කළු සැප්තැම්බරයට දඬුවම් දුන් දේව කෝපය


ඉතිහාසය වෙනස් කළ රහසිගත
මොසාඩ් මෙහෙයුම්   

 

මියුනිච් නගරයේ දර්ශනයක්   

 

 

වර්ෂ 1972 සැප්තැම්බර් පස් වෙනි දා අලුයම හතර හමාරට මුහුණු ආවරණය කරගත් සන්නද්ධ ත්‍රස්තයින් අට දෙනෙක් ජර්මනියේ මියුනිච් හි ඔලිම්පික් උළෙලට ගොස් සිටි ඊශ්‍රායල ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි ස්ථානයට කඩා පැන්නෝය.   


ත්‍රස්තයන් වළක්වන්නට ඉදිරියට පිනූ රෙස්ලිං කණ්ඩායමේ පුහුණුකරු වූ මොෂේ වෙයින්බර්ග් ඔවුන්ගේ අතින් මැරුම් කෑවේය. බර ඉසිලීමේ ශූරයෙකු වූ ජෝ රොමානෝ ද ඝාතනය විය. කෑ කෝ ගැසීම හා වෙඩි හඬ ඇසුණු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පමණක් ජනේලයෙන් පැන දිවි බේරා ගත්හ. ඉතිරිව සිටි ක්‍රීඩකයන් නව දෙනා ත්‍රස්තයන්ගේ අත්අඩංගුවට පත් වූහ.   


ඔලිම්පික් ගම්මානයේ සිදුවූ නාටකය වාර්තා කිරීම සඳහා ඡායාරූප ශිල්පීන්, වාර්තා කරුවන් හා රූපවාහිනී කණ්ඩායම් වැල නොකැඩී පොලිසිය පසුපස පැමිණෙන්නට වූයෙන් ඉතිහාසයේ පළමු වරට ත්‍රස්ත ක්‍රියාවක් සිදුවෙමින් තිබියදී රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව ලෝකයටම දැක ගැනීමට හැකි විය. සහකාර හමුදා නිලධාරියා විසින් අවදි කරනු ලැබූ ඊශ්‍රායල අගමැතිනිය ගෝල්ඩා මෙයර් ද මේ සිදුවීම බලා සිටියේ කිසිවක් කර කියා ගත නොහැකිව ය. ත්‍රස්ත ක්‍රියාව සිදුවී තිබුණේ මිතුරු රටක ය. ඔවුන් ගලවා ගැනීමේ වගකීම පැවරී තිබුණේ ජර්මනියට යි.   
 ජර්මනියේ සිවු වෙනි විශාලම නගරය වන මියුනිච් පිහිටා තිබෙන්නේ ජර්මනියේ ප්‍රාන්තයක් වන බැවේරියාවේ ය. එසේ වුවද බැවේරියාව ස්වාධීන බලයක් තිබුණු කලාපයක් බැවින් ඊශ්‍රායලයට ගනුදෙනු කරන්නට වූයේ ඔවුන් සමඟයි. ඊශ්‍රායලයේ හොඳම බුද්ධි ඒකකය වූ සියරෙට් මැට්කැල් බැවේරියාවට යැවීමට ඉල්ලීමක් කළද, බැවේරියානු බලධාරීහු එම ඉල්ලීම ආචාරශීලීව ප්‍රතික්ෂේප කළහ.   


බිය වෙන්නට කිසිවක් නැති බවත්, ප්‍රාණ ඇපකරුවන් ගලවා ගන්නා බවත් කියූ ජර්මනිය ඊශ්‍රායල නියෝජිතයන් සනසවමින් කතා කළ නමුදු, අන්ත දරුණු හා කපටි ත්‍රස්ත සංවිධානයක් හා ගනුදෙනු කිරීමට අවශ්‍ය ධෛර්යය, අත්දැකීම් හෝ නිර්මාණශීලී චින්තන හැකියාවක් ජර්මනියට නොවීය. ජර්මානු බලධාරීන් හා ත්‍රස්තයන් අතර දිනයක් මුළුල්ලේ පැවති වෙහෙසකර සාකච්ඡාවලින් පසු මියුනිච් නගරයෙන් පිටත පිහිටි ෆූර්ස්ටෙන්ෆෙල්ඩ්බුක් ගුවන් තොටුපොළ වෙත ත්‍රස්තයන් හා ප්‍රාණ ඇපකරුවන් ප්‍රවාහනය කරන ලදි. එහිදී ත්‍රස්තයන් කැමති ගමනාන්තයකට ඔවුන් ගෙනයාමට ජර්මානු බලධාරියෝ පොරොන්දු වී සිටියහ. එහෙත් ජර්මානු පොලිසිය ඉතා ආධුනික හා ළමා සෙල්ලමක් බඳු උගුලක් ගුවන් තොටුපොළේ අටවා තිබිණි.   
ලුෆ්ට්හන්සා ගුවන් සමාගමට අයත් හිස් ගුවන් යානයක් ගුවන් තොටුපොළ මැද නවතා තිබුණු අතර ඉලක්කයට වෙඩි තැබීමට දක්ෂව සිටිය යුතු නමුත් එසේ නොවූ වෙඩික්කරුවෝ ඒ මත රඳවා සිටියහ. ත්‍රස්ත කල්ලියේ නායකයාට මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමට අවශ්‍ය විය. කාර්ය මණ්ඩලයක් හෝ නොමැති, සිසිල් වූ එන්ජිමක් සහිත මෙම ගුවන් යානය තවත් මිනිත්තු කිහිපයකින් ගුවන්ගත කිරීමට යන එකක් නොවන බව ඔහුට අවබෝධ විය. තම කණ්ඩායමට රවටා ඇති බව වැටහුණු ත්‍රස්තයෝ වෙඩි තබමින් අත් බෝම්බ විසි කරන්නට වූහ.   

 

ඊජිප්තුවේ අබ්දෙල් නසර්, අරෆත් සහ හුසේන් රජතුමා සමඟ

 


ත්‍රස්තයන් හා පොලිසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවේදී සියලුම ප්‍රාණ ඇපකරුවෝද, ත්‍රස්තයන් අට දෙනාගෙන් පස් දෙනෙක් හා එක් පොලිස් නිලධාරියෙක් මියගියහ. (ඉතිරි තිදෙනා පොලිස් අත්අඩංගුවට පත් වූ නමුදු මඳ වේලාවකට පසු ත්‍රස්තයන් විසින් ලුෆ්ට්හන්සා ගුවන් යානයක් පැහැර ගැනීම නිසා ඔවුන් නිදහස් කරන්නට සිදු විය.) ඒ වන විට මීර් අමිත් හට පසුව පත් වූ රැම්සාඩ් සාවි සමීර් ගුවන් තොටුපොළේ මෙහෙයුම් කුලුනේ සිට මුළු නාටකයම බලා සිටියේය.   
අගමැතිනි ගෝල්ඩා මෙයර්ගේ අණ කිරීම අනුව ජර්මනියට ගොස් සිටියද, ජර්මානු මෙහෙයුමට මැදිහත් වීමට කිසිදු බලයක් නොතිබුණු බැවින් එසේ නිහඬව බලා සිටින්නට ඔහුට සිදු විය. තමා සතුව අනර්ඝ සැලසුමක් තිබෙන බවත්, ඉවසීමෙන් බලා සිටිය යුතු බවත් ජර්මානු බලධාරීහු නැවත නැවත කියා සිටියහ. එහෙත් ඔහුට දැක ගන්නට ලැබුණේ කිසි වරදක් නොකළ ක්‍රීඩකයන් ත්‍රස්තයන් අතින් ඝාතනය වෙන ආකාරයයි. “කළු සැප්තැම්බරය” යනුවෙන් හඳුන්වාගත් ත්‍රස්ත සංවිධානය තම සතුරන් අතරට එක්වූ අලුත්ම සතුරා බව ඔහු වටහා ගත්තේය.   
1970 සැප්තැම්බර් මස හැඳින්වීමට පලස්තීන ත්‍රස්තයෝ යෙදූ නම කළු සැප්තැම්බරය යන්නයි. ජෝර්දානයේ හුසේන් රජතුමා එරට සිටි පලස්තීන වැසියෝ රැසක් සමූල ඝාතනය කළේ ද ඒ මාසයේය.   


1967 දින හයේ යුද්ධයේ සිට ක්‍රම ක්‍රමයෙන් පලස්තීන ත්‍රස්තයෝ ජෝර්දානයේ අගනුවර අම්මාන් ඇතුළු කලාප රැසක් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන උන්හ. ජෝර්දානයේ ඊශ්‍රායල සීමාවේ පිහිටි නගර හා ගම් සියල්ල පාහේ මෙම ත්‍රස්තයන්ගේ කඳවුරු බවට පත් ව තිබුණු අතර ඔවුහු කිසි බයක් සැකක් නැතිව ගිනි අවි අත දරා මෙම කලාපවල මහ මාර්ගවල රැඳී සිටියහ. හුසේන් රජතුමා ප්‍රතික්ෂේප කළ ඔවුහු ජෝර්දානයේ නිල නොලත් පාලකයන් මෙන් ක්‍රියා කළහ. හුසේන් රජතුමා ද මෙය දැන සිටි නමුත් එය වෙනස් කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය.   
දිනක් ඔහු එක්තරා හමුදා කඳවුරක් වෙත ගිය අවස්ථාවේ එහි යුද්ධ ටැංකියක කොඩිය වෙනුවට ගැහැනු තනපටක් සුළඟේ ලෙළ දෙමින් තිබෙනු දැක දැඩි සේ කෝප වී ඒ පිළිබඳව ප්‍රශ්න කළේය.   
එයට පිළිතුරු දුන් යුද ටැංකි නිලධාරියා පැවසුවේ සටන් කිරීමට ඉඩ නොදෙන බැවින් ඔවුන් ගැහැනුන් වී ඇති බවයි.   
තම රාජ්‍ය පාලනය අසාර්ථක වී ඇති බවත්, කරුණු මෙසේ සිදුවෙද්දී වැල්ලේ හිස සඟවා ගත් පැස්බරෙකු මෙන් තවදුරටත් සිටීම නිෂ්ඵල බවත් හුසේන් රජතුමාට අවබෝධ විය. එය ඔහුගේ ඉවසීමේ උපරිමය ද විය.   


1970 සැප්තැම්බර් 17 වෙනි දා ත්‍රස්ත කඳවුරු හා මූලස්ථාන සියල්ල සුනු විසුනු කරන්නට හුසේන් රජතුමාගේ නියෝගය නිකුත් විය. මහමගදී ත්‍රස්තයන්ට වෙඩි තබන ලදී. අල්ලාගෙන වධ පමුණුවා නඩු ඇසීමකින් තොරව මරා දමන ලදී. යන්තම් පණ බේරාගැනීමට සමත් වූ කිහිප දෙනෙක් පලස්තීන සරණාගත කඳවුරුවලට වී සැඟව සිටියද එල්ල කළ බෝම්බ ප්‍රහාර හේතුවෙන් එම කඳවුරු සහමුලින් විනාශ විය. දහස් ගණනක් එම ප්‍රහාරවලින් මිය ගියහ. ජොර්දානයේදී වෙඩි කෑමට වඩා ඊශ්‍රායලයේ සිපිරිගෙයි කුණු වීම දාහෙන් සම්පතක් යැයි සිතා කඳවුරුවලට නොගිය තවත් ත්‍රස්තයන් කොටසක් ජෝර්දාන් නදිය තරණය කර ගොස් ඊශ්‍රායල හමුදාවට භාර වූහ.   
සමූල ඝාතන හමුවේ බහුතරයක් ත්‍රස්තයෝ සරණ සොයා ගෙන ගියේ සිරියාවට හා ලෙබනනයටයි. කළු සැප්තැම්බර් ප්‍රහාරයේදී මිය ගිය ත්‍රස්තවාදීන් ප්‍රමාණය කොතෙක්ද යන්න තවමත් හරිහැටි නොදන්නා අතර එම ප්‍රමාණය තුන් දහසේ සිට හත් දහසක් දක්වා විය හැකි බව අනුමාන කෙරේ.   
අරාබි පලස්තීනුවන්ගේ දේශපාලන සහ හමුදා සංවිධානයක් වූ ෆටා සංවිධානයේ ප්‍රධානී යසර් අර්ෆත් කෝපයෙන් වියරු ගැන්වී සිටියේ එම සමූල ඝාතන උදෙසා පළිගැනීමට අදිටන් කරගෙන සිටියේය.   


ෆටා සංවිධානය තුළ තවත් රහසිගත සංවිධානයක් ඔහු නිර්මාණය කළේ අති සූක්ෂම අන්දමිනි. එහි සාමාන්‍ය මට්ටමේ සාමාජිකයෝ හා අණ දෙන නිලධාරියෝ පවා මෙම රහස් සංවිධානය ගැන නොදැන සිටියෝය. ඔහු එය නම් කර තිබුණේ “කළු සැප්තැම්බරය” යනුවෙනි. මෙම සංවිධානය එතරම් සූක්ෂමව පවත්වාගෙන යාමට යසර් අර්ෆත් හට සිදුවූයේ ඔහු ෆටා සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ අන්තර්ජාතික හොඳ හිත හා අනුකම්පාව දිනා ගැනීමට වීම නිසයි.   
ෆටා සංවිධානය තුළ බිහි කළ කළු සැප්තැම්බරය වනාහි පලස්තීනයේ සතුරන් හැකි සැම ආකාරයෙන්ම විනාශ කිරීම අරමුණු කරගත් රහස් සංවිධානයකි. නමුත් නිල වශයෙන් කළු සැප්තැම්බරය කියා සංවිධානයක් තිබුණේ හෝ යසර් අර්ෆත් හට ඒ වෙත කිසිදු බැඳීමක් තිබුණේ ද නැත. එවැන්නක් පවතින බව හෝ කිසි විටෙක පිළිනොගත් නමුදු එහි නිර්මාපකයා මෙන්ම නායකයා වූයේ ද යසර් අර්ෆත්ම ය.   
ෆටාහි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් වූ අබු යුසුෆ්, කළු සැප්තැම්බරයේ ප්‍රධානියා ලෙසද, 1948 අරාබි ඊශ්‍රායල් යුද්ධයේදී පලස්තීන හමුදුවන්හි අවසන් අණ දෙන නිලධාරියා වූ හසන් සලාමේ ගේ පුතණුවන් වූ අලි හසන් සලාමේ අණ දෙන නිලධාරියා වශයෙන්ද පත් කරන ලදී. අරගලයේදී පියා මිය යාමෙන් පසු මෙම තරුණයා පියාගේ අරගලය දිගින් දිගටම කරගෙන යන බවට ප්‍රතිඥා දී සිටියේය.   


කළු සැප්තැම්බරයේ මුල් මෙහෙයුම් කිහිපය ගැන ඊශ්‍රායලයට වැඩි උනන්දුවක් නොතිබුණේ ඒවා සියල්ල ජෝර්දානය එල්ල කරගත් මෙහෙයුම් වීම නිසාය. ජෝර්දානයේ ජාතික ගුවන් සේවයේ රෝම කාර්යාලයට බෝම්බ දැමීම, පැරීසියේ ජෝර්දාන තානාපති කාර්යාලයට පහර දීම, ජෝර්දාන ගුවන් යානයක් ලිබියාවට පැහැර ගෙන යාම, ජර්මනියේ විදුලි උපාංග කම්හලකට බෝම්බ දැමීම, හැම්බර්ග් සහ රොටර්ඩෑම් හි තිබූ ජොර්දාන තෙල් සංචිතවලට පහර දීම හා ජෝර්දාන රහස් සේවයේ නිලධාරීන් පස් දෙනෙක් ඝාතනය කිරීම, හිටපු ජෝර්දාන අගමැති වසිෆ් අල් - ටාල් ඝාතනය එම මෙහෙයුම් අතරින් කිහිපයකි.   
1967දී සිදුවූ දින හයේ යුද්ධයේදී ඊශ්‍රායලය ජයග්‍රහණය ලැබූ බැවින් ත්‍රස්තයන්ගේ මීළඟ ගොදුර වූයේ යුදෙව් රාජ්‍යයයි. ඔවුහු ඊශ්‍රායල දේශ සීමා ආක්‍රමණය කරමින්, ගුවන් යානා පැහැරගනිමින්, සිවිල් වැසියන් ඝාතනය කරමින් හා විශාල නගරවල බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය තබමින් සිය ඊශ්‍රායල් මෙහෙයුම් කරගෙන ගියෝය. එතැන් පටන් ෂබාක් හා මොසාඞ් යන සංවිධානවලට සිදුවූයේ මෙම අලුත් සතුරා සොයාගෙන, ඔවුන්ගේ සැලසුම් ව්‍යවර්ථ කරමින් ක්‍රියාකාරීන් අල්ලා ගැනීමයි. එහෙත් ඔවුන් ඒ සඳහා අරමුණු කරගත්තේ ෆටා සංවිධානය මිස කළු සැප්තැම්බරය නොවේ.   


එහෙත් මෙම කළු සැප්තැම්බර් සංවිධානය ඊශ්‍රායලය හා බටහිර රටවලට අත තැබීම ඇරඹුවේ ඔවුන් විසින්ම ඔවුන්ගේ කටයුතු කෙරෙහි පනවාගෙන තිබුණු සීමා පවා බිඳ දමමිනි.   
මියුනිච් සමූල ඝාතනය ඔවුන්ගේ ඇරඹුම විය. එහි ප්‍රධාන මොළකරු වූයේ හසන් සලාමේ ය. ඝාතන සහ ලේ වැගිරවීමට ඔහු තුළ වූ කැමැත්ත ත්‍රස්තවාදීන් අතරද පැතිර ගිය අතර ඔවුහු ඔහුට “රතු කුමාරයා” යනුවෙන් නමක්ද පට බැන්දෝය.   
විශ්‍රාමික ලුතිනන්වරු දෙදෙනෙක් 1972 ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායල අගමැතිනි ගෝල්ඩා මෙයර් මුණ ගැසීමට පැමිණියෝය. 1969දී ලෙවී එෂ්කොල් මිය යාමෙන් පසු ඔහුගේ තනතුරට පත් වූ සාවි සමීර් මින් එක් අයෙකි. අනෙක් තනැත්තා ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳව අගමැති උපදේශක වශයෙන් සිටි හිටපු අමාන් නායක අහ්රොන් යාරිව් ය.   
අගමැතිනි ගෝල්ඩා මෙයර් ද මියුනිච් හි සාහසික ඝාතන පිළිබඳව දැඩි ලෙස කම්පා වී සිටියාය. ජර්මානු භූමිය මතදී නැවත වරක් අත් පා බැඳි යුදෙව්වන් ඝාතනයට ලක්වීම ගැන ඇය උදක්ම කම්පා වූවාය. ශක්තිමත් හා දැඩි චරිතයක් තිබූ කාන්තාවක වූ ඇය මෙම ඝාතනයට සම්බන්ධ වූ කිසිවෙකුට දඬුවම් නොපමුණුවා අත්නොහරින බව පැහැදිලිය. සමීර් හා යාරිව් යන දෙදෙනා සැබැවින්ම පැමිණ තිබුණේද ඒ ගැන කතා කිරීමටය.   
සමීර් හිටපු පැල්මාක් සටන්කරුවෙකි. ඔහු දැරූ උසස්ම නිලය වූයේ දකුණු පෙරමුණේ අණ දෙන නිලධාරී තනතුරයි. ඔහු පසුව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් මහා බ්‍රිතාන්‍යයේ සේවය කළේය. 1968දී මීර් අමිත් වෙනුවට සමීර් පත් කිරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට හේතු විය.   
එවැනි තනතුරක නායකයෙකුට හිමි පෞරුෂය හෝ පෙනුම නොතිබූ සමීර් ලැජ්ජාශීලී පුද්ගලයෙකු වූ අතර රහස් මෙහෙයුම් ගැන අත්දැකීම් හෝ පළපුරුද්දක් ද නොලැබ සිටියෙකි. ඔහු වඩා කැමති වූයේ මණ්ඩල ප්‍රධානියෙක් මෙන් කටයුතු කරමින් ඔහු වටා සිටි ඉහළ නිලධාරීන් හට බලය හා වගකීම් බෙදා දීමටයි. යොම් කිපූර් යුද්ධයේදී ඔහු යම් තරමක් ප්‍රසිද්ධියට පත් වූ නමුත් ඉන් පසු කියන්නට තරම් දක්ෂතාවක් හෝ ප්‍රසිද්ධියක් හෝ නොලැබීය. රාෆි අයිටන් වැනි ප්‍රබලයෝ ප්‍රසිද්ධියේම ඔහුට අකමැත්ත පෙන්වමින් සේවයෙන් ඉවත් වීමට පවා ක්‍රියා කළහ.   


සාපේක්ෂව බලන කළ යාරිව් යනු අවධානයට ලක් නොවී පසුබිමේ සිටි පුද්ගලයෙකි. දින හයේ යුද්ධයේදී අමාන් හි ප්‍රධානියා වශයෙන් විශාල කර්තව්‍යයක් ඉටු කළද, ඔහු වැඩි වශයෙන් අගය කිරීමට ලක්වූයේ ඔහුගේ උගත් බව හා විශ්ලේෂණාත්මක මනස නිසා ය. ඔහුට තිබුණු සංවර මහත්මා පෙනුමත්, මෘදු හැසිරීම් රටාවත් නිසා ඔහු අතිදක්ෂ ඔත්තුකරුවෙකුට වඩා බහුශ්‍රැත මහාචාර්යවරයෙකු ලෙස දිස් විය.   
සමීර් හා යාරිව් යන දෙදෙනා හට පැවරුණු බලතල හමුවේ එකිනෙකා සමඟ දැඩි සතුරු බවක් තිබිය යුතු වුවත් මේ දෙදෙනා ඉතා සහයෝගයෙන් වැඩ කරමින් හොඳ මිත්‍රත්වයක්ද පවත්වාගෙන ගියහ. නිහඬ බව, ලැජ්ජාශීලී බව, තනිව වැඩ කිරීමට කැමැත්ත ආදිය දෙදෙනා තුළම දැකිය හැකි වූ පොදු ගතිගුණ විය.   
අවධානය ලැබීමට දැඩි අකමැත්තක් පෙන්වූ මේ දෙපළ ඒ ඔක්තෝබර් සැන්දෑවේදී අගමැතිනිය වෙත ඉදිරිපත් කළ අදහස් ඔවුන් මෙතෙක් පෙන්වූ ස්වභාවය හා ගතිගුණවලට ප්‍රතිවිරුද්ධ විය. ඔවුනට ඇවැසි වූයේ මියුනිච් ඝාතනවලට හේතු වූ ත්‍රස්තයන් සියලු දෙනා සොයාගෙන ඝාතනය කිරීමයි. මියුනිච් සිද්ධියෙන් පසු මේ දෙදෙනා ඉතා උනන්දුවෙන් වැඩ කරමින් කළු සැප්තැම්බරය ගැන බොහෝ බුද්ධි තොරතුරු ලබාගැනීමට දක්ෂ වූහ. ඔවුහු ගෝල්ඩා හමුවට පැමිණ තිබුණේ සොයාගත් සාක්ෂිද ඇතිව, එම ත්‍රස්තයන් ඉදිරියේදී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙන බවත් කියමිනි.   
ඔවුන් සොයාගෙන තිබුණු ආකාරයට මෙම කණ්ඩායම ඊශ්‍රායලයේ හමුදා භටයින්, කාන්තාවන් හා ළමුන් ඇතුළු සිවිල් වැසියන් පවා අත් නොහරිමින් හැකි තරම් යුදෙව්වන් ඝාතනය කිරීමට දිවුරා සිටි අයයි. ඒ නිසා ඔවුන් නැවතීමට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය වූයේ මෙම දරුණු සංවිධානයේ නායකයන් සොයා ඔවුන් එකාට පසු එකා වශයෙන් මරා දැමීමයි.   


අනතුරුදායක ඝාතන මෙහෙයුමකට තරුණයින් යැවීමට හිත හදාගැනීම අගමැතිනියට දුෂ්කර කටයුත්තක් විය. ඊශ්‍රායලය එවැන්නක් මීට පෙර කර තිබුණේද නැත. මඳක් කල්පනා කිරීමෙන් හා ජර්මානු සමූල ඝාතනවලට ලක්වූ, ඔවුන්ගේ කෘර වධ හිංසාවනට ලක්වූ යුදෙව්වන් ගැන සිතා ඇය සිත ශක්තිමත් කර ගත්තාය.   
“කොල්ලන්ව යවන්න...”.ඈ අවසන එසේ සිය තීන්දුව දුන්නාය.   
සමීර් එකෙණෙහිම මෙහෙයුම ඇරඹීය. ඔහු එයට නම් තැබුවේ “දේව කෝපය” යනුවෙනි. ප්‍රජාතාන්ත්‍රික යුදෙව් රාජ්‍යයක අගමැතිනිය වශයෙන් ගෝල්ඩා හටද විශාල වගකීමක් පැවරී තිබිණි. සමීර් හා යාරිව් යන දෙදෙනා පොරොන්දු වූයේ කළු සැප්තැම්බරයේ නායකයන් පමණක් ඝාතනය කරන බව වුවද, මෙහෙයුම සිදුකරන කොල්ලන් අතින් අහිංසක ජනතාවට හානියක් නොවෙතැයි විශ්වාස කරන්නට ඒ පොරොන්දුව පමණක් ප්‍රමාණවත් නොවීය. එබැවින් මෙම දේව කෝපය මෙහෙයුම දැඩි පාලනයක් යටතේ කළ යුතු බව ඈ තීරණය කළාය. ඒ අනුව මෙහෙයුමේ සෑම කටයුත්තක්ම නිරීක්ෂණයට හා අනුමත කිරීමට බලය තබාගෙන ආරක්ෂක ඇමැති මොෂේ දයාන්, හිටපු දක්ෂ ජනරාල්වරයෙකු හා නියෝජ්‍ය අගමැති වන යිගාල් ඇලන් හා තමා ද ඇතුළත් රහස් කමිටුවක් වහා පිහිටවූවාය.   
එක්ස් කමිටුව යනුවෙන් නම් කර තිබුණු මෙම කමිටුවට හැම නමක්ම, හැම ලිපිගොනුවක්ම එවා අනුමැතිය ලබාගන්නට යාරිව් හා සමීර් යන දෙදෙනාට සිදුවිය. ඒ අනුව ඝාතක කණ්ඩායම කිසියම් තැනකට යන්නේ නම්, මේ ත්‍රිපුද්ගල කමිටුව ඒ පිළිබඳව දැනුම්වත්ව සිටිති.   
දේව කෝපය මෙහෙයුම කිරීමට පැවරුණේ මොසාඩ් සංවිධානයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවට වූ මසාඩාවටයි. එහි ප්‍රධානියා වූයේ මයික් හරාරි නමැති රහස් නිලධාරියෙකි. කළු සැප්තැම්බරය ඉතා සංකීර්ණ ක්‍රම මගින් ඔවුන්ගේ නිලධාරීන්ගේ ආරක්ෂාව සලසා තිබුණු අතර ඔවුන් යොදවා සිටියේ යුරෝපයේ ය. එබැවින් සියලු පහර දීම් කරන්නට සිදුව තිබුණේ යුරෝපයේදී ය.   

 

 


 මසාඩා හි මෙහෙයුම් කණ්ඩායම වූ කිඩෝනයෙන් මෙහෙයුමට අවශ්‍ය නිලධාරීන් තෝරාගනු ලැබුවේ හරාරි විසිනි. කළු සැප්තැම්බර් මෙහෙයුමේ කොටස් සඳහා යොදවනු ලැබූ හැම ඒකකයකටම අදාළ දෙවන කණ්ඩායමක් ද විය.   
ගැහැනු සහ පිරිමි හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සැකකරුවන් හඳුනාගැනීමටත්, ඔවුන් හඹායාමටත් යොදවා තිබිණි. නමුත් පහර දීමට පෙර ඒ සැකකරු නිවැරදි පුද්ගලයාම බව තහවුරු කරගන්නට සිදුවිය. සැකකාර ත්‍රස්තයන් රැඳී සිටි නගර වෙත ගොස්, ඔවුන් පසුපස හඹායාම, රහසේ ඔවුන් ඡායාරූපගත කිරීම, ඔවුන්ගේ පුරුදු අධ්‍යයනය කිරිම හා ඔවුන්ගේ මිතුරන් සිටින ස්ථාන සොයාගැනීම, ඔවුන්ගේ සැබෑම ලිපිනය සොයාගැනීම, ඔවුන් නිතර ආ ගිය බීම හල් සහ අවන්හල් සහ ඔවුන්ගේ දින චර්යාව යන සියල්ලම පැයෙන් පැයට වාර්තා කිරීම මෙම සය දෙනාට පැවරුණු වගකීම් විය.   


නවාතැන්, හෝටල් කාමර හා වාහන කුලියට ගැනීම සඳහා යොදවා තිබුණේ ගැහැනියක සහ පිරිමියෙකුගෙන් යුත් කුඩා ඒකකයකි. යුරෝපය පුරා පිහිටි සන්නිවේදන මධ්‍යස්ථාන හා ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානය සම්බන්ධ කරමින් සන්නිවේදනය කිරීම පැවරුණේ තවත් කුඩා ඒකකයකටයි.   
ප්‍රහාරක කණ්ඩායමේ මොසාඩ් නිලධාරීන් කිහිප දෙනෙක්ම සිටි අතර අදාළ භූමිය වෙත අන්තිමට ළඟා වූයේ ඔවුන්ය. ඔවුන්ගේ රාජකාරිය වූයේ නිශ්චිත ලිපිනයකදී, නිශ්චිත වෙලාවකදී, ඡායාරූප හා තොරතුරු ලබාදී තිබෙන පුද්ගලයන් ඝාතනය කිරීමයි. මෙම කණ්ඩායම ක්‍රියාත්මක වූ නගරයේ ඔවුන්ගේ ආරක්ෂාව භාර දෙවැනි කණ්ඩායමක් ද යොදවා තිබිණ. මෙම කණ්ඩායම ආයුධ සන්නද්ධ නිලධාරින් හා රියැදුරන්ගෙන් යුක්ත වූ අතර ප්‍රහාරය දියත් කෙරෙන ස්ථානයට ආසන්නයේ රඳවා තැබුවේ ආරක්ෂිතව ඉක්මනින් පලා යාම සඳහා ය. ඔවුන්ගේ වගකීම වූයේ ඝාතක කණ්ඩායම ආරක්ෂා කිරිමයි. අවශ්‍ය වුවහොත් ඒ සඳහා ආයුධ පවා භාවිත කරන්නට ඔවුනට අවසර තිබිණ.   
ප්‍රහාරයක් අවසන් වීමෙන් පසු, ඝාතක කණ්ඩායම හා ඔවුන්ගේ ආරක්ෂාව භාර කණ්ඩායම් හැකි ඉක්මනින් එම නගරය හා රටින් පිටත් විය යුතුය. සැකකරුවන් හඳුනාගැනීම භාරව තිබුණු කණ්ඩායම රටින් පිටත් වෙන්නේ මෙහෙයුම අරඹන්නට පෙරදීමයි. අනෙක් කණ්ඩායම් තවත් දින කිහිපයක් රැඳී සිටින්නේ සාක්ෂි වසං කිරීමට, භාවිත කළ උපකරණ අසුරා ගැනිමට හා කුලියට ගත් වාහන නැවත භාරදීමටයි.   


දේව කෝපය මෙහෙයුමේ ඇරඹුම සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ රෝම නගරයයි.   

 


ඉතිරිය ලබන සතියට....  


මූලාශ්‍රය : මයිකල් බාර් - සොහාර් හා නිසිම් මිශාල් විසින් රචිත, මොසාඩ් - ද ග්‍රේටස්ට් මිෂන්ස් ඔෆ් ද ඊශ්‍රායෙලි සීක්‍රට් සර්විස් කෘතිය   
පරිවර්තන සටහන: නිසංසලා දිසානායක