කුඩා කල නොමළොත් ඉහළ පුටුවක හිඳුවන සිංහාසන යෝගය


කේන්ද්‍රයක ඉහළින්ම ඇති කොටුවේ සිට වම් අත පැත්තට ගැනගෙන යාමේදී 2, 6, 8, 12 යන කොටු හෙවත් භාව හඳුනා ගත හැකිය. මෙම කොටු කේන්දරයක ඇති නරකම ස්ථාන 4 ලෙස සැලකෙන අතර ඒවා එකිනෙක හැඳින්වීම සඳහා නම් කිහිපය බැගින් පවතින මුත් මාතෘකාවට සුදුසු වන පරිදි හඳුන්වන නම් පමණක් මෙහිලා සඳහන් කරමි. එනම් 2 මාරක ස්ථානයයි. 6 රෝග ස්ථානයයි. 8 ආයුෂ ස්ථානයයි. 12 විනාශ ස්ථානයයි. මෙම ස්ථාන 4 ප්‍රධාන ග්‍රහයින් 9 දෙනාම හෝ අඩුම වශයෙන් පාප ග්‍රහයින් ලෙස සැලකෙන රවි, කුජ, ශනි, රාහු, කේතු පමණක් හෝ පිහිටි විට එය කුඩා කල මියයාමට තරම් හේතු වන හෙවත් බාලාරිෂ්ට ග්‍රහ පිහිටීමක් බව ජ්‍යොතිෂයේ ඉගැන්වේ. නමුත් අනෙක් අතට එසේ කුඩා කල නොමළොත් පසු කලෙක සිහසුනක වාඩි කර වීමට තරම් සමත් වන ප්‍රබල ග්‍රහ පිහිටීමක් ලෙසද සඳහන් වේ. මෙම ග්‍රහ පිහිටීම සිංහාසන යෝගය ලෙස හඳුන්වන්නේ එබැවිනි.   


මෙම යෝගයෙන් උපන් අය කුඩා කලම මියයාමට තරම් හේතු වන එක් කරුණක් වන්නේ සාමාන්‍යයෙන් ජනවහරේ පවතින හතර කේන්ද්‍ර පාළුව සිදුවීමයි. ඒ හැර කේන්ද්‍රයේ 3, 5, 9, 11 යන ස්ථාන ද ග්‍රහයින්ගෙන් තොරවීමෙන් සිදු වන ග්‍රහබලයේ උෟණතාවයයි. හතර කේන්ද්‍රය යනු කේන්ද්‍රයක ප්‍රබල ස්ථානයක් වන 1, 4, 7, 10 යි. මෙම ස්ථානවල ග්‍රහයින් නොසිටීමත් ග්‍රහ දාෂ්‍ටි නොලැබීමත් එම ස්ථානවලට අධිපති ග්‍රහයින් ඉහතකී අශුභ ස්ථානවල සිටීමත් ග්‍රහ බලය පිහිරීමට හේතුවකි. පළමු වැන්නෙන් ගති ගුණ, පෞරුෂත්වය, තත්ත්වය, වාසනාව ආදිය පිළිබඳවද 4 වැන්නෙන් නිවාස, දේපළ ඇතුළු භෞතික සම්පත් පිළිබඳවද 7 වැන්නෙන් විවාහය, සමාජ සබඳතා ආදිය ද 10 වැන්නෙන් රැකියාව, උස්පහත් තත්ත්වයන් ඇති වීම, ගරු සැලකිලි දියුණුව වැනි දේ පිළිබඳවද කරුණු හෙළි කරන බැවින් ඒවාට ග්‍රහ ඇසුරක් නොලැබීම යනු ජීවිතයට ඉතා දැඩි සේ ගැටලු සිදුවන බවට සාධකයකි.   


එමෙන්ම මෙම යෝගයේදී ග්‍රහයින් නොසිටින 3, 5, 9, 11 යන ස්ථාන සම්බන්ධයෙන් බලන කල ද ජීවන ගමනට වන අඩුව පැහැදිලි වේ. 3 වැන්නේ දිරිමත් බව, ඉගෙනීමේ හැකියාව, ආයුෂ පිළිබඳවද 5 වැන්නෙන් සතුට, ඉගෙනීම, දූ දරුවන්, ප්‍රේම සබඳතා පිළිබවඳ 9 වැන්නෙන් වාසනාව, ආත්ම ගෞරවය, උසස් ඥානය පිළිබඳවද 11 වැන්නෙන් ආදායම, සමාජ ඇසුර, අපේක්ෂාවන් ආදිය පිළිබඳවද කරුණු පෙන්වන හෙයින් ග්‍රහ සබඳතාවක් එම ස්ථානවලට නොවීමට ද ජීවන ගමනට අඩුවක් බව පෙනී යනු ඇත. විශේෂයෙන් වාසනාව සෑම කරුණකටම අදාළ වේ. 9 වැන්න දුර්වලවීම වාසනාව දුරස් කිරීමකි. එය අඩු ආයුෂ සඳහා ද හේතු වේ.   


සිංහාසන යෝගය නිර්මාණය වන ස්ථාන 4 හි යම් තැනක ග්‍රහයින් ප්‍රබල නම් හෝ වැඩිපුර ග්‍රහයින් සිටී නම් එම ස්ථානයට අදාළ වන බලය ද වැඩිය. ඒ අනුව 2 වැන්නේ ප්‍රබල ග්‍රහ පිහිටීමක් ඇත්නම් ධනය, ගෘහ දිවිය සම්බන්ධයෙන් ශුභදායක තත්ත්වයක් ඇති වේ. 6 නම් සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම, සතුරු බල බිඳී සමාජයේ ඉස්මතුවීම සිදු වේ. නීතිමය කටයුතුවලින් ද ජය ගත හැකි වේ. 8 වැන්න නම් ඉඩ කඩම්, දේපළ දායාද ආදිය තමන් නොසිතන ආකාරයෙන් ලැබීමට හේතු වේ. 12 නම් විදේශ ගමන් හා ඒ ආශ්‍රිත රැකියා ලාභ හිමි කමක් වේ.   


​​මෙම යෝගය නිසි පරිදි යෙදීමට නම් රාහු කේතු හැර අනෙක් ග්‍රහයින් 7 දෙනා 2, 6, 8, 12 හි පමණක් සිටිය යුතු වේ.යෝගය යෙදෙන තවත් ආකාර කිහිපයක් සඳහන් වන අතර, මේෂ, කටක, තුලා, මකර යන රාශියක ලග්නය වී එම කේන්ද්‍රයේ ඉහත ස්ථාන 4 හි සියලු ග්‍රහයින් සිටිය යුතු බව ඉන් එක් මතයකි. තවත් මතයක් වන්නේ සියලුම ග්‍රහයින් වෘෂභ, කන්‍යා, වාශ්චික, මීන යන රාශිවල හෝ මිථුන, සිංහ, ධනු, කුම්භ යන රාශිවල සිටීමෙන් මෙම යෝගය යෙදෙන බවය. නමුත් එසේ නැතත් කුමන ලග්නයකින් හෝ ඉපිද අදාළ ස්ථාන 4 හි සියලුම ග්‍රහයින්ම සිටීමෙන් ද සිංහාසන යෝගය යෙදෙන බව දැක්වේ. ඒ හැර මෙම ස්ථාන 4 හි අඩුම වශයෙන් ග්‍රහයින් 4 දෙනෙක් වත් සිටීමද ශූභදායක බවද කියැවේ.   
මේ කුමන ආකාරයෙන් වුවද කුඩා කල නොමැරු​නොත් ජීවිතයේ කවර කලෙක හෝ ගරු සම්මාන ලබන, උසස් තනතුරු හිමි වන, පිරිස් බලයෙන් පොහොසත් ඇතැම් විට මන්ත්‍රී පදවිය ද හිමි විය හැකි යෝගයක් ලෙස මෙය හඳුන්වා ඇත. රජ කුලයක නම් නිසැකවම රජ වන බව සඳහන් වේ. කෙසේ වුවද මෙම යෝගය පිහිටි අය උපන් තත්ත්වයට වඩා කිහිප ගුණයකින් දියුණු අයකු වීම අනිවාර්ය කරුණකි.   


නමුත් එය එසේම වීම සඳහා තවත් අනිවාර්යය කරුණක් සම්පූර්ණ විය යුතුය. එනම් 22 වන දෙර්කාණාධිපති වැනි අශුභ ග්‍රහ බලපෑම කේමදෘම යෝගය පිහිටීම වැනි බාධක සිදු නොවී තිබීමය.   

 


ගෞරව සම්මානලාභී පාරම්පරික ජ්‍යොතිර්වේදී 
එච්.එම්.ටී.බී. හේරත් (බී.ඒ.)   
109, පැරකුම් මාවත, උයන්දන, කුරුණෑගල.