කීර්ති පැස්කුවල් එදා හමුදාවට බැඳුණා නම්?


සත් සර

 

බාල පුතා සංගීතයට ඇති ආසාව ගැන පරික්ෂාවෙන් බලා සිටි තාත්තා උපන් දිනයකට පුතාව මවිත කරමින් ජපන් මැන්ඩලීනයක් තෑගි කළේය. ඉගෙනීම් වැඩ කටයුතු පසෙක දා මැන්ඩලීන් වාදනය කිරීමට මුල් තැන දෙන පොඩි පුතා ගැන අම්මාට තිබුණේ තරහකි.   


පොඩි පුතා පාසල ඇරී ගෙදර ආ දිනයක අම්මා ජපන් මැන්ඩලීනය කඩයකට විකුණුවාය. බාල මල්ලී බෙරිහන් දිදී අඬන්න පටන් ගත් විට අක්කලා තුන් දෙනා මල්ලි සනසන්නට ගත් උත්සාහය නිෂ්ඵල විය. කෑම වර්ජනය කරමින් පුංචි පුතා හර්තාල් එකක් දැමූ හැටි පියා බලා සිටියේ සංවේගයෙනි.   


පසු කලෙක මේ පුතා සංගීත ක්ෂේත්‍රයට නැතිවම බැරි දක්ෂ ගිටාර් වාදකයෙකු විය. පසුව ජනප්‍රිය ගායකයෙකු විය.   


පැස්කුවල් වසම් ආනන්ද කීර්ති රත්න ජනවාරි 29 වැනිදාවක මහනුවර හන්තාගේ උපත ලැබීය. පියා වූයේ ගයනේරිස් පැස්කුවල්ය. ඔහු ව්‍යාපාරිකයෙකි. මව වූයේ එච්.එම්. ලැස්ලින්ය. පස්දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ඔහුය. නාලිනි, රුක්මණී, චිත්‍රානි අක්කලාය. පද්මසිරි අයියා ය. කීර්තිට ගිටාරයට ආදරය කිරීමට සිතුණේ අයියා නිසාය. අයියා දක්ෂ ගිටාර් වාදකයෙකු විය. පද්මසිරි කොයිතරම් දක්ෂ ගිටාර් වාදකයෙකු ද යත් පසු කලෙක මහනුවර ​ෙෆා්චූන් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා විය.  
කීර්ති අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාල​යේ ය. ඔහුගේ පන්ති මිතුරන් වූයේ ආනන්ද පෙරේරා (ගායිකා හා සංගීතඥ) අසෝක පෙරේරා (ප්‍රවීණ වාද්‍ය ශිල්පී) හා කපිල කුමාර කාලිංග (නාට්‍ය රචක නිෂ්පාදක හා ලේඛක) ආදීන්ය.   


මම පද්මසිරි අයියත් එක්ක මහනුවර එම්.ජී. පෙරේරා කලායතනයට ගියා. සංගීතඥ එම්.ජී. පෙරේරා මහතා ඒ කාලයේ සංගීත පන්ති පැවැත්තුවා. පෙරේරා මහත්තයා පන්ති මිතුරන් වූ ආනන්ද හා අසෝකගේ තාත්තා අපි ඒ කාලේ සමූහ ගීත ගායනා කරනවා. සංගීතයට හිත වැටුණා. මව්පියන් මාව නුවර කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවක් හදාරන්න යැව්වා. වසර 1 1/2 ක් විතර පාඨමාලාව හදාරණ කොට ඔන්න කාර්මික විද්‍යාලය වෙන තැනකට ගෙන ගියා. මාස 6 ක් විතර විවේක කාලයක් තිබුණා. මගේ ජීවිතයේ රස්තියාදු යුගය ඒ. අපි යාළුවෝ එක්ක සින්දු කියා කියා ඉන්න කාලේ මේ. මගේ පුංචි අම්මාගේ පුතෙක් හිටිය බන්දුල රණසිංහ කියලා එයාට ගිටාර් වාදනය කරන්න පුළුවන්. මඟුල් ගෙවල්වල අපි සින්දු කිව්වා. ඒ කා​ලේ මහනුවර ලේක් ක්ලබ් එකේ සංගීත ප්‍රසංග පැවැත්තුවා සෙනසුරාදා ඉරිදා දවස්වල. සී.ටී. ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනාන්දු, ජෝතිපාල ගීත කිව්වේ. සියැක්, ජෙට් ලයන්ස්, මූන්ස්ටෝන් වගේ බෑන්ඩ් වාදනය කරනවා අපි ආසාවෙන් බලන් ඉන්නවා.   


කීර්ති අතීතයට ගියේය.   


මේ අතර කීර්තිගේ ඥාති සොහොයුරු බන්දුල රණසිංහ නුවරින් හේලියන්ස් නම් පුංචි බෑන්ඩ් එකක් පටන් ගත්තේය. කීර්ති එහි ගායකයෙකු විය. කොට කලිසමක් හැඳ වේදිකාවට පැමිණි ඔහු සනත් නන්දසිරිගේ මහද වීණා ගීතය ගැයීය. ඔහුට හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. ගීත හතරක් කීමට ඉල්ලීම් ආවේය. අත්පොළසන් මැද කීර්තිව කවුදෝ වේදිකාවෙන් බිමට බැස්සු අයුරු ඔහුට තවමත් මතකය.   


ගීත ගැයුවේ සල්ලි බලාගෙන නොව තම හැකියාව එළිදැක්වීමට බව කියන කීර්ති මධ්‍යම රාත්‍රියේ බස් නැති නිසා පයින්ම ගම්පොළට ​ෙගාස් ඇති බව කීවේය. ඇතැම් විට බස් එකක් තිබුණත් ටිකට් ගැනීමට සල්ලි ද තිබී නැත.   


අපේ තාත්තයි අම්මයි මා ගැන බලාපොරොත්තු කප්පරයක් හිතාගෙන හිටියා. අයියා සංගීත පැත්තට ගිය නිසා මාව වෛද්‍ය විද්‍යාලයට යවන්න අම්මා සිහින මැව්වා. පාසලේ දී මගේ හිත ගියේ කැඩට්, ස්කවුට් හා ක්‍රිකට් පැත්තට. බැරි ම තැන දවසක් අම්මා මගෙන් මෙහෙම ඇහැව්වා.  


‘පුංචි පුතේ ඔයා ගැන අපේ බලාපොරොත්තු බිඳ වැටුණා. කමක් නෑ. ඔයාගේ ආසාව මියුසික්වලටනේ. ඒක ස්ථිර රැකියාවක් නොවෙයිනේ.   


හොඳ නැද්ද? ඔයා ආමි එකේ ඔකේස්ට්‍රා එකට ඉල්ලුවොත්’. අම්මගේ වදේට මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඒ අතරේ අපි පුංචි බෑන්ඩ් එකක් හදාගෙන තිබුණනේ. ඒ කාලේ මහනුවර ටවුමේ අපිව ප්‍රසිද්ධයි. මඟුල් ගෙවල්වලට ම ගිහිල්ලා. ඒ කාලේ දළදා මාලිගාව ළඟ බෞද්ධ මන්දිරයේ පවත්වන මඟුල් උත්සවවලට අපේ බෑන්ඩ් එක ප්ලේ කළා. අපි සවුන්ඩ් උපකරණ ගත්තේ රියාල්ඩීන්ගේ ස්ටුඩියෝ​ෙවන්. ඒ වගේම බේස් ගිටාර් එකක් අපිට තිබුණේ නෑ. රියාල්ඩීන් මට උදව් කළා හවසට ඇවිත් බේස් ගිටාර් එක පුරුදු වෙන්න කියලා. මම තනිවම බේස් ගිටාර් එක පුරුදු වුණා. මහනුවර ශාන්ත ඇන්තනීස් විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයෙකු ලෙස සේවය කළ ස්ටැන්ලි පීරිස් නිතර නිතර රියාල්ඩීන්ගේ ස්ටුඩියෝවට එනවා. මම වාදනය කරනවා දැකලා හිනාවෙලා යනවා. මමත් හිනාවෙනවා. එච්චරයි. ඒ කාලේ බේස් ගිටාර් එක නුවරට අලුත් වාද්‍ය භාණ්ඩයක්.   


