කැලණි නදියේ සැබෑ ඇරඹුම පොල්පිටියේද?


කැලණි ගඟේ උපත සොයා ගඟ දිගේ ගිය ගමනක්-9

නව බ්‍රෝඩ්ලෑන්ඩ් වැඩබිම සහ වේල්ල

දැවැන්ත වේල්ල

කෙසෙල්ගමු ඔයේ ජලය රැගෙන එන උමග

 

 

පසුගිය සතියේ අපි කැලණි ගඟේ ප්‍රධානම සංචාරක ආකර්ෂණය සහිත කිතුල්ගල පුරාවට සංචාරය කරමින් ගඟේ අරුම පුදුම යටගියාව සොයාබැලීමු. ගල්පර මතින් පනිමින් දියරළ හෙණ හඬ දිදී සතර අතින් ගලන අවශේෂ දිය සීරාවන්ගෙන් පෝෂණය වෙමින් කැලණි ගඟ කොළොම්තොටට ගලාගෙන යයි. කිලෝමීටර් සියයකට වැඩි දුරක් මග ගෙවාගෙන පැමිණි අප කැලණි ගඟේ ප්‍රධානම ස්ථානය සොයා කිතුල්ගලින් ගමන් ඇරඹුවේ කළුගල හන්දිය වෙතය. ඒ කැලණි ගඟේ සැබෑ පටන්ගැන්මේ අැරඹුම සොයාගෙනය.   
කිතුල්ගලින් ගමන් ඇරඹූ අපි හැටන් මාර්ගය දිගේ ඉදිරියටම ගමන් කරන්නට වීමු. දකුණු පසින් කැලණි ගං මිටියාවත විටින්විට දකිමින්ද තවත් විටක කල්‍යාණියටත් දකුණින් පිහිටි මහ වනයේ සොඳුරු කඳු වැටි නරඹමින්ද ඉදිරියට ඇදුණේ දැඩි ලෙස වංගු ගැසුණු මාර්ගයේය. මාර්ගය බොහෝ තැන්වල වංගු ආශ්‍රිතව තාරමත යම් ආරක්ෂණ උපක්‍රමයක් යොදා තිබුණු අතර රිය අනතුරුවලට වැඩි ඉඩකඩ සහිත බැවින් අපි ප්‍රවේශමෙන් ගමන් කෙරුවෙමු.   


කෙසේ හෝ අපි කිලෝමීටර කිහිපයක් පසුකොට අඩහෝරාවකින් පමණ කළුගල මංසන්ධියට ළඟාවුණෙමු. ලක්ෂපාන ඇල්ලටත්, ශ්‍රී පාදයටත් යා හැකි මාර්ගයක් ලෙස නාම පුවරු සවිකොට ඇති එම මාර්ගයට අප යතුරුපැදි හැරවූයේ සබරගමු පළාතෙන් මිදී මධ්‍යම පළාතට ඇතුළුවෙමිනි. බොහෝ ලෙස අබලන් මෙම මාර්ගය සමනල විදුලි බලාගාරය හරහා වැටී ඇත්තේ තවත් අවශේෂ මාර්ග දෙකකින් නෝර්ටන්බ්‍රිජ් හරහා යන දියගල මස්කෙළියට යාහැකි පරිදිනි. ඊට අමතරව මෙම මාර්ගය මස්කෙළිය ඔයට උඩින් යමින් තවත් මාර්ගයක් දැරණියගල ප්‍රදේශය කරා වැටී පවතියි.   


කෙසේ හෝ කළුගල මාර්ගයේ මදදුරක් පැමිණෙන විට ප්‍රථමයෙන් අපට පාලමක් හමුවුණි. එය කෙසෙල්ගමුව ඔය මතින් වැටී ඇති පාලමය. එය පසුකොට යන විට ඔරලෝසු කණුවක් අසලින් වමට දිවෙන මාර්ගය ඊරියදෙනිය, හපුගොඩ හරහා බින්දුවේ කණුව පිහිටි නෝර්ටන්බ්‍රිජ් මංසන්ධියට ළඟාවේ. තවදුරටත් ඉදිරියට යන විට සමනල විදුලිබලාගාරය පසුකරනවාත් සමගම පාලමක් හමුවේ. එය මස්කෙළිය ඔය මතින් වැටී තිබෙන සප්ත කන්‍යා කඳුවැටිය අසලින් ලක්ෂපාන ඇල්ල හරහා නෝර්ටන් - මස්කෙළිය මාර්ගය හා සම්බන්ධ වන මාර්ගයයි.   


මෙම මාර්ග දෙකෙහිම තත්ත්වය ඉතා අබලන්ය. බොහෝ ලෙස වළවල් පිරුණු පටු මාර්ග යුගලයක් වන නමුත් දෙපසින් පිහිටි පරිසරයේ අලංකාරය අසීමිතය. අද ගමනේ වැදගත්ම ස්ථානය පිහිටියේ සමනල විදුලි බලාගාරය අසලය. එනම් මස්කෙළිය ඔය හරස් කොට තනන නව විදුලි බලාගාරයේ දැවැන්ත වැඩබිම්ය. මෙය ලහිලහියේ ඉතා පුළුල්ලෙස සිදුකරන ඵලදායි ජාතික ව්‍යාපෘතියකි.   


බ්‍රෝඩ්ලන්ඩ්ස් හයිඩ්‍රො බලාගාරය (Bradlands Hydropower Project) යනු මෙගාවොට් 35 ක් පමණ ජාතික විදුලියට දායාද කරන ඉතා දැවැන්ත ව්‍යාපෘතියකි. කිතුල්ගල කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන මෙම ව්‍යාපෘතිය මස්කෙළිය ඔය සහ කෙසෙල්ගමුව ඔය හරස් කර ජලය භූගතව කිතුල්ගල දක්වා ගෙන යන්නකි. වර්ෂ 2020 වන විට නිමකිරීමට ආරක්ෂිත මෙම ව්‍යාපෘතිය මගින් වසරකට ගිගාවොට් 126 ක් පමණ දැයට ලබාගැනීමට අපේක්ෂිතය.   


ඇමෙරිකානු ඩොලර් මිලියන 82 ක් වැය වන මෙය චීන රජය මගින් කරන ව්‍යාපෘතියකි. මෙහි නිර්මාණය කරන ප්‍රධාන වේල්ල මීටර 24 ක් උසින් වන අතර දිග මීටර් 114 ක් පමණ වේ. විශ්කම්භය මීටර 5.4 ක් වන භූගත උමං යුගලයක් මාර්ගයෙන් මෙම ජලකඳ පොල්පිටියේ සිට මීටර 3404 ක් දුරින් පිහිටි කිතුල්ගල බලාගාරය වෙත රැගෙන යයි.   
මෙම ව්‍යාපෘති වැඩබිම දෙස නෙත් යොමා බොහෝවේලා වුව බලාසිටිය හැකි තරම්ය. මන්ද අවට පරිසරය සහ ඒ දැවැන්ත මිනිස් නිර්මාණ සහ භූගත උමං මාර්ග පුදුමයදනවනසුලු හෙයිනි. යතුරුපැදි අසල නැවතු අපි පාලම මැදට පැමිණ එම ව්‍යාපෘති බිමේ ඡායාරූප රැසක් ගත්තෙමු. මේ අතර අපි වැඩබිම් ප්‍රධානියෙකු හමුවී තවදුරටත් මේ ගැන සරල හා පසුබිම් ක්‍රියාකාරිත්වය පිළිබඳ හොඳින් දැනගත්තෙමු.   


