කාමරයේ බිත්තිය ළඟ අත්සලකුණු තැබූ භූතයා


කෙම්මුර දිනයක් වූ එදින අහස කළු වලාකුළින් බරව වහින්නට තතනන බවක් දැකිය හැකි විය. මහ රෑ රූට රූට ඒ මහා දෙමහල් නිවසට අරක් ගන්නා වූ අතැඟිලි භූතයෝ ක්‍රම ක්‍රමයෙන් බිත්ති උළුවහු දිගේ කුහුඹු රෑනක් සේ මිනී මස් කමින්, ලේ ඌරා බොන්නට සතර දෙසින් සතර වටින් නිවස වට කරගන්නා බවක් නිවැසියෝ දැන සිටියේ නැත. බකමුණන් නිශාචර පක්ෂීන් පවා බිය පත්ව තව තවත් ගස් අස්සේ කොළ අතු ඉති අතර සැඟවන්නට වූහ. සිදුවන අනතුර ගැන දැනගත්තා වූ මහ වවුලෝ අහස පුරා වියනක් මෙන් සිට පියාපත් නොසොල්වාම සුළඟ සමගින් ඒ මේ අත පැද්දෙමින් සිටියහ. 

බිත්ති පුරා දිවයන්නා වූ අවතාරයෝ පරිවාර අතැඟිලි භූතයන් සමඟ පෙළෙන් පෙළට බිත්ති දිගේ වහලේ සිට දත් විලිස්සාගෙන මර හූ හඬ තලාගෙන ගැහැනු පමණක් සිටින මේ නිවසේ බිල්ලක් ගන්නට ගොදුරට ළඟා වන්නේ යක්ෂ, පේත, භූත, කුම්භාණ්ඩ, මළ පෙරේත ආදි කොට ඇති තවත් පරිවාර සමූහයක් සමගිනි. දෙමහල් නිවසේ පහළ කාමරයේ නිදා සිටින උමාට යක්ෂයෝ භූතයන් සමඟ පිරිස පැන බැල්ම හෙළන්නට වූහ. 


‘‘මෙන්න යකෙක්’’ මෙන්න හොල්මනක් කියමින් යටි ගිරියෙන් කෑ ගසමින් උමා මර විලාප දෙන්නට වූවාය. 


සිදුවූයේ කුමක්ද ? කතාන්දරය මෙසේය. 


අතීතයේ සිටම නොයෙකුත් හාස්කම්, නොයෙකුත් අත්භූත බල, විවිධ හැකියාවන් තිබෙන බවට පුරාජේරු පවසන්නෝ බොහෝය. නමුත් ඔවුන්ගේ සත්‍යතාවන් සොයා බලන විට එවැනි බලයන් ඔවුනට තිබේය යන්න සනාථ කළ හැකි කිසිවක් නොමැත. ඔවුන් පෙන්වන ඇතැම් අත්භූත හැකියාවන් ලෙස සලකන දේවල් පවා විද්‍යාත්මකව බලන විට එහි අත්භූත බවක් නොමැත. ඒවායේ තිබෙන්නේද විද්‍යාත්මක න්‍යායක් පමණි. 
ඩල්සිට වයස අවුරුදු තිස්හතරකි. ඇයගේ සැමියා වන එඩ්මන් සමඟ කොළඹ ප‍්‍රදේශයේ නිවසක ජීවත් වන්නීය. ධනවත් පවුලක් වන මොවුනට දරුවන් දෙදෙනෙක් ද සිටිති. දියණිය වයස අවුරුද්දක දැරිවියක වන අතර, පුතාගේ වයස අවුරුදු හතරකි. සැමියා ව්‍යාපාර කටයුතු සඳහා නිවසින් නික්ම ගිය පසු නිවසේත් දරුවන්ගේත් සියලු වැඩකටයුතු තනිවම කරගැනීම අපහසු වූ නිසා වැඩකටයුතු කරගැනීමට මෙහෙකාරියක වශයෙන් උමා නමැති දහනව හැවිරිදි තරුණියක් නිවසට ගෙන්වා ගැනිණි. කිසිම දෙයකින් අඩුපාඩුවක් නොවූ මෙම පවුල බොහොම සතුටින් කල් ගෙවූහ. දහවල් රාත්‍රී ගෙවි දින ගණන් ගත විය. 


ව්‍යාපාර කටයුත්තක් සඳහා දින හතරකට එඩ්මන්ට චීනය බලා යාමට සිදුවිණ. එඩ්මන් ලංකාවෙන් ගොස් ගතවූයේ දින දෙකකි. වේලාව රාත‍්‍රී දහයට පමණ ඇත. ඩල්සි දරුවන් දෙදෙනා සමඟ ඇයගේ කාමරයට වී සැමියා සමඟ දුරකථන ඇමතුමක රැඳී සිටියාය. ඒ අතර, ‘‘නෝනා නෝනා’’ කියමින් මහ හඬින් කෑ ගසමින් උමා ඩල්සි සිටි කාමරය දෙසට දුවගෙන ආවාය. 


කලබලයට පත් ඩල්සි ‘‘මොකද උමා කලබලෙන්’’ කියමින් ඇඳෙන් නැගිට දොර දෙසට දිව ආවේ කුඩා දියණිය ද අතේ තබාගෙනය. ‘‘නෝනා මට නම් මෙහෙ ඉන්න බෑ. මට බයයි. අනේ නෝනා මාව බේරගන්න’’ කියමින් උමා කෑ මොර දෙන්නට වූවාය. ‘‘මොකක්ද මොකක්ද වුණේ කියන්න’’ අසමින් දැරියව අසල තිබූ සෝපාව මත තබා උමාගේ උරහිස්වලින් අල්ලා සෙලවූවාය. 


‘‘නෝනා මගේ කාමරේ දොර ළඟ භූතයකුගේ අත්වල ලකුණු තියෙනවා’’ 


‘‘කෝ යමු බලන්න’’ කියමින් ඩල්සි දැරියද වඩාගෙන උමාගේ අතින් ඇදගෙන ඇගේ කාමරය වෙත යෑමට අඬගැසුවාය ‘‘අනේ මට නම් බෑ නෝනා’’ කියමින් ඇය ආපස්සට හැරුණාය. 


‘‘මොකක්ද ඒ සලකුණ. කෝ මට පෙන්නන්න’’ යනුවෙන් ඩල්සි උමාගෙන් අැසුවාය. ‘‘කාමරයේ ඇතුළේ නෙමෙයි නෝනා. ඔය උළුවස්ස දෙපැත්තේ තියෙන්නේ’’ කියමින් උමා උළුවස්ස දෙසට අත දිගුකර පෙන්වීය. 
මහා පුදුමයකි! ‘‘මේ මොනවද මේ’’ කියමින් එම අත් සලකුණු දෙස බැලුණේ ඩල්සිගේද මෙතෙක් තිබූ වීරත්වය ද බිඳ වැටෙමිනි. 


‘‘අනේ උමා මේ මොනවද? අපි ඉක්මනින් ඩැඩිලාටවත් කියමු’’ කියමින් ඉක්මනින්ම දුවගොස් ඩල්සි පියාට ඇමතුමක් ගත්තාය. 


‘‘ඩැඩි ගෙදර ප‍්‍රශ්නයක්. ඉක්මනට එන්නකෝ. ගෙදර අමනුස්ස ප‍්‍රශ්නයක්. අනේ ඩැඩි ඉක්මනටම එන්නකෝ’’ කියමින් ඩල්සි ඇමතුම ද විසන්ධි කර එඩ්මන්ට ද ඇමතුමක් ගෙන සිදුවී ඇති සියලු දෑ පැවසූයේ ගොත ගසමිනි. 
කලබලයට පත් ඩල්සිගේ පියා බිරිඳ සමඟ ඩල්සිගේ නිවසට එන විට එකොළහ හමාර ද පසුවී තිබුණි. ඒ එන අතරතුර ද වරින් වර තම දියණිය සමඟ දුරකථනයෙන් කථා කර ‘‘බයවෙන්න එපා අපි එන ගමන්’’ යනුවෙන් පවසමින් ඇගේ සිත සැනසුවේය. ඒ වනවිට ඩල්සිත් උමාත් දරුවන් දෙදෙනාත් තුරුළු කරගෙන සාලය මැදට වී නිවසේ සියලුම විදුලි බල්බ් දමා බයෙන් භිරාන්තව සිටියහ. දෙමාපියන් දොරට තට්ටු කරද්දි ඩල්සි දොර ඇරියේ ද බයේ ගැහෙමින්ය. 


‘‘මොකක්ද වුණේ’’ කියමින් පියා සිදුවීම අසන්නට විය. ‘‘එන්න එන්න ඉක්මනට බලමු’’ කියමින් මොවුන් දෙදෙනා සමඟ පියා හා මව උමාගේ කාමරය වෙතට ගමන් කළෝය. 


‘‘මේ තියෙන්නේ ලොකු මහත්තයා’’ කියමින් උමා උළුවස්සට ඉහළින් තිබුණු කුඩා අත් සලකුණු පෙන්වූවාය. මේක වුණේ කොහොමද? යන ප‍්‍රශ්නය ඩල්සිගේ පියාගේ සිතටද ඇතිවිය. 


මෙච්චර අත් සලකුණු ගොඩක්. අනික පොඩි අත් සලකුණු. මෙය ඩල්සිගේ පියාට ද සිතාගත නොහැකි විය. 


 ‘‘බලමු තව තැන්වල තියෙනවාද කියල’’ කියමින් පියා තම දියණියගේ කාමරය හා අනෙක් තැන්වල ද සෝදිසි කළේය. එවිට දැකගන්නට ලැබුණේ උමාගේ කාමරයේ ඇඳට ඉහළින් ද එවැනි අත් සලකුණු කීපයකි. 
‘‘කමක් නෑ. දැන් කරන්න පුළුවන් දෙයක් නෑනේ. අපි උදේට මේ ගැන සොයා බලමු’’ කියමින් ‘‘ඔයා දැන් කාමරයට යන්න. උමාටත් ඒ කාමරයේ නිදාගන්න ලෑස්ති කරන්න. මමීයි මමයි මෙතන ඉන්නම්’’ කියමින් ඩල්සිට නිදාගන්නා ලෙස පියා පැවසීය. 


නමුත් කිසිවකුටවත් නින්දක් නැත. මතකයට එන්නේම එම අත්භූත අත් සලකුණුය. කෙසේ හෝ පසුදින උදාවිය. ඒ අතර වරින් වර එඩ්මන් ද දුරකථනයෙන් විස්තර විමසුවේය. 


මොවුන් ධනවත් පවුලක් වුවද නෑදෑයින් හා මිත‍්‍රයන් බොහෝ සෙයින් අඩුය. මොවුන් ගත කළේ නෑදෑයින්ගෙන් හා මිත‍්‍රයන්ගෙන් තොර හුදකලා ජීවිතයකි. මේ සිදුවීම කෙනෙකුට කියන්නත් ලැජ්ජයි. ඩල්සිගේ පියා හා ඒඩ්මන් මේ පිළිබඳ දහ අතේ කල්පනා කළ අතර, අවසාන තීරණය වූයේ කපු මහතකුගේ සහාය පැතීමය. 


‘‘ඩැඩී එහෙනම් හොඳ කෙනෙක් හොයලා ගෙන්නන්න. මම හෙට ලංකාවට එනවා’’ යැයි පවසමින් එම කටයුත්ත කිරීමට පියාට භාරදුන්නේය. ඒ පිළිබඳව සොයා බැලූ ඩල්සිගේ පියා මේ සඳහා චිත්ත බලයක් සහිත දේවගැතිතුමකු ලෙස හඳුන්වන කපු මහතකු නිවසට ගෙන්වීය. 


කපු මහතා තවත් දෙදෙනෙකුත් සමඟ පැමිණ උමාගේ කාමරයේ තිබූ අත් සලකුණු පරීක්‍ෂා කර බලා මෙය ‘කුමාර අවතාරයක බලපෑමක්’ යනුවෙන් හඳුන්වා ‘‘මෙය ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මේක මේ ගෙදර පොඩි ළමයින්ට හානි ගෙනදෙන්නක්’’ යැයි කපු මහතා පහදා දුන්නේය. මෙය ඉවත් කිරීම සරල දෙයක් නොවන බවත් ඒ සඳහා අවශ්‍ය විදියට වත්පිළිවෙත් කිරීමට නම් ලොකු වියදමක් යන බවත් ඉන්පසු නිවසට හා වත්තට යළිත් මෙම තත්ත්වය ඇතුළු නොවීමට ආරක්ෂාවක් කළ යුතු බවත් කපු මහතා තවදුරටත් පැවසීය. 


‘‘මේකට කොච්චර වියදමක් යනවද?’’ ඩල්සිගේ පියා විසින් ප‍්‍රශ්න කෙරිණි. ‘‘බඩු භාණ්ඩවල මිල එක්ක ලක්ෂ තුනහමාරක්වත් වෙයි’’ යන්න කපු මහතාගේ පිළිතුර විය. පියා විසින් එඩ්මන්ටද මේ බැව් පවසා ‘‘ගාණ ප‍්‍රශ්නයක් නෑ. වැඬේ හරියට කරන්න’’ යයි කපු මහතාට පවසා දින දෙකකින් එය සිදුකරන ලෙස දින යොදාගත්තේය. 


දිනය ද උදාවිය. මහා පූජා භාණ්ඩ රාශියක් ගෙනවිත් ශාන්ති කර්මයක් කර දරුවන් දෙදෙනාටත් ඩල්සිටත් එඩ්මන්ටත් සෙත් පතා එම බලවේගය නිවසින් ඉවත් කෙරුණි. ඉන්පසු ආරක්ෂක තෙල් කුඩා කුප්පිවල දමා නිවස වටේ හා ඉඩම වටේත් වළ දැමුවේය. ‘‘දැන් ඉතින් බියක් ඇති කරගත යුතු නැහැ. ආයෙත් එවැන්නක් සිදු වන්නේ නැහැ’’ යැයි පවසමින් පොරොන්දු වූ මුදල් ද රැගෙන කපු මහතා ප‍්‍රමුඛ පිරිස ඉවත්ව ගියහ. 
‘‘නමුත් මට බයයි’’ යනුවෙන් උමා කෙඳිරිගාමින් ඇගේ කාමරයට යාම මැළිකමක් දැක්වූවාය. 


‘‘කමක් නෑ. ටික දවසක් යනතෙක් උමා වෙන කාමරයක ඉන්නකෝ’’ යනුවෙන් පවසමින් ඩල්සිත් එඩ්මනුත් උමාට වෙනත් කාමරයක් පිළියෙල කර දුන්හ. කුමාර අවතාරයේ බලපෑම ද ඉවත්ව ගියේය. 


‘‘දැන් ඉතින් මේ අත් පාරවල් ටික මකල දමමු’’ කියමින් පේන්ට් බාස් කෙනෙක් ගෙනවිත් උමාගේ කාමරයේ පිටතත් ඇතුළතත් නැවත තීන්ත ආලේප කර අත් පාරවල් මකා දැම්මේය. 


දින කීපයක් ගතවූ පසු ඉහත සිදුවීම අමතක කර දමා පෙර පරිදිම සියල්ලෝ සාමාන්‍ය ලෙස ජීවත් වන්නට වූහ. මෙලෙස ගතවූයේ සති තුනකි. 


එදින ඩල්සි හා එඩ්මන්ගේ පුතා මොන්ටිසෝරි යන දිනය විය. මොවුන් විසින් බොහෝ සතුටින් පුතාව රැගෙන ගොස් මොන්ටිසෝරියට භාරදුන්හ. එය මොවුන්ට සතුටුදායක දිනයකි. මොවුන් රාත‍්‍රී නින්දට ගියේ එම සතුටත් සමඟිනි. වේලාව රාත‍්‍රී දහයත් දහය හමාරත් අතර විය. ‘‘අයියෝ නෝනා’’ මහා හයියෙන් කෑ ගසමින් උමා ඩල්සිගේත් එඩ්මන්ගේත් කාමරය වෙත දිව එනු ඇසිණි.

 
‘‘මොකද උමා’’ යනුවෙන් පවසමින් දොර ඇර ඩල්සි උමා දෙස පුදුමයෙන් බැලුවාය. 


‘‘අනේ නෝනා අදත් අර භූතයා ඇවිල්ලා. අත් පාරවල් තියෙනවා’’ වහාම කලබල වූ ඩල්සිත් එඩ්මනුත් උමා නිදා ගන්නා අලුත් කාමරය වෙත දිව ගියෝය. 


‘‘මේ මේ බලන්න නෝනා’’ කියමින් පෙර පරිදිම අලුත් කාමරයේද උමාගේ ඇඳට ඉහළින් බිත්තියේ තිබුණු කුඩා අත් පාරවල් පෙන්නන්නට වූවාය. 


‘‘දැන් මොකක්ද කරන්නේ’’ කියමින් පියාටද දුරකථනයෙන් කථා කරමින් සියලු විස්තර පැවසූහ. 


‘‘කමක් නෑ. උදේට කපු මහත්තයාට කතා කරමු’’ යයි පවසා තැති ගැනීමෙන් යුක්තව උමාද තමන්ගේ කාමරයට ගෙන නිදාගන්නට සලසා දී ඔවුන්ද නින්දට ගිය ද කිසිවකුට හෝ හරිහැටි නින්දක් නොවීය. පසුදා උදේම කපු මහතාට කතා කර නැවත ගෙන්වීය. 


එම අත් සලකුණු පරීක්‍ෂා කර බැලු කපු මහතාත් මෙසේ විස්තර කරන්නට විය. ‘‘මොනවා හරි දෙයකින් මාස තුනක් යන්නට කලින් විශාල කිල්ලකට අහුවෙලා. නැත්තම් මෙහෙම වෙන්නෙ නැහැ. මේවා තමන්ගේම වැරදි’’ යනුවෙන් මොවුනට චෝදනා කළේය. 


නැවත වරක් පෙර ශාන්තිකර්මය කළ යුතු බවත් කලින් වතාවේ කළ වැඩක් නිසා මුදල් ලක්‍ෂ තුනහමාරක් එපා ලක්ෂ දෙකක් විතරක් දෙන්න යැයි පැවසීය. නමුත් මෙයට එඩ්මන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. 
‘‘අපි දැනුම්වත්ව මේ කාලය තුළ මළ ගෙදරකවත් ගියේ නැහැ. ගෙදරට හරක්මස්, ඌරුමස් වගේ දෙයක්වත් ගෙනාවේ නැහැ. අපි තව කෙනෙකුගෙනුත් හොයමු’’ යනුවෙන් එඩ්මන් පවසමින් එඩ්මන්ගේ සහෝදරයෙකුට අවතාරයේ බලපෑම ගැන පවසා ඒ සඳහා හොඳ ඇදුරකු සොයා දෙන ලෙස පැවසීය. 


එඩ්මන්ගේ සහෝදරයා මේ සිදුවීම පිළිබඳව තම නිවසේදී අනෙක් සහෝදරයන් සමඟින් කතා කරන්නට විය. 


‘‘ ඕවා මොන විකාරද, ඕක මොකක්ද කියල හොයන්න අපි විදුල අධි මනෝවිද්‍යා පර්​ෙ‌ය්ෂණ සංගමයට භාරදෙමු’’ යැයි සහෝදරයෙකුගේ පුතකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ශිෂ්‍ය වන සමිත් තරයේ කියා සිටියේය. ඒ බව එඩ්මන්ට කියා සිටි මුත් ඔවුන්ගේ අදහස වූයේ ‘‘ ඕවා එහෙම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක කළ හැක්කේ කට්ටඬියන්ට පමණයි’’ යන්නය. නමුත් සමිත්ගේ තීරණයට තවත් කීප දෙනෙක් එකඟ වූහ. ඔවුන්ගේ වටහාදීම මත ‘‘හරි එසේ නම් කර බලමු’’ යනුවෙන් පවසා ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දෙන මෙන් විදුල අධි මනෝවිද්‍යා පර්​ෙ‌ය්ෂණ සංගමයේ සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගෙන් ඉල්ලීමක් කළේය. 


මේ පිළිබඳව සොයා බැලීමට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාත් මාතර කඹුරුගමුව රෝහලේ මානසික අංශයේ වෛද්‍ය අසංක සිංහාරගේ මහතා හා මනෝ චිකිත්සක, චිකිත්සකවරියන් කීපදෙනෙකුත් ඩල්සිගේ නිවස කරා පැමිණියහ. පළමුව වෛද්‍යවරුන් දෙදෙනා නිවසේ අය සමඟ වෙන වෙනම කතා කළේය. 


ඉන්පසු පළමු දිනයේ අවතාරය විසින් තැබූ අත් සලකුණු තිබූ ස්ථාන හා අලුත් ස්ථානයේ අත් සලකුණුත් පරීක්‍ෂා කළේය. මෙහිදී අත් සලකුණු තිබුණේ පොළොවේ සිට කොපමණ උසකින් ද ඇඳේ සිට කොපමණ උසකින් ද ආදිය හොඳින් මැන බලා අත් සලකුණුවල ඡායාරූප ද ගෙන එම අත් සලකුණුවල විශාලත්වය ද මැන ගනු ලැබීය. 


ඉන්පසු මොවුන් සිදුකළේ නිවසේ අය සමඟ මෙය සිදු වූ වේලාවන් හා මුලින්ම දුටු අය කවුද යන්න විමසා බැලීමය. එසේ විමසා බැලූ විද්‍යාකුලපති මහතා විසින් නිවසේ සිටින කුඩා ළමයින් දෙදෙනා රැගෙන එන ලෙස පවසා තීන්ත ද්‍රාවණයක් සාදා ඒ මත වැඩිමල් දරුවාගේ අත තබා එම අත් සලකුණු සුදුපාට කොළවලට ලබාගත්තේය. 


ඉන්පසු කුඩා දැරියගේ ද අත්ලෙහි එම ද්‍රාවණය තවරා තීන්ත සලකුණු ලබාගත්තේය. ඉන්පසු එම අත් සලකුණු බිත්තියේ ඇති අත් සලකුණු සමඟ තබා ‘‘හොඳින් බලන්න මේ අත් සලකුණු දෙස’’ කියමින් පැමිණ සිටි අයට විස්තර කර දුන්නේය. 


 ‘‘මේ පොඩි දරුවගේ මේ මම ගත්ත අත්වල සලකුණුත් මේ බිත්තියේ තිබෙන අත් සලකුණුත් සමානයි. බලන්න විශාලත්වය එකමයි’’ යනුවෙන් පහදා දුනි. 


‘‘ඉතින් ඒක තමයි කපු මහත්තයා කිව්වේ මේක ළමයින්ට බලපාන කුමාර අවතාරය කියන එකක් කියලා. නැත්තම් කොහොමද හරියට ඇවිදින්නවත් බැරි ළමයකුට උඩ පාරවල් තියන්න පුළුවන්ද?’’ යනුවෙන් පවසමින් එඩ්මන් විසින් කපුවාගේ කියමන සනාථ කරන්නට තැත් කළේය. 


එයට විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පිළිතුරු දුනි. 


 ‘‘පළමුව උමානේ ඕක දැක්කේ. උමා ගිහිල්ලා අපේ වෛද්‍යවරියත් එක්ක ඔය විස්තරය කියන්නකෝ’’ කියමින් උමාව වෛද්‍යවරියත් සමඟ නිවසින් එළියට යැවීය. ඉන්පසු පිරිස අමතා ‘‘එහෙම අවතාරයක් නැහැ. ඔන්න බලන්න වෙච්ච දේ. පැහැදිලි වශයෙන්ම මෙය සිදුකර තිබෙන්නේ ගෙදර ඉන්න මෙහෙකාරිය වන උමා විසින්. ඇය කෙසේ හෝ පොඩි ළමයාගේ අල්ලේ යමක් තවරා ළමයාගේ අත්ල මගින් සලකුණු තබලා. ඇඳට නැග්ගාම වඩාගෙන සිටින ළමයාගේ උසින් තමයි මේ අත් සලකුණු තිබෙන්නේ. 


කලින් තිබුණා කියන අත් සලකුණු තිබුණා කියන උසත් බලන විට ඔය අසල තිබෙන ස්ටූල් එකට නැග්ගාට පස්සේ මැයගේ උසත් වඩාගත් ළමයාගේ අතේ උසත් සමානයි. එය සිදුවූ දින දෙකේම පොඩි ළමයා බලා ගන්නට උමාට දී තිබෙනවා. දෙවෙනි දිනයේ ඔබ ලොකු ළමයා සමඟ මොන්ටිසෝරියට ගියේද උමාට කුඩා ළමයා බලාගන්නට ඉඩදීලයි. 


නිවසේ අයගේ ඉල්ලීම මත උමා මෙසේ කිරීමට හේතුව සොයාගැනීමට විද්‍යාකුලපති මහතා යොමුවිය. ඇය සමඟ මනෝ විශ්ලේෂණය යටතේ 


(Psycho Analyst) කථා කොට මෙයට හේතුව සොයාගැනිණ. එය මෙලෙස වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් පහදා දුනි. 


‘‘මේ කීමෙන් පසු උමාට තරවටු කිරීමටවත් බැණ වැදීමටවත් යන්න එපා. ඇය මෙය සිතාමතාම සිදුකළ දෙයක් නොවේ. ඇයගේ හිතේ ඔබේ නිවසේ වැඩ කිරීමට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ගමේ තරුණයකු සමඟ පොඩි සම්බන්ධයකුත් මැයගේ තිබිලා තියෙනවා. මැය ඔබේ නිවසේ වැඩට පැමිණ ඇත්තේ ආර්ථික ප‍්‍රශ්න මධ්‍යයේ තාත්තාගේ බලපෑමටයි. නමුත් මැයට අවශ්‍යතාව තිබුණේ මෙවැනි තත්ත්වයන්ට බය ලෙස පවසා මැයට මේ නිවසින් නික්ම යෑම මිස ඇදුරන් ලවා මේ තත්ත්වයට පිළියම් යෙදීම නොවේ. 


පළමු වතාවේදී ගැටලුව විසඳුව ද මැය විසින් ‘මට මෙහි ඉන්න බයයි’ යනුවෙන් වද කර කියා සිටියේ ඒ නිසාවෙන්. මැය මේ සඳහා භාවිත කරල තියෙන්නේ ඔබගේ ලොකු ළමයාගේ චිත‍්‍ර ඇඳීමට ගන්න දියසායම් වර්ගයක්. අදින් පස්සේ ඔබේ නිවසේ කිසිම දවසක මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. නමුත් අකමැත්තෙන් මෙහි සිටින උමා මේ තත්ත්වය දෙමාපියන්ට වටහා දී නිවසේ මෙහෙකාරිත්වයෙන් මුදවන්න’’ යනුවෙන් පැමිණ සිටින පිරිස දැනුම්වත් කර වෛද්‍ය කණ්ඩායම නිවසින් නික්මුණහ. 


(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්‍ෂණ සංගමය සතුව ඇති ඇති අතර, සත්‍ය සිදුවීමකි.) 

 

 

 

 


සටහන: 
හබරාදුව නිමල් අල්ගෙවත්ත ගෙනි.