කරු අයියාගේ අපූරු තෑග්ග


කරු සිය පියා සහ එකම පුතු සමග

 

1942 දී කලා ලොවට අවතීර්ණ වූ ‘කරු අයියා’ නොහොත් කරුණාරත්න අබේසේකරයන් 1983 දී මෙලොව හැර යනතුරුම ජනප්‍රියත්වයේ රැඳී සිටියේය. දක්ෂ නිවේදකයකු, ගීත රචකයකු, කවියකු, ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයකු ආදී වශයෙන් අංශ කිහිපයකින්ම දක්ෂතා දැක්වූ කරු අයියා 1930 ජුනි 3 වැනිදා උපත ලැබුවේ මාතර බඹරැන්දේ පෝසතුගොඩදීය.   


මවගේ නම ප්‍රේමවතීය. පියා පොඩි අප්පුහාමි අබේසේකර කොළඹ සුළු වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. පියාට තම කුළුඳුල් පුතා දැක ගන්නට ලැබුණේ දින කිහිපයකට පසුය. ඒ පියා කොළඹ සිටි බැවිනි. 
කරු අයියාට මවුපියන් තැබූ නම කරුණාදාසය. කරුණාදාස කොහොම ද කරුණාරත්න වුණේ යයි බොහෝදෙනා අසද්දී කරු අයියා කීවේ ඒක කොහොමද වුණේ කියලා ඔහුටත් නොතේරෙන බවය. වරින් වර රෝගාතුර වූ කුඩා කරුණාදාසත් රැගෙන ප්‍රේමවතීත් පොඩි අප්පුහාමිත් කොල්ලුපිටියේ පදිංචියට පැමිණියහ.   
අවුරුදු හතේදී මාලිගාකන්ද රජයේ පාසලට ඔහු ඇතුළත් කළේය. ඒ කාලය වනවිට කරුණාදාස පදිංචිව සිටියේ කැටවලමුල්ලේ කෑලි තුනක කුඩා නිවසකය. එහි විදුලිය පහන් නොවීය. පසු කලෙක ගුවන්විදුලිය හෙල්ලූ කරුණාදාසට එදා සවන් දෙන්නට ගුවන්විදුලි යන්ත්‍රයක් හෝ ගෙදර නොවීය.   


දෙවැනි ලෝක යුද්ධය පටන් ගැනීමත් සමඟ ජපනුන් කොයි වෙලේ ප්‍රහාරයක් එල්ල කරාවිදෝ යන භීතිය නිසා යළිත් කරුණාදාස ඇතුළු පවුලම උපන් ගම මාතරට ගියහ.   


යළි කොළඹට පැමිණි කරුණාදාස ඊළඟට ඇතුළත් වූයේ කොළඹ නාලන්දා විදුහලටය.   
1942 දී කරුණාදාස අබේසේකර, ‘කරුණාරත්න අබේසේකර’ වන්නේ සිය මුල්ම කවි පන්තිය පුවත්පතකට ලියා යැවීමත් සමඟය. නාලන්දා විදුහලට සිංහල සාහිත්‍යය ගුරුවරයා ලෙස පත්ව ආ ‘සිරි අයියා’ (අධිනීතිඥ යූ.ඒ.එස්. පෙරේරා) ගේ උදව්වෙන් කරුණාරත්න ගුවන්විදුලියට සම්බන්ධ වූවේ සිරි අයියා මෙහෙය වූ ‘ළමා තීරය, කවි මඩුව, විරිඳු සංග්‍රහය’ ආදී වැඩසටහන්වලටය.   


ඔහු ලද සම්මාන රැසකි. 1964 දී හොඳම දෙබස් රචනය සඳහා ඔහු ලංකා රසික සංගමයේ සම්මානය ලැබීය. 1966 දී ස්වර්ණ සංඛ සම්මානය ද 1966 දී ජනතා සම්මානය ද 1967 දී හා 1969 දී හොඳම ගීත රචකයා ලෙස සරසවි සම්මානයෙන් ද ආදී සම්මාන ගණනාවකින් ඔහු පිදුම් ලැබීය.   
ඔහු කොතරම් ජනප්‍රිය චිත්‍රපට ගීත රචකයකුදැයි සඳහන් කළ හැක්කේ චිත්‍රපට 100කට ගී ලිවීම නිසා කොළඹ කලාකවයෙන් ස්වර්ණ පද්මයකින් උපහාර ලැබීමය.   


වෙළෙඳ දැන්වීම් හඬ කැවීම සඳහා ද ඔහු එකල වැඩිම මුදල අය කළේය. “ජයරත්න නම් මල් - මල් නම් ජයරත්න”, “සව්සිරියෙන් පිරි සව්සිරි”, “වෙනින් කවුරුත් නොවෙයි ලෙනින් මොරායස්” ආදී අද ද කතාබහට ලක්වෙන වෙළෙඳ දැන්වීම් පාඨ ද කරු අයියාගේය.   


කරු අයියා එකල සිනමා තාරකාවක් තරමටම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ රැඳී සිටියේය.   
ඔහු ගුවන්විදුලි වැඩසටහනක් මෙහෙයවීම බලා සිටීම ද අපූරු අත්දැකීමකි.   
එකල ඇතැම් ගුවන්විදුලි වැඩසටහන් පටිගත කෙරුණේ නරඹන්නන් ඉදිරියේය. ඒ සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගි වීමට අවසර ලැබෙයි. වරක් මම කරු අයියාගේ වැඩසටහනක් පටිගත කරනු බලන්නට ගුවන්විදුලියට ගියෙමි.   


වැඩසටහන පටිගත කිරීමට ටික වෙලාවකට පෙර කරු අයියා ගුවන්විදුලියට ආවේ කට පුරා හිනැහීගෙනය. ඔහුගේ හිසේ එකදු කෙස් ගසක් හෝ අවුල් වී නොතිබිණි. කදිමට පීරා තිබුණේ කිසියම් ක්‍රීම් වර්ගයක් තැවැරීමෙන් විය යුතුය. සැන්දෑ කාලයේ ඔහුගේ මුහුණ නැවුම් බවකින් දිස්විය. ලා පාට අත් කොට කමිසයක් කලිසමට උඩින් දමා සැන්ඩ්ල්ස් වර්ගයේ පාවහන් යුවළක් ඔහු එදා පැළඳ සිටි බව මට තාමත් මතකය.   
කරු අයියා එදා මුළු ප්‍රේක්ෂකාගාරයම තම අණසකට යටත් කරගත්තේය. ඔහු තරම් තම හඬින් අංගචලනයෙන් ප්‍රේක්ෂකාගාරයක් හසුරුවන වෙනත් නිවේදකයකු මා දැක නැති තරම්ය.   
ඔහු වචන උච්චාරණය කළේ අවශ්‍ය තැන්වලට විරාමයක් තබමින් අමුතුම ලතාවකටය. ප්‍රේක්ෂකයන් රොද බැඳුණේ ඒ උච්චාරණයටය. ඒ ගැඹුරු කටහඬටය. ඔහු ගීත රචකයකුටත් වඩා ඉමහත් දක්ෂතාවෙන් පිරී ගිය නිවේදකයකු යයි මට විටෙක සිතෙයි.   


වරෙක උපාලි අත්තනායක (ජනප්‍රිය නළු, ගුවන්විදුලි ශිල්පී) ජෝතිපාලයන්ට ගීතයක් ලිවීය. ගීතය බෙහෙවින් ජනප්‍රිය විය. එහෙත් බොහෝදෙනා සිතුවේ එය ද කරු​ගේ ගීතයක් බවය. වරක් ඒ බව මට කීවේ උපාලිමය. ඔහු ගීත රචකයකු ලෙස එතරම්ම ප්‍රකටව සිටියේය.   
පත්තර කලාවට ආ මුල් කාලයේදී කරු අයියා හමුවී සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නට මට වුවමනා විය. මම වෙලාවක් වෙන් කරගෙන දිනක් හැන්දෑ වරුවේ සිරිධම්ම මාවතේ සැලස්කි පාරට (දැන් කරුණාරත්න අබේසේකර මාවත) ගියෙමි.   


ඔහු මා ඉමහත් ආදරයෙන් පිළිගත්තේය. තේ කොප්පයක් ද ආවේය. සාකච්ඡාවේදී මා ඇසූ ප්‍රශ්නවලට ඔහු සුහදශීලීව පිළිතුරු දුන්නේය. සාකච්ඡාව නිමා කළ මම යන්නට සූදානම් වුණෙමි.   
“ඔහොම පොඩ්ඩක් ඉන්න මල්ලි” කියා ඔහු ගෙතුළට ගියේය. කරු අයියාට උපහාර පිණිස 1973 දී මුද්‍රණය කරන ලද සමරු කලාපයක් ඔහු මට දුන්නේය. ඒ සමඟම තවත් කුඩා පැකැට්ටුවක් ද දුන්නේය. ඒ බ්ලේඩ් තල පැකැට්ටුවකි. එය එකල ප්‍රසිද්ධ නාමයක් තිබූ බ්ලේඩ් තල වර්ගයකි.   
මම මඳක් සැලී ගියෙමි. ඒ කාලයේ කලාකරුවන් කපා දමනවාට කීවේ බ්ලේඩ් තල දමනවා කියාය. ගුවන්විදුලියේ මේ කැපිල්ල සුලභව තිබිණි. තරහා වූ විට කළේ ප්‍රචාරය කරන්නට නොහැකි වන සේ ගී තැටිවල ඉරි ඇඳීමය. කේලාම්, ඕපාදූප ඊට අමතරවය.   


කරු අයියා මාත් කැපිලිකාරයකු යයි සැක කර සංකේතයක් ලෙස බ්ලේඩ් තල පැකැට්ටුවක් දුන්නා ද? නැත්නම් ඕනෑ තරම් සමරු තිළිණ තිබියදී බ්ලේඩ් තල පැකැට්ටුවක්ම දුන්නේ ඇයි?   
එ් සිදුවීම අමතක කර මම සම්මුඛ සාකච්ඡාව ලීවෙමි.   


මේ කාලය වනවිට හින්දි අනුකාරක ගීවලට විරුද්ධව විශාල රැල්ලක් ගොඩනැගී තිබිණ. හින්දි කොපි ගීත ‘අවර ගණයේ ගීත’ ලෙස හැඳින්විණ. ඒවා ලියන ගීත රචකයන් ගායක ගායිකාවන් ද ප්‍රබුද්ධ ගණයේ කලාකරුවන් ලෙස නොසැලකිණ. ජෝති විවිධ අවස්ථාවලදී ‘අපි ඉතින් පීචං ගායකයෝනෙ’යි කීවේ එහෙයිනි. හින්දි තනුවලට ජනප්‍රිය ගී දහස් ගණනක් රචනා කළේ කරු අයියා විසිනි. මම ඒ ගැන ද එදා ඇසුවෙමි.   
ඔහු එවිට උත්තර දුන්නේ, “මල්ලි ඒ කාලෙ එක ප්‍රසිද්ධ ගීත රචකයෙක් ඉන්දියාවට අරගෙන ගිහිල්ලා ආපහු ලංකාවට එව්වා, ඒගොල්ලො කියන විධියට සින්දු ලියන්න බෑ කිව්වා කියලා. ඒ කාලෙ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරුත් එක්කයි අපට වැඩ කරන්න සිද්ධ වුණේ. ඒක හරිම අමාරු වැඩක්. ඒගොල්ලො සතුටු වෙන විධියට වැඩ කළේ නැත්නම් වැඩ කරන්න දෙන්නේ නෑ. දැන් වගේ නිදහසක් නෑ. කොපි තනුවලට තමයි දිගටම ලියන්න වුණේ. නැතුව අපි ඉල්ලගෙන කැමැත්තෙන් ලිව්ව නෙමෙයි.” ඔහු කීවේය.   


සම්මුඛ සාකච්ඡාවෙන් දින හතරකට පමණ පසුව කරු අයියාගෙන් මට දුරකතන ඇමතුමක් ලැබිණ.

   
“මල්ලි ආටිකල් එක ලියලා ඉවර ද?”   


‘ඔව්’   
“මට ඒක පොඩ්ඩක් බලන්න පුළුවන් ද?”   
මම මඳක් කල්පනා කර ‘පුළුවන්’ යයි කීවෙමි.   
“හරි මල්ලි මම දෙක වෙනකොට ඔයාගෙ ඔෆිස් එකට එන්නම්.”   
කාර්යාලය තිබුණේ කොටුවේ ටයිම්ස් මන්දිර (පැරැණි ලංකාදීප කාර්යාලය) යේ දෙවැනි මහලේය.   
හරියටම දෙක වනවිට කරු අයියා පැමිණ සිටින බව මට දැනුම් දුන්නේය.   
“මල්ලි තරහා නැතිව ආටිකල් එකත් අරගෙන පහළට එනවා ද?”   
‘හරි’  


මා පහළට යනවිට කරු අයියා විමසීම් කවුන්ටරය ළඟ මා එනතුරු නැවැතී සිටියේය.   
“මොකුත් හිතන්න එපා මල්ලි උඩට නාවට. ඕකෙ උඩ ඉන්නෙ ඔක්කොම මගෙ යාළුවොනේ.”  
 ඒ කාලයේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ ආදී ගීත රචකයන් සේවය කළේ ද ලංකාදීපයේය.   


“අපි යමු කොහෙට හරි, ගිහිල්ලා පොඩ්ඩක් බලමු”  


අපි බ්‍රිස්ටල් වීදිය දිගේ මඳ දුරක් ගොස් එහි තිබූ හෝටලයකට ඇතුළු වුණෙමු.   


ඔහු වේටර්වරයකුට දෙමළෙන් කතා කර කිසිවක් ඇණවුම් කළේය. ඉන් පසු ලිපිය කියවාගෙන ගියේය. ඔහුගේ පිළිතුරුවල තැන් කිහිපයක් සකස් කළේය.   


“ප්‍රශ්නයක් නෑ මල්ලි, ඕනෑ වෙලාවක කෝල් එකක් දාලා එන්න” කී ඔහු බ්‍රිස්ටල් වීදිය දිගේ නොපෙනී ගියේය.   
එ් දිනවල කොපි ගීතවලට පහරදෙමින් චින්තන ජයසේන ලිපි මාලාවක්ම ලීවේය. මේ කාලය වනවිට කොපි චිත්‍රපට ගීත නිර්දය ලෙස විවේචනය කළ ජයවිලාල් අප අතර නොවීය.   


ජයවිලාල්ගේ නිර්දය විචාරයටත් වඩා ඇතැම් විට චින්තකගේ ලිපි ආන්දෝලනාත්මක විය.   


ඇතැම්විට මගේ සම්මුඛ සාකච්ඡාවෙන් කෑල්ලක් අල්ලාගෙන විචාරකයන් යළිත් පහර ගහන්නට බැරි නැත. කරු අයියාට ලිපි බලන්නට අවශ්‍ය වන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය. කොහොමටත් ගීත රචක වාද විවාද එකල ජනප්‍රිය විය. අන්තිමේදී ඒවා අවසන් වන්නේ පෞද්ගලික කරුණු, මඩ, අවලාද, අපහාස හා බැණුම්වලිනි. එවිට වාදය නවතා දමන්නට සිදුවෙයි.   


ඊට පසු කරු අයියා හමුවීමට ගිය හැම වාරයකම ඔහු මට සුපුරුදු පරිදි බ්ලේඩ් තල පැකැට්ටුව දුන්නේය. උපහාර කලාපය කලින් ගත් බව මතක තියෙන්නට ඇත. මෙහිදී සඳහන් කළ යුත්තේ ඔහුගේ බිරිඳ ඉරානි කිසි විටෙක අපේ පුවත්පත් සාකච්ඡාවලට සම්බන්ධ නොවීමය. ඇතැම් විටෙක ඔහු මා රැගෙන ගියේ පුංචි බොරැල්ලේ එකල ප්‍රසිද්ධව තිබූ ආපනශාලාවක් වෙතය. සැලස්කි පෙදෙසේ සිට අප යන්නේ ඔහුගේ මෝටර් රථයෙනි. කරු අයියා කිසිම දිනෙක මෝටර් රථ පදවනු මා දැක නැත. රියැදුරා මෝටර් රථය පදවද්දී කරු අයියා ඉදිරිපස අසුනේ වාඩිවෙයි.   


“ඔන්න බලන්න මල්ලී” කියා ඔහු රේඩියෝව ක්‍රියාත්මක කරයි. කරු ලියූ ගීතයක් වාදනය වෙයි.   
1978 වසරේදී රුක්මණි දේවිය හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ විට කරු අයියාගෙන් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නට මම උත්සාහ කළෙමි.   
ඔහු එදා රුක්මණි දේවිය වර්ණනා කරමින් අදහස් දක්වන්නට විය.  
‘රුක්මණි කියන සින්දු සේරම වාගෙ කොපි සින්දු නේද? ඒක ගැන මොකද හිතන්නේ‍?’ සාකච්ඡාව අතරමැද මම ඇසුවෙමි.   


“ඔව් කොපි සින්දු තමයි” ඔහුගේ හඬ වෙනදා තරම් එදා සුහදශීලී නොවීය.   
‘ඒ ගැන මොනව හරි කියන්න’  
කරු අයියාට කේන්ති ගියේය. ඔහු කෝපය පාලනය කරගනිමින් මට කීවේ “මල්ලි මං කියන එක ලියාගන්න” කියාය.   


මම ඔහු කියන දේ ලියා ගනිමින් තවත් ප්‍රශ්න කිහිපයක් ඇසුවෙමි.   
ඔහු ඊට කැමැති නොවීය. ඉන් පසුව අපේ සාකච්ඡාව සුහදශීලී නොවීය. මගේ සිත ද තරමක් රිදී තිබිණි.   
සාකච්ඡාව එතැනින් නිමවිය. කාර්යාලයට පැමිණි මම එම සම්මුඛ සාකච්ඡාවේ සටහන් ටික ලාච්චුවට දමා වැසුවෙමි. එම සාකච්ඡාව නොලියන්නට මම තීරණය කර සිටියෙමි.   
සතියක් පමණ ගිය විට ආතර් යූ. අමරසේන මහතා මට කතා කර ඇසුවේ ‘කරු අයියාගේ ඉන්ටවීව් එකක් කළා ද?’ කියාය.   


‘ඔව් ඒකෙ ලියන්න තරම් දෙයක් කියැවුණේ නෑ. එදා කරු අයියාට තරහ ගිහින් තිබුණා.’  
ඊට කිසිවක් නොකී ඔහු, ‘ඔයත් දාගන්න ලෙඩ’ යයි කියා නිහඬ විය.   
ඊට ටික දිනකට පසු පිටු සැලැසුම් චිත්‍ර ශිල්පී වටරැක ප්‍රේමදාස ඇවිත් මට කීවේ කරු අයියා මට දැඩි ලෙස දෝෂාරෝපණය කළ බවය. 

 
මා එකල නැවැතී සිටියේ ද සිරිධම්ම මාවතේ බෝඩිමක නිසා පුංචි බොරැල්ල හන්දියේදී කරු අයියා නිතර ඇස ගැටෙයි. ඔහු ඇතැම් හැන්දෑවක පුංචි බොරැල්ල හන්දියට පැමිණ ඔහුගේ පැරැණි හිතවතුන් හා දොඩමළු වෙයි.   


මේ සිදුවීමෙන් පසුව මම එවැනි අවස්ථාවලදී ඔහු මඟහැර ගියෙමි. ශබ්දාගාරයකදී හමු වූ විට ද ඔහු මඟහැරියෙමි.


මා අලුත් පුවත්පතක් පටන්ගත් කාලයේදී දිනක් කාර්යාලයීය දුරකතනයට ඇමතුමක් ආවේය. ඒ කරු අයියාය. මට පුදුම සිතිණි.   


“මල්ලි මම කරු අයියා කතා කරන්නේ”   


බහ තෝරන වියේදී පටන් අසා ඇති කරු අයියාගේ හඬ මට හඳුන්වා දෙන්නට අවශ්‍ය නොවීය.   
‘ඔව් කරු අයියෙ’   


“පත්තරේ හොඳයි මල්ලි. මම මල්ලිට සුබ පතන්න කතා කළේ”   
කරු අයියාගේ හිතේ මා ගැන කහටක් හෝ තරහක් නැත. එක් අතකින් මා වැනි නවක පුවත්පත් කලාවේදියකු සමඟ කරු අයියා වැනි දැවැන්තයකු තරහක් ඇති කරගන්නේ ඇයි?   
‘ස්තුතියි කරු අයියෙ. මම වෙලාවක එන්නම්කො කරු අයියාව මුණගැහෙන්න, ටිකක් කතා කරන්න.’   
“කෝල් එකක් දීලා එන්න මල්ලි.”  


එහෙත් පොරොන්දු වූ පරිදි මට ඔහු හමුවන්නට නොහැකි විය.   


කරු අයියා අභාවප්‍රාප්ත වූ බව දැනගත් මොහොතේ මම සැලී ගියෙමි. අවුරුදු පනස් ගණනක් වැනි වයසකදී ඔහු මෙලොව අතහැර යා යුතු කලාකරුවකු නොවේ. 

 
මා කරු අයියාගේ නිසල දේහය දැක ගැනීමට සැලස්කි පෙදෙසට යද්දී ඉදිරියට ආවේ ඔහුගේ එකම දරුවා දිලීපය. ඔහු ගැටවර වියට පා තබා තිබිණ.   


වැඩීගෙන එන සිහින් උඩු රැවුල නිසා ඔහු කරු අයියාම විය. එකල කරු අයියා හමුවීමට ඔහුගේ නිවසට ගිය විට මම කුඩා දිලීප කිහිප වරක්ම දැක ඇත්තෙමි. එහෙත් දැලි රැවුල සමග මේ නම් කරු අයියාමය. “දිලීපගෙයි මගෙයි උපන්දිනේ එකම දවසේ” මා ආගිය බොහෝ අවස්ථාවලදී මට කටපාඩම් වන තරමට ඔහු එසේ කියා ඇත.   
එමෙන්ම සම්මුඛ සාකච්ඡාවලට ගිය බොහෝ දෙනකුට කරු අයියා මේ බ්ලේඩ් තල පැකැට්ටුව ද තිළිණ කර ඇත.   


එකල බොහෝදෙනා රැවුල කපන්නට පාවිච්චි කළේ බ්ලේඩ් තල මාරු කළ හැකි රේසර්ය. ඒ නිසා එම බ්ලේඩ් තල ප්‍රයෝජනවත්ය.   


එහෙත් ඔහුට වෙනත් සමරු තිළිණයක් තෝරා ගැනීමට තිබුණා නොවේ ද? කලා ලෝකය කැපිලි කෙටිලිවලින් පිරුණු බ්ලේඩ් තල ලෝකයකි. ඔහු ඒ බව සංකේතවත් කරන්නට බ්ලේඩ් තල දුන්නා ද?   


මේ ගැන අසා දැනගන්නට කරු අයියා මෙලොව හැර යනතුරුම මට අවස්ථාවක් නොලැබිණි.   


මා දැනුදු සිරිධම්ම මාවතේ ගමන් කරද්දී සැලස්කි පෙදෙසට ගොස් කරු අයියා ඉන්නවාදැයි බලන්නට සිතෙයි. කරු අයියා නිතර ආගිය පුංචි බොරැල්ල හන්දියේ හෝටලය තරමක් වෙනස් වුව ද වෙනත් නමකින් තවමත් එතැන ඇත. කරු අයියා මිය ගොස් අවුරුදු තිස් ගණනක් ගතවුව ද ඔහුගේ කටහඬ තවමත් මගේ දෙසවන් තුළ හිටි ගමන් නිංනාද වෙයි.    

 

 

රොඩ්නි 
විදානපතිරණ