කුබේර අමාරුවේ දැමූ ගනේෂගේ බඩගින්න


භාරත දේව සභාව

 

හිමාල කඳු මුදුනෙහි වූ වාසභවනයක ජීවත් වන කුබේර තමා සතු අසීමිත සම්පත් ගැන ආඩම්බරයෙන් පසුවිය. මේ වස්තු සම්භාරය ලෝකය හමුවේ පෙන්වීමේ බොලඳ ආශාවක්ද ඔහු සතුවිය. ඔහුගේ මේ අනුවණ සිතුවිලිවලට සිනාසුනු ශිව කුබේරට පාඩමක් උගන්වන්නට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටියේය.   


මේ, ශිව, කුබේරට ඉගැන්වූ නිහතමානී වීමේ ගුණය පිළිබඳ පාඩමයි,   

කුබේර යනු වත්පොහොසත්කමට හෙවත් සමෘද්ධියට අධිපති දෙවියාය. ලෝකයේ සියලු සම්පත් පාලනය කරන්නේද ඔහුය. ඒ නිසාම තම ධන්‍ය ගැන අසීමිත සම්පත් ගැන මහත් සේ ආඩම්බර වූ ඔහු, තමන්ගේ ලොකුකම ලෝකයට පෙන්වීමටද ගිජුකමක් දැක්වීය.   


ඒ සඳහා සුදුසු ක්‍රමයක් ගැන සිතමින් සිටි කුබේර සුපිරි සාදයක් පිළියෙළ කළේය. දෙව්ලොව සියලුම දෙව්වරුන්ට ඊට ඇරයුම් කළ ඔහු ශිව සහ පාර්වතීවද ඊට සහභාගී කරගත යුතු බව සිතුවේය. එම දෙදෙනා නැතුව මේ සාදය අංගසම්පූර්ණ නොවන නිසාය.   


“ශිව සහ පාර්වතී මේ සාදයට සහභාගී වුණොත් ලෝකය තේරුම් ගනීවි කුබේර කියන්නෙ මොනතරම් බලවන්තයෙක්ද කියන එක... එහෙම වුණා නම් ඔවුන් මට හුඟක් ගෞරව කරාවි.” කුබේර, තමන්ටම කියාගත්තේය.  
එසේ සිතමින් ඔහු කෛලාශ මන්දිරයට පිය මැන්නේය.  


කෛලාශ මැදුර කුබේරගේ මැදුරේ එක් කාමරයක් වැනි විය. ඒ තරම් කුඩා මැදුරක මේ තරම් උතුම් දෙවියකු වාසය කරන්නේ ඇයි යන්න කුබේරට ප්‍රශ්නයක් විය. එසේම බොහෝ දෙව්වරුද, දේවතාවියන්ද විවෘත කඳු මුදුන් තම වාසභවන බවට පත්කරගෙන හිඳිති. එයද කුබේරගේ විමතියට හේතුවිය.   


කුබේර, කෛලාශ මැදුරට පිවිසෙන විට ශිව සහ පාර්වතී සැහැල්ලු අසුනක වාඩි වී පිළිසඳර කතාවක යෙදෙමින් සිටියේය. කුබේර ඔවුන් ළඟ එකක්පස වූයේය.  


“කුබේර.” ඔහු දුටු සැනින් ශිව පැවසුවේය.  


“මොකක්ද ඔබට අවශ්‍ය?”  


“උතුමානනි” කුබේර කතා කළේ යටහත් පහත්වය.


“මට අවශ්‍ය වෙලා තියෙනවා සාදයක් පිළියෙළ කිරීමට.”


“සාදයක්...” 


දෙනෙත විසල් කරගත් පාර්වතී විමසුවාය “මොකක්ද ඒකට හේතුව?”  


කුබේර මොහොතකට ගොළුවිය. සාදයක් පැවැත්වීමට කිසිම නිමිත්තක් ඔහුට තිබුණේ නැත. ඔහුගේ එකම අවශ්‍යතාව වූයේ තම ධනවත්කම හා පරිත්‍යාගශීලීත්වය සියල්ලන්ට පෙන්වීම පමණි.  


“දේවතාවියනි.” කුබේර ගොතගැසුවේය.


“මට ඕනැ වුණා සැමරීමට. ඔව් ජීවිතය සැමරීමට මොකද ඒක හරි විනෝද ජනකයි. සාදයක් පැවැත්වූවාම දෙව්වරුන් සහ දෙවගණන් සමඟ ජීවිතය බෙද‌ාගැනීම මට සතුටක්.”  


ශිව, පාර්වතී දෙස බැලුවේය. කුබේර සාදයක් පවත්වන්නේ සාද නිමිත්තක් ඇතිව නොව තම ධනවත් බව සහ පරිත්‍යාගශීලී බව අනෙක් අයට පෙන්වීම සඳහා බව ශිවත් පාර්වතීත් වහා වටහාගත්හ. ශිව දෙතොළඟ සිනාවක් ඇඳ ගනිද්දී පාර්වතී හිස දෙපසට සැලුවාය.   


“කුබේර මට කනගාටුයි. ඔබේ සාදයට සහභාගී වීමට බැරිවීම ගැන මොකද දන්නවද අපි දෙන්නා අතිශයින්ම කාර්යබහුලයි” පාර්වතී කීවාය.  


“උතුමානනි, දේවතාවියනි, ඔබ දෙදෙනා කාර්යබහුල බව මම නොදන්නවා නෙවෙයි නමුත් මගේ මේ සාදයට පැමිණීමෙන් කාර්යබහුලත්වයට පත්ව සිටින ඔබ දෙදෙනට විවේක සුවය ලැබේවි.”  


එහෙත් ඒ කතාවට එකඟ වූයේ පාර්වතී නොවේ. ඇය වහා වාඩි වී සිටි අසුනෙන් නැගිට්ටාය.  


“කුබේර මේ මොහොතේ මගේ පුතු ගනේෂ් සිටින්නේ බඩගින්නේ ඔහුට ආහාර දීම සඳහා මා දැන් යා යුතුයි.”  


පාර්වතී කෛලාශ මැදුර තුළට යමින් කීවාය.  


කුබේර සිනාසුනේය.


“ඉතින් දෙවතාවියනි ගනේෂ් සමඟ ඔබ දෙදෙන මගේ සාදයට පැමිණියා නම් ගැටලුවක් නැහැනෙ ඔය ආහාර පිළියෙළ කරන්න මහන්සි වෙන්නේ කුමකටද?”  


එවර කතා කළේ ශිවය.


“කුබේර එසේ නම් ඔබට පුළුවනි අපේ ගනේෂ්ව ඔබේ සාදයට කැඳවාගෙන යන්නට. මේ මොහොතේ අපට බොහෝ වැදගත් වැඩ කටයුත්තක් තිබෙනවා” කුබේර හිස සැලුවේය.


“මං ශිව උතුමානන් සහ දෙවඟන කැඳවාගෙන යෑමට නොහැකි වුවොත් ගනේෂ් හරි කැඳවා ගෙන යනවා.”  


ගනේෂ් ගෙදර පැමිණියේ ඒ මොහොතේය.  


“අම්මේ මම අාවා මට යකෙක් කන්න තරම් බඩගිනියි. මොනවද රෑට කෑමට තියෙන්නෙ”  


ගනේෂ් ඇසුවේය.  


තම මව්පියන් කුබේර සමඟ කතා කරමින් සිටින හැටි ගනේෂ් දුටුවේය. ඔහු තම මව දෙස වුවමනාවෙන් බැලුවේය. ඊළඟට ඔහුගේ දෙනෙත යොමු වූයේ කුබේර වෙතය. ඔවුන්ගේ කතා බහේ කුමක් හෝ ගැටලුසහගත බවක් තිබෙන බව ගනේෂ් තේරුම් ගත්තේය.  


“කුබේර මොකක්ද ගැටලුව ඔබ මෙහෙ කුමක්ද කරන්නේ.”  


“මම සාදයක් පිළියෙල කළා” කුබේර කීවේ යටහත් පහත් ලෙසිනි.  


ගනේෂ් වහා අත්පොඩි තැලුවේය.  


“සාදයක්... ඒක හොඳයි. මම නම් හැමවිටම ඔය සාදවලට කැමැතියි. මොකක්ද ඒකට නිමිත්ත.”  


ශිව සහ පාර්වතී එකිනෙකා දෙස බැලුවේ විමතියෙනි. ඔවුන් දෙදෙනාගේම තොල් අග මන්දස්මිතයක් සටහන්ව තිබිණි.  


“ඔබ මෙහි පැමිණියේ ඒ සාදයට අප තිදෙනාවම කැඳවාගෙන යෑමටද?”  ගනේෂ් ඇසුවේය.  


“එහෙමයි.” 


“නමුත් මගේ මව සහ පියා කාර්යබහුලයි. ඒ නිසා ඔබ සමඟ යන්නට මා එන්නම්.”  


කුබේර හිස සැලුවේ ගනේෂ්ගේ කියමනට අවනත වෙමිනි.


ගනේෂ් තම මව් පියවරු දෙස බැලුවේය. ඔවුන් දෙදෙනාම හිස් සැලුවේ ගනේෂ්ට ඊට අනුමැතිය දෙමිනි. ඒ නිසා කුබේර සමඟ ගනේෂ් සාදය සඳහා යන්නට පිටත්විය.   


කුබේරගේ මැදුර විචිත්‍ර ලෙස සරසා තිබිණි. මැදුර විවිධ පහන් එල්වා ආලෝකමත් කර තිබිණි. විවිධ මල් වර්ගවලින් බිත්ති සරසා තිබූ අතර එ් මල්වලින් හැමූයේ මනරම් සුගන්ධයකි. උද්‍යානයද විසිතුරු ලෙස සරසා තිබූ අතර සිහින් ආලෝක රැසක්ම උද්‍යානයේ දිලෙමින් තිබිණි.


“ගනේෂ් ඔයා එහෙනම් ටික වේලාවක් උයන් සිරි නරඹන්න” කුබේර එසේ කියා මැදුර තුළට යන්නට සූදානම් විය.  


“කුබේර, මා ගෙදරට එන ගමන් මගේ මවට කී දේ ඔබට මතකද?  මා කීවේ මට හොඳටෝම බඩගිනි බවයි. ඒ නිසා මට ඉක්මනින්ම කෑම ලබාදෙන්න” ගනේෂ් පැවසුවේය.  


ඒ සමඟම ඔහුගේ මුව විවරවූයේ ඈනුමකටය.  


කුබේර වහාම සේවකයන්ට ආහාර මේසය සූද‌ානම් කරන්නට පැවසුවේය.  


ආහාරවල සුවඳ වහනය විය. මැටි බඳුන්වල හඬ ඒ සමගම ඇසිණි. සේවකයන්ද සේවිකාවන්ද යුහුසුළුව විවිධ ආහාර වර්ග මේස මතට ගෙන එන හැටි නෙතට රසඳුනක් වැනි විය.  


“ගනේෂ්, එන්න කන්න.” කුබේර කීවේය.  


අලි හිසක් ඇති පිරිමි ළමයා වහාම කෑම මේසයට වාඩි වූයේය. තම පිඟාන අතට ගත් ගනේෂ්, මේසය මත වූ සියලු කෑම බඳුන් තම පිඟානට හලාගත්තේය. මහත් කෑදර කමින් ආහාර ගන්නට වූ ඔහු දෙස කුබේර බලාසිටියේ පුදුමයෙනි.  


“තව ගේන්න” තම සේවකයන්ට අණකරන්නට කුබේරට සිදුවිය.  


ඔහු මේ සාදයට සිය දෙනෙකුට ඇරයුම් කර තිබිණි. තවම ඒ කිසිවෙක් සාද භූමියට පැමිණ නැත. සියල්ලටම කලින් පැමිණි ගනේෂ් ආහාරවල රස විඳියි.  


දෙවැනි වරටද කෑම මේසය පිරී ගියේය. ගනේෂ් නැවත වතාවක් ඔහුගේ පිඟාන පුරවා ගත්තේය. පෙර සේම ගිජුකමින් ඒවා අනුභව කරන්නට විය.  


ගෙනා සැනෙකින් හිස් වූ කෑම මේසය දෙසත් කුබේර දෙසත් මාරුවෙන් මාරුවට බැලූ සේවකයෝ එකිනෙකා දෙසද බලා විවිධ අභිනයන් පෑහ.  


“තව ගේන්න.” කුබේර ඔවුන්ට අණ කෙළ්ය.  


සිය දෙනෙකුට පිළියෙළ කළ කෑමවලින් හරි අඩක්ම දැන් අවසානය. එහෙත් තවමත් සාදයේ පළමු අමුත්තාගේ ආහාර කිස වත් අවසන් වූයේ නැත.  


තුන්වැනි වතාවටත් කෑම මේසය පිරී ගියේය. ග​ෙන්ෂ් තුන්වැනි වරටත් තම පිඟාන පුරවාගත්තේය.  


“තව ගේන්න” කුබේර පුරුදු විදිහටම කීවේය.  


ගනේෂ් පුරුදු විදිහටම කෑවේය. අන්තිමේදී ආහාර බඳුන් සියල්ල හිස් විය. සිය දෙනෙකුට පිළියෙළ කළ ආහාර එක් පුද්ගලයකු ගෙන් අවසාන කළේය.  


“තව ගේන්න” එවර කීවේ ගනේෂ්ය.


“මට බඩ ගිනියි.”  


“ඉවරයි” සේවකයෝ බො​ෙහා් ගරු සරු ඇතිව කුබේරට පැවසුවේය.  


“ඉවරයි?” කුබේර ඇසුවේ විශ්මයෙනි.  


“ඔව්”  


“එහෙම නම් ගමට ගිහින් ඉක්මනටම තවත් ආහාර රැගෙන එන්න.  


“කෝ ආහාර, මට බඩගිනියි.”  


ගනේෂ් එවර කීවේ කෝපයෙනි.   


සේවකයෝ මෙන්ම ආරක්ෂකයෝද ගමට දිවගියහ. කෑමට පිළියෙළ කළ හැකි සියලු ආහාර ද්‍රව්‍ය රැගෙන ආ ඔවුහු ඒවා අමුවෙන්ම ගනේෂ් වෙත ගෙන ගියේය. ඉඳි සුවඳ විහිඳීමක් නොවී තිබුණද ඒ ආහාර තොග අමුවෙන්ම ගිල දැමූ ගනේෂ් තව ගේන්නයි කෑ ගැසුවේය.   


“තව ගේන්න”  කුබේර නැවතත් සේවකයන්ට හා ආරක්ෂකයන්ට පැවසුවේය.  


“ගම්මානයේ තිබූ සියලුම ආහාර ද්‍රව්‍ය ගෙනැවිත් අවසානය. ඉවරයි ගමේ තිබුණු ආහාර ද්‍රව්‍ය සියල්ලමත් මා රැගෙන ආවා” සේවකයෝද ආරක්ෂකයෝද පහත් හඬින් කුබේරට පැවසූහ.  


“සමාවෙන්න පිළියෙල කළ සහ නොකළ සියලු ආහාර වර්ග අවසානයි” කුබේර කීවේය.  


“ඉවරයි” ගනේෂ් බෙරිහන් දුන්නේය.


මේ තරම් ආහාර චුට්ටක් හද‌ාගෙනද ඔබ මටත් දෙවියන්ටත් දෙවගනන්ටත් සාදයකට ඇරයුම් කළේ.”  


කුබේර අසරණ දෑසින් බලාසිටියේය.   


“කුබේර, ඔබ මගේ මවට පොරොන්දු වුණේ මට ආහාර දී මගේ බඩ පුරවන බවයි. නමුත් මා බඩගින්නේ සිටියදීම ඔබ ආහාර අවසන් බව පැවසීම විහිළුවක්.”  ගනේෂ් කීවේය.


“මට හොඳටම බඩගිනි එසේ නම් දැන් මම ඔබව කනවා.”  


“ඈ.”  


කුබේර වෙව්ලමින් පස්සට පැන්නේය. වහාම වෙව්ලන දෙපාවලින් දුවන්නට පටන් ගත්තේය. තම මැදුරෙන් පිට වූ ඔහු දුවගෙන දුවගෙන ගියේ තමන්ට රැකවරණය දිය හැකි තැනැත්තෙක් සොයාගන්නටය. එහෙත් තමන් රැක ගන්නට හැකි එකම පුද්ගලයා ශිව යැයි සිතන්නට කුබේරට සිදුවිය. කෛලාශ මැදුරට ගිය ඔහු ශිව සහ පාර්වතී අභියස දණින් වැටුණේය.   


“මොකද?” ශිව විමසුවේය  


හොඳටම හතිදමමින් සිටි කුබේරට වචන පිටවූයේ නැත. අන්තිමේදී ඔහු හඬන්නට පටන්ගත්තේය.  


“උතුමාණනි” කුබේර දෝත එකතු කර ශිවට වැන්දේය.


“ලෝකයේ සියලු සම්පත් තිබෙන්නේ මා ළඟ මගේ සම්පත් ගැන ධනය ගැන මා සිටියේ ආඩම්බරයෙන් නමුත් මම ගනේෂන්ගේ කුසගින්න නිම කරන්නට බැරි වුණා. දැන් ඔහු මා පසුපස ලුහුබඳිනවා ඔහු හදන්නේ මා ගිල දැමීමට.”  


ශිව මොහොතක් වේලා කුබේර දෙස බලා සිටියේය. ගෙතුළට ගිය ඔහු හාල් මිටියක් රැගෙන ආවේය.  


“ඔබ ගිහින් මේ සහල් ගනේෂ්ට දෙන්න. මෙයින් ඔහුගේ බඩගිනි නිවේවි.”   


“උතුමාන​ෙණනි මා සාදය පිළියෙළ කළේ අමුත්තන් සියයකට නමුත් ඒ ආහාර සියල්ලමත් ගත්තත් ඔහුගේ කුසගිනි නිවී නැහැ” කුබේර කෙඳිරීය.  


ශිව සිනාසුනේය.  


“කුබේර, ඔබ ඔබේ සම්පත් ගැන ධනය ගැන සිටියේ ලොකු ආඩම්බරයකින් ඔබ ඔහුට ආහාර දුන්නේ පිරිසුදු මනසකින් හෝ නිහමතමානී කමකින් නොවෙයි. දැන්වත් ඔබේ ආඩම්බරය මැඩගෙන ඔහුට මේ ආහාර ලබාදෙන්න. එවිට ඔහුගේ කුසගිනි නිවෙයි.”


කුබේර ශිව දෙස බලා සිටියේය. තමන්ගේ අනුවණ සිතිවිලි ගැන බොරු ආඩම්බරය ගැන ඔහු පළමු වතාවට කනගාටුවට පත්විය. ශිව දුන් සහල් මිටියත් රැගෙන වහාම තම මැදුර බලා ගියේය.  


ගනේෂ් කෝපයෙන් වෙව්ලමින් සිටියේය.   


“ඔහුට සහල් මිටිය දුන් කු​ෙබ්ර, එකත් පස්විය.  


මෙයින් ඔබේ කුසගිනි නිවේවි.”  


කිසිවක්ම නොපැවසූ ගනේෂ් සහල් මිටිය ගිල දැමුවේය. ඉනික්බිති මුවගට සිනාවක් නගාගත් ඔහු දෑතින්ම බඩට තට්ටු කර ගත්තේය.  


“දැන් හරි මගෙ බඩ පිරුණ” ඔබට ස්තුතියි.  


ඉහෙන් කනින් වැගිරෙමින් තිබූ දහදිය පිසගත් කුබේර සැනසුම් සුසුමක් හෙලුවේය.  


ඉන්පසු කිසි දවසක ඔහු තම අසීමිත සම්පත් ගැන හා ධනය ගැන අහංකාර වූයේ නැත.  

 

 

 


ශාන්ත කුමාර විතාන