කුඩු බෙදන නායකයා වෙන්න මුස්ලිම් පාතාලය ඇතුළෙත් සටන්


අගනුවර කුඩු කිරුළ

 

 

කොළඹ කුඩු කිරුළ තමන් සතු කර ගැනීමේ සටන දශක කීපයක් තිස්සේ එකිනෙකා මරා ගනිමින් ඉදිරියට ඇදෙමින් තිබේ. මාකඳුරේ මදූෂ් මෙන්ම කංජිපානි ඉම්රාන්ද අත්අඩංගුවේ පසුවන වටපිටාවක් තුළ අද ඒ සටන අළු යට ගිනි මෙන් සැඟව තිබුණද හෙට බුර බුරා නැගෙන ගිනි ජාලාවක් ලෙස යළි නැගෙන්නට හැකිය. මේ සටන අවසන් කර ලංකාවේ කුඩු ගෙන්වීමේ හා බෙදාහැරීමේ ජාලය අවසන් කිරීමට නම් රජයට ඉතිහාසයේ වැරදුණ තැන්, පොලිස් දෙපාර්තමේන්තුවේ අඩුපාඩුකම්, පොලිස් නිලධාරීන්ගේ අඩුපාඩුකම් හා වැරදි වටහාගෙන සකස් කෙරෙන මනා වැඩපිළිවෙළක් තිබිය යුතුය.   


කොළඹ කුඩු කිරුළේ පිළිබඳ සටනේ අද අප උත්සාහ කරන්නේ මුස්ලිම් පාතාලය තුළ කුඩු කිරුළට ඇති වූ සටන් කීපයක් ගැන කතා කිරීමටය. මුස්ලිම් පාතාලය තුළ අයුබ්ඛාන්ගේ කල්ලියේ ආනමාලු ඉමිටියාස් හා කුඩු නූර්ගේ කල්ලියේ ෆාජි අතර ගැටුම කෙළවර වූ ආකාරය අපි පසුගිය කලාපයෙන් කතා කළෙමු. මෙම සිදුවීමෙන් පසු ෆාජිගේ තත්ත්වය නරක අතට හැරුණ අතර ෆාජිට ඒ ඉරණම අත්වන්නේ මාළිගාවත්ත පාතාලයේ බලය කෙමෙන් බිඳ වැටීම නිසාය. ඒ බලය බිඳුණේ කෙසේද? 


නූර් හා සිද්ධික් යනු මාළිගාවත්ත පාතාලයේ කුඩු කිරුළට හිමිකම් කියූ බලවතුන් විය. නූර්ට වැඩි කාලයක් කුඩු ජාවාරම කරගෙන යන්නට ඉඩ ලැබුණේ නැත. ඔහුට අවශ්‍ය කුඩු තොග ජාවාරම්කරුවන් ගෙනත් දුන්නේ හලාවත මුතුපන්තිය වෙරළ තීරයටය. මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගත් පොලිසිය සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත හලාවතට පොලිස් කණ්ඩායම් යවනු ලැබීය. 


 වෙරළ තීරයෙන් කුඩු තොගය ලබාගත් නූර් ආපසු ආවේ වාරියපොළ හරහාය. ඔහු ඒ ගමන ගියේ තනිවම නොවේ. සිය ගමනට ඔහු පුතාවද එක්කර ගත්තේ පොලිසියේ සැකයෙන් ගැලවීමටය. එහෙත් පොලිසිය ඔවුන් දෙදෙනාවම වාහනයත් සමගම අත්අඩංගුවට ගනු ලැබීණ. නූර් සමග අත්අඩංගුවට ගත් කුඩු තොගය කිලෝ දහයක් බව නූර් කියද්දි පොලිස් පොත්වල එය සටහන්ව තිබුණේ කිලෝ හයක් ලෙසය. එසේම ඔහුව අත්අඩංගුවට ගත්තේ මුතුපන්තිය වෙරළෙන් බව පොලිසිය කියද්දී නූර් කීවේ තමන් අත්අඩංගුවට ගත්තේ වාරියපොළදී බවය. මේ සාක්ෂිවල පරස්පරය නිසා කුඩු ජාවාරමේ එවකට සිටි මහා කෙරුමෙකු වූ නූර් අධිකරණයෙන් නිදහස් වූවා පමණක් නොව ඔහු පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද අධිකරණය හමුවේ ගොනු කළේය. 


 ඇත්තටම මෙතනදී මොකක්ද සිදුවුණේ? පොලිසිය නූර්ගේ පගාව අරන් කිලෝ දහය වෙනුවට හයක් අධිකරණයට ඉදිරිපත් කළාද? නැත්නම් හතරක් තියාගෙන හොර පාරෙන් ආපසු ජාවාරමුන්ටම දුන්නාද? එසේත් නැත්නම් නූර් බොරු කිව්වාද? මේ සියල්ලේ සත්‍යය දන්නේ නූර් හා ඔහුව අත්අඩංගුවට ගත් පොලිස් කණ්ඩායමය. අද නූර්ද ජීවතුන් අතර නැත. එසේම නූර් අත්අඩංගුවට ගත් පොලිස් කණ්ඩායමේ ප්‍රධානියාද ජීවතුන් අතර නැත. 


 නූර්ට පොලිසියේ සහය ලැබුණේ ඔහු පාතාලයේ මුලකුරු කියවමින් සිටින කාලයේ සිට බවද පැවසේ. නූර්ගේ අයියා කුඩු ග්‍රෑම් 95ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවේ නූර් ජාවාරම ආරම්භ කළ මුල් කාලයේදීමය. අය්යා අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තුව දුන්නේ ටවර් හෝල් රංග ශාලාව ආසන්නයේ කණ්ණාඩි වෙ​​ෙළඳාම් කරමින් සිටි තරුණයෙක් යැයි සැක කළ නූර් ගෝලයෝ දෙන්නෙකු යොදවා එම තරුණයා ඝාතනය කරවනු ලැබිණ. එහෙත් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ වෙනත් තරුණයන් දෙදෙනෙකි. ඇත්ත ඝාතකයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊට ටික කලකට පසු පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙනි. 


 කෙසේ වුවත් නූර්ගේ පෙත්සම විභාගයට ගැනීමට පෙර ඔහු නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. අදටත් ඒ නාඳුනන තුවක්කුකරුවා කවුදැයි හඳුනාගෙන නැත. සමහර විට ඒ නූර්ගේ ප්‍රතිවාදී කල්ලියේ අයෙක් විය හැකිය. එසේත් නැත්නම් මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු කියනවාට වඩා ඔවුන් පරලොව යැවීම යහපත් යැයි සිතු පොලිසියේ අයෙක් විය හැකිය. කුමක් වුවත් එය අද සැඟවුණ රහසකි. 


 නූර්ව සිය කුඩු ජාවාරමේ හවුල්කාරයෙකු බවට පත් කරගත් මොහොමඩ් මකීන් මොහොමඩ් සිද්ධික් නොහොත් කුඩු සිද්ධික් අද සිටින්නේ කොහේද? සිද්ධික් යනු නුර්ට වඩා කුඩු ජාවාරමේ ප්‍රබලයෙකි. ඔහු මෙරටදී අත්අඩංගුවට ගනු ලැබීමට පෙර රටෙන් පලාගියේය. ඒ ඉන්දියාවටය. ඉන්දියාවේදී අත්අඩංගුවට පත් සිද්ධික් රිමාන්ඩ් භාරයෙන් පැන යළි හොර පාරෙන්ම ලංකාවට පැමිණ සැඟවුණේය. කුඩු ජාවාරමෙන් හම්බකරගත් මුදල්වලින් ඔහු බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ නිවසක් ගත්තේය. එහි සිට පිටත සමාජයට පෙනෙන්නට ව්‍යාපාරිකයෙකු ලෙස ජීවත් වුවද කුඩු ජාවාරම අත්හැරියේ නැත. 


 ඔහු නැවතත් පොලිසියට කොටු වූයේ කුඩු ග්‍රෑම් අටක්, පිස්තෝලයක්, රිවෝල්වරයක් හා අත්බෝම්බයක් සමග බවද පැවසේ. එම අවස්ථාවේ ඔහුව ඉන්දියාවට උදර්පනය කිරීමේ වෑයමක්ද ඇතැම් පොලිස් නිලධාරින්ගෙන් යෝජනා වී තිබිණ. ඒ ඔහු ලංකාවේ සිටියහොත් කෙසේ හෝ නිදහස ලබනු ඇතැයි ඔවුන්ට තිබු සැකය නිසා වන්නටද හැකිය. සිතුවා සේම ඒ නඩුවෙන්ද ඇප මත මුදාහැරුණු සිද්ධික් යළි රටෙන් පලාගියේ පාකිස්ථානයටය. පාකිස්ථානයේ සිට ඇෆ්ඝනිස්ථානයෙන් කුඩු ලබාගන්නා සිද්ධික් ඒවා ලංකාවට හොර පාරෙන්ම එව්වේය. එහෙත් පාකිස්ථානයේදී සිද්ධික් අත්අඩංගුවට පත්විය. ඒ 2015 වසරේ ජනවාරියේදීය. 

 

 

 එලෙස අත්අඩංගුවට පත් ඔහු 2015 මාර්තු මාසයේදී පාකිස්ථානයෙන් ලංකාවට උදර්පණය කරනු ලැබීය. සිද්ධික්ට මෙරටදී නඩු පවරනු ලැබුවේ 2014 ජනවාරි මාසයේ සිට 2014 මැයි මාසය දක්වා කාලය තුළ හෙරොයින් ජාවාරමෙන් කෝටි පනස් දෙකකට අධික දේපලක් නීති විරෝධීව ඉපයීම වෙනුවෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය. 
 එසේම ඔහු බොරලැස්ගමුවේදී කුඩු ග්‍රෑම් අටක් සමග අත්අඩංගුවට පත්වීම සම්බන්ධ නඩුවද යළි විභාගයට ගැනිණ. එහෙත් 2018 සැප්තැම්බර් මාසයේදී ඔහු එම නඩු​ෙවන් නිදොස් කොට නිදහස් කෙරුණේ පරස්පර සාක්ෂි හේතුවෙනි. එහෙත් තවදුරටත් මුදල් විශුද්ධිකරණයට අදාළ නඩුව විභාග වූයෙන් ඔහු රිමාන්ඩ්භාරයේම පසුවිය. අධිකරණයට ඉදිරිපත් කළ සිද්ධික් වසර තුනහමාරක් රිමාන්ඩ් භාරයේ සිට පසුගිය ජනවාරි මාසයේදී ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය තීරණය කරනු ලැබීය. ඒ ලක්ෂ දහයක මුදල් හා ලක්ෂ පනහ බැගින්වන ශරීර ඇප දෙකක් මතය. එසේම ඇප කොන්දේසි ලෙස සෑම මසකම පළමු ඉරිදා හා තෙවන ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින්නැයි නියෝග කෙරුණ අතර විදේශ ගමන්ද තහනම් කරනු ලැබීය. 


 මෙවැනි ජාවාරමුන්ට එවැනි ඇප කොන්දේසිවලින් බලපෑමක් කළ හැකිද? ඒ ගැන පූර්ව විනිශ්චයක් දීමට අපට නොහැකිය. තවත් මාස කීපයකින් සිද්ධික් රටේ වත් නැතැයි ප්‍රකාශ නොවන්නේ නම් මැනවි. එසේම රිමාන්ඞ් බාරයේ මෙන්ම බන්ධනාගාර ගතවද සිටින අතරතුරත් කුඩු ජාවාරමේ නිරත වන මෙවැනි ජාවාරමුන් ඇප මත සිටියදී එසේ නොකරාවි යැයි කාට නම් සහතික විය හැකිද? එහෙත් නීතියට තීන්දු දිය හැක්කේ සාක්ෂි අනුවය. තමන්ගේ චෝදනාවලට අනුව සාක්ෂි මෙහෙයවීමේ හා ඉදිරිපත් කිරීමේ වගකීම තිබෙන්නේ පොලිසියටය. 


 ඉතිහාසය පුරාම අප පොලිසියේ දුර්වලකම් නිසා ශක්තිමත්වන පාතාලයන්, පොලිසියේ සහයෝගය නිසා නිදහස් වන පාතාලයන් දැක ඇත. මේ ලැයිස්තුවට තවත් නම් එකතු කරනවා වෙනුවට ලැයිස්තුව කෙටි කිරීමේ වගකීමද තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව සතුවය. එහෙත් අද පොලිසියට නිසි නායකත්වයක් මෙන්ම රටටත් නිසි නායකත්වයක් නැති කොට පාතාලයන් රට පුරා බඩ පිනුම් ගසන්නට ඉඩ ඇත. දැනට එය වැළකී තිබෙන්නේ පාතාලයේ කෙරුමන් කීප දෙනෙක්ම අත්අඩංගුවේ පසුවන පසුබිමක් තුළය. 

 


විශේෂ ස්තුතිය- 
තොරතුරු ලබාගැනීමේ සහය දුන් මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාට 
මුදිතා දයානන්ද