මේ වනවිට අප සිටින්නේ සමනල විදුලි බලාගාරය අසල පිහිටි මස්කෙළිය ඔයට උඩින් නිර්මාණය කරන ලද පැරණි පාලම මතය. මෙතැනට අඩි 40 ක් පමණ පහළින් ඉතා ප්‍රචණ්ඩ ලෙස හෙණ හඬ නගමින් පෙණ පිඬු නගමින් මස්කෙළිය ඔය ගලාගෙන යයි. එය ගලාගෙන එන්නේ ලක්ෂපාන ඇල්ලෙන් පැනනගින මහ දියවර පෙදෙසිනි.   


පාලමින් අනෙක් පස අපට ගඟ ගලාගෙන පැමිණෙන පෙදෙස දැකගත හැකි අතර එහි වම්පසින් විදුලි කණු රාශියක් සිටුවන ලද ඉසව්වක් සහ විශාල බට මගින් ජලය ගෙන එන ගොඩනැගිල්ලක් ඇත. එම ගොඩනැගිල්ලේ ඉහළට වන්නට ඉරක් ඇඳ ඇති අතර එදෙසින් විශාල ජල කඳක් ගලාගෙන එයි. එහිම දකුණු පසින් විශාල නළ මාර්ගයක් ඔස්සේ අවශේෂ කුඩා බලාගාරයක් හරහා තවත් ජල කඳක් ගලාගෙන පැමිණෙයි.   


මෙම දෙකටම මැදිව ගල්පර සහ සම්මත ජල ප්‍රවාහය පවතියි. එය තරමක අඩු ජල කඳක් ගෙන එන අතර මෙම මාර්ග ත්‍රිත්වයෙන්ම පැමිණෙන ජලකඳ පාලම යටින් එකතු වී ගලාගෙන යන්නේ ඉතා වේගයෙනි. පාලම යට දෙපස රූස්ස ගස් පිහිටා ඇති අතර ඒවායේ උස පාලමට වඩා පහළින් තිබුණි. මෙම නව ව්‍යාපෘතිය මගින් ඉහතින් කියන ලද ගොඩනැගිල්ලේ අඳින ලද රේඛාව මට්ටමට මෙම සමස්ත ප්‍රදේශයම වැසෙන පරිදි රූස්ස ගස් යටකරගෙන ජල කඳ වැඩිකිරීමට නියමිතය. එය සිදුවන්නේ ඉහළින් පිහිටි ජලාශ මගින් පිටකරන ජල මට්ටමෙන් සහ කෙසෙල්ගමු ඔය පොල්පිටියෙන් ස්වභාවිකව මස්කෙළිය ඔය හා සම්බන්ධවන ක්‍රමය වෙනස්කිරීම මගිනි.  


මෙම ස්ථානයට මදක් නුදුරින් කෙසෙල්ගමු ඔය ගලාගෙන එන අතර අප සිටින ස්ථානයට මදක් නුදුරින් මෙම සුවිසල් ගංගා දෙක එකට එකතුවීම සිදුවේ. එහෙත් මෙම නව ව්‍යාපෘතිය මගින් අනෙක් පස තිබෙන කෙසෙල්ගමු ඔය භූගත උමඟක් මාර්ගයෙන් මස්කෙළිය ඔයට එකතුවන්නේ අප මෙම සිටින පාලමට මදක් නුදුරිනි. එම උමං කට අපට පැහැදිලිව පෙනුණු අතර එහි විශාල ටිපර් රථ පවා එහෙ මෙහෙ යනු අපි දැකගත්තෙමු.   


