ඝාතන කුමන්ත්‍රණයේ තතු මීළඟ ලිපියේ සටහන් කරමු.   

 


 මතු සම්බන්ධයි.   

 

 

 

 සටහන කුමාරි හේරත්