කුණු කවරයේ දැරියකගේ සිරුරක්


මළවුන්ගේ අනාවරණ 

 

ජස්ටින් දර කඩන්න කැලෑවට ගියේ තනිවමය. වෙනදාට තවත් කවුරුන් හෝ හිටියත් එදා කිසියම් හේතුවක් නිසා වෙනත් කිසිවෙක් ඔහුගේ තනියට සිටියේ නැත. ඔහු දර සොයමින් කැලෑවේ සෑහෙන දුරක් ගියේය. කැලෑවේ ඈතින් ඈතට යද්දී ගහක් මුල දකින්න ලැබුණ අමුතු පාර්සලය දැක ජස්ටින් තුළ සැකයක් ඇති විය. ඔහු ටිකින් ටික එයට ළං වෙද්දී ඉවසිය නොහැකි දුර්ගන්ධයක් දැනෙන්නට විය. ගඳ ඉවසා ගෙන ඔහු පාර්සලයට කිට්ටු කළේය. එහි තැනින් තැන ඉරීගොස් තිබූ අතර ඒ තැන්වලින් කිසියම් දියරයක් පිටතට ගලමින් තිබිණ. කොළ පැහැති මෙම ඉටි බෑගය කුණු දැමීමට ගන්නා එකක් බව ජස්ටින් දැන සිටියේය. 


එහෙත් කසළ පාර්සලයක් මේ ස්ථානයට ගෙනවිත් දැමීමට තරම් මේ ප්‍රදේශයේ කෙනෙකුට අවශ්‍ය වන්නේ නැත. හැම කෙනෙකුටම කසළ ටික තමන්ගේම ගෙවත්තේ දාගන්න තරමට ඉඩකඩක් තිබිණ. එසේ නම් මේ මොකක්ද? එය මත විශාල ගලක්ද තබා තිබීම නිසා තවදුරටත් සැකයක් ඇතිවිය. ජස්ටින් වහාම මේ බව පොලිසියට දැනුම් දුන්නේය. 


මුලින්ම මේ ස්ථානයට ගිය පොලිසිය මෙම පාර්සලයේ තිබිය හැක්කේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් බවට සිය මූලික පරීක්ෂණවලින් නිගමනයකට එළැඹුණහ. ඒ අනුව අධිකරණයට දැනුම් දුන් වහාම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකුගේ සහය පැතීය. එම ස්ථානයට පැමිණි අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ද පාර්සලයේ ඉරී ගිය තැන්වලින් පිටතට පැමිණ තිබූ ජෙලි වැනි ද්‍රව්‍ය මියගිය පුද්ගලයෙකුගේ මාංශ පේශී බවට නිගමනය කළේය. එම නිගමනයෙන් පසු පාර්සලය එම ස්ථානයේදීම ලෙහා බලන්නට ගියහොත් අත්‍යවශ්‍ය ඇතැම් සාක්ෂිවලට හානි විය හැකි නිසා සිරුර පොලිස් මෘත ශරීරාගාරය වෙත ගෙන යාමට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා නියෝග කළේය. 


ඔහු කැමරා ශිල්පියා ලවා පාර්සලයේ ඡායාරූපයක් ලබා ගත්තේය. එම බෑගයේ වූ වෙළෙඳ නාමය ද සටහන් කර ගත්තේය. අනතුරුව බෑගය විවෘත කර එහි තිබූ දෑ පිටතට ගත්තේය. එහි වූ හිස හා අත්පා අනුව මෙය මිනිස් සිරුරක් බවට එළැඹි මුල් නිගමනයේ වරදක් නැති බව තහවුරු විය. සිරුරේ කඳ කොටස කමිසයකින් වැසී තිබිණ. අත් පාවල මස් දියවී සමහර අස්ථි පිටතට මතු වී තිබිණ. ශරීරයේ දිග පළල නිසි ලෙස නිශ්චය කරගත නොහැකි වුවත් බැලූ බැල්මට එය දරුවෙකුගේ හෝ දැරිවියකගේ ශරීරයක් බව පෙනී ගියේය. සිරුර නරක් වී තිබු ආකාරය අනුව එහි තුවාල තිබේදැයි සෙවිය නොහැකි විය. 


මෙය ඝාතනයක් බවට සැක කිරීමට දෙයක් නැත. එසේ නොවන්නේ නම් කසළ බහාලන උරයක දමා කැලෑවට ගෙනත් දැමීමේ උවමනාවක් ඇති වන්නේ නැත. ඝාතනය කවුරුන් විසින් සිදුකළේ ද යන්න සොයා ගැනීමේ දී සිරුරේ හිමිකරුවා කවුද යන්න දැන ගැනීම වැදගත් වනු ඇත. බොහෝ නරක් වූ මෘත ශරීරයක ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බාහිර ලක්ෂණ හඳුනා ගැනීමට නොහැකි වුවත් අභ්‍යන්තර ලක්ෂණ එලෙසම පවතිනු ඇත. එනම් වෘෂණ, ගර්භාෂය, ඩිම්බකෝෂ ආදිය පහසුවෙන් විනාශ වන්නේ නැති නිසා මාංශ පේෂි දියවී ගිය සිරුරක වුවද ඒවා ඉතිරිව පවතී. ඒ ඒවායේ පටක පිහිටීම අනුවය. ඒ අනුව අදාළ සිරුර ස්ත්‍රී ද පුරුෂද යන්න සොයාගත හැකිය. 


මෙම සිරුර කපා පරීක්ෂා කිරීමේ දී ඉතා කුඩා ප්‍රමාණයේ ගර්භාෂයක් හා ඩිම්බකෝෂ දෙකක් හඳුනාගත හැකි විය. එයින් අදහස් වන්නේ මෙම සිරුර ස්ත්‍රීභාවයක් සහිත අයෙකුගේ එකක් බවය. එහෙත් ඇය ගැහැනියක්ද?, යුවතියක්ද? ළාබාල තැනැත්තියක්ද? යන්න තවමත් කිව නොහැකිය. එහෙත් ගර්භාෂය වැඩී ඇති ප්‍රමාණය අනුව මෙය වැඩිහිටි කාන්තාවකගේ නම් නොවන බව සහතිකය. 


සිරුරේ ඉතිරි කොටස් පරීක්ෂා කිරීමේ දී හිස් කබල කැබලි කීපයකට බිඳී ඇති අයුරු දැක ගත හැකි විය. මොළය සම්පූර්ණයෙන්ම දිය වී ගිය ද උඩුහනුව හා යටි හනුවත් ඒවායේ දත් ද ඉතිරිව තිබිණ. දත්වල වැඩීම අනුවද වයස නිශ්චය කළ හැකිය. එක්ස්රේ පරීක්ෂණයකට මෙම හනු යොමු කිරීමෙන් පසු කිරිදත් හා ස්ථිර දත් කීපයක් හඳුනාගනු ලැබිණ. මෙය ස්ථිර වශයෙන්ම කිරි දත් හැලී ස්ථිර දත් මතුවෙමින් පවතින අයෙකුගේ බව තහවුරු විය. 


ස්ථිර දත් අතර පළමු වන පුරශ්චාර්වක දත මතුවෙමින් පැවතිණ. මධ්‍ය කෘන්තක දත, හා පැති කෘන්තක දත හොඳින් දැකගත හැකිවිය. පළමුවන චාර්වක දත අවුරුදු හයේදී ද, මධ්‍ය කෘන්තක දත අවරුදු හතේදීද, පැති කෘන්තක දත අවුරුදු හයේදීද, පළමු පුරස්චාර්වක දත අවුරුදු නවයේදී ද මතු වේ. ඇගේ පුරශ්චාර්වක දත පිරවුමකට ලක්කර ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අනුව මෙම සිරුර අවුරුදු අටත් නවයත් අතර පසුවන දැරියකගේම බවට නිගමනය කරන ලදී. 

 

අක්මාව මෘදු පටකවලින් සෑදුණු අවයවයකි. උදරයට වැරෙන් පහරක් දුන් විටදී අක්මාව පුපුරා යා හැකිය. ජීවත්ව සිටියදී අක්මාවට වැරෙන් පහරක් එල්ල වූයේ නම් එම පහරින් පුපුරා යන අක්මාවේ කුඩා පටක කැබලි අක්මාවේම රුධිර නාළ තුළට ඇතුළු වේ. මේවා රුධිරය තුළට එකතු වී රුධිර නාළ ඔස්සේ ගමන් කර අවසානයේ පිරිසිදු කිරීම සඳහා පෙණහලු කරා ගමන් කරන රුධිරය ලෙස පුප්පුශීය ධමනිය ඔස්සේ පෙණහලුවලට ඇතුල් වේ. මෙහිදී අක්මා පටක පෙණහළු තුළ වූ කුඩා කේෂනාළිකා තුළ සිර වේ. මේවා පියවි ඇසට දැකගත නොහැකි වුවත් අන්වීක්ෂීය පරීක්ෂණයක දී දැකගත හැකිය. ඉහත පරීක්ෂණයේ දී දැකගත හැකි වූයේ එම පටක කොටස්ය. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා අක්මාව බිඳී ගිය අවස්ථාවේ ඇති කරගත් සැකය, එනම් අක්මාව බිඳී ගියේ මරණයට පෙරද පසුවද යන කාරණාව සම්බන්ධ ගැටලුව දැන් විසඳී තිබේ. ඉහත පරීක්ෂණය අනුව ඇය ජීවත්ව සිටියදී අක්මාව බිඳී ගිය බව දැන් සහතිකය. 


හිස්කබල සම්පූර්ණයෙන්ම සෝදා පිරිසිදු කර බැලූ විට එය කැබලි කීපයකට වෙන් වී තිබෙනු දැකිය හැකි විය. එලෙස වෙන් වූ කැබලි සියුම්ව විද කම්බියකින් බැඳ එකලස් කරනු ලැබිණ. ඉන්පසු එහි අස්ථි බිඳී ගිය රටාව නිරීක්ෂණය කරනු ලැබිණ. මොට ආයුධයකින් එල්ල කරන ලද පහර රැසක් හිස්කබලේ දැකිය හැකිවිය. හිස් කබලේ ස්ථාන හතරක පමණ අස්ථි රහිත ලක්ෂණික සිදුරු හතරක් නිරීක්ෂණය විය. මෙම සිදුරු හතරම ඒකාකාරී විය. යම් කිසි එකම මොට ආයුධයකින් පහරදීමෙන් මෙම සිදුරු ඇති වූ බව හැගී ගියේය. ඒ ගැන වැඩිදුර සෙවීම පසුවට තබා අනෙකුත් අවයව ද පරීක්ෂා කරනු ලැබුවේය. 


ශරීර අභ්‍යන්තරයේ බොහෝ අවයව නරක්ව තිබූ අතර පැහැදිලි යමක් හඳුනාගත හැකි වුයේ අක්මාවේ පමණි. එහි දකුණු භාගය පුපුරාගොස් තිබිණ. එහෙත් එය මරණයට පෙර ඇති වූවක්ද නැත්නම් සිරුර උරයක බහා කැලයට ගෙනත් ඒ මත විශාල ගලක් පැටවීම නිසා සිදුවූවක්ද යන්න ගැන බැලූ බැල්මට නිශ්චිතව කිව නොහැකිය. පුපුරා යාමක් දැකිය හැකි වුවත් පටක පරීක්ෂා කර එහි අවස්ථා සම්බන්ධය සෙවීම අසීරු වන තරමටම අක්මාව ද නරක් වී තිබිණ. 


අක්මාව පිළිබඳ පරීක්ෂණ ද පසෙක තැබූ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා පෙණහලු පරීක්ෂාවට ලක් කළේය. එයද නරක් වූ තිබූ නමුත් අන්වික්ෂීව පටක පරීක්ෂණයට පටක කොටස් කීපයක් සොයා ගැනීමට ඔහුට හැකි විය. ඒවා වෙන්කර ගෙන අන්වීක්ෂීය පරීක්ෂණයට භාජනය කළේය. ඔහු එම පටක පරීක්ෂාවට ලක් කළේ විශේෂ වර්ණයකින් වර්ණ ගන්වමිනි. ඒ නරක් වූ පටකවල පවතින යම් යම් දැ නිරීක්ෂණය කිරීම පහසුවන පරිදිය. ඔහුගේ ඉලක්කය නිවැරදි දිසාවට යොමුවන බවක් එවිට දැකගත හැකි විය. පෙණහලු පටක වූ සියුම් කේශනාළිකා තුළ සිර වූ අක්මාවේ සියුම් පටක කොටසක් වර්ණ ගැන් වී තිබෙනු දැකිය හැකි විය. 
අක්මාව මෘදු පටකවලින් සෑදුණු අවයවයකි. උදරයට වැරෙන් පහරක් දුන් විටදී අක්මාව පුපුරා යා හැකිය. ජීවත්ව සිටියදී අක්මාවට වැරෙන් පහරක් එල්ල වූයේ නම් එම පහරින් පුපුරා යන අක්මාවේ කුඩා පටක කැබලි අක්මාවේම රුධිර නාල තුළට ඇතුළු වේ. මේවා රුධිරය තුළට එකතු වී රුධිර නාළ ඔස්සේ ගමන් කර අවසානයේ පිරිසිදු කිරීම සඳහා පෙණහලු කරා ගමන් කරන රුධිරය ලෙස පුප්පුශීය ධමනිය ඔස්සේ පෙණහලුවලට ඇතුල් වේ. මෙහිදී අක්මා පටක පෙණහළු තුළ වූ කුඩා කේෂනාළිකා තුළ සිර වේ. මේවා පියවි ඇසට දැකගත නොහැකි වුවත් අන්වීක්ෂීය පරීක්ෂණයක දී දැකගත හැකිය. ඉහත පරීක්ෂණයේ දී දැකගත හැකි වූයේ එම පටක කොටස්ය. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා අක්මාව බිඳී ගිය අවස්ථාවේ ඇති කරගත් සැකය, එනම් අක්මාව බිඳී ගියේ මරණයට පෙරද පසුවද යන කාරණාව සම්බන්ධ ගැටලුව දැන් විසඳී තිබේ. ඉහත පරීක්ෂණය අනුව ඇය ජීවත්ව සිටියදී අක්මාව බිඳී ගිය බව දැන් සහතිකය. 


බිඳීගිය හිස්කබලේ වූ සිදුරු හා අක්මාව බිඳී යාම අනුව ඇයගේ හිසටත්, අක්මාවටත් මොට ආයුධයකින් එල්ල කළ දැඩි ප්‍රහාරයක් නිසා මෙම මරණය සිදුව ඇති බව කරන ලද පරීක්ෂණවලද ප්‍රතිඵලවලින් තහවුරු විය. මේ මොට ආයුධය කුමක්ද? එයද දැන ගැනීම අත්‍යාවශ්‍යය. ඒ නිසා අධිකරණ වෛද්‍යවරයා වෙළෙඳසැලකින් විවිධ මොට ආයුද ගෙන්වා හිසෙහි ඇතිවූ සිදුරේ විශාලත්වය අනුව පරීක්ෂා කර බැලුවේය. එහිදි එක් මිටියක හිස මෙම සිදුරු සමග සැසඳිණ. දැන් ආයුධයත් කුමක්ද යන්න තහවුරුය. එහෙත් මේ ඝාතනය කවුරුන් විසින් සිදුකරන ලද්දේද? ඒ කුමක් සඳහා ද? 


මාස කීපයක් ඇතුළත අවුරුදු අටත් නවයත් අතර දැරියක අතුරුදන්වීමක් පිළිබඳව පොලිස් පැමිණිලි තිබේ දැයි පොලිසිය අවට පොලිස් ස්ථානවලින් පරීක්ෂා කර බැලුවේය. ඒ අනුව හපුතලේ පොලිසියට ලැබුණ පැමිණිල්ලක් ගැන දැනගන්නට ලැබිණ. එම පැමිණිල්ලට අනුව මාසයකට පමණ පෙර පාසල් ගිය දැරියක ආපසු නිවසට පැමිණ නැත. ඇය පිළිබඳව කිසිදු තොරතුරක් පොලිසියට සොයා ගැනීමට හැකි වී නැත. 
වයස හා සිරුර නරක් වී තිබූ ප්‍රමාණයන් අනුව අතුරුදන් දැරිය හා උරයේ බහා තිබූ මළසිරුර සමානකම් දැක්වුවත් එය නිශ්චිත වශයෙන්ම අතුරුදන් දැරියගේමද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇගේ දත්ත වාර්තා වී තිබේදැයි සොයා බැලිණ. අධිකරණ වෛද්‍යවරයාගේ කාර්යය පහසු කරමින් ඇගේ දත්ත වාර්තා ලැබිණ. එය දැරියගේ දත්ත පිරවුම හා හමුවු හිස් කබලේ දත් හා පිරවුම් කළ දත සමග මනාව සැසඳිණ. ඒ අනුව උරයේ බහාලූ සිරුර අතුරුදන් දැරියගේ බව සහතිකය. 


ඇය ඝාතනය කිරීමට උවමනා වූයේ කාටද? යන්න මීළඟ ප්‍රශ්නය විය. එහිදී මළ සිරුර බහා තිබූ උරයේ වූ වෙළඳනාමය පොලිසියට ප්‍රයෝජනවත් විය. එම වෙළෙඳ නාමය ඔස්සේ හපුතලේ අවට මෙම කසළ බහාලුම් උර අලෙවි කිරීමට නිෂ්පාදන ආයතනය විසින් සපයන වෙළෙඳසල් පිළිබඳ වාර්තාවක් ලබා ගත්තේය. 


එම වෙළෙඳ ආයතනවලින් මසක පමණ කාලයක් ඇතුළත ගනුදෙනු කළ අය පිළිබඳව ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කළේය. එහිදී එක් වෙළෙඳසලක දර්ශන අතර අතුරුදන් දැරිය යැයි සැක කළ හැකි දැරියක සමග පැමිණි කාන්තාවක් කොළ පැහැති උරයක් හා මිටියක් රැගෙන යන ආකාරය දිස් විය. ඇයට භාණ්ඩ නිකුත් කළ බිල්පත ගෙවා තිබුණේ ක්‍රෙඩිට් කාඩ් පතක් මගින් වීම නිසා එම තොරතුරු අනුව යමින් ඇය සොයා ගැනීමට පොලිසියට හැකි විය. 


ඇයගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඝාතනය පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් විය. මෙම කාන්තාව ඝාතනයට ලක් වූ දැරියගේ පවුලේ සමීප හිතවතෙකි. ඒ නිසා දැරිය ද ඇයව හොඳින් හඳුනාගෙන සිට ඇත. මෙම කාන්තාවගෙන් දැරියගේ පියා බලුපැටියෙක් මිල දී ගෙන තිබු අතර දැරිය බෙහෙවින් බලු පැටවුන්ට ආදරය කළාය. ඒ නිසා බලු පැටියෙක් පෙන්වන පොරොන්දුව මත සැකකාර කාන්තාව දැරිය කැඳවාගෙන ගොස් තිබේ. එසේ සිදුකර තිබෙන්නේ ඇගේ මානසික රෝගයකින් පෙළෙන සැමියාගේ බලකිරීම නිසාය. කුඩා දැරියක්, මිටියක් හා කසළ බහාලන මලු කෙසේ හෝ ගෙන එන්නැයි ඔහු සැකකාර කාන්තාවට බලකර තිබේ. 


දැරිය කැඳවාගෙන පැමිණි පසු ඇගේ උදරයට මිට මොළවා පහර දී පසුව හිසට ද පහර එල්ල කර තිබේ. ඒ සඳහා මිටිය යොදාගෙන ඇත. අනතුරුව දැරියගේ සිරුර කසළ බහාලන මල්ලක බහා පයිනස් වනයට බැහැර කර තිබේ. ඒ සඳහා මානසික රෝගී සැමියාට සැකකාර කාන්තාව ද සහය දී තිබේ. තමන් එසේ කළේ එසේ නොකළහොත් තමන්ට දැඩි හිංසනයකට ලක්වීමට සිදුවන බව දැන සිටි නිසා යැයි සැකකාරිය පොලිසියට පැවසීය. ඒ අනුව සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබූ අතර දිර්ඝ නඩු විභාගයකින් පසු ඔවුන් පෝරකයට නියම විය. 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න) 


අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සටහන් කළේ 
මුදිතා දයානන්ද