පාලමින් අනෙක් පස එනම් ගඟ ගලාගෙන යන පෙදෙස එකම වැඩබිමකි. එහි මේ වනවිටත් සුවිසල් වේල්ල නිමකොට ඇත. එමගින් මස්කෙළිය ඔය හරස් කර ඇති අතර වේල්ලට වම් පසින් පිහිටියේ දැවැන්ත උමං කට යුගලයකි. මෙම උමං තුළින් ගලායන මහ ජලකඳ කිතුල්ගල පිහිටි බලාගාරය අසලින් එළියට යන්නේ සුපුරුදු පරිදි කැලණි ගඟටයි.   
එනම් මෙමගින් පොල්පිටියේ මෙම ස්ථානයේ සිට කිතුල්ගල බලාගාරය දක්වා දැන් තිබෙන කැලණි ගඟ තව නොබෝ කාලයකින් නැතිව යන්නේය. නමුත් එසේ වුවහොත් රාෆ්ටිං ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම කිතුල්ගලට අහිමිවනු ඇත. එම නිසාම දිනකට නිශ්චිත වෙලාවක් තුළ පමණක් ඒ සඳහා ජලය නිකුත් කිරීමට පිටත මාර්ගයක් (Bypass Tunne) වේල්ලට දකුණු පසින් නිමවා ඇත. අපි එම පිටත මාර්ගයෙන් ජලය පොළව යටින් මද දුරක් ගෙනයමින් පැරණි ලෙස ගංගා දෙක එකතු වන ස්ථානයෙන් එළියට එනු දුටුවෙමු.  
වේල්ලට දකුණු පසින් පොළව මට්ටමට මදක් පහළින් පිහිටා තිබෙන්නේ කෙසෙල්ගමු ඔයේ සමස්ත ජලකඳ භූගතව රැගෙන එන උමඟ වන අතර ඊට පහළින් රාෆ්ටිං සඳහා ජලය ලබාදෙන මාර්ගයද පවතියි. මෙම දැවැන්ත ව්‍යාපෘතිය මගින් කෙසෙල්ගමු ඔයේ එක් ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම සිඳී යනු ඇති අතර රාෆ්ටි ක්‍රීඩාවට ජලය ලබාදෙන කාලය අවසන් වූ පසු දවසේ ඉතිරි කාලයේ කැලණි ගඟ එම නිශ්චිත ප්‍රදේශයේ සිඳී යනු ඇත.  


භූගතව ජලය කිතුල්ගලට ගෙන යන උමං දොරවල් අති විශාල වන අතර දෙස් විදෙස් ඉංජිනේරුවන් එය නිර්මාණය කරමින් සිටින බව අපි දුටුවෙමු. කෙසේ හෝ තව වසරක් පමණ යන විට මෙම පාලම මත සිට අප දැන් දකින දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.  


කෙසෙල්ගමු ඔය සහ මස්කෙළිය ඔය ස්වභාවිකව එකිනෙක හමුවන ආකාරය අපට නැවත නැරඹිය නොහැකි වනු ඇත. මෙතෙක් අප ආ ගමන් මගේ සෑම ප්‍රධාන ගංගාවක්ම කැලණි නදියට එකතු වන ආකාරය සියැසින් දැක ඡායාරූප ගත්තද කෙසෙල්ගමු සහ මස්කෙළි ඔය එලෙස එකතුවන ස්ථානය අසලට යාමට කිසිදු ක්‍රමයක් නොතිබුණි.  
නමුත් දුර සිට එය බලාගත්තද තෙවැනි ඇසට හසුකර ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.  


කෙසේ හෝ අප තවදුරටත් මෙම ඉසව්වේ සැරිසරන ලදී. පසෙකින් සමනල රක්ෂිතයේ මායිමක නැගී සිටින මහා කඳු පන්තියත් සීතල පිරි සුළං ගත දවටන සිසිලසත් මැද අපි කෙසෙල්ගමු ඔය මත පිහිටි කුඩා කම්බි පාලමකට ගොඩවු​ණෙමු. හිමිහිමිහිට පණ අදින්නාක් මෙන් ගලායන කෙසෙල්ගමු ඔය මත පිහිටි ගල් පර්වත වල හැඩය සිත්ඇදගන්නාසුලුය.  


අප මේ සිටින්නේ සබරගමු සහ මධ්‍යම පළාත් මායිම අසල මධ්‍යම පළාත තුළය. පොල්පිටිය නම් මෙම ස්ථානයේ සිට පවා රාෆ්ටිං ක්‍රීඩාව අරඹන අතර එය ඉතා ත්‍රාසජනක මෙන්ම ඉතා දුලබව සහභාගිවන්නන් පැමිණෙන ගමනකි.  

 

පැරණි බලාගාරයේ කොටස්

රාෆ්ටින් ක්‍රීඩාවට ජලය ලබාදෙන පිටත ජල මාර්ගය

 


පසෙකින් ගලාඑන මස්කෙළිය ඔයත් තවත් පසෙකින් ගලාගෙන එන කෙසෙල්ගමු ඔයත් පොල්පිටියේදී එකට එකතුවී කැලණි ගඟ ලෙස ගලාගෙන යයි. එසේ බලන කල කැලණි ගඟේ සැබෑ උපත වන්නේ මෙතැනද? නමුත් මෙම ප්‍රධාන පෝෂක ගංගා යුගලයම අර්ධ වශයෙන් කැලණි ගඟේ හිමිකරුවෝ වෙති.  


මන්ද හෝර්ටන් තැන්නේ දියවර රැගෙන ගලන කෙසෙල්ගමුඔය විදුලි බලාගාර සහ ජලාශ මතින් ගලමින් සුන්දර දියඇලි නිර්මාණය කරමින් ගලාගෙන එන අතර මස්කෙළිය ඔය ගවරවිල කඳුයායේ පෝෂක ජලයත් සමනල කඳුයායේ සීත ගඟුල සහ බත්තුළු ඔය සේම බල්ලන්බැඳි ගල කඳුවැටියෙන් තවත් අතිරේක දියවර රැගෙන ජලාශ මතට වැටී අතිශය සුන්දර දියඇලි දුසිමකට වඩා නිර්මාණය කරමින් ගලාගෙන බසින්නේ ලක්ෂපාන ඇල්ලද පෝෂණය කරමිනි.  


එසේ බලන කල කැලණි ගඟ සාපේක්ෂව මෙම ගංගා යුගලයම එක හා සමාන ලෙස හිමිකම් දරයි. මෙම ගංගා පටන්ගන්නේ කුමන ස්ථානයෙන්ද කැලණි ගඟේ ආරම්භයද එයම වේ. එනම් කැලණි ගංගාව සමනල රක්ෂිතයෙන් හා හෝර්ටන්තැන්නෙන් සමසමව පෝෂණය වන වගයි. මෙම දියවර දෙකම අධික වැසි සමයන්හිදී අතිශය ප්‍රචණ්ඩය.  
උසුලාගත නොහැකි තරමේ දැවැන්ත දියකඳක් රැගෙන පොල්පිටියේදී එකිනෙක හමුවී පසුව එක් ගංගාවක් බවට පත්වේ. අතීත කාව්‍යවල කැලණි නදිය සමනල කන්දෙන් ඇරඹෙන්නේ යැයි පැවසීම අසත්‍ය බව අපි දැනගත්තෙමු.  


මන්ද මස්කෙළිය ඔයට ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නේ මාඋස්සාකැලේ ජලාශයයි. ඊට වැඩි ප්‍රතිශතයකින් ජලය ලැබෙනුයේ ගවරවිල කඳුවැටිය ආශ්‍රයෙනි. ඉන්පසු සුළු ප්‍රමාණයක් යකාබැඳි ගලෙන් හටගන්නා සීත ගඟුල සහ සමනල කන්දෙන් හටගන්නා බත්තුළු ඔයෙන් දායක වන හෙයිනි. මාඋස්සා ජලාශය ආශ්‍රිතව පමණක් දියඇලි දුසිමකට වඩා දැකගත හැකි අතර ඊට සාපේක්ෂව කාසල්රී ජලාශය අවට දැකිය හැකි දියඇලි ප්‍රමාණය අල්පය.  


කාසල්රී පෝෂණය වන්නේ සම්පූර්ණයෙන්ම පාහේ හෝර්ටන්තැන්නේ දියවර මගින් වන අතර හැටන් ප්‍රදේශයෙන් ගලාබසින දික් ඔයෙන් ජලය එකතුවේ. හෝර්ටන්තැන්නේ අධි සංවේදී කලාපයේ සැඟව ගලන මෙම කෙසෙල්ගමු ඔය සැබවින්ම කිරිගල්පොත්තට නුදුරින් පිහිටි සුවිසල් වගුරකින් පෝෂණය වේ.  


එසේ බලන කල කැලණි ගඟේ දිගුම ජල ප්‍රවාහය පැමිණෙන්නේ හෝර්ටන්තැන්නෙන් ගලන කෙසෙල්ගමු ඔයේ මූලාශ්‍රයෙනි. එවිට කැලණි ගඟේ දිග තරමක් වැඩිය. කෙසේ වෙතත් අපි කැලණි ගඟේ මූලාරම්භය සොයා යන මේ ගමනේදී ප්‍රායෝගිකවම අදාළ ජල මූලාශ්‍රවල ආරම්භය සොයා ගියෙමු.  


පොල්පිටියේ ගංගා දෙක එකතුවීමට පෙර ඒවා විසින් ලංකාවේ විදුලි පරිභෝජනයට ඉමහත් සේවයක් ඉටුකරයි. පරිසරයේ සෞන්දර්යත්වයට සහ ජනජීවිතයේ පැවැත්මට පවා මෙම ගංගා යුගලය ඉමහත් සේවයක් සපයනු ලබයි. පොල්පිටියෙන් නැවතුණු අප නව වැඩබිමේ ක්‍රියාකාරිත්වය තවදුරටත් දැකගත්තද ඊට ළඟාවී සියැසින් දැක ගැනීමටද ලැබුණි. මෙම ව්‍යාපෘතිය නිමවූ පසු මෙම ස්ථානයේ දර්ශනතලය මීට හාත්පසින්ම වෙනස්වනු ඇත.  


අද දවසේ අප විසින් කැලණි ගඟේ ප්‍රධානතම ස්ථානය දෙස හොඳින් විපරම් කළ පසු මස්කෙළිය ඔය දිගේ​ නෝර්ටන් දක්වා යාමටත් පසුව නැවතත් නෝර්ටන්බ්‍රිජ් සිට කෙසෙල්ගමු ඔය දිගේ පොල්පිටියට පැමිණ පසුව වෙන්වෙන්ව ඉදිරියට ගමන් කිරීමටත් සැලසුම් කරන ලදී. මස්කෙළිය ඔය අතිශය සුන්දරය. මෙතෙක් දවස්  සුමටව පළලින් යුතුව නිසොල්මනේ ගලාගිය කැලණි ගඟ කිතුල්ගලදී ගල්පර මතින් දිවෙන විට මදක් ප්‍රචණ්ඩව තිබුණි.  


එහෙත් මෙතැන් සිට එම පළල සහ නිසොල්මන කිසිසේත් දක්නට නොලැබෙනු ඇත. අතිශය ප්‍රචණ්ඩ ගලන දියවර නිතැතින්ම ගල්පර සහ විශාල ගල් පර්වත කුට්ටි අසලින් ඉහළක සිට පහළට ගලාගෙන යනු ලබයි. එම සොඳුරු ගමනේ සුන්දරත්වය බලා අපි සප්ත කන්‍යාවියන් අසලින් ගමන්කිරීමට පිටත්වුණෙමු.  


ලබන සතියේ සුන්දරියන් හත අසලින් ගලන මස්කෙළිය ඔය දිගේ.  

 


සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු