කුජ මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි


ග්‍රහ ලොව සේනාධි නායකයා මෙන්ම සටන්කාමී ග්‍රහයකු වන කුජ ග්‍රහයා 2018 ජනවාරි මස 17 වන දින මෙතෙක් ගමන් කළ තුලා රාශියෙන් කුජට හිමි වෘශ්චික රාශියට පැමිණෙයි. 2018 මාර්තු 07 වන දින දක්වා කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ සිය අණසක පතුරුවමින් සිටී.  
 
අඟහරු, භූමිපුත්‍ර ආදී නම්වලින්ද හඳුන්වන මෙම ග්‍රහයා ලෝකයේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වනු ලබන්නේ සටන්කාමී ගතිය, තීක්ෂණ බුද්ධිය, ආත්ම විශ්වාසය යන ලක්ෂණ විද්‍යමාන වන නිසාය. අප උපන්දා සිට මියයන තෙක් ශරීරය පුරා පැතිරී ඇති ධමනි, ශිරා හරහා ගමන් කරන රුධිරයේ අයිතිකරුද, රුධිරය සම්බන්ධ රෝග, ලේ ගැලීම් වැනි අනතුරු ආදී සියලු කාර්යයන් පාලනය කරන්නේ කුජ විසිනි.   


මේෂ හා වෘශ්චික ලග්නවලට කුජ අධිපති වේ. මුවසිරස, සිත, දෙනට යන නැකැත් කුජගෙන් පාලනය වේ. කුජ දශාව පුරා වසර 07 කි. මකර රාශියේ කුජ උච්ච වන අතර, මේෂ හා වෘශ්චික රාශිවල ස්වක්ෂේත්‍ර බලය ලබයි. කටක රාශියේ නීචනම් දුර්වල තත්ත්වයට පත්වේ. අඟහරුවාදා දිනය කුජ හෝරාව, රතුපාට, අංක 3 කුජට හිමි වේ. කුජට සුබ මැණික රතු කැටයයි.   


2018 ජනවාරි මස 17 වන දින සිට 2018 මාර්තු මස 07 වැනි දින දක්වා කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ ස්වක්ෂේත්‍රවෙමින් ගත කරන කාලයේ වෘශ්චික, වෘෂභ, සිංහ, කුම්භ යන ලග්නවලින් මෙලොව එළිය දකින දරුවන්ට ‘රුචක’ නම් පංච මහා පුරුෂ යෝගය උදා වේ. එඩිතරකම, නිර්භීතකම, ජයග්‍රහණය ලබන අතර කඩවසම් පෙනුම, කාර්මික හා වගා කටයුතුවලට දක්ෂකම හා ක්‍රීඩාවට දක්ෂතාව ලැබෙන සුබ යෝගයක් මෙම දරුවන්ට උදා වේ. මෙම කාලසීමාව තුළ කුජගෙන් නියෝජනය වන උසස් හමුදා නිලධාරීන් ඇතුළුව ආරක්ෂක සේවාවන්වලට විවිධ නිලයන්ට අයත් අයටද, ශල්‍ය වෛද්‍යවරු, අධිකරණ වෛද්‍යවරු, නීතිඥවරුන්, ඉංජිනේරුවන් වැනි තනතුරුවල දක්ෂතා වඩාත් ප්‍රකට වේ. තනතුරු උසස් වේ. සුබ කාලයකි.   


යම් ජන්ම පත්‍රයක ග්‍රහ සිත්තම පරික්ෂා කිරීමේදී කුජ බලවත්ව පිහිටා ඇතිනම් පෙර ආත්මවල සත්ත්ව අනුකම්පාව, මෛත්‍රීය, කරුණාව මෙන්ම ලේ දන්දීම, රෝගීන්ට සත්කාර කිරීම වැනි කටයුතු කළ නිසයි. යම් කෙනෙකු පෙර භවයේදී මව්පියන්ට පහරදීම, ත්‍රස්ත ක්‍රියා සිදු කිරීම, පවුල් අවුල් කිරීම, නිතර කෝපවීම වැනි අකුසල කර්මවල යෙදුණු අයගේ කුජ දුර්වලව උපදී.   


කුජගේ අපලය ඇති වන්නේ කුජ බලවත්ව හෝ දුර්වලව ජන්ම පත්‍රයක පිහිටියද එම විපාක ලැබෙන්නේ කුජගේ දශා ගෝචරය දුර්වල වූ විටය. එවිට ග්‍රහ ශාන්ති කර්ම මගින් එම අපලය බොහෝ දුරට මග හරවා ගත හැකිය. මේ අනුව අඟහරුවාදා දිනයේ කුජ හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා තබා කතරගම දෙවියන්ට පින්දී සෙත්පතා ගන්න. කරණීයමෙත්ත සූත්‍රය භාවිතය සුදුසු වේ. මෛත්‍රී භාවනාව කිරීමද වඩා සුදුසු වේ. ලේ දන්දීම සහ තුවාල වූ අයට පිහිටවීම හා අභය දානය දීම යහපත් වේ. තවද සටන්වලට යෑම සුදුසු නොවේ. රතු ඇඳුම් ඇඳීම, මිරිස් සැරට ආහාර ගැනීම නොකිරීමට කටයුතු කරන්න.   


කුජ මාරුව උපන් ලග්නවලට සුබාසුබ කෙසේද කියා බලමු.   


මේෂ   


ලග්නාධිපති අටවැන්නේ ගමන් කිරීම එතරම් යහපත් නොවේ. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. තුවාල හා අනතුරුවලට ලක්වීමට ඉඩ තිබෙන බැවින් වාහන පැදවීමේදී ඉතා ප්‍රවේසම්වන්න. චිත්ත ධෛර්යය අඩු වන අතර උෂ්ණාධික රෝග හට ගනී. කුජ අපලයට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කරගන්න.   


වෘෂභ 

 
කුජ හත්වැන්නට පැමිණෙයි. හවුල් ව්‍යාපාරවලට සුබ නොවේ. ප්‍රසිද්ධ සතුරන්ගෙන් ප්‍රවේසම් වන්න. මංගල කටයුතුවලට තරමක බාධා පැමිණෙයි. නමුත් ඒවා කල් දැමීමට සිදුවේ. විවාහ සහකරු සමග ඉවසීමෙන් කටයුතු කරන්න. උෂ්ණාධික රෝග, මුත්‍රා රෝග ආදී සෞඛ්‍ය ගැටලු ඇති කරයි.   


මිථුන   


කුජ හය වැන්නට පැමිණෙයි. චිත්ත ධෛර්යය ඉහළ යයි. සතුරන්ගෙන් ජය ලැබේ. නිරෝගී සුවය ලැබේ. ආදායම් තත්ත්වය යහපත් වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක සහයෝගය ලැබේ. බලාපොරොත්තු වූ ණය පහසුකමක් ලැබේ.   


කටක   


පස් වැන්නට කුජ පැමිණෙයි. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව වැඩිවේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ. ව්‍යාපාරවලට කරන ආයෝජනවලින් ලාභ ලැබේ. පෙම්වතුන්ට සුබපලදායක වේ. රැකියා කටයුතුවලට යහපත් වේ. හදිසි ධන ලාභ ලැබේ.   


සිංහ   


හතර වැන්නට කුජ පැමිණෙයි. චිත්ත ධෛර්යය ඉහළ යයි. ගෘහ ජීවිත ගත කිරීමේදී ඉක්මන් කෝපය නිසා සිත් තැවුල් ඇතිවීමට හැකියි. නිවසේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආගම දහමට සිත යොමු වේ. බලවත් මිතුරන්ගේ ඇසුර ලැබේ. ගෘහාශ්‍රිත ව්‍යාපාර කරන අයට සුබදායක වේ. 

 
කන්‍යා   


කේන්ද්‍රයේ තුන් වැන්නට කුජ පැමිණෙයි. උත්සාහය ධෛර්යය වැඩි වේ. ලිපි ලේඛන කටයුතුවලට යහපත් වේ. අසල්වාසීන් සමග හොඳ හිත වර්ධනය වේ. දරුවන්ට සුබදායක වේ. මේ අතර බාල සහෝදරයකුට තරමක් අයහපත් වේ.   


තුලා   


කේන්ද්‍රයේ දෙවැන්නට කුජ පැමිණෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. අලෙවි කරන රැකියාවල යෙදෙන අයට යහපත් වේ. විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. විවාහ සහකරු නිසා ධන ලාභයක් ලැබීමට ඉඩකඩ ඇත. මංගල කටයුත්තකට අමතර මුදලක් වැය වේ.   


වෘශ්චික   


කේන්ද්‍රයේ කුජ බලවත් වීම මිශ්‍රපලදායක වේ. උත්සාහය ධෛර්යය ඉහළ යයි. රහස් සතුරන්ගේ කරදරවලින් ප්‍රවේසම් වන්න. විවාහ සහකරු සමග ඉවසීමෙන් කටයුතු කරන්න. හවුල්කරුවන් සමග කටයුතු කිරීමේදී මතභේද ඇතිවීමට පුළුවන. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතුයි.   


ධනු   


කේන්ද්‍රයේ දොළොස් වැන්නට කුජ පැමිණෙයි. මුදල් ආයෝජනය කිරීමේදී පාඩු සිදුවිය හැකියි. දරුවකු නිසා සිත් තැවුල් ඇතිවේ. විදේශ ගමන් සාර්ථක වේ. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. 

 
මකර   


කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නට කුජ පැමිණෙයි. සුබදායක වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. අලුත් මිතුරන් හඳුනාගනියි. වැඩිමහල් සහෝදරයන්ට සුබයි. සමාජ සේවා කටයුතුවල නිරතවීමට සිදුවේ. තත්ත්වයේ හෝ තනතුරේ උසස්වීම් ලැබේ.   


කුම්භ   


කේන්ද්‍රයේ දහ වැන්නට කුජ පැමිණ දිග් බලය ලබයි. චිත්ත ධෛර්යය ඉහළ යයි. රැකීරක්ෂා කටයුතු දියුණු වෙයි. සහෝදරයන්ටද යහපත් වේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ.   


මීන   


කේන්ද්‍රයේ නව වැන්නට කුජ පැමිණෙයි. ආගම දහමට සිත යොමුවේ. ආගමික කටයුතු වෙනුවෙන් තැන්පත් මුදලක් වැයවීමටද ඉඩ තිබේ. ගෙදර වැඩිහිටියකුට අපල කාලයක් බවද පෙන්වයි.   

 

 

 

 

 


​ෙජ්‍යතිෂ්‍යවේදිනී 
අජන්තා ඒකනායක   
අංක 121 මාංගොඩ, මැද මහනුවර 
0774275328