කිඹුලාපිටිය ගුවන් අනතුරේ ඇසින් දුටු සාක්‍ෂි


 

ගුවන් යානය කඩා වැටුණු ස්ථානය

 

  • අනතුර සිදුවුණේ 1978 නොවැම්බර් 15වැනිදා.   
  • තුවාල ලැබූ ගුවන් සේවිකාවක් මං කරේ තියාගෙන ආවා. රන් බණ්ඩාර ඉද්දගොඩැල්ලේ 

 

 

හිරි පොද වැස්සක් ඇද හැලෙමින් තිබූ ඒ සීතල නිසල රෑ මීගමුව කිඹුලාපිටියේ ජනතාව සිටියේ සුවබර නින්දකය. ඔවුන් බය භිරාන්තව අවදිවූයේ හිටිහැටියේ අහස් කුස දෙදරා යන තරමින් ඇසුණු මහ හඬකිනි.   

ඔවුහු ඒ හඬ කුමක්දැයි විපරම්කර බැලීමට වහා නිවෙස් වල දොර පියන්පත් විවෘතකර බැලූහ. දැක ගැනීමට ලැබුණේ මහ පොළොවට පතිත වී තිබූ ගුවන් යානයක් මහගිනි ජාලාවක් වෙමින් තිබූ අයුරු.   


ගිනි ගන්නා ගුවන් යානය තුළ සිරවී ගුවන් මගීන්ගේ මරළතෝනි හඬත් ඔවුන් පිටතට පැමිණීමට ගන්නා උත්සාහයත් කෙනෙකුට බලා සිටීමට නොහැකි දසුනක් විය.   
ගුවන් මගීන් සැලකිය යුතු පිරිසක් පණපිටින් පිලිස්සී අඟුරු​ගොඩක් බවට පත්වන අයුරු කිඹුලාපිටියේ ජනතාව බලා සිටියේ විමතියෙනි.   
එහෙත් ඔවුන්ට අසරණයන් බේරා ගැනීමට ඒ අසලකටත් යා ගත නොහැකි වුයේ ගුවන්යානයෙන් බුර බුරා නගින මහා ගිනි ජාලාව නිසාය.   
අත් පා කැඩී ගොස් සිරුරු යානාව තුළ එල්ලෙමින් තිබිණ. පණ බේරාගත් ගුවන් මගීහුද, පිලිස්සුම් තුවාල ලැබූ ගුවන් මගීන්ද බොහොම අසීරුවෙන් වඩාගෙන එද්දී ඔවුන් බේරාගැනීමට කිඹුලාපිටියේ ජනතාව දිව ආවේ දෙවරක් නොසිතාය.   


ගැබිනි ගුවන් මගී කාන්තාවක් බේරාගෙන ඇත්තේ කළුවරේ බඩගාගෙන එද්දී ළිඳක වැටී සිටියදීය.   


තුවාල ලබා සිටි ගුවන් සේවිකාවක කර මත තබාගෙන ගිලන් රථයක පටවා රෝහල්ගත කිරීමට කටයුතු කිරීම නිසා අන්තිම තත්පරේදී ඇයගේ ජීවිතය බේරිණි.   
කාර්මික දෝෂයක් නිසා කඩාවැටුණු ගුවන් යානය කිඹුලාපිටිය රබර්වත්තක මැද වූ ගෙවත්තක මහ කොස් ගසක වැදී දෙපළු වී ගොස් ඇත.   
ලොව හැඬවූ මේ මහා ගුවන් අනතුරින් 175 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල සිදු වී තිබිණි. 

 
කිඹුලාපිටිය ප්‍රදේශයට කඩා වැටී තිබුණේ මක්කම වන්දනාකරුවන් පිරිසක් රැගෙන ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ අයිස්ලන්ත ගුවන් සේවයට අයත් ඩී.සී. 08 වර්ගයේ ගුවන් යානයකි.  


1978 වසරේ නොවැම්බර් මාසයේ 15වැනිදා සිදුවූ මේ මහා ගුවන් අනතුර සිදුවී මෙම මාසයේ 15වැනිදාට වසර 41ක් සපිරේ.  
මේ මහා ගුවන් අනතුරේ තොරතුරු සොයා පසුගිය දිනක මා ගියේ මීගමුවේ පදිංචි විශ්‍රාමික යුද හමුදා මේජර් බර්ටි පෙරේරා මහතාද කැටිවය.  
මේජර් බර්ටි පෙරේරා මහතා වසර 25ක කාලයක් උතුරු - නැගෙනහිර මෙහෙයුම් කලාපවල රාජකාරි කර විශ්‍රාම ලැබූ රණවිරුවෙකි. අවශ්‍ය තොරතුරු පහසුවෙන්ම සොයාගැනීමට හැකිවුණේ ඔහුගේ පිහිටෙනි.  


යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු සෙබළකු වූ මේ වන විට ගිනි කෙළි නිෂ්පාදන කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන එම්.ඩී. සිරිවිමල මහතා ගෙන්ද මෙම ගමනට ලොකු සහයක් ලැබිණ.  


මක්කම වන්දනාකරුවන් 249 දෙනෙකු හා ගුවන් කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු සමඟ ඩී.සී. 08 වර්ගයේ මෙම ගුවන් යානය ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ අතරවාරයේ ඇති වූ කාර්මික දෝශයක් නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොස් බැස්සවීමට නියමුවා අවසර ඉල්ලා තිබිණි.  
ගුවන් පාලක මැදිරිය ඒ සඳහා අවසර ලබාදීමෙන් පසු නියමුවා යානය ගුවන් තොටුපොළ පහත්කරද්දී එය පොල්ගස්, රබර් ගස්වල ගැටී කඩාවැටී තිබිණි.  
ගුවන්යානය කඩා වැටී ඇත්තේ ගුවන් තොටුපොළට සැතපුම් 02ක පමණ දුරක් තිබියදීය.  
මෙම අනතුර සිදුවීමට මොහොතකට කලින්ද ගුවන් යානයේ නියමුවා හා කටුනායක ගුවන් තොටුපොළ පාලක මැදිරිය අතර සම්බන්ධතා තිබී ඇති අතර හිටිහැටියේම එම සම්බන්ධතා ඇනහිටියේය.  


ගුවන් යානය යම් අනතුරකට ලක් වී ඇති බව පාලක මැදිරියේ ඒ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි නිලධාරින් දැනගත්තේ ඒ මොහොතේය.  
ගුවන් හමුදාවට හා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවට අයත් ගිලන් රථ වලින් ගුවන් අනතුරින් බරපතළ තුවාල ලැබූ මගීන් කඩිනමින් රෝහල් කරා ගෙන යාමට කටයුතු කෙරිණ.  
ගුවන්යානයේ මහා ගින්නක් නිවා දැමීමට ගිනි නිවීම් අංශවල නිලධාරින් දැඩි උත්සාහයක් දැරූ අතර ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නිලධාරීහු ප්‍රදේශවාසීන් හා එක්ව විපතට පත්වූවන් ගලවා ගැනීමට ලොකු උත්සාහයක් ගත්හ.  


එවකට ගුවන් හමුදාපති තනතුර දැරූ එයාර් වයිෂ් මාෂල් හැරී ගුණතිලක මහතාද, මේ මහා ගුවන් අනතුර දැනගත් මොහොතේම එහි පැමිණ පරීක්‍ෂණ මෙහෙයවා ඇත.  
මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස එවකට රාජකාරි කළ පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එස් ප්‍රනාන්දු මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම ගුවන් අනතුර සම්බන්ධව පොලිස් පරීක්‍ෂණ සිදුකර තිබේ.  


