කුඩ හොරාගෙන් ළමා සිත් වසඟ කළ ‘සිබිල්’


ළමා කථා ලෝකයේ ඔටුනු පලන් රැජින, සේම ලෝක ප්‍රසිද්ධ ළමා කථා සිත්තරාවිය ලෙස සිය වසකට ආසන්න කාලයක් තිස්සේ ළමා කථා සාහිත්‍යයට සහ චිත්‍ර කලාවට කළ අනුපමේය සේවය නිමා කරමින් සිබිල් වෙත්තසිංහ නම් මහා කලාකාරිනිය ඉකුත් 30 වැනිදා දැයෙන් සමු​ගත්තාය. සිබිල් නැන්දා ලෙස ළමුන් අතර මෙන්ම වැඩිහිටියන් අතර ද ජනප්‍රිය වූ අපූර්වතම මිත්තනියක වූවාය. ලෝක ප්‍රසිද්ධ ඇගේ ‘කුඩ හොරා’ ළමා කතාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් 2006 වසරේ කොළඹ ජාතික කලාභවනේ පැවති කුඩ හොරාට 50යි සිතුවම් දැක්ම, හරසර උළෙල හා වෙබ් අඩවිය විවෘත කිරීම නිමිත්තෙන් ප්‍රකාශයට පත් කරන ලද පොත් පිංචට ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ මාධ්‍යවේදිනී දිවංගත ශ්‍රියා රත්නකාර ලියූ අගැයීමක් මෙසේ යළි සිහිගන්වමු.   


වයසින් අවුරුදු හතක් පමණ කුඩා දැරියකි. දඟකාරය. ගණිත පාඩම ඇය අප්‍රියම කළ පාඩමයි. ගුරුවරිය ගණනක් විස්තර කරයි. කළුලෑල්ලේ සටහන් තබමින් එය පැහැදිලි කරයි. දැරිය කොළ කැබැල්ලක චිත්‍ර අඳියි. ඇගේ අවධානය ගණිත පාඩමට නොවේ. චිත්‍රයක් මතුවන කොළය මතය. ගුරුවරිය මේ දැරිය පිළිබඳව නිතරම සෙවිල්ලෙන් සිටින නිසා මෙය දකී. ඇය දැරිය කරා පියමං කරයි. චිත්‍රය සහිත කොළය අතට ගෙන බලයි. ‘අප් ඔන් ද චෙයාර්’ (වහාම පුටුවට නගින්න) ගුරුවරිය අණ කරයි. දැරිය පුටුවට නගී. එය ඇයට සුපුරුදු ක්‍රියාවක් බව කියා පෑවේ පුටුව මතට නැගි විලාසයයි. 

 
දැන් දැරිය පුටුව මත හිටගෙනය. ඇගේ එක් අතක කොළ කැබැල්ලකි. අනිකේ පැන්සලකි. දඬුවම දඬුවමක් යැයි නොසලකා දැරිය කොළ කැබැල්ලේ යමක් අඳින්නීය. ටික වේලාවකට පසු ගුරුවරිය නැවතත් දැරිය කරා පියමං කරන්නට වන. දැඩි කෝපය හේතුවෙන් ගුරුවරියගේ මුහුණ රළු ස්වභාවයක් උසුලයි. දැරිය කරා පියමං කරන්නට වන දැඩි කෝපය හේතුවෙන් ගුරුවරියගේ රළු මුහුණේ සෞම්‍ය ස්වභායක් මතුවීගෙන එන්නට පටන් ගනී. ඇය කිසිත් නොකියා කොළ කැබැල්ල රැගෙන යයි. එහි සටහන් වී ඇත්තේ මුහුණකි. ඒ ගුරුවරියගේ මුහුණයි.   


ගුරුවරියන්ගේ, තම මිතුරියන්ගේ, පවුලේ ඥාතීන්ගේ මුහුණු ඇඳීම මේ දැරියගේ විනෝදාංශය විය. එසේ කිරීමෙන් ඇය මොන තරම් සතුටක් ලැබුවා ද? කොළ කැබලිවල පැන්සලෙන් චිත්‍ර ඇන්ද, ළිපෙන් ගත් අඟුරු කැබැල්ලෙන් ගෙදර සාලයේ බිත්තියේ චිත්‍ර ඇන්ද මේ දැරිය අපි හඳුනා ගනිමු. ඇය නමින් සිබිල් වෙත්තසිංහයි. ඒ නම ඇසූ පමණින්ම කියවන ඔබට ඈ පිළිබඳ විශේෂ හැඳින්වීමක් අවශ්‍ය යැයි නොසිතමි. එහෙත් මේ සටහන තැබීමට විශේෂිත වූ සිද්ධියක් ඇත. ඒ සිබිල් විසින් චිත්‍රයට නගා ලියූ පළමු ළමා කතාව ‘කුඩ හොරාට’ වසර පනහක් පිරිමයි. ‘කුඩ හොරා’ට අවුරුදු පනහ සපිරෙයි. චිත්‍ර ශිල්පිනියට අවුරුදු හැත්තෑ අට සපිරෙයි. 

 
හික්කඩුවේ සව්දිරිස් ද සිල්වා සහ ජොසලින් ද සිල්වාට දෙවනුව උපන්නේ දියණියකි. ගිංතොට දී උපත ලැබූ සිඟිත්තිය සිබිල් යැයි නම් ලැබුවාය.   


සිබිල් මෙලොවට පැමිණියේ අතිදුෂ්කර ගමනකින් අනතුරුවය. නියමිත දිනට ඇය ඉපදුණේ නැත.   


ඇගේ මව සති දෙකක් පමණ විලි වේදනා වින්දාය. සිබිල්ගේ සීයා ඇගේ මවගේ පියා ගෙදර කාමරයක් සූතිකාගාරයක් බවට හරවා ගත්තේය. දරු ප්‍රසූතියකට අවශ්‍ය සියල්ල එහි විය. වෛද්‍යවරයා ද එහිම නතර විය. මගේ දුව ඉස්පිරිතාලෙකට යවන්නේ නැහැ. මේ දැඩි මතයේ එල්බ සිටි සිබිල්ගේ සීයා නිවස රෝහලක් බවට පත් කළේය.   
1928 ඔක්තෝබර් මස 31 වන දින ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි ජොසලින් දුව බිහි කළාය. සියලු දෙනාගේම අවධානය යොමු වූයේ මව වෙතය. මෙලොව එළිය දුටු සිඟිත්තිය පිළිබඳ කිසි කෙනකු උනන්දුවක් නොදැක්වූහ. මවගේ සුව පහසුව සැලැස්වීමෙන් පසු වෛද්‍යවරයා අසල ඇඳක උන් සිඟිත්තිය කකුල් දෙකෙන් උස්සා පහරක් ගැසීය. කාමරය පුරා පැතිර ගියේ සිහින් කෙඳිරිල්ලකි.   


දරුවා හොඳින් ඉන්නවා. සතුටින් පැවසූ වෛද්‍යවරයා දරුවා පිරිසිදු කිරීමට හෙදියට භාර දුන්නේය. ඔය දරුවා නම් අපට එපා. මගේ දුව මරා ගන්න හැදුවා. මෙසේ පැවසුවේ සීයාය.   


‘මට දෙන්න මම භාර ගන්නම්’ වෛද්‍යවරයා පැවසුවේය.   


එහෙත් මඳ වේලාවකට පසු දැරිය තුරුල්ලට ගෙන කිරි​ පොවන අම්මාට නම් විඳි වේදනා අමතක වූවා සේය. ඇය තම දුවගේ හිස පිරිමදිමින් කිරි පෙව්වාය. අනාගත සිහින මැව්වාය.   
ඒ සිහින අතර මගේ දුව චිත්‍ර ශිල්පිනියක් වේවා යැයි නම් නොවීය. එසේ වීමට ද ඇය ඉඩ නොතැබුවාය.   


ගමේ පාසලෙන් ඉගෙනුම ආරම්භ කළ සිබිල් වැඩිදුර අධ්‍යාපනයත්, ඉංග්‍රීසි අධ්‍යාපනයත් ලැබීමට ගියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයටයි.   
දුවගේ අධ්‍යාපනය පිළිබඳව උනන්දු වූයේ අම්මාය. ගෙදරින් පිටට අඩියක් නොතබා සිටි ජොසලින් ද සිල්වා තම දුවත් කැටුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සොයාගෙන ආවාය. දුව පාසලට ඇතුළු කළාය. කොළඹින් ගෙයක් කුලියට ගත්තාය. දුවට ඉංග්‍රීසියෙන් උසස් අධ්‍යාපනයක් ලබාදීමට අඩිතාලම දැමුවාය.   


එහෙත් මේ දුවගේ දෛවයේ ලියැවී තිබුණේ වෙනත් ඉරණමකි.   


සිබිල්ගේ වේලාපත්කඩේ සෑදුවේ ගමේ හාමුදුරුවන්ය. මේ දැරිය ලෝක ප්‍රසිද්ධ වෙනවා. රටට මහත් කීර්තියක් ගෙන දෙනවා. හාමුදුරුවෝ අනාවැකියක් පළ කළහ.   
අම්මාගේ සිතේ ඒ අනාවැකිය රැඳුණාට සැකයකුදු නොමැත. ඇය තම දුවව විශේෂිත අධ්‍යාපනයක් කරා යොමු කරන්නට සිදුවේ ද ඒ නිසා විය හැක.   


සිබිල් උපන් ගම ඉතා සුන්දරය. ඇගේ නිවස ද සිරි නිවසක් බවට පත් කළේ නිවස වටා සරුවට වැවී තිබුණ ගස් වැල් සහ මල් ගොමුය. ගෙදර පුටු කවර ජනෙල් රෙදි කුෂන් කවර අම්මාගේ දෑතින් ගෙතුණ රේන්දයෙන් ද වර්ණවත් මල් රටාවලින් ද ඔපවත් වී තිබුණි. ගෙදර පසෙකින් වාඩිවී රටා සහිත පැදුරු වියමින් හිටියේ සිබිල්ගේ ලොකු අම්මාය. සිබිල්ට ඇය සුදු අම්මා වූවාය.   


සුදු අම්මාගේ දෑත කඩිසරය. පැදුරු විවීමට රටා දැමීමට උපන් දෑතකි ඒ. බහ තෝරන්න පටන්ගත් දා සිට සිබිල් දිව ගියේ සුදු අම්මා අසලටය. සුදු අම්මා වියන පැදුර අසල ඉඳ ගන්නා සිබිල් නොයෙකුත් ප්‍රශ්න නැගුවාය. සුදු අම්මාගේ දෑත පැදුරු වියන්නට දක්ෂය. කට කතන්දර කීමට ද දක්ෂය. පැදුර වර්ණවත් වියමනෙන් ඔප කරන අතරතුර ඇය කතන්දර කීවාය. පැදුරු වියමන් බැලීමටත් කතන්දර ඇසීමටත් සිබිල් මොනතරම් ප්‍රිය කළා ද?   


ගම දාල කොළඹට එන්නට මට දුක හිතුනෙම එ්කයි. ගමේ සුන්දර දේවල්වලින් මම ඈත් වුණා. ඒත් ඒවා මගේ හිතෙන් නම් ඈත් වුණේ නැහැ. සිබිල් ළමා කාලය මතකයට නගයි.  
අම්මා මම චිත්‍ර අඳිනවාට විරුද්ධ වුණා. මුල් ගුරුතුමිය මම කවි ලියනවාට විරුද්ධ වුණා. මම දෙකම නතර කළේ නැහැ. අදත් ඇගේ වචනවල ඇත්තේ අධිෂ්ඨානයෙන් යුත් උද්​ෙ‌යා්ගයකි. එදත් එය එසේම වන්නට ඇතැයි මට සිතේ.   


සිබිල්ගේ චිත්‍ර අගය කළ තවත් එක් තැනැත්තෙක් විය. ඒ සිබිල්ගේ පියාය. සිබිල් විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් ඔහු කලාභවනේ ප්‍රදර්ශනය කළේය. සිබිල්ගේ ජීවිතයෙහි කඩඉමක් ආරම්භ වූයේ මෙතැන් සිටය.   


ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි නවමග පොත් පෙළේ සංස්කාරක එච්.ඩී. සුගතපාල මහතා සිබිල් සොයා ගියාය. නවමග පොත්​පෙළ පස්වන පංතියේ පොතට සිබිල්ගේ චිත්‍ර ඇතුළත් කිරීමට ඔහුට අවශ්‍ය විය. සිබිල්ගේ පියා ඊට එකඟ වූයේය. එහෙත් අම්මා තරයේම විරෝධය පෑවාය.   
“මගේ කෙල්ල කොළඹට ගෙනාවේ චිත්‍ර අන්දවන්න නෙවෙයි” අම්මා අඩි හප්පා පැවසුවාය.   


මේ ගමනට සහභාගි වූ සුගතපාල මහතාගේ බිරිඳ උපායක් කල්පනා කළාය. ඇය සිබිල්ගේ මව සමග මිත්‍ර වූවාය. මිතුරු දම දැඩිවත්වම සුගතපාල මහත්මියගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි තත්ත්වයකට පැමිණ සිටි අම්මා හොඳයි එක පොතකට විතරයි යැයි නීතියක් සමග අවසර දුන්නාය.   


සිබිල් චිත්‍ර ඇන්දාය. පොත මුද්‍රණද්වාරයෙන් එළිදැක්කාය. එවිට සිබිල්ගේ වයස අවුරුදු දහහතරකි. ඇය පූර්ව ජ්‍යෙෂ්ඨ පංතියේ ඉගෙනුම ලබමින් සිටියාය.   
නව මගෙහි වූ සිබිල්ගේ චිත්‍ර දුටු මාර්ටින් වික්‍රමසිංහ මහතා එම චිත්‍ර මෙසේ අගය කරමින් ‘සිබිල් ද සිල්වා නමැති ශිෂ්‍යාව අනාගතයේ දී දක්ෂ චිත්‍ර ශිල්පිනියක් වනවාට නොඅනුමානයි’ යැයි සටහනක් තැබුවේය. සිබිල්ගේ අම්මගෙ ප්‍රියතම ලේඛකයා වූයේ මාර්ටින් වික්‍රමසිංහයි. දුවගේ හපන්කම් මාර්ටින් වික්‍රමසිංහටත් තේරුම් ගියේ නම් තමා ඊට විරුද්ධවීම අනුවණකමකැයි ඇයට සිතෙන්නට ඇත. ඇය අකමැත්තෙන් වුවද දුවට චිත්‍ර අඳින්නට අවසර දුන්නාය.   


සිබිල්ගෙ පියා කොණ්ඩය බඳින, රෙදි කෝට් අඳින පුද්ගලයෙකි. දිනක් ඔහු දුටු ඇගේ පංතියේ ශිෂ්‍යාවන් ඒ බව පවසමින් ඇයට උසුළු විසුළු කරන්නට වන. සිබිල් ඔවුන්ගෙ මුහුණු විකට චිත්‍ර බවට පත් කළාය. සිබිල් විකට චිත්‍ර අඳින්නට පටන් ගත්තේ එලෙසටයි.   


මේ වකවානුවේ දී දිනක් පුවත්පත් කාර්යාලයකට යෑමේ වරම ඇය ලැබුවාය. එය ලංකාදීප පුවත්පත් කාර්යාලයයි. අදියරෙන් අදියර පුවත් පතක් එළි දකින අයුරු දුටු සිබිල්ට එහි ආකර්ෂණීයත්වයෙන් මිදෙන්නට බැරිවිය.   


මම ඉගෙන ගත්තා ඇති. මට පත්තරේක වැඩ කරන්න ඕනෙ. සිබිල් තරයේම කියා සිටියාය.   


අනේ දුවේ මම කොළඹට ඇවිත් මේ තරම් දුක් වින්දේ දුව පත්තරකාරියක් කරන්න නෙවෙයි. හොඳ ලොකු රස්සාවකට යවන්නයි. අම්මා පැහැදිලි කළාය.  
අම්මේ මොකටද ගණන් හදන්න ඉගෙන ගන්නෙ. මට තේරෙන්නෙ නැහැ. මම කොච්චර ඉගෙන ගත්තත් කරන්නේ චිත්‍ර අඳින එකයි. මගේ චිත්‍ර පත්තරේක පළවෙලා තියෙනවා දකින්න අම්මා කැමැති නැද්ද?   


සිබිල් සටන ජය ගත්තාය. පියා සමග ගොස් ඩී.බී. ධනපාල මහතා හමුවිය. සිබිල් ලංකාදීප පුවත්පතේ ළමා පිටුවල චිත්‍ර ඇඳීමට තේරී පත් වූවාය. ඉගෙනුම එතැනින් නිමකළ සිබිල් පුවත්පත් චිත්‍ර ශිල්පිනියක් වූවාය.   


සිබිල්ට පළමුවෙන්ම ලැබුණේ ජන කවියකට චිත්‍රයක් ඇඳීමයි. චන්ද්‍රරත්න මානවසිංහ, සුනිල් ශාන්ත ඇයට ජන කවිය බැගින් දුන්හ. ඇය ඒවා චිත්‍රවත් කළාය. කවි නොලැබුණ දිනකට ඇය කවි ගෙතුවාය. ඊට චිත්‍ර ද ඇන්දාය.   


රතු මාමගෙ කළු ගොනා   
වත්ත පහළ පෙරළුණා   
ඒක දැකපු සුදු ගොනා   
උඩ පැන පැන හිනැහුණා


කියවන කවුරුත් මේවා ජනකවි ලෙස රස වින්දෝය. 

 
කිරි මැණිකෙට පේන හැටි නමින් චිත්‍ර පෙළක් ද ඇය ලංකාදීපයෙන් ඉදිරිපත් කළාය. නවතකාකරු ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා ඇගේ චිත්‍ර අගය කළේය.   
ඉරිදා ලංකාදීප පුවත්පතේ ‘ළපටි පෙළ, පෙත්තප්පු සහ බිංදු’ සිබිල්ගේ නිර්මාණ වේ. සිබිල්ට මුල් වැටුප ලැබුණේ රුපියල් හැටකි.   
ඒ රුපියල් හැට කෝටියකටත් වඩා වටිනවා. ගෙදර ගිහින් අම්මගේ අතේ තිබ්බා. අම්මා ගත්තේ නැහැ. මට ඕන දෙයක් ගන්න කිව්වා. මම රුපියල් හැටටම පොත් ගත්තා. හැම පඩියක්ම වියදම් වුණේ පොත්වලටයි.   


ඉන්පසු සිබිල් පිය නැගුවේ ලේක්හවුසියටයි. ඒ 1952දීය. එහි සෑම පුවත්පතක්ම ඇගේ චිත්‍රවලින් හැඩ ගැන්වූවාය. ඇයට මෙහිදී බෙහෙවින්ම මග පෙන්වූයේ මීමන ප්‍රේමතිලකය.   
එවකට ජනතා කර්තෘ මණ්ඩලයේ සේවය කළ තරුණ උපකතුවරයෙකුගේ නෙතට සිබිල් හසුවිය. ඔහු නමින් ධර්මපාල වෙත්තසිංහයි. වසරක් තුළ දී ලියලා වැඩුණු මිතුරුදම පෙමට පෙරළී 1955 දී විවාහයෙන් පල ගැන්විණ.  


සිබිල්ට දරුවන් සතර දෙනෙකි. පුතුන් දෙදෙනෙකි. දූලා දෙදෙනෙකි. ඇය දැන් මුනුපුරු, මිනිපිරියන් සතර දෙනකුගේ ආදර අත්තම්මා කෙනෙකි.     
සිබිල්ගේ රසික රසිකාවෝ අප රටට පමණක් සීමාවී නොමැත. ලොව පුරා ඇයට රසික රසිකාවෝ සිටිති.   


දවසක් මට හිතුණ මගෙ මුහුණ අඳින්න. මම කණ්ණාඩියක් ඉදිරියෙන් තියාගෙන අඳින්න පටන් ගත්තා. භාගයක් අඳිනකොට කණ්ණාඩිය බිමට වැටුණා. ඉරිතළා කැඩුණා. කෑලි වෙන්වුණේ නැහැ. ඒ කෑලි තුළින් මගේ මුහුණ එක එක විදියට මම දැක්කා. මම ඒ හැම ඉරියව්වක්ම සටහන් කරමින් මගේ මුහුණ ඇන්ද‌ා. ඒ චිත්‍රය මම කලාභවනේ ප්‍රදර්ශනයට යැව්වා. මේ ප්‍රදර්ශය බලන්න ආව ජග් මොහාන් කියලා බොම්බායේ කලා විචාරකයෙක්. ඔහු එය ඉන්දියාවේ පුවත්පතක පළ කරමින් සිබිල් නම් අති දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ප්‍රංශ ශෛලියකට ඇය උරුමකම් කියන්නීය යැයි සටහන තබමින් මා සොයා ආවා. මම දන්න ප්‍රංශ ශෛලියක් නැහැ. බිඳුණු කණ්නාඩියකින් දුටු මගේ මුහුණයි මම ඇන්දෙ කියල ජග් මොහාන්ට පැවසුවා. ඔහු කොක් හඬලමින් සිනාසුණා. සිබිල් අතීත සිද්ධියක් මතකයට නගන්නීය. එවන් සිද්ධීන් කොතෙක් ඇද්ද?   


සිබිල්ට ආවේණික විශේෂිත චිත්‍ර ශෛලියක් තිබේ. එය සිබිල්ගේම ශෛලියකි. චිත්‍ර ගණනාවකින් වුව සිබිල්ගේ චිත්‍රයක් වෙන්කර ගත හැක්කේ ඇයටම වෙන්වූ මේ ශෛලිය නිසාවෙනි.   


සිබිල් දරුවන්ට බෙහෙවින් ඇලුම් කරන්නීය. මා තුළ ජීවත්වන ඒ දරුවා මම චිත්‍රයට නගනවා. කතාවට නගනවා. මගේ ළමා කාලය මගේ මතකයේ රැඳුණ දින සිටම තවමත් ඒ ආකාරයෙන්ම පවතිනවා.  මා ජීවත් කරවන්නේ ඒ ළමා කාලයයි. ඒ චරිත මගේ ළමා චරිතයයි. මගේ ළමා කාලය සිහිපත් වත්ම මා තුළ අහිංසක සතුටක් උදා වෙනවා. ඒ සතුට මගේ තෙළිතුඩත් පෑනත් ප්‍රාණවත් කරනවා සිබිල් ඇය හඳුන්වා දෙන්නේ එලෙසිනි.  


සිබිල් නම් චිත්‍ර ශිල්පිනිය සිබිල් නම් ලේඛිකාව අපේ ළමා සාහිත්‍යය පෝෂණය කිරීමට වියතුඩින් හිරු එළිය දකින්නා සේ දුෂ්කර උපතකින් මෙලොව එළිය දැක කඳු නගිමින් හෙලේ බසිමින් බාධක දුරලමින් අහිංසක අධිෂ්ඨානයකින් දිවි මග පහන්කර ගත් දිරිය මාතාවකි.

 

 

ශ්‍රියා රත්නකාර