දවසක් මම නුවර රජ වීදියේ ඇවිද ගෙන එනවා. රියාල්ඩීන්ගේ ස්ටුඩියෝව ළඟ එළියේ ස්ටැන්ලි හිටියා. මා එක්ක හිනාවුණා.   


එන්න එන්න ස්ටැන්ලි මට කතා කළා. මම ගියා. සින්දුවක් කියන්න පුළුවන්ද?   


මම ගීතයක් කිව්වා. එදා එහිදී දක්ෂ වාදකයන් තුන් දෙනෙක් අඳුනාගන්න ලැබුණා. එක් කෙනෙක් කී බෝඩ් එක වාදනය කළ රූකාන්ත ගුණතිලකයි. ලීඩ් ගිටාර් එක වාදනය කළ මහින්ද බණ්ඩාර හා ඩ්‍රම්ස් වාදනය කළ හිරාන්. මම පද්මසිරිගේ මල්ලි කියලා ස්ටැන්ලිවත් රූකාන්තවත්, මහින්දවත් දැන හිටියේ නැහැ. එතකොට අයියා හිටියේ රට ගිහින්. මම මාස 6 ක් විතර පුහුණුවෙන්න ස්ටැන්ලිගේ ගැලැක්සි කණ්ඩායමේ හිටියා. අපිට පුහුණුව ඉවර වුණාම රු. 2 ක් ලැබෙනවා. රූකාන්තයි මහින්දයි කෑගල්ල බස් එකේ යනවා. මම නුවර පෙරේරා ​හෝටලෙන් මාළු පාන් එකක් කාලා පයින්ම ගෙදර ගියා” කීර්ති අතීත කතාව හෙළි කළේය.

   
1976 අගෝස්තු 09 යුද්ධ හමුදා තූර්ය කණ්ඩායමට බැඳීමට එන ලෙස කීර්තිට ලිපිය ලැබුණි. ඒත් හමුදාවල තියෙන නීති රීති විනය, වේලාවට වැඩ කිරීම වැනි දේට වඩා නිදහස අගය කළ කීර්ති තීරණයක් ගැනීම සඳහා ස්ටැන්ලි පීරිස් හමුවට මහනුවර ශාන්ත ඇන්තනීස් විද්‍යාලයට ගියේය. කීර්තිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය එය විය.   


‘ඔයාට පිස්සුද? ඔයාගේ අනාගතය තියෙන්නේ ප්‍රසංග වේදි​කාවේ. කවද හරි ඔයා සංගීත ෆීල්ඩ් එකේ තරුවක් වෙනවා. බැබලෙනවා. නම රටම හඳුනාගන්නවා. ආමි එකට ගියොත් වාදක මණ්ඩලයේ සාමාජිකයෙක්. මමත් චිත්‍ර ගුරුකමින් අස් වුණා. අපි දිග ගමනක් යමු. ස්ටැන්ලිගේ වදනින් පන්නරය ලැබූ කීර්ති ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ ටැමරින් වාදකයා විය. ස්ටැන්ලි පීරිස් සමග කොළඹ පැමිණි කීර්ති අලුතින්ම ඇරඹූ ෆෝචූන් නම් අලුත් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයෙකු විය. ග්‍රේෂන් ආනන්ද විසින් තනුව නිර්මාණය කොට නීලා වික්‍රමසිංහ සමග ගැයූ ‘ඈත දුරක දෑස පාවෙලා’ ගීතය ඇතුළු ගීත හතරට මුලින්ම වාදකයෙකු ලෙස සහභාගී වූ ඔහුට ඉන්පසු ස්ටැන්ලි පීරිස් සරත් දසනායක ඇතුළු සංගීත අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට ගීත රැසකට ද සහභාගී වීමට අවස්ථාව සැලසිණ.   


කීර්ති ගායකයෙකු ලෙස ක්ෂේත්‍රයට එක්වෙන්නේ නන්දා මාලිනීගේ ප්‍රසංගවල ගිටාර් වාදනය කරමින්ම අත්වැල් ගායනයට එක්වීමෙනි. 1981 වසරේ කීර්තිගේ මුල්ම කැසට් ගීත වූ හන්තානේ ගීතය බිෂොප් ශබ්දාගාරයේ පටිගත වී ඇත. හන්තාගේ නම් ගීතය රචනා කළේ හේම ශ්‍රී අල්විස්ය. තනුව නිර්මාණය කළේ පද්මසිරි පැස්කුවල් ය.   


හන්තාගේ ගීතය මම කිව්වට පස්සේ මම නිකමට වගේ සින්දු ගායනා කරලා ඒවා එකතු කරලා තිබ්බා. ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගේ මධු රසාංග නම් රූපවාහිනී වැඩසටහ​ෙන් මට ගීතයක් ගයන්න අවස්ථාව ලැබුණා. අයි.ටී.එන්. නාළිකාවේ ෆෝචූන් සංගීත කණ්ඩායම සහභාගී වූ අවස්ථාවක් ඒ. ‘සිහින අහසේ වසන්තේ’ නම් ඒ ගීය දැකලා පී.එල්.ඒ. සෝමපාල (පාල අයියා) මගේ ගීතයක් විෂුවල් කරලා අයි.ටී.එන්. එකේ දැම්මා. ඔය ඉන්නා අතරේ මාව ටෙලි නාට්‍ය නළුවෙක් හැටියට විජය ධර්ම ශ්‍රී ගේ චාරුලතා තුළින් හඳුන්වා දුන්නේ සෝමපාල ලැනරෝල්. ඊට පස්සේ ගව්වෙන් ගව්ව ටෙලි නාට්‍යයේ මම අචලා අලස් එක්කත් බෙනට් රත්නායකගේ තරු ටෙලි නාට්‍යයේ වසන්ති චතුරානි ග්‍රැන්විල් රුද්‍රිගු සමග රඟපෑවා. මුල් වරට තරු ටෙලි නාට්‍යයේ මම නන්දා මාලිනී සමග ගීතයක් ගැයුවා. 

 
‘පූජනීය වූ ප්‍රේම ප්‍රාසාදේ චන්ද්‍රයා සේ කාන්ති දී පායලා එන්නම්’

   
​ෙම් ගීතයේ සංගීත නිර්මාණය සරත් දසනායකගේ. මහාචාර්ය සුනිල් ආරියරත්න ගීතය රචනා කළේ.   


කලක් කීර්ති නවසීලන්තයේ පදිංචිව සිටියේය. එහිදී සුමිත්‍රා රාහුබද්ධගේ සාරා ටෙලි නාට්‍යයේ දුලිකා සමග ප්‍රධාන චරිතය රඟපෑවේය. ඔහු හා පුරා කියා චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂවරයෙකු වන්නේ එම්.එස්. ආනන්දන්ගේ ‘මම බය නැහැ ශ්‍යාමා’ චිත්‍රපටයෙනි. උමයංගනා හා සහරාවේ සිහිනය චිත්‍රවලට ද ගීත ගැයුවේය. එච්.ඩී. ප්‍රේමරත්නගේ සහරාවේ සිහිනය චිත්‍රපටයේ කීර්ති ගීත දෙකක් ගයා ඇත.   


සහරාවේ සිහිනය චිත්‍රපටයේ මට විජය කුමාරතුංග සමඟ ගීත දෙකක් ගැයීමට අවස්ථාව ලැබෙනවා. එකක් විජය. මම ආනන්ද වීරසිරි ගයනවා.   


‘රන් දහදිය විකුණාලා   
රන් කහවනු පොඳි බැඳලා   
අහස් ග​ඟේ කිමිදීලා   


සතුට රැගෙන මතු දවසක අපේ රටට අපි යනවා’   


​ෙම් ගීතයේ රචනය කැමිලස් පෙරේරාගේ. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ. අනික් ගීතය මම ගයන්නේ විජය හා චන්ද්‍රලේඛා පෙරේරා සමග. ගීත රචනය කුලරත්න

ආරියවංශ. සංගීත නිර්මාණය රෝහණගේ.   


‘මල් හසරැල් සැලෙන ලොවක්   
දුල් රසුදැල් අසිරි සලක්   
​ෙසාඳුරු ඉසව්වක්   
තිත් කතරක නෙත් දනවන   
සිහින දනව්වක්’   


මීට අමතරව කීර්ති ගැයූ ගීත රැසක් ජනප්‍රිය වී ඇත.  


 ‘කඳුළ ඉතින් සමාවෙයන්   
අපි වෙන්වෙමු අද හවසට   
මගෙ ගෙපැළට ඈ එනවා   
සිරියහනේ තනි රකින්න’   
ගීත රචනය ලක්මාලි කාරියවසම්   
සංගීත නිර්මාණ සුරේෂ් ද සිල්වා   


අනික් ජනප්‍රිය ගී අතර සඳලතා පායලා (ගීත රචනය / අජන්තා රණසිංහ / සංගීත නිර්මාණය සරත් ද අල්විස්), කවිකාරියේ සින්දු කියනා ලඳේ (සහාය ගායනය ධම්මිකා බණ්ඩාර / ගීත රචනය සමන් චන්ද්‍රනාත් වීරසිංහ / සංගීත නිර්මාණය මහින්ද බණ්ඩාර),   


 නිල් උපුලි මල් කැකුලී, ශාන්ත රැයේ, තරු දහසක්, රසට රස, ඉස්සර ආදි කාලේ ගීත කැපී පෙනෙයි. කීර්ති කියන ආකාරයට රටවල් 150 කට පමණ   
ප්‍රසංග වලට ඔහු සහභාගී වී ඇත.   

 


කීර්ති ගායකයෙකු මෙන්ම නළුවෙකු නිසා ඔහු ආකර්ෂණීය මනා පෞරුෂයකින් යුතු දැකුම්කළු පුද්ගලයෙකි. ඔහු අඛණ්ඩව තාරුණ්‍යය රැක ගැනීමට සමත් වී ඇත. එහි රහස ඔහු කියන්නේ නැත. ධර්මරාජයේ ඉගෙනීමට යන කාලයේ ඇති වූ ප්‍රථම ප්‍රේම සම්බන්ධය ගැන ඔහු මට විස්තර කළේය.   


ඇගේ නම මුදිතා. ඉගෙන ගත්තේ මහනුවර මහමායා විද්‍යාලයේ. පාසල අවසාන වෙත්ම ඇය ගෙනයාමට පියා මෝටර් රථයකින් එනවා. දළදා මාලිගාව ළඟ ඇති නාථ දේවාලය පාරේ ඇය ඇවිදගෙන එන විට මම මිත්‍රයත් එක්ක ඇය බලන්න යනවා. අපි අතර ලියුම් හුවමාරු වන්නේ ඒ පාර දිගේ එන විට. 1978 අපි විවාහ වෙනවා. අපිට පුතෙක් හා දුවෙක් ඉන්නවා. පුතා කසුන් කල්හාර පැස්කුවල්. පුතා දැන් ගායකයෙක්. දුව දිනේෂා. පුතා අපට ලැබුණ කාලෙම එච්.එම්. ජයවර්ධනටත් පුතෙක් ලැබුණා. සුබ අක්ෂර අනුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පුතාල දෙන්නටම දැම්මේ ‘කසුන් කල්හාර’ නම. කසුන් කල්හාර ජයවර්ධන අද දක්ෂ ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. මගේ ප්‍රථම ප්‍රේමවන්තිය හා ප්‍රථම බිරිඳ හා මම වෙන්වුණා.   

 

පැස්කුවල් වසම් ආනන්ද කීර්ති රත්න ජනවාරි 29 වැනිදාවක මහනුවර හන්තාගේ උපත ලැබීය. පියා වූයේ ගයනේරිස් පැස්කුවල්ය. ඔහු ව්‍යාපාරිකයෙකි. මව වූයේ එච්.එම්. ලැස්ලින්ය. පස්දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ඔහුය. නාලිනි, රුක්මණී, චිත්‍රානි අක්කලාය. පද්මසිරි අයියා ය. කීර්තිට ගිටාරයට ආදරය කිරීමට සිතුණේ අයියා නිසාය. අයියා දක්ෂ ගිටාර් වාදකයෙකු විය. පද්මසිරි කොයිතරම් දක්ෂ ගිටාර් වාදකයෙකු ද යත් පසු කලෙක මහනුවර ​ෙෆා්චූන් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා විය.  

 


මගේ දෙවන බිරිඳගේ නම චන්දනා. අපිට දුවල දෙදෙනෙක් ඉන්නවා. චාරුනි දුව නීති උපාධියට ඉගෙන ගන්නවා. නතාලිය දුව ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගන්නවා.   
කීර්තිගේ අයියා වූ පද්මසිරි මීට වසර 10 කට පමණ පෙර මියගිය අතර ලොකු අක්කා නාලිනී ද ජීවිතයෙන් සමුගෙනය. අනික් අක්කලා (රුක්මණී, චිත්‍රනි) බැලීමට කීර්ති ඉඳහිට යන බව කීවේය. හැම ජනප්‍රිය ගායකයෙකුට මෙන්ම කීර්තිට ද රසික රසිකාවෝ රොද බැඳ ගත්හ. ඒ අතරින් රසිකාවියන් වැඩිය සිටීම අරුමයක් ද? එවැනි රසිකාවියක් ගැන සංවේදී සිදුවීමක් කීර්තිගේ සිතින් උපුටා දැමිය නොහැකි ලෙස සටහන් වී ඇත.   


මීට අවුරුදු හයකට පමණ පෙර මගේ මිත්‍රයෙක් මට මෙ​හෙම ඉල්ලීමක් කළා.   


‘කීර්ති උඹගේ සින්දුවලට කැමති කෙල්ලෙක් හෙට විවාහ වෙනවා. එයාගේ මව්පියන්ට ඕනෑ කරලා තියෙන්නේ සප්‍රයිස් එකක් හැටිය උඹට වෙඩිං එකට ආරාධනය කරලා සින්දු කියවන්න. ඒ ෆැමිලි එක මගේ කිට්ටුම යාළුවෝ’. මගේ මිත්‍රයාගේ වචනයට මම දෙහිවල තිබුණ ඒ වෙඩින් එකට ගියා. මගේ රසිකාවියට එදා රටක් රාජ්‍යයක් ලැබුණ වගේ. මම ගීත කිහිපයක්ම කිව්වා. ඇය පුදුම සතුටකින් හිටියෙ.   


වසර 3 කට විතර පස්සේ මේ රසිකාවිය දිනුෂා බලවත් සේ රෝගාතුරව පුද්ගලික රෝහලක සිටින බව ආරංචි වුණා. මට දිනය කිසිදා අමතක වෙන්නේ නැහැ. එක පාරටම මතකය හරි නම් 2017 ජනවාරි 16 යි. මට අර මගේ මිත්‍රයා දුරකථනයෙන් කතා කළා.   


කීර්ති හරි වැඩේ මතකද? අපි ගිය දෙහිවල වෙඩිං එක. අර ඔයාගේ ෆෑන් දිනුෂා. ඔව් මතකයි.   


එයාට සිරියස්. එයාගේ ඔපරේෂන් එකට යාළුවෝ ලක්ෂ 80 ක් එකතු කරලා දුන්නා. එයාට කැන්සර් එකක් එක්කම කිඩ්නි, හාට් ඇතුළු අසනීප කිහිපයක් තිබෙනවා.   
අන්තිම මොහොතේ ඔයා එයාව බලන්න ආවොත් ඒකත් එයාට ලොකු සැනසීමක් වේවි. ප්‍ලීස්.   


දැන් වේලාව රෑ 10.30 ත් පහුවෙලා. මේ වෙලාවේ හොස්පිටල් එකකට යන එක හරි නෑ. මම හෙට උදෙන්ම එනවා මම කිව්වා.   


එදා මම හිටියේ රෙකෝඩින් ස්ටුඩි​ෙයා් එකක. ගෙදර ගිහින් මුහුණ කට හෝදාගෙන කෑම කන්න ආවට මගේ හිත රෝහලේ ඉන්න දිනුෂා ගැන. මම දුවට කතා කළා.   
දුව චාරුනි, ඔයත් එන්න මාත් එක්ක ලංකා ​හොස්පිට්ල් එකට යන්න.   


මේ දැන්?   


ඔව්. මගේ ගිටාර් එකත් ගන්න.   


අපි ඉක්මණින් හොස්පිට්ල් එකට ගියා නෙවෙයි දිව්වා. ඛේදජනක අවස්ථාවක් ඒ. ඇයගේ ඇස් දෙක ඇරිලා. වැහෙන්නේ නෑ. ඇගේ සැමියා අම්මා තාත්තා ඥාතීන් අඬනවා. ඇයගේ පණ තියෙන්නේ ඔළුවේ විතරයි කියලා කවුද කිව්වා. 

 
දිනුෂා මාව අඳුනනවාද?   


මම ඇගේ මුහුණට ළං වී ඇසුවා.   


මම සින්දුවක් කියන්නද දිනුෂා? මම ඇසුවා. ඇය මොනවදෝ තොල් මැතුරුවා.   


කඳුළු....... ඇස් දෙකෙන් ගලාගෙන ආ කඳුළු අතරින් දිනුෂා මිමිනුවා.   


මම ගිටාරය අතට ගත්තා. ‘කඳුළ ඉතින් සමාවෙයන්’ ගීතය මම ගැයුවා. ‘සඳලතා’ ගීතයත් කිව්වා. දිනුෂා ලොකු හුස්මක් අරන් සින්දු අහගෙන හිටිය. හැමෝම අඬනවා. මම දුවත් එක්ක එළියට ආවා. අපි දෙන්නගේ ඇස්වල කඳුළු. අපි ගෙදර ආවා. උදේ ආරංචි වුණා දිනුෂා මියගියා කියලා. එයාට දරුවෝ නැහැ. මට ඇගේ අවමඟුලට යන්න හිත හදා ගන්න බැරිව ගියා. මම ඇගේ සැමියාට ටෙලිෆෝන් කරලා කිව්වා සොරි මට දිනුෂාගේ මූණ බලන්න බැරි නිසා මම එන්නේ නෑ කියලා.   


කීර්ති මේ සිද්ධිය අපට විස්තර කරන විට ඔහුගේ උගුරේ කිසිවක් හිර වී ඇතිවාක් මෙන් මට දැනුණි.   


කීර්ති ජීවිතයේ අමාරුවේ වැටුණු අවස්ථා නැත්තේ ද නොවේ.   


වරක් මගේ “කීර්ති ගී” ප්‍රසංගයක් නුවර පැවැත්තුවා. ප්‍රසංගය භාගයක් නිමා වී විවේක කාලය ළඟාවෙමින් තිබුණේ. ශාලාවේ මැද හරියෙන් කුඩා දරුවෙක් තාත්තේ තාත්තේ කියලා කෑ ගහන හඬක් ආවා. ප්‍රේක්ෂකයොත් මේ මොකද කියන්නේ කියලා බලනවා. ඔන්න විවේක කාලය ආවා. මම ප්‍රසංගයේ සංවිධායකට කිව්වා ගිහිල්ලා බලන්න. ඒ දරුවත් වැඩිහිටියෙකුත් ඉන්නවා නම් එයාවත් මම ඉන්න තැනට එක්ක එන්න කියලා.   


කෑ ගැසූ දරුවාත් මවත් වේදිකාවේ පිටුපසට ආවා. ඒ දරුවට වයස අවුරුදු හතරක් විතර ඇති. මම අම්මගෙන් ඇහැව්ව ඇයි පුතා තාත්තා කියලා මං දිහා කියලා කෑ ගැහැව්වේ කියලා.   


අනේ කීර්ති මහත්තයා පුතාගේ තාත්තට ඔයාගේ හැඩ රුව තියෙන්නේ. මගේ මහත්තයා හමුදාවේ හිටියේ. එයා යුද්දේදී මැරුණා. තාත්තාගේ පින්තූර බලලා පුතා තාත්තා​ කෝ කියලා අහනවා. කීර්ති මහත්තයා ටී.වී. එකේ සින්දු කියන කොට අර අපේ තාත්තා කියලා පුතා අඬනවා. අපි කියලා තියෙන්නේ පුතාගේ තාත්තා රට කියලා. වරදක් වුණා නම් සමාවෙන්න. මව කඳුළු පිරි දෙනෙතින් කිව්වා.   


මට කිසිවක් කර ගත නොහැකිව සිට ඒ කුඩා දරුවාගේ හිස අත ගාලා පුතා ගිහින් ෂෝ එක බලන්න කියලා කිව්වා. ඒ පුතා සතුටින් ගියා. අපේ රට වෙනුවෙන් දිවි පිදු හමුදාවේ සහෝදරයන් ගැන මා තුළ එදා ඇති වූයේ සංවේගයක්. මෙවැනි දුක්ඛදායක තත්ත්වයන්ට මුහුණ දුන් සියලු දරුවන්ට යහපතක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කළා. එදා ප්‍රසංගයේ විවේක කාලයෙන් පසු මම ගී ගැයුවේ හැඟීම්බරවයි.   


කීර්ති කාලයක සිටම සමාජසේවා කටයුතුවල නියැළී සිටියේය. ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් අසරණ ළමයින් වෙනුවෙන් ආගමික සමාජ කටයුතු රැසක් කළේය.   


තමා විසින් පිහිටුවාගෙන තිබු සුපර් ෆෝචූන් සංගීත කණ්ඩායම මේ සඳහා මූලිකත්වය ගත්තේය.   


ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති ලෙස කීර්ති වැඩ කටයුතු රැසක් ඉටු කරමින් සිටී. මේ සඳහා ජනාධිපතිතුමාගෙන් ලැබුණු රුපියල් ලක්ෂ 250 සංගීත ක්ෂේත්‍රයට මෙන්ම වෙනත් කලාකරුවන්ගේ සුබසාධනය සඳහා යොදා ඇති බව කීර්ති පවසයි. එම අරමුදලින් ලැබෙන පොලියෙන් ජ්‍යෙෂ්‍ඨ කලාකරුවන් 42 කට විශ්‍රාම දීමනා දී ඇති බවත් කීර්ති පැවසීය.   


එ් අතර සංගීත පන්ති දෙකක් කොහුවල පවත්වාගෙන යමින් නව පරපුරට සංගීත ඥානය ලබා දෙයි. පැස්කුවල් සවුන්ඩ් ඔෆ් මියුසික් ආයතනයේදී රසවින්දනය දියුණු කිරීමේ පාඨමාලාවක් ද ට්‍රිනිට් ඇකඩමි ඔෆ් ආට් ආයතනයෙන් ලන්ඩන් ට්‍රිනිට් පාඨමාලාව ඇසුරෙන් සංගීත විභාග පවත්වාගෙන යයි.   

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර