කාසල් මැදුර ද්‍ැක ඉන්දියාවේ මහාරාජා මවිත වෙයි


මහාභාරකාරයාට පවරා ඈලියාවට ගිය රිච්මන්ඩ් කාසල්-2

 

 

1910 මුල් භාගය වන විට ‘රිච්මන්ඩ් කාසල්’ මැඳුර මුළුමනින්ම තනා අවසන්ය. තම යෝජිත මනමාල මහතා වූ නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමාගේ මේ අපූරු මන්දිරය බලන්නට මනමාලියගේ පාර්ශ්වයෙන් එන්නේ මේ අතරය.   


මන්දිරය දුටු මනමාලියගේ පාර්ශ්වය අන්දමන්ද විය. කළුතර මහමුදලිකමටත් ගැලපෙන ආශ්චර්යමත් මැදුරට කොහොමත් මනමාලිය මේ වන විටත් තීන්දු කර හමාරය. මනමාලියගේ පියා වූ සූරියබණ්ඩාරට නම් මේ මැදුර අරුමයක් නොවීය.   

ඔහුගේ ඥාතීන් මහනුවර සිට පැමිණි රදලයන් එම මන්දිරය දුටුවේ මුල්වරටය. සූරියබණ්ඩාර කළුතර දිසා විනිශ්චකාරයා වූ නිසා මේ මන්දිරයේ ගොඩනැගීම පියවරෙන් පියවර දැක තිබුණි.   


ඩියන් කෝට්, හිල්කාසල්, ඔලිවර් කාසල්, කොයිකාටත් වඩා රිච්මන්ඩ් කාසල් මල්හතට ඥාති වෙන බව මනමාලිය​ෙග් පාර්ශ්වයේ අදහස විය.  


එවකට ධනවතුන් සහ රදලයන් සැපගන්නට ගියේ නුවරඑළියට නැත්නම් කළුතරට බව අතීත ලියවිලි පිරික්සීමේදී පෙනී යන කරුණකි.   


කළුතර අයත්වන්නේ පස්​ෙ‌යාදුන් රටටය. මෙහි භූගෝලීය පිහිටීම මෙන්ම සුන්දර වෙරළ තීරය බොහෝ ප්‍රභූන්ගේ අමන්දානන්දයට හේතුපාදක විය.  


මෙය එක්දහස් නවසිය මුල් වකවානුවයි. මේ සියවස තුළ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් ඔස්සේ සීඝ්‍රයෙන් ධනවතුන් වූ පහතරැටියන් දැකගතහැකිය. ධනවතුන් වුවත් ඇතැමුන් ඔවුන් ප්‍රභූන් ලෙස සිංහාසනාරූඪ කරන්නට මැළිවිය. මෙකී යටත්විජිත කාලපරිච්ඡේදය තුළ සමාජ තත්ත්වය උදෙසා ඔවුන් කළේ තම දරුවන් උසස් අධ්‍යාපනය පිණිස බ්‍රිතාන්‍යයට යැවීමයි.   


අධ්‍යාපනයෙන් පැමිණි මේ දරුවන් බොහෝ විට තැනූ නිවාස බ්‍රිතාන්‍යයේදී දුටු නිවාස සම්ප්‍රදායන් අනුකරණය කළ බව පැහැදිලිව දැක ගත හැකිය. එංගලන්තයේ කළ සංචාරවලදී දුටු මැනර් හවුස් (Manor House) මාදිලිය මේ බොහෝ දෙනාගේ තේරීම විය.   


රොබට් නොක්ස් පවසන පරිදි කල ක්‍රමයට අනුකූලව ප්‍රභූ නිවාස භාවිතය රදල පවුල්වලට රාජ ආඥාවේ (By Decree) ලබාදුන් වරමක් වී තිබුණි. සාමාන්‍ය ජනතාවට උරුම වූයේ තමනට උරුම වූ නිවාස සම්ප්‍රදායන් පවත්වාගෙන යාම බව නොක්ස් තවදුරටත් පවසා සිටී. එහෙත් රිච්මන්ඩ් කාසල් මන්දිරය ඉදිකළ සැලසුම නිරීක්ෂණය කළ විට ඊටම ආවේණික ගෘහ නිර්මාණ ශිල්පයක ලක්ෂණ දැකිය හැකිය.  


එක්දහස් නවසිය මුල ඉදිකෙරුණු මෙම රිච්මන්ඩ් කාසල් මැදුරේ නිර්මාණ කලාවේ මුළු ලෝකයේම ඇති ඉස්තරම් අංගෝපාංග රටාවලින් ගෙනැවිත් එක්තැන් කළ සුවිසල් සුවිශේෂිත මැදුරක් ලෙස නිර්වචනය කළහොත් වඩාත් නිවැරදිය. එංගලන්තයෙන් ගෙනා චීනච්චට්ටි තරප්පුව මේ අතුරින් විශේෂය. මේ තරප්පුව ආධාර කරගත්තේ ප්‍රධාන නර්තන ශාලාවට පිවිසීමටය. ඒ තරප්පුව දිගේ මන්දිරයේ ප්‍රෞඪත්වය හා සුන්දරත්වය බලමින් කෙමෙන් නර්තන ශාලාවට පිවිසිය හැකිය.  


රිච්මන්ඩ් කාසල් මැඳුරේ ඇති කැටයම් නිරීක්ෂණයේදී පෙනී යන්නේ මුදලිතුමා පහතරැටියකු වුවත් මහනුවර යුගයේ විසිතුරු බව හොඳින් අත්විඳි පුද්ගලයකු බවය. මේ මන්දිරය සරසන මහනුවර යුගයේ ලී කැටයම් ඊට සාක්ෂි දරනු ඇත. මන්දිර ශාලාව අභ්‍යන්තරයෙහි ඇති ලී කණු දොළහ අද කැටයම් කළා නම් කෝටි ගණනක මුදලක් වැයවනු නියතය. තවමත් එක ගුල්ලකු වත් වේයකුවත් ගැසූ බවක් එහි දක්නට නැත්තේ ඒවායේ කල්පැවැත්මට යම් රසායනික ද්‍රව්‍යයක් මීට වසර 107කට පෙර යොදා තිබුණු නිසා විය යුතුය. මේ කණු තනි තේක්ක ලීයෙන් තනා ඇති අතර කිසිදු මූට්ටුවක් නැති බැවින් පෙනී යන්නේ මේ එක ලී කණුවකට එක තේක්ක ගස බැගින් බුරුමයෙන් වට ප්‍රමාණය මැන ඇනවුම් කර ඇති බවය.   


මේ තේක්ක බුරුමයේ රැන්ගුන් නුවරින් ගෙන එන්නට ඇත්තේ මන්දිරයේ අලංකාරයට තවත් සෞන්දර්යාත්මක අත්දැකීමක් එක් කරන්නට විය යුතුයි. මන්දිරය තුළ සිසිලස නිතැතින් රැඳෙන්නේ කීප පලක ඇති කුඩා ප්‍රමාණයේ කවුළු නිසාය. කළුගං තීරයේ පිරිසිදු සුළං කෙමෙන් එක් කවුළුවකින් පැමිණ ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති කවුළුවෙන් වියැකෙන්නේ මන්දිරය තුළ අමුතුම සිසිලක් ඇති තරමිනි.  

 


පැරැණි බිත්තිවලින් වටවුණ මැද මිදුල මන්දිරයට එක් කොට ඇත්තේ අමුතුම චමත්කාරයකි. සීගිරියේ ජල පද්ධතිය ගැන බොහෝ විදේශකයින් පවා මවිතව පර්​ෙ‌ය්ෂණ පවත්වා තිබේ. එහෙත් මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය සැලසුම් කළ නිර්මාණ ශිල්පියා ස්වභාවිකව ජලය ඉහළට ගෙනයාමට කළ සැලසුම කිසිවකුගේ අවධානයට හෝ පර්​ෙ‌ය්ෂණයට ලක්වූවාදයි සැක සහිතය.  


මැද මිදුලේ සිංහරූපයේ කටින් විහිදෙන වතුරෙන් මංදිරය තුළටත් සිසිලසක් ගෙනඑන්නේ නිරායාසයෙනි. මන්දිරයේ ඇතුළු කාමරවලටත් ඉන් සිසිලසක් ලැබෙනවාට අමුතුවෙන් කිය යුතුද? මෙහි සුවිසල් වහලෙන් වැටෙන වතුර නිකරුණේ කළුගඟට ගලා යන්නේ නැත. ඒවා එක් තැනකට එකතු වී නළ මාර්ගයෙන් ඉවතට යන්නේ මන්දිරයේ පොළොව යටින් එලූ මැටි නළ පද්ධතියක් හරහා නිසා පොළොව නිරතුරු සිසිලසින් යුක්තය.  


මේ රිච්මන්ඩ් කාසල් මන්දිරයේ ජනෙල් වාරුවල කැටයම් අදටත් සුරැකී ඇත. එ්වායේ කිසිදු වියපත්කමක් නැත. මෙහි විශේෂත්වය මන්දිරය ඇතුළතින් බැලූවිට එම වීදුරුවෙන් එක් ආකාරයකටත් පිටත සිට ජනෙල් වීදුරු හරහා මන්දිරය දෙස නෙත් හෙළුෑ විට තවත් විදිහකටත් කැටයම් දර්ශනය වීමයි.  


මුදලිතුමා මේ වීදුරු ආනයන කර ඇත්තේ ඉතාලියෙනි. අප සමඟ අසල්වාසියකු පවසා සිටියේ තමාගේ සීයා තමන්ට කියූ කතාවකි.  


මේ මන්දිරයේ ඉහළම මහලට ජලය ගෙනයාමට උපයෝගී කරගෙන අැත්තේ ගැල්වනයිස් බටය. එම බට මන්දිරය මිදුලේ ගොඩගසා ඇති විට බොහෝ පිරිස් ගම්වැසියන් මේ බට දැක මවිතයට පත්වූ බව ඔහුගේ සීයා පවසා ඇත. මෙහි නානකාමර පද්ධතිය මන්දිරය ආරම්භයේම ගම්වැසියන් මවිතයට පත් කරන්නක් විය. ඉහළම මහලට ජලය ගෙන ගිය ආකාරය කෙසේ නමුත් විශ්මයජනක බව නම් නොකියා බැරිය.  


මේ මන්දිරය විවෘත වූ දිනය ලෙස ලිඛිතව දැක්වෙන දිනය 1910 මැයි 10 වැනි දිනය. නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමා මනමාලිය කැඳවාගෙන විත් මංගල සාදය පවත්වා ඇත්තේ මේ දිනයේදීම ය. එතුමාගේ තනතුරු මුදලිකම වූවත් ඉංගිරිසි ආණ්ඩුව විසින් යටත් විජිත කිරීටයට කරන ලද බැලමෙහෙවර වෙනුවෙන් මේ වන විට උන්නාන්සේ පඩිකාර තනතුරකින්ද පුදසත්කාර කර තිබුණි.   


එක්සත් රාජධානියේ මෙන්ම රටවල් කීපයකටම මුදලිතුමා මේ වන විට ජනප්‍රිය චරිතයක් වී අැත. මුදලිතුමාගේ මනමාලිය වූයේ ක්ලැරිස් මෝඩ් මැටිල්ඩා සූරිය බණ්ඩාර ළමාතැනීය. මේ වන විට මුදලිතුමා බුද්ධාගම අතැර ක්‍රිස්තියානි දහම වැලඳගෙන සිටි බැවින් මේ මඟුලට ‘පොරොන්දම් බැලුවාදැයි’ ඇසීම අනවශ්‍ය කරුණක් වනු ඇත. ඊටත් වඩා රිච්මන්ඩ් කාසල් මන්දිරයට පිවිසීමට රාහුකාලය පන්නා ‘නැකතට’ කළ කටයුත්තකැයි විමසීමද නිෂ්ඵල වන්නේ මුදලිතුමා ‘​ෙජා්තිෂ්‍ය’ විශ්වාස කළ බවක් දක්නට නැති නිසාය.  


මුදලිතුමාගේ මංගල්‍යයට දේව ආසිරි පතා විවාහ උළෙල පවත්වා ඇත්තේ පයාගල කලමුල්ල දෙව් මැඳුරේදීය. මුදලිතුමාගේ මංගල ඇඳුම වූයේ නිල ඇඳුමමය. කළු රෙද්ද හා කබාය යටින් මුදලිතුමා දිග කළිසමක් ඇද සිට ඇත. මේ සරම අස්සේ කළිසමක් ඇඳීම නිසා එදා මුදලිවරු හැඳින්වූයේ ‘රෙද්ද අස්සේ මහත්තුරු’ ලෙසය.  


මහා පෞරුෂයකින් හෙබි මුදලිතුමාගේ මනමාලිය ඉතා ලාබාල වයසේ රූමතියක් වූ බව රිච්මන්ඩ් කාසල් මන්දිරයේ ඇති ඡායාරූප නිරීක්ෂණයේදී පැහැදිලිවම දැකගත හැකි කරුණකි. මේ විවාපත්‍් නව යුවලගේ මංගල කේක් ගෙඩියේ උඩ අඩි 24ක් උස වූ බව මන්දිරයේ ඇති ඡායාරූපවල දැක්වේ.   


කේක් ගෙඩිය වටේටද ඇත්තේ පිරිමි දරුවන්ගේ රූපයි. මුදලිතුමා විවාහයට කලින් සිටම කුඩා පිරිමි දරුවන්ට දැඩිව ළෙන්ගතුව අාශා කළ බව මෙයින් නිරූපණය වන බව බො​හෝ දෙනාගේ මතයයි.   


රිච්මන්ඩ් කාසල් මන්දිරය විවෘත කිරීම හා මුදලිතුමාගේ මංගල්‍යයට බ්‍රිතාන්‍ය මහරැජිනගේ විශේෂ නියෝජිත පිරිසක් පැමිණ සිටි අතර ආරාධිතයින් අතර ඉන්දියානු මහාරාජා කෙනෙකු ද සිටියේය. මහරාජා මන්දිරය පුරා ඇවිදිමින් නොසන්සුන්ව හැසිරී ඇත්තේ විමතියෙනි. මුදලිතුමා රිච්මන්ඩ් කාසල් මන්දිරයේ සැකසුමට ගුරුකර ගන්නේ මේ මහරාජාගේ ඉන්දියාවේ වූ මන්දිරයයි.  


තමන්ගේ ඉන්දියාවේ මංදිරයට වඩා රිච්මන්ඩ් කාසල් මැදුර විසිතුරු විශ්වකර්ම නිර්මාණයක් බව මහාරාජගේ අදහස විය. මැදුර නිර්මාණයට ගිය කාලය අසා මහරාජා අන්දුන් කුන්දුන් වී ගියේ තම මැදුර තනන්නට මේ මැඳුර තනන්නට ගිය කාලය මෙන් හතරගුණයක් ගිය බව පවසමිනි.  


තොරණ හතක් බැඳ මඟුල් කනවා යයි කියමනක් තිබේ. මුදලිතුමාගේත් ළමාතැනීගේත් රාජකීය මංගල්‍ය මෙම කියමන ප්‍රායෝගිකව අත්විඳි එකක් විය. මන්දිරයට එන පාර දෙපස මෙසේ තොරණ බැඳ තිබූ බව ඡායාරූප නිරීක්ෂණයේදී පෙනී යයි.   


උඩරට ළමාතැනියක කරකාර බැඳගෙන පහතරට මුදලිවරයකු තම සුවිසල් මැදුරට කැඳවාගෙන යාම එකල මෙරට පොදුජනතාව අතර සුවිශේෂී මංගල්‍යයක මතක සටහනක් වී අැත. යටත්විජිත පාලකයින්ගේ කීකරු ගෝල මුදලිතුමාගේ මංගල්‍යයට යාමට කොළඹ - කළුතර අතර සුවිශේෂී දුම්රියක් ලබා දී තිබුණේ තෑග්ගක් ලෙසය. මඟ දෙපස පිරිස් පොරකකා මේ මඟුල් රථ පෙරහර නරඹනු ඡායාරූපවලින් දැකගතහැකිය.  


මේ මංගල පෙරහරේ එවකට තිබූ මෝටර් රථ මේ පෙරහරට එක්වී ඇති සුන්දර දසුනකි. ඒ අතර අශ්වයින් බැඳි රථද ඇත. සුදු අශ්වයින් බැඳි මංගල අශ්ව කරත්තය යටත් විජිත ආණ්ඩුව ලබාදුන් එකක් විය.  


1941 ජුලි 4 වැනිදා  දක්වා මේ යුවළ පවුල්කෑවත් ඔවුනට දරු සම්පත් නම් හිමි වූයේ නැත. ජෝතිශ්‍යය විශ්වාසය නොකළ මුදලිතුමාගේ මහ මැඳුර ජ්‍යොතිශ්‍යානුකූලව  දරු පළ නොදරන නැකතක තැනූවක් බවට මතයක් ඇත. එහි වැඩිපුරම ඇති පිරිමි දරුවන්ගේ රූප මන්දිරය දෙස බලාගෙනත්, කාන්තා රූප මන්දිරයට පිටුවා ඇත්තෙත් මේ නිසා විය යුතුය. මුදලිතුමා තම විවාහය හමාර කිරීමට බොහෝ දෙනා කියන්නේ මන්දිරයේ සේවකයකු සමග ඔහු​ෙග් බිරිඳගේ අයථා සම්බන්ධයක් බවයි. එහෙත් මුදලිතුමා අවිශ්වාසය නිසා නිරපරාදේ බිරිඳ නොකළ වරදකට වරදකරු වූ බව ඇතැමුන්ගේ මතයයි.   


1941 ජුලි 4 වැනිදා මුදලිතුමා තම අන්තිම කැමති පත්‍රයට අත්සන් තැබුවේ නොතාරිස් එස්.​ෙජ්.එස්. කාදිරගාමර් ඉදිරියේය. රිච්මන්ඩ් කාසල් ඇතුළු සියලු දේ  එහිදී එතුමා මහාභාරකාරතුමාට පවරන ලදි. අනාථ ළමයින්ට රැකවරණය සැලසීමත් නිවසේ නඩත්තුවට වතුපිටිවල ආදායමත් බැර කරන ලදි. එහි ඇති වැදගත් වගන්තියක් නම් භාරකාර මණ්ඩලයට නඩත්තු කළ නොහැකි විටෙක එය කතෝලික සභාවට පැවරිය යුතු බවය. තම බිරිඳ අවිවාහකට සිටින තාක් ඇයට මාසිකව රු. 300 ක් පොල් ගෙඩි 250 යැවිය යුතු බවත් එහි සඳහන් ය.   


බිරිඳ ගෙදරට ඇරලූ මුදලිතුමා වසර 6 ක් නිහඬව ගත කළේ මහනුවර ක්වින්ස් ​ ​ෙහා්ටලයේය. 59 වැනි වියේදී 1947 ජුලි මස 8 වැනිදා මීට 70 වසරකට පෙර මියගිය මුදලිතුමාගේ අන්තිම කැමැත්ත අනුව මහා භාරකාරවරයාට මෙම මන්දිරය නඩත්තු කළ නොහැකි නම් මුදලිතුමා​ගේ අවසන් ඉල්ලීම ඉටු කිරීම මළවුන්ට කරන ගෞරවයක් නොවේද?   
වජිර ලියනගේ