ගුවන් යානය කඩා වැටී තිබුණේ දිනේරිස් මුදලාලි මහතාට අයත් ඉඩමකට වන අතර ඔහු මේ වන විට ජිවතුන් අතර නොමැත.  
ඩී.සී. 08 ගුවන් අනතුර සම්බන්ධයෙන් තොරතුරු සොයා ගිය ගමනේදී බරපතළ තුවාල ලබා ලේ පෙරෙමින් සිටි ගුවන් සේවිකාවක් කරේ තබාගෙන ඔසවාගෙන විත් රෝහල් ගත කළ අයෙක්ද හමුවිය.  


කිඹුලාපිටිය, ඉද්දගොඩැල්ලේ පදිංචි ඔහු නමින් ඩබ්ලිව්.එම්. රන්බණ්ඩා (74) මහතාය.  
‘‘මතකද එදා ගුවන් අනතුර වුණු දවස්’’ යයි මා විමසා සිටි අවස්ථාවේ, ‘‘මොකද මතක නැත්තේ. මට සිද්ධිය අද වගේ මතක’’ යැයි ඔහු පැවසීය.  
අනතුරුව රන් බණ්ඩා මහතා කිසිම අපහසුවකින් තොරව මෙසේ දොඩමලු වූයේය.  


එදා රෑ මම ගෙදර නිදාගෙන ඉද්දී අල්ලපුගෙදර එඩ්මන් ඇවිත් මට කතා කරලා කිව්වා, ප්ලේන් එකක් කඩා වැටුණා යමු බලන්න කියා. මම ඒ වෙලාවෙම එළියට පැන්නා. ලොකු ගිනි ජාලාවක් දැක්කා. මම මුලින්ම හිතුවේ ගෙයක් ගිනි ගන්නවා කියා. මම එඩ්මන් එක්ක ඒ පැත්තට දිව්වා. මහා ගිනි ජාලාවක් ළඟට යනවා කියා හිතන්නවත් බැහැ. ඉවසන්න බැරි රස්නයක්. ඒ හින්දා ගොඩක් ඈතට වෙලා තමා අපි සිටියේ. අපි දෙන්නා තමා මුලින්ම ළඟට ගිය දෙන්නා. අපි යනකොට වෙන කවුරුත් ඇවිත් හිටියේ නැහැ.  
ලොකු කොස් ගහක ප්ලේන් එක හැප්පිලා දෙකට කැඩිලා තිබුණා. ගිනි දැල් අතරේ අතපය කැඩිච්ච අය පවා එළියට එනවා දැක්කා. ප්ලේන් එක ඇතුලේ හිරවෙලා හිටිය අය එළියට එන්න බැරිව දැඟලුවා. ප්ලේන් එකේ වීදුර ජනෙල් අතරින් අපි දැක්කා ඔවුන් අත් ඔසවනවා. කෑගාන ශබ්දය ඇසුණේ නැහැ. හයිඩ්‍රොලික් දොරවල් නිසා ඒවා ඇරගෙන එළියට එන්න ඒ අයට හැකියාවක් තිබුණේ නැහැ.   

 

 


ඇතුළේ සිර වී සිටි අය බලා ඉද්දී පණ පිටින්ම පිලිස්සී අඟුරු බවට පත්වුණා. මේවා මතක් වෙද්දී අදටත් මගේ ඇගේ මයිල් කෙළින් වෙනවා මහත්තයෝ.   
ඔළුවෙන් ලේ ගලන කාන්තාවක් බොහොම අමාරුවෙන් ඩබගාගෙන ප්ලෙන් එක පැත්තේ ඉඳලා එනවා දැක්කා. ඇය කෙඳිරිගාමින් මොනවාදෝ කිව්වා. ඒ භාෂාව අපට තේරුණේ නැහැ. මම ඒ ගැහැනු කෙනා ළඟට දිව්වා. ගුවන් සේවිකාවක් බවට මම හඳුනාගත්තා. ඇද සිටි ඇඳුමෙන් තමා ඒ බව දැනගත්තේ. ගුවන් සේවිකාවට ඇවිදගෙන යන්න අපහසු බව මම තේරුම් ගත්ත​තා. ඒ නිසා මං ගුවන් සේවිකාව ඔසවා කරේ තබාගෙන පාරට ආවා.  


ඇම්බියුලන්ස් එකක් ළඟට අරගෙන ගියා. මේකේ ලෙඩ්ඩු පිරිලා ගෙනි යන්න බැහැ කියා අැම්බියුලන්ස් එකේ හිටිය අය කිව්වා. එහෙම කියන්න එපා, මෙයාටත් අමාරුයි. කොහොම හරි ඉස්පිරි තාලෙට අරගෙන යන්න කියා පවසා මම ගුවන් සේවිකාව බලෙන්ම වාගේ අැම්බියුලන්ස් එකට දැම්මා. ගුවන් සේවිකාවගේ කනේ කරේ රත්තරන් බඩු පැලඳගෙන හිටියා. ඊට දවස් දෙක තුනකට විතර පස්සේ මම ඔසවාගෙන ආ ගුවන් සේවිකාවගේ පින්තූරත් එක්ක විස්තරේ පළවී තිබුණා. ඇයගේ ජීවිතය බේරුණ නිසා මට අදටත් ​ලොකු සතුටක් ඇතිවෙනවා.   


ජීවිතය බේරුණු ඒ ගුවන් සේවිකාවගේ කනකර සේරම කවුරුහරි ගලවාගෙන තිබෙන බව ඇය පත්තරේට පවසා ඒ ගැන දොස් පවරා තිබුණා යැයිද රන්බණ්ඩා මහතා පැවසීය.  
රන්බණ්ඩලා එහි සිටියදී ගුවන් යානයක් කඩා වැටී ඇති පුවත් සැලවී ප්‍රදේශවාසීන් ඒ මහ රෑම හුළු අතු පත්තුකරගෙන එහි ඇදී එන්නට පටන්ගෙන ඇත.  
ගුවන් යානයෙන් ඉන්ධන ටැංකි වලින් ගලාගිය ඉන්ධන ඒ ප්‍රදේශය පුරා විසිරී ගොස් තිබූ නිසා හුළු අතුපත්තු කරගෙන ඒමෙන් වළකින ලෙස එහි පැමිණ සිටි ආරක්ෂක අංශවල නිලධාරින් කෑ ගසා වළක්වාගනු ලැබිණ.  


ගුවන් අනතුරින් බරපතළ තුවාල ලබා තැන් තැන්වල වැටී සිටි මගීන් ගේ කගැසීමත් කෙඳිරිලි ගෑමත් ඔස්සේ ගොස් ඔවුන් ඇදවැටී සිටි ස්ථානවලින් ඔසවාගෙන පැමිණ රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් හා ආරක්‍ෂ අංශ නිලධාරීන් කටයුතු කර තිබිණ.   


අන්ධකාරයේ ඒ කටයුත්ත ඉටු කිරීමද අසීරු කාර්යක් වූ බව රන් බණ්ඩා මහතා පවසයි.  

 

ඩී.සී. 8 වර්ගයේ ගුවන් යානයක්

 


කියන්න දුකයි විපතට පත්වූවන් මුදාගැනීමට පැමිණි ආරක්‍ෂක අංශවල ඇතමුන් ගුවන් මගීන්ගේ ගමන් මලු අවුස්සා ඩොලර් නෝට්ටු හා රත්තරන් බඩු වාගේ වටිනා කියන දේවල් අරගත් අයුරු අපේ ඇස්වලින්ම දැක්කා. ගුවන් යානය කඩා වැටී තිබුණ ප්‍රදේශය පුරා මගින් සතු ගමන් බෑග් වැටී තිබුණා. එතැනට එන්න එපා කියලා පොලිසිය තහනම් කර නියෝගයක් පනවා තිබුණා. ඒ බලන්න එන අය මගී බෑග්වල තිබෙන වටිනා කියන දේවල් එකතුකරගෙන යයි කියා තමා එහෙම නියෝගයක් එතැනට ආ අයට පනවා තිබුණේ. පොලිසියේ සමහර නිලධාරින් බැග්වල තිබුණ වටිනා කියන දේවල් අරගත්තා.   


කිඹුලාපිටිය, ඉද්දගොඩැල්ල 242 දරන නිවසේ පදිංචි ඩබ්ලිව්.බී. ඇග්නස් (72) මහත්මිය ගුවන් අනතුර ගැන තොරතුරු හෙළිකරමින් මෙසේ පැවසුවාය.  
මට දවස හරියට මතක නැහැ ශරීර අවශ්‍යතාවන් ඉටුකරගන්න මම ගෙයින් එළියට ආවා. එකපාරටම ගුවන්යානයක් අහසේ එනවා දැක්කා. ගස් කොළන්වල වදින නොවදින ගානට පහත් වූ ගුවන්යානය මහ හඩක් නඟා කඩාගෙන වැටුණා.  


බය වෙච්ච පාරට මම වැටි වැටි ගෙට දිව්වා. මගේ මහත්තයාට මම දැකපු දේ කිව්වා. එයා රන් බණ්ඩාගේ ගෙදරට දුවලා දෙන්නා එක්ක ඒ පැත්තට ගියා. ඒ වෙනකොට මට මාස 02ක විතර දුවෙක් හිටියා. මම එයා ළඟට වෙලා හිටියා. පහුවදා පාන්දර යාමයේ එතෙනට ගියා. හමුදාවේ මහත්වරු මිනී උස්සාගෙන ඇවිත් දානවා දැක්කා. කඩා වැටිච්ච ගුවන් යානය ගිනි දැල් වලින් වෙළී තිබුණා.  


ගුවන් යානයෙන් ඇති වූ දුමාරයට මට ඉවසන්න බැරි කැස්සක් ඇතිවුණා. ඒ නිසා මට එහෙ වැඩිවෙලා ඉන්න බැරිව ගියා. මම ගෙදර ආවා. මගේ මහත්තයා දැන් ජීවතුන් අතර නැහැ. මේ අනතුර සිද්ධ වුණ කාලයේ ගමේ හිටිය අය ගොඩක් දෙනෙක් මියගිහින්. 

 
ගුවන් අනතුර දැක බලා ගන්න ඈත එපිට පළාත්වලින් පවා වාහන වලින් සෙනඟ වැලනොකැඩි එන්න පටන් ගත්තා. මාස දෙක තුනක් විතර යනකම් මිනිස්සු ගුවන් අනතුර බලන්න ආවා මට මතකයි. ගමේ හුඟ දෙනෙක් කෑම කඩ එහෙම දැම්මා. අපිත් කුරුම්බා කපා විකුණුවා. කුරුම්බා ගෙඩියක් රුපියලක විතර මුදලකට වික්කා මට මතකයි. මාස දෙක තුනක් යනකම්ම ගුවන් යානයේ සුන් බුන් වලින් දුම් දැම්මා.  

 

ගුවන් යානයේ කොටස්

 


කාලයක් යනකම්ම මිනී කුණු වෙච්ච ගඳ ආවා. මැස්සෝ ගෙවල් වලට එන්න පටන් ගත්තා. ළිංවල, කැලෑ රොදවල තිබිලා වරින්වර ගුවන් මගීන්ගේ සිරුරු කොටස් සොයා ගත්තා මට මතකයි. අපේ ගෙවල් ළඟ තියන ගෙදරකට තුවාල වෙච්ච කාන්තාවක් පැමිණ තිබෙනවා. මහ රෑ කාන්තාවක් ලේ පෙරාගෙන ආව කාන්තාව දැකලා ඒ ගෙදර අය හොඳටම බයවෙලා. ඒ ගැහැනු කෙනාත් ගුවන් සේවිකාවක් කියා පසුව දැන ගැනීමට ලැබුණා. ඒ ගෙදර අය වහාම ඇය රෝහලට ගෙනියන්න ගිලන් රථයකට බාර දී තිබෙනවා. ඒ ගෙදර අය තමා මට මේ විස්තරේ කිව්වේ යැයිද ඇග්නස් මහත්මිය කීවාය.  


මේ වන විට 58 හැවිරිදි වියේ පසුවන ග්‍රේෂින් ප්‍රනාන්දු මහත්මිය මීට වසර 41කට ඉහතදී සිදුවූ මේ මහා ගුවන් අනතුර ගැන මතකය හාරා අවුස්සමින් කිවවේ මෙවැනි කතාවකි.  
ඒ කාලයේ අපි පදිංචි වෙලා හිටියේ දැන් ඉන්න මේ ගෙදර නෙවේ. ගුවන් අනතුර සිද්ධවුණ තැන කිට්ටුව පොඩි ගෙදරක. එතකොට මගේ වයස අවුරුදු 18ක් විතර වෙනවා. ඒ වෙනකොටත් මම විවාහ වෙලා. මගේ මහත්තයාගේ නම රංජිත් තිස්ස. මගේ මහත්තයාත් එදා රෑ ගෙදර හිටියේ. ගුවන් අනතුර සිද්ධ වෙන දවසේ රෑ පොඩි වැස්සක්ද තිබුණා.   
ප්ලෙන් එකක් එන හඬක් ඇසුණා. ඒත් එක්කම මහ හඩක්ද ඇසුණා. මට අද වාගේ මතකයි. ඒත් බයටම අපි ගෙදරින් එළියට ආවේ නැහැ. සෑහෙන වේලාවකට පස්සේ ගෙදරින් එළියට බැස්සේ ඇම්බියුලන්ස් එක හඬ එහෙම අැසුණාට පස්සේ තමා. දිනේරිස් මුදලාලි මහත්තයාගේ රබර් වත්තකට තමා ප්ලේන් එක කඩා වැටිලා තිබුණේ. හමුදාවෙන් පොලිසියෙන් කාටත් ළඟට යන්න ඉඩ දුන්නේ නැහැ. අනතුරින් මිය ගිය ගුවන් මගීන්ගේ සිරරු එක පේළියට තබා වසා දමා තිබුණා.  


ප්ලේන් එක ගින්නෙන් පිලිස්සෙද්දී උණු වී කෑලි වශයෙන් වැක්කෙරුණා. පරණ බඩු එකතු කරන දෙමළ මිනිස්සු එතකොටත් කෑලි එකතු කරගෙන සිටි අයගෙන් රාත්තලක් රුපියල් 3 ගානේ අරගෙන ගියා. ගුවන් යානයේ සීට් එකක් මේ ළඟක් වෙනකම් අපේ ගෙදර තිබුණා. දැන් ඒක හොයාගන්න නැහැ. ග්‍රේෂීන් මහත්මිය පැවසුවාය.  


මාරක ගුවන් අනතුරින් තුවාල ලබා වැටී සිටි මගීන් අතරින් පිරිසක් හමු වී ඇත්තේ ඊට පසුදිනය.  


එවකට ජනාධිපතිවරයා සිටි ජේ.ආර්. ජයවර්ධන සහ අග්‍රාමාත්‍යවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතාද ගුවන් අනතුර සිදුවූ ස්ථානයටද අනතුරින් තුවාල ලබා සිටි මගීන්ගේ සුවදුක් විමසීමට ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහල්වලටද ගොස් තිබිණ.  

 


සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප - මීගමුවේ බර්ටි පෙරේරා