කැලණි පුදබිම බොදු ජනයාට රැකදුන් හෙලේනා විජයවර්ධන ළමාතැනිය


කැලණි විහාරය අසලින් ගලා බසින කැලණි ගඟ   

 

 

කැලණි විහාරය   

විජයවර්ධන පරපුර විසින් කැලණි පුජා භුමියට පූජාකළ ඉඩම්   

 

 

 

 

පසන් ගෞතම මුනිඳු බුදුවී සාසනේ ලොව පැවතියේ   
ඒ සම්පත් ඇති අයද යනවා මරුව සමගින් උරුදියේ   
පසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ සැමදියේ  
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි යේ 
 
කැලණිය තරම් පැරණි ඉතිහාසයක් ඇති නගරයක් මෙරට ඇතිදැයි සිතෙන තරමට එහි ඉතිහාසය අතීතයට දිවයයි.   
 
බෝසතුන් බුදුබව ලබන්නට පෙරුම් පුරන අවදිය දක්වාම කැලණියේ ඉතිහාසය දිගු බව සනාථ කරන්නේ පන්සිය පනස් ජාතක පොතෙහි ‘‘වලාහස්ස’’ ජාතක කතාවේද කැලණිය පිළිබඳව සඳහන් වන නිසාය.   
 
පුරාණ​යේ කැලණිය තම රාජධානිය කරගත්තේ විභීෂණය. රාමායණයේ සඳහන් වන පරිදි රාම - රාවණා යුද්ධයේදී සොයුරු රාවණා රජු කළ අසාධාරණයකට විරුද්ධව, රාමාට පක්‍ෂව කටයුතු කළ විභීෂණට කරන කෘතගුණ සැලකීමක් ලෙස රාම රජු විසින් විභීෂණ ‘‘ලංකේශ්වරයන්’’ වශයෙන් අභිෂේක කොට ඔහුට රාජ්‍යය පවරා දුන්නේය. එතැන් සිට කැලණිය තම රාජධානිය කොටගත් විභීෂණ ලංකාව පාලනය කළ නරපතිව සිටි බව ඉතිහාසයේ එයි. විභීෂණ​ගේ අභාවයෙන් පසුව ඔහු දේවත්වයෙහි ලා වැඳුම් පිදුම් කළ බවත් කියැවේ.   
 
විභීෂණ යුගයෙන් පසුව කැලණියේ රජකම් කළේ මණිඅක්ඛිත නම් නා රජතුමාය. ඔහු බුදු රජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ බණ අසා පැහැදී කැලණි රජධානියටද වැඩම කරන ලෙස බුදුන්වහන්සේට ආරාධනා කළේය. එම ආරාධනාව අනුව බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී අට වසරකට පසුව යෙදුණු වෙසක් පුන් පොහෝ දින කැලණියට වැඩම කළ සේක.   
 
බුදුරජාණන් වහන්සේ කැලණියේ වැඩ හිඳ කැලණි ගංගාවෙන් ස්නානයද කොට මණිඅක්ඛිත නා රජුගේ ආරාධනාව මත විශේෂයෙන් ඉදිකරන ලද මැණික් මණ්ඩපයක වැඩහිඳ ධර්ම දේශනාවක්ද පැවැත්වූහ.   
 
බුදුන්වහන්සේ දන් වළඳා දහම් දෙසූ මැණික් මණ්ඩපයද නිදන්කොට රජු විසින් කැලණි චෛත්‍යය කළ බවත් කියති. මුලදී කුඩාවට ඉදිකළ කැලණි චෛත්‍යය පසුව යටාලතිස්ස රජු විසින් තුන්වන සියවසේදී සැට රියනක් උසට කරන ලද බවද සැලකේ. 
 
අපේ රාජවංශයේ එන බොහෝ රජවරු කැලණි විහාරය සම්බන්ධයෙන් භක්තියෙන් කටයුතු කළ අතර අනුරාධපුර රජකළ කනිෂ්ඨ තිස්ස රජතුමා කැලණි විහාරයට අඩුපාඩුවක්ව පැවැති උපෝසථාගාරය කරවූ බව සඳහන්ය. ක්‍රි.ව. 214 - 236 රජකළ වෝහාරතිස්ස රජු කැලණි චෛත්‍යය මුදුනේ ‘‘ජනයක්’’ කළ බව කියැවේ. ක්‍රි.ව. 1250 - 1285 කාලයේ දඹදෙණි රාජ්‍ය විචාළ දෙවන පරාක්‍රමබාහු රජතුමා කැලණි විහාරයේ පස්මහල්පාය, ඔත්පිළිම ගෙය, තිවංක පිළිම ගෙය, යන ස්ථානයන් ප්‍රතිසංස්කරණය කර සතරැස් මහ මළු​ව කළුගල් අතුරා සමතලා කර එහි මණ්ඩපයක්ද කරවීය.   
 
කාලිංග මාඝ, පෘතුගීසි හා ලන්දේසීන්ගේ පරසතුරු උවදුරුවලට වරින්වර ගොදුරු වූ කැලණි විහාරය පසුව ප්‍රතිසංස්කරණයට ලක්කළේ අනුරාධපුර හා මහනුවර රජකළ රජවරුන්ය. ක්‍රි.ව. 1747 දී කන්ද උඩරට රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පරසතුරු උවදුරුවලින් විනාශ වී ගිය කැලණි විහාරය පත්ව තිබූ තත්ත්වයෙන් ගොඩගෙන ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේය. සම්බුද්ධ ශාසනය යළි නගා සිටුවීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ රජතුමා වැලිවිට ශ්‍රී සරණංකර නාහිමියන්ට සංඝරාජ පදවිය පිරිනමා කැලණි විහාරය නැවත නගා සිටුවීමේ කාර්යා උන්වහන්සේට පැවරීය.   
 
කැලණි රජමහා විහාරාධිපති භික්‍ෂු පරම්පරාව බුද්ධරක්ඛිත, ධම්ම රක්ඛිත හා සංඝරක්ඛිත යනුවෙන් පැවැත ආයුතු බවට නව වන ධර්ම පරාක්‍රම බාහු රජතුමාගේ සෙල්ලිලියක දැක්වෙයි. අදද එම ක්‍රමය ක්‍රියාත්මක වේ.   
 
කැලණියේ වත්මන් නවෝදය අරම්භ වන්නේ 1888 දීය. ඒ හෙලේනා විජයවර්ධන ළමාතැනිගේ ප්‍රධානත්වයෙන් සිදුකළ කැලණි විහාරය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගිනි. මෙම විජයවර්ධන පරපුර හා බැඳුණු තවත් පරම්පරා කිහිපයක් තිබේ. ඒ සේනානායක, ජයවර්ධන, ආටිගල, මීදෙණිය, දුනුවිල, වැනි මෙරට වැදගත් පරපුර කිහිපයකි. කැලණියට ඉතා සමීපකමක් ඇති මෙම පවුල් පරපුරේ එකිනෙකාගේ බැඳීම් ඇතිවූ ආකාරය පිළිබඳව රසවත් කතාවක් තිබේ. ගොවිගම කුලයේ ධනවතුන් අතර සිටි ප්‍රධාන පෙළේ ධනවතකු බවට පත්ව සිටි ඩී.සී.ජී. ආටිගලයන්ගේ දියණියන් තිදෙනාගේ විවාහවලින් මෙම පරපුර කිහිපයේ සබඳතාව බිහිවෙයි. ලොකු දුව ඇලිස් විවාහ වූයේ අගමැති ජෝන් කොතලාවලයන්ගේ පියා වූ ජේ.එම්. කොතලාවල සමගය. දෙවන දුව ලීනා විවාහ වූයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ පියාගේ සහෝදරයා වූ ටී.ඩබ්ලිව්. ජයවර්ධන සමගය. බාල දියණිය වූ ඇලන් ආටිගල විවාහ වූයේ අගමැති ඩී.එස්. සේනානායකයන්ගේ සහෝදරයා වූ එෆ්.අාර්. සේනානායක සමගය. ඊට අමතරව තවත් ධනවත් හා බලවත් පවුලක් වූ දොන් පිලිප් විජේවර්ධනයන්ගේ දියණිය වූ ඇග්නස් විජේවර්ධන හා විවාහ වූයේ ජනාධිපති ජේ.ආර්.ගේ පියා වූ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන සමගය.   
 
දොන් පිලිප් විජේවර්ධනගේ පුතා වූ ඩී.ආර්. විජේවර්ධන උඩරට ප්‍රමුඛ පවුලක් වූ ජේ.එම්. මීදෙණිය අදිකාරම්ගේ දියණිය වූ රූබි මීදෙණිය සමගද, එෆ්.ආර්. සේනානායකගේ සහෝදරයන් දෙදෙනකු වූ ඩී.එස්. සේනානායක හා ඩී.සී. සේනානායක උඩරට පවුලකට අයත් ආර්.එම්. දුනුවිලගේ දියණියන් දෙදෙනා සමගද විවාහවූහ.   
 
සල්පිටිගම් කෝරළයේ උපන් දොන් චාල්ස් මොරිස් ආටිගල (1834 - 1901) කෝපි වගාවෙන්, මිනිරන් කර්මාන්තයෙන් හා අරක්කු වෙළෙඳාමෙන් ධනවත් වූ අයෙකි. එදා සේවකයින් 2500 ක් පමණ සේවය කළ කහටගහ මිනිරන් පතල් සමූහයේ හිමිකරුවා වූයේද ඔහුය. දොන් ස්ටෙපර් සේනානායක හා පිටිගම් කෝරලයේ බෝතලේ ගමේ උපත ලැබුවෙකි. 
 
ඔහුට අඹේපුස්ස, මීරිගම හා පුස්සහේව යන ස්ථානවල මිනිරන් පතල් හා අඹේපුස්ස මිනිරන් පතලේ පමණක් කම්කරුවෝ තුන්දහසක් (3000) සේවය කළහ.   
මීගමුව, ගිරිඋල්ල හා පස්යාල ප්‍රදේශවල අරක්කු රේන්ද අයත්ව තිබුණේද ඔහුටය. අගමැති ඩී.එස්. සේනානායක මහතා ඇතුළු පුතුන් පස්දෙනෙකුගේ පියා වූ ඔහු මිනිරන් කර්මාන්තය සඳහා අතගැසුවේ වයස අවුරුදු 18 දීය.   
 
ග්‍රෑන්ඩ්පාස්හි සේදවත්තේ දොන් පිලිප් විජයවර්ධන, ලීමෝල් හා දැව හා ගඩොල් සැපයුම්කරුවෙකුද විය. ඔහුගේ ලී මෝල කැලණි ගඟ අසල පිහිටි තිබු අතර ඒ යුගයේ කොළඹ නගරයේ ඇතිවී තිබු ඉදිකිරීම් සංවර්ධනයත් සමග ඔහු ඉතා ධනවතකු බවට පත්විය. ඉතාම ධනවත් හා කුලවත් පරපුරකින් ඔහු විවාහය සිදුකරගත් අතර ඒ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වූ ආර්නෝලිස් ඩෙෆ්ගේ දියණිය වූ හෙලේනා ඩෙප් සමගය. පිලිප් විජයවර්ධන සමග වූ විවාහයෙන් පසුව හෙලේනා ඩෙප් හෙලේනා විජයවර්ධන නම් වන්නීය.   
 
ඔවුන් යුවලට දාව දරුවන් හත්දෙනෙකු වූ අතර ඉන් දෙදෙනෙක් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් වූහ. රිචඩ් විජයවර්ධන නීති උපාධිධාරීයකුවූ අතර එඩ්වඩ් විජයවර්ධන වෛද්‍ය උපාධිධරයෙකු විය. රිචඩ් හෙවත් ඩී.ආර්. විජයවර්ධන අග්නිදිග අාසියාවේ විශාලතම පුවත්පත් සමාගම බවට පත්වූ ලේක්හවුස් හි නිර්මාතෘවරයාය. ඩී.ආර්. විජයවර්ධන මීදෙණිය අදිකාරම්ගේ දෙවැනි දුව රූබි මෙනෙවිය සමග විවාහවන විට වැඩිමහල් දියණිය විවාහවූයේ පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකු වූ ​ෆ්‍රැන්සිස් මොලමුරේ සමගය. 
 
හේලේනා හා පිලිප් යුවළගේ බාල දියණිය අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ආතර් සෙනෙවිරත්න සමග විවාහ වූ අතර වැඩිමහල් දියණිය වූ ඇග්නස් විවාහ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන සමගය. (ජේ.ආර්.ගේ පියා) ඩී.ආර්. විජේවර්ධන මහතාගේ පුත්‍රයෙකු වන රංජිත් විජයවර්ධන මහතා විවාහවූයේ ඩී.එස්. සේනානායකගේ පුත්‍රයා වන රොබට් සේනානායක මහතාගේ දියණිය වූ රන්ජනී සේනානායක සමග වූ අතර එම විවාහය ජයවර්ධන හා කොතලාවල පවුල් එකට ඒකරාශී කළ වැදගත් පුරුකක් විය.   
 
ඩී.ආර්. විජයවර්ධන මහතාගේ දියණියක් වූ නාලනී විජයවර්ධන විවාහ වූයේ අධිනීතිඥයකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ සමගය. රනිල් වික්‍රමසිංහ මහතා එම දෙපළගේ පුත්‍රයායි.   
මෙම පරපුරට දේශපාලනයට සබඳතා පවත්වන්නේ ජයවර්ධන පරපුරිනි. ජේ.ආර්.ගේ පියා වූ ඊ.ඩබ්ලිව් ජයවර්ධනයේ සහෝදරයා වූ හෙක්ටර් ජයවර්ධන වඩාත්ම කැපී පෙනෙන දේශපාලනඥයා විය.   
 
උගත් ලංකික නියෝජිතයා තෝරාගැනීම සඳහා පැවැති තරඟයේදී ‘‘කරාව’’ නියෝජිතයා පරාජය කිරීම සඳහා යොදාගත් රාමනාදන් තුරුම්පුවේ නිර්මාතෘවරයා වූයේ හෙක්ටර්ය. ඉන්දියාවේ විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටි පොන්නම්බලම් රමනාදන් මෙම තරඟයට පොළඹවා ගත්තේද හෙක්ටර් ජයවර්ධනය. පසුව මෙම පරපුරරේ දේශපාලනයට සේනානායකවරුද එක්වන්නේය.   
 
මෙම පරපුරේ දේශපාලනයට වඩාත් සමීප ප්‍රදේශයක් ලෙස කැලණිය සැලකිය හැකිය. 1943 දී ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පිටත්වූ අතර එතෙක් එතුමා කැලණිය සංවිධායකවරයා වූ අතර ඉන් ඇතිවූ පුරප්පාඩුවට ජේ.ආර්. ජයවර්ධන පත්විය. 1943 අප්‍රේල් මාසයේදී පැවැත්වූ අතුරු මැතිවරණයට කැලණියෙන් තරග කළ ජේ.ආර්. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්විය. 1947 අගෝස්තු මාසයේදී පැවැති මැතිවරණයෙන් කැලණිය ජයගෙන ඩී.එස්. සේනානායක රජයේ මුදල් ඇමැතිවරයා වන්නට ජේ.ආර්.ට හැකි විය.   
 
ජේ.ආර්. පසුව 1975 මැයි මාසයේදී කැලණිය එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකම රනිල් වික්‍රමසිංහමහතාට පිරිනමන ලදී. පසුව මැතිවරණ නිර්ණය කොමිසමේ නිර්දේශ අනුව කැලණිය කොට්ඨාසය කැලණිය හා බියගම යනුවෙන් කොට්ඨාස දෙකක් බවට පත්විය. විජයවර්ධන පරපුරේ දැඩි සබඳතාව පවතින කැලණිය අාසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ නව සංවිධායකවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පසුගියදා පත්කරනු ලබන්නේද මෙම පරපුර හා කැලණිය සමග පවතින මනා සබඳතාව හා නෑකම තව තවත් ශක්තිමත් කරමිනි.   
 
වර්ෂ 1551 දී කිත්සිරි මෙවන් කැලණි ගං ඉවුරේ තැබූ වෙඩිල්ලක් එම ​ඓතිහාසික විහාරය කඩා බිඳ දමමින් ශාසනයෙන් කැලණි පූජා භුමියේත් පිරිහීම ආරම්භ කළේය. රාජ්‍ය කළ දොන් ජුවන් ධර්මපාල පරංගීන්ගේ සේවකයෙකු බවට පත්ව තිබිණි. එතෙක් කල් කැලණි විහාරයට හිමිව තිබූ සියලුම නිශ්චල හා චංචල දේපළ හා ආදායම් රෝමානු කතෝලික පූජකයින්ට පැවරිණි. කැලණි විහාරයද රෝමානු කතෝලික ආගමේ මධ්‍යස්ථානයක් බවට පත්විය. 
 
පරංගින් කැලණි මහා චෛත්‍යයට හා අනෙකුත් විහාරාංග කඩා බිඳදැමූහ.   
 
ඉන් අනතුරුව කැලණියේ වත්මන් උද්දීපනයට මූලික වී ක්‍රියාකරන හෙලේනා විජයවර්ධන ළමාතැනිය 1888 එහි ප්‍රතිසංස්කරණ ආරම්භ කළාය.   
 
කැලණිය මහා පෙරහර ආරම්භ කිරීමෙන් නොනැවතුණු ඇය කැලණි විහාරයට අවශ්‍ය ඉඩම් පමණක් නොව කලාවැවේ පිහිටි අක්කර 250 ක සරු කෙත්යායක්ද කැලණිය විහාරස්ථානයට පූජා කරන්නීය.   
 
 
ලබන සතියේ   
විජයවර්ධන පරපුර කැලණිය යළි ගොඩනැගූ හැටි 
 
දොම්පෙ අජිත් මදුරප්පෙරුම