කිසිකන්දා කිරුළට වාලි, සුග්‍රීව සටනක


භාරත දේව සභාව

කිසිකන්ද‌ාවේ කිරුළ හිමි වාලි රජු හමුවට ආ මායාවී නම් යක්ෂයා ‘සටන් කරමු’ යි අභියෝග කළේය. අභියෝගය භාරගත් වාලි යක්ෂයාට පහරදුන්නේ ඔහුගේ ලෙන තුළටම ගොස්ය.  


සටනේ එක් උද්වේගතර මොහොතක ලේ ගඟක් ගලා ගිය අතර ලෙනට එබී බැලූ සුග්‍රීව සිතුවේ තම සොයුරු වාලි මියගොස් සිටින බවය. මායාවී යක්ෂයා ලෙන තුළ සිරකර ගුහාවේ දොර වසා දැමූ සුග්‍රීව, කිසිකන්දාවට ගොස් කිරුළ පැළඳගත්තේය.  

 


ඒ කතාවේ ඉතිරිය මෙතැන් සිට.... 
  
‘අම්මේ මගෙ තාත්තා ආයෙම එන්නෙ නෑ නේද?’  
වාලිගේ තරුණ පුතු අන්ගාද් තම මව වන තාරාගෙන් විමසුවේය  
ඒ මොහොතේ ඒ ජවසම්පන්න තරුණයාගේ මුහුණෙහි ඇදී තිබුණේ ශෝකයකි.  
‘ඔව් පුතා’  
තාරා කීවේ සිය දුක්බර දෙනෙත පුත්‍රයා වෙත යොමු කරමිනි.  
‘මම තාත්තාට කිව්වා යක්කුත් එක්ක රෑ ජාමෙ සටන් කරන්න එපා කියලා. මොකද රෑට යක්කුන්ට ලොකු ශක්තියක් ලැබෙනවා’  
‘ඒත් තාත්තා ඒ වචන විශ්වාස කළේ නෑ. එයා හිතන් හිටියෙ හැම යකෙකුටම වැඩියෙන් එයා ශක්තිමත් බව’ තාරා කීවාය.  
‘අම්මා කියපු දේ ඇහුවනම්, තාත්තාට අපිව ද‌ාලා යන්න සිද්ධවෙන්නෙ නැහැ නේද අම්මා?’  
‘ඔව් පුතේ.’  
තාරා නෙතේ උපන් කඳුළ අලුත් කරගත්තාය.  
සුග්‍රීවගේ පළමු බිරිඳ වූ රූමා, මව සහ පුතු අතරට ආවේ එමොහොතේ දීය.  
‘අන්ගාද්’ ඔබේ පියා වානරයන් අතර විශිෂ්ඨයෙක්. ඒ නිසා දැන් වාලි ගැන කණගාටු විය යුතු නැහැ. ඔහු අභීතව සතුරාට මුහුණ දුන්නා. දින ගණනාවක් තිස්සේ දිවා රෑ නොබලා සටන් වැදුණා. ඔහු මියගියේත් වීරයෙක් ලෙස. දැන් සුග්‍රීව විසින් ඔබත් ඔබේ මවත් හොඳින් බලාගනීවි ඔබ දෙදෙනාටම සුදුසු තනතුරු ලබාදේවි.’  
රූමා කීවේ මව සහ පුතු දෙස මාරුවෙන් මාරුවට බලමිනි.  
‘සුග්‍රීවට ඔහුගේ රාජධානිය බලාගැනීමට සිදුවෙනවා’  
තාරා කීවාය. ‘දැන් ඔහුයි වානරයන්ගේ රජු. ඒ නිසා තම සහෝදරයාගේ මරණය හේතුවෙන් ඔහුගේ හද පෙළන ශෝකය අමතක කිරීමට ඔහුට සිදුවෙනවා.’  
නමුත් තාරාට ඇගේ කතාව අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැත. එක්වරම බිහිසුණු හඬක් ඇසුණු බැවිනි. ඒ හඬින් බියපත් වූ අන්ගාද් සහ රූමා එකිනෙකා දෙස බලාගත්තේ විසල් වුණු නෙත්වලිනි.   
එසේ වූවත් ඒ රෞද්‍ර ස්වරය එන්නේ කොහෙන්දැයි යන්න ගැන හැඟීමක් තාරාට තිබිණි. සැබැවින්ම ඇය ඒ හඬ හොඳින් හඳුනන්නීය.  
ඔවුන් පමණක් නොව කිසිකන්දා නුවර සියලු වැසියෝ සිටියේ බියට පත්වය. ඔවුන් ගෙවල්වල දොරවල් ඇරගෙන එළියට පැන්​ෙන් බියෙන් වෙව්ලමිනි.   
‘උඹ මහ නරක වානරයෙක්’  
කිසිකන්දාව මුදුනින් ඇසුණු උස් වූ ස්වරයට කෝපයක් ද මුසු වී තිබිණි.  
සුග්‍රීව මේ සිදුවන කිසිවක් විශ්වාස කිරීමට නොහැකිව බලා සිටියේය. විටෙක ඔහුට සිතුණේ මෙය ඔහු දකින සිහිනයක් බවය. නොඑසේ නම් ඔහු අවතාරයකට මැදිව ඇති බවය. මන්ද, ඔහු ඉදිරිපිට වියරු වෙසින් හැසිරෙන්නේ හිටපු වානර රජු වාලිය. නොඑසේනම් සුග්‍රීවගේ සහෝදරයාය.  
‘වාලි?’  
සුග්‍රීව සිහින් හඬින් කොඳුළේය.  
ඊළඟ මොහොතේ තම කුටියෙන් පලාගිය සුග්‍රීව මැදුරේ වෙනත් ඉසව්වක සැඟවු​ණේය.  
‘මොකක්ද දෙයියනේ මේ සිද්ධවුණේ? එතකොට මම ගුහාදොර වැහුවේ අයියා පණපිටින් ​ඉන්දැද්දීද?’  
සුග්‍රීව තමාගෙන්ම විමසුවේය. ‘එහෙමනම් ඒක ලොකු වැරැද්දක්’  
එහෙත් වාලිට සුග්‍රීවගේ නිවැරැදි බවක් වැටහුණේම නැත. කුටියෙන් පලාගිය සුග්‍රීව සොයාගෙන පැමිණි වාලි, ඔහු අල්ලා තල්ලු කළේය. ඒ වේගයෙන් ඇද වැටුණු සුග්‍රීවගේ හිස බිත්තියක වැදී රිදුම් දෙන්නට විය.  
‘දැන් උඹට පුළුවන්ද මගෙන් ආරක්ෂා වී සිටීමට?’  
වාලි උස් වූ හඬකින් සුග්‍රීව ඇමතුවේය.  
‘මම, මායාවිගෙන් මැරුම් කයි කියලා හිතන්න තරම් උඹ මෝඩයෙක් නෙවෙයි කියලා මම දන්නවා. උඹට ඕනෑ කරල තිබ්බේ මගෙ රාජධානිය පැහැර ගැනීමට. ඒකයි උඹ මාව අර යකාගේ ගුහාව ඇතුළෙ හිරකරලා ගුහාදොර වහල දැම්මෙ. උඹ හිතුවා යකා මාව මරල ද‌ායි කියලා. එහෙම නේද? මෝඩයො?’  
වාලිගේ කෝපාවිෂ්ඨ කටහඬ ඇසුණු බැවින් තාරා, ඔහු වෙත පැමිණියාය. වාලිගේ අතකින් අල්ලාගත් ඇය, ඔහු සමඟ තම කුටිය ඇතුළට ගමන් කළාය.  
‘උඹ හිතන්න ඇති මම ආයෙ එන එකක් නැහැ කියලා’  
වාලි යළි සුග්‍රීව අමතා කෑ ගසා කීවේය.  
‘ස.. ස.. සහෝදරයා’’  
සුග්‍රීව අමාරුවෙන් ශක්තිය ගෙන කතාකරන්නට පටන් ගත්තේය ‘කරුණාකර මට කන්දෙන්න.’  
අමාරුවෙන් හුස්මක් ගත් සුග්‍රීව, වාලි දෙස බැලුවේ කම්පිත නෙත්වලිනි. ‘ඇත්තටම මම හිතුවෙ, ඔබ ගුහාව ඇතුළෙ මැරිලා වැටුණ කියලා. ඒ තරමටම ලොකු රුධිර ගංගාවක් ගලා ගියා. ඒ වගේම මම කැමති වුණේ නෑ මායාවී ආපහු අපේ රාජධානියට ඇතුළු වෙනවට. මම ගුහාවේ දොර වහල දැම්මෙ මායාවී හිරකරන්නයි’  
එහෙත් සුග්‍රීව ​ෙග් වචන පිළිගැනීමට තරම් නිරවුල් මනසකින් වාලි පසුවූයේ නැත.  
‘බොරු’  
වාලි යළිත් ගිගුරුවේය. ‘ඔය තරම් ගල් පැලෙන බොරු මා එක්ක කියන්න එපා. උඹ මගෙ සහෝදරයෙක් නොමේ සතුරෙක්’  
තාරා, අල්ලාගෙන සිටි අත ගසා දැමූ වාලි යළි, සුග්‍රීව වෙත පැමිණියේය. ඔහුගේ උරහිස් දෙකින් අල්ලාගත් වාලි ඔහු පස්සෙන් පස්සට තල්ලු කරගෙන ගොස් ගෙයින් එළියට දැම්මේය.  
‘රූමා මට හැමදේම කියලා තියෙන්නෙ’  
වාලි, යළිත් කීවේය.  
තල්ලු වී ගියත්, වාසනාවකට මෙන් සුග්‍රීව බිම ඇද වැටුණේ නැත. ඔහුට සිරුරේ සමබරතාව රැකගත හැකිවිය.  
ඔහුගේ පපුව වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය. සිදුවූ ප්‍රමාද දෝෂය ගැන කම්පාවට වඩා අයියාගේ වැරැදි වැටහීම සුග්‍රීවට ගැටලුවක් විය. සහෝදරයාගේ අධික කෝපය, තම ජීවිතයට තර්ජනයක් ලෙසද ඔහුට හැඟී ගියේය.   
‘මං කොච්චර කිව්වත්, මම කියන කිසිම දෙයක් වාලි විශ්වාස කරන්නෙ නෑ. එයා හිතන්නෙම රජකමට ලෝබකමෙන් මම එයාව ගුහාවෙ හිර කළා කියලා.’  
සුග්‍රීව තමන්ටම කියාගත්තේය.  
‘කරන්න තියෙන හොඳම දේ කිසිකන්දාවෙන් යන එක. මාතංග ඉසිවරයාගේ ආශ්‍රමයට නම් කවද‌ාවත් වාලි එන්නෙ නෑ’  
ඇත්තටම සුග්‍රීව සහ හනුමන්තා කලකට ඉහත වාසය කළේ මාතංග ඉසිවරයාගේ ආශ්‍රමයේය. එහෙත් දැන් හනුමන්තා එහි නොමැත. හේතුව ඔහු, අතුරුදන් වූ සීතා සෙවීම සඳහා ලක්ෂමණ සහ රාම සමඟ වෙහෙසෙමින් සිටීමය. සීතාව, පැහැරගෙන ගියේ රාවණ රජු බවත් ඇය ඒ වනවිටත් සිටින්නේ ලංකාවේ බවත් රාම, ලක්ෂමණ හෝ හනුමන්තා දැන සිටියේ නැත. ඔවුහු වනාන්තරයේ හැම ගහක්ම ගලක්ම පීරමින් සීතා සෙවූහ.  
ඉසිවරයාගේ ආශ්‍රමයට ගිය සුග්‍රීව, ලොකු හුස්මක් ගත්තේය. එහෙත් ඒ හුස්මෙන් ඔහුට සහනයක් දැනුණේ නැත. මරණ බිය විසින් ඔහු කම්පාවට පත්කර තිබිණි. වාලි කෝප වී සිටි තරමට, ඔහු තමන්ට පහර නොදී සිටියැයි විශ්වාස කරන්නේ කෙසේද?  
ආශ්‍රමයේ විවේක ගනිමින් සිටියදී සුග්‍රීවට රාම රජු මුණ ගැසිණි. අයෝධ්‍යාවේ පාලනය ගෙන ගිය ඔහු සුග්‍රීව බියපත්ව සිටිනු දැක කරුණු විමසුවේය.  
වාලි හා මායාවී අතර ඇති වූ සටනේ පටන් අනතුරුව සිදු වූ සියල්ල සුග්‍රීව කියාගෙන ගියේය.  
‘මට හිතෙනවා කොයි මොහොතක හරි වාලි ඇවිත් මාව මරල දානවා’  
සුග්‍රීව අන්තිමට කීවේ ඒ වචන ටිකය.  
‘ඔබ බයවෙන්න එපා. මම වාලි සමඟ සටන් කර ඔහු මරා දමන්නම් කිසිකන්ද‌ාව නැවතත් ඔබට ලබා දෙන්නම්, හැබැයි ඊට පස්සෙ සීතාව සොයා ගැනීමට මට ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා’  
රාම කුමරු කීවේය.
වෙලාවේ හැටියට කළ යුතු හොඳම දෙය එය බව සුග්‍රීවට වැටහිණි.  
‘මං පොරොන්දු වෙනවා’’  
සුග්‍රීව කීවේ රාම කුමරුගේ දෝතින්ම අල්ලාගෙනය.  
රාමගේ පොරොන්දුවෙන් ශක්තිය ලද සුග්‍රීව යළි කිසිකන්ද නුවරට ගියේය. ඔහු සටන් කිරීම සඳහා වාලිට අභියෝග කළේය.  
හටගත් කෝපය පහව නොතිබුණු වාලි ඒ අභියෝගය භාරගත්තේ දෙවරක් නොසිතාමය. ඔහු සිය මැදුරු දොර දෙසට ඇවිද ගියේ වේගයෙනි.  
එහෙත් ඔහුගේ බිරිඳ තාරා, පැමිණ වාලිගේ අතින් අල්ලාගත්තාය.  
‘ඔබ හිතනවද සුග්‍රීව සමඟ සටන පහසු එකක් වේවි කියා?’  
තාරා ඇසුවාය.  
ඇගේ ඒ ප්‍රශ්නය, වාලිගේ තරහ ඇවිස්සීමට සමත් විය.  
‘මායාවී කියන අර මදාවි යක්ෂයා මරාදාපු මට ඔය වානරයා මොකෙක්ද?’  
වාලි ඇසුවේය.  
‘නමුත් ඔබට සුග්‍රීව සමඟ සටන පහසු වෙන්නෙ නැහැ. ඔහු ඔය ඇවිත් තියෙන්නෙ රාම රජු සහයෝගය ඇතිව. අපි හොඳින්ම දන්නවා රාම කියන්නෙ විෂ්ණු දෙවියන්ගෙ අවතාරයක්. ඒ නිසා රාමගේ රැකවරණය ලබන සුග්‍රීව ශක්තිමත් ඔබට ඔහු සමඟ සටන පහසුවෙන්නෙ නෑ’  
‘ඔයාට විකාර’  
වාලි, තාරාගේ කියමන ප්‍රතික්ෂේප කළේය.  
‘ඒ මොනව වුණත් මට අභියෝග කරන මොකා එක්ක වුණත් මම සටන් කරනවා. ඒ බව ඔබත් දන්නවා’ විෂ්ණු උතුමානන් මට අභියෝග කලත් සටන් වදින්න, මම ඒ අභියෝගයත් භාරගන්න ජාතියෙ එකෙක්’  
වාලි එසේ පවසා තාරාගේ මුහුණ බැලුවේය.  
තාරාගේ දෙනෙතින් කඳුළු ගුලි දෙකක් මතු වී කොපුල් හරහා ගලා යමින් තිබිණි. එහෙත් ඒ කඳුළු ගණනකටවත් නොගත් වාලි සටන් කිරීම සඳහා සිය මැදුරෙන් නික්මුණේය.  
තාරා සිටියේ කම්පාවට පත්වය. පැහැදිලි හේතුවක් පෙනෙන්නට නොතිබුණත් ඇගේ හිතේ බිය සටහන්ව තිබිණි.   
ඊට එක් හේතුවක් වූයේ, වාලි ඒ වනවිටත් දරුණු සටනකින් හොඳටම හෙම්බත්ව සිටීමය. ඒ වෙහෙස මඟ හැර ගැනීමට තරම් කාලයක් ඔහුට ලැබී තිබුණේ ද නැත.  
වාලි සිය මැදුරෙන් පිටතට පැමිණෙන විටම එතෙක් වේලා මැදුරු දොර ළඟ රැඳී සිටි සුග්‍රීව පැන දිව්වේය. වාලි ඔහු පසුපස ලුහුබැන්දේ ඔහුට පාඩමක් උගැන්විය යුතු බැවිනි.  
මැදුරෙන් තරමක් ඈතට ගිය තැන ගස්වලින් සෙවණ වූ තැනකදී දෙසොහොයුරෝ ගහගන්නට පටන් ගත්හ.  
රාම සැඟවී සිටියේ ඊට මඳක් ඔබ්බෙනි. වනස්පතියකට මුවා වී සිටි ඔහු ගිනිඅවිය සුරත දරාගෙන සිටියේ වාලිට ගිනිබිඳින්නටය.  
එහෙත් වාලි සුග්‍රීව හා සටන් වැදුණේ එකිනෙකා පොරබදමිනි. මේ නිසා නිවැරැදි ඉලක්කය ගැනීම උගහට විය. රාම සුග්‍රීවට කියා තිබුණේ සටන අතරතුරදී ගිනි බිඳ වාලි මරා දමන බවය. එහෙත් ඉලක්කය වැරැදී එය සුග්‍රීවට එල්ල වූවහොත් කුමක් කරන්නද? ඒ නිසා රාම අවිය පහත දමා සටන දෙස බලා සිටියේය.  
‘මේ සටන නම් ලේසි වෙන පාටක් නෑ’  
තාරා තමන්ටම කියාගත්තාය.  
දැඩි වෙහෙසට පත්ව සිටි වාලි, සුග්‍රීව හා සටන් කරන හැටි බලා සිටි තාරාගේ දෙනෙතට කඳුළු පිරිණි. ඒ කඳුළෙන් කියැවුණේ ඇය අප්‍රමාණ ලෙස වාලිට ආදරය කරන බවයි.  
ප්‍රේමය නමින් දෙනෙතින් වැටෙන කඳුළ මොනතරම් බලවත්ද?  

 

 

 


ලබන සතියට....

 


ශාන්ත කුමාර විතාන