කළුගල් නැති දූපතක කළුගලින් තැනූ අබිරහස් නිවාස


ලෝකයේ අබ්රහස්

 

 

බටහිර පැසිපික් සාගරයේ මයික්‍රෝනේෂියා පෙඩරල් රාජ්‍යයේ ටෙම්වෙන් වෙරළ තීරය ආසන්නයේ කෘත්‍රිමව නිර්මාණය කරන ලද දූපත් 100ක ඉදිකර ඇති පාෂාණමය ගොඩනැගිලි 130කින් සමන්විත පුරාවිද්‍යාත්මක ප්‍රදේශය ‘‘නන් මැඩෝල්’’ (Nan Model) ලෙස හැඳින්වේ. 1985 දී මෙම නටබුන් ජාතික ඓතිහාසික වැදගත්කමකින් යුත් භූමි දර්ශනයක් ලෙස නම්කර ඇති අතර 2016 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

 
කොරල් හා බැසෝල්ට් කළුගල් සාගරයේ තැන්පත්කර දූපත් 100ක් පමණ සකසා ඒ මත කරනලද චතුරාශ්‍රාකාර ගොඩනැගිලි 130කින් යුත් ප්‍රදේශය සෝඩියලර් (Saudeleur) පරපුරේ පාලකයන්ගේ ආගමික හා දේශපාලන මධ්‍යස්ථානයක් මෙන්ම පූජාසන, පේන කියන ස්ථාන හා දේවාලවලින් යුත් පූජනීය ස්ථානයක් විය. චතුරශ්‍රාකාරව ඉදිකර ඇති දූපත් ඇළවල් මගින් එකිනෙක වෙන්කර තිබේ. නන් මැඩෝල් පුරාවිද්‍යාත්මක සංකීර්ණය කිලෝ මීටර් 1.5ක් දිගින් හා කි.මී. 1/2ක් පළලින් යුක්තය. පාෂාණමය ගොඩනැගිලි තනා ඇත්තේ චතුරශ්‍රාකාර බැසෝල්ට් කළුගල් කොටු හැඩයට එකක් මත එකක් තබමිනි. ‘‘නන් මැඩෝල්’’ යන්නෙහි තේරුම ‘‘විවේකය තුළ’’ යන්නයි. එහි මුල් නාමය වී ඇත්තේ ‘‘ස්වර්ගයේගිර’’ යන අර්ථය ගෙන දෙන "Soun Nanleng"ය. අධික බරකින් යුත් බැසෝල්ට් කළුගල් සැතපුම් 25ක් දුරක සිට මුහුදෙන් ගෙනවිත් දූපත් හා ගොඩනැගිලි ඉදිකළ අයුරු පුරාවිද්‍යාත්මක අභිරහසක්ව පවතින නිසා. ‘‘නන් මැ​ඩෝල්’’ හඳුන්වා ඇත්තේ ‘‘අටවෙනි ලෝක පුදුමය’’ ලෙසය. සමහර ලේඛකයින් මෙය ‘‘පැසිපික්හි වැනීසිය.’’ ලෙසද හඳුන්වා ඇත. ‘‘නන් මැ​ඩෝල්’’ දූපත් සමූහය ඈතට දිස්වන්නේ මුහුදෙහි පාවෙන අන්දමිනි. පෝලන්ත ජාතික මානව වංශ හා සාගර විද්‍යාඥයකු වූ ‘‘ජෝන් ස්ටැනිස්ලෝ’’ වර්ෂ 1874 දී ප්‍රථමයෙන්ම නන් මැ​ඩෝල් පිළිබඳ විස්තරයක් කර ඇත. ඉන් පසුව නොයෙකුත් ලේඛකයන් හා පර්යේෂකයින් විසින් ‘‘නන් මැ​ඩෝල්’’ පිළිබඳව ලියන ලද පොත් සංඛ්‍යාව 17කට වැඩිය. සමහර ලේඛකයින් නන් මැ​ඩෝල් ‘‘අර්ථකථනය කර තිබුණේ ‘‘ලුමේරියා නැති වූ මහාද්වීපය.’’ ලෙසය.  
ගොඩනැගිලි සඳහා යොදාගන්නා ලද සමහර චතුරශ්‍රාකාර බැසෝල්ට් ගල් එක් පුද්ගලයකුට තනිව ඔසවාගත හැකි අතර බොහෝ බැසෝල්ට් පාෂාණ රාත්තල් 100,000කට වඩා වැඩි බරකින් යුක්තය. විශාලතම ගොඩනැගිල්ල වන ‘නැන්ඩොවාස්’’ (Nanduwas) රාජකීය දෙවොල පිහිටි හා මියගිය ප්‍රධානීන්ගේ සිරුරු භූමදානය කරන ස්ථානයක් විය. අඩි 25ක් උස අඩි 16ක් පළල කළුගල් බැම්මකින් වටකර ඇති මෙහි භූමිය අක්කර 200ක පමණ වපසරියකින් යුක්තය. ගොඩනැගිලි සඳහා යොදාගෙන ඇති බැසෝල්ට් ගල්වල මුළු බර මෙට්‍රික් ​​ටොන් 750,000 වන බව පර්යේෂකයින් සඳහන් කර තිබේ. මෙම බැසෝල්ට් කළුගල් ගෙනවිත් ඇත්තේ සැතපුම් 25ක් දුර ‘‘පොන්පෙයි’’ දූපතේ විරුද්ධ දිසාවේ පිහිටි යමහල් භූමියකිනි. එක් එක් ගොඩනැගිලි සෝඩිලියර් පාලකයින් විසින් එක් එක් විශේෂිත කාර්යයන් සඳහා භාවිතා කර ඇත. Dapahu ආහාර පිළියෙල කිරීම විශාල ඔරු සෑදීමටත් "Peinering" පොල්තෙල් නිෂ්පාදනය කිරීමටත්, Kohnderek මියගියවූවන්ගේ සිරුරවල තෙල් ගැල්වීමටත් නැටුම් සඳහාත්, යොදාගෙන ඇත. Peinkitel Karien හා Lemonkou දූපත්වල භූමදාන කටයුතු සිදුකර ඇත. ගොඩනැගිලි සෙවිලිකර තිබී ඇත්තේ පොල් අතුවලිනි.  


පොන්පෙයි දූපත්වල ප්‍රථම ජනාවාස ක්‍රි.ව. පළමුවන ශතවර්ෂයේදී ඇරඹෙන්නට ඇති බව පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති. කාබන් කාල නිර්ණයන්ට අනුව මානව ක්‍රියාකාරකම් ක්‍රි.ව. 80-200ත් අතර සිදුවන්නට ඇති බවත් ගොඩනැගිලි නිර්මාණය කිරීම ක්‍රි.ව. 1180- 1200 අතර කාලයක සිදුකරන්නට ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති. ‘‘බිල්ස් බැලින්ගර්’’ නම් ලේඛකයා සඳහන් කර ඇත්තේ ග්‍රීක නාවිකයන් විසින් ක්‍රි.පූර්ව 300දී ‘‘නන් මැඩෝල්’’ ගොඩනගා ඇති බවය. අධික බරකින් යුත් බැසෝල්ට් කළුගල් සැතපුම් 25ක දුර සිට මුහුදෙන් ගෙන ඒම දියුණු තාක්‍ෂණයක් නොතිබූ ප්‍රදේශයකට විශ්මයජනක ක්‍රියාවක් බවත් අභිරහසක් බවත් පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති.

  
පොන්පේරියානු ජනප්‍රවාදයට අනුව මායාකාර නිවුන් සහෝදරයින් දෙදෙනකු වූ ‘‘ඔලිසිපා’’ (Olisipha) හා ‘‘ඔලොසොපා’’ (Olosopaha) ගොවිතැනට අධිපති "Nahnisahn Sahpw" දෙවියන්ට වන්දනාමාන කිරීම සඳහා පූජාසනයක් ගොඩනැගීමට සුදුසු ස්ථානයක් සොයමින් විශාල ඔරුවකින් මෙම ප්‍ර​දේශයට පැමිණ ඇත. ඒ සඳහා මෙම ප්‍රදේශය යෝග්‍ය බැව් වටහාගත් මායාකාර සහෝදරයින් ඊට අවශ්‍ය දූපත් හා ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කර ඇත. කිහිපවතාවක් කරන ලද අසාර්ථක උත්සාහයකින් පසු කොරල් හා බැසෝල්ට් කළුගල් අත්තිවාරම් මත දූපත් සීයයක් පමණ හා ගොඩනැගිලි 130ක් ඉදිකිරීමට ඔවුන්ට හැකි වී ඇත. මායාකාර සහෝදරයින්ගේ ධ්‍යාන බලයෙන් පියාසර කළහැකි මකරකුගේ සහාය ඇතිව බැසෝල්ට් කළුගල් ගොඩබිමින් හා මුහුදින් ගෙන ඒමට කටයුතු කර ඇති බව සඳහන් වේ.  
‘‘ඔලිසිසා’’වයස්ගතව මියගිය පසු ‘‘ඔලොසොසා’’ ප්‍රාදේශීය කාන්තාවක හා විවාහ වී ‘නන් මැඩෝල්’’ අගනුවර කරගෙන ප්‍රථම ‘‘සෝඩිලියර්’’ පාලකයා බවට පත්වී තිබේ. සෝඩිලියර් පරම්පරා දොළහක පාලකයින් 16 දෙනකු නන් මැඩෝල්හි පාලනය ගෙනගොස් ඇත. 1628 දී ‘‘අයිසොකෙල්කල්’’ (Isokelekel) නන් මැඩෝල් ආක්‍රමණය කර පාලන බලය පැහැරගෙන ඇති අතර සෝඩිලියර් පරපුරේ පාලන බලයද අවසන් වී ඇත. සෝඩිලියර් පාලකයින් මෙන්ම අයිසොකෙලිකල් පාලකයින්ද පානීය ජලය හා ආහාර ලබාගෙන ඇත්තේ ඔරුවලින් ගොස් රට ඇතුලතිනි. අයිසොකෙලිකල් පාලකයින්ගෙන් පසුව බලයට පැමිණි පාලකයින් නන් මැඩෝල් අතහැර තමන්ගේ නිජබිම වෙත ආපසු ගොස් ඇත. මේ සමගම ශතවර්ෂ ගණනාවක් නන් මැඩෝල් අභාවයට පත් වී තිබේ.  
සෝඩිලියර් පාලකයින් ආගමික චාරිත්‍රවාරිත්‍ර සිදුකරන අවස්ථාවන්හිදී කාවා පැලෑටියේ (Kava Plant) මුල් කුඩුකර සාදාගත් පානයක් භාවිත කර ඇත. මෙම පැලෑටිය මුදු, වේදනානාශක, නිර්වින්දන හා ගත සිත ප්‍රබෝධමත් කරන මත්ගතිය ඇතිකරවන ගුණයෙන් යුත් ශාකයකි. ‘‘මත්කරවන ගම්මිරිස්’’ යනුවෙන් හැඳින්වෙන මෙම පැලෑටිය අදටත් ‘‘නන් මැඩෝල්’’හි දැකගත හැක. මුඛ පරම්පරාගත කතා අනුව "Idehd" දූපතේ පිහිටි ළිඳක මුහුදු දෙවියකු ලෙස සැලකූ පූජනීය ආඳෙකු සිටි බවත් ඇළවල් සකසා ඇත්තේ සාගරයේ සිට නගරය තුළට ආඳා මසුන් ගෙන්වා ගැනීමට බවත් සඳහන් වේ. ‘‘නන් මැඩෝල්’’ අභාවයට ගොස් ශතවර්ෂ ගණනාවක් ඉක්මගොස් ඇතත් ශෛලමය ගොඩනැගිලි හා දිය ඇළවල් වර්තමානයේදී පවා ඉතා ශක්තිමත්ව පවතින බව වාර්තා වේ. නැෂනල් ජෝග්‍රප් ආයතනය හා එක් එක් පුද්ගලයින් විසින් ‘‘නන් මැ​ඩෝල්’’ පිළිබඳව කරන ලද වාර්තාමය වීඩියෝ වැඩසටහන් රැසක් ඇති අතර අන්තර්ජාලය ඔස්සේ ඔබටද ඒවා නැරඹිය හැක. 

 

 

ශාස්ත්‍රවේදී පී.ඩබ්ලිව්. ගුණතිලක  
(විස්තර හා ඡායාරූප අන්තර්ජාලයෙනි)