කුණ්ඩසාලේ රජවාසලට බලෙන් ගෙන ගිය තරුණිය


මහනුවර නගරයේ සිට සැතපුම් හතරක් ගියවිට මහවැලි ගඟේ ලේවැල්ල තොටුපළ හමුවෙයි. දෙවෙනි රාජසිංහ රජු දුම්බරට අධිපති පිටියේ දෙවිඳුගේ සහාය ලබා දෙවියන් මහ දවල් මැවූ අන්ධකාරයක් මැද පාර වැරදී මංමුළා වූ පෘතුගීසි හමුද‌ාවක් සමූලඝාතනය කොට ගඟේ සුදු වැලි තලාව පරංගි ලෙයින් රතුපාට කළ ගං තොටුපළ ඉන්පසු ‘ලේවැල්ල’’ නමින් ප්‍රසිද්ධ විය. ලේවැල්ල සෙන්කඩගල නගරයේ එක් කෙළවරකි. එමෙන්ම එද‌ා සෙන්කඩගල නගරයට පිවිසුණු ප්‍රධාන තොටුපළක් වූයේ ලේවැල්ලයි. කුණ්ඩසාලේ අගනුවර කොටගෙන රජකළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු පිලවල, යක්ගහපිටිය, සිරිමල්වත්ත හරහා ලේවැල්ල තොටුපළට පැමිණ තම පිරිවර කැටුව එහි දිය ක්‍රීඩාවට පුරුදුව සිටියේය. ගඟ අද්දර උස්ගල්තලාවක සිට ගඟට පැන පිහිනීම රජුගේ පුරුද්දක් විය. ඒ ස්ථානය අදත් ‘පිනුම්ගල’ යනුවෙන් හැඳින්වෙයි. රජු මරා දැමීම සඳහා කහඳ සුමිත්‍ර බණ්ඩාර නමැති අධිපතියෙක් රජු ගඟට පනින පිනුම් ගල යටින් යකඩ උල් ගඟ පතුලේ සිටුවීය. ගඟ දිය මත බත්කූරෙක් වසා සිටිනු දුටු රජු සැකසිතී ගඟ පතුල රාජ පුරුෂයින් ලවා සෝදිසි කරන විට ගඟ පතුලේ සඟවා තිබූ යකඩ උල් හමු විය. එම උල් හිටවූ කහඳ සුමිත්‍ර බණ්ඩාර අල්ලා මැරූ ස්ථානය අදත් ලේවැල්ලට නුදුරුව බණ්ඩාර දැව්ගොඩ නමින් සිරිමල්වත්ත හන්දියේ බෝධිගල විහාරයට යන පාරේ හමුවෙයි. බණ්ඩාර දැව්ගොඩ යාව පිහිටි බෝධිගල විහාරයට ඒ නම ලැබුණු හැටි රසවත් ඓතිහාසික ප්‍රේම කතාවකි.   


ඒ 1707-1715 කාලය තුළ කුණ්ඩසාලේ අගනුවර පිහිටුවා ගෙන උඩරට අවසාන සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ කරන අවධියයි. මේ රජකුමරා පිය රජු විසින් කුඩා කල තෙල්දෙණිය උඩිස්පත්තුව නුදුරු කඩතුරා ගල්ලෙන තුළ සඟවා රහසේ ඇති දැඩි කර ඇත. කඩතුරා ගල්ලෙන සිට සෙන්කඩගල දක්වා කුමරු ඉඳහිට යනවිට රමණීය තැනිතලා බිමක කටගහ වතුර පිරී ගලන මහවැලි ගඟේ චමත්කාරය රසවිඳීමට නැවතී ගිමන් හැරීම පුරුද්දක් විය. රජකමට පත් තරුණ නරේන්ද්‍රසිංහ කුමරු තමා ප්‍රිය කළ මේ චමත්කාර බිම්කඩ වූ කුණ්ඩසාලේ තම මුල් අගනුවර කර ගත්තේය. කාව්‍ය, ගීත, නාට්‍ය, නැටුම්, ස්ත්‍රිය, සුරාව ප්‍රිය කළ තරුණ නරේන්ද්‍රසිංහ රජු විනෝදකාමියෙකු විය. ඒ නිසාම ජන කවිවලි ‘සෙල්ලම් නිරිඳු’’ ලෙස ඔහු හඳුන්වයි. මුල් කාලවල ඔහුට සිංහල කුමාරිකාවන් කීප දෙනෙකුම බිසෝ තනතුරේ සිට ඇත. ඔහුට ද‌ාව සිංහල කුමාරිකාවන්ට ​ඉපදුණු සිංහල දරුවන් දෙදෙනෙකු ගැන ඉතිහාස මූලාශ්‍රවල කියවෙයි.   


ඉන් උනම්බුවේ බණ්ඩාර කුමරු වඩාත් ප්‍රසිද්ධය. රජුට ද‌ාව ගම්පොල උණම්බුව පෙළපතේ වංශවත් තරුණියක් ලද පුතා උණම්බුවේ බණ්ඩාර විය. එහෙත් මව රාජ වංශයට අයිති නොවූ නිසා ඔහුට රජකම අහිමි විය. සිංහල රදළවරු මේ කතාවේ කියවෙන රූමත් වංශවත් තරුණිය රජුට බලෙන් රැගෙන ආවේ ඉන් පසුවයි.   


එහෙත් ඇය ආකාලයේ දිවි නසාගත් නිසා රජුට දකුණු ඉන්දියාවෙන් නයක්කාර් පරපුරේ කුමරියන් ගෙන ඒම නිසා පසු කල උඩරට රාජ්‍යය දකුණු ඉන්දීය නායක්කාර් පරපුර සතුවිය. එයට ​හේතුව රජුට පුතුන් නොවී නම් නායක්කාර් සම්ප්‍රද‌ාය අනුව බිසවුන්ගේ සහෝදරයින්ට රජකම පැවරුණු බැවිනි.   


තෙල්දෙණිය උඩිස්පත්තුව කඩතුරා ගල්ලෙනේ රහසේ ජීවත්වන තරුණ නරේන්ද්‍රසිංහ කුමරු ඒ අවට ප්‍රදේශවල ඇවිදීම ප්‍රිය කළේය. කුරුකොහොගම උඩිස්පත්තුව කිට්ටුව පිහිටා ඇත. දිනක් එහි යමින් සිටි තරුණ කුමරු එක් වෙල්යායක ළිඳක දිය නාමින් සිටි තරුණ රූමත් ස්ත්‍රියක් දුටුවේය.   


රජුගේ සිතගිය මේ තරුණිය සොයා පසු කල රාජ දූතයෝ ඇය සොයා ගියහ. ඒ වන විට ඇය තරුණයෙකු හා විවාහයට පොරොන්දු දී තීන්දුවී තිබුණි.   


රාජ පුරුෂයෝ ඒ කිසිවකට කන් නුදුන්නහ. දෙමාපියෝ ඇය රජ වාසලට යැවීමට බෙහෙවින් කැමති වූහ. ඇය ද විලාප තබමින් එයට අකැමැත්ත පළ කළාය. එදින වාද විවාද මැද කරුවල විය. රාජ දූත පිරිස කුරුකොහොගම ප්‍රභූ නිවසක රාත්‍රී නතර වී පසුද‌ා උදෑසන ඇගේ අකැමැත්ත අදෝනා විලාප මැද බලෙන් ඇය උඩිස්පත්තුව, තෙල්දෙණිය හරහා කුණ්ඩසාල රජ වාසල දක්වා ගෙනඒම ආරම්භ කළහ.   


දුම්බර මිටියාවතේ පිලවල, යක්ගහපිටිය පසුකර යන දූත පිරිස සමඟ තරුණිය සේවකයින් ඔසවා ගත් දෝලාවක රැගෙන යයි. තම අකැමැත්තෙන් බලෙන් ගෙන යන ඇය හිත දැඩිකර ගෙන එක් තීරණයකට එළඹුනාය. තම කට ඇර මුව තුළට දමා ඇය තම දිව ඇද එළියට ගත්තාය. ඒ සමඟම ලේ දහරා ගලන්නට විය. ලේ දහරා ගලාගෙන ඇය දෝලාව තුළම මිය ගියාය. මේ වන විට දෝලාව යක්ගහපිටිය ගම කෙළවර පසුකොට දෙගල්දොරුව විහාරය මායිමේ පිහිටි උස් ගල්තලාවක් වෙත ඔසවාගෙන පැමිණ තිබුණි. රාජ දූතයෝ දෝලාව එහි නවතා රජවාසලට ගොස් රජුට ඇයගේ මරණය දන්වා සිටියහ. ඇගේ මරණය ගැන ඇසූ රජු දෝලාව නැවැත් වූ ගල් තලාව ඉහළ ගල මුදුනේදී ඇය දවා පිළිස්සීමට නියම කළේය.   


මේ උස් ගල්තලාව මුදුනේ දිව ඇදගෙන කා සිය දිවි නසාගත් තරුණියගේ ආද‌ාහනය උත්සවාකාරයෙන් සිදුවිය. ඇය මිය ගිය ගල්තලාව අවට ප්‍රදේහය පසු කල වන විට ‘‘කළු කෑල්ල’’ නමින් ප්‍රකට විය. උස් ගල්තලාව පිහිටි පාළු අඳුරු ප්‍රදේශය යක්ගහපිටිය ගම පාමුල කළු කෑල්ල නමින් ප්‍රසිද්ධ විය. කාලයක් ගතවන විට ​මේ උස්ගල් තලාව මුදුනේ බෝ පැලයක් ඉතා සරු සාරව අතු රිකිලි දමා වැඩෙන්නට විය. ඒ නිසා කළුකෑල්ල ප්‍රදේශයේ උස් පාළු ගල් තලාව පසු කල බෝධිගල නමින් ප්‍රසිද්ධ විය. අද දර්ශනීය පැරණි බෝධිගල පුරාණ විහාරය පිහිටා ඇත්තේ ලේවැල්ල නුදුරු මෙම බෝධිගල ගල් පර්වතය මුදුනේය